Back
001. ලෞකික සැපය සහ සසරේ දුක
- ලෞකික සැපයත් ඇත්තෙන්ම සැපයකි....සත්වයා ලෞකිකයට මෙපමණ ඇලුම් කිරීමට හේතුවත් එයයි
- නමුත් එම සැපය ලබා ගැනීමට මහත් වූ දුකක් විඳිය යුතුය... විශාල කැප කිරීමක් කළ යුතුය... සම්ප්‍රයුක්තව ලැබෙන සැපය ඉතා අල්පයකි
- එය සැපයක් වුවත් එය පිටුපස ආදීනව පථ නිර්මාණය වේ.. එනම් සත්වයාට දුක උරුම වෙයි
- කෙටියෙන් පථ යනු භවයෙන් භවයට, භවයෙන් භවයට විපාක දෙමින් යන විපාක වාරයන්ය
- මොහොතක සැපයකි... සැප සංඥාවෙන් දුක් විඳීමකි
- දීර්ඝ වූ සසර ගමනකට මාර්ගයකි
- මෙම පැහැදිලි කිරීම්ද සාපේක්ෂ වන අතර තව තවත් වෙනස් ආකාරයේ මෙන්ම සියුම් හා ගැඹුරු පැහැදිලි කිරීම්ද ඇති බව සලකන්න...
002. ගුණ වැඩීම
- මෙම බුද්ධ ශාසනයේ ගුණ වැඩීම යනු හර පද්ධතියයි
- සීලයද ගුණයන් පුරුදු කිරීමක් වේ
- ලෝකයේ නුගුණ දැකීම තමන් තුළ ඇති නුගුණයක් වේ
- ලෝකය ගුණ ලෙස දැකීම තමා තුළ ඇති ගුණයක් වේ
- එලෙස දැකීම සඳහා හේතුඵල, කර්ම, විපාක, නොයෙකුත් සංඥා ක්‍රම භාවිතා කළ හැක
- ලෝකයෙන් වැරැද්දක් සිදුවෙන විට එය දරා ගැනීම තමා සතු ගුණයකි
- ගුණයන් කෙළවර වන්නේ ප්‍රඥාවෙන්ය. ප්‍රඥාව යනු ගුණයන්ගේ ඵලයකි
- ප්‍රඥාව මුලින් ඇති කරගැනීමට දරන උත්සාහය බොහෝ විට මාන්නයකින් කෙළවර වීමට ඉඩකඩ ඇත
- ගුණයන් පමුණුවා ගනිමින් ශාසනය තුළ රැඳීම අගනේය...
003. මෝහයේ බැඳුම
- වැරදි සහ නිවැරදි දෙය තම තම අරමුණ අනුව සාපේක්ෂවේ
- අරමුණ සැපය නම්, නිවැරදි අරමුණ නිවන වනු ඇත
- වරදෙහි පිහිටවන ලද සිත යනු හුදෙක් මෝහය සහගත සිතයි
- මෝහය යනු කෙටියෙන් නිවැරැද්ද නිවැරැද්ද ලෙස නොදැකීම සහ වැරැද්ද වැරැද්ද ලෙස නොදැකීම වේ
- බුද්ධ ශාසනය තුළ වැරැද්ද නිවැරැද්ද නිවන අනුව තීරණය වේ
- මිරිඟුවේ වතුර ඇති ලෙස චේතනාව පිරිසිදුව සිදූ වුවත් එය මෝහ මිශ්‍රිත වේ. එම නිසා සියල්ලටම වඩා සත්වයා දුකට පත්වේ
- සසර ගත සත්ත්වයා ඉහත ආදී නොයෙකුත් කාණ්ඩවල මෝහයන්ගෙන් පිරුණු මනස් සහිත වේ
- එනම් චිත්තය වරදෙහි පිහිටා ඇත
- එනම් පවිටු සිත් ඇති හෙතෙම සසර තුළ දුකෙන් දුකටම පත්වෙයි...
004. අපන්ණක ප්‍රතිපදාව
- අපන්ණක ජාතකයෙහි බෝධිසත්වයන් ගත් තීරණය තුල දෙආකාරයටම පිරිසට හානියක් සිදු නොවේ
- එලෙසම තමන්ට ලැබෙන යහපත අයහපත ආදී සෑම දෙයක්ම හේතුවක ඵලයක් ලෙස හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස හෝ වෙනත් දහම් ඇසකින් දැකිය යුතුය
- අයහපතක් සිදුවුවහොත් අයහපත වෙනුවට ඒ තුළ ඇති හේතුඵල ධර්මය අවබෝධ කර ගනී.. යහපතද එලෙසමය
- මෙහිදී හේතුඵල ධර්මයක් හෝ වෙනත් ධර්ම කාරණයක් දකිනවා මිස යහපතක් අයහපතක් භුක්ති නොවිඳී
- මෙය ඉහත ජාතක කතාව අනුව අපන්ණක ප්‍රතිපදාව ලෙසද හැඳින්විය හැක
- අටලෝ දහමින් කම්පා නොවීම ලෙසද හැඳින්විය හැක
- මෙවන් ආකාරයෙන් සිත භාවිතය තුළ භවය තුළ සිත පිහිටීමක් නොවනු හෝ ඒ සඳහා හේතු සකස් වනු ඇත
005. වටිනාකම් හා අත්හැරීම
- මුදල් හෝ රන් කහවනු යනු වටිනාකමක්ය
- එක් වටිනාකමක්, ඊට වැඩි වටිනාකමක් ලැබෙන විට වටිනාකම බාලවීම සිදුවේ
- උදාහරණයක් ලෙස මුදල් පොදියක් ඇති විට, මුදල් කන්දක වටිනාකම ඊට වඩා වැඩි හෙයින් මුදල් කන්දට ඇලුම් කරයි
- එලෙස සාපේක්ෂව වටිනාකම වෙනස් වේ
- අත්හැරීම අත්හැරීමෙන් කෙළවර වන බැවින් සාපේක්ෂකයක් නොපවතී
- එම නිසා තෘප්තිමත්භාවයට පත්වෙයි
- මුලින් මුලින් මෙවැනි කාරණාවල වැටහීම ධර්ම අවබෝධය පහසු කරවයි
006. ශාසනයේ මහිමය
- ඔබගේ අපගේ ප්‍රථම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා... ධර්මයට නමස්කාරය වේවා... සංඝයාට නමස්කාරය වේවා...
- පහනකින් පහනක් දැල්විය හැකි වුවත් පහනක පින්තූරයකින් පහනක් දැල්විය නොහැක
- එලෙසම ධර්මයක් ලබාදිය හැක්කේ ධර්මයෙහි යම් ඇසුරක් ඇති අයෙකුටය
- කොපමණ වටිනාකම් සහිත භෞතික වස්තුවක් වුවත් එය බිඳී යාමෙන් හෝ මරණයෙන් එම වටිනාකම අහෝසි වේ
- අමිල වූ වටිනාකමක් සහිත මානසික වූ ධනයක් බුද්ධ ශාසනයක් තුළින් සත්වයාට ප්‍රතිලාභය
- එයට මග පෙන්විය හැක්කේ තම ප්‍රඥාවේ ප්‍රමාණයට ශාසනය තුළ හික්මෙන තවත් ශ්‍රාවකයෙකුටය
- මග පෙන්වීමේ යම් අඩු වැඩිකම් තිබුණත් බුද්ධ ශාසනයක් පවතින්නේ එම ධර්මතාවයට අනුවය
- සමස්තයක් ලෙස සලකන විට ධර්මයට යොමු වීමේ වටිනාකමට වෙන කිසිම සැසඳීමක් නැත
- එනම් ප්‍රඥාවන්තයෙක් තම ප්‍රඥාවේ ප්‍රමාණයට, තවත් ප්‍රඥාවන්තයෙකුට ලබාදෙන මග පෙන්වීම ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත
007. ක්ලේශ දුරු කිරීමේ ධර්ම ඥානය
- සිත පිහිටන ස්ථානය තමන් සිටින ස්ථානයයි
- එම ස්ථානය මැනවින් දැනගත යුතුය.. මැනවින් හඳුනාගත යුතුය
- එනම්, ඒ අරභයා ඇතිවන සිතිවිලි සන්තතිය හොඳින් හඳුනාගත යුතුය, ගැලවීම ඇත්තේද එතනමය
- මෙම සිතිවිලිවල විවිධ රටාවන් නැති අතර ඒවා හඳුනා ගැනීම සඳහා මනා ධර්ම අවබෝධයකින් යුක්ත විය යුතුය
- ආයතන හරහා සිදුවන ගනුදෙනුවල සමානකම් ඇත
- සසර ගත සෑම සත්ත්වයාටම පොදු වූ ක්ලේශ ( රාග, ද්වේශ, මෝහ ) පවතින්නේ එම නිසාය, එනම් මේවා පොදු වූ ධර්මතාවයක් මිස පුද්ගල අනන්‍ය නොවේ
- මේවා දුරු කළ නොහැකි නම් බුදු කෙනෙක්, ඔබට අපට සිතාගැනීමට පවා නොහැකි තරම් පෙරුම් පුරන්නේ නැත
- දුරු කළ හැකි මෙම ක්ලේශ වහ වහා දුරු කොට ඒ අමා මහ නිවනට පත්වීම ඔබ අපගේ එකම චේතනාව විය යුතුය...
008. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
- පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය
- නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන් සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයක් යොමු වීම ප්‍රධාන වාසියකි
- පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය
- පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින්, කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය
- සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය
- පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක් ද වනු ඇත
- ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම් ද හේතුවක් වනු ඇත
009. මස් වලට ඇති කැමැත්ත ඇස අනුබද්ධයෙන්
- ඇසින් සරලව රූප දැකීම සිදුවේ
- එක් කෙළවරක් රූපයේ අන්තය ගනී. ජීවියෙක් වුවහොත් එහි ඇත්තේ සෘජුවම මස්ය
- අජීවී දෙයක් ගතහොත් එය වක්‍රාකාරව මස් වලින් සැකසී ඇත
- මක්නිසාද ජීවීන් දිරාපත් වීම, පසුව ඒවායේ කොටස් පරිසරයට එක්වීම
- අනෙක් අන්තය මස් ඇසයි. එය සෘජුවම මස්ය
- එනම්, රූප දැකීම සඳහා මස් සෘජුවම හෝ වක්‍රාකාරයෙන්, අන්ත දෙකක් ඔස්සේ දායක වෙයි
- එනම් ඇළ දොළ ගංගා දැකීමට ආශා වීම, වාහන වලට ආශාවීම, මිනිසුන්ට ආශාවීම ආදී ඕනම ආශාවක්, මස් වලටම ආශාවීමක්ය
- මෙය හොඳින් නුවණින් මෙනෙහි කොට වටහා ගත යුතුය...
- හොඳින් වටහා ගත් විට ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කළ හැක...
010. සසර සහ නිවන
- සසර බැඳීම ඇත්තේ විශේෂ අද්භූත දෙයකින් නොවේ. එදිනෙදා කරන ක්‍රියාකාරකම් තුළම සිදුවේ
- එලෙසම නිවන ද විශේෂ අද්භූත දෙයක් නොවේ. එයද එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් තුළ සිදුකළ හැක
- ගැඹුරින් දැකීම යනු සරලව ඒ ඒ ක්‍රියාකාරකම් තුළ ඇති ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි
- ඒවායේ ඇති බිඳෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පලුදුවන ස්වභාවය දිරාපත් වන ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදියයි
- මේවා ප්‍රත්‍යය කර ගැනීමෙන් නොඇල්ම නම් කාරණයක් දැක්‌මේ ප්‍රමාණය අනුව සිත අභ්‍යන්තරයේ හට ගනී
- දැක්ම සකසා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය අනිවාර්ය කාරණයකි. එය නිවැරදි ප්‍රායෝගික ධර්මයක් විය යුතුය
- එවන් ධර්ම දේශනා බොහෝ ඇති අතර, මේ සඳහා ධර්ම සාකච්ඡාද බොහෝ වටින්නේ යැයි සිතමු
- අදම ආරම්භ කරන්න. ඒ ඒ ප්‍රමාණයට ප්‍රතිඵලද ලැබෙනු ඇත
- බීජයක් පොළවේ රෝපණය වී විශාල ගහක් බවට පත්වේද ධර්මයත් එලෙසම වර්ධනය වීම සිදුවේ
- තවමත් කාලය ඉතුරුව ඇත. මෙය තවත් නොවිය හැකි දෙයක් නොවේ...
011. දුකින් මිදෙන මාර්ගය
- නොයෙකුත් කුලවල ඉපදෙමින්, බුදු කෙනෙකුට පවා නොපෙනෙන අතීතයක සිට අප ගමනක යෙදුනේ වෙමු.
- ඒ අතර අපගේ ජීවිත අසාධාරණ ලෙස අහිමිකල අවස්ථා බොහෝ වේ
- අසාධාරණ ලෙස අපගේ දේපොළ පවරා ගත් අවස්ථාද බොහෝ වේ
- අබ්බගාත ජීවිතද උන්මත්තක ජීවිතද ඒ ගමන අතර අපට හිමි වී ම තිබේ
- කොපමණ දුක් සහිතව ජීවිත එකින් එක ගෙවාගෙන ආවත් ගමනෙහි කෙළවරක් හෝ අරමුණක් අපි කිසිවෙක් දැනගෙන සිටියේ නැත
- ඉහත ආදී නොයෙකුත් කාරණා ඔස්සේ අප සසරේ දුක් වින්දේ වෙමු
- බුදු කෙනෙක් විසින් මේ කාරණා හෙළිදරව් කළා පමණක් නොව ඒවායෙන් මිදීමට මාර්ගයද අපට පෙන්වා දී ඇත
- ඉදින් තවත් කුමට ප්‍රමාද වන්නේ ද?
- වහ වහා නිවන් පිණිස වූ කර්තව්‍යය සිදු කළ යුතුය...
012. තාක්ෂණයට ඔබ්බෙන් ධර්මය
- ලෝකය නොයෙකුත් ආකාරයෙන් තාක්ෂණිකව දියුණු වී ඇත
- නමුත් තවමත් සොයාගෙන නොමැති දියුණු තාක්ෂණය ලෝකය තුළ සැඟවී ඇත
- තථාගතයන් වහන්සේ දන්නා ප්‍රමාණය ඇට්ටේරියා වනය තරම් වුවත්, දේශනා කළ ධර්මය අතට ගත් කොළමිටක් තරම් යැයි දේශනා කළේය
- එනම් මේ සියලු තාක්ෂණය උන්වහන්සේ දැන නොසිටියා නොවේ
- තාක්ෂණික සොයා ගැනීමක් යනු ඇත්ත වශයෙන්ම කෙළවර වන්නේ අන්ත වූ දුකකිනි
- මෙවැනි සොයා ගැනීම් නිසා මාන්නයට පත්වන අතර මෙලොව පරලොව වශයෙන් කර්ම පොදි ගසා ගනී
- මෙම කිසිම තාක්ෂණික සොයාගැනීමකට, දුකෙහි මූලය වන ජාතිය, ජරාව, ව්‍යාධිය සහ මරණය වැළැක්විය නොහැක
- සියලු තාක්ෂණය පිළිබඳ දැනුවත් වුවත් තථාගත දේශනාව, ඒකාන්ත සැපයට ප්‍රත්‍ය වන දුකෙහි මූලය සඳහාය, එනම් නිවන සඳහාය...
013. ලේ පිපාසය
- හොඳ අධ්‍යාපනයක්, මිල මුදල්, ලස්සන, හැකියාව ආදීය සඳහා වැඩි වටිනාකමක් පවතී. මේවා ලබා ගැනීම යනු මහත් වූ දුකක ප්‍රතිඵලයකි
- උදාහරණයක් ලෙස සින්දුවක් ඇසීමේදී හොඳින් සිංදු කියන කෙනා සඳහා ඉල්ලුම වැඩිය
- හොඳින් සින්දු ගායනය යනු මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. එනම් අන්තර්ගතය දුකකි
- දුක් විඳීමේදී ලේ පිච්චීම සිදුවේ. එම නිසා ඇත්තෙන්ම කැමැත්ත ඇතිවී ඇත්තේ ලේ පිච්චීමටය
- එනම් කැමති වන්නේ ගීත රසයට නොව, අනුන්ගේ දුකටය, ලේ පිච්චීමටය. අප නොදන්නවා වුවත් එහි ඇත්තේ ලේ පිපාසය ය
- සරලව අප කැමති වන්නේ අනිකාගේ දුකටය. අන් ආකාරයෙන් ඇතිවී ඇත්තේ ලේ පිපාසය ය
- හොඳින් විදර්ශනා කරන්න. හොඳින් දකින්න. ක්ලේශයන් නැසීම සඳහා අවියක් ලෙස භාවිතා කරන්න...
014. ප්‍රවේසම
- දහම් මඟ ඉතා අපහසු එකක් නොවේ. නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම, ඒ අනුව ජීවන රටාව ධර්මානුකූලව වෙනස් කර ගැනීම තුළින් නොදැනුවත්වම ධර්මයෙහි පරිණත වීම සිදුවේ. මග ඵල ස්පර්ශ කළ හැකිවේ
- එය එසේ වුවත් එයට ලොකුම පළිබෝධයන් විය හැක්කේ ලගින්ම ආශ්‍රය කරන පිරිසය
- තම බිරිඳ, ස්වාමිපුරුෂයා, පවුල දෙමාපියන් දූ දරුවන් ඥාතීන් හිතවතුන් ආදී ඕනෑම කෙනෙක් පලිබෝධයක් විය හැක. ආයතන පරිහරණය වන්නේ ඒ අය සමග බැවිනි
- එක් එක් අය සම්බන්ධයෙන් වෙන වෙනම සිතුවිලි සන්තති ක්‍රියාත්මක වන අතර එමඟින් සිත කාර්යබහුල බවට පත්වේ. මානසික නිදහස පටුවේ. නිවන් මඟ ඇසිරීමේ ඉඩකඩද පවතී
- තත්ත්වය මෙසේ වුවත්, තමන්ට ගැටළු 1000 ඇත්නම් එය 999 කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. එවිට කාලයත් සමඟ ප්‍රශ්න නිරාකරණය වනු ඇත. අලුතෙන් ප්‍රශ්න දමා ගැනීම කිසිසේත් නොකළ යුතුය
- ඉහත කාරණයේ ප්‍රතිඵලයක් ලෙස සිතෙහි ප්‍රීතිය නිදහස මතු කර ගත හැක. නිර්වාණ දොරටුව විවෘත කර ගත හැක...
015. දෙබිඩි ජීවිතය
- දහවලේ නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වන අප රාත්‍රී කාලයේ ගිලන්වේ
- රාත්‍රී කාලයේ කායිකව ගිලන් වන අතර සිටගෙන සිටීමට පවා නොහැකිව ඇඳක් තුළ වැතිරීමට සිදුවේ
- උදෑසන වන විට නැවත ගිලන් ඇඳෙන් අවදිවන අප නැවත රාත්‍රියෙහි ගිලන් බවට පත්වේ
- ජීවිත කාලයම මෙම රෝගයෙන් පෙළෙන අප එය රෝගයක් ලෙස හෝ හඳුනා නොගන්නේ සසර එතරම් සැඩ පරුෂ නිසාය...
016. කිසිම සමාවක් නොමැත
- ලෝක ස්වභාවය ධර්මතාවයක් බැවින් කිසිම අනුකම්පාවක් නැත
- හේතු යම් සේ සැකසේද අදාළ ඵලය එලෙස වේ. ඒ අනුව ඊට අදාළ කාරණා සිද්ධවේ
- උදාහරණයක් ලෙස cancer එකක් ලොකු පොඩි භේදයකින් තොරව ඇතිවේ
- සසරට වැටුණහොත් කිසිම අඩු වැඩියක් නොමැතිව අදාල කාරණාවල ආකාරයට ප්‍රතිඵල සකස් වෙයි
- අපට එය වේදනාවක්ද නැද්ද යන බව සොබා ධර්මයට නොදැනේ. කිසිම අනුකම්පාවකින් තොරව ක්‍රියාත්මක වේ
- මව හෝ පියා හෝ ඝාතනය වුවහොත්, එය තත්පර කිහිපයක කාරණයකි. නමුත් ගෙවීමට ඇති දුක අප්‍රමාණ අතර කාලයද අපට සිතා ගත නොහැකි තරම් විශාල වේ. මෙහි ඇති බිහිසුණු බව වචනවලින් ප්‍රකාශ කළ නොහැක
- මේ ආකාරයේ නොයෙකුත් අසාධාරණකම් සසර තුළ ගැබ්වී ඇත
- එම නිසා ඉතා ඉක්මනින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය
017. කැමැත්ත
- වටිනාකම නිසා කැමැත්ත ඇතිවෙනවා නොව කැමැත්ත නිසා වටිනාකම ඇතිවේ
- කොපමණ කැමැත්තක් පවතීද, එපමණ ප්‍රමාණයක දුකක්ද පවතී
- උදාහරණයක් ලෙස පින්පල් එක, කුරුලෑව, විසප්පු ආදී විවිධ නම් අනුව වටිනාකම වෙනස් වෙයි
- එම නිසා, තමන්ගේ කැමැත්ත පාලනය කිරීම සඳහා ඒ දෙස දකින ආකාරය බොහෝ උපකාරී වේ
- මේ ආකාරයෙන් මුල් අවධියේ සිත මෙල්ල කළ යුතුය. සිතේ දුර්වලතා හඳුනාගත යුතුය. සිතෙහි පවතින නොයෙකුත් ලක්ෂණ හඳුනාගත යුතුය. කාලය සමඟ සිතේ සමාහිතභාවය ඇතිවේ
- වටිනා කාලය අපතේ නොයවන්න
- මරණය ඕනෑම අවස්ථාවක පැමිණිය හැක
- එම නිසා, අද අදම ඉන්නා තැනින් ඉහළට එසවීම සඳහා වීරිය කරන්න...
018. වහල් භාවය
- 365 දවසෙම ජීවිතය පුරාවටම උදේට, දවල්ට, හවසට ආහාර ලබා දිය යුතුය. වැඩිදුරටත්, මිලදී සකසා ලබාදිය යුතුය
- විටින් විට ජලය ලබාදිය යුතුය
- මළ මුත්‍ර පිටකළ යුතුය
- පිරිසිදු කළ යුතුය. ඇඟ සේදීම, මුහුණ සේදීම, නෑම ආදී වශයෙනි
- නඩත්තු කළ යුතුය. නියපොතු කැපීම, කොන්ඩේ කැපීම, රැවුල කැපීම, දත් මැදීම ආදී වශයෙනි
- මේ ආදී වශයෙන් අප ජීවිත කාලය පුරාම වහලෙක් ලෙස ජීවත් වුවත් ඒ බව නොපිළිගනියි. එය තවත් වහල් භාවයකි
- මේ කය අනුබද්ධයෙන්ය. තවත් වහල් භාවයන් බොහෝය. හොඳින් විදර්ශනා කර වටහාගන්න
- කෙලෙස් නැසීම පිණිස භාවිතා කරන්න
019. අසූචි ගොඩක ඇති කඩල ඇටය
- රාගය යනු සත්වයා සසරට බැඳ තබන ඉතා ශක්තිමත් හුයෙකි
- කොපමණ වින්දනය කලත් කෙළවරක් නැත්තේය
- කීර්තිය, ධනය, කාලය, නඩු හබ ආදිය සහ තම ජීවිතය හෝ අවසාන වශයෙන් නිවන පවා අහිමි කළ හැක
- රාගය ඉතා කුඩා තත්ත්වයේ සිට මහා විශාල Tornado තත්ත්වයක් දක්වා දරුණු විය හැක
- රාගයෙහි වින්දනය අසූචි ගොඩක ඇති කුඩා කඩල ඇටයක් තරම් දෙයකි. අසූචිය පිහිදා ගඳ උසුලා ආහාරයට ගන්නා මෙනි
- ප්‍රත්‍යක්ෂයේ ඉදිරියෙහි හොඳින් දමනය වෙන රාගය මැඩලීම සඳහා පිළිකුල අසුභය ආදී නොයෙකුත් සංඥා මරණානුස්සතිය ආදීනව අසාර භාවය නිරතුරුව මෙනෙහි කළ යුතුය
- හරයක් නොමැති රාගය පසුපස ගොස් මුලා නොවන්න
020. මතකය
- නිරතුරුව සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය. සසර ගමනට යම් හේතුවක් හැදෙනවා නම් එම ක්‍රියාව වැරැද්දක්ය
- සසර ගමන වැළැක්වීම පිණිස යම් ක්‍රියාවක් හේතු වෙනවා නම් එය නිවැරැද්දක්ය. මේ වැරැද්දේ සහ නිවැරැද්දේ නිරුක්තියයි
- වැරැද්දක් කිරීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී. සසර පුරුද්ද ද එය බැවිනි
- නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ඉතා බරපතල කාරණයකි. එම මතකය රිය සක ලෙස විටින් විට මතුවෙමින් පසුපසම හඹා එයි
- මරණ මොහොතේදී එම කාරණය එළඹුනහොත් සිදුවන්නේ විනාශයකි. මෙය සෘජුවම චුති සිත හා බැඳී පවතී. සුළු කොට නොසලකන්න
- මනසට වද දෙන එම මතකය ඉවත් කිරීමට කිසිම විශ්මිත ක්‍රමයක් නැත
- එම මතකය ඉවත් කිරීමේ හොඳම ක්‍රමය වැරැද්ද නොකර සිටීමයි
- තමන්ගෙන් වැරැද්දක් නොවීමට වග බලා ගන්න. මෙලොව පරලොව සැනසීම ලැබෙනු ඇත
021. නිරෝගීකම
- සෑම ලෞකිකයක්ම නිරෝගීකම කෙළවර වනතුරුය
- කාමයන් පසුපස හඹා යන මිනිසුන් නිරෝගීකම නැති වූ විට මහත් සේ පීඩාවට පත්වේ. කනස්සල්ලට පත්වෙයි
- නිරෝගී කමද අතීතයේ එක්තරා හේතුවක ප්‍රතිඵලයකි. ධර්මයට ආයෝජනය බොහෝ ආනිසංස වේ
- මතක තබා ගන්න, නිරෝගීකම සැමදාම නොපවතී. ධර්මාවබෝධයට ද ඉතා වැදගත් කාරණයකි
- නීරෝගීකම ඇතුළු සියල්ල සම්පූර්ණ වූ මේ මොහොතේ ඉතා ඉක්මනින් නිවන් දැකීමට උක්ත වූ කටයුතු සිදුකළ යුතුය
022. දිවීම සහ දැවීම
- ඉපදුන දා සිට නොයෙකුත් අරමුණු ගනිමින් ඒවා පසුපස දිව්වේ වෙමු
- අරමුණු වෙනස් වූවා මිස, Target අලුත් වූවා මිස දිවිල්ල නතර වූයේ නැත
- අරමුණක් නැතිනම් අරමුණක් නැති බව හෝ අරමුණක් කර ගැනීම මනසේ ස්වභාවයයි
- අරමුණ විය යුත්තේ සිත අරමුණු ගන්නා ස්වභාවය හඳුනාගැනීමයි. එය දිවීම නතර කිරීමේ හොඳම ආරම්භයයි
- පුද්ගල ස්වභාවය ක්ෂය වීම මගින් දිවීම මන්දනය වේ. අරමුණු හඳුනාගැනීමේ ස්වභාවය අරමුණ බවට පත්වෙයි. එය දිවීම සහ දැවීම දුරුවීමේ ආරම්භයයි
- නොපසුබට උත්සාහයෙන් ප්‍රතිපදාවේ නිරත වෙන්න. අඛණ්ඩත්වය පවත්වාගන්න
- නිර්වාණය බොහෝ දුරක, ඈතක නොවේ...
023. කණ්නාඩිය
- දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි
- මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය ස්පර්ශ කළ නොහැකිය, එයින් හඬක් ද නැත, ගඳ සුවඳක් නැත, රසයක් දැනෙන්නේද නැත
- හුදෙක් වර්ණ සමූහයකි
- මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ
- පෙනුණ, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය, නුවණෙහි ඇති මඳකමකි
- අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
- ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක
- විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී
- තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි
- මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි
- නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටහා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...
024. නැවතීම
- කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ
- නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
- නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය
- නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක
- ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක
- එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත
- සෑම දිනකම ඉන්නා තැනින් ඉහළට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
025. ගංගාව සහ ද්වයතාවය
- ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත
- ගඟ හුදකලාව ගලා බසි
- පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
- එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි
- ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුණේ ද නැත
- පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි
- තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එකවිට එකවර හටගනී. එකවිට නිරුද්ධවේ
- ජීවිතය නමැති ගංගාවේ ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු
026. මයිනහම
- අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි
- සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තිය ක්‍රමානුකූලව අඩුවේ
- අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ
- හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ
- දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය
- හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය
- මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනාකමක් ද ?
- මෙහි වටිනාකම මයිනහම නොඉක්මවන්නේය
- එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ
- ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
027. වස්තුව සහ ප්‍රතිබිම්බය
- ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී
- උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත
- බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක
- එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විඳ ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි
- තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි
- අන්තර්ගතය හිස් ස්වභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි
- තවදුරටත් අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
- ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය
- ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි
- ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
028. පැහැදිලි කිරීම
- අතීතයේ සිදුකළ දෙය වර්තමානයේ ඵලයක් ලෙස ලැබෙයි
- ලබන්නෙක් සිටියොත් එය කර්මයක් ලෙස ඉස්මතු වී පෙනෙයි
- ලබන්නෙක් නොසිටියොත්, හේතුඵල ලෙස හඳුනාගතහොත්, එය හුදෙක් ඵලයක් පමණක් වේ. එහි ඇති කර්ම ස්වභාවය යටපත් වේ
- එසේම දුකක් එළැඹෙන විට, දුකක් ලෙස නොහඳුනන අතර එය හේතුඵලයක් ලෙස හඳුනා ගනී
- එවිට එය දුකක් නොවේ. සැපක්ද නොවේ. හුදෙක් ඵලයකි
- සියල්ල හුදෙක් හේතුඵල ක්‍රියාවලියකි. එයද හඳුනා ගැනීමක් පමණි. එපමණකි
029. ගල
- ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
- මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටිම් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි
- ධර්ම මාර්ගයද එලෙසමය. කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ
- එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න
030. වටිනාකම
- බුද්ධ කාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු
- නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක
- පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ
- උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත
- කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විඩාවට පත්වනු ඇත
- "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිදිනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කළ නොහැක
- එම වචන කිහිපය තුළ සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී
- එය අපට වචන කිහිපයක් ලෙස පෙනුණද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිරිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න
031. සැපය
- සැපයක් ලබා ගැනීමේ උත්සාහයට පෙර එය හොඳින් හඳුනාගත යුතුය. නැතහොත් සැපය යැයි දුකකටම මුලා වනු ඇත
- සැපයෙහි අර්ථ දැක්වීමේ සිටම මුලා වී ඇත
- සැපයක දුක මිශ්‍ර නොවිය යුතුය
- සැපයක් නම් එය ඕනෑම කාලයක් භුක්ති විඳිය හැකි විය යුතුය
- මිලදී ලබා ගන්නක් තුළ සැපය තිබිය නොහැක. මිල වශයෙන් දුක මිශ්‍රිතව පවතින බැවිනි
- තමා සතු සැපය තමන්ට අනන්‍ය විය යුතුය. වෙනත් කෙනෙකුට ලබා ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය
- සැපය, අඩු වැඩි ලෙස පැනවීමක් ඇත්නම් එය සැපයක් නොවේ. එනම් සැපයක වෙනස් වෙන ස්වභාවයක් තිබිය නොහැක
- ජාති, ජරා, ව්‍යාධි හා මරණ ආදී ලක්ෂණ ඇත්නම් ඒවා තුළ සැපයක් තිබිය නොහැක
- දුක හඳුනා ගැනීම සැප හඳුනා ගැනීමට ඇති තවත් මගකි
- අප සැප ලෙස හඳුනාගෙන ඇත්තේ දුකකට සාපේක්ෂව තවත් දුකක්මය
- විදර්ශනා මාතෘකාවක් පිණිස ඉදිරිපත් කරන ලදී
032. කූඩැල්ලා
- එක් ස්ථානයක් අත හරියි. තවත් ස්ථානයක් අල්ලා ගනියි. අනෙක් ස්ථානයක වටිනාකම වැඩිවන විට ඉන්නා ස්ථානය අතහැරීම සිදුකරයි
- වටිනාකම පවතිනතුරු ගමන නොනවතී
- අන් ස්ථානයක වටිනාකම නැති වූ විට ඉන්නා ස්ථානය, සමබර වේ, මධ්‍යස්ථ වේ, ස්ථායී වේ, ගමන නවතී
- අල්ලාගෙන ලෙස පෙනුණද එහි අල්ලා ගැනීමක් නොපවතී. ඒ වෙනුවට සමබර බවක් මධ්‍යස්ථ බවක් ඇතිවී ඇත
- සිතක්ද එලෙස ක්‍රියා කරයි. කොපමණ වටිනාකමක් ඇත්ද, එපමණ ගමනක් ඇත
- වටිනාකමට මුල් වූ හේතු නැතිවන විට, මධ්‍යස්ථ බව නම් අලුත් ධර්මතාවයක් ඇතිවන අතර, බැඳීම නොබැඳීමක් නොවී එම ධර්මතාවය අහෝසි වේ. සත්ව පුද්ගල බව කෙළවර වේ
- වටිනාකම අඩු වීම, ගමනෙහි මන්දනයට හේතුවන අතර ගමන නතර වීමටද හේතුවේ
033. මැග්නට් එක
- කාන්දමක් සැලකූ විට එහි ඇලීමේ මෙන්ම ගැටීමේ ලක්ෂණ ඇත
- ඇලෙන දේ හා ගැටීමට වැඩි නැඹුරුවක් ඇති අතර ගැටෙනදේද එසේමය
- එමෙන්ම යම් කුලකයක් හා එහි ඇලීමක් නැති, ගැටීමක්ද නැති ලක්ෂණයක්ද පවතී
- පුද්ගලයෙක් තොර, ඇලීමක ගැටීමක ධර්මතාවයක් පවතී
- විදර්ශනාව පිණිස ඉදිරිපත් කරන ලදි
034. රැවටීම
- රැවටීම පිළිබඳ වැටහීම නිවන හා සෘජුවම සම්බන්ධ කාරණයකි
- රැවටීම සිදුවන්නේ රැවටෙන බව නොදන්නා තුරුය
- රැවටීම දන්නා බව තුළ ඇති රැවටීමක් නැත. හිතාමතා උත්සාහ කළත් රැවටෙන්නේ නැත
- එසේම ක්ලේශයන් නොහඳුනන කල් ඒවා ක්ලේශ වන අතර හඳුනන ක්ලේශයන් ක්ලේශ නොවේ
- නමුත් සිත පෙන්වන්නේ හඳුනන ක්ලේශද ක්ලේශ ලෙසය. එය ප්‍රබල ක්ලේශයකි
- වෑයම් කළ යුත්තේ රැවටීම දුරු කිරීමට නොව ,රැවටීම හොඳින් හඳුනාගැනීමටයි. හඳුනාගත් රැවටීමකට පැවැත්මක් නැත. නොබෝ කලකින් දුරුව යන්නේය
035. නොඇලීමේ ඇති ඇලීම
- නොබැඳීම යනු එක්තරා බැඳීමකි. නොබැඳීම ලෙස බැඳී ඇත
- උදාහරණ ලෙස ඇලීම නැති කරන විට ප්‍රතිඵලය ගැටීම නම් ඇලීමේ ස්වභාවය මාරුවීමක් පමණක් සිදුවී ඇත. එනම් ගැටීම ලෙස ඇලීම එලෙසම පවතී
- නිදහස් වීම සිදුවන්නේ ඉහත අන්ත දෙකක් ලෙස පවතින ඇලීමේ ධර්මතාවය දුරු කිරීමෙනි
- එය සිදුවන්නේ ඇලීම කුමක්දැයි හඳුනාගෙන එයට හේතු කාරණා දැන ගැනීමෙනි
- මෙම හේතු කාරණා දැන ගැනීම නැණ පමණින් සිදුවේ. උදාහරණ ලෙස ඇසට පෙනෙන රූප, රූප ලෙස නොව හුදෙක් වර්ණ පමණක් බව දැක ගැනීමට සිදුකරන වෑයම
- මෙහි ප්‍රතිඵල ලෙස ඇලීම දුර්වල වීම ආදිය සහ අවසානයේ ඇලීම දුරුවීම නැණ පමණ අනුව සිදුවේ
- දැකගැනීම සඳහා වෑයම අවශ්‍ය වේ. දුරුවීම නිරායාසයෙන් සිදුවේ
036. නොමැරෙන මිනිසුන් නොවෙමු
- මරණය ඒකාන්තයෙන් පැමිණෙන්නේය
- මව, පියා, ස්වාමියා, බිරිඳ, නෑදෑයන් සහ හිතවතුන් ඒකාන්තයෙන් අහිමි වන්නේය
- අපේ ඔප්පුව ලෝකෙට අයිති මිස, ලෝකයේ කිසිම ඔප්පුවක් අපට අයිති නැත
- ලෝකයේ පාලනයේ අපි සිටිනවා මිස, අපේ පාලනයේ ලෝකය නැත
- අපේ මරණයේ තීරකයා අප නොව, එහි තීරකයාද ලෝකයයි
- අපට කළ හැකි කිසිවක් නොමැත. පොර බැඳීමෙන් ඇති ඵලක් ද නැත. අවසානයේ උරුම වන්නේ දුකමයි
- කළ හැකි දේ වන්නේ ලෝක ධර්මතාවය පිළිගෙන එම ධර්මතාවය බවටම පත්වීමයි
037. අසාර භාවය
- ගසක සාරවත් භාවය නිගමනය කල හැක
- විඤ්ඤාණය කොපමණ සාරවත්දැයි නිගමනය කළ නොහැක
038. නිගමනය
- රූපය පිළිබඳ නිගමනයට පැමිණෙන්නේ බාහිර ස්වරූපය බැලීමෙනි
- බාහිර 1mm ක සම ඉවත් කළ විට එම නිගමනය කොපමණ වෙනස් වේද එපමණ මෝහයක් පෙර නිගමනය තුළ ගැබ්ව පවතී
- වර්ණයෙන් යුත් රූපය විෂම ලෙස හඳුනා ගැනීම, ඒ පිළිබඳ තමා තුළ ඇති ප්‍රතිරූපයෙන්ද පෝෂණය වී සැප සුභ ආත්ම ආදී විචිත්‍රවත් පිළිබිඹුවක් දර්ශනය කරයි
- සසර ගත පුරුද්දෙන්ද ශක්තිමත් වන මෙම පිළිබිඹුව හා බැඳී ඇති මෝහය ඉවත් කිරීම පහසු නොවේ
- නමුත් ඉතා ප්‍රබල ඉතා දුර්ලභ තථාගත ආශිර්වාදය අපට ලැබී ඇත. අපට සසරේ කිසි දිනෙක නොහැකි වූ සසරින් මිදීම සිදු කිරීමට කාලය එළඹ ඇත
- එම නිසා සෑහීමට පත්වීම, ඉවසීම, වීර්යය ආදී නොයෙකුත් ගුණයන් පුරුදු කරමින් නුවණින් යුතුව නොනැවති ඉදිරියටම සටන ගෙන යායුතුය
039. පසුබට උත්සාහය
- නිවන් මාර්ගයට පළිබෝධයක් වන ප්‍රමාදයට තුඩුදෙන පසුබට වීම දුරු කිරීමට වෑයම් කළ යුතුය
- ලෞකික අරමුණු වල වටිනාකම නිවන් අරමුණට වඩා වැඩි විට නිවන් මගට පසුබට වීම සිදුවේ
- විඳීමෙහි ඇලුණු සිතෙහි ස්වභාවය පසුබට වීමය. අවසිහිය ඇතිවීමය
- මොහොතක සුවයක් ලබා දෙන කාම අරමුණු, විදීමෙන් කෙළවර කළ නොහැක. විඳීම වෙනුවට හඳුනා ගැනීමම කළ යුතුය
- හඳුනාගත් කාමයන් ඉතා ඉක්මනින් දුරුව යෑම ධර්මතාවයකි
- විඳිය හැක්කේ නොහඳුන කාමයන් පමණි. හඳුනාගත් කාමයක් තවදුරටත් කාමයක් නොවන අතර විඳීමට ද නොහැකිය
- කාමයක් විඳීමට කැමැත්තක් ඇත්නම් එය තවමත් හඳුනාගෙන නොමැත. හොඳින් හඳුනා ගැනීමේදී කාමයන් දුරුවනු ඇත
- කාමයන් ලබාදී සිතක් තෘප්තිමත් කළ නොහැක. එය සිතක ඇති ලක්ෂණයකි. තවද එය ලෝක ධර්මතාවයකි
- එම නිසා තෘප්තිමත් කළ නොහැකි සිතට කාමයන් ලබාදීමට පසුබට විය යුතු අතර නිවන් මඟ සඳහාම නොපසුබට විය යුතුය
040. ධර්ම ශ්‍රවණය
- ධර්ම ශ්‍රවණය, නිර්වාණය සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි
- නමුත් එම ධර්මය අසන සංඥාව පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය
- ශ්‍රද්ධාව හා අවබෝධය බැඳී පවතී
- අධර්මයක් වුවත් එය අසන සංඥාව මගින් එය වටිනා ධර්මයක් බවට පරිවර්තනය කළ හැක
- නිවැරදිම ධර්මයක් වුවත් ඒ කෙරෙහි තමා තුළ ඇති සංඥාව මගින් එම ධර්මයද අධර්මයක් බවට පත් කළ හැක
- මෙය වචන කිහිපයක් වුවත් මේ පිළිබඳ නොසැලකීම ජීවිත කාලය පුරාම ධර්මයක් අවබෝධ නොවීමට හේතුවද විය හැක
- ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගරුත්වයෙන් ධර්මය ශ්‍රවණය කළවිට නිවන් ගමන ඉතා පහසුවනු ඇත
041. මගියෙකු නොවන්න
- නැවක් තුළ සිටින මගියෙකුට පියවර තැබිය හැකි වුවත් ගමන් කළ නොහැක
- එලෙසම උදාහරණයක් ලෙස, සිතිය හැකි ලෙස වැටහුණත් තමන්ට සිතිය නොහැක
- එය වෙනත් ධර්මතාවයකින් පාලනය වේ. ඒ බව නොදන්නාකම දුකට පත්වීමට ප්‍රධාන හේතුවකි
- නැවෙහි ගමන, මුහුදු රැල්ල සුළඟ ආදී බොහෝ හේතු මත රඳා පවතී. ඒ සියලු හේතු වලට මගියාද යටත්වේ
- එසේම සිතක සිතිවිලි, ඉන්නා ස්ථානය ගැහැණු පිරිමි ලොකු කුඩා අතීතය දහවල රැය ආදී නොයෙකුත් හේතු අනුව හටගනී
- මගියකු ලෙස සිතා මුළාවට පත් නොවී, මගියෙකු යන බවත් ලෝක ධර්මතාවයක් ලෙස සලකාගත යුතුය
- කර්මයන්හි විපාකයන් ගෙවී යන අතර අලුත් කර්ම නොකිරීමට පමණක් වග බලා ගත යුතුය
- මගියෙකුට ගමනෙහි පාලනය නැත. එය දැනගැනීමම ඉන් මිදීමට ප්‍රමාණවත් වේ
042. රූපවාහිනිය
- රූපවාහිනිය දෙස නොයෙකුත් දිශාවල සිට බැලිය හැක
- නමුත් සෑම දිශාවකම සිට නැරඹීම කළ නොහැක
- එසේම ක්ලේශයන් දුරු කිරීම සඳහා ඒවා දකින කෝණය වැදගත්ය
- වෙනත් කෝණයකට වුවද ක්ලේශයන් පෙනෙන අතර දුරු කිරීම එම කෝණයෙන් කළ නොහැක
- ඒ ඒ මොහොතේ එදිනෙදා කටයුතුවල සිදුවන ක්‍රියාකාරකම් අනුව ක්ලේශයන් හෝ කර්මයන් හට ගනී
- නොපෙනුණ දේ නොඇසුණු දේ නොහඳුනන දේ අරඹයා ක්ලේශයන් හට ගන්නේ නැත
- ළඟින්ම ඇසුරු කරන පිරිස සමග වැඩිපුර ගනුදෙනු සිදුවන බැවින් කර්මයක් ඇතිවීමේ වැඩිම අවධානම ඇත්තේ එතනය. ප්‍රවේසම් විය යුත්තේද එතනය
- දකින කෝණය කර්මයක් නොහැදෙන කෝණයක් විය යුතුය. ශාසනය තුළ නොයෙකුත් විදර්ශනා ක්‍රම ඇත. පුරුදු කරන්න
043. විවාහය
- විවාහය තුළින් පුද්ගලයාට උරුම වන සම්ප්‍රයුක්ත සැපයක් නැත
- නොසන්සිඳෙන ආශාව පිනවීමට කොපමණ උත්සාහ කළත් එහි කෙළවරකට පැමිණීමක්ද නැත
- තනිකම, පාළුව යන විසඳිය හැකි එක ප්‍රශ්නයක් වෙනුවට, විසඳිය නොහැකි ප්‍රශ්න පොදියක් ලබා ගැනීමකි
- නිදහසේ බිම තිබූ කළු ගලක් කර මත තබා බැඳගැනීමක් වැනිය
- නිදහසට මෙන්ම නිවනටද උවදුරකි. ප්‍රශ්න උත්පාදකයකි
- එක් අඹයක් වෙනුවෙන් අඹ වත්තක් බලා ගැනීමක් වැනිය
- පිළිකුල තුළ නොපිළිකුලින් සිටීමකි. පසුතැවීම ඇති කරයි
- පතුල සිදුරු වූ පනිට්ටුවක් වැනිය. දමන කිසිම දෙයක ඉතිරි වීමක් නැත
- හුදෙක් සැප සංඥාවෙන් දුක් විඳීමකි
- ආදීනව සංඥාව මතුකිරීම පිණිස ඉදිරිපත් කරන ලදි
044. පැහැදිලි කිරීම
- මලින්, කොළයෙන් හා ජලයෙන් සිත ආකර්ෂණය කර ගැනීමට පොකුණක් සමත් වේ. එම අලංකාරය බාහිරට පෙනුණද අභ්‍යන්තරයේ එවැන්නක් නොමැත
- අන් ආකාරයෙන් පොකුණ යනු සත්වයන් ජීවිතය වෙනුවෙන් පොර බඳින ස්ථානයකි. මරණාසන්න සත්වයන් පණ අදින ස්ථානයකි. කිසිම අනුකම්පාවක් නොමැති ධර්මතාවයක් මේ තුළ ක්‍රියාත්මකවේ
- ගුවන, ජලය හා ගොඩබිම ලෙස ක්‍රියාත්මක වන යුද පිටියකි. තවද සොහොන් පිටියකි. වධකාගාරයකි
- උදේ දකින සත්වයන් සවස බොහෝ විට නොමැත. දවසක් අවසාන වන විට බොහෝ සත්ත්වයන්ගේ ජීවිත අහිමිව ගොස්ය
- සිහිය නිසා, නීරෝගිකම නිසා, කාය ශක්තිය නිසා සත්වයන් පිරිසක් අපහසුවෙන් සුළු කාලයකට ජීවිත බේරා ගනී
- මේවා තුළින් මෙවැනි ධර්මයක් මතු කර ගන්නා යෝගාවචරයා මේ අපගේ අතීත ඥාතියෝය, මිත්‍රයෝය, නිවන මගහැරුණොත් අපගේ ඉරණමද මෙයමය ආදී ලෙස සිතන්නේය
- කලකිරීම ඇතිකර ගන්නේය. සසර බිය මතු කරගන්නේය. වීරිය වඩා මගඵල වලට පත් වන්නේය. සසර දුකින් අත මිදෙන්නේය
045. කළ හැකි දෙයක් නැත
- බුදුබණ නොමැති කල ඉපදීමේ සිට මරණය දක්වාම සත්වයා මුලාවේ, දුකට පත්වේ
- දුකින් මිදීමට ගන්නා සෑම වෑයමකින්ම සිදුවන්නේ මුලාවේ ස්වභාවය මාරුවීමක් මිස දුකින් මිදීමක් නොවේ
- ශරීර අංග, සමේ වර්ණය පවා තමන් තීරණය නොකළ අතර කුමක්දෝ ක්‍රමයකින් ලැබී ඇත. ඒ හා එකඟ වීම විශ්මයජනකය
- ලෝකය අනුගමනය කරමින් මුලාවීම, දුකට පත්වීම සැමදා සිදුවූ, බිය ඉපදවිය යුතු කාරණයකි
- සිතිවිල්ලක් නොමැතිව සැපක දුකක පැවැත්මක් නැත
- අපගේ පැවැත්මෙන් ලෝකයට ඇති වැඩක් නැත. අපේ වටිනාකම ඇත්තේ අපටම පමණි. එයත් හුදෙක් මුලාවූ සිතිවිල්ලකි
- අන් ආකාරයෙන්, සැපෙහි වෙනස් වීමෙන් එකක් දුකක් වන අතර, දුකෙහි වෙනස් වීමෙන් එකක් සැපක් වෙයි. අන්ත දෙකෙහිම අන්තර්ගතය මුලාවයි
- වටහා ගත යුතු කාරණය, සිදුවන දෙයක් ඇත. කළ හැකි දෙයක් නැත
046. 'මම' නැමැති දෘෂ්ටිය
- ඉපදීමේ සිට මරණය දක්වාම 'මම' කරන දෙයක් නැත
- ඉපදෙන මොහොතේදී පිහිටිය යුතු ශරීර අංග, ඉපදෙන ස්ථානය, කුලය 'මම' කිව්වේ නැත. එය හේතුඵල ලෙස ලැබුණා පමණි
- කුඩා කාලයේ සිට ඉගෙන ගත්තේ 'මට' අවශ්‍ය නිසා නොවෙයි. එය සමාජය අවශ්‍යතාවක් ලෙස පෙන්වූ නිසාය
- වැඩි වයසේදී රැකියාවක් කළේත් 'මට' අවශ්‍ය නිසා නොවෙයි. ජීවිතයේ පැවැත්මට, සමාජය ගෙන ආ සංකල්ප නිසාය
- නිසි වයසේදී විවාහ වන්නේ 'මට' අවශ්‍ය නිසා නොවෙයි. නිසි වයස තීරණය වූවේත්, විවාහය අවශ්‍ය වූවේත් සමාජ-සංස්කෘතියේ සංකල්ප නිසාමය
- මෙසේ බැලූ කල 'මම' කළ දෙයක් මෙහි නැත. 'මට' කළ හැකි දෙයක් වුවේද නැත
- ලෝකයේ පැවැත්ම උදෙසාම වූ සංකල්ප සමඟ ඒවාට යටත්ව 'මම' කල් ගෙව්වා පමණි
- ඒ සෑම දෙයක් සමගම 'මම' ඇලුණා, ගැටුණා පමණි
- 'මට' කළ හැකි දෙයක් නැත. 'මම' යනු හුදෙක් දෘෂ්ටියකි
047. දිශාව
- ලෝකයේ යා හැකි දිශාවල් විශාල ප්‍රමාණයක් පවතී. නොයෙකුත් තෝරා ගැනීම් පවතී
- උදාහරණයක් ලෙස අධ්‍යාපනයේ කොපමණ පරතරයට ගියත් කෙළවරක් නොමැත. එම නිසා එහි සීමාවන් දැනගත යුතුය
- අධ්‍යාපනය නිවන් මඟට ද රුකුලක් වුවත් එහි ප්‍රමාණය දැනගත යුතුය. නැතිනම් මුලාවීම හෝ දුකට පත්වීම හෝ මානයේ ගොදුරක් වීමට ඉඩකඩ ඇත
- යම් උත්සාහයකින්, යම් ශිල්පයකින්, දිවි රැකෙන්නේ නම් එය නියම ප්‍රමාණයයි. අඩු හෝ වැඩිවීම දුකට හේතුවක් වේ
- නිවන් මඟ තම ජීවිතයේ ප්‍රමුඛ අංගය විය යුතුය. අනික් දෙයක් ප්‍රමුඛ වූ විට ඒ දේය අරඹයා ප්‍රතිඵල ලැබෙන අතර නිවන් මගෙහි ප්‍රතිඵල අඩාල වේ
- යා යුතු දිශාව හඳුනා ගැනීම අපහසු විට නොයා යුතු දිශාවල නොයෑම කළ යුතුය
- සිතිවිලිවල දිශාව පසුව තම ජීවිතයේ දිශාව වන බැවින් සිතුවිලි වල දිශාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය
- කාන්දම උතුරු දිශාවට දිශාගත වනවාසේම සත්වයා සතර අපාය දිශාවට දිශාගත වීම ධර්මතාවයයි
- වෑයම කිසිසේත්ම අත් නොහරින්න
048. බස් නැවතුම
- බස් නැවතුමක, බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බස් නැවතුම තුළ නිදාගන්නේ නැත
- නිරතුරුව බස් රථය පිළිබඳ විමසිලිමත්ව සිටියි
- එසේම මනුෂ්‍ය ලෝකය නැමැති නැවතුම තුළ, මරණය නැමැති රථය පැමිණෙනතුරු අපේක්ෂාවෙන් සිටිය යුතුය
- ස්ථිර ලෙස ගෙවල් සාදමින්, ඉඩකඩම් වතුපිටි රැස්කරමින් යන ගමන දෙස බැලූ විට පෙනීයන්නේ මරණය අමතකව ඇති බවය
- නමුත් මරණය ලොකු කුඩා බේදයක් නොමැතිව ඕනෑම මොහොතක, අනපේක්ෂිත ලෙස පැමිණිය හැක. බස් රථයක් අපේක්ෂාවෙන් සිටින මගියෙකුසේ අවධානයෙන් සිටින්න
- අප මරණයේ උරුමකරුවෝ වෙමු
049. ධර්මතාවය
- තරහව මම නම්, තරහව දිගටම පැවතිය යුතුය. තරහව නැති වන මොහොතේ, මම නොපැවතිය හැකි බැවිනි
- තරහ යන ස්වභාවය තමන්ගේ නම්, එය අනුන්ට තිබිය නොහැක
- තරහ යන බව අන් අයටද පවතී. එනම් එය තමන්ට ආවේණික නොවේ
- තරහ යන බව තිරිසන් සහ අනෙකුත් සත්වයන්ටද පවතී. එනම් තරහ යන බව සත්වයන් අතර පොදු ස්වභාවයකි
- මට අනන්‍ය දෙයක් නොවන බැවින් මගේ නොවේ
- තරහ යන සිදුවීමක් නැතුව තරහගත නොහැක. තරහ ගත හැකිනම්, සිදුවීමක් නැතිවද තරහව ගත හැකි විය යුතුය
- එනම් තරහව මගේ පාලනයේ ඇති දෙයක් නොවේ
- එනම් මේවා, මම නොවන, මගේ නොවන, මට පාලනය කළ නොහැකි පොදු වූ ලෝක ධර්මතාවයන්ය
- ඉර පායනවා සේ, වැස්ස වහිනවා සේ, ඇළ දොළ ගලනවා සේ තවත් එවැන්නකි
050. බුද්ධිමත් බව
- ගසකට විශාල බුද්ධියක් පැවතිය යුතු බව, ගසක සමබරතාවය දෙස බැලූ විට පෙනේ
- සෑම කොළයකටම අවශ්‍ය ජලය ආදිය කිසිදු අමතක වීමක්ද නැතිව නිවැරදිව ප්‍රවාහනය සිදුකරයි. එකදු කොළයක්වත් අමතක වන්නේද නැත
- එනම් පුද්ගලයෙක්ගෙන් තොරව බුද්ධිමත් බව ක්‍රියාත්මක වේ. එනම් බුද්ධිමත් බව සඳහා කෙනෙක් අවශ්‍ය නොවේ
- බුද්ධිමත් බව ඇති නිසා කෙනෙකු ඉන්නවා යන දෘෂ්ටිය බිඳ දැමීම සඳහා ගස කදිම උදාහරණයකි
- බුද්ධිමත් බව, මතකය, උපක්‍රමශීලීත්වය, කපටිකම ආදී දෑ පුද්ගලයෙක්ගෙන් තොරවද සොබාදහම තුළ ක්‍රියාත්මක වේ
- විදර්ශනා කමටහනක් පිණිස ඉදිරිපත් කරන ලදි
051. අසාධාරණය
- සීලය, සමාධිය, ප්‍රඥාව ලෙස පුරුදු කරමින් සමස්තයක් ලෙස අප සිදු කරන්නේ චුති සිත නිවැරදි කිරීමය
- මරණීය මොහොත ඉතා තීරණාත්මකය. නිවන, නිරය හෝ කර්ම ශක්තිය අනුව ජාතිය තීරණය වන මොහොතකි. ඉතා භයානකය
- මෙහිදී හානිකර මතකයන් නොතිබීම ඉතා වැදගත් කාරණයකි. කර්මයන් කර, මතකය මකා දැමීමේ ක්‍රමයක් නැත
- සුළු වෙලාවක් තුළ සිදුවන වැරැද්දක් එලෙසම සුළු වෙලාවක් තුළ විපාක දීම සාධාරණය. නමුත් එය එසේ නොවේ. කර්මය අසාධාරණය
- මතකයක් ලෙස ජීවිත කාලය පුරා පීඩාවට පත් කරන අතර, පරලොව ජීවිත ද දුක්ඛ සහගත කරයි. මේවා කර්ම පථ ලෙස ක්‍රියාත්මක වේ
- එම නිසා සුළු වැරැද්දක් පවා ඉතා බරපතල ලෙස දැකිය යුතුය. ආදීනව දැකිය යුතුය
- බේරීමට හොඳම ක්‍රමය වන්නේ අදාල කර්ම නොකර සිටීමයි. ඉතා ඉක්මනින් අවබෝධයන් කරා ළඟා වීමයි
052. පැහැදිලි කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම
- පැහැදිලි කිරීම් වල අඩංගු වන්නේ බොහෝවිට අප දන්නා කාරණාමය
- නමුත් මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන්, සිතිවිලි ප්‍රවාහය ධර්මානුකූල දිශාවකට යම් කාලයකට යොමු වීම ප්‍රධාන වාසියකි
- පැහැදිලි කිරීම් දෙස දකින ආකාරය ඉතා වැදගත්ය
- පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි කමක් තිබුණහොත්, එය දැන්වීම ඔබගේ වගකීමක් වන අතර වෙනත් ආකාරයකින් කෙනෙකුගේ අඩුවක් දරාගැනීමේ ගුණය ලෙස ගුණයක් දියුණු කළ හැකිය
- සියල්ල සාපේක්ෂ බැවින් ඕනෑම පැහැදිලි කිරීමක ධර්මයක් දැකිය හැකි අතර අන් ආකාරයෙන් අඩුවක්ද දැකිය හැකිය
- පැහැදිලි කිරීම් සඳහා ඔබගේ යම් අදහසක් ඇත්නම් එය ඉතා වැදගත් වන අතර, දැන්වීම ධර්ම සාකච්ඡාවක්ද වනු ඇත
- ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමට මෙලෙස සිදුවන පැහැදිලි කිරීම්ද හේතුවක් වනු ඇත
053. ප්‍රවේසම් කිරීම
- ප්‍රවේසම් කිරීමට බොහෝ දෑ ඇත. එදිනෙදා ජීවිතයේ කායික මෙන්ම භෞතිකව නොයෙකුත් ආකාරයේ ප්‍රවේසම් කිරීම් ඇත
- කය නොයෙකුත් ලෙඩ රෝග වලින් ප්‍රවේසම් කිරීම, පත් විය හැකි දුක් පීඩා වලින් ප්‍රවේසම් වීම පිණිස වෑයම වැනි කායික ප්‍රවේසම් කිරීම්ය
- තමන් සතු වටිනා භාණ්ඩ, මිල මුදල්, දේපල ආදිය සොර සතුරන්ගෙන් හා නොයෙකුත් විපත්වලට පත්වීමෙන් ආරක්ෂා කරගැනීමද අනෙකකි
- මෙය තුළ යම් මෝහයක් තිබීමට ඉඩකඩ ඇත. යමක් පරිස්සම් කිරීමට පෙළඹෙන්නේ එය 'මගේ' යන දෘෂ්ටිය නිසා විය හැක
- නමුත් යමක් පරිස්සම් කිරීමට සිදුවීමෙන්ම, එයින් පිළිබිඹු වන්නේ 'මගේ', 'මට අයිති' යන ස්වාභාවයක් එහි නොමැති බවය
- එය සැබැවින්ම 'මගේ' නම් එය පරිස්සම් කිරීමට අවශ්‍යතාවයක් නොමැත. එසේම එය වෙනත් කෙනෙකුට ගැනීමටද නොහැක
- පිළිබිඹු වන්නේ මේ සියල්ල අනාත්ම ධර්මතාවයකට යටත් බවය
- විදර්ශනා කමටහනක් සඳහා හේතු වේවා!
054. තනතුරු
- බොහෝ අයට තමන්ට අනන්‍ය තනතුරු තානාන්තර ඇත. එයට විශාල වටිනාකමක් ලබා දී තිබුණද, එය මෙම කයට සාපේක්ෂවද සීමා සහිත කාලයකටද වේ
- එම තනතුර සම්බන්ධයෙන් යම් ලෞකික සැපයක්ද ලැබී ඇත. නමුත් තාවකාලිකය. හේතූන් සකස් වන විට, ඵ් හා ලැබූ ලෞකික සැපයද අහිමිව යයි
- තනතුර සමාජයට සාපේක්ෂක වේ. තනතුරකට වටිනාකමක් ලැබෙන්නේ සිටින සමාජයට සපේක්ෂවයි. එය වෙනස් වන විටද වටිනාකම වෙනස් වෙයි
- එම වටිනාකම ලෞකික වශයෙන් වෙයි. ලෝකෝත්තර වශයෙන් නොවෙයි
- එහි වටිනාකම වැඩි වන්නා වූ තරමටම ඒ හා අනුබද්ධ දුකක්ද අන්තර්ගත වෙයි. තනතුර අහිමිවීම හෝ මරණය සමඟ දුකටම පත්වේ
- මෙසේ සාපේක්ෂවූත්, වෙනස් වන්නා වූත්, තනතුරු නිසා මාන්නයට පත් වේ. එයින් මුලාවට පත්වේ
- මෙහි දී 'මම', 'මගේ' යන මෝහය තව තවත් පෝෂණය වීමට ඉඩ ඇත. බොහෝ කර්ම වලටද මුල් විය හැක
- මෙලොව සහ පරලොව දුකටම පත් වීමට හේතුද සැකසේ
- හුදෙක් තනතුරු, තානාන්තර, ධනය, බලය සාපේක්ෂක තාවකාලික ධර්මතාය. අවබෝධයෙන්ම ඇසුරු කළ යුතුය
055. ද්වේශය
- ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
- එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
- අපිරිසිදු රෙදි වල ඇති කුණු, සබන් හෝ එවැනි සේදුම්කාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
- එලෙසම ද්වේශයද නුවණ නැමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
- ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතු යැයි අදහසක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේශය හටගනී
- මේ කිසිම දෙයක් අපගේ පාලනයේ නොමැත. මෙම ධර්මයන් මැනවින් වටහා ගත යුතුය. නුවණ මිශ්‍ර, සොබා දහමේ උපමා ද බොහෝ උපකාරී වේ
- මූලික ප්‍රවේශයක් ලෙස තමන්ගේ කැමැත්ත ලෝකයෙන් බලාපොරොත්තු නොවී, ලෝකයේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගත යුතුය. එවිට ද්වේශයෙන් විශාල ප්‍රතිශතයක් ඉවත් කර ගත හැක
056. ද්වේශය
- ද්වේශය ඇත්තාට මෛත්‍රිය කදිම විසඳුමක් නොවේ
- එය අපිරිසුදු රෙදිවලට සුවඳ විලවුන් ඉසිනවා වැනි දෙයකි
- අපිරිසිදු රෙදි වල ඇති කුණු සබන් හෝ එවැනි උපකාරකයක් භාවිතා කර සෝදා ඉවත් කළ යුතුය
- එලෙසම ද්වේශයද නුවණ නමැති උපකාරකය භාවිතා කර ඉවත් කළ යුතුය
- ගෙදර, ගම, රට, ලෝකය, මිනිසුන් මෙසේ පැවතිය යුතුය, එසේ නොවිය යුතුය යැයි දෘෂ්ටියක් පවතී. ඒ හා එකඟ නොවන සෑම අවස්ථාවකම ද්වේෂය හටගනී
- මේ කිසිම දෙයක් අපගේ පාලනයේ නොමැත, ආදී ධර්මයන් මැනවින් වටහා ගත යුතුය. නුවණ මිශ්‍ර, සොබා දහමේ උපමා ද බොහෝ උපකාරී වේ
- මූලික ප්‍රවේශයක් ලෙස තමන්ගේ කැමැත්ත ලෝකයෙන් බලාපොරොත්තු නොවී, ලෝකයේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගත යුතුය. එවිට ද්වේශයෙන් විශාල ප්‍රතිශතයක් ඉවත් කර ගත හැක
057. ප්‍රශ්න
- ගඟට ගල්ගැසුවාට ගගෙන් ප්‍රතිචාරයක් නැත. එම කම්පනයන් හොඳින් දරා ගනී
- එසේම ජීවිතයට පැමිණෙන බාහිර කම්පනයන් දරා ගැනීම පුරුදු කළ යුතුය
- ගඟට පැමිණෙන බාධකය, ගඟට බාධකයක් නොවනවා සේ ජීවිතයට පැමිණෙන බාධකද බාධකයක් නොකර ගත යුතුය
- මෙය මා අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරක් ලෙස, ප්‍රශ්නය පිළිතුරක් ලෙස භාර ගත හැක
- විය යුත්ත තමයි සිදුවන්නේ. නොවිය යුත්තක් සිදුවන්නේ නැත ආදී ලෙස සිතිය හැක
- ප්‍රශ්නයක භාරකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කිරීම කළ හැක. නහයටද දිවටද මොළේටද මස් වලටද ආදී ලෙස
- අනවරාග්‍ර සංසාරයක සියලු ලෞකික ප්‍රශ්න විසඳුනාසේ මේ ප්‍රශ්නයද විසඳී යන්නේය ලෙස සිතන්නේය
- මට වඩා බරපතල ප්‍රශ්න ඇති බොහෝ පිරිස් සිටින්නේය ලෙස සිතන්නේය
- යන යන තැන අසූචි මල්ලක් දරාගෙන යන මරණයෙහි උරුමකාරයෙක්ද වූ මා නොවටිනා බවද මෙනෙහි කළ යුතුය
- තවත් නොයෙකුත් ආකාරයෙන් එලෙස සිතමින් ප්‍රශ්නවල ධාරිතාව අඩු කර ගත යුතුය. මෙය ධර්ම මාර්ගයට පිවිසීමේ මූලික පියවරකි
058. විදුලි පංකාව
- විදුලි පංකාවක් අඩු වේගයෙන් දුවන විට පෙති දැක ගත හැකි අතර නතර වූ විට පෙතිවල ස්වභාවයද දැකගත හැක
- සිතද ඒ හා සමානය. සිතෙහි ඇති වේගය නිසා සිතෙහි ස්වභාවය වටහා ගත නොහැක.
- සිතෙහි ස්වභාවය දැකගත හැක්කේ සිතිවිලි ඝනත්වය අඩු විටය. සිත සමාහිත වූ විටය. කැළඹුණු ස්වභාවයක් ඇති විට එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීම ඉතා අපහසුවේ
- සිත යනු නිතරම පැවැත්මට බර ධර්මතාවයකි. මුළාවට පත්වීමෙන් කිසිවකට නොදෙවෙනිය
- කාමයේ හැසිරෙන්නා හට කාමයේ ආදීනව නොපෙනේ. එයින් මුලාවට සහ දුකට පත්වේ
- ධර්මයෙන් පවා "මම" පෝෂණය වීම සිදුවිය හැක. ස්වභාවයෙන්ම සිතේ පවතින නිත්‍ය සුබ ආත්ම සංඥාව බිඳ දැමිය යුතුය
- මෙම ධර්මතා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සීලයක පිහිටා භාවනාවන් වඩා හිත සමාහිත කළ යුතුය. කාය විවේකය, චිත්ත විවේකය ඇති කරගත යුතුය.
- අවබෝධය තුළ නැවතීම ඉබේටම සිදුවේ. අමතර ආයාසයක් අවශ්‍ය නැතතව තවත් වීර්ය කරන්න
059. තථාගත
- සම්මා සම්බුද්ධත්වය මේ ලෝකය තුළ පහළ විය
- අවබෝධය ඇති පමණකින් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වන්නේ නැත
- අවබෝධය පිළිබඳ දැනගන්නා තරමට ශ්‍රද්ධාව ඇතිවේ
- දැනගන්නා ස්වභාවයේ දෝෂ ඇතොත් එම දෝෂයද ශ්‍රද්ධාවට බලපෑම් කරයි
- එම නිසා දැනගන්නා ආකාරය සහ දැනගන්නා මාධ්‍ය ඉතාම වැදගත්ය. තමන් එය පිළිබඳ සිතන ආකාරයද බෙහෙවින් වැදගත්ය
- නමුත් අවබෝධයක් නිවැරදිවම දැනගත හැකි ක්‍රමයක් ලෝකය තුළ නොපවතී
- බොහෝම නිවැරදි ක්‍රමය වන්නේ තමන්ද අවබෝධයන් ලබමින්, ඒ අනුව අවබෝධය තහවුරු කර ගැනීමයි. එවිට ඇතිවන දෝෂය බොහෝ අවම කරගත හැක
- ඇසෙන දේවල්, පෙනෙන දේවල්, සිතෙන දේවල් අනුව නිගමනවලට නොඑළඹෙන්න. ඒවා අල්ප වූ හේතූන්ය. නිගමනයන් බොහෝ දෝෂ සහිත වේ
- තථාගත ගුණය අප්‍රමාණය. විදර්ශනාව පිණිසය
060. දානයක පිළිවෙල
- දානයක් දීමේදී එය නිවන් අරමුණින් සිදුකළ යුතුය. සිතන ආකාරයද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස,
- ඇස අනුබද්ධයෙන් ආහාර අලංකාරයෙන් ලබා දිය හැක. එවිට අලංකාරයද දානයක් වනු ඇත
- කන අනුබද්ධයෙන් නිශ්ශබ්දතාවය දානයක් ලෙස ලබාදිය හැක. එවිට නිශ්ශබ්දතාවය දානයක් වනු ඇත
- නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදියෙන් දානයක් ලබා දිය හැක. පිරිසිදු වාතාශ්‍රය ලබාදිය හැක. එවිට ජනෙල් දොරවල් ඇරීම පවා දානයක් වනු ඇත
- දිව අනුබද්ධයෙන් ප්‍රණීත ආහාර ලබාදීම සිදුකළ හැක
- ශරීරය අනුබද්ධයෙන් පහසු ආසන ලබාදීමද සිදුකළ හැක
- මෙයින් ලැබෙන ශක්තිය සිතටද ආහාරයක් වනු ඇත. එම ශක්තියෙන් බණ භාවනා කොට මාර්ග ඵලවලට පත්වන බැවිනි
- මෙලෙස ආයතන පිළිබඳව සිතමින් දානයක් පිළියෙල කිරීම පරිපූර්ණ දානයක් සඳහා හේතුවක් වනු ඇත
061. දැඩි බව
- දැඩි බව යනු නිවනට අත්‍යාවශ්‍ය වූ කාරණයකි
- දැඩි බව ඇතිවිය යුත්තේ සිතට එරෙහිවය. බාහිර පුද්ගලයන් අරභයා පැවැතිය යුත්තේ නිහතමානීකමයි
- බාහිර පුද්ගලයන් අරභයා ඇති දැඩි බව බොහෝවිට මාන්නයකි, ද්වේශයකි
- සීලයෙහි අත්තිවාරම වන්නේ සිතට එරෙහිව පවතින දැඩි බවයි. ධූතාංගවල අත්තිවාරමද එයයි
- බාහිරින් ධර්මය හෝ වෙනත් කරුණක් සම්බන්ධ වැරදි යයි හැඟෙන යමක් ඇසීමට ලැබුණහොත් සිතේ ඇතිවෙන්නේ අදාළ පුද්ගලයාට එරෙහිව දැඩි බවයි. නමුත් විය යුත්තේ එය දරා ගැනීම පිණිස සිත ඉදිරියේ දැඩිවීමයි
- අභ්‍යන්තරයට ක්‍රියාත්මක විය යුතු දැඩි බව බාහිරයට ක්‍රියාත්මක නොකරන්න
062. කුතුහලය
- කුතුහලය යනු හිතේ විසිරීම ඇතිවන කාරණයකි. දැන ගැනීම සඳහා අවශ්‍යතාවයක් ඇතිවන අතර දැනගත් විට නැති වීම ලක්ෂණයයි
- කුතුහලය යනු කතන්දර, නාට්‍ය, චිත්‍රපට සහ එදිනෙදා නොයෙකුත් ජවනිකා හරහා පැවැත්ම සකස් කරන ප්‍රබල ධර්මතාවයකි. මිරිඟුවක් උපමා කළ හැක
- උදාහරණයක් ලෙස යම් රහසිගත කතාබහක් ඇත්නම් එය දැන ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. සිත විසිරීමට පත්වේ. නමුත් එය දැනගන්නට ලැබුණද ඇතිවන විමුක්තියක්ද නොමැත
- මූලිකව, එවැනි කුතුහලයක් පැමිණි විට අතීතයේ මෙවැනි සිදුවීම් කොපමණ තිබුණත් ලැබුණු විමුක්තියක් නොමැත. මෙයද තවත් එවැන්නකි. කුතුහලය දනවන අරමුණ වෙනස් වූවා මිස කුතුහලය නැති වූයේ නැත ආදී ලෙස සිතා දැනගැනීමේ අවශ්‍යතාවය දුරු කළ යුතුය
- නොයෙකුත් අත්හදා බැලීම් වලින් දකින ආකාරය වෙනස් කළ යුතුය. අවසානයේ කුතුහලයකට අරමුණක් හසු නොවනු ඇත
- දැනගැනීමෙන් කුතුහලයක් නොසන්සිඳෙන අතර අවබෝධයෙන් පමණක් කුතුහලය සංසිඳේ
063. දුරස්ථ පාලකය
- දුරස්ථ පාලකයක් සලකනවිට එයට සංවේදී වන පරිපථ කොටසක් අදාළ උපකරණයන්හි පැවතිය යුතුය. එම සංවේදී පරිපථ කොටස හරහා ඒවා පාලනය වේ
- එසේම, බාහිර කොපමණ රූප පැවතියත්, ඒවාට සංවේදී ක්ලේශයන් ඇත්නම් පමණක්, ඒවායෙහි බලපෑමට සත්වයා නතුවේ
- එනම් බාහිරය, දුරස්ථ පාලක ලෙස සැලකූ විට අප ඒවාට සංවේදී වෙමින් මානසික මෙන්ම කායික චලනය වීම හෝ අන් ආකාරයෙන් ඒවායේ ග්‍රහණයේ පවතී
- උපමාවක් ලෙස අප දුරස්ථපාලක ජාලයකට යටත්ව පවතින සෙල්ලම් බඩු වැනිය. ගැහැණුන්, මිනිසුන්, යානවාහන, වතුපිටි, ඉඩකඩම්, මුදල් ආදිය අපගේ දුරස්ථ පාලකයෝ ය. මක්නිසාද ඒවාට සංවේදී ක්ලේශයන් අභ්‍යන්තරයේ ගැබ්ව ඇති බැවිනි
- ප්‍රතිපදාවක් ලෙස අප සිදු කරන්නේ මෙසේ සංවේදී වූ පරිපථ කොටස් ගලවා කිරීමයි. දුරස්ථ පාලක වලට සංවේදී නොවීමයි. මිදීමයි. නිවීමයි
064. කොහු ලණුව
- කෙන්ද කෙන්ද එක්වී සකස් වු කොහු ලණුව බොහෝ ශක්තිමත්ය
- කෙඳි එකිනෙක වෙන්ව පැවතුණත් බොහෝ ශක්තියක් එහි ගැබ්ව ඇත්තේ සැකැස්ම නිසාය. සැකැස්ම බිඳ වැටුණහොත් කෙඳි එකිනෙක ගැලවී යන අතර පැවැත්ම බිඳ වැටේ. පැවති ශක්තියද අතුරුදහන්වේ
- රහතන් වහන්සේගේද සිතිවිලි පැවතුණද බැඳීමක්, සසර ගමනට ශක්තියක්, හට නොගන්නේ අවබෝධය නැමැති සැකැස්ම නිසාය
- පෘථග්ජන සිතිවිලි අනවබෝධය නැමැති සැකැස්මෙන් සකස් වී ඇත. එම සැකැස්ම බොහෝ ශක්තිමත්ය. ලෙහෙසියෙන් බිඳ නොවැටේ
- කාරණය නම් කෙඳි කෙඳිමය. සැකැස්ම පමණක් වෙනස් වේ. සකස් වන ස්වභාවය අනුව කොහු ලණුවේ පැවැත්ම තීරණයවේ
- එසේම සසර ගත සත්වයාගේ සිතිවිලි (පැවැත්ම) තදින් බැඳී ඇත්තේ පුද්ගල දෘෂ්ටියෙනි. මෙම දෘෂ්ටිය බිඳ දැමූ විට සියල්ල ක්‍රමානුකූලව විසිරී ගොසින් අවසානයේ පැවැත්ම අහෝසිවේ
- බැඳීමක් ඇති තැනක වෙන්කිරීමේ හැකියාවක් ඇත්නම්, ඇත්තෙන්ම ඒවා බැඳී නැත
065. සියල්ල ධර්මයන්ය
- සියලුම අධර්මයන් ධර්මයන් ලෙස දැකිය හැක.
- අධර්මයක් වුවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ජාති, ජරා, ව්‍යාධි හා මරණ ආදී ධර්මයන්ට යටත්ය
- මතුකර ගැනීමේ හැකියාව ඇත්නම් අධර්මයේද ධර්මයන් ඇත
- අධර්මය අධර්මයක් ලෙස වෙන්කර ගැනීමද ධර්මයකි
- මිත්‍යා දෘෂ්ටිය යනු සසර පැවැත්මේ ධර්මතාවයයි. එයත් ධර්මයකි
- සක්කාය දිට්ඨිය තොර වූ විට ධර්මය හෝ අධර්මයෙහි වෙනසක් නැත
- අධර්මය හා ගැටෙන කෙනා තුළ ඇති ධර්මයක් නැත
- හඳුනාගත් අධර්මය ධර්මයකි
066. කුණු ගොඩ
- කුණු ගොඩක් ඉවත් කිරීමට ඇත්තෙකුට, ඒ අරඹයා ඇතිවන සිතිවිල්ල, ඒ පිළිබඳ කලකිරීම, උපක්‍රම යෙදීම, එම ස්ථානයට පාරක් කැපීමද කුණුගොඩ ඉවත් කිරීමම වෙයි
- සිත ඇතුළු කය ආදී කුණුගොඩද එලෙසමය. එම කුණු ගොඩේ ප්‍රමාණයද නොදන්නා බැවින් ඉතාම ශක්තිමත් හෙයින් නොයෙකුත් උපක්‍රම යෙදීමට සිදුවී තිබේ. වැරදියට හෝ උත්සාහ කරන්නා තුළ අවම වශයෙන් ශ්‍රද්ධාව හෝ පවතී
- කෙනෙක් තම හැකියාව අනුව ධර්ම මාර්ගය වෙනුවෙන් කරන සුළු කැපවීම පවා අවතක්සේරු නොකළ යුතුය. ඉතා ඉහළින් අගය කළ යුතුය
- විශේෂයෙන් කුඩා දරුවන් අවතක්සේරු නොකළ යුතුය. ඔවුන් තුළද සසර ගත විශාල ශක්තියක් පැවතිය හැක
- කුඩා පැලයක් විශාල ගසක් වී විශාල ප්‍රදේශයක් පුරා සෙවණ පතුරුවන්නා සේ අනාගතයේ විශාල පිරිසකට ධර්ම මාර්ගයට මග පෙන්වන්නාද ඔහු විය හැක
- වැරැද්ද හෝ නිවැරැද්ද දකින්නා තුළ ද්වයතාවය ඇත. වැරැද්දක් නිවැරැද්දක් නොදකින යෝගාවචරයා අඩු වැඩියක් නොමැතිව ධර්මතාවය බවට පත්වී ඇත. අටලෝ දහමින් අකම්පිත ගුණය ඇති හෙතෙම හේතුඵල දහම තුළ හොඳින් පිහිටා ඇත
067. පිළිතුර
- වර්තමානයේ අපට ඇතිවන බාධක සහ ප්‍රශ්න ඒවායේ ප්‍රබලතාවය අඩුවන දැකීමේ ක්‍රම ඇත
- එළැඹී ඇති ප්‍රශ්නය, අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට (හේතුව) වර්තමානයේ ලැබුණු පිළිතුර (ඵලය) වේ
- අප වෙත පැමිණෙන ප්‍රශ්න කම්කටොළු බාධක ආදී සියල්ල පිළිතුරු ලෙස දැකිය හැක
- උක්ත ප්‍රශ්නය අතීතයේ සිදුවූවකි. අන් ආකාරයෙන් අතීත හේතුවකට වර්තමානයේ ඇතිවූ ඵලය වේ
- තවද වර්තමානයේ එළඹෙන්නේ ඵලයක් හෝ පිළිතුරක් වන අතර එය නැවත හේතුවක් හෝ ප්‍රශ්නයක් නොවීමට වග බලා ගත යුතුය. විදර්ශනාව පිණිසය
068. මාරයා
- නිවනට බාධා වෙන හෝ නවතන කෙනෙක් හෝ දෙයක් වේනම් ඒ මාරයාය. ලොකුම මාරයා තමාට තමාය
- මාරයාද පුද්ගල අනුබද්ධ වේ. කෙනෙකුට මාරයා, තවත් කෙනෙකුට, කල්‍යාණ මිත්‍රයා විය හැක
- උදාහරණයක් ලෙස කෙනෙකුට කායික රෝගයක් මාරයා වන විට ( ප්‍රතිපදාව අඩාල කරන හෙයින් ) එම කායික රෝගයම විදර්ශනා කිරීමෙන් කල්‍යාණ මිත්‍රයා කර ගැනීමටද හැකියාව ඇත
- මාරයා, මාරයා වන්නේ චේතනාව හෝ සිතන ආකාරය අනුවය
- සිතන ආකාරය නිවැරදි කරගත් අයෙකුට ( රහතන් වහන්සේ ) මාරයෙක් නැත
- මාරම කතාව වන්නේ මාරයා, මාරයා ලෙස හඳුනා ගත් විට මාරයා, කල්‍යාණ මිත්‍රයෙකු වීමයි
069. මම පරීක්ෂණය 01
- මෙය මානසිකව සිදුකරන පරීක්ෂණයකි. ධර්මයක් වටහා ගැනීමේ චේතනාවෙන් සිදුකරන්න
- තමාම හෝ යම් පුද්ගලයෙක් සිහිපත් කරන්න. ඔහුට නමින් ආමන්ත්‍රණය කළ හැක
- එම ශරීරයෙන් එක් අංශුවක් ඉවත්කර වෙනත් ස්ථානයකින් තබන්න. අදාළ නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකිදැයි හොඳින් මෙනෙහි කර බලන්න
- එම නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකි නම් ( අංශුවේ අඩුවක් ඇතිව ), නිගමනය වන්නේ අදාල ඉවත් කළ අංශුව සහ නම අතර සම්බන්ධයක් තිබිය නොහැකිය යන බවය
- එම අංශුව තිබූ ස්ථානයෙන් නැවත තබන්න
- නැවත දෙවැනි අංශුවක් සඳහා පරීක්ෂණය සිදු කරන්න. නිගමනය පරීක්ෂා කරන්න
- එලෙස සියලුම අංශූන් සඳහා මෙම පරීක්ෂණය සිදු කරන්න
- මෙය තම ශරීරය ලෙසද බාහිර ශරීරයක් ලෙසද සිතට හොඳින් වැටහෙන ආකාරයෙන්ද පරීක්ෂණය වෙනස් කරගන්න
- එම නිගමනයන් සමග සිදුවන වැටහීම් තථාගත දේශනාව සමග ගලපා බලන්න. වෙනසක් ඇත්නම් පරීක්ෂණයේ යම් දෝෂයක් පැවතිය හැක
- මෙම පරීක්ෂණය නැවත නැවතත් සිදු කරන්න. වැටහීම් සිදුවනු ඇත
070. අනපේක්ෂිත මරණය
- ඉපදුණු සත්වයන්ට මරණය ඒකාන්තයෙන් හිමිය
- ඒකාන්තයෙන් හෙට මැරෙන බව දන්නේ නම්, අද සිදු කරන්නේ කුමක්ද? උදාහරණයක් ලෙස ඇතිවන්නේ දුක, කනස්සල්ල, බය, තැති ගැනීම වැනි දේය
- නමුත් අප අද දින ගත කරන්නේ බියෙන් තැති ගැනීමෙන් නොවේ නම්, එහි අදහස වන්නේ හෙට මැරෙන බව නොදන්නා බවයි
- නමුත් ඒකාන්ත වශයෙන්ම හෙට මරණය සිදුවන අදක් එළඹෙනු ඇත. එදිනද මේ ලෙසම බියෙන් තැති ගැනීමක් නොමැතිව ජීවත්වේ. ගම්‍යය වන්නේ හෙට සිදුවන මරණයක් කිසිසේත් අපේක්ෂා නොකරන බවය
- සංසාරේ පෙර සිදුවූවාසේ අනපේක්ෂිත තවත් මරණයක් අත්විඳීමට සිදුවනු ඇත
- මරණානුස්සතිය නිරතුරුව වැඩිය යුතුය. ප්‍රතිඵල ලෙස කෙලෙස් යටපත් වන අතර වීරිය තව තවත් වැඩිවීම සහ මාර්ගයේ දියුණුවීම ආදී විශාල ආනිසංස හිමිවේ
071. හය ආකාර දුක
- යමක් හෝ යමෙක් ඇසුරු කිරීමේදී ඒ හා බැඳුණු ආකාර හයක දුකක් ඇත
- ලබා ගැනීමට කලින් දුක් දෙකකි ( 1-ලබා ගැනීමට දරණ වෑයම සහ 2-ලබා ගැනීමට පෙර ඇතිවන බය)
- ලබා ගත් පසු දුක් තුනකි ( 3-පවත්වාගෙන යෑම, 4-වැඩිදියුණු කිරීම, 5-බය)
- අවසානයේ හිමිවන එක් දුකකි ( 6-අහිමි වීමේ හෝ වෙන් වීමේ දුක)
- උදාහරණයක් ලෙස වාහනයක් සලකන්න
- (1-එය ලබා ගැනීමට මුදල් රැස් කිරීම දුකකි) (2-එය හොද වාහනයක්ද, ලෙඩ තිබේද, රැවටීමක්ද, ආදී ලෙස ඇතිවන බය දුකකි)
- (3-තෙල් ගැසීම, සේදීම, ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම ආදී දුකකි) (4-අවශ්‍ය සහායක කොටස් සවිකිරීම, ස්ටිකර් ආදිය ගැසීම, කැමරා සවිකිරීම ආදී දුකකි) (5-හැප්පීමක්, සීරීමක්, අනතුරක් හෝ සොරකමක් වේදෝ ඇතිවන බය දුකකි)
- (6-මොන ලෙස ආරක්ෂා කළත් අවසානයේ සිදුවන ඒකාන්ත වෙන්වීම දුකකි)
- ඕනෑම දෙයක් සම්බන්ධව මේ හය ආකාර දුක පවතී. ගලපා බලන්න. ශක්ති ප්‍රමාණය අනුව ඉතා ගැඹුරින් මෙම කාරණා දැකිය හැකිය. විදර්ශනාව පිණිසය...
072. ජීවිත අපේක්ෂාව
- බොහෝ සත්වයන් දැඩි සේ ජීවිත අපේක්ෂාවෙන් පසුවේ ( මරණයට අකමැති බැවිනි)
- නමුත් ජීවිතය ලැබීමෙන් කළ හැකි වික්‍රමයක් නැත. ලැබෙන සැපයක්ද නැත.
- තවද ජීවිතය යනු ජයග්‍රහණයක් නොමැති පොරබැදීමකි. හම්බ කිරීම නඩත්තුව මෙන්ම ලෙඩ දුක් සමග කරන පොරය, කාම වස්තුන් සමග පොරය, සිත සමඟ සිදුකරන පොරය ආදී නොයෙකුත් පොර බැදීම් ගොන්නක් අවසානයේ පරාජයම හිමිවනු ඇත
- ජීවිත අපේක්ෂාව යනු සිදු කළ යුතු ගැඹුරු විදර්ශනාවකි.
- ජීවිත ආශාව ලෙස පෙනුනද ගැබ්ව ඇත්තේ බොහෝ විට කාම ආශාවන්ය. ආශාවන් එකින් එක බිඳවැටෙන විට ජීවිත ආශාව ද නැති වනු ඇත
- ජීවිත අපේක්ෂාව යනු මුලා වූ සිතෙක අවශ්‍යතාවයක් මිස කයෙහි අවශ්‍යතාවයක් නොවේ. මේ ජීවිතයට ලෙස පසුව ඒ ජීවිතයට ලෙස වෙනස් වේ
- ජීවිත අපේක්ෂාව තුළ වූ අපේක්ෂාව කුමක්දැයි හොඳින් හඳුනාගත යුතුය
073. වර්ණ ලෝකය
- මානසික පරීක්ෂණයකි. භාවනා ඉරියව්වට ගොස් බුදුගුණ ආදිය සිහිකොට සිත ඒකාග්‍ර වීමට ඉඩ හරින්න. ඇසින් යමක් දකින මොහොතක් සලකන්න
- එහි ඇති රතු වර්ණය ඉවත් කරන්න, කොල වර්ණය ඉවත් කරන්න, ආදී ලෙස සියලු වර්ණ ඉවත් කරන්න. ඉතිරි වන්නේ කුමක්ද ? (කළු යනු ද වර්ණයකි)
- පරීක්ෂණය අනුලෝම සහ ප්‍රතිලෝමව සිදු කරන්න ( වර්ණ එකතු කරමින් සහ වර්ණ ඉවත් කරමින්) නැවත නැවතත් සිදු කරන්න
- විදර්ශනාවේ ප්‍රබලතාවය අනුව නිගමනයන් තීරණය වේ. උදාහරණයක් ලෙස අතීතයේ සිට මේ දක්වා දැක ඇත්තේ අම්මා, තාත්තා, ගහකොළ ආදි වස්තූන් නොව හුදෙක් උදාසීන වර්ණ පමණි. විදර්ශනාව පිණිසය...
074. හිමි නැත
- ඉර පෑයීම, හඳ පෑයිම ආදී බොහෝ සිදුවීම් දැනගත් පමණකින් ඒවායේ හිමිකාරීත්වය නොමැත
- අවම වශයෙන් හිමිවීමකට තවත් බොහෝ කාරණා සකස් විය යුතුය
- සිතද එලෙසමය. සිත තුළ ඇතිවන සිතිවිලි දැනගැනීම පමණක් සිදුවේ. ඇත්තෙන්ම දැනගත් පමණකින් එය හිමි නැත
- කනස්සල්ල, පසුතැවිල්ල, පීඩාව ආදී ඕනෑම සිතිවිල්ලක දැනගැනීම පමණක් සිදුවේ. සිතිවිල්ල දැනගත්තේ මමය, එහි අයිතිකාරීත්වය මට හිමිය, යන්න මුලා වූ දෘෂ්ටියක් පමණි. විදර්ශනාව පිණිසය...
075. උදලු මිට
- උදුලු මිටක් දිලිසෙන සුමට භාවයක් ගන්නේ එය භාවිතය තුළය. භාවිතයේදී බහුල වශයෙන් භාවිතයේදී උදුළු මිට දිලිසීම නිරායාසයෙන් සිදුවන්නකි
- එසේම කුඩා ධර්ම කරුණක් වුවද නැවත නැවත මෙනෙහි කිරීමේ දී, නැවත නැවත භාවිතා කිරීමේදී ලෝකය කෙලෙස් ආදිය කණ්නාඩියක් මෙන් මනාව වැටහෙනු ඇත
- උදලු මිට සුමට වන්නේ එය සුමට කිරීමේ ක්‍රියාවක් ලෙස නොව උදලු ගෑම නැමති ක්‍රියාව තුළිනි
- එසේම ධර්මයන් අවබෝධ වීමද එසේමය. හේතු සකස් කල යුතුය. ප්‍රතිඵල ලැබෙනු ඇත
- අවබෝධයක් ලබා ගැනීමට පොර බැදීම බොහෝ විට දුකකින් කනස්සල්ලයකින් මාන්නයකින් කෙළවර වෙයි
- ඉන්නා තැනින් ඉහළට එසවීමේ අරමුණ. ලද දෙයින් සතුටු වීම ආදී ලෙස ප්‍රතිපදාව උපක්‍රමශීලීව වැඩිය යුතුය
076. බාඳුරා මල
- සොබා දහම තුළ උපක්‍රමශීලී බව ක්‍රියාත්මක වේ. බාදුරා මල උදාහරණයකි
- නමුත් කෙනෙක් නොපවතී. එය ලෝකයේ පවතින ධර්මතාවයකි
- සත්ව පුද්ගල දෘෂ්ටිය නොයෙකුත් ආකාරයෙන් හටගනී. මෙවැනි උදාහරණ මගින් උපක්‍රමශීලී බව නිසා සත්ව පුද්ගල බවක් පවතී යයි යන දෘෂ්ටිය බිඳිය හැක
- විදර්ශනාවේදී අරමුණ බොහෝ වේලා සිතේ රඳවාගෙන සිටිය යුතුය. අනුලෝම ප්‍රතිලෝම දුර ළඟ ආදී ලෙස විදර්ශනා කළ යුතුය. එවිට බොහෝ වැටහීම් ඇතිවේ
077. මස් ගුලිය සංඥාව
- ඇස් යනු මස් ගුලි දෙකකි. මස් ස්කන්ධය අතින් රාත්තල නොඉක්මවන්නේය. ප්‍රමාණයෙන් බෙලිගෙඩි නොඉක්මවන්නේය.
- වටිනාකම ඇත්තේ ද ඇස් කුහර දෙක තුළ පවතිනතුරු පමණි. ඇස් දෙක ගැලවෝහොත් වටිනාකම හතුරුදහන් වන අතර බිය පිළිකුල උපදවන්නකි.
- මෙවන් ඇස් දෙකක් පිනවීම සිදු කිරීම ප්‍රමාණ නොවන කාරණයකි. වහල්කමකි.
- පැය කිහිපයක් පුරා මස්ගොබ දෙකට ටෙලිවෘතාන්ත පෙන්වීම හාස්‍යජනකය
- ජීවිතය පුරාවටම අප වෙහෙසෙන්නේ මස් කැබිලි දෙකක් පිනවීමටද ?විදර්ශනාව පිණිසය
078. පුද්ගලභාවය
- පුද්ගලයයෙක් නැත.නමුත් ක්‍රියාවන්ට කර්මඵල ප්‍රතිවිපාක ඇත
- පුද්ගලයෙක් නැත යන්නේ අදහස පුද්ගල ධර්මතාවය යනු දෘෂ්ටියක් පමණක් බවය. පුද්ගලයෙක් ඇත නැත යන්නද දෘෂ්ටියේම කොටසකි
- ක්‍රියාවන්ට විපාක ඇත යන්නේ අදහස පුද්ගලයෙක් සත්වයෙක් යන දෘෂ්ඨියෙන් තොරවූ හේතුඵල ක්‍රියාවලියක් බවයි
- දේවල් සිදුවීමට පුද්ගලයෙක් සිටිය යුතුයි යන බව මිථ්‍යාවකි. එය නොදැනීමේ හේතුව නිසා ඇතිවූ ඵලය සත්ව පුද්ගල භාවයයි. විදර්ශනාව පිණිස
079. නායකත්වය
- මුලාවෙන් සකස් වූ මානසික යුද්ධයක බොහෝ කලක් සිරවී සිට බොහෝ දුක් පීඩාවලට ලක්වූයේ වෙමු. කෙසේ හෝ මෙය නිමා කළ යුතුය. අවසාන කිරීමට හොඳ නායකත්වය ලබා දිය යුතුය. ඒ සඳහා කාලය ලැබ ඇත
- ඉවසීම පිළිකුල වීරිය පින ආදී බල සේනා සන්නද්ධ කළ යුතුය. උපක්‍රමශීලී විය යුතුය. හොඳින් සතුරා නිරීක්ෂණය කළ යුතුය. සතුරා පෝෂණය වන මාර්ග දුරුවල කළ යුතුය
- සංග්‍රාමය නොපෙනෙන අතර මානසික නිරීක්ෂණයක් පමණක් කළ හැක. එම නිසා සෘජු බාහිර ආධාර ලබාගත නොහැක. එම නිසා තමාම සංග්‍රාමය සඳහා නායකත්වය ලබාදිය යුතුය
- අතීතයේ සැමදා මෙම සංග්‍රාමයෙන් පරාජ වී ඇත. එම නිසා වැඩිම අවදානම ඇත්තේ පරාජය වීමටය. බොහෝ සැලකිලිමත් විය යුතුය
- වෙනත් විකල්ප මාර්ග නොමැත. කිසිම සමාවක් ද නොමැත. කෙසේ හෝ මේ සංග්‍රාමය අවසාන කළ යුතුය. බිය වීරිය ඉපදවීම පිණිසය
080. ගසින් තවත් කමටහනක්
- කොළවලට කැමති අයෙක් අතු කපන්නේ නැත. අතුවලට කැමති අයෙක් ගස කපන්නේ ද නැත
- සත්වයෙක් දැනුවත්ව සිතට බැඳෙන්නේ නැත. පැහැදිලිව නොපෙනෙන, වක්‍ර මාර්ගවලින් සිතට බැඳී ඇත
- උදාහරණයක් ලෙස ඥාති, මිත්‍රයන්, දරුවන්, අඹු, සැමි ආදීන්ට බැඳුණු අයෙක් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ සිතටමය. එනම් සසරටමය. මේ සියල්ල මානසික පිළිබිඹුවක් බැවිනි
- එසේම සංචාර නැටුම් වැයුම් ගැයුම් ටෙලි වෘතාන්ත ආදී නොයෙකුත් ආශාවන් ද ඒවාට බැඳීමක් නොව සිතටම බැඳීමය
- බොහෝ පිරිසක් නිවනට දරණ උත්සාහය උපමාවක් ලෙස අතු කොළ ඉතුරු කර ගැනීමින් ගස කැපීමක් වැනිය. අසාර්ථක උත්සාහයකි
081. හේතුඵල
- ජලයෙහි සැනසීමක් නැත. පිපාසයේද සැනසීමක් නැත. එකතු වූ විට සැනසීමක් හටගනී
- ලෙඩක සුවය නැත. බෙහෙතකද සුවය නැත. එක්වූ විට සුවපත් වීමක් හටගනී
- ධර්මයෙහි නිවන නැත. අවිද්‍යාවේද නිවීමක් නැත. එකතු වූ විට නිවීම හටගනී
- සුළඟෙහි සුවයක් නැත. කයෙහිද සුවය නැත. එක්වීමේදී සුවයක් සැනසීමක් හටගනී
- හේතුඵල ධර්මයේ එක්තරා හැසිරීමකි. හේතුවේ ඵලය නැත. ඵලයේ හේතුවද නැත. වෙනස් හේතූන් නිසා වෙනස් ඵල ඇතිවේ. විදර්ශනාව පිණිසය...
082. පින්තාරුව
- පින්තූරයක වටිනාකම ඇත්තේ බාහිර මිලිමීටර් කිහිපයක පින්තාරුව මතය
- අභ්‍යන්තරයේ කුමන දේ තිබුනද බාහිර පින්තාරුවෙන් සියල්ල වසාලිය හැක
- මනුෂ්‍ය ශරීරයද බාහිර කෙස් ලොම් නිය දත් සම් (තච පංචකය) නම් වූ බාහිර පින්තාරුව මත වැඩි වටිනාකමක් තීරණය වේ
- කොටස් තිස් දෙකක් ඇති තැන පහකින් නිගමනය කිරීම දෝෂ සහගතය
- පොළොවේ මතුපිට පින්තාරුව නිසා සොබාදහම ද ලස්සන ලෙස පෙනේ. නමුත් වැඩි කොටස ඇත්තේ අභ්‍යන්තරයේය
- එසේම සිතෙහිද මතුපිට පිංතාරුව මගින් අභ්‍යන්තරයේ පවතින කර්ම ශක්තින් හේතුඵල ආදිය වසා මුලාවක් නිර්මාණය කොට ඇත
- පෙනෙන මතුපිටට ඔබ්බෙන් ඇති අභ්‍යන්තරය දැකිය යුතුය. විදර්ශනාව පිණිසය...
083. නිදහස
- නිදහස අහිමි කරගෙන ඇත්තේ තමා විසින්මය
- මුලින් නිදහසට කැමැත්ත ඇතිකර ගත යුතුය. අහිමි වූ නිදහස ගෙවා දැමිය යුතුය. නැවත නිදහස අහිමිවන හේතු සකස් නොකළ යුතුය.
- කායික නිදහස මානසික නිදහසට ඉවහල් වන අතර, මානසික නිදහස විදර්ශනාවට ඉවහල් වෙයි
- විදර්ශනාව අවබෝධයෙන් කෙළවර වෙයි. බොහෝ කලක් ලොවිසඳුණු ප්‍රශ්නය කෙළවර වෙයි. විදර්ශනාව පිණිසය...
084. කමටහන
- මේ භාවනාවක් ලෙස වැඩිය යුතුය. ඇස අනුබද්ධයෙන්,
- රූපයක් දකින විට නිරායාසයෙන් එහි ඇලීම, එහි බැස ගැනීම, එය බවට පත්වීම සිදුවේ
- කොටස්වලට කඩා ගැනීමෙන්, රූපය තුළ නොබැස ගැනීම හා ඒ තුළ වූ යම් යම් ධර්මයන් වටහා ගත හැක
- Step1 ඇසට පෙනෙන්නේ වර්ණ ලෙස. Step2 සිතට දැනෙන්නේ රූප ලෙස. Step3 පසුව රූපය සම්බන්ධ විස්තරයක් මෙනෙහි වන බව
- ඇසට රූපයක් පෙනෙන විට ඉහත පියවර හොඳින් ප්‍රකට කර ගත යුතුය. භාවනාවක් ලෙස වැඩිය යුතුය.
- කන අනුබද්ධයෙන්, Step1 කනට ඇසෙන්නේ ශබ්දයක්. step2 සිතට දැනෙන්නේ කපුටෙක් ලෙස. step3 කපුටා පිළිබඳ මේ මේ විස්තර අවදිවෙන බව
- මෙය ගස කැපීමට පෙර එය පහසු කර ගැනීමට අතු කපා දැමීම වැනිය. අනාත්මය ප්‍රකට වන අතර නිවන් මග ඉතා පහසුකරවයි
085. අත්තිවාරම
- සිත නැමැති ඉදිකිරීම සිදුව ඇත්තේ මුලාව නමැති අත්තිවාරම උඩය
- මුලාවීම සිතේ පැවැත්මයි. නොදැන මුලාව නිරායාසයෙන් සිදුවේ. දැන මුලාව අසිහිය නිසා සිදුවේ
- මුලාවෙන් හටගත් සිතෙහි ජනනය වන්නේද තවත් මුලාවකි. මුලාව දුරු කිරීම බොහෝවිට මං මුලාවකි
- කළ යුත්තේ මුලාව හඳුනා ගැනීමයි. ඒ තුළ සිහිය පැවැත්වීමයි. හඳුනා ගැනීම දුරු කිරීමේ හොඳම මාර්ගයයි
- හඳුනාගත් මුලාවක් තවදුරටත් මුලාවක් නොවේ. අඛණ්ඩ සිහිය තුළ මුලාව දුරුවනු ඇත. විදර්ශනාව පිණිසය
086. අභිරහස
- හොඳ මිනිස්සුන්ට බාධක වැඩිවීම, නරක මිනිසුන් ලස්සනට ජීවත් වීම ඇතැම් විට දක්නට ලැබෙන කාරණයකි
- පද්ධතියක් ස්ථායී වීමට/ පැවැත්ම රැක ගැනීමට උත්සාහ දරයි
- සසර බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය. බාඳුරා මල, ගසක සමබරතාවය ආදිය උදාහරණ වේ
- ධර්ම ප්‍රතිපදාවක සිටින විට සංසාර පැවැත්මට එය බාධාවකි. එය වැළැක්වීමට අතීත අකුසලය සැර බාලවී විපාක දීමට පටන් ගනී. මේය ගමන නැවතීමට/ස්ථායීතාවයට හේතුඵල අනුව සිදුවන එක්තරා මුලාවකි
- එසේම අකුසලයේ සිටින අයෙකුගේ සසර ස්ථායීතාවය වැඩිවේ. අතීත කුසලය සැර බාල වී විපාක දෙමින් එය නිවැරදි දේ ලෙස පෙන්වමින් මුලා කරවයි
- බාඳුරාමල, සතෙකු ගොදුරු කර ගැනීමට සිදු කරන උපක්‍රමය සේය. උපක්‍රමයක් ඇත නමුත් සත්ව පුද්ගල බවක් නැත. විදර්ශනාව පිණිසය
087. දෘෂ්ටිගතවීම
- මාර්ගය වඩන විට නොයෙක් ආකාරයෙන් දෘෂ්ටිගතවීම ස්වභාවයකි.
- නොයෙකුත් වැරදි ආකල්ප තුළ බැස ගැනීම දෘෂ්ටිගත වීමයි. දෘෂ්ටිගතවීම යනු ඉතා ප්‍රබල ක්ලේශයකි
- තමා තුළ දෘෂ්ටියක් නැතැයි සිතීම ලොකුම දෘෂ්ටියයි. ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් දෘෂ්ටීන් උපදීමේ හැකියාවක් ඇති අතර පැවති දෘෂ්ටියක් ඇත්නම් එය සුරැකේ
- අන් අදහස් ගරු කරන ගුණය ඇත්නම් දෘෂ්ටීන් ඉක්මනින් ඉවත්ව යනු ඇත
- රියදුරෙකු ඉදිරි වංගුවේ වාහනයක් මුණගැසුණු ඇත යන සංඥාවෙන් රිය පදවන්නේ නම්, සිදුවිය හැකි අනතුර බොහෝ අඩුය
- එසේම මාර්ගය වඩන විට දෘෂ්ටියක් ඇතිවිය හැකිය යන සංඥාවෙන් මාර්ගය වැඩිය යුතුය. එවිට දෘෂ්ටිගත වීමේ ප්‍රවණතාවය අඩුවේ
- ප්‍රතිඵල ප්‍රමාද වීම, මාර්ගය ඇණ හිටීම, අස්වාභාවික හැසිරීම, ලෞකික ලෝකෝත්තර අසමබරතාවය ආදිය දුරු වනු ඇත. විදර්ශනාව පිණිසය
088. ද්වේතාවය
- ගං ඉවුරක ඉහළ දෙස බැලූ විට එන ලෙසත් පහළ දෙස බැලූ විට යන ලෙසත් පෙනේ
- ඉහළ පහළ හෝ යෑම ඒම පුද්ගල පැමිණීමත් සමඟ හට හට ගනී. නැතහොත් එවැන්නක් හට නොගනියි
- එලෙසම හොඳ නරක සැප දුක දුප්පත් පොහොසත් ආදී නොයෙකුත් යුගල (ද්වේතාවය) පුද්ගල දෘෂ්ටිය නිසා හටගත් ධර්මතාය. නැතහොත් එවැන්නක් නොපවතී
- පුද්ගල දෘෂ්ටිය දුරු වන විට පිළිතුරු වෙනුවට ප්‍රශ්න නිරෝධවේ
- ලොකුම ක්ලේශය රාගය හෝ ද්වේශය නොවේ. පුද්ගල දෘෂ්ටියයි. එය බිඳුණු විට කැමැති වුවත් අකමැති වුවත් නොබෝ කලකින් සියලු ක්ලේශයන් දුරුව යනු ඇත. විදර්ශනාව පිණිසය
089. ජීවිතය අතහැරීම
- නිර්වාණය සඳහා නොයෙකුත් විදර්ශනා ක්‍රම සිදු කරන අතරම, අනෙක් පසින් දැඩි මානසික අල්ලා ගැනීමි පවතී
- බොහෝ පිරිසකට යැපෙන්නන්, වගකීම්, ලෞකික ප්‍රශ්නවලින් සමන්විත න්‍යාය පත්‍රයක් මරණ මංචකය දක්වාම ඇත. මෙවිට ක්ලේශයන්, බැඳීම් අතර පහසුවෙන් සැඟවී සිටීමේ හැකියාව ඇත
- ජීවිතය අතහරින විට සැඟවුණු කෙලෙස් මතු වී පෙනෙනු ඇත
- ක්ෂණිකව ජීවිතය අතහැරීමේ හැකියාව ඇත්නම් බොහෝ ශ්‍රේෂ්ඨය. නැතිනම් එයට බාධක වන බැඳීම් හඳුනාගෙන විදර්ශනා මාර්ගයකින් එය මානසිකව දුරු කළ යුතුය
- බැඳීම් නොමැති ජීවිතයක් ඇත්නම් එය අමතර බලයකි
- අල්ලාගෙන සිදු කරන විදර්ශනා දැනුමක් වන අතර බොහෝ විට පසුව එය මාන්නයක් වේ
- ජීවිතය අතහැරීම නිර්වාණ සටනේ ප්‍රබලම අදියරකි. විදර්ශනාව පිණිසය
090. සිතිවිල්ල
- ලුණු මිරිසක් තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ක්‍රමය දන්නේය
- එසේම, සිතිවිල්ල තමන් තැනුවේ නම් අමුද්‍රව්‍ය සහ සකස් කළ ආකාරය දැනගත යුතුය (උදාහරණයක් ලෙස මෙවැනි තන්තුවක් ගෙන මෙවැනි ආකාරයෙන් ගැටගසා මෙම ස්ථානයෙන් කම්පනය කළ විට රාග සිතිවිල්ල ඇති විය ආදී ලෙස)
- වාහනයක රියදුරු තමන් නම් එය වමට දකුණට කැපීම පාලනය කිරීම තමන්ට කළ හැකි විය යුතුය
- එසේම සිතිවිල්ලේ අයිතිකරු තමන් නම් සිතුවිල්ල නතර කිරීම, වෙනස් කිරීම ආදී පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුය
- තවද සිත පාලනයේ නොමැතිය. යම් ධර්මතාවයකට යටත්ය. එක ළඟ සිතිවිලි කිහිපයක් සමජාතීය වීම හේතුවකි (ද්වේශය ඇති සිතක ඊළඟ සිතිවිල්ලද බොහෝ දුරට ද්වේෂ සිතිවිල්ලක් වීම ආදී ලෙස)
- ගසක කොළ ආලෝකය දිශාවට හැරීම හේතුඵල ක්‍රියාවකි. ගසෙහි මම ලෙස දෘෂ්ටියක් ඇත්නම්, මට ආලෝකය දිශාවට කොළ හැරවීමේ හැකියාවක් ඇත, ලෙස ගස තුළ දෘෂ්ටියක් පැවතිය හැක
- එලෙසම, සිතිවිලි අප පාලනය කරනවා ලෙස අප තුළ ඇත්තේද දෘෂ්ටියක් පමණි. එය හුදෙක් හේතුඵල ක්‍රියාවක් පමණි. විදර්ශනාව පිණිසය...
091. දානය
- දීම මෙන්ම නොදීමද දානයයි. දීමෙන් ලැබෙයි. නොදීමෙන් නොලැබීම ලැබෙයි
- දායක පක්ෂයේ ගුණ, ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ, චේතනාව මත දානය බලගැන්වේ
- දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වේ
- දානය දෙන්නා වෙත දානය දීම සඳහා අවස්ථාව ලබාදීම ද දානයකි
- එනම් ධර්මය ඇසීමද දානයකි. ධර්ම දේශනය සඳහා අවස්ථාව ලබාදීම ලෙසය
- ධර්මාවබෝධයට මනසට යම් පහසුවක් ලබාදීම කල හැකි අග්‍රදානයකි. නොයෙකුත් ආකාරයෙන් ඒය සිදුකළ හැක.
- ඇස අනුබද්ධයේ අලංකාරය, කන අනුබද්ධයේ නිශ්ශබ්දතාවය, නාසය අනුබද්ධයෙන් සුවඳ දුම් ආදිය, දිව අනුබද්ධයෙන් ප්‍රණීතවත් බව, කය අනුබද්ධයෙන් පහසු ආසන පැනවීම ආදිය දානවේ
- ඉවසීම කරුණාව මෛත්‍රිය ආදී ගුණ තුළින් ද දාන සංඥාව මතු කරගත හැක
- අවසානයේ සියල්ල දානයන් ලෙස විදර්ශනා වනු ඇත. විදර්ශනාව පිණිසය
092. ආයුෂ සහ භුක්තිය
- ලෝකය තුළ කිසිම දෙයක පරම අයිතියක් නොපවතී. කාලරාමුවකට සහ සීමාවලට යටත්ය
- සින්නක්කර ඉඩමක වුවද, බිරිඳ ස්වාමියා ඥාතීන් වුවද අයිතිය පවතින්නේ ඉතිරිව පවතින ආයුෂ ප්‍රමාණයට පමණි
- අනිත්‍ය යනු එක් සීමාවක්ය. දුක තවත් සීමාවක්ය. වසඟයේ නොපැවතීම තවත් සීමාවක්ය. සියලු අයිතීන් මෙම සීමාවලට යටත් සහ ඉක්මවිය නොහැක
- ස්වාමියා, බිරිඳ, ඥාතියෝ, දරුවන්ගේ අයිතියද සීමාසහිත කාලයකට පමණි. කාලයේ ඇවෑමෙන් අයිතිය අන් සතුවේ
- එසේම ශරීරයේ අයිතියද කෙටි කාලයකටය. ශරීරයේ කොටස් අතීතයේ අන්සතුය. එසේම අනාගතයේ ද අන්සතුවේ
- සිතේ අයිතියද පවතින්නේ කෙලෙස් පවතින තුරුය. කෙලෙස් නිරෝධයත් සමඟ සිතද මමද එකවිට නිරෝධ වේ. සියලු කරුණු එකින් එක විග්‍රහ කරමින් විදර්ශනා කළ යුතුය. විදර්ශනාව පිණිසය...
093. දරුවන්
- දරුවන් යනු අතිවිශාල ආයෝජනයකි. නමුත් බොහෝ අල්ප ප්‍රතිඵල පවතී
- කුඩා කාල දරුවෙකු වෙනුවෙන් දිවා රාත්‍රී කරන කායික මානසික කැපවීම අතිමහත්ය. ප්‍රතිඵල අනපේක්ෂිතය. මෙම කැපවීම නිවන වෙනුවෙන් සිදුකළේ නම් නිර්වාණය වන්නේය
- දුක් පොදියකි. ලෙඩවීම, මියයෑම, සිතන පරිදි නොසිටීම ආදී ඕනෑම දෙයක් ඔස්සේ ඕනෑම වෙලාවක දුක පැමිණිය හැක
- දරුවන් යනු අති ප්‍රබල මාර බලවේගයකි. ආදරය ලෙස, සෙනෙහස ලෙස, මගේ ලෙස සිත හා බද්ධ වී පවතී
- වගකීම් බලාපොරොත්තු කෙළවරක් නොමැත. අතීතයේ බොහෝ පිරිසක් දුකට පත්වූයේ, නිවන අහිමි වූයේ දරුවන් නිසාය
- මරණයෙන් මතු දරුවන් උපාදාන වීමෙන් නරකයෙහි උප්පත්තිය ලැබීමට හේතුවේ
- සියලු කැපකිරීම් සිදු සිදුකළ ද දරුවන් එක මොහොතකින් අහිමි විය හැකිය. එවිට උන්මත්තක වීම වුවද සිදුවිය හැක
- දරුවන් නැමැති ලෝක ධර්මතාවය විදර්ශනා කර සිතෙහි ඇති බැඳීම් වහ වහා දුර්වල කළ යුතුය
- ලෝකෝත්තර වූ, ගුණධර්ම මාර්ගඵල ආදී දරුවන් සිටි. හොඳින් ඇතිදැඩි කර ගත් විට අවශ්‍ය ඕනෑම මොහොත පිහිටට/ පිළිසරණට සිටිනු ඇත. විදර්ශනාව පිණිසය
094. මම සහ පරිසරය
- මම, මගේ, මගේ පාලනයේ ඇත ආදී වශයෙන් පැවසීමට නම් අවම වශයෙන් . ශරීරයවත් ස්වායක්තව පැවතිය යුතුය
- අප ගුරුත්වයෙන් පොළොවට බැඳී පවතී. ගුරුත්වය නොමැතිනම් පැවැත්ම බිඳෙනු ඇත
- ආශ්වාස ප්‍රශ්වාස හරහා වායුගෝලයට බැඳී පවතී. ආලෝකය ලෙස, ශක්තිය ලෙස සූර්යයාට බැඳී පවතී
- ආහාර, ජලය හරහා පොළොවට බැඳී ඇත. තාපය, උෂ්ණත්වය, ජල වාෂ්ප ආදී ලෙස පරිසරයට බැඳී ඇත
- එනම්, අපට හිමිව ඇත්තේ පරිසරය හා බද්ධ වූ කයක්ය. එනම් ගහකොළ සූරියා ගුරුත්වය වායුගෝලය ආදී සියල්ල ද මම විය යුතුය.
- මම යන දෘෂ්ටිය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. දෘෂ්ටිගත වී ඇති ස්ථානය හොඳින් හඳුනාගත යුතුය. ප්‍රහාණ කළ යුතුය. විදර්ශනාව පිණිසය
095. ප්‍රියයන්ගෙන් වෙන්වීම
- බොහෝ කාලයක් ගෙවී අවසන්ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම ජීවිතයේ එක් වරක් හෝ මුහුණ දෙන කාරණයකි
- නොබෝ කලකින් අකමැත්තෙන් වුවත් ප්‍රියයන් හැර යාමට සිදුවේ. මව පියා ස්වාමියා බිරිඳ හිතවතුන් ඥාතීන් සියලු දෙනා ඒකාන්තයෙන් හැරදා යා යුතුය
- අද විය හැක. හෙට විය හැක මාසයකින් විය හැක. තුන්මාසයකින්, අවුරුද්දකින් අවුරුදු හතකින් විය හැක. ඕනෑම මොහොතක විය හැක. සසර ස්වභාවය එයයි
- කායානුපස්සනාව මරණානුස්සතිය පිළිකුල ආදිය බහුල වශයෙන් පුරුදු කළ යුතුය. අවස්ථාව එලබෙන ඕනෑම විටෙක පිළිසරණක් වනු ඇත
096. අනතුර
- මේ ජීවිතය තුළ ගන්නා තීරණ ඉතා වැදගත් වෙයි
- ළිඳට පැන්නා වුවද තල්ලු කළා වුවද සිදුවන්නේ එකම ප්‍රතිඵලයකි
- ජීවිතයේ නොයෙකුත් සන්ධි ස්ථානවල ජීවිත ආශාව, කාමාශාව ආදීන් නිසා සිත් බොහෝ දුර්වල වේ. මෙවිට සිතක් වෙනස් වීමට වැඩිවෙලා ගතවන්නේ නැත. මෙය හේතුඵල ක්‍රියාවකි
- ජීවත්වීමට ඇති කාලය ඉතා සීමිතය. ජීවිතයේ අවධින් දෙකක් තුනක් හෝ කිහිපයක් ගතවන විට ආයුෂ ගෙවී අවසන් වනු ඇත
- ආයුෂ ගෙවුණු පසු ජීවිතයට ආයාචනා කළ නොහැක
- කාමාශාව, ජීවිත ආශාව, බඩගින්න, පිපාසය, ආරක්ෂාව ආදී නොයෙකුත් ප්‍රපංච හේතුවෙන් එම කෙටි කාලයට ගන්නා කෙටිකාලීන තීරණ බොහෝවිට නිවනට උවදුරක් වෙයි
- නොදැනුවත්ව වුවද අතීතයේ සිදුවූවාසේම නැවතත් සසර බන්ධනයේ ආක්‍රමණයට නතු විය හැක
- මේ ජීවිතයේම කෙසේ හෝ සසර ගමන කෙළවර කළ යුතුය
- නැතහොත්, මහත් වූ නිධානයක උප්පත්තිය ලබා, නිධානය උඩම කටු මැටි ගෙයක් සාදා තමා විසින්ම සකස් කර ගත් කර්මයක් තමා විසින්ම ගෙවා මිය පරලොව ගියා වැනිය. විදර්ශනාව පිණිසය
097. ආදීනව
- නොයෙකුත් දේ සම්බන්ධ නොයෙකුත් ආදීනවයන් පවතී
- අපට විශාල යමක් නැත. ඇස කන දිව නාසය අතපය ආදිය හැකිලීම දිගහැරීම කැරකැවීම ආදී ලෙස ක්‍රියාත්මක වේ
- මෙම ක්‍රියාවන් චේතනාව සමඟ මිශ්‍ර වූ විට ඉතා බරපතලය. ආදීනව භූමි ලෙස අවීචි මහ නරකාදියේ සිට බ්‍රහ්ම තල දක්වා ක්‍රියාත්මක වේ
- මෙහි යම් චේතනාමය වෙනසක් සිදුවූ විට නිර්වාණය පවා සාක්ෂාත් වේ
- නොදැනුවත්භාවය නිසා සිදුවන ක්‍රියාවල ඇති බරපතළකම දන්නේ නම් මෙපමණ ආදීනව ද ලෙස ලේ වමනය යන්නේය
- කර්මය සිදුවූ පසු ගෙවීමම මිස හැරවීමේ ක්‍රමයක් නැත
- කුඩා වැරැද්දේ පවා ආදීනව ඇති බව දැනගත යුතුය. විදර්ශනාව පිණිසය
098. නිශ්ශබ්දතාවය
- නිශ්ශබ්දතාවය යනු හොඳම ශබ්දයයි
- සින්දුවක් ඇසීම ආදිය සැපක් වන්නේ සාපේක්ෂව නිශ්ශබ්දතාවය දුක වූ නිසාය
- සින්දු ඇසීමෙන් විඩාවට පත් වූ විට නැවත නිශ්ශබ්දතාවය සැපක් වේ
- එනම් මෙහි සැප දුක අන්ත මාරුවීමක් සිදුවේ
- සිත යනු දීමෙන් තෘප්තිමත් වන ධර්මතාවයක් නොවේ
- ලෝකය තුළ සැප සොයා යාමෙන් සිදුවන්නේ අන්ත පෙරළීම පමණි
- එම නිසා සැපයට තුඩු දෙන හේතූන් සොයා බැලිය යුතුය. ඒවා නිරෝධ කළ විට සිත තෘප්තිමත්භාවයට පත්වෙයි. විදර්ශනාව පිණිසය...
099. භුක්තිය
- බොහෝ මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් රැස් කිරීම සිදුකරයි
- නොදන්නා කාරණය වන්නේ එම රැස්කිරීමේ ප්‍රමාණයට සාපේක්ෂව එම ප්‍රමාණයේ කර්මයක්ද රැස්වන බවයි
- රැස්කළ සියල්ල දමා ගියත් රැස්වූ කර්මය රැගෙන යාමට සිදුවේ
- තවද රැස්කිරීම දිගටම සිදුකරන අතර රැස්කළ සම්පත් යම්කිසි දිනක තම හිත මිත්‍රයන් හා නිදහසේ පාරිභෝජනය කළ හැකි යැයි දෘෂ්ටියක් පවතී
- කිසි දිනෙක සිදු නොවන එය හුදෙක් දෘෂ්ටියක්ම පමණි
- ආදීනව ලෙස ප්‍රේත භූත ලෝක උරුම විය හැක
- රැස්කිරීම කෙසේ වෙතත් රැස්කළ දේ සම්බන්ධයෙන් මනස හිස් කිරීම නුවණැති ක්‍රියාවකි
- රැස්කිරීම භුක්තිය පිළිබඳ සමතුලිතය හොඳින් හඳුනාගත යුතුය. දෘෂ්ටීන් ඉවත් කළ යුතුය. විදර්ශනාව පිණිසය...
100. දරුවන් සහ දෙමාපියන්
- දරුවන් සහ දෙමාපියන් යනු එක් ජීවිතයකට අනන්‍යවූ, සංසාර පැවැත්මට සැකසුණු ධර්මතාවයකි
- බොහෝ පිරිසකට නිවන මගහැරුනේ මෙම ධර්මතාවය නිසාය
- ආදරය, සෙනෙහස, දරු කැක්කුම ආදී ලෝක ධර්මතා දෙමව්පියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට සැකසී ඇති මුලාවන්ය
- දරුවන් සහ දෙමව්පියන් ලෙස බැඳීම පවතින්නේ ජීවත් වනතුරු පමණි
- දෙමාපියන් දරුවන් මෙසේ විය යුතු යැයිද, එසේ නොවන විට ගැටුම්ද පැවතීම ස්වභාවයයි
- දරුවන් හා බැඳීම භයානකය. විශේෂයෙන් දෙමාපියන්ට මරණින් මතු බොහෝ විට ප්‍රේත භූමි උරුම වන්නේ මේ නිසාය
- උප්පත්තිය ලබා දුන් නිසා මවය, පියාය. එසේ බලන විට කර්මය, ආහාර, හිරු එළිය සහ සොබා දහම ආදී සියල්ල ම අපගේ මව්වරුය, පියවරුය. මෙය දියුණු කළ හැකි විදර්ශනා පැතිකඩකි
- කෙසේ නමුත් මෙම බැඳීම් නොබෝ කලකින් සොබාදහමින් ඒකාන්තයෙන් වෙන් කරනු ඇත. වෙන් කිරීමට පෙර මානසිකව වෙන්ව සිටීම නුවණැති ක්‍රියාවකි. විදර්ශනාව පිණිසය...
101. බැටරිය
- සංසාර යනු ෆෝන් එකක් උපමා කළ හැකිය
- එක් ජීවිතයක් යනු නොදන්නා බැටරි ලෙවල් එක බසින තුරු ෆෝන් එකක් පාවිච්චිය වැනිය
- එය තුළම ඇතිවන නොයෙකුත් කර්මයන්ගෙන් ආරෝපණය වන අතර එමගින්ම එය පණ ගැන්වෙයි
- ලෝකය දෙස ඇස කන දිව නාසය ශරීරය ඔස්සේ ලෝකය බැලීම ෆෝන් එක බලනවා වැනිය
- මෙය සංඥාවක් ලෙස සකසා ගත් විට ෆෝන් එකෙහි බැටරි බහින විට අපේ ආයුෂ ද මේ ආදී ලෙස පෙනෙනු ඇත
- තප්පරෙන් තප්පරය, පැයෙන් පැය, දිනෙන් දින, මාසය අවුරුද්ද, දස අවුරුද්ද ආදී වශයෙන් ඉතා වේගයෙන් කාලය ගතවේ
- අපගේ ප්‍රතිපදාව වෙන අයෙකු පැමිණ කර දෙන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අප නොදන්නා කරුණු බන්දේසියක දමා අයෙක් පැමිණ පිළිගන්වන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අපේ ප්‍රතිපදාව පිළිබඳව අපම වඩා සංවේදී විය යුතුය. විදර්ශනාව පිණිසය...
102. නිදහස් වීම
- බොහෝ පිරිස් නිදහස්වීම අපේක්ෂා කරයි. එම නිදහස්වීම බොහෝවිට සිරගත වූ පුද්ගලයෙක් සිරගෙය මාරු කිරීම වැනිය
- එක් තැනකින් නිදහස් වී තවත් තැනක සිරවීම සිදුවේ. පෘථග්ජන සිත එක් සිර ගෙයක සිට අනෙක් සිර ගෙයක නිදහස ඇතැයි අපේක්ෂා කරයි
- නිදහස්වීම සාපේක්ෂය. සිරෙන් නිදහස් වූ පුද්ගලයාට කරදරවලින් නිදහස් වීමේ දුක ඇත
- කරදර වලින් නිදහස් වූ තැනැත්තාට දරුවන්ගෙන් හෝ පවුල් බරින් නිදහස් වීමේ දුක ඇත
- පවුල් බරින් නිදහස් වූ විට මළ මුත්‍ර ජරාවට පත්වීම ආදී ශරීර බරින් නිදහස් වීමේ දුක ඇත. එයට සමගාමී ලෙස මානසික දුකින් නිදහස් වීමේ දුක ඇත. විසඳුමක් නොමැත
- නමුත් විය යුත්තේ මම නැමැති දෘෂ්ටියෙන් නිදහස් වීමයි. හේතුව සංසාරය උසුලා සිටින්නේ අති ප්‍රබල ධර්මතාවයක් වන මම නමැති දෘෂ්ටියයි
- එවිට ඉහත කී සියල්ල එකින් එකින් නිදහස් වනු ඇත. අවසානයේ සංසාර ගමනින් නිදහස් වනු ඇත. විදර්ශනාව පිණිසය...
103. මරණානුස්සතිය
- මරණානුස්සතිය සිදු කළ යුතු, බොහෝ ආනිසංස ඇති භාවනාවකි. කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාන හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි
- කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතුද ?
- හුදු ඒකාන්තවම මැරෙන බව දැකීමටය
- අවසානයේදී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දීමෙන් අර්ථයක් නැති බව දැකීමටය
- කෙළවරක් නැති ව ජීවිත තරඟයක ඉන්නේ ඵලක් නැති කයක් පෝෂණය කිරීමට බව දැකීමටය
- අවුරුදු 60ක් හෝ 70ක් වන තාවකාලික ජීවිතයේ අර්ථයක් ඇත්දැයි කල්පනා කිරීමටය
- මරණින් මතු යන්නට ඇති කෙළවරක් නොපෙනෙන, පිහිටක් පිළිසරණක් නැති සසර ගැන දැකීමට ය. මරණානුස්සති භාවනාව පිණිසය...
104. මරණානුස්සතිය 2
- යමෙක් මරණසතිය වඩන්නේ නම් ඔහු නිවනට බැස ගත්, නිවන කෙළවර කොට ගෙන ඉන්නා අයෙක් බව තථාගත දේශනාවය
- මරණයට මුහුණදීම පමණක් නොව, සදාකාලිකවම මරණයෙන් මිදිය යුතුය යන ඥානය ඇති කරවීමද අරමුණකි
- එයින් ඔබට මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය, යනුවෙන් සිහියක් මෙන් ම ලබා ඇති නිස්සාර ජීවිතය ගැන සංවේගයක්ද ඇති වන්නේය
- මේ නැවත නැවත මැරි මැරී යන සසර ගමනෙන් මිදිය යුතු බවට පෙර නොතිබූ ඥානයක් ඇති වන්නේය
- කයෙහි (රූපයෙහි) මෙන්ම වේදනා, සංඥා ආදියෙහි ආදීනවයම මනසිකාරය වන්නට පටන් ගන්නේය
- එයින් ආශ්වාදය බිඳ ආදීනවයම ප්‍රකට වන්නට පටන් ගන්නේය. එයින් නිස්සරණයේ පිහිටන්නේය
- ඇති තතු දැකීමෙන් ආර්ය භාවයට පත්ව නැවත භවයකට වූ තණ්හාව දුරු කර චුති චිත්තය සමග නිවී යන්නේ ය. එනිසා සියල්ලෝම අප්‍රමාදීව මරණසතිය වඩත්වා...
105. මාන්නය
- මාන්නය යනු සසර පැවැත්ම ශක්තිමත් කරන අති ප්‍රබල ධර්මතාවයකි. අනවබෝධයේ ප්‍රමාණයට ක්‍රියාකාරකම්වල මාන්නය මිශ්‍ර වේ
- පෘථග්ජන සිතකට, කතා කිරීම, කතා නොකිරීම මාන්නයයි
- තම තතු නොපැවසීම මාන්නයයි. තම තතු පැවසීමද මාන්නයයි
- හිඳගෙන සිටීම, සිටගෙන සිටීම, නිදාගෙන සිටීම මාන්නය යි
- කුමන උත්සාහය දැරුවත් අනවබෝධය පවතී නම් ක්‍රියාකාරකම් තුළ මාන්නය මිශ්‍ර වේ
- මාන්නයෙන් තොරවීමට දරන උත්සාහයද මාන්නයක් වෙයි
- තමන්ට මාන්නයක් නැතැයි මාන්නයට පත්වේ
- මාන්නයෙන් තොරවීම වෙනුවට අවබෝධයන් දියුණු කළ යුතුය
- එවිට, අවබෝධය සමග ක්‍රියාකාරකම්වල මිශ්‍රිත මාන්නයේ ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩුව ගොස්, භව නිරෝධය සමඟ මාන්නය ද නිරෝධ වේ. විදර්ශනාව පිණිසය...
106. සම්භාවිතාව
- "බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ"
- ඉතා සංවේගය දනවන ඉහත තථාගත පණිවිඩය අනමතග්ග සංයුත්තයහි ගංගා සූත්‍රයෙහි සඳහන් වේ
- එම කාලය පුරා අප ද සසර ගමනේ කොටුවී සිටියෙමු. සැප විඳිමින් නොවේ. දුකම විඳිමින්ය
- බුදුවරු බොහෝ මුණගැසුණත් ඒ සෑම අවස්ථාවකම අපගේ නිවන මගහැරී ඇත
- නැවත විමර්ශනය කළ හැකි නම් ඒවා පහත ලෙස වර්ග කළ හැක
- සිතෙහි දුර්වලතා නිසා, මව නිසා, පියා නිසා, දරුවන් නිසා, ඥාතියෝ නිසා, පෙම්වතා නිසා, පෙම්වතිය නිසා, ස්වාමිපුරුෂයා නිසා, භාර්යාව නිසා, රෝග පීඩා නිසා, ස්වභාවධර්මය නිසා ආදී ලෙසය
- සියල්ල සිදුවී හමාරය. මේ ජීවිතයේ එසේ වීමට ඉඩ දිය නොහැක
- තමා සතු සියලු ශක්තිය යෙදවිය යුතු අවස්ථාව එළඹ ඇත. සංවේගය පිණිසය...
107. මරණානුස්සතිය 3
- තුන් ලෝකයක් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේද, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද, මහ රහත් උතුමන් වහන්සේලාද අතීතයේ සිටි සක්විති රජවරුන්ටද මරණය උරුම වූයේය
- එසේම තමන්ට පමණක් නොව තමන් ඇසුරු කරන ඥාති හිත මිත්‍රාදීන්ද මරණයට ගොදුරු වූ වරෙන්තු කරුවන්ය
- ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක වරෙන්තුව ක්‍රියාත්මක විය හැක
- පෙර ඇති වූ සියල්ලෝම මැරෙනවා යන හැඟීම සාක්ෂියක් කොටගෙන තමන්ද ඒ ධර්මතාවය ඒකාන්තයෙන් සිදුවන බව භාවනාවෙන් පසක් කරගත යුතුය
- “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේය ජීවිතීන්ද්‍රිය සිඳී යන්නේය යනු අර්ථයයි
- බොහෝ අනුහස් ඇති මරණානුස්සතිය හැකි උපරිම ශක්තිය යොදා වඩනු සුදුසුය... නිවන් මග බොහෝ ඉක්මන් වනු ඇත....
108. මානසික පිළිබිඹුව
- අම්මා යනු මානසික පිළිබිඹුවකි
- මව මුලින්ම දැකපු මොහොතේ සිට ඇය සම්බන්ධයෙන් ඇසට වැටුණු වර්ණ, කණට ඇසුණු ශබ්ද, නාසයට දැනුණු සුවඳ, දිවට දැනුණු රස, ශරීරයට ලැබුණු පහස අනුබද්ධයෙන් මව නැමැති මානසික පිළිබිඹුව සකස් වී ඇත
- මෙම පිළිබිඹුව තම අත්දැකීම් සහ මතකයන්ගෙන් බොහෝ ශක්තිමත් වී බිඳිය නොහැකි මානසික සංඥාවක් බවට පත්වී ඇත
- යම් හෙයකින් මව මිය ගියහොත්, සහ එය නොදන්නා තාක් දුක දැනෙන්නේ නැත. හේතුව උක්ත මානසික පිළිබිඹුවට හානියක් සිදු නොවූ බැවිනි
- බොහෝ කාලයකින් පසු හෝ එය දැනගත් මොහොතේ ඉහත මානසික පිළිබිඹුවට හානි සිදුවේ
- එවිට, එම මානසික පිළිබිඹුව කොපමණ ශක්තිමත්ද, එපමණ දුකක් ඇතිවේ
- මව යනු මානසික පිළිබිඹුවක් සහ රැවටීමක්ම මිස, එය බාහිර ඇතැයි වැටහීම මහත් වූ මුලාවකි
- අනෙකුත් සියලුම පුද්ගලයන් සම්බන්ධව ද සියලු භෞතික දේ සම්බන්ධව ද එය එසේමය
- සියල්ල මානසික වූ මුලාවකි. එපමණකි. ගැඹුරු විදර්ශනාව පිණිසය...
109. දේපළ
- ජීවත් වීමට නොයෙකුත් දේ රැස්කිරීම ස්වභාවයයි. ඒවා සඳහා පනවා ගත් වටිනාකම් පවතී
- නොපෙනෙන කාරණය නම් එම පනවාගත් වටිනාකමේ ප්‍රමාණයට නොයෙකුත් ප්‍රභේද සහිත දුකක්ද අන්තර්ගත වීමයි
- එම දුක අනාගතයේ නොයෙකුත් ආකාරයෙන් විඳීමට සිදුවනු ඇත
- තමා සන්තක දේපලක් ඇත්නම්, ගැනීමට පෙර සිදුකළ වෙහෙස පටන් නඩත්තුව, ආරක්ෂා කිරීම ආදී බොහෝ දුක් විඳීමට සිදුවනු ඇත
- යම් සිදුවීමකින් අහිමි වනු ඇති නම් එවිට දැනෙන දුක අල්ලා ගත් ප්‍රමාණය තරම්ම විශාලය
- බොහෝ විට එහි අයිතිය පිළිබඳ මාන්නයක් ද, වෙනත් නොයෙකුත් ප්‍රභේදයෙන් යුත් කෙලෙස් ද ගොඩනැගුණු ඇත
- හොඳින් බලන විට වත්කම් ලෙස ගොඩනගාගෙන ඇත්තේ කෙලෙස් ගොන්නක්ය. දුකක්ය
- තම දේපළ ඇත්තේ හේතු ඇතිතාක් පමණි. හේතු බිඳීමත් සමග නැතිවී යනු ඇත. දේපළ ලෙස පැවති ඇත්තේ මානසික මුලාවක් පමණි. විදර්ශනාව පිණිසය...
110. බඩගින්න
- දිනපතා බඩගින්න ඇතිවන ශරීරයක් ඇත. එක් වතාවක් නොව කිහිප වතාවක් ලෙසද අඛණ්ඩව ජීවිත කාලය අවසන් වනතුරු ද මෙම මහත් වූ පීඩාව පවතී
- කිසිසේත් බඩගින්නට වංගු ගැසීමක් කළ නොහැක. එක් වේලක් මගහැරුණොත් ක්ලාන්තය, දෙවේලක් තුන් වේලක් මගහැරුණොත් රෝගය, ඊට වැඩි වුවහොත් මරණය වුවද සිදු විය හැක
- ඉගෙනීම කළ යුතුය. රැකියාවක් කළ යුතුය. දුක් මහන්සියෙන් හම්බ කළ යුතුය. අවසන් ප්‍රධාන අරමුණ ද බඩගින්න නිවීමයි
- මෙය කරදරයක්, ලෙඩක් ලෙස පිලි නොගැනීම සාංසාරික ලෙස දුකට හුරු වීමේ ප්‍රතිඵලයකි
- ආහාර ලබාදීමේ ස්වාධීනත්වයක් අපට නැත. බොහෝ සීමාවන් පවතී (සරිලන ලෙස පිසීම, දිවෙහි රුචිය, රෝග, මිල, ප්‍රමාණය ආදී ලෙසය)
- අඩුව වුවහොත් මන්දපෝෂණයකි. වැඩි වුවහොත් රෝගයකි
- ආහාර සෙවීම ඇමක් ලෙස ස්වභාව දහම තුළ ක්‍රියාත්මක වේ. බොහෝවිට ජීවිතයද තොරවේ (මුවෙක් ආහාර සොයා යෑමේදී ගොදුරක් බවට පත්වීම)
- බඩගින්න යනු සුව නොවන රෝගයකි. මහත් වූ දුකකි පීඩාවකි. වහල් භාවයකි. විදර්ශනාව පිණිසය
111. නිරය
- බුද්ධ දේශනාවේ සඳහන් නිරය යනු ඔබ අප දීර්ඝ කාලයක් අති විශාල දුකක් විඳි ස්ථානයකි
- නොදන්නාකම නිසා සිදුවන සුළු ක්‍රියාවක් වුවද නිරයට යාමට ප්‍රමාණවත්ය
- වද හිංසා පමුණුවන නිරය යනු වධකාගාරයකි
- බොහෝ දෙනෙකුගේ අදහස නිරය යනු දරුවන් නලවා ගැනීමට ගෙතු බොරුවක් ලෙසය. එහෙත් ඉර හඳ යම්සේ දිස් වේද එලෙසම නිරය සත්‍ය වේ
- නිරයේ දුක් හා සසඳන විට අපට ඇති ලොකුම දුකක් වුවද ඇල්පිනිති තුඩක් තරම්වත් නොවන්නේය
- අපට පැමිණෙන දුක්, මානසික තැවුල් ඉතා කුඩාය. නිරයෙහි දුක ඉතා විශාලය. අප තවම නිරයට වැටී නැත්තේය යැයි සිතමින් ඒම දුක්, මානසික පීඩාවන් යටපත් කළ යුතුය
- ඔබ අප සිටින්නේ සුන්දර ලෝකයක නම් නොවේ. කුඩා අතපසුවීමක් බොහෝ ආදීනව ගෙන දේ. සමාවක් අනුකම්පාවක් කිසිසේත් නොමැත
- නැවත නිරයට නොයෑම පිණිස කළයුත්ත කළ යුතුය. නොකළ යුත්ත නොකළ යුතුය
- නිරය දුක මෙනෙහි කරමින් ආතාපි වීරියෙන් මාර්ගය වඩා සසර ගමන අවසාන කළ යුතුය. සසර බිය ඉපදවීම පිණිසය...
112. අසරණකම
- කාර්යබහුලකම, වැඩ අධිකකම, දේපළ, වතුපිටි, ළමයින්, ලෝකය දෙස බලා සිටින අප තුළ අසරණකම ගැඹුරේ සැඟවී පවතිනු ඇත
- තරුණ ජවයට, නිරෝගී කමට, හැකියාවට, රැකියාවට, ලස්සනට මුවා වී ද අසරණකම පවතිනු ඇත
- ආයුෂය අහිමිවන විට ලස්සන අහිමිවන විට හැකියාවන් අහිමිවන විට අසරණකම ක්‍රමානුකූලව ඉස්මතු වනු ඇත
- අහිමි වූ නිරෝගිකම කිසි දිනක නැවත පැමිණෙන්නේ නැත. සුන්දර අතීතය මතකයක් පමණක් වී ඇත. පෙර ළඟ සිට සැනසූ මව, පියා, ස්වාමිපුරුෂයා, බිරිඳ කිසිවෙක් ගෙන් පිහිටක් නැත
- එවිට ඉකි ගසා ඇඬීමම මිස කල හැක්කක් නොමැත. මරණය එක් පසෙකින් අත වනනු ඇත. එක් පසෙකින් අතීතය මෙනෙහි වනු ඇත
- කළ අකුසලයන් විටින් විට මතකයට එන විට නොදැවී දැවෙනු ඇත
- අවදානම ඒකාන්තයෙන් පැමිණෙනු ඇත. සූදානමින් සිටින්න...
113. දුර්වලතාවය
- සොබා දහම තුළ පළමුවෙන් ගොදුරු වන්නේ දුර්වලයාය
- මානසික දුර්වලතාවය ඇත්තා පහසුවෙන් සසරේ ගොදුරක් බවට පත්වන්නේය. නිර්වාණය මගහැරෙන්නේය
- කායික දුර්වලතාවය මානසික දුර්වලතාවයේ ප්‍රතිඵලයකි
- සියලු දුක උරුම වන්නේද මානසිකව දුරුවරයාටය. මානසික පීඩාව, ආතතිය මෙන්ම අන් අයගේ වහලෙකු බවටද පත්වන්නේය. තවද මරණින් මතු සතර අපායවල ද උපදින්නේය
- මානසිකව ශක්තිමත් රහතුන් වහන්සේලාට මානසික පීඩාවක් නැත. උන්වහන්සේලාගේ බඩගින්න ආදී කායික පීඩාවද සමනය කරන්නේ අන් පිරිසක්ය
- උන්වහන්සේලා මේ ලෝකයෙහි සැපෙන්ම ජීවත්වී නිර්වාණ සැපයට ද ළඟාවේ
- මානසික ශක්තිය දිනෙන් දින වර්ධනය කළ යුතුය. සෘජුවිය යුතුය. දැඩි විය යුතුය
- මහා සුළඟින් අකම්පිතව සිටින ගල් පර්වතයක් සේ ශක්තිමත්ව වාසය කළ යුතුය. අටලෝ දහම තුළ අකම්පිත සිතක් ඇතිකර ගත යුතුය. වීරිය පිණිසය..
114. ශරීරය
- ශරීරය පිරී ඇත්තේ මළ මූත්‍ර සහ නොයෙකුත් අසුචියන්ගෙන් වන අතර බරින් හාල්මිටියක්, දෙකක් තරම් වත් නොවන්නේය
- වැසිකිලි අවශ්‍යතාවය වත් කල් දමා ගැනීමේ, පාලනය කිරීමේ හැකියාවක් අප සතුව නැත
- නොයෙකුත් රෝග පීඩාවන් වැළඳෙන්නේ අපගේ කිසිදු අවසරයකින් තොරවය
- ශරීරයේ සම කෙස් ආදි ශරීර කොටස් නොදන්වාම ශරීරයෙන් ගැලවී වැටෙන්නේය
- සිතිවිලි ද නොදන්වා පැමිණෙන්නේය. නොදන්වාම පිටවන්නේය
- ඉපදීම මරණය වුවද එය එලෙසමය. නොදන්වා නොසිතූ මොහොතක සිදුවන්නේය
- කෙසේ නම් මෙම කසල කුඩුම්බිය මම වන්නේද? මගේ වන්නේද? විදර්ශනාව පිණිසය...
115. සිත
- සිත විටෙක මළ ගෙයක් වැනිය. විටෙක කම්හලක් වැනිය. වැස්සක්, සොහොනක්, සිරකුටියක් වැනිය. නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුත් වෙනස්වීම් නුඹ සතුය
- දයාබර සිත, මා එය දකිමි. නමුත් නුබට කල හැකි දෙයක් නැත
- රැවටීම ඔබගේ කලාවයි. මුලා කිරීම ඔබගේ ස්වභාවයයි. බොරුව ඔබගේ අත්තිවාරමයි. ඔබේ ස්වාමියා මෝහයයි
- නුඹ මම යයි මෙතෙක් කල් රැවටී සිටියෙමි. නුඹ නිසා බොහෝ කල් අපායවල දුක් වින්දෙමි. නුඹ නිසා මා නොයෙක් වර හැඬූ කඳුළින් ගත කළෙමි. බොහෝ පීඩා වින්දෙමි
- අතීතයේ සැමදා ම නුබේ වහලෙක් වී වාසය කලෙමි. නුබ කී දේම කලෙමි. ඉල්ලු සියල්ලම ලබා දුනෙමි. නුඹට කිසිම කෙළෙහිගුණයක් නැත
- මේ මොහොතේ නම් නුබ අසරණය. නැවත නුඹට හිස එසවීමට ඉඩ නොතබමි
- නුඹට එරෙහිව බුද්ධ ධම්ම සංඝ ලෙස ප්‍රබල සේනාංක තුනක සහාය මා සතුව ඇත. නුඹගේ අවසානය නොබෝ කලකින් සිදුවනු ඇත
116. කඹ ඇදීම
- සසර ගත සත්ත්වයා කාම වස්තුන් සම්බන්ධ කඹ ඇදීමක නිරතවේ
- මාරයාගේ දිශාවේ කඹය ඇත්තේ අදින විට හිරවෙන ලෙසය. එක්තරා සීමාවකින් එහාට කිසිසේත් ඇඳිය නොහැක. අඳින විට සිදුවන්නේ පරාජය වීමය
- මෙම ක්‍රීඩාව කළ හැකි වෙනත් ආකාරයක් ඇත. කඹය අල්ලාගෙන, ඇදීම නොකළ යුතුය. සුදුසු ලෙස අතහැරීම සිදුකළ යුතුය
- ලැබුණු දෙයින් සෑහීමට පත් වීම. නොලැබුන දේ පිළිබඳ අරගල නොකිරීම. ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටීම ආදිය එම ක්‍රීඩාව සිදුකරන ආකාරයයි
- ඉහත මානසික මට්ටම නොයෙකුත් ගුණ පුරුදු කිරීම, ප්‍රත්‍යක්ෂය ආදී කාරණා මත සිදුවේ
- ලැබී ඇත්තේ ලැබීමට තිබූ දේය. නොලැබී ඇත්තේ නොලැබීමට තිබූ දේය
- නොලැබීමට ඇති දේ ලැබෙන්නේ නැත. ලැබීමට ඇති නොලැබෙන්නේද නැත
- අසූ හාරදාහක් ධර්මස්කන්ධය යනු ලෝකය හා ගනුදෙනු කරන ක්‍රමවේදයයි. ලං කර ගන්නේ නැත. විසිකරන්නේද නැත. පරිහරණය නොකරන්නේ ද නැත. පරිහරණය කරන්නේද නැත
- මක්නිසාද අත්හැරීම යනු අවබෝධයක්ම මිස අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නොවන බැවිනි. විදර්ශනාව පිණිසය
117. කැටලොග්එක
- සිත මෙන්ම එහිම ජන්මයක් වන ශරීරය යනු බොහෝ සංකීර්ණ විෂයකි
- සියලුම නිරය ආදී දුක්ඛයන්ට හේතුව වන්නේ මේ පිළිබඳ නිවැරදි කියවීමක් නොමැති වීමයි
- ඔබ අප, සිත නැමැති නාඳුනන ධර්මතාවයට පැටලී බොහෝ කල්ය. සිත නැමැති ධර්මතාවය කිසිසේත් අපගේ යහපතට නොවන බව අවධාරණය කළ යුතුය
- මෙහි තතු දන්නා අයෙක් නිරෝධයම මිස වෙනත් කිසිවක් නොපතන්නේය
- කුඩා දරුවෙකු අන් වචනයට මුලාවී ගෝනි බිල්ලෙක් හෝ එවන් චරිතයක් සිතින් මවාගෙන එයට බිය වෙමින් තැති ගනිමින් ඇතිවන තත්ත්වය එහි තතු වැටහීම සමග නිරෝධ වන්නේය
- එලෙසම මුලාවෙන් සකස් වූ සිතෙහි තතු සිතටම වැටහීම සමග සිතද නිරෝධ වී යන්නේය
- මේ සඳහා සිතෙහි තතු දැනගැනීම අනිවාර්ය වේ. මේම ඉගැන්වීම සිදුවන්නේ බුද්ධ ශාසනයකින් පමණි
- බුදු දහම යනු සිතෙහි ඔරිජිනල් කැටලොග් එකයි. ඒමගින් සිත මෙන්ම එහි පැනවීම් වන උත්පත්ති භූමි මෙන්ම ශරීරයන්ද පරිපූර්ණ ලෙස ආවරණය වේ
- සිත පිළිබඳ ඉගැන්වීම ඉතා දුර්ලභය. තම සසර ගමන නැවතීමට සංවේදී විය යුතු මොහොත එළැඹ ඇත..
118. වඩා ප්‍රබල හේතුව
- ලෞකික භූමිය තුළ සිදුවන ක්‍රියාවන් අර්ථ සහ අනර්ථ හෝ හොඳ නරක ලෙස වෙන් කෙරේ
- මෙය සත්ත්වයෙකුට පුද්ගලයකුට සාපේක්ෂක ධර්මයකි. එහි පදනම වන්නේ අදාළ සත්වයා පුද්ගලයාගේ සැපයයි
- නමුත් ලෝක ධර්මතාවයට අර්ථ අනර්ථ නැත. ඇත්තේ හේතුඵල පමණි. ඒ හේතුවට අදාළ ඒ ඵලය, මේ හේතුවට අදාළ මේ ඵලය ලෙස වේ
- එම නිසා ලෝක ධර්මතාවය තුළ ආදරය අනුකම්පාව දයාව සෙනෙහෙය වැනි දෑ නොයෙදේ
- හේතු සකස් වූ විට සත්වයා කොපමණ දුකකට පත්වුවද, ලොකු කුඩා භේදයකින් තොරව, කිසිම අනුකම්පාවකින් තොරව ඵලය ක්‍රියාත්මක වේ.
- එම නිසා ලෝක ධර්මතාවයට බිය විය යුතුය.
- අඹ ගෙඩිය යනු ඵලයකි. හේතුව වන්නේ අඹ ගසයි. ප්‍රබල වන්නේ අඹ ගෙඩිය නොව හේතුව වන අඹ ගසයි. අපගේ අවධානය යොමු විය යුත්තේ ඵලයට නොව වඩා භයානක හේතුවටය
- අවධාරණය කළ යුතු කරුණක් ඇත. නිරයේ දුක ඵලයකි. එයට හේතු සකස් කරන හේතුව නිරයට වඩා බිහිසුණුය....
119. කැමැත්ත
- කැමැත්ත අකමැත්ත යනු ලෝක ධර්මතාවයක්ය. පුද්ගල අනන්‍ය, පුද්ගලයෙක් සතු දෙයක් නොවේ
- ධර්ම මාර්ගයේ යන සමහරෙකුට ධර්මයට ඇත්තේ අඩු කැමැත්තක්ය
- අදහස වන්නේ වෙන දෙයකට වැඩි කැමැත්තක් ඇති බවයි
- කැමැත්ත දුරු කිරීම පිණිස ඇති කැමැත්ත උතුම්ම කැමැත්තයි
- අකමැත්ත යනු තවත් කැමැත්තකි
- කැමැත්ත කැමැත්තක්ම මිස එය තමන්ට අයිති දෙයක් නොවේ. කැමැත්තට තුඩු දුන් හේතු නැතිවෙන විට කැමැත්ත නිරායාසයෙන් නැතිවී යනු ඇත
- කුඩා තරුණ මහළු ආදී ශරීරයන්ට සාපේක්ෂවද, ගැහැණු පිරිමි බව අනුවද, ස්ථානය අනුවද, කුසගිනි ඇති විට, නැති විට ආදී ලෙසද කැමැත්ත වෙනස් වේ. (බොහෝ විට පොදු වූ කැමැත්තන් පවතී)
- අදහස් වන්නේ කැමැත්ත පුද්ගල අනුබද්ධ නොවන බවයි. එය තම කැමැත්තක් නොව සැමදා ලොව පවතිනා වූ හේතුඵල ක්‍රියාවලියකි
- කැමැත්ත පැවැත්මට වූවකි. තම කැමැත්ත ලඝු වී ඇති ස්ථාන හොඳින් හඳුනාගත යුතුය. එයට තුඩු දුන් හේතුන් සොයා දුරු කිරීම කළ යුතුය
120. පුස්තකාල දර්ශන
- කණ්නාඩියකින් දකින ප්‍රතිබිම්බයක ඇත්තේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ මිස වස්තුවේ ලක්ෂණ නොවේ
- එලෙසම අප ලෝකය සමඟ ගනුදෙනු කරන විට ඇස, කන, දිව, නාසය, ශරීරය යන දර්පනයන්ගෙන් ලැබෙන්නේ ප්‍රතිබිම්බයන් මිස වස්තූන් නොවේ (මෙතෙක් කල් භුක්ති විඳ ඇත්තේ ප්‍රතිබිම්බ මිස වස්තු නොවේ)
- එම ප්‍රතිබිම්බ අතීත දැනුමෙන් සහ මෝහයන් ද මිශ්‍රවී සත්වයන් පුද්ගලයන් වස්තූන් ලෙස මුලාවක් නිර්මාණය වී ඇත
- අප ගනුදෙනු කර ඇත්තේද, කරන්නේද මෙම මානසික වූ ප්‍රතිබිම්බ සමඟයි. නමුත් මනස විසින් මේවා බාහිර ඇතැයි ද පෙනෙන්නේ එම වස්තූන් ලෙස ද මුලාවක් රඟ දක්වයි
- නමුත් බාහිර පවතින්නේ වෙනත් ධර්මතාවයක්ය. තථාගත දේශනාවේ අභිධර්මය කොටස තුළ මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ඇත
- ආලෝකය ඇති විට පමණක් පෙනීම සිදුවේ. සරල ලෙස ආලෝකය වස්තුව මත පතනය වී ඇස මත ප්‍රතිබිම්බයක් සෑදේ
- මනසට ග්‍රහණය වන්නේ එම ප්‍රතිබිම්බයයි. ආලෝකය නැති විට ප්‍රතිබිම්බයක් හට නොගනියි. එම නිසා පෙනීම හට නොගනියි
- පුද්ගලයන් වස්තූන් ලෙස ඇත්තේ මුලාවන්ය. ක්ලේශයන්ය. කෙලෙස් ගුලි ය. මේය එක්තරා විදර්ශනා මාර්ගයකි. කල්පනා කර බලන විට නොයෙකුත් වැටහීම් සිදුවනු ඇත
121. ස්වංක්‍රීය යන්ත්‍රය
- ශරීරය යනු ස්වයංක්‍රීය අසූචි නිෂ්පාදන යන්ත්‍රයකි
- ආහාර ජලය ආදීය ඇතුල් කළ විට අසුචිය පිටවී යයි
- නව දොරින් නොයෙක් ප්‍රභේදයෙන් යුත් අසුචිය. නාසයෙන් සොටු, ඇසෙන් කබ, කනින් කනඳුරු, කටින් කෙළ සෙම වමනය, අධෝ මාර්ග වලින් මල සහ මුත්‍රාය
- සමස්ත ශරීරයෙන් ම පිටවන දහඩිය, තෙල, නියපොතු, ලොම් ආදී අසූචිය
- මෙම නොයෙකුත් අසුචි නිෂ්පාදන සඳහා ආහාර ජලය ආදීය ඇතුල් කිරීම, අදාළ ශරීරය නමැති යන්ත්‍රයෙන්ම ස්වයංව සිදු කරගනී
- කකුල් අතපය ආදිය ද ඉගෙනීම මතකය රැකියාව ලෙසද මෙම යන්ත්‍රයේ කොටසක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසාය
- තවද තවත් අසුචි නිෂ්පාදන යන්ත්‍ර ජනනය කිරීම සඳහාද මෙම යන්ත්‍රය තුළ පද්ධතියක් සකස්වී ඇත
- මෙම අසූචි නිෂ්පාදනය උත්පේරණය කිරීම සහ ස්ථායීතාවය සඳහා මෝහ මූලික ආදරය, කරුණාව, දයාව ආදී විශේෂාංග වලින්ද මේය සමන්විතය
- මේ අසූචිය සමග කුමන ගිවිසුම්ද? කිනම් ලස්සනක්ද? කිනම් ආශාවක් ද? කිනම් ලෝභයක් ද? විදර්ශනාව පිණිසය
122. අරමුණු සොයන සිත
- නිරය දුකෙහි ද හේතුව වන සිත නිරයට වඩා භයානකය
- සිතෙහි අරමුණක් ඇත. එය දුර්වල වන විට ප්‍රබල අනෙක් අරමුණකට මාරුවේ. මෙම සිද්ධිය උපතේ සිට මරණය දක්වාම සිදුවේ. කෙළවරක් නැත
- අරමුණුවල යම් රටාවන් ඇත. සිත දෙස බොහෝවෙලා බලා සිටීමේදී මේවා හඳුනාගත හැක (උදාහරණයක් ලෙස අයෙක් කොල්මන් කතාවක් පවසන විට අපටද අපගේ අත්දැකීමක් හෝ වෙනත් හොල්මන් කතාවක් මතක් වීම)
- අරමුණක ස්වභාවය දැනගැනීමය. දැනගැනීම සිතෙහි ඇතිවන සිතිවිල්ලක් පමණක් වන අතර එය සත්වයෙක්, පුද්ගලයෙක්, භෞතික වස්තුවක් නොවන අතර දැන ගැනීමක්ම පමණක් වේ
- එකම අරමුණ දැනගන්නා ආකාරය අනුව නිවන, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මෙන්ම නිරය වුවද තීරණය විය හැක
- දන්නා අරමුණු අතර පමණක් අරමුණු මාරුවීම සිදුවේ. එනම් අරමුණු මාරුවීමේ පරාසය දන්නා ප්‍රමාණයයි. නොදැකපු නොදන්නා දේ පිළිබඳ අරමුණු ගැනීමක් සිදු නොවේ
- අරමුණුවල වෙනස් වෙන ස්වභාවය දුක්ඛ ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදී ලක්ෂණ මෙනෙහි කරන විට අරමුණුවල බැසීම වෙනුවට අරමුණු හඳුනාගැනීම සිදුකළ හැක
- කළ යුත්තක් ඇත. අරමුණක හඳුනාගත යුතුය. අරමුණ හඳුනා ගැනීමට සිහියක් අවශ්‍යවේ. උපක්‍රම භාවිතා කළ යුතුය. ඓයට තුඩු දුන් මුලාව සිතට පෙන්වා දිම කළ යුතුය. නැවත නැවත පුරුදු කළ යුතුය
123. දුඃඛ ලක්ෂණය
- ඉපැදීම් බිඳීම් දෙකින් නිරතුරුව ඇතිවන පීඩාව, බිය විය යුතු බව, බිය ගෙන දෙන බව, දුඃඛ උත්පත්තිස්ථාන හිමිවන බව ද දුඃඛ වූ ලක්ෂණයි
- මහ වැසි වසින විට විලක නැඟෙන දිය බුබුළු බිඳී බිඳී යන්නාක් මෙන් ද, රත් වූ කබලෙක අබ පුපුරන්නාක් මෙන් ද, මේ ශරීරයෙහි කෝටි ගණන් රූප කලාපයේ නිරන්තරයෙන් ම බිඳි බිඳී යති. තමන් ඇලුම් කරන්නා වූ ඒ රූපයන් බිඳි බිදී යෑම සත්ත්වයා හට දුකෙකි
- බිඳෙන රූපයන් වෙනුවට නැවත නැවතත් අලුත් රූප උපදවා ගත යුතුය. එ බැවින් බිඳී ගිය නොයෙක් වර්ග වලට අයත් රූපයන් නැවත උපදවා ගනු පිණිස නොයෙක් ආකාර ආහාර පාන ශරීරයට ඇතුළු කළ යුතු ය. බෙහෙත් සැපයිය යුතුය. ශීතල අධික වුවහොත් උණුසුම් කළ යුතුය. උෂ්ණය අධික වුවහොත් සිසිල් කළ යුතුය
- රූපයන් උපදවා ගනු පිණිස විඳින්නට වන්නා වූ ඒ දුක්, උපන් රූපයෝ නිත්‍ය නම් විඳින්නට නො වන්නේය. තවද ඉබේ ම රූපයෝ උපදින්නේ නම් ද විඳින්නට නො වන්නේය
- රූපය පිහිට කොට ගෙන වෙසෙන, තැනැත්තා විසින් සෑම කල්හි ම ඒ දුක් විඳිය යුතු ය
- බොහෝ දුක් දී පහළ වන්නා වූ රූපය සැණෙකින් බිඳෙයි. එය ද රූපය ආත්මය කොට සලකන සත්ත්වයා හට මහත් දුකෙකි
- මෙසේ ඉපැදීම් බිඳීම් දෙකින් රූප පෙළෙන බව රූප වල ඇති දුඃඛ ලක්ෂණයෙකි. රූපවල පමණක් නොව මෙම දුක්ඛ ලක්ෂණයෙන් සකල සංස්කාරයෝ ම, සංස්කාරයන් ආත්මය කොට ඇති, සංස්කාරයනට ඇලුම් කරන සත්ත්වයා නිරන්තරයෙන් පෙලෙන්නේය. විදර්ශනාව පිණිසය
124. වන්දා
- වන්දා යනු පරිසරයට අනුවර්තනය වෙමින් ළඟට එන ගොදුරු ඩැහැගන්නා සතෙකි
- අවශ්‍ය විටෙක, තම ශරීර ප්‍රමාණය මෙන් බොහෝ ගුණයක් වන සතෙක් වුවද පහසුවෙන් මරා දමයි
- එලෙසම ක්ලේශයන් මෝහය තුළ සැඟවෙමින් අවශ්‍ය විට මතුවීම සිදුවේ. ක්ලේශයන් කුඩා වුවද සිදු කරන හානිය බොහෝය
- ක්ලේශයන් සිත තුළ පවතින්නේ වෙනත් වෙනත් ලේබල් ගසාගෙනය. වෙස් වලාගෙනය
- කුඩා ක්ලේශයක් වුවද ඉතා විශාල ලෙස සලකා වහ වහා දුරු කළ යුතුය. විදර්ශනාව පිණිසය
125. ධාතු වන්දනාව සහ සිත පිහිටවීම
- ධර්මය අග්‍රය. ශ්‍රේෂ්ඨය. කිසිවකට නොදෙවෙනිය
- ධර්මය ස්පර්ශ වූ බැවින් තථාගතයන් වහන්සේගේ ශරීරය, පරිහරණය කළ දෑ මෙන්ම දහඩිය පවා ධාතු බවට පත්විය
- ධාතු වන්දනාව ශ්‍රද්ධාව ආදී ලෙස නිවන් මගට හේතුවක් වුවත් අග්‍ර ඵලය නොවන්නේය
- ධාතු සරණ යෑම එක් කාමයක් අත්හැර තවත් කාමයක් පසුපස යෑමක් විය හැක. එක්තරා මුලාවක්ද විය හැක
- අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙස ධාතු තුළින්ද ධර්මයන් මතුකර නිවන් මග විවෘත කර ගැනීම නුවණැතිය
- නිවනට හේතු සම්පත් නොමැති විට, දිව්‍ය ලෝක ආදියෙහි සිත පිහිටුවීම විකල්පයකි. නැතහොත් එය ප්‍රමාදයට හේතුවක් වනු ඇත
- දිව්‍ය ලෝක තුළ ඇත්තේද කාමයන්ය. මනුස්ස ලෝකය තුළ වූ කාමය අතහැර, සීලය ආදිය ආරක්ෂා කර, ඊට වඩා වැඩි දිව්‍ය වූ කාමයක් පැතීම මෝහ සහගත ක්‍රියාවකි
- කිසිම භවයක් වර්ණනා නොකළ තථාගතයන් වහන්සේගේ මග පෙන්වීම නිර්වාණයම සඳහාය...විදර්ශනාව පිණිසය
126. ලිඳට පැනීම
- ඉච්ඡාභංගත්වය හෝ යම් හේතුවකට ළිඳට පැනීම වැන්නක් තනිව කළ හැකිය. නමුත් එයින් ගොඩ ඒම සඳහා බොහෝ විට බාහිර කෙනෙක් හෝ පිරිසකගේ සහය අවශ්‍ය වේ. එසේ නොමැති විට විනාශයට පත්වේ
- එදිනෙදා කටයුතුවල ලිඳට නොපැන ළිඳට පනින අවස්ථා එමටය. එම අනුවණ ක්‍රියාවන්ට ගතවන්නේ කුඩා කාලයක්ය. නමුත් තමා පමණක් නොව බාහිර පිරිසද සමාජය ද බොහෝ කාලයක් පීඩාවට පත්වනු ඇත
- ලෞකික ජීවිතය යනු තවත් එක්තරා ළිඳකි. ළිඳේ විෂ්කම්භය සැරිසැරිය හැකි සීමාවයි. බැඳීම් ළිඳේ ගැඹුරයි
- ගතවන සෑම මොහොතකම දිවි රැක ගැනීම සඳහා ප්‍රශ්න නමැති ලිං ජලය සමග පොරබැදිය යුතුය. ඉදින් ගොඩ ඒම සඳහා උපක්‍රම යෙදීමට කාලයක් නොමැත. බොහෝ පිරිස් ලිංවල උදේ සිට රෑ වනතුරු ජබුන් ගසන්නේ ගොඩ ඒමට අපහසු බැවිනි. ළිඳ තුළම මරුමුවට පත්වේ. නැතහොත් නිවැරදි කිරීමට විශාල කාලයක් සහ බොහෝ පිරිසකගේ සහයක් ද අවශ්‍ය වේ
- තවද මෝහය ලෙස හඳුන්වන, ලෝකයේ යථාර්ථය වැරදියට තේරුම් ගැනීම හේතුවෙන් සසර ගමන් කිරීම මහත් වූ අසරණභාවයකි. මෙහිදී අප මෙන්ම අප නිසා ලෝකයාද බොහෝ අපහසුතාවයට, දුකට පත් විය
- මේ ආදී සියලුම දුක්ඛයන්ට එකම පිළිසරණය වන්නේ උතුම් වූ බුද්ධ ශාසනයක් පමණි. සියල්ල නිවැරදි කිරීමේ දුර්ලභ අවස්ථාව එළඹ ඇත. අප්‍රමාදීව කටයුතු කරන්න
127. තෘප්තිමත්භාවය
- කොපමණ දේපළ, ධනය ආදිය ලැබුණත් සෑහීමට පත් නොවීම සිතේ ස්වභාවයයි
- ආහාර පාන, ඇඳුම් පැළඳුම් වලින්ද තෘප්තිමත් නොවන සිත තව තවත් රසවත් ගුණවත් ආහාර මෙන්ම විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් ද සොයයි
- නමුත් මීටර සීයක් නොපෙනෙන ඇස ගැන තෘප්තිමත්ය. සීමා සහිත කනෙහි ශ්‍රවණය ගැන තෘප්තිමත්ය
- කය කොපමණ පීඩා ගෙන දුන්නත් ඒ පිළිබඳ අරගල කරන්නේ නැත. හිස කැරකිය හැකි සීමාව මදියැයි චෝදනා කරන්නේ නැත
- ඒ වෙනුවට, තම රූපය ලස්සන යයි ද හැකියාවන් බොහෝ ඇතැයි ද ආඩම්බරය මිශ්‍ර තෘප්තිමත්භාවය ඇත
- අරගල කළ යුත්තේ රට රාජ්‍ය ආදි බාහිරය පිළිබඳව නොව, අසූචි පිටවන ශරීරය පිළිබඳවයි, සිතෙහි අසංවර භාවය පිළිබඳවයි, වේදනා ගෙන දෙන කය පිළිබඳවයි, අනවසරයෙන් සිතට පැමිණෙන සිතිවිලි ආදිය පිළිබඳවයි
- අප මෙපමණකල් සටන් කර ඇත්තේ කයෙහි දුර්වලතාවයන්ට එරෙහිව නොව, දුර්වලතාවයෙන් හෙබි සිත, කය නඩත්තු කිරීමටය
- සටන දිගටම කළ යුතුය, නමුත් සිතට එරෙහිවය. විදර්ශනාව පිණිසය
128. මානය
- සත්ව පුද්ගල දෘෂ්ටිය මානයේ පදනම වේ. සසර ගත වැරදි වැටහීමක් හේතුවෙන්, උත්පත්තියෙන්ම, සත්වයෙක්/පුද්ගලයෙක් පැනවිය නොහැකි තැනක සත්වයේක්/පුද්ගලයෙක් ඇතැයි පනවා ගැනීම දුක ආදී සියල්ලටම ප්‍රධාන හේතුවයි
- මානයේ ඇති ප්‍රධාන හානිය වන්නේ මට උනා මම කළා ආදී ලෙස කර්මය බලගැන්වීමයි
- තවද දිට්ඨධම්ම ලෙස අටලෝ දහමින් සෙලවීම ඇති කරන සිතේ විසිරීම, කනස්සල්ල, පීඩාව, පසුතැවිල්ල, ඉච්ඡාභංගත්වය, ආදරය කරුණාව ආදී සියල්ලටම පදනම ද මෙයයි
- මුවා බොහෝ අහිංසක සතෙකි. නමුත් කාන්තාරයේ වතුර ඇතැයි යන වැරදි වැටහීම සිදුවූ පමණකින් බොහෝ දුකට සහ අවසානයේ මරුමුවට පවා පත්විය හැකිය
- එම නිසා සියලු අකුසලයන්ට වඩා මිථ්‍යා දෘෂ්ටිය/වැරදි වැටහීම ප්‍රබල වේ
- එලෙසම මානය යන වැරදි වැටහීම නිසාම සත්වයා බොහෝ දුකට පත්වන අතර නිරයන්හි පවා උප්පත්තිය ලැබීමට හේතුවේ
- නිවන් මගේ පාදම වන සක්කාය දිට්ඨිය දුරුවීමද අති ප්‍රබල ක්ලේශයක් වන මානය තේරුම් ගැනීම නිසා සිදුවන්නකි
- මේ මානයට එරෙහිව අවි එසවිය යුතු අවස්ථාවයි. යුද්ධයට නැති අවිය මක් කරන්නද...? තමා තමාගෙන්ම විමසිය යුතු ප්‍රශ්නයයි
129. නිවීම
- නිවීමේ අවශ්‍යතාවය ඇත්තේ ඇවිලීමක් ඇති විට ය.
- ගින්නක ඇවිලීමේ ස්වභාවය ගිනිදළු එකින් එක වැඩිවීමයි
- හටගත් ගින්නක පැවැත්මේ ස්වභාවය ගිනි දළු අඩුවීම වැඩිවීම ගිනි පුලිගු ලෙස පැවතීම නැවත ඇවිලීම ආදී ලෙසය
- ගින්නක ඇති හානිය වන්නේ ප්‍රධාන ලෙස පිච්චීමය
- එලෙසම සිත මුලාව මෝහය නැමැති ගිනිපුළිඟු ඇති විට ඇවිලීම සිදුවේ. ගිනි ගන්නා විට නැගෙන ගිනිදළු සිතිවිලිය. මෝහය නැමැති ගිනිපිලිඟු ඇති බැවින් නැවත ඇවිලෙන්නේය
- ගින්නක පිච්චීම පිච්චුනා එපමණය. නමුත් මෙහිදී සිදුවන පිච්චීමේ හානිය ප්‍රමාණකල නොහැක. ගෑස්ටික්, ස්ට්‍රෙස්, කනස්සල්ල, පීඩාව සිත විසිරීම ආදිය දිට්ඨධම්මවේදනීයව ලැබෙන අතර කර්මයන්, කර්මපථයන් සකස් කරමින් අවසානයේ නොනිවෙන ගින්නක් බවට පත්වේ
- මෙහි තරම දන්නා අයෙක් කිසිසේත් සසරෙහි නොරැදෙන්නේය. හිසෙහි හටගත් ගින්න නිවන්නාසේ වීරිය වඩා වහ වහා සසරෙන් එතෙර වීමට කටයුතු කරන්නේය.
130. ප්‍රසාද රූප පස
- චක්ෂුඃ ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝ්‍රාණ ප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය යි ප්‍රසාද රූප පසෙකි
- ප්‍රසාද යනු ඔපයට නමෙකි. කැඩ පත් ආදියෙහි අන්‍ය වස්තූන්ගේ ඡායාවන්ට ඇතුළු වී සිටීමට යෝග්‍ය ස්වභාවයක් ඇත්තේ ය. ඔපය යි කියනුයේ එයට ය
- සත්ත්ව ශරීරයන්හි ද රූපාදි ආරම්මණයන් ගේ ඡායා ප්‍රවේශ වීමට යෝග්‍ය වූ කර්මයෙන් හට ගත්තා වූ චක්ෂු විඥානාදීන්ට නිඃශ්‍රය වන්නා වූ ඔප පසක් ඇත්තේ ය
- ප්‍රසාද රූපයෝ යයි කියනුයේ ඒ ඔප ගතිවලට ය. ඒවාට ඉන්ද්‍රිය යයි ද කියනු ලැබේ. මතකයේ තබා ගැනීමටය
131. චක්ෂු ප්‍රසාදය
- රූපයන් දක්නා වූ චක්ෂුර් විඥානය උපදනා ස්ථානය වූ ඇස තුළ පිහිටි ඔපය චක්ෂු ප්‍රසාදය ය
- ඇසේ කළු ඉංගිරියාව මැද තෙලක් මෙන් පැතිරී පිහිටා තිබේ
- ඒ ඔපයෙහි ඉදිරියෙහි රූපයන්ගේ ඡායා පහළ වූ කල්හි, දකින සිත වූ චක්ෂු විඥානය උපදී. එයට දැකීම යයි ද පෙනීම යයි ද කියනු ලැබේ
- චක්ෂු ප්‍රසාදය පිහිටි ස්ථානයේ ප්‍රමාණය උකුණු හිසක් පමණ වන බව බොහෝ අභිධර්ම ග්‍රන්ථවල දක්වා තිබේ
- පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුව යයි භූතරූප සතරෙකි
- භූත රූප සතර, වර්ණය, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය ය යන රූප නවය හා එක් ව චක්ඛුප්‍රසාදය උපදී
- චක්ඛුප්‍රසාදය සහිතව ඒ දශයක්ට චක්ඛුදසක කලාප යයි කියනු ලැබේ. ඉතිරි රූප නවයෙන් වෙන් ව චක්ඛුප්‍රසාද රූපයට පමණක් නූපදිය හැකි ය
- චක්ඛු දසක කලාපය ඉතා කුඩා ය. උකුණු හිසක ප්‍රමාණයෙහි දහස් ගණන් චක්ඛු දසක කලාප ඇත්තේය
- ඇසෙහි චක්ෂු දසක කලාප ක්ෂණ්‍යක් පාසා ම අලුතෙන් උපදී. ආයුෂය ගෙවූ කලාපයෝ නිරුද්ධ වෙති. පරණ කලාප නිරුද්ධ වීමෙන් වන අඩුවට ක්ෂණයක් පාසා ම චක්ඛු දසක කලාප උපදිති. දැන ගැනීම පිණිසය
132. ප්‍රාණඝාත කර්ම විපාක
- කර්ම විපාක, ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ
- කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍රතිසන්ධි විපාකය ය
- වරක් ප්‍රතිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍රවෘත්ති විපාකයෝ ය
- ප්‍රාණඝාත කර්ම ප්‍රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි
- ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ
- තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ
- උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ
- ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ
- නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. දැනගැනීම පිණිසය
133. මාරයාගේ ඊහිස
- මාරයාගේ දුන්නේ ඊ හිසේ ඇත්තේ උලක් නොව මලක්ය
- මලක් ලෙස සිතා පපුව දුන් විට ඊ හිස පපුව පසාරු කරගෙන යන්නේය. බොහෝ වේදනාවට දුකට පත්වන්නේය
- කාම සම්පත්තීන් ලබා ගැනීමට පෙර, අපටද එය සැපයැයි ද සුන්දර යැයිද පෙනේ
- නමුත් ලබාගත් පසු ඒ අනුබද්ධයෙන් බොහෝ දුක් විඳීමට සිදුවේ. බොහෝ විට තම මනුස්ස ආයුෂයම මේ ආදී දුක් නඩත්තුව සඳහා වැය වේ
- ඇත්තෙන්ම මලක් සංඥාවෙන් පැමිණෙන්නේ තියුණු උලක්ය
- උදාහරණයක් ලෙස ප්‍රේමවන්තයන්ගේ සියදිවි නසා ගැනීම් සෑම කාලයෙම සිදුවන දෙයකි
- එනම් එම සම්බන්ධය පටන් ගැනීමම ඔවුන්ගේ විනාශය සඳහාම සිදුවූවකි. මලක් ලෙස පැමිණි උලකි
- බොහෝ කාමයන් සම්බන්ධයෙන් මෙලෙසමය. අවසානයේ කෙළවර වන්නේ දුකකින්ය
- එනම් ඇත්තේ සැප දේ දුක ලෙස ද දුක දේ සැප ලෙසද පෙනෙන සංඥා විපල්ලාසයකි. විදර්ශනාව පිණිසය
134. සසර ජීවිතය
- තවත් රාත්‍රියක් ද අවසාන විය..
- සංසාරය බොහෝ දුක ලෙස අප අසා ඇත. නමුත් එය අපට වචනයක් පමණ
- එම දුක කුමක්දැයි අපට තවම වැටහී නැත. සසර පුරා දුකම විඳ හිත හිරිවැටී ඇත
- ඇත්තෙන්ම සංසාරය දුකය. කිසිම සමාවක් නොමැත. සියලු උප්පත්ති භූමි සැකසී ඇත්තේ දුක් විඳීමටය
- දුක්ඛයන් වටහා ගත යුත්තේ දැන් මේ මොහොතේය. එවිට දුක නිමා කළ හැක, නොමැති නම් නොබෝ කලකින් එම දුක විස්තරාත්මක ලෙස විඳීමට සිදුවනු ඇත
- මනුස්ස ජීවිතය අහිමිවූ පසු දුක වටහාගෙන ඇති පලක් නැත. නැවත නැවතත් හිරි වැටුණු හිතට, හිරි ඇරෙනතුරු පහදා දිය යුතුය
- බොහෝ සංවේදී විය යුතුය. සංසාර ගමන පහසුවෙන් නිමා කළ හැක්කේ බුද්ධකාලයක ලැබූ මනුස්ස ජීවිතයකිනි...
- මේ තත්පරයෙන් තත්පරය ගෙවෙන්නේ ඔබට එසේ ලැබුණු තවත් වටිනා මනුස්ස ජීවිතයකි.
135. සුතමය ඥානය
- නිවන් මාර්ගය සඳහා සුතමය ඥානය අනිවාර්ය වූ සාධකයකි
- මානසික පරීක්ෂණය: එක සමාන, විවෘත කිරීමට අපහසු හිස් පෙට්ටි අනන්ත ප්‍රමාණයක් සලකන්න
- නිවන් මගෙහි යතුර එක් පෙට්ටියක ඇතැයි ද, එක් පෙට්ටියක් විවෘත කිරීමට අවුරුදු ගණනාවක් හෝ ජීවිත කාලයම යන්නේ යයිද සලකන්න
- කාලය, වීරිය, උපක්‍රම ආදිය කොපමණ යෙදුවත් යතුර ලබා ගැනීමේ හැකියාව ඉතා දුර්ලභය
- යම් උත්තම පුද්ගලයෙකු ඇඟිල්ල දිගු කර අසවල් පෙට්ටියේ යතුර ඇතැයි ඒකාන්තයෙන් පවසන්නේ නම්, එය වචන කිහිපයක් පමණක් වුවද එහි වටිනාකම කෙසේ නම් ප්‍රමාණ කළ හැකිද?
- තථාගතයන් වහන්සේ නොයෙකුත් විමුක්ති මාර්ග අතුරින් අසවල් දෙය ඒකාන්ත විමුක්තිය ලෙසද, එය අසවල් මාර්ගයෙන් ලැබෙන්නේ යයිද පැවසීමත් එලෙසමය
- එම ධර්මයන් දැනගැනීම සුතමය ඥානය වේ. එක් ධර්ම කරුණක් වුවද එහි සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයක පාරමිතා ශක්තියම ගැබ්ව පවතී. වටිනාකම වචන වලින් ප්‍රමාණ කළ නොහැක
136. ඔන්චිල්ලාව
- ගැටගැසීමක්, ඇදීමේ බලයක් ද ආදි හේතු ඇති විට දෙපසට පැද්දීමක් සිදුවේ. ඔන්චිල්ලාව තුළ සිදුකරන ක්‍රියාකාරකම අනුව පැද්දීම අඩු වැඩිවීම තීරණය වේ
- ඒ දෙසට පැද්දෙන්නේ මේ දෙසට පැමිණීම සඳහාය. මේ දෙසට පැද්දෙන්නේ ඒ දෙසට පැමිණීම සඳහාය
- ද්වේශය, පළිගැනීම ආදී දෘෂ්ටියක් එහි නොයෙදෙන අතර පවතින්නේ හේතුඵල ක්‍රියාවක්ය. ගැටගැසීම ආදී හේතු නිසා ඇති වන පැද්දීම ගැට ගැසීම නැතිවන විට නැතිවන්නේය. හේතු නිරෝධ වන විට පැද්දීමක් පැනවෙන්නේ නැත
- සිත නැමැති ධර්මතාවය ද එසේමය. මෝහය ඇති විට අටලෝ දහම තුළ දෙපසට පැද්දීම සිදුවේ
- හඬා දොඩා ප්‍රාර්ථනා සිදුකර මෙයින් මිදිය නොහැක. අනුකම්පාව, සමාව, ආදරය, ආදී ධර්මතා යෙදෙන්නේ මානය සක්කාය දෘෂ්ටිය නැමති රාමුව තුළය. එම නිසා කිසිම සමාවක් ලැබෙන්නේ ද නැත
- මෝහය නැමැති හේතුව නිවැරදි වන්නේ කවදාද ඒතාක් මෙම පැද්දීම සිදුවේ. එම නිසා මෝහය මුලාව දුරු කිරීමට ම උත්සාහවත් විය යුතුය
137. විදර්ශනාවට යමක්
- මම යන්නක් පැනවීම නිශ්චිත පරිමාවක්, ස්කන්ධයක්, උෂ්ණත්වයක් ආදිය වත් ඇත්නම් සලකා බැලිය හැක
- අතීතයේ ද නොතිබෙන අනාගතයේ ද නොතිබෙන යමක් වර්තමානයේ තිබීමක් විශ්වාස කළ නොහැක
- ඉතා සංවේදී තරාදියකින් මනිනු ලැබුවේ නම් ශරීරයේ බර ක්ෂණයක් පාසා වෙනස්වෙයි. හුස්ම ගැනීමේදී බර වැඩිවේ. හුස්ම පිට කිරීමේදී බර අඩුවේ
- එලෙසම උෂ්ණත්වය, පරිමාව, හැඩය ආදිය ද ක්ෂණයක් පාසා වෙනස් වෙයි
- ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් බාහිරයටද බාහිරේ ඇති කොටස් අභ්‍යන්තරයට ද වේගයෙන් හුවමාරුවේ
- මම පරිහරණය, උදාහරණයක් ලෙස අත දරුවෙකුට ගුවන්යානයක පාලක මැදිරිය ලබා දුන්නා සේය
- ඉර පායන බව දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතු නොවේ
- එලෙසම සිතිවිල්ලක් ද ඇතිවන බව පමණක් දැනගත හැකිය. දැනගත් පමණකින් සිතිවිල්ලේ අයිතිය අප සතු නොවේ
138. ටාගට්
- ඉපදුන දා සිට දනගෑම, බහතේරීම, ළදරු පාසල්, පාසැල්, ශිෂ්‍යත්ව, ඕලවල් ආදී ලෙස අධ්‍යාපන කටයුතු සඳහා ටාගට් පවතී
- පසුව රැකියාව, විවාහය, පළමු දරුවා, දෙවන දරුවා, වත්කම්, වාහන ආදී ලෙස ද ටාගට් පවතී
- අවසානයේ දරුවන්ගේ විවාහය, දරුවන්ගේ දරුවන් බලා ගැනීම, ලෙඩ රෝග සුව කර ගැනීම ආදී ලෙස ද ටාගට් පවතී. අවසානයේ ලෙඩ දුක් විඳ මරුමුවට පත්වේ
- කිසි දිනෙක ටාගට් ඉවර වන්නේ නැත. ටාගට් යනු වළාකුලු වැනිය. ළඟට යන විට එහි එවැන්නක් නොමැත. ඉදිරියෙන් වෙනත් වලාකුලක් වෙනත් ස්වරූපයකින් දිස්වේ. කෙළවරක් නොමැත
- අවසානයේ ඉතිරි වන්නේ වෙහෙස, මහන්සිය, කනස්සල්ල, පසුතැවිල්ල ආදිය පමණි
- ස්වාමියා, බිරිඳ, දරුවන්, දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදීන් හිස මුදුනේ තබා කටයුතු කළ ද එහි එවැන්නක්ද නොමැත
- විදර්ශනා කළ යුතුය. මස් ඇටකටු ආදී අසූචියම මිස වෙන කිසිවක් එතන නොමැත
- අවසානයේ සියල්ල මානසික වූ මුලාවක් බව ද වැටහෙනු ඇත. විරාගය නොඇල්ම ආදී ධර්මයන් ස්පර්ශ කොට නිවී සැනසී යනු ඇත
139. දුබලතාවය
- ඇස යනු ඉතාම දුර්වල ඉන්ද්‍රියකි.එයින් ඇත්ත නොපෙන්වයි. ගහ කොළ සතා සීපාවා ආදී ලෙස පෙනෙන්නේ ඒ නිසාය
- පෙනෙන දේ ඇසේ විභේදන ශක්තියට සාපේක්ෂකය.
- උදාහරණයක් ලෙස ඇසට අන්වීක්ෂයක් මෙන් ඉතා විශාල විභේදන හැකියාවක් ඇත්නම් රූපයන්, රූපයන් ලෙස හඳුනා ගන්නේ නැත. සියලු දේ අංශුමය ස්වරූපයෙන් දිස්වනු ඇත.
- තවදුරටත් ඇසේ විභේදන හැකියාව ඇත්නම් අංශු වෙනුවට ශුද්ධාෂ්ටකය ආදී ධාතුමය ස්වරූපයෙන්ම පෙනෙනු ඇත
- තණ්හාව දුරු වී පසේ බුද්ධත්වය ආදී ලෙස සසරෙන් මිදී යෑම අපේක්ෂා කළ හැක. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධවද මෙලෙසමය
- අපගේ ඉන්ද්‍රියන් ඉතා දුර්වලය. එම දුර්වල ඉන්ද්‍රියන්ට ගෝචර වන දෑ සත්‍ය යැයි මුලාවීම සසර යෑමට ප්‍රධානතම කාරණයයි
140. උපාය දන්නා අපායේ නොවැටේ
- සාදන ලද ගෙයක ජීවත් වීම, ගෙය පවතිනතුරුය
- නමුත් නැවත ගෙයක් සාදා ගැනීම ගෙයක් තිබූ පමණකින් කළ නොහැක
- ඒ සඳහා අමුද්‍රව්‍ය මෙන්ම එම හැකියාව ඇති පිරිසක්ද උපකරණද ඉඩමක්ද අවශ්‍යය. එම හේතූන් නැති විට නැවත ගෙයක් සෑදීමක් අපේක්ෂා කළ නොහැක
- පරිගණකයක මෘදුකාංගයක් ස්ථාපනය සඳහා සෙටප් ෆයිල් එකක් අවශ්‍ය වීම තවත් උදාහරණයකි. සෙටප් ෆයිල් එක විනාශ කළ විට නැවත එම මෘදුකාංගය ස්ථාපිත කළ නොහැක
- රහතන් වහන්සේ ද එලෙසය. අතීත විපාකයට සකස් වූ ශරීරය වැය වනතුරු ජීවත්වීම කල හැක. නමුත් නැවත ඉපදීමකට අදාළ හේතූන් නිරෝධ වී ඇත. එම නිසා නැවත උප්පත්තියක් නැත
- අපගේ පැවැත්ම සිදු වන්නේද නැවත ඉපදීමේ හැකියාව ඇතිවන්නේද එදිනෙදා ක්‍රියාකාරකම් තුළමය
- අද්භූත ආශ්චර්යය ලෙස නැවත ඉපදෙන්නේ නැත. සිහිය කමටහන් ආදී උපායන් පාවිච්චි කරන්නේ නම් අපායෙන් මිදිය හැකි අතර තවදුරටත් දියුණු කරන විට නැවත ඉපදීමක් ද සිදු නොවනු ඇත
141. බාහිරය
- මම යන්න පැවසීමට නමි මම නොවන අනෙකක්ද තිබිය යුතුය. නොමැති නම් මම යන්නත් පැනවිය නොහැක
- මගේ යන්න පැවසීමට නම්, මගේ වන දෙයක් ද බාහිර පැවතිය යුතුය. මගේ වන දෙයක් නොතිබේ නම් මගේ යන්නත් පැනවිය නොහැක
- මගේ පාලනයේ ඇත යන්න පැවසීමට නම් පාලනයට නතු වූ දෙයක් බාහිර පැවතිය යුතුය
- එනම් මෙම සියළුම දෘෂ්ටීන් බාහිරයට සාපේක්ෂව සකස් වේ. බාහිරයක් නොතිබේ නම් මම, මගේ, මගේ පාලනයේ ඇත නැත ආදී සක්කාය දෘෂ්ටිය පැනවෙන්නේ නැත
- එනම් බාහිරය හේතුවෙන් අභ්‍යන්තරය පැනවේ. එසේම අභ්‍යන්තරය හේතුවෙන් බාහිරය පැනවේ
- අන් ආකාරයෙන් අභ්‍යන්තරයෙන් තොර බාහිරයක් නැත. බාහිරයෙන් තොර අභ්‍යන්තරයක්ද නැත
- අභ්‍යන්තරය බාහිරය යනු මුලාව හේතුවෙන් හටගත් දෘෂ්ටීන් පමණි. විදර්ශනා කර වහ වහා දුරු කළ යුතුය
142. කවලම් කිරීම
- මානසික පරීක්ෂණය: භාජනයක ඇති සීනි හොඳින් කවලම් කර නිරීක්ෂණය කළ විට නැවත ඇත්තේ සීනිය. පෙර පසු සමානය. එය පිළිගත හැකි කාරණයකි
- පෘතුවිය බෙලෙන්ඩරයකට දමා හොඳින් කවලම් කරගත්විට ප්‍රතිඵලය දූවිලි ස්වභාවයකි
- කවලම් කිරීමට පෙර තිබූ ගහකොළ, සත්වයන්, භෞතික වස්තුන් ආදී කිසිවක් නිරීක්ෂණය නොවේ
- පෙර පසු අසමානය. ගම්‍ය වන්නේ ලෝකය පිළිබඳ දැන සිටි ආකාරයේ යම් වරද සහගත බවක් ඇති බවය
- මනුස්සයෙක් සම්බන්ධවද පරීක්ෂණය සිදු කළ විට පෙර පසු නොගැලපීමක් ඇත
- පෙර දැන සිටි විදිය පසුවද එලෙසම නම් එය යම් ප්‍රමාණයකට පිළිගත හැක
- නමුත් ලෝකය සම්බන්ධව මනුස්සයන් ආදීන් සම්බන්ධව ලැබෙන ඉහත ප්‍රතිඵල අනුව නිගමනය වන්නේ එළිපිටම මුලාවක් පවතින බවය. විදර්ශනාව පිණිසය
143. අමිල වූ මිල
- වාතාශ්‍රය, ජලය, ආහාරපාන, සිසිලස, උණුසුම ආදී සියලු බාහිර සම්පත් ඇත්තේ අමිලවය, මිලකින් තොරවය. යම් යම් හේතුඵලයන්ට යටත්වය
- නමුත් මෙම සම්පත් වලට නොයෙකුත් වටිනාකම් ආදිය ආදේශ කිරීම මුලාව නිසා සිදුවූවකි
- මෙම වටිනාකම් තීරණයද නිරපේක්ෂ ලෙස නොව, තමන්ට ඒවායේ ඇති වටිනාකම අනුව තීරණය වී ඇත
- එහි දිගුවක් ලෙස නොයෙකුත් රාමුවලට කොටුවීමට සිදුවේ
- ආදීනව ලෙස ඒවා තුළ හික්මීමට මහත් පරිශ්‍රමයක්, දුකක්, පීඩාවක් දැරීමට සත්වයාට සිදුවී තිබේ. කර්මයන් බලවත් වී ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම වේ
- මුලාවන් අතර ප්‍රබලම මුලාව වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ලෙස මුලාවීමයි. සත්ව පුද්ගල භාවය නිරෝධ වූ විට ඉහත සඳහන් සියලු ම දෘෂ්ටීන් නිරෝධ වනු ඇත. සියල්ල සුවපත් වනු ඇත. විදර්ශනාව පිණිසය...
144. පෝෂණය
- ගස නැමැති ධර්මතාවය බොහෝ ශක්තිමත්ය. අපට ගසක් ලෙස බාහිරින් අලංකාරව පෙනුනද එහි අභ්‍යන්තරයේ පෝෂණය වෙනුවෙන් සංකීර්ණ ක්‍රියාවලියක් ඇත
- කුඩා ඒකක වන මල්, ඵල, පත්‍ර ආදියේද වෙන වෙනම එහි පෝෂණය සඳහා වූ ධර්මතාවයන් ක්‍රියාත්මක වේ
- බාහිර වූ හිරු එළිය, වාතය, පොළව ආදී හේතුන් ද පෝෂකයන්ය
- ගසෙහි පැවැත්ම බිඳීමට නම් මේවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. ගසෙහි පැවැත්ම බිඳීමට අතු කැපීම, කොළ, ගෙඩි, මල් කැඩීම ආදියෙන් ඇති පලක් නැත
- මනුස්ස ආදී ශරීරයද එලෙසමය. බාහිරින් මනුස්සයෙක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ශරීරය පෝෂණය වෙනුවෙන් ද විඤ්ඤාණය පෝෂණය වෙනුවෙන් ද සංකීර්ණ ක්‍රියාවලියක් පවතී
- විඤ්ඤාණයෙහි පැවැත්ම බිඳීමට විඤ්ඤාණය පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. මෙයට පෝෂණය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය සොයා ගත යුතුය
- දානය දීම, සිල් රැකීම ආදිය ශ්‍රේෂ්ඨ වූවත්, අතු කැපීමක් වැනිය
- මෙහිදී විඤ්ඤාණය පෝෂණය කරන ප්‍රධානතම හේතුව වූ මුලාව මුලින් උපුටා දැමිය යුතුය. විදර්ශනාව පිණිසය...
145. මුලාව යනු කුමක්ද?
- නැත යනු මුලාවයි. ඇත යනු මුලාවයි
- නැත නම්, පෙර ඇත හෝ පසු ඇත යන ලෙස ඇත බව කියැවේ
- ඇත නම්, පෙර නැත හෝ පසු නැත යන ලෙස නැති බව කියැවේ
- ඇත නැත යන්න සංක්ෂිප්ත වූ අටලෝ දහමයි. ද්වයතාවය යනු ද මෙයයි
- පඹයෙකුට පුද්ගලයෙක් යැයි රැවටී ඇතිවිට ඒ ගැහැණියෙක්ද පිරිමියෙක්ද යන ප්‍රශ්නයක් ඇත්නම් එය මුලාව නිසා සිදුවූවකි
- පඹයෙක් බව සැකහැර දැනගත් විට පිළිතුරු අපේක්ෂාව වෙනුවට ප්‍රශ්නය නිරෝධ වේ
- සත්ව පුද්ගලභාවය ඇත නැත යන මුලාව ප්‍රබලම මුලාවයි
- හේතූන් අනුව ඇත නැත ලෙස ඇතිවන සත්ව පුද්ගල දෘෂ්ටිය ධර්මතාවයක් වන අතර එහි ප්‍රත්‍යක්ෂ අවබෝධය සක්කාය දෘෂ්ටිය සිඳී යෑමයි
- බිඳුණු සක්කාය දෘෂ්ටිය ඇති විට අනෙක් සංයෝජනවල පැවැත්මක් නැත. ඒකාන්තයෙන් පිරිනිවෙනු ඇත
146. නොමැරී මැරීම
- මරණය ඒකාන්තය. ව්‍යාධියක් ලෙස මරණය සිදු නොවුනහොත්, මරණයට පෙර ජීවිතයේ අවසානය ඔත්පලව අත පාමින් ජීවත්වීමට සිදුවේ. එය උපරිම ලෙස අවුරුද්දක් හෝ මදක් වැඩි විය හැක
- එම කාලයේ උදව්වක් ලබා ගැනීමේ අරමුණින් දරුවන් හදමින් දේපළ රැස් කරමින් ජීවිත කාලයම නොමැරී මැරේ. එම නිසා බොහෝ කර්මද රැස්වේ
- එහෙත් ඒකාන්ත වශයෙන් උදව්වක් ලැබේ යැයි ද බලාපොරොත්තු විය නොහැක
- එම කාලයේ යම් උදව්වක් ලැබුණත්, මරණින් මතු, එම සිදු වූ කර්මවලට සතර අපාය උරුම වුවහොත්, කිසිවෙකුට උදව්වක් කිරීමට ද නොහැකිය
- සම්ප්‍රයුක්ත වශයෙන් සිදුවිය ඇත්තේ මහත් වූ අලාභයකි
- ඇත්ත වශයෙන්ම උදව්ව ලැබිය යුත්තේ ඔත්පලව සිටින කාලයට නොව, මරණ මංචකයේ, සසර ගමන තීරණය කරන, චුති සිත පිහිටවීමටය
- එයට එකම උදව්ව වන්නේ ප්‍රගුණ කළ ධර්මයන් ය.
- තමන්ට යම් විවේකයක් ලැබෙන්නේ නම් එය ධර්මය වෙනුවෙන්ම යෙදවිය යුතුය
- දරුවන් හැදීම, දේපල රැස්කිරීම වැනි වැලි මාලිගා වෙනුවට ද තව තවත් ධර්මයන් ම ප්‍රගුණ කළ හැකි නම් එය මහත්ඵල මහත් ආනිසංසය...
147. පින් කැටය
- දානය යනු පහසුවෙන් සිදුකළ හැකි කුසල් උත්පාදකයකි. දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදී පිරිස් ධර්මයට නැඹුරු කිරීමට හැකි එක්තරා උපක්‍රමයක් පහත දැක්වේ
- නිවසේ බුදුපිළිමයක් ඇත්නම් ඒ අසල හෝ සුදුසු ස්ථානයක දානය සඳහා මුදල් දැමිය හැකිසේ පෙට්ටියක් හෝ පින් කැටයක් අලංකාරවත් අයුරින් සකසන්න
- සෑම දිනයකම කුඩා හෝ මුදලක් දානය වෙනුවෙන් ඒ තුළට දමන්න/දැමීමට සලස්වන්න
- දානයක් එළඹුණු විට එහි ඇති මුදලෙන් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
- නැවතත් දානයක් එළඹෙන්නේ නම් ඉතිරි මුදලින් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
- මෙහිදී දන් වැටක් ආකාරයෙන් දානය සිදුවන අතර දානය සඳහා සිත භාවිතා වේ. ප්‍රමාණ කළ නොහැකි කුසලයක් රැස්වේ
- චේතනාව නිවන් අරමුණෙන්ම සිදු කිරීමට උත්සාහවත් විය යුතුය/කළ යුතුය
- ආනිසංස ලෙස නොදැනුවත්වම ධර්මයට නැඹුරුවනු ඇත. ඒ සඳහා මාර්ගය සැකසෙනු ඇත
148. සිහිය
- සිහිය පැවැත්වීමට පෙර සිහිය යනු කුමක්දැයි හොඳින් හඳුනාගත යුතුය. නැතිනම් කළුවා මාරපන ගියාසේ විය හැකිය
- සොරෙක් සොරකමේ යෙදෙන්නේ මනා සිහියකිනි. නමුත් එම සිහියෙන් නිර්වාණය සාක්ෂාත් නොවේ. එයින් නැවත ඉපදීම ඇතිවේ. එම නිසා එය අසිහියකි
- බොහෝ සිහියන් ඇති අතර නිවැරැදි සිහිය නිර්වාණයට සාපේක්ෂ වූ සිහියකි
- යමක් තුළ සිහිය පැවත්වීමෙන් නැවත ඉපදීමක් ඇති නොවේ හෝ ඒ සඳහා හේතු සැකසේ නම් එය නිවැරදි සිහියකි
- අසිහියෙන් සිටින බව දන්නේ නම් එය ද නිවැරදි සිහියකි
- ප්‍රත්‍යක්ෂ වූ ධර්මයන් භාවිතා කිරීමද නිවැරදි සිහියකි
- සත්වයා තුළ ඇතිවන සිතිවිලි ක්‍රියාත්මක වීම සිදුවේ. ජීවත් වීම යනු එයයි
- එම සිතිවිලි ක්‍රියාත්මක වීම වෙනුවට ධර්මානුකූල ප්‍රවේශයකින් හඳුනාගැනීමට හැකි නම් එම සිතුවිලි තුළ බැසගෙන නැත. එය ද නිවැරදි සිහියකි. විදර්ශනාව පිණිසය...
149. වත්කම
- ලෝකයේ වත්කම් යනු ඇත්නම් ය. ගේ දොර ඉඩකඩම් ආදීය ද දූ දරුවන් ආදීන් ද, වෙහෙස මහන්සියෙන් උපයාගත් වත්කම්ය
- පැවැත්මට යම් පහසුවක් වුවත් නඩත්තු කිරීම, සිතේ විසිරීම, කර්ම සකස්වීම, උපාදාන සකස්වීම ලෙස සත්වයාට උරුම වන්නේ සම්ප්‍රයුක්ත වූ දුකකි
- එක තප්පරයෙන් විනාශ වීමේ හැකියාව ඇත. අවදානම් සහගතය. මෙම වත්කම් එකවර අත්හැරීමට ද නොහැක. සිත හා උපාදාන වශයෙන් බද්ධව ඇත. අත්හැරීම අපහසුය. නඩු හබ පවා ඇති විය හැක. මෙම වත්කම් නිසා සතර අපාය පවා උරුම විය හැක
- ගේදොර ඉඩකඩම් නැත දරුවන් නැත යන්න වටිනා වත්කමකි. මෙම වත්කම භුක්ති විදීමට සමත් මානසික ශක්තියක් සෑම පුද්ගලයකුටම නැත
- මෙම වත්කම තුළ නඩත්තුවක් නැත. ප්‍රශ්න නැත. උපාදාන නැත. සුගති ලෝක, නිවන පවා පහසුවෙන් හිමි වේ
- ශ්‍රේෂ්ඨ වූ මානසික වත්කම් පවතී. දුන් දානය වත්කමකි. රක්නා ලද සීලය වත්කමකි. වැඩූ සමාධිය වත්කමකි. විදර්ශනා ඥාන මාර්ග ඵල ආදිය පරම වූ වත්කම්ය
- වටිනා වත්කම් භෞතික වත්කම් නොව මානසික වත්කම්ය. විදර්ශනාව පිණිසය...
150. උපක්‍රමශීලීත්වය
- උපක්‍රමශීලී බව නොමැතිව මේ සිත යටපත් කළ නොහැක
- ධර්මය වෙනුවෙන් දිනපතා යම් කාර්යයක් කළ යුතුය. ධර්මය තුළ සිත පිහිටන තෙක් සතියකට වරක් හෝ ධර්ම සාකච්ඡාවක් සිදුවිය යුතුය
- ලැබූ කමටහන් හෝ උපදෙස් නොඉක්මවිය යුතුය
- අප පිළිබඳ හොඳින්ම දන්නා සිත සංසාරයක් සිදුකලාසේම නැවත අපව මුළා කිරීමට බොහෝ ඉඩකඩ ඇත. මුලාවීදැයි නැවත නැවතත් සොයා බැලිය යුතුය
- ප්‍රමාදය නොයෙකුත් ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ. අද නොව හෙට, දැනට ඇති, අපට කරන්න බෑ, තව පින් කරන්න ඕන, මම මහා පින්වන්තයෙක්, කළ කුසල් හොඳටම ඇති ආදී ලෙස කියමින් නිවන් ගමන වළකනු ඇත
- ආරම්භක වීරිය ක්‍රමානුකූලව දුර්වලව, ධර්මය වෙනුවෙන් සිදුකළ කාර්යයන් එක එක නොදැනුවත්වම මගහැරී ගොස් හිතා ගත නොහැකි ලෙස පිරිහීමට පත්විය හැක
- තම කෙලෙස් පිළිබඳ හොඳින්ම දන්නේ තමන්ය. එයට වැට බැඳීම පිටසක්වලින් පැමිණ සිදු කරන්නේ නැත. අප්‍රමාදව ඒ සඳහා තමා විසින්ම උපක්‍රම සකස් කළ යුතුය
- ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි. තමා පිළිබඳ තමාටම අනුකම්පා කළ යුතුය
151. ශරීරය යනු උගුලකි
- අප දරා සිටින්නේ නොයෙක් අසූචියෙන් පිරුණු ශරීරයකි
- ප්‍රාණය නිරුද්ධ ශරීරය, බිය උපදවන අතර පිළිකුල මෙන්ම දුර්ගන්ධයෙන්ද යුක්තය
- එසේම උපක්‍රම යොදා වළක්වා ඇතත් ප්‍රාණය ඇති විටද මෙම ලක්ෂණ එම ලෙසම ඇත්තේය. විටින් විට ප්‍රකට ද වන්නේය
- මෙම ශරීරයේ කිසිම අයිතියක් අප සතුව නැත. යම් දවසක ලැබුණු ශරීරය යම් දවසක අහිමි වන්නේය
- අන් ආකාරයෙන් ශරීරය යනු කර්ම රැස්වීම පිණිස අටවා ඇති සූක්ෂම උගුලකි
- බඩවැලේ කෙළවරක් වූ මුඛ ද්වාරයද බාහිර වාතයට නිරාවරණය නොවූ අසුචීන් පිට කිරීමට වූ ද්වාර ද ඇත්තේය
- උගුලක් බැවින්, පිළිකුල් බැවින්, අසුභ බැවින්, කර්මයන් රැස්වන බැවින්, ප්‍රමාදයට හේතුවන බැවින්, තමන්ගේ නොවන බැවින් ඒවා අසූචි බැහැර කිරීමට පමණක් සීමා කළ යුතුය
- විදර්ශනා කොට මෙම ශරීරය තුළ ද ගැඹුරට බැස ඇති සක්කාය දෘෂ්ටිය ගලවා වහ වහා ඉවත් කළ යුතුය
152. හේතුව ඵලය
- වස්තුව ආලෝකය පොළොව ආදි හේතු ඇති විට හෙවනැල්ලක් දක්නට ලැබේ
- මෙය වස්තුව නිසා පමණක් සිදු වූවක් නොවේ. ආලෝකය පොළව ආදී අනිකුත් හේතුන් ද ඇති විට සිදුවූවකි
- හේතූන් ඇති විට ඇතිවෙයි ( හේතූන් නැති වුවහොත් නැතිවීමේ හැකියාව පවතී )
- හේතූන් නැති විට නැතිවෙයි ( හේතූන් ඇතිවුවහොත් ඇතිවීමේ හැකියාවද පවතී ) කාල වෙනසක් නොමැත
- එලෙසම ඇසට රූපයක් පෙනීම, කනට ශබ්දයක් ඇසීම ආදීය ද, සිතිවිලි ඇතිවීම නැතිවීම ආදිය ද මඟ ඵල මෙන්ම සිතෙහි නිරෝධය ආදිය ද හේතුඵල ලෙස සිදුවේ
- මෙය ඇත නැත ආදී ලෙස වූ ද්වයතාවය නමැති මිථ්‍යාව ඉක්මවා යෑමකි. විදර්ශනාව පිණිසය...
153. සිහිනයකි
- සිහිනයක සිටින විට සිහිනය ඇත්තක් ලෙස ඒ තුළ බැසගෙන පවතී
- සිහිනය තුළ නොයෙක් මිල මුදල් ආදිය ලැබීය හැක. නොයෙක් අලාභයන් ද සිදු විය හැක
- අතපය කැපීම් බිය ගැන්වීම් ආදී අත්විඳීමි ලැබිය හැක
- නමුත් සිහිනයෙන් අවදි වූ විට කිසිවක් නොමැත
- කාමය වරදවා හැසිරීම්, මත්පැන් පානය ආදී පංචකාමයන් මෙන්ම ෆිල්ම් එකක් බැලීම, සින්දුවක් ඇසීම වැනි කාමයන්හි අත්විඳීම ද සිහිනයක් වැනිය. රැස්වූ කර්මයක් හැරෙන්නට අවදි වූ විට ලද කිසිවක් නොමැත
- ජීවත්වීම ද යනු සිහිනයක් වැනිය. ස්වාමියා බිරිඳ දරුවන් දෙමාපියන් හිතවතුන් නෑදෑයන් දේපළ ආදිය ඇති ලෙස හැඟුණත් මරණය සිදුවනතුරු පමණි
- අන් ආකාරයෙන් කාමයන් යනු ගලක් මිරිකා වතුර ගන්නා වැනිය. කොපමණ උත්සාහ කළත් සෑහීමට පත් නොවේ
- කාමයන්හි සාරයක් ඇති ලෙස හැඟුනත් එය මුලාවක් පමණි
- අවසානයේ කනස්සල්ල පීඩාව කලකිරීම වැනි දේ හැර ලැබූ කිසිවක් නොමැත. කර්ම උත්පාදකයකි. දුක පිණිසම වූවකි. මුලා නොවනු පිනිසය...
154. ස්පර්ශය
- උපතින්ම මහපොළවේ ස්පර්ශය අපිට ඇත
- ආශ්වාස ප්‍රශ්වාස ලෙස, ආහාර ලෙස, උණුසුම සිසිලස ලෙස, දරා සිටීම ලෙස ද රූප, ශබ්ද, ගන්ධ ආදි නොයෙක් ආකාරයෙන් පොළොව ස්පර්ශව පවතී
- ශරීර පෝෂණය මෙන්ම ජීවිතය රැකෙන්නේ ද පැවැත්ම රඳා පවතින්නේද එම ස්පර්ශය මතයි
- එසේම සසරට ඇද වැටීම වැළැක්වීමට ධර්ම ස්පර්ශය නිරතුරුව පවත්වා ගත යුතුය
- උදාහරණයක් ලෙස කන හරහා ධර්මය ඇසීම ලෙස ස්පර්ශ විය යුතු අතර ඇසට ආරණ්‍ය දාන මාන ආදී ලෙස පෙනීමෙන් ධර්මයේ ස්පර්ශ විය යුතුය
- වැඩිදුරටත් සිත ඇතුළු ආයතන සීලය ලෙස, සමාධිය ලෙස, ප්‍රඥාව ලෙස ධර්මයෙන් තෙත් වනතුරු ස්පර්ශ විය යුතුය
- ධර්මයේ ස්පර්ශය ඇති විට අඩු වැඩි නොමැතිව සිත ධර්මය බවටම පත්වේ
- අභ්‍යන්තර බාහිර ලෙස වූ විෂමතාවය දුරු වේ. ඉපදීමේ නිරෝධය සිදු වේ. විදර්ශනාව පිණිසය...
155. වාහනය
- කෙළවරක් නොමැති බොහෝ ගමන් ඇති අතර , ගමන් කළහොත් සියලු ගමන් කෙළවර වන නිර්වාණ ගමන සියල්ල අතරින් ශ්‍රේෂ්ඨය
- වෙනත් රටකට යාම සඳහා ,ගමනක් යාම ආදිය සඳහා, අවශ්‍ය නම් යම් වාහනයක් වුවද නිෂ්පාදනය කර ගත හැක
- ඒකාන්ත සැපයට මාර්ගය වූ නිර්වාණ ගමන සඳහා අත්‍යවශ්‍ය වන, ඉතා දුර්ලභ වූ මනුෂ්‍ය ශරීරය නැමැති වාහනය ලෙහෙසියෙන් පහසුවෙන් යම් සත්වයෙකුට උරුම වන්නේ නැත
- නිෂ්පාදනය කළ නොහැක. ගිවිසුම් ගසා ලබා ගැනීමටද නොහැක. හේතුඵල අනුවම උරුමවන්නකි
- කෙසේ වුවත් පෙර පිනකට එය දැනටමත් ලැබී ඇත. ලැබුණු අවස්ථාව කිසිසේත් අත් නොහළ යුතුය. නැවත දෙවන අවස්ථාවක් අපේක්ෂා කළ නොහැක
- මෙම ගමනේ අසිරිමත් ලක්ෂණ ඇත්තේය. තනිවම ගමන් කළ හැකිය. සියලු ගමන් කෙළවර වන්නේ ය. ගමන් කළ යුත්තේ ද එක් වතාවක් පමණි. නැවත පැමිණීමක් නැත
- ඉතා වටිනා මනුෂ්‍ය ශරීරය නැමැති වාහනය උරුම වුවද වෙනත් වාහන පිළිබඳ සිහින දැකීම නිධානයක් උඩ කටු මැටි ගෙයක් සෑදීමට කල්පනා කිරීමක් වැනිය
156. වෛද්‍යවරයා
- සසර දුකට වෙදකම් කරන අමාමෑණි තථාගතයන් වහන්සේ සියලු වෛද්‍යවරුන්ගේද වෛද්‍යවරයාය
- උන්වහන්සේගේ වෙදකම තුළ පෙති නැත. කරල් නැත. නිර්වින්දනය , පත්තු බැඳීම් ආදිය ද නැත
- බෙහෙත් ඇතුල් කරන්නේ කනෙන්ය. සියලු රෝග නිධානයන් ද දුරු කරමින් සසර දුකද කෙළවර වන්නේ ය
- බෙහෙත වර්ණනා කිරීමකින් හෝ එම බෙහෙත් වලට වන්දනාමාන කිරීම ආදියෙන් හෝ රෝග සුව වන්නේ නැත
- මල් පහන් හඳුන්කූරු දල්වා, බෙහෙත් වට්ටෝරුව සජ්ඣායනා කිරීමකින් ද රෝග සුවවීමක් අපේක්ෂා කළ නොහැක
- ගෑමට ඇති ඖෂධය බීමෙන් හෝ බීමට ඇති ඖෂධය ගෑමෙන් ද පලක් නැත
- තථාගත ඖෂධය ඇත්තේ ප්‍රත්‍යක්ෂ කිරීමටය, භාවිතා කිරීමටය. නැවත නැවත භාවිතා කිරීමටය
- ප්‍රතිකාරයේ යම් වරදක් සිදු වුණහොත් නඩු දැමීමට අධිකරණයක් නැති හෙයින් විටින් විට රෝගය සුව අතට හැරේදැයි තමාම විමසිලිමත් විය යුතුය. විදර්ශනාව පිණිසය...
157. ජපවීම
- මන්තර ආදිය එහි බල පිහිටවීම පිණිස බොහෝ වතාවක් ජප කිරීම සිදුකරයි
- එලෙසම මුලාව සසරක් පුරා සිදුවී ඇති නිසා ඒවා අපහට ජප වී ඇත
- ඉතා දිගු කාලයක් ජප වීම නිසා මුලාව මුල්බැස බලපිහිටා ඇත
- විශාල තට්ටු ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ලක් සකස් කිරීම දීර්ඝකාලීන නමුත් පුපුරන ද්‍රව්‍යයක් යොදා බිඳීමට ගතවන්නේ ක්ෂණයකි
- ක්ලේශයන්ට වූ පුපුරන ද්‍රව්‍ය තථාගත ධර්මය
- ක්ලේශයන්හි ජපය දීර්ඝ කාලයක් සිදුව ඇති බැවින් එය බිඳීමට තථාගත ධර්මයද යම් කාලයක් ජප කිරීමට සිදුවේ
- නමුත් බොහෝ කාලයක් නොවේ නිවැරදිව සිදු කරන්නේ නම් උපරිම අවුරුදු හතකි
- ප්‍රතිඵල නැතැයි පසුතැවිලි නොවන්න. ධර්මය වෙනුවෙන් සිදු කරන සෑම ක්‍රියාවකින්ම ක්ලේශයන්හි ජපය බිඳෙනු ඇත
- නොබෝ කලකින් ප්‍රතිඵල ලැබෙනු ඇත
158. අවශ්‍ය දේ මුලින්
- ගසක් හැකිතාක් මුලින් සිටවන්නේ නම් වාසියකි
- ගතවන සෑම දවසකම නිරායාසයෙන් ගස වැඩීම සිදුවේ
- ධර්මයන්ද එසේය. කුඩා කල තරුණ කල ධර්මයන් වැටහෙන්නේ නම් භාවිතය දිගු කාලයක් නිරායාසයෙන් සිදුවන්නේය
- ධර්මය තුළ සිත පැවතීමට හුරු වන්නේය. නිරායාසයෙන්ම ධර්මය ප්‍රත්‍යක්ෂ වන්නේය
- සාපේක්ෂව මහලූ වූ පසු කායික අපහසුතාවය, ලෞකික දැනුම, දේපළ, මුල් බැස ගිය බැඳීම් ආදිය නිසා ධර්මයක් වටහා ගැනීම තරමක් අපහසුය
- විවාහය දරුවන් දේපළ යානවාහන ආදිය රැස්කළ ඉක්මනට අස්කළ නොහැක. ධර්මය වැඩීමට තබා හිටපු තැනට ගැනීමටත් සෑහෙන කාලයක් ගතවන්නේය
- තව ද යුද්ධයෙන් බැටකෑ අයෙකු ආරක්ෂිත ස්ථානයකට පැමිණියද, තව තවත් ඈතටම යනවා මිස මෑත දිශාවක් බලන්නේ වත් නැත. එලෙසම සසර නමැති යුද්ධයේ ඉවත් විය යුතුය
- කයෙහි වයසට යම් අංකයක් ඇතත් සිතෙහි වයස අනවරාග්‍රය
- ඔබ අප, ඔබ අපට කිසිම අයිතියක් නොමැති සිත නැමැති ධර්මතාවයක් සමඟ බොහෝ කාලයක් පොරබැද්දේ වෙමු. බොහෝ දුක් වින්දේ ද වෙමු. මේ ජීවිතයෙන් එය අවසාන විය යුතුය
159. අනුන්ගේ දුක
- අන් අයගේ දුකට කැමති සත්වයන් හට උරුම වන්නේද දුකමය
- උදාහරණයක් ලෙස හොඳින් ගීත ගායනා කරන්නා ලෝකයේ වැඩි අවධානය හිමිවන්නේය
- අයෙක් හොඳින් ගීත ගායනා කරන්නේ පුරුදු පුහුණු වීම ආදී දුක් විඳීමේ ප්‍රතිඵලයක් ලෙසය
- එනම් අන් ආකාරයෙන් ලෝකයේ කැමැත්ත ඇත්තේ එම දුක් විඳීමටය
- එලෙසම ලෝකයේ ඉල්ලුම ඇති උගත්කම, පෝසත් බව, හැකියාවන් ආදිය යනු දුකෙහිම පිළිබිඹුවකි
- සම්මුඛ පරීක්ෂණයක වුවද පරීක්ෂා කරනුයේ හොඳින් දුක් විඳ ඇද්ද යන්නයි
- ලෝකයේ සැප ලෙස පවතින්නේ සැප ලෙස වෙස්වලාගත් නොයෙකුත් කර්මයන් රැස්වීම පිණිස වූ උගුල් ය. පසුව විපාක ලෙස දුක පැමිණෙන්නේය
- පිරිනිවීමම මිස දුක් නොවිඳ සිටීමේ වෙනත් ක්‍රමයක් නැත
160. සිතිවිලිද විපාකයකි
- විපාක නොයෙකුත් ආකාරයෙන් පවතී
- විපාකයක් වූ හිස අතපය ආදී ශරීරය බාහිරින් පහසුවෙන් හඳුනා ගත හැක
- නමුත් පුද්ගලයෙක් තුළ ඇතිවන සිතිවිලි නම් විපාකය පහසුවෙන් හඳුනා ගත නොහැක
- ඵලයක් ලෙස ඇති වන සිතිවිල්ලකට මෝහය මිශ්‍ර වූ විට එය නැවත කර්මයක් බවට පත්වේ
- එකම කාරණයට නොයෙක් ආකාරයෙන් හේතුඵල සම්බන්ධතා පෙන්වාදිය හැකි අතර හේතුඵල ගලපන ආකාරය අනුව කෙලෙස් මර්දනය වීම සිදුවේ
- පෙර ජීවිතයේ අවසාන සිත පිරිසිදු නොවීම යන හේතුව නිසා විපාක ලෙස මේ ජීවිතයේ සියලු සිතුවිලි ඇතිවේ යන්න එක් උදාහරණයකි
- මෝහය යනු ලෝක ධර්මතාවයන් වැරදියට වටහා ගැනීමයි
- මෝහය මුලාව ඉදිරියේ කැළඹෙමින් පණ ගහන සිත ප්‍රඥාවට නිසල වී නිවී යයි
161. සාපේක්ෂ වූ කැමැත්ත
- කැමැත්ත ශරීර ප්‍රමාණයට, ස්ත්‍රී පුරුෂ භාවයට, ස්ථානයට, කුඩා තරුණ මහලු බව ආදියට සාපේක්ෂක වේ
- රන් රිදී මුතු මැණික් වලට ඇති කැමැත්ත මනුෂ්‍ය ආදී ශරීරයන්ට සාපේක්ෂකය. කුහුඹුවකු පණුවෙකු වැනි ශරීරයන්ට එහි ඇති වටිනාකමක් නැත
- ආහාරට ඇති කැමැත්ත බඩගින්නට සාපේක්ෂකය. වැඩිපුර ආහාර ගත් අයෙකුට රජ බොජුන් වලටද කැමැත්තක් ඇතිවෙන්නේ නැත
- කොපමණ ලස්සන කාන්තාවක්/කඩවසම් පුරුෂයෙක් වුවත් ඉතා කුඩා (ශරීරයෙන් සීයෙන් පංගුවක් තරම්) හෝ ඉතා විශාල (ශරීරයෙන් මෙන් සිය ගුණයක් ගුණයක් තරම්) අයෙකුට රාගයක් සකස් වන්නේ නැත
- ලෝකයේ සුන්දරත්වය ඇත්තේ එක්තරා වේගයකට පමණි. අඩු හෝ වැඩි කළ විට එහි සුන්දරත්වයක් නොමැත (ෆිල්ම් එකක් දස ගුණයක් වේගවත් කොට නැරඹුවා සේ)
- සංශිප්ත ලෙස කැමැත්ත ඇත්තේ මුලාවේ මෝහයේ ප්‍රමාණයටය. මෝහය දුරුවන විට කැමැත්ත නිරායාසයෙන් දුරුවනු ඇත
162. Game එක
- සංසාරේ යනු ගැට ගැසුණු නූල් බෝලයක් වැනිය
- මුලාව ඇත්නම් සෑම උත්සාහයකින්ම සිදුවන්නේ ගැටයේ ස්ථානය වෙනස්වීම සහ තව තවත් ගැටවැදීම පමණි
- උත්සහ කොට හෝ නොකොට ගැටවලින් නිදහස් විය නොහැක. ගැට ගැට ලෙස හඳුනාගැනීම ඉන් නිදහස් වීමයි
- උදාහරණයක් ලෙස පරිගණකයක Game එකක් Play කරන අයෙකු Game එක තුළ යම් යම් ජයග්‍රහණ ලැබීම යනු Game එක තුළ තව තවත් හිරවීමයි
- Game එක අකමැත්තෙන් ප්ලේ කිරීම, Game එක කැමැත්තෙන් ප්ලේ කිරීම, දෙකෙන්ම Game එක තුළ තව තවත් සිරවීම සිදුවේසි
- Game එක Game එකක් බව හඳුනාගන්නා තුරු ඔහු ගේම් එක තුල වහලෙක් ය. Game එකක් බව හඳුනා ගැනීමම එයින් මිදීමයි
163. ප්‍රශ්නය
- එය එසේ, මෙය මෙසේ විය යුතුය, අසවලා එසේ, මෙසෙවලා මෙසේ විය යුතුය ආදී වශයෙන් අප තුළ අපේක්ෂාවන් පවතී
- එම අපේක්ෂාවන්ට සාපේක්ෂව ප්‍රශ්න මතුවේ
- ප්‍රශ්නයක් ඇතිවිට පිළිතුරු අපේක්ෂාවක් ඇති වන්නේ එය ප්‍රශ්නයක් ලෙස හඳුනාගතහොත් පමණි
- යම් ස්ථානයක ඇති ප්‍රශ්න අප එම ස්ථානයට නොපැමිණෙන තාක් ඇති වන්නේ නැත
- පිළිතුරු සපයා ප්‍රශ්න කෙළවර කළ නොහැක. ධර්මානුකූලව වටහා ගැනීම කළ යුතුය. එවිට පිළිතුරු නොලබාම ප්‍රශ්න නිරෝධ වනු ඇත
- ප්‍රශ්නයක් ඇති විට එම ප්‍රශ්නය පිළිතුරක් ලෙස දැකිය හැක, එනම් අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට වර්තමානය ලැබුණු පිළිතුරකි
- සංසාර ගමන තුළ සංශිප්තව අප සිදු කර ඇත්තේ නොයෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමය. නමුත් තවමත් ප්‍රශ්න ඉවර වී නැත
- සියලු ප්‍රශ්න හට ගන්නේ විඤ්ඤාණයේ පහළවීමත් සමඟය. නැතහොත් මුළාව සමඟය
- ඇත්තෙන්ම ලෝකයේ ප්‍රශ්න නැත. ප්‍රශ්න ලෙස පවතින්නේ වැරදි වටහා ගැනීමක් පමණි
164. මධ්‍යම ප්‍රතිපදාව
- සම්මා දිට්ඨිය සඳහා නොයෙකුත් විග්‍රහ කිරීම් ඇත
- ඇලීම ඇලීම ලෙස, ගැටීම ගැටීම ලෙස හඳුනාගැනීම මධ්‍යම ප්‍රතිපදාවයි
- ඇලීම ඇලීමක් ලෙස හඳුනා ගත් විට එහි ඇලීමක් නැත. ගැටීමක් ද නැත. ගැටීම ද එසේමය
- උදාහරණයක් ලෙස computer game එකක් Play කරන කෙනෙකු game එක තුල දෙයකට ඇලුනහොත් ඒ ගේම් එක තුළ බවද game එක තුළ දේකට ඇලුනු බවද දත යුතුය. ගැටුණහොත් ද එසේමය
- අවස්ථා දෙක තුළදීම ගේම් එක තුළය. අන් ආකාරයෙන් ඔහු ඇලී ඇත්තේ ගේම් එකටමය
- තමා ගේම් එකක් play කරන බව දැනගනී නම් ඔහු game එක තුළ නැත. ඒ නිවැරදි සිහියයි. Game එක තුළ දේවල් සිහියෙන් සිදු කළද ඒය අසිහියයි
- යම් සිතීමකින් game එක තුල බව දැන ගනීමට හැකි නම් ඒ නිවැරදි සිහියයි. ඔහු game එක තුළ ඇති දේට ඇලීද නැත, ගැටී ද නැත game එකක් බව වටහාගෙන ඇත
- සංසාරය මුලාවෙන් සකස් වුණු game එකක් වැනිය. game එක තුළ චරිත වෙනස් වන අතර දැන් ලැබී ඇති චරිතය තමන්මය
- සිදුවී ඇති මුලාව හඳුනා ගන්නා තෙක් game එක දිගටම පවතිනු ඇත
165. රොටී සැදීම
- රොටි සෑදීමේ චේතනාව ඇත්නම්, පිටි ඇනීම, ලිප ගිනි මෙලවීම, තැටිය රත් කිරීම ආදිය ප්‍රධාන කාරණාය
- කුස්සිය අතුගෑම, බිත්තියේ තීන්තාලේපනය, කෝප්ප සේදීම ආදිය යම් උදව්වක් වුවත් රොටි සෑදීමේ ප්‍රධාන කාරණා නොවේ
- මිදුල අතුගෑම, ල්පිට බිත්තියේ මකුළු දැල් කැඩීම ආදිය රොටි සෑදීමට සම්බන්ධයක් නැති කාරණාය
- එසේම බුද්ධ ශාසනයෙහි අග්‍ර ඵලය නිර්වාණයයි. පින හෝ ආයුෂ වර්ණ සැප බල ආදිය නොවේ. ඒවා යම් උදව්වක් පමනි
- අග්‍රඵලය වූ නිර්වාණය සඳහා අවැසි භාවනාව, සිහිය, සීලය, විදර්ශනාව ආදියට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුය
- කිසිවක් නැති අයෙකු ආමිසයට මුල් තැන ලබාදීමේ වරදක් නැත
- අනවබෝධයෙන් සිදු කරන පින ආදිය වුවද ප්‍රමාදයට හේතුවක් විය හැක
- ධර්මය ගෑවුණු තැනක් ශ්‍රාවකයා සැක නොකරන බැවින් යම් අතපසුවීමක් වුවහොත් ධර්ම සංඥාවෙන් පැමිණෙන ක්ලේශයන් ශ්‍රාවකයා හට ප්‍රධාන පළිබෝධය වනු ඇත
- ලැබී ඇති කෙටි කාලය බුද්ධ ශාසනයේ අග්‍ර ඵලය වූ නිර්වාණය වෙනුවෙන්ම කැප කළ යුතුය
166. ආහාරය සහ කායනුපස්සනාව
- හට්ටියකට පරිප්පු දමා අවසානයේ බත් බලාපොරොත්තු විය නොහැක.ස්වරූපය මඳක් වෙනස්ව පරිප්පුම ලැබෙන්නේය
- එසේම කය නැමැති මුට්ටියට බත්, පාන්, කඩල, පරිප්පු මුං ආදී ආහාරය ඇතුල් කොට මනුස්සයෙක් හෝ කෙස් ලොම් නිය දත් ඇට ආදියක් බලාපොරොත්තු විය නොහැක. ආහාරම ඇත්තේය
- එසේම ඇතුල් කරන ආහාරය පිළුණුවීමේ ගඳ ගැසීමේ නරක් වීමේ ලක්ෂණ දරන්නේය
- ඉදින් එයින් ම සෑදුණු කය පිළුණුවීමේ ගඳ ගැසීමේ නරක් වීමේ ලක්ෂණ දැරිය යුතුය. සඳුන් සුවඳක් බලාපොරොත්තු විය නොහැක
- ආහාරයේ වර්ණ සුවඳ ආදිය ඇතත් පැය කිහිපයකින් පසු අවර්ණ දුර්ගන්ධ ව අසුචිය බවට පත්වන්නේය
- කයෙහි ද එම ලක්ෂණම ඇත්තේය. අභ්‍යන්තරයේ නොයෙකුත් අසූචින් ඇති අතර වැඩිමනක් අසූචිය නව දොරින් දෝර ගලා යන්නේය
- එය වසා ගැනීමට නිරතුරුව නඩත්තු කිරීම/පිරිසිදු කිරීම කළ යුතුය
- මේ ආකාරයෙන් කායානුපස්සනාවේ සිත රඳවා වැරදි වැටහීම් දුරු කළ යුතුය
167. පිළිකුලේ ආනිසංස
- පිළිකුල පිළිකුල් සහගත වුවත් පිළිකුල යනු සසර ගත සත්වයාගේ ආරක්‍ෂාව සලසන භාවනා ක්‍රමයකි
- ඇසට පෙනෙන රූපයන් ආදිය පිළිකුලෙන් තෙත්වී පැමිණෙන හෙයින් රාග ආදී ක්ලේශයන්ට ප්‍රබල වූ මාර්ග බාධාවකි
- දැඩි පරිශ්‍රමයක් යොදා රකින සීලය පිළිකුල් සංඥාව ඇත්නම් නිරායාසයෙන් ආරක්ෂාවන්නේය. නිරයගාමී අපාය කර්මයන් වළක්වන්නේය
- පිළිකුල් සංඥාව මෙනෙහි කරන්නාගේ සිත ඉක්මනින් සමාධිගත වන්නේය. සිතේ විසිරීම ද වැලකෙන්නේය
- පිළිකුල් සංඥාව තිබුණේ නම්, නිරයගාමී වූ අපගේ බොහෝ දුක්ඛිත අතීත ජීවිත නිරයගාමී නොවනු ඇත
- පිළිකුල වැඩූ සිත රාග ආදී ක්ලේශයන්ගෙන් තෙත් නොවන බැවින් සැපයෙන් පිරී යන්නේය
- පිළිකුල වැඩිය යුතුය. පිළිකුලට නොපිළිකුල් විය යුතුය
168. ශ්‍රාවකයාගේ වත්කම්
- උපයාගත් දේපළ දරුවන් ආදිය ඇති බව සාමාන්‍ය ලෝකයා සතු වත්කම් ය. සිත හා එකඟ බැවින් ඉපයීම සාපේක්ෂව පහසුය
- රැකබලා ගැනීම නඩත්තු කිරීම පෝෂණය කිරීම මෙන්ම ආදීනව බහුල බැවින් ඒවා දුර්වල වූ වත්කම්ය
- දේපළ නැත, දරුවන් නැත, වාහන නැත ආදී ලෙස වූ නැතිකම ද ප්‍රඥාගෝචර වත්කමකි
- සිත හා විරුද්ධ කාරණයක් බැවින් නැති බව ඉපයීම ඇති බව ඉපයීමට සාපේක්ෂව අපහසුය
- නඩත්තු නැත, වගකීම් නැත, සිතේ විසිරීම නැත, ආදීනව නැත ආදී වශයෙන් සැපය උපදවනා වූ නැති බව වත්කමකි
- තවද දුන්නා වූ දානය, රැක්කා වූ සීලය, සිදුකළා වූ භාවනාවන් ආදිය මානසික වත්කම්ය
- සැහැල්ලු වූ බාහිරයට නොපෙනෙන මෙම වත්කම් සසර තුළ ඕනෑම මොහොතක සැපයක්/රැකවරණයක් බවට පරිවර්තනය වීමේ හැකියාව ඇත
- මේ සියලු වත්කම් පුද්ගල දෘෂ්ටියට සාපේක්ෂය. එය බිඳ දැමිය හැකිනම් එය බුද්ධ ශ්‍රාවකයාගේ පරම වූ වත්කම වන්නේය
169. ආරක්ෂාව
- නිවස වටා තාප්පයක් ගසා ගේදොර අගුළු දමා තිබුණද පුද්ගලයා සතු ආරක්ෂාවක් නොමැත
- හේතුව, සිදුවූ කර්මයන් තමා කරා පැමිණීමට කිසිදු බාධාවක් නොමැති වීමය
- කර්මයන්ගේ පැමිණීම වැළැක්වීමට බැඳිය හැකි තාප්පයක් හෝ යෙදිය හැකි වෙනත් උපක්‍රමයක් නැත
- අගුළු දැමිය යුත්තේ, තාප්ප බැඳිය යුත්තේ කර්මයන් සිදු සිදු නොවීම පිණිසය
- සීලයට යම් හානියක් සිදු කර ගැනීමට වැඩිවෙලාවක් ගතවන්නේ නැත
- නමුත් එහි මතකය ජීවිත කාලය පුරා වද දෙනු ඇත. ප්‍රතිඵලය ලෙස බිහිසුණු මරණයක්, නිරය තිරිසන් ප්‍රේත ආදී උප්පත්තියක් උරුම විය හැකිය
- සිදුවූ කර්මයන් විපාක නොදී සිටීමේ ක්‍රමයක් නැත. කර්මයට ගැසිය හැකි වංගුවක් නැත
- එම නිසා හැකි සෑම අවස්ථාවකම කර්මයන් සිදු නොවීමට වග බලා ගැනීම කළ යුතුය
170. දුක් විඳීමටම සැකසුණු කය
- ඇටසැකිල්ලක් ඇත. වටේට මස් පිහිටා ඇත. මස් නොවැටෙන සේ සම පිහිටා ඇත
- පොළොවෙහිම කොටසක් වූ මනුෂ්‍ය ශරීරය පොළොව හා ආහාර උණුසුම වාතය ආදි ලෙස නොබැඳී, බැඳී පවතී
- තව ද කුමන ඉරියව්වකින් සිටිය ද ඇටකටු සහ පොළොව අතර යම් මස් තෙරපීමක් සිදුවේ. දුකම උපදී
- තවද මෙම ශරීරය එක් මොහොතක් හෝ නිශ්චලව පැවැත්විය නොහැක. හුස්ම ගැනීම ඔස්සේ, උදරයේ හෝ පිම්බිමක් හැකිලීමක් සිදුවේ
- ලෙඩ දුක්වලට කැදැල්ලකි. ඕනෑම මොහොතක ලෙඩක් දුකක් ඇතුළු විය හැක
- දුක් විඳීමට ම සැකසී ඇති කය මරණයට වරෙන්තු ලබා ඇත
- මෙවන් වූ ශරීරය නඩත්තු කිරීමට සිහිය ඇති අයෙකු කිසිසේත් කැමති වන්නේ නැත
- මාගේ, දැනුවත් අවසරයකින් තොරව එය සිදුවී ඇත. එයට මාගේ කිසිදු සම්බන්ධයක් නැත
- මේ ආකාරයෙන් මෙනෙහි කර අනාත්ම සංඥාව උපදවා කය කෙරෙහි ඇති ඡන්දය රාගය දුරු කළ යුතුය
171. නොහික්මුණු සිත
- නොහික්මුණු සිතක් මෙල්ල කිරීමට තැත් කළහොත් තව තවත් නොහික්මීම ම ඇතිවේ. ඒ වෙනුවට නොහික්මීමට තුඩු දුන් හේතු දුරු කළ යුතුය
- වැරැද්ද, නිවැරැද්ද හෝ මැද ඇතැයි සැලකිය හැකි ලෞකික උපේක්ෂාවක් ලෝක ධර්මතාවය තුළ නොයෙදේ
- එසේ පවතී නම් එය මෝහ සහගත විඤ්ඤාණයක් තුළ පමණක් යෙදේ
- හේතූන් සහ අනුරූප ඵල ලෙස ලෝක ධර්මතා ක්‍රියාත්මක අතර, එහි අවබෝධය ලෝකෝත්තර උපේක්ෂාවයි
- එහි විඤ්ඤාණයන්ට සාපේක්ෂක වූ වැරදි නිවැරදි අනුකම්පාව ආදරය දයාව ආදියක් නොයෙදේ
- සත්‍ය වශයෙන් හේතුඵල ආදී ලෙස පවතින ලෝක ධර්මතාවය වෙනත් ආකාරයකින් සිතාගැනීම වැරදි වැටහීමයි
- වැරදි වැටහීමේ ප්‍රමාණයට සිතේ නොහික්මීම ඇතිවේ
- ලෝක ධර්මතාවය, ලෝක ධර්මතාවය ලෙස වටහා ගත් විට කැමති වුවත් අකමැති වුවත් සිතෙහි හික්මීම ඇතිවේ, සිත නතර වේ, නැවත ඉපදීමක් ඇති නොවේ
172. දැනගෙන කිරීම
- අප යමෙකු සොරෙකු බවද, ඔහු එය අප දන්නා බවද දන්නේ නම් සොරකමක් සිදු කළ නොහැක
- ඔහු ළඟින් ඇසුරු කළද සොරකමක් සිදු කළ නොහැකි බැවින් ඔහු තවදුරටත් සොරෙකු නොවේ
- එසේම යම් ක්ලේශයක් ආශ්වාදය ආදීනව හේතුඵල ක්‍රියාකාරීත්වය ආදී ලෙස හඳුනන්නේ නම් ක්ලේශය සමඟ ජීවත් වුවද හානිය අවම වේ
- විශ්වාසයන් පිළිබඳ සැකයක් නැත්නම් විශ්වාස කිරීමෙහි ඇති වරදක් ද නැත
- ඉහත ආදී කාරණා මඟට සත්‍ය වුවද අගට යත්ම වෙනත් ආකාරයකින් යෙදේ
- ලෝකෝත්තර භූමිය තුළ ඉදිරියට යත්ම දැනගෙන කිරීම, දැනගෙන ජීවත්වීම යනු ප්‍රඥාගෝචර කාරණයකි. එය ප්‍රත්‍යක්ෂය පිළිබඳ කියවීමකි. එහි ආශ්වාදයක් හෝ ලැබෙන ලාභයක් නැත
- නමුත් මෙය ලෞකික භාවිතය තුළ යම් වාසියක් ලාභයක් ලබමින් දැනගෙන කරන්නේ යයි පැවසීම මෝහ සහගත කාරණයකි
- මෙය අගට නොයෑමට කාරණයක් වන අතර එයින් අන් ආකාරයෙන් සිදුවන්නේ පැවැත්මක් ඇතිවීමය
- දැනගෙන කරනවා, දැනගෙන ජීවත් වෙනවා ආදී ලෙස අයුතු ප්‍රයෝජන ලබා ගනිමින් ක්ලේශයන් රැස්වීමට ඉඩ නොතැබිය යුතුය
173. න්‍යාය පත්‍රය
- සංසාරේ යනු නිමා නොවන න්‍යාය පත්‍රයකි
- මනුස්ස ජීවිතවලට අදාල ව ඉගෙන ගැනීම, රැකියාවක් සිදු කිරීම, විවාහය ආදී ලෙස ප්‍රධාන න්‍යායන් වේ
- අනෙක් ජීවිත වලට ද ඒ හා බැඳුණු න්‍යායන් පවතී. නමුත් පොදුවේ පුනරාවර්තනය වන එකම න්‍යායන් සමූහයක් පවතී
- මම කළා, මට උනා ආදී ලෙස වූ නැවත කර්මයක් ඇති වීම පිණිස පවතින මෝහ බීජය මේ න්‍යායන් නොනැවතී පවත්වා ගනු ලබන පෝෂකයා ය
- මේ ආදී ලෙස සසර ස්වභාවය සහ එයින් නික්මීම තථාගතයන් අනාවරණය කළ ද, එහෙමයි, එය සැබෑවකි එය කළ යුතු ය, යැයි පවසන බොහෝ පුද්ගලයන් ටික දවසකින් සියල්ල අමතක වී නැවත සුපුරුදු න්‍යාය පත්‍රය ම අනුගමනය කිරීම සිදුකරයි
- එය නිදිකලංගාතෙන් සිටින අයෙකු හා කතා කිරීමක් වැනිය. ටික වේලාවකින් නැවතත් නිදි ය
- මෙම අර්ථයෙන් ගත්විට සසරෙහි සියල්ලෝම නිදිය. අතලොස්සක් පමණක් අවදීයෙන් ඇත්තේය
- අපත් තවමත් නිදි ද, අපේ ජීවිත ගත වන්නෙත් මෙලෙස ද, නැවත නැවතත් පරීක්ෂා කළ යුතුව ඇත. විදර්ශනාව පිණිසය...
174. භූ කම්පනය
- මෙය මානසික පරීක්ෂණයකි.
- පොළොවෙහි මතුපිට පස් තට්ටුව කනපිට හැරීමට තරම් පෘථිවියෙහි යම් කම්පනයක් සිදුවූ යේ යැයි ද තමා පමණක් ඉතුරු වූයේ යැයි ද සලකන්න
- එවිට මෙම තත්පර කිහිපයක කාරණයෙන් පසු සියලු අයිතිවාසිකම්, සිදුවූ සංවර්ධනයන්, සොයා ගැනීම්, තාක්ෂණයන් ආදී සියල්ල Reset වේ
- ලෝකය තුළ, පස්ම වෙනත් ස්වරූපවලින්, එනම් මිනිසුන් ලෙස ගහකොළ, යාන වාහන ආදී ලෙස, නොයෙකුත් භූත ස්වභාවයෙන් පෙනී සිටි
- කම්පනයෙන් පසු එහි භූත ස්වරූපය විදහා දක්වමින් තිබූ ගස්කොලන්, යානවාහන, වතුපිටි ඉඩ කඩම් ක්ෂණිකව Reset වී එහි තවත් භූත ස්වරූපයක් වන පස් බවට හැරවී ඇත
- නාම රූප තුළ මුල් බැසගෙන ඇති සිතටද කර කියාගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇත
- සිතෙන්න දෙයක් නැත. සිතන්න දෙයක්ද නැත. තණ්හාව, බැඳීම්, ද්වේශය ආදිය ද මතුවන්නේ ද නැත
- මෙවැනි කම්පනයක් කිසි දිනක සිදු නොවිය හැකි කාරණයක් නොවේ
- සියල්ල පනවා ගත් මානසික ලෝකයක් වන අතර කාලයෙන් තක්සේරු කළහොත් තත්පර කිහිපයක් පමණි
175. උගුලට උගුලක්
- මිනිසා සොබා දහමේ උප කුලකයකි. එම නිසා මිනිසාට වඩා සොබාදහම බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය
- ගසක් සැලකූ විට තම පැවැත්ම පිණිස බීජ පමණක් නිපදවා නොනවතින අතර බීජය වටේ ආහාර රඳවා ප්‍රණීත බව, අලංකාරය සුවඳ ආදිය මුසුකර බීජය රැගෙන යාම පිණිස සත්වයන් හට උගුලක් අටවා ඇත
- ප්‍රධාන අරමුණ සත්වයන්ගේ කුසගින්නට ආහාර සැපයීම ආදිය නොව, තම පැවැත්ම සකස් කර ගැනීමය
- එලෙසම රාගය, ආදරය ආදියේ ප්‍රධාන අරමුණ සත්වයාට වින්දනයක් ලබාදීම නොව, පැවැත්ම පවත්වා ගැනීමය. වින්දනය යනු අටවා ඇති උගුලයි
- පසුව බොහෝ ආදීනව ආදී කටයුතු ඇතිවන අතර පුද්ගලයා ලෑල්ලටම හේත්තු වනු ඇත
- මෙසේ බොහෝ අසරණ සත්වයාට ලැබී ඇති ඇස, කන, දිව ආදිය සකස් වී ඇත්තේ ද පහසුවෙන් උගුල්වලට හසුවන සේය
- එලෙසම එම සත්ත්වයාද අන් සත්වයාට උගුලක් ලෙස ක්‍රියාත්මක වේ. එනම් මේ සියල්ල එකිනෙකට බද්ධ වූ උගුල් ජාලයකි
- නමුත් බුද්ධ ශ්‍රාවකයා උගුල උගුල ලෙස දැනගෙන, උගුලට හසු නොවී උගුලම ඇසුරු කරමින් උගුලට උගුලක් අටවා උගුලින් මිදී යනු ඇත. විදර්ශනාව පිණිසය...
176. සඟ ගුණ
- සංඝයා යනු බුද්ධ ශාසනයේ පැවැත්මයි
- එක්තරා විග්‍රහ කිරීමක් ලෙස ස්වභාව ධර්මය යනු දෘෂ්ටීන් ඉවත් කළ විට ලෝකයේ පවතින යථා ස්වභාවයයි. නැතහොත් ස්වභාවයේ ධර්මයයි. නැතහොත් ධර්මයයි
- මුලාව දුරු කළ, නිර්වාණය පණිවිඩය දරා ගත් තථාගතයන් වහන්සේලාද සංඝයා වහන්සේලා ද ධර්මය නමැති සොබා දහමේ අසිරිමත් නිර්මාණ වේ
- අපට පෙනෙන උන්වහන්සේලාගේ සමහර නුගුණයන්ද ඇත්තෙන්ම අපගේ ප්‍රඥාවට හසු නොවන ගුණයන්ය. ගුණයන්ද එලෙසමය
- සෝතාපන්න පුද්ගලයා යනු අන් ආකාරයෙන් රහතන් වහන්සේ නමකි
- එහි අර්ථය, සෝතාපන්න පුද්ගලයා + කාලය = රහතන් වහන්සේ බැවින්, සෝතාපන්න පුද්ගලයා ද කාලයේ ඇවෑමෙන් බිහිවන රහතන් වහන්සේ නමකි
- තථාගත ධර්මය ඔබට අපට ලැබී ඇත්තේ සංඝ ස්පර්ශය තුළින්ය
- එබැවින් සංඝයා ගුණ නුගුණ ආදී ලෙස කෙසේ වුවත් උන්වහන්සේලා කෙරෙහි අපගේ ඇති ගෞරවය අපගේ යහපත පිණිස පවතින්නේය
- උන්වහන්සේලාගේ යම් නුගුණයක් ඇත්නම් එම නුගුණය දරා ගැනීම අප සතු අගනා ගුණයක් බව දතයුතුය
177. මෙනෙහි කිරීම
- යම් මෙනෙහි කිරීම් වල යම් මෝහයක් මිශ්‍ර වුවද ලෞකික ලෙස සම්මා දිට්ඨියකි. සිතේ විසිරීම පාලනය කළ හැක. බොහෝ ප්‍රයෝජනය
- අපට වඩා බොහෝ දුක් විඳින සත්ත්වයන් ඇත. ඔවුන්ට සාපේක්ෂව අප විදින්නේ සැපයකි ආදී ලෙස මෙනෙහි කළ යුතුය
- අපට ප්‍රශ්න වී ඇත්තේ බොහෝ විට අප එකඟ නොවන දේවල් සමග ය
- සිදුවූයේ සිදුවීමට තිබූ දේය. සිදු නොවීමට තිබූ දෙයක් සිදුවන්නේ නැත
- පෙනෙන බොහෝ දේ තුළ නොපෙනෙන බොහෝ ධර්මයන් ගැබ්ව ඇත
- කළ හැකි දේ අල්පය, නොකළ හැකි දේ බොහෝය
- තව ද ධර්මයේ මුල මැද අග ලෙස කාරණා ඇති අතර මුල් මට්ටමේ සත්‍ය මැද අගට යත්ම ඊට වඩා සත්‍යයකින් ප්‍රතිස්ථාපනය වනු ඇත
- පසුව සත්‍ය අසත්‍යතාවය වෙනුවට හේතුව ඵලය ලෙස වෙනත් තලයක සිත පිහිටනු ඇත. අවසානයේ සිත නිරෝධ වී පිරිනිවනු ඇත
178. ආත්ම ස්වභාවය
- ආත්ම ස්වභාවය යනු තම පාලනයේ වසඟයේ පැවැත්විය හැක යන්නයි
- ගැට ගසා ඇති හරකෙක් යම් සීමාවක් තුළ ගමන් කිරීමේ හැකියාවක් ඇත. එය හරකා සතු ආත්ම ස්වභාවයක් නොවේ
- යම් සීමාවක් තුළ ගමන් කළ හැකි වුවද හරකා පාලනය වන්නේ ලණුවෙන්ය. හරකාට ලණුවේ සීමාව ඉක්මවාලිය නොහැක
- ඒ පරිදිම චේතනාව පරිදි යම් යම් සීමා වලට යටත්ව යම් යම් චලනය කිරීම් හෝ නිශ්චල කිරීමේ හැකියාව සත්වයා සතුය
- එපමණකින් එය පාලනය කිරීමේ හැකියාවක් යන්න වැරදි වැටහීමකි
- නිශ්චල වස්තුවක් සතු චලනය විය හැකි ස්වභාවය හෝ චලනය වන වස්තුවක ඇති නිශ්චල විය හැකි ස්වභාවය සත්වයාට පාලනය කළ නොහැක
- එය පාලනය වන්නේ හේතුඵල ලෙස වූ ධර්මයකින්ය
- සත්වයා පාලනය වන්නේ කර්මය නම් ලණුවෙන්ය. සත්වයාට කර්මය නම් ලණුවේ සීමාව ඉක්මවාලිය නොහැක
179. ළදරුවා
- කුඩා ළදරුවෙකු සැමදා කුඩා ළදරුවෙකු නොවන්නේය
- දිනෙන් දින වැඩීමත් සමඟ ළදරු ලක්ෂණ ඉවත් වන්නේය
- කය වැඩිමහලු වුවද යමෙකු හට ධර්මය නොතේරෙන තෙක් ධර්මය සම්බන්ධයෙන් ළදරුවෙකි
- ධර්මයෙන් පරිණත වූ පසු ළදරු ලක්ෂණ පහව යන්නේය. ගුණ ආදී ධර්මයන් පිහිටන්නේය
- එවිට කලින් චරිත ලක්ෂණ මතක තබා ගනිමින් ඒ අනුව නිගමනයන් කරා එළඹීම දෝෂ සහගතය
- විශේෂයෙන් සංඝයා සම්බන්ධව දෝෂ සහගත නිගමනයන්ට එළඹීම සිදුවිය හැකි කාරණයකි
- එම නිසා සංඝ ආදී තිසරණයෙන් නිවන මෙන්ම යම් වරදක් සිදුවුවහොත් නිරයද උරුම වන බැවින් ප්‍රවේසම් විය යුතුය
- ලෝකයෙහි වැරැද්දක් නැත, වැරැද්ද ඇත්තේ තමා තුළමය ලෙස සිතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම සියලු සත්වයාගේ යහපත පිණිස පවතින්නේය
180. මරණ මංචකය
- අපගේ අතීතයේ දෙමාපියන් මෙන්ම බොහෝ ඥාතීන් හිතවතුන් මිත්‍රයන් ආදීන්ට හිමිවූයේ ශෝචනීය මරණයන්ය
- ධර්ම ප්‍රත්‍යක්ෂයන් ඇති අතලොස්සක් හැරුණු කොට අති බහුතරයට මරණ මංචකය බිහිසුණු තීරණාත්මක වූ අතර මරණින් මතු සතර අපාය උරුම විය
- ඔබ අපටද එවන් අවදානමක් පවතින අතර ව්‍යාධිය ආදිය නොවුනහොත් නොබෝ කලකින් ලෙඩ ඇඳකට වැටී මළ මුත්‍රා ආදිය සමඟ ජීවිතයක් ලැබෙන අතර ඔත්පලව ලොල වී යනු ඇත
- කායික අපහසුතාවයට වඩා අතීතයේ කළ කී දෑවල මතකය මහත් පීඩාවක් වනු ඇත
- බොහෝවිට සිදුවන්නේ ජීවිතය ආයාචනා කරමින් සිදුවන බියගුළු නිවට වූ මරණයන්ය
- අපගේ මරණය එසේ විය නොහැක. එම නිසා එවන් සෝචනීය මරණයකට තුඩු දෙන හේතු කිසිසේත් සකස් නොකළ යුතුය
- කායික අපහසුතාවය කෙසේ වුවත් මානසිකව සිංහ විලාශයෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිතය අතහැරීම අතහැරීමේ හැකියාව බුද්ධ ශ්‍රාවකයා සතු විය යුතුය
- තවමත් එම හැකියාව නොමැති නම් අවදානම බොහෝ බැවින් වහ වහා ඒ සඳහා අවශ්‍ය හේතු සම්පාදනය කළ යුතු අතර අවශ්‍ය වුවහොත් දැඩි තීරණයක් වුවද දෙවරක් නොසිතා ගත යුතුය
181. ප්‍රණීත බව
- බොහෝ පානීය වර්ග ඇති අතර එක්තරා දර්ශකයක් ලෙස ඒවායේ ප්‍රණීත බව වැඩිවන තරමට පානය කරන ප්‍රමාණයද වැඩි වන බව දැක්විය හැක
- එම අර්ථයෙන් ගත්විට බොහෝ පානය කරන බැවින් ජලය අනන්ත ලෙස ප්‍රණීත විය යුතුය
- හඳුන්කූරු සුවඳ විලවුන් ආදීය නිසා නාසය වෙහෙසට පත්වන බැවින් වැඩිවෙලාවක් ආග්‍රහණය කළ නොහැක
- බොහෝ ආශ්වාස ප්‍රශ්වාස කරන අර්ථයෙන් උදාසීන වාතය අනන්ත සුගන්ධයෙන් යුක්තය
- පුද්ගලයෙක් සත්වයෙක් ක්‍රියාත්මක නොවන බැවින් තථාගතයන් වහන්සේ තුළ කිසිම ගුණයක් නොමැත
- එම නිසා ජලයේ රසය තක්සේරු නොකළ හැකි සේ උන්වහන්සේගේ ගුණය ද තක්සේරු කළ නොහැක. එම නිසා අනන්ත ගුණ ආදිය ඇතැයි කියනු ලැබේ
- වෙනත් ආකාරයකින් රසවත් ප්‍රණීත දෑ අනුභව කරන විට දිව සක්‍රීය වන බැවින් දිව ඉක්මනින් විඩාවට පත්වෙයි
- නමුත් දිව විඩාවට පත් නොකරන අර්ථයෙන් ඇල් ජලය ආදිය අනෙක් සියල්ලට වඩා වඩා ප්‍රණීත වේ
- එම නිසා ආයතන විඩාවට පත් නොකරන නිහඬ බව උදාසීන බව උපේක්ෂාව වැනි ලෝක ධර්මයන් වඩා ප්‍රණීතය. විදර්ශනාව පිණිසය...
182. ජීවත් වීමට උත්සාහය
- සසර තුළ දක්නට ලැබෙන්නේ ජීවත් වීමක් නොව ජීවත්වීම පිණිස දරුණු ලබන උත්සාහයකි
- උදාහරණයක් ලෙස ගෙයක් සාදනු ලබන්නේ අනාගතයේ ජීවත්වීම පිණිසය. වර්තමානයේ සිදු කරනු ලබන්නේ උත්සාහයකි
- දැන් සිදුවන ආශ්වාසය, ප්‍රශ්වාසය මොහොතේ ජීවත්වීම සදහා ය. එලෙසම ප්‍රශ්වාසය මීළඟ ආශ්වාසය මොහොතේ ජීවත්වීම සඳහාය
- රාත්‍රියේ ලබාගන්නා නින්ද ද නින්දක් නොවන අතර පසුදින ජීවත්වීම පිණිස කරනු ලබන උත්සාහයකි
- එනම් වර්තමානයේ පවතින්නේ ජීවත්වීම වෙනුවෙන් සිදු කරන පොර බැඳීමක් පමණි
- මේ ආදී නොයෙකුත් සටහන් ජීවිතයේ පවතින අතර මේ ආකාරයෙන් මෙනෙහි කිරීම් වලින් යථා ස්වභාවය ඉස්මතු වන අතර සිහිය පැවතීමට ද හේතුවකි
- සසර බන්ධනය සරල නොවේ. මනස මෙන්ම ලෝකයද සකස් වී ඇත්තේ ද සසර ගමනට අනුග්‍රහ පිණිස ය
- එම නිසා සැඟවුණු යමක් සොයා ගැනීමට උපක්‍රම භාවිතා කරන්නා සේ සැඟවුණු විද්‍යාව මතුකර ගැනීම සඳහා දකින කෝණය, පිළිකුල අසුභය ආදිය මෙන්ම වෙනත් වෙනත් විදර්ශනා ක්‍රම ද භාවිතා කළ යුතුය. බහුල වශයෙන් භාවිත කළ යුතුය. විදර්ශනාව පිණිසය...
183. නොනැවතුන යුග දිවිය
- මෝහය ඇතිවිට සිත සහ මම ලෙස ද්වයතාවයක් වන්නේය. මෝහය දුරු නොවුනු බැවින් සසර පුරා මෙම ධර්මතාවයට යටත් වීමට සිදුවිය
- උපමාවක් ලෙස ශරීරය නැමැති නිවස තුළ මම සහ සිත ලෙස ගත කරන්නේ යුග දිවියකි
- පින් පව් ආදිය යුග දිවියේ පැවැත්මයි
- සිත රිසිසේ කර්ම රැස් කරගන්නා අතර ගෙවීමට සිදුවන්නේ අනේකාටය
- අපට හැකි ලෙස ලබා දිය හැකි සියලු සැප සම්පත් ලබා දුන්නත් සිත කිසිසේත් සෑහීමට පත් වන්නේ නැත
- මේය අසාර්ථක යුග දිවියක් වන අතර මනස තුළ ඇත්තේ සිත සහ මම අතර සංසාරයක් පුරා පවතින ආරවුලකි
- අපගේ දුක සිතට තේරෙන්නේ නැත. සිතට අවශ්‍ය වන්නේ වින්දනය පමණි
- මෙම සිත නඩත්තු කර අප බොහෝ වෙහෙසට පත් වී සිටිමු
- තථාගත ශාසනයේ මෙම අසාධාරණයට විරුද්ධව නඩු දමා ත්‍රිවිධ රත්නය ඉදිරියේ නඩුව විභාග කොට මෙම පීඩිත විවාහය නිරෝධ කළ යුතුය. විදර්ශනාව පිණිසය...
184. සර්පයා
- සර්පයා සර්පයකු වන්නේ ද සර්පයා බලවත් වන්නේ ද නොදකින හෝ හඳුනා නොගන්නා තුරුය
- සර්පයා හඳුනාගත් පසු බලවත්කම ලැබෙන්නේ මිනිසාටය. එම බලවත්භාවය තුළ අඩපණ කිරීම, මරණය, පලවා හැරීම මෙන්ම කූඩු කර වැඩ ගැනීම ආදී ඕනෑම දෙයක් සර්පයාගේ ඉරණම වන්නේය
- එලෙසම මනස තුළ ක්‍රියාත්මක ක්ලේශයන් ක්ලේශයන් වන්නේ හඳුනා ගන්නා තුරුය
- ක්ලේෂයන් ක්ලේෂයන් ලෙස සිහිය ඇත්නම්, ක්ලේශයන් ඇත, නමුත් ක්‍රියාත්මක වීමක් ඇත
- හඳුනාගත් ක්ලේශයන්ට බිය විය යුතු නැත. හඳුනාගත් ක්ලේශයන් ක්‍රමානුකූලව පහව යාම ධර්මතාවයකි
- සිහිය ඉදිරියේ ක්ලේශයන් දුර්වල වන බැවින් සිහිය පුරුදු කළ යුතුය
- හඳුනා නොගත් ක්ලේශයන් කාලයත් සමඟ ප්‍රබල දෘෂ්ඨින් බවට පත්වන බැවින් ප්‍රවේසම් විය යුතුය
- එසේ සකස් වූ දෘෂ්ටීන් අප තුළද පැවතිය හැකි අතර ඒ පිළිබඳව නැවත විමසා බැලිය යුතුය
- ක්ලේශයන් දුරු කිරීමට නොව උත්සාහ කළ යුත්තේ ක්ලේශයන් හඳුනා ගැනීමටයි. විදර්ශනාව පිණිසය...
185. බලය
- සත්වයාගේ පුණ්‍ය ශක්තියට අනුව ලැබෙන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා අතරින් බලයද සුවිශේෂ තැනක් ගනී
- එක්තරා අර්ථයක් ලෙස බලය යනු විඤ්ඤාණයට අවනත සතර මහ ධාතු ප්‍රමාණයයි
- සජීවී ධාතු අජීවී ධාතු ලෙස ධාතූන්හි ප්‍රභේද නොමැත. සජීවී අජීවි ආදී ද්වයතාවයන් මෝහ මූලික දෘෂ්ටීන් පමණි
- තම ශරීරයෙහි ධාතු ප්‍රමාණය හැසිරවීමේ බලයක් තම විඤ්ඤාණය සතුය
- එය කූඹුවෙකුගේ අල්ප වූ ධාතු ප්‍රමාණයට සාපේක්ෂව මහත්තය
- ඉගෙනීමේ හැකියාව, ධාරණ ශක්තිය, සෘජු බව, ගාම්භීරත්වය ආදී විඤ්ඤාණයේ පුණ්‍ය ශක්තිය වැඩි වන විට බාහිර ධාතූන් ද විඤ්ඤාණයට අවනත වේ
- කිසිවක් නැත, දුබලය ආදී ලෙස සිතා සිටියද මනුෂ්‍යයන් වන අපගේ බලය අන් සත්ත්වයන්ට සාපේක්ෂව මහත්තය
- එම නිසා සොබා දහමට මෙන්ම අන් සත්ත්වයන්ට හානියක් වන ලෙස බලය පාවිච්චි නොකල යුතුය
- ලෝක ධාතුවේ අග්‍රම සැපය වන නිර්වාණය වෙනුවෙන් ම බලය පාවිච්චි කිරීම ඥානාන්විත අතර සැනසීම පිණිස හේතු වන්නේය. විදර්ශනාව පිණිසය...
186. නොවැටහෙන දහම
- අමෘතයාවන් තථාගත දහම බොහෝ සරල හෙයින් දෝ බොහෝ පිරිසකට අපහසු වී ඇත
- විජ්ජා නැත. මායා කර්ම නැත. ලෝකය තුළ ඇති ධර්මතාවයන් අඩු වැඩි නොමැතිව පැහැදිලි කෙරෙන තථාගත දහම අපහසු නැත
- ලෝකය තුළ යම් ශිල්පයක් ඉගෙන ගත් පසු ප්‍රතිලාභයක් ලැබීමට නම් එම ශිල්ප උපයෝගී කරගනිමින් යම් කාර්යයක් සිදු කළ යුතුය
- තථාගත දහම එසේ නොමැත. ප්‍රත්‍යක්ෂ කළ මොහොතේ සිට මහත් ඵල වන අතර, දානමාන ලෙස, මානසික සුවය ලෙස, මුලාවෙන් මිදීම ලෙස, පරලෝ සැපය ආදී ලෙස ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයන්හි භුක්තිය පවතී
- බර ලෙස කිලෝ සීයක් වත් නොඉක්මවන, පරිමාව ලෙස ගණ මීටරයක් තරම්වත් නොවන අපට ප්‍රමාණයෙන් ආයතන දෙසීයක් තුන්සීයක් නැත
- ඇත්තේ දකින බව ඇසෙන බව දැනෙන බව හැඟෙන බව ආදී සරල ධර්මතාවයන් පිළිබඳව ඇති මුළාව දුරු කිරීමක් පමණි. එපමණකි
- මේ සඳහා මිලදී ගත යුතු විශේෂ මෙවලම් කට්ටල නැත
- ඉන්නා තැන සිට ඉන්නා ඉරියව්වෙන් ගෝචර අරමුණු පිළිබඳව සිදු කෙරෙන කුඩා ගවේෂණයකි
- සරල වුවද නොකෙරුනහොත් අත්වන ඉරණම තථාගතයන් වහන්සේටද විසඳිය නොහැකි බැවින් අප්‍රමාද විය යුතුය. වීරිය පිණිසය...
187. වාහනය සහ විදර්ශනාව
- වාහනය, ඇස කන ආදී ලෙස ආකාර කිහිපයකට විඤ්ඤාණ ගෝචරව ය
- වාහනය යන ශබ්දය ශබ්දයක් ලෙස සියල්ලන්ටම ගෝචර වුවත් අර්ථය ලෙස ගෝචර වන්නේ සිංහල භාෂාව දන්නා පිරිසට පමණි
- ශබ්දය ඇසෙත්ම ඵලය ලෙස එහි වර්ණය, මතකයන්, වටිනාකම ආදිය නිරායාසයෙන් මෙනෙහි වීම සිදුවේ
- නිරායාසයෙන්ම ද්වේශය වෛරය ආශාව තණ්හාව ආදි ක්ලේශයන් ද ඒ අනුබද්ධ කර්මයන් ඇති වීම ද සිදුවේ
- මෙවැනි අවස්ථාවක මේවායේ බල බිඳීම පිණිස අනෙක් හේතුවක් සකස් කල හැක
- එය හේතුව මෙය ඵලය ලෙස හේතුඵල ධර්මයන් මෙනෙහි කිරීම බල බිඳීම පිණිස එක් හේතුවකි
- අනුලෝම පටිලෝම ලෙස සිතෙහි ක්‍රියාකාරීත්වය මෙනෙහි කරමින් මෙම කාරණයන් සඳහා තමන්ගේ කිසිම මැදිහත්වීමක් නොමැති බව, අනාත්ම බව පෙන්වාදීම තවත් හේතුවකි
- අතීතයේ පොළවේ තිබූ පස් යම් ක්‍රියාදාමයකට පසුව වාහනය බවට පත්වී ඇත. එනම් වාහන යනු අන් ආකාරයෙන් පස් ය ලෙස පෙන්වාදීම තවත් හේතුවකි. තවත් බොහෝ හේතු පවතී, වෑයම් කළ යුතුය. ක්ලේශයන් නිරෝධ වීම නිරායාසයෙන් සිදුවනු ඇත
- විදර්ශනාව සකස් වී ඇත්තේ ද ක්ලේශයෙනි. ක්ලේශයන් දුරු කළ රහතන් වහන්සේට විදර්ශනාවක් නොමැත. ක්ලේශයෙන් ක්ලේශය දුරු කිරීම ප්‍රඥාගෝචරය. නිවැරදිම විදර්ශනාව ඇතුළත පිටත පවතින නිශ්ශබ්දතාවයයි
188. උගුලට හසු නොවෙමු
- සොබාදහම තුළ බාඳුරා මල ආදී පුද්ගලයෙක් නොමැතිව ක්‍රියාත්මක වන උගුල් පවතී
- උගුලක් වුවද එය උගුලක් ලෙස ක්‍රියා කරන්නේ සත්වයෙක්ට සාපේක්ෂව පමණි
- පළමුව උගුල ක්‍රියාත්මක වන්නේ සුවඳ යයි ලස්සන යයි ආදී ලෙස ප්‍රියමනාප ස්වරූපයකිනි
- ඉන්පසුව ක්‍රමානුකූලව උගුලට නතු වූ පසු කිසිම සමාවක් නොමැත. ජීවිතය බිලිගැනීම සිදුවේ
- උගුලට නතුවීමට පෙර ලස්සන සුවඳ ආදිය දැනෙන විටම උගුල උගුල ලෙස හඳුනාගත යුතුය
- එලෙසම ආයතන පරිහරණය තුළ ක්‍රියාත්මක වන්නේ ද සංකීර්ණ වූ උගුලකි. කර්මය, ආදීනව ආදී ප්‍රතිඵල ලැබෙන්නේ තැපෑලෙන්ය
- ඇස යනු උගුලේ කොටසකි. එයට පැවරී ඇති මූලික රාජකාරිය සිතෙහි කර්මයක් සකස් වීම පිණිස අනුග්‍රහය දැක්වීමයි
- රූපය ලස්සන ප්‍රියමනාප ලෙස අප තුළ ක්‍රියාත්මක වන්නේ කර්මයක් සකස්වීම පිණිස අටවා තබා ඇති උපක්‍රමයයි
- කර්මය සකස් වූ පසු කිසිම සමාවක් නොමැත ඒකාන්තයෙන් ආදීනව විඳීමට සිදුවේ. අනතුරට පෙර අනතුර හඳුනාගත යුතුය. විදර්ශනාව පිණිසය...
189. සිතේ අතෘප්තිකර ස්වභාවය
- සිත තෘප්තිමත් කළ නොහැක. එසේ හැකියාවක් පවතීනම් තථාගතයන් වහන්සේ පිරිනිවීමක් දේශනා නොකරනු ඇත. සියල්ල දුක ලෙස පැනවූ තථාගත ශාසනයේ තෘප්තිමත් භාවයක් පැනවෙන්නේ නැත
- යමෙක් මේ ඒ දෙයට මා තෘප්තිමත් යැයි පැවසුවහොත් මේ දෙයට තෘප්තිමත්භාවය නැති බව ද පැවසේ. ධර්මය අතක්කාවචර බැවින් නිවැරදි දෙයක් වැරදි ලෙස හෝ වැරදි දෙයක් නිවැරදි ලෙස බැලීමේ හැකියාවක් පවතී. එම නිසා තර්ක කළ නොහැක. ඒ හේතු අනුව ඒ දේ නිවැරදි අතර මේ හේතු අනුව මේ දේ නිවැරදි වන්නේය
- නිවනට සාපේක්ෂව දාන සීල භාවනා නිවැරදි වුවත් යම් හෙයකින් අරමුණ නිරයට යෑම නම් එහිදී නිවැරදි වන්නේ සතුන් මැරීම සොරකම් කිරීම ආදී එයට තුඩුදෙන වෙනත් කාරණාය
- මෙසේ පැනවෙන නොයෙකුත් ද්වේතාවයන් දුරු කළ යුතු බව තථාගත දේශනාවයි. තථාගත ශාසනයේ නච්ච ගීත වාදිත ආදී ලෙස සීලයක් පනවා ඇත්තේ එය සත්වයාට අයහපත පිණිස පවතින නිසා විය යුතුය
- එකම සින්දුව බොහෝ වතාවක් ඇසිය නොහැකි වන්නේ අතෘප්තිමත් භාවය නිසාය. යම් සින්දුවක් ඇසීම තෘප්තිමත් ලෙස වැටහෙන්නේ එම මොහොතටය. වෙන සින්දුවකට මාරු කිරීමට හේතු හැදෙන්නේ එම අතෘප්තිමත්භාවය නිසාය
- සින්දු තුළ කැමති සින්දු අකමැති සින්දු ලෙස ද්වයතාවයක් පවතින්නේ එහි ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ නිසාය. තවද නොපැහැදුන අයගේ පැහැදීම හෝ පැහැදුණු අයගේ වඩා පැහැදීම සිදු නොවන කාරණයකි.
- කිහිප දෙනෙක් තුළ එකම තෘප්තිමත්භාවයක් නැත. එනම් එය සාපේක්ෂක වු ද ද්වේතාවය තුල වූ ද ධර්මතාවයකි
190. සූර පප්පා සහ අරිෂ්ටය
- සූර පප්පා යනු ශක්තියෙන් හීන පුද්ගලයෙක් වන අතර අරිෂ්ටයේ බලය ලැබුණු විට රෝමන් හමුදාවක් වුවද පහසුවෙන් විනාශ කර දමයි
- එලෙසම සසර ගමනට නතු වී සිටි දුබලයන් වූ අපට තථාගත ධර්මය නැමැති අති ප්‍රබල අරිෂ්ටය ලැබී ඇත
- පෘථග්ජන පුද්ගලයකුට බිඳීමට තබා සිතාගතවත් නොහැකි ක්ලේශයන් අරිෂ්ඨයෙන් ශක්තිමත් තථාගත ශ්‍රාවකයා පහසුවෙන් බිඳ දමන්නේ ය
- අවශේෂ ආනිසංසයන් ලෙස දාන මාන ලැබෙන්නේය. වැදුම් පිදුම් ලැබෙන්නේය. ප්‍රමුඛස්ථානය ආදී බොහෝ ආනිසංස හිමි වන්නේය
- තථාගත ශාසනයක් තුළ උභතෝකෝටික ලෙස, විසඳිය නොහැකි ලෙස සසර පුරා ඉතිරි වූ ප්‍රශ්න සියල්ලටම ආකාර හතරකින් පිළිතුරු ලැබෙන්නේය
- මම කවුද? ජීවත්වීම යනු කුමක්ද? ජීවත්වීමේ අරමුණ කුමක්ද? ආදී දුක ඉස්මතු කරන කාරණාය
- මම සකස් වූයේ කෙසේද? මට දුකක් සකස් වූයේ කෙසේද? මට මෙලෙස ඉරණමක් තීරණය වූයේ කෙසේද? ආදී දුකට හේතු වූ කාරණාය
- එසේ නම් එය දුරු කරන්නේ කෙසේද? ආදී ප්‍රහාණය පිළිබඳව වූ කාරණාය. එසේ නම් ඒ සඳහා සිදුකළ යුතු ප්‍රතිපදාව කුමක්ද? ආදී නිරෝධය පිළිබඳව කාරණාය
- සියල්ල හෙළි වී ඇති මේ මොහොතේ සසර දුක දුරු කිරීමට තව තවත් උත්සාහවත් විය යුතුය. වීරිය පිණිසය...
191. නිර්වස්ත්‍ර හිත
- නිර්වස්ත්‍ර හේතුවකට නිර්වස්ත්‍රව උපදින අපගේ සිතද නිර්වස්ත්‍රය
- උදාහරණයක් ලෙස ද්වේශයක් පැමිණි විට එය ආවරණය කිරීමට සමත් වස්ත්‍රයක් නොමැත ආදී අර්ථයෙන් නිර්වස්ත්‍රය. අනෙක් ක්ලේශයන් සම්බන්ධව ද එසේමය
- රාගය ද්වේශය මෝහය පිරිවරා ගත් රැවටීම මුලාව ආදිය වැලකීමට සමත් වස්ත්‍රයක් නොතිබූ බැවින් ඔබ අප අතීතයේ බොහෝ පීඩාවට ලක්විය
- එම සියලු උවදුරු වළකාලන වටිනාම වස්ත්‍රය වන ධර්මය මේ මොහොතේ නොමිලේම ලැබී ඇත
- සිතක් යනු කිසිසේත් පාලනය කළ නොහැකි කිසිවෙකුට, කිසිවකට අවනත නොවන ධර්මතාවයකි
- යම් හෙයකින් යටත් කර ගැනීමට හැකියාවක් තිබුණේ නම් තථාගතයන් වහන්සේ සිත නිරෝධ කළ යුතු බව දේශනා නොකරනු ඇත
- මෙම අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මේ සඳහා සිත තුළ ඇතිවන සිතිවිලි ක්‍රියාත්මක කිරීම වෙනුවට එම සිතිවිලි වල රටාවන්, ක්‍රියාකාරීත්වය ආදිය දෙස බලා සිටීම ඉතා වැදගත් වේ
- එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ හේතු සකස් වන අතර ඉදිරි මාර්ගය නිරායාසයෙන් මතුවනු ඇත
- අනාගතයේ පැමිණිය හැකි දුක්ඛයන් වැළැක්වීම පිණිස තමන් විසින් තමන්ටම අනුකම්පාවෙන් මෙම ධර්මයන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය
192. ඇස සහ විදර්ශනාව
- ඇසෙහි රූපය ගැටුණු විට පෙනීමක් උපදී. එය කළ හැකි හෝ වැලැක්විය හැකි දෙයක් නොවේ. සිදුවන දෙයක් පමණි
- සුළඟ හමනවා ගහ කොළ සෙලවෙනවා ආදීමෙන් තවත් සිද්ධියකි
- එම නිසා තමන් සිදු කළ දෙයක් නොවන බැවින් එහි කිසිදු වගකීමක් තමන් සතු නොවන බව සිතට පෙන්වා දිය යුතුය
- ඇසට පෙනෙන දේ මස් ඇසට සාපේක්ෂව සිදුවූ පෙනීමකි. ඇසෙහි විභේදන ශක්තිය වැඩි වූයේ නම් අංශු සමූහයක් ලෙස පෙනෙනු ඇත
- මේ කිසිවක් සත්‍ය හෝ අසත්‍ය නොවේ. ඒ ඒ හැකියාවට සාපේක්ෂව සිදුවන ඒ ඒ පෙනීම්ය
- එසේ සිදුවන පෙනීම සිත ග්‍රහණය කරන්නේ දැන උගත් කරුණු අනුව සහ සිතට සාපේක්ෂවය
- එකම කාන්තාවක් නැගණිය මව සහෝදරිය බිරිඳ ආදී ලෙස කිහිප දෙනෙකුට කිහිප ආකාරයකින් පෙනෙන්නේ ඒ නිසාවෙනි
- මිනින්දෝරු කටයුත්තකදී යම් ස්ථානයකට සාපේක්ෂව මැනීම් සිදුකරයි. නමුත් ඒ සියලු ස්ථාන ඒ ඒ මොහොතේ පනවා ගත් අතර එකදු ස්ථානයක් වත් සත්‍ය හෝ අසත්‍ය නොවන අතර සාපේක්ෂව ලබාගත් මිනුම්ය
- එලෙසම සියල්ල සාපේක්ෂක බවද එහි කිසිදු සත්‍ය හෝ අසත්‍ය භාවයක් නොමැති බවද ඒ ඒ හේතු වලට අදාළව සිදුවූ ඒ ඒ ඵල බවද පෙන්වා දිය යුතුය...
193. ඇස සහ විදර්ශනාව-2
- මානසික පරීක්ෂණයකි. ඇසට පෙනෙන යම් දර්ශනයක් සලකන්න
- එහි ඇති රතු පාට ඉවත් කරන්න. කොළපාට පාට, නිල් පාට ඉවත් කරන්න. කහපාට දුඹුරු පාට ආදී ලෙස සියලු වර්ණ එකින් එක ඉවත් කරන්න
- ඉතිරි වන්නේ කුමක්ද? කළු පාට යනු ද වර්ණයකි
- කිසිවක් ඉතිරි නැත. එනම් සංසාරයක් පුරා අප දැක ඇත්තේ රතු නිල් කොළ කහ ආදි වර්ණම පමණි
- තවද ඇස කාචයක් ලෙස ක්‍රියා කරන විට දෘෂ්ටිවිතානය මත වර්ණ සටහනක් ඇතිවෙයි
- සිතට ගෝචර වන්නේ බාහිර ඇති වස්තුවක් නොව, දෘෂ්ටිවිතානය මත වර්ණ සමූහයක් ලෙස පතිත වන ප්‍රතිබිම්බයයි
- එහි සත්වයෙක් පුද්ගලයෙක් ලෙස කිසිවක් නැත. ඇත්තේ වර්ණ පමණි. මෙම උදාසීන වර්ණ භාවිතා කර නොයෙකුත් රූප නිර්මාණය කර ඇත්තේ සිත විසින්ම ය
- එනම් අප කිසි දිනක රූප දැක නොමැත. දැක ඇත්තේ ප්‍රතිබිම්බ පමණි
- නොදකින ලද රූපයකට ක්ලේශයක් ඇතිවිය නොහැක. මේ ආකාරයෙන් මනසිකාර කළ යුතුය. තවත් බොහෝ ධර්මයන් වැටහෙනු ඇත. විදර්ශනාව පිණිසය...
194. ඇස සහ විදර්ශනාව-3
- ගසට අකමැති නමුත්, එහි බැඳි ඔන්චිල්ලාවට කැමැත්තක් ඇත්නම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ගසටමය. ගසට කොපමණ අකමැති වුවත් ගස කැපීමකට කිසිසේත් අවසර ලැබෙන්නේ නැත. ඔන්චිල්ලාව හරහා ගසට දැඩි කැමැත්තක් සකස් වී ඇත
- එසේම මස් වලින් සැකසුණු, ප්‍රමාණයෙන් කුඩා, ආහාරයෙන් පෝෂණය වන ආදී මස් ඇසට අයෙකු බොහෝ විට සෘජුව කැමති වන්නේ නැත
- රූපයට කැමැත්ත සකස් වන විට නිරායාසයෙන් ඇසට ද කැමැත්ත ප්‍රකාශවීම සිදුවේ. නැටුම් ගැයුම් ආදිය මෙන්ම සොබාදහමේ වුවද ලස්සනක් පෙනේනම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ඇසටම ය
- පෙනීමක් ඇතිවූ විට පෙනීමක් ඇතිවූ බව දැනගත හැකිය. නමුත් එය කෙසේ සිදුවූයේ දැයි අප දන්නේ නැත. පෙනීම යනු පාලනයෙන් තොර ධර්මයකි ආදී ලෙස අනාත්මය වැඩිය යුතුය. උදාහරණයක් ලෙස තිරිංග තද කරන විට වාහනයක් නවතින බවද ඇක්සිලේටරය පාගන විට වාහනය ත්වරණය වන බවද දැන ගත හැකිය
- එය මායාකාරී ස්වභාවයක් නොවන අතර එය කෙසේ සිදු වූයේ යැයි ද අප දනිමු. එම නිසා අවශ්‍ය නම් ක්‍රියාදාමය බිඳ දැමීම, නවීකරණය ආදී ලෙස පාලනයක් සිදුකළ හැක. ඇස සම්බන්ධයෙන් එසේ සිදු කළ නොහැක
- ඉර පෑයීම වළාකුළු වල චලනය අපට දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතුව නැත
- පෙනීමද එලෙසමය. පෙනීමක් ඇති බව දැනගත හැකිය, පෙනීමක් ඇති වූ පමණකින් එහි අයිතිය අප සතුව නැත. විදර්ශනාව පිණිසය...
195. ඇස සහ විදර්ශනාව-4
- පෙනීම කරදරයකි. සත්ත්වයා වෙහෙසට පත් කරවයි. දවස පුරා පෙනීම තුළින් ඇතිවන වෙහෙස රාත්‍රී වන විට උග්‍ර වේ
- රාත්‍රියේ මඳ විවේකයක් ලබා ගැනීමට ඇස් පියා ගත්විට සිහින ආදී ලෙස හෝ නැවතත් පෙනීම ලෙස වෙහෙසට පත්වේ
- නොපෙනීමද එක්තරා පෙනීමක් බැවින් අසවල් දේ නොපෙනුනේ යැයි නොපෙනීමෙන්ද ඇතිවන්නේ වෙහෙසයි
- රාත්‍රිය පුරා චාජ්කර දවස පුරා වැඩ ගන්නා කාර්ය බහුල උපකරණයක් මෙන් පෙනීමට උදව් කරන මස් ඇස සිතේ වහලෙක්ය
- කොපමණ වහල්කම් කළත් තවමත් සිත තෘප්තිමත් කිරීමට නොහැකි වී ඇත. තව තවත් බැලීමට ඇති අවශ්‍යතාවය එය සනාථ කරවයි
- පෙනීම වෙහෙසක් ලෙස, උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස, දුකක් ලෙස වැටහීම පවා විශාල ජයග්‍රහණයකි
- මෙයින් මිදීමේ ක්‍රමවේදය සඳහන් බුද්ධ ශාසනයේ අවශ්‍යතාවය ඇතිවන්නේ මෙම ජයග්‍රහණයෙන් පසුවය
- මිදීමට ඇත්තේ එකම මඟකි. වෙනස් වන මායාවක් ලෙස, දුක ලෙස, පාලනය කළ නොහැකි ලෙස, සිත ඉදිරියේ කරුණු දක්වමින් මුල් බැස ඇති බැඳීම් දුර්වල කළ යුතුය
- කුඩා වැරැද්ද පවා විශාල ලෙස දකිමින් උත්තරය කෙසේ වෙතත් ප්‍රශ්නය වත් සොයා ගත නොහැකි කටුක සංසාර ගමන නතර කිරීම පිණිස උපරිම වීරිය සිදුකළ යුතුය
196. බරපතලකම
- නිරයෙහි අප්‍රමාණ දුකක් විඳීමට සමත් බරපතල හේතුව සඳහා අවුරුදු පනහක් හැටක් ගතවන්නේ නැත. හේතුව තත්පර කිහිපයක සරල කාරණයක් විය හැක
- එලෙසම අප තුළ කෙලෙස් ප්‍රහාණය නොවීමට තුඩු දුන් හේතූන් හිතාගත නොහැකි මායාකාරී කාරණා නොවේ. බොහෝ සරල කාරණාය
- ඒවා සරල ලෙස සහ පැහැදිලිව නොපෙනෙන ලෙස ද, ඒවා භයානක නොවන ආදී ලෙස වෙස්වලා ගනිමින් සිත තුළ රැකවරණය සලසාගෙන ඇත
- ඒවා සිදු කරන හානිය පැහැදිලිව පෙනෙන අනෙක් ක්ලේශයන් සිදු කරන හානියට සාපේක්ෂව මහත්ය
- ඉදිරියෙහි වතුර ඇති ලෙස පෙනෙන මිරිඟුව බොහෝ සරල සහ අහිංසක ස්වරූපයෙන් පෙනී සිටි
- එයට මුලාවන මුවෙකුට අත්වන ඉරණම ම කෙලෙස් අවතක්සේරු කරන යෝගාවචරයාගේ ප්‍රතිපදාවට නොබෝ කලකින් සිදුවන්නේ ය
- තවද භයානක ලෙස පෙනෙන අපරාධකාරයන්ට වඩා උඩින් සිට එය මෙහෙයවන, මිත්‍රශීලී ආදී ස්වරූපයෙන් පෙනී සිටින දේශපාලනඥයන් භයානකය
- ධර්මය ලෙස බොහෝවිට පවතින්නේ සරල කාරණාය. බොහෝ පිරිසක් ඒවායින් සෑහීමට පත්වන්නේ නැත
- නමුත් නුග ඇටය කුඩා වුවද එය තුළ අතුපතර විහිදී ගිය විශාල ගසක් නිර්මාණය කිරීමට සමත් විස්තර පවතින්නේය. විදර්ශනාව පිණිසය...
197. නොනිවීමට හේතුව
- තථාගත ශාසනයේ සසරින් මිදීමට වෙර දරන වීරියවන්තයන් හට ක්ලේශයන් හඳුනා ගැනීම බොහෝ වැදගත් ය
- නමුත් දීර්ඝ කාලයක් ක්ලේශයන් තුලම සිරවී සිටි බැවින් ඒවා පහසුවෙන් හඳුනාගත නොහැක
- එය උපමාවක් ලෙස මුහුදේ සිටින මාළුවෙක් මුහුද සොයනවා වැන්නකි
- ක්ලේශයන් මොනවාදැයි සොයන යම් කාරණයක් ඇත්නම් එයද එක්තරා ක්ලේශයකි
- නිසල විල තුළ නිසල බව සෙවීම කැලඹීමට කාරණයකි
- නිවන සෙවීමට දරණ වෑයමමෙන් සිදුවන්නේ ද තව තවත් සිත කැළඹීමට පත්වීමය. එම නිසා එවැනි වෑයමක් තුළ නිවීමක් සැනසීමක් නැත
- නිවීම සෙවීම වෙනුවට කැළඹීමට තුඩුදුන් හේතු සොයා ඉවත් කිරීම සිදුකළ විට නිරායාසයෙන් සිත නිවීමට පත්වේ
- යුද්ධයේ අවශ්‍යතාවය ඇති විට අවි ආයුධ ආදිය අතට පත්වන්නේ නිරායාසයෙනි
- එලෙසම රූප බැලීම, ශබ්ද ඇසීම, රස විඳීම් ආදී ලෙස බැඳුණු සිත් ඇති විට සංසාර ගමන නිරායාසයෙන්ම උරුම වන්නේ ය. විදර්ශනාව පිණිසය...
198. මමායන දෘෂ්ටිය
- වාහනයක දොර ඇරිය හැක දොර වැසිය හැක
- හුලං ගැසීම රෝද මාරු කිරීම ආදිය ද සිදුකළ හැක
- එපමණකින් වාහනය තමා සතු යයිද, තම පාලනයේ ඇතැයි ද ලෙස සිතීම මුලාවකි
- කිසි දිනයක ධාවනය වන වාහනයක් හෝ වාහනයේ අයිතිය පිළිබඳ බලපත්‍ර හෝ නොදැක ඇති විට ඉහත ආදී මුලාව පහසුවෙන් සිදුවේ
- එලෙසම අතපය චලනය කළ හැකි පමණකින්, සිතිවිලි ඇතිවන පමණකින්, මම හෝ මගේ හෝ මගේ වසඟයේ යන්නත් පැනවිය නොහැක
- පවතින්නේ මම, මගේ ආදියක් නොවේ. එවැන්නක් පවතින්නේ ය යන දැඩි විශ්වාසයක් පමණි
- යම් ගසක් තුළ දෙවියෙක් සිටිනවා යයි දෘෂ්ටියක් ඇති කළ විට පින් කැටය පිරෙන්නේ ඉබේය
- දෘෂ්ටිය වැඩිවන තරමට කැටයේ පිරීමද වැඩිය
- එලෙසම මම සිටිනවා ආදී ලෙස දෘෂ්ටියක් ඇති විට කර්මයන් රැස්වීම සිදුවන්නේ ද ඉබේමය. විදර්ශනාව පිණිසය...
199. භාවය
- ප්‍රතිපදාව මාර්ගය සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇති ගැටලුව පැටලෙනකමය
- පැටලී නොමැති මොහොතේ ද පවතින පැටලෙන භාවය පැටලීමකට වඩා භයානකය
- පැටලෙනකම ඵලය වන අතර එයට අදාල හේතුව වන්නේ පැටලෙන භාවයයි. සතර අපායෙන් නිදහස් වීමේදී සිදුවන්නේ ද පැටලීමට ඇති හැකියාව දුරුවීමයි
- අඹ ගසෙහි ඇත්තේ අඹ ලැබෙන භාවය යි. අඹ ගෙඩිය යනු ඵලයයි
- අවධානය යොමු විය යුතු කාරණය, ඵලය වන අඹ ගෙඩිය නොව, හේතුව වන අඹ ඇතිවීමට ඇති හැකියාවට යි
- කායික රෝගයකින් පීඩා විඳින අයෙකු දෙස සංවේදී වීමකට වඩා කායික රෝගයක් වැළඳීමේ හැකියාව ඇති මේ ශරීරය පිළිබඳව අති සංවේදී විය යුතුය
- ඒ සම්බන්ධව නිවැරදිව සිහිය එළඹුණ විට හතර හන්දි පණ නැතිව ගොස්, ඉහමොල රත් වනු ඇත
- උපන් මොහොතේ සිටම අප සිටින්නේ මරණයට ඇති හැකියාව, රෝගයක් වැළඳීමට ඇති හැකියාව, කර්මයක් විපාක දීමට ඇති හැකියාව ආදී හේතු ගොන්නක් උරුමවය
- මනාව විදර්ශනා කොට වහ වහා සිහිය එළඹවා ගත යුතුය. විදර්ශනාව පිණිසය...
200. සිතෙහි පැවැත්ම
- සිත යනු පුද්ගල අනන්‍ය වූවක් නොවේ. මම සිටියත් නොසිටියත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයකි
- සිත් අතර පවතින්නේ සංසාරගත පුරුද්දේ වෙනසක් පමණි. සියලු සිත්වල ඇතිවිය හැක්කේ පොදු ක්ලේශයන් වන රාග ද්වේශ මෝහ පමණි
- සරුංගලයක නූල අතැතිව තිබුණද සරුංගලයේ චලනය ඒ ඒ මොහොතේ සකස් වන වායුවේ කැලඹීම, සුළඟේ දිශාව, සරුංගලයේ හැඩය ආදී බොහෝ හේතූන් මත රඳා පවතී
- නූල යනු එක් හේතුවක් පමණි. ඇඳීම බුරුල් කිරීම හැර එයින් කළ හැකි වෙනත් පාලනයක් නැත
- මගේ පැවැත්ම රැඳී ඇත්තේ ද නූල අතැතිව ඇති බැවිනි
- අල්ලාගෙන සිටින්නේ නූල වූවත් තණ්හාව පවතින්නේද නූලට නොවේ. නූල කෙළවර පවතින සරුංගලයටයි
- සරුංගලයට ඇති තණ්හාව බිඳ වැටුණු විට නූල අතහැරෙනු ඇත. හේතු නැති වී ඇති හෙයින් පුද්ගලයෙකුද එම ස්ථානයේ නොරැඳෙනු ඇත
- සිතේ අනාත්මය වැටහීම පිණිස ඉහත වැනි උදාහරණ හොඳින් මෙනෙහි කළ යුතුය
- උපමා උපමේය ගලපමින් විදර්ශනා කිරීම ධර්ම අවබෝධයට බොහෝ පහසුවක් වනු ඇත
201. ධර්ම ශ්‍රවණය
- ආයතන නිරෝධ වීම පිණිස ආයතන හරහාම ඇතුල් කරනු ලබන ධර්මය ඇතුල්වීමේදී යම් දෝෂයන් සිදුවිය හැකිය
- පිරිසිදු ධර්මයක් වුවද ඇතුල් වන විට සංසාර පුරුදු සහ නොයෙකුත් මුළුගැන්වුණු දෘෂ්ටීන් නිසා බොහෝවිට ඇතුල් වන්නේ අපිරිසුදු වීමක්ද සහිතවය
- උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ ආදී ලෙස විඤ්ඤාණයන්හි පිරිසිදුභාවය ශාසනය තුළ වර්ගීකරණය වන්නේ ඒ නිසාවෙනි
- උපමාවක් ලෙස ඇල් වතුරට ලුණු දැමූ විට ලුණු රසය පැහැදිලිව දැනෙන නමුත්, පල් වතුරට ලුණු දැමූ විට විශේෂ ලෙස ලුණු රසයක් හඳුනාගත නොහැක
- ලුණු රසය වෙනුවට හාත්පස වෙනත් රසයක් වුවද දැනිය හැක
- එලෙසම සංසාරය තුළ පල් වූ ක්ලේශයන් ඇති විට ප්‍රණීත වූ ගම්භීර වූ ධර්මයක් ඇතුල් කලද විශේෂ වෙනසක් සිදුවන්නේ නැත
- මෙය අවම කිරීම සඳහා අන් වචනය ගරු කිරීම, නිහතමානීකම ආදී ගුණ මෙන්ම දානය, සීලය ආදියද පුරුදු කළ යුතුය
- එසේම අසන ලද ධර්මය විනයට සීලයට එකඟදැයි විමසා බැලිය යුතුය
- එසේම සාරිපුත්තයාණන්, මහා කාශ්‍යප ආදී උත්තමයන්ගේ චරිතාදර්ශ සමඟද ඔබගේ අපගේ ශාස්තෘ වූ අමාමෑණි තථාගතයාණන් වහන්සේගේ චරිත ආදර්ශයන් හා එකඟදැයි දෙවනුවත් තෙවනුවත් විමසා බැලිය යුතුය
202. ඇත්තටම සැපයක් ද?
- එක් එක් සත්වයන්ට සැපය පිළිබඳ නොයෙකුත් අර්ථකථන ඇතත් සියලු සත්වයෝ සැපයට කැමතිය. නමුත් ඇත්තෙන්ම සැපය යනු කුමක්ද?
- මානසික රෝග ලෙස සිතේ මෙන්ම, එය මේ මොහොතේ බැසගෙන පවතින ශරීරයේද බොහෝ රෝග පවතී
- සංසාර ගත රෝග වන රූප, ශබ්ද ආදිය සඳහා ඇති කැමැත්ත හෝ අකමැත්ත, සිතේ විසිරීම, සෑහීමට පත් නොවීම, පසුතැවිල්ල, කනස්සල්ල, ආදී නොයෙකුත් මානසික රෝග පවතී
- උප්පත්ති රෝග වන බඩගින්න, පිපාසය, තෙහෙට්ටුව, නින්ද, මළ පහ වීම, මුත්‍රා වීම ආදිය මෙන්ම අඩු ලන්සුවෙන් ගතහොත් ආශ්වාසය ප්‍රශ්වාසයද ශරීරයේ සැමදා පැවතුන රෝග වේ
- මෙම රෝගයන්ට පිළියම් කිරීමේ උත්සාහයක් ලෙස ඉගෙන ගැනීම, රැකි රක්ෂා කිරීම, නොයෙකුත් කර්මාන්තයන්හි නියැලීම සිදුකළත් ඒවා ඒ ඒ මොහොතේ දුක අඩු කර ගැනීමට ගසන පැලැස්තර මිස සැප විඳීමක් නොවේ
- පුටුවක් ඇති තැන මේසයක් ලෙස හඳුනාගැනීම මෙන්, සරල ලෙස ගතහොත් ලෝක ධර්මතාවයන් වැරදි ලෙස වටහා ගැනීම මෝහය වේ
- මෝහය ඇති විට සිතක් හිමිවේ. සිත හිමි විට කය හිමිවේ. එයට යටත් සියලු රෝගයන් ද හිමි වේ
- රෝගයන් පිරිවරා ගත් සිත, කය පරිහරණය කරමින් කිසි විටෙක සැපයක් නොලැබේ
- සැපයක් ඇත්නම්, ඉහත රෝගයන්ගෙන් ඇතිවන පීඩාව අඩු කර ගැනීම සැපයක් ලෙස වරදවා වටහා ගැනීමක්ම පමණි
203. මුහුදු වෙරළ
- මුහුද යනු බොහෝ පිරිසකගේ සිතේ සැනසීමක් ඇති කරන අලංකාර දර්ශනයකි
- නමුත් එම ලස්සන පවතින්නේ තනි තනිව ගත්විට වතුරේ, වෙරළේ හෝ අහස ආදියේ නොවේ
- මෙම හේතූන් එක්වුණ විට ලස්සනක් අලංකාරයක් වැන්නක් උපදී
- මෙම ලස්සන රැගෙන යාමට, පාලනය කිරීමට නොහැකිය. සෑම වේලාවකම පවතින්නේ ද නැත. නිරතුරුව වෙනස් වේ. නිශ්චිතව අසවල් ස්ථානයේ ලස්සන ඇතැයි පැනවිය නොහැක. නිරීක්ෂණය කිරීමක් පමණක් සිදුකළ හැක
- අත්විඳීම් විඳි පමණකින් මුහුද අපට අයිති නැත
- එලෙසම සිතද මුහුද වැනිය. නොයෙකුත් සිතිවිලි හටගනී නොයෙකුත් සැප වේදනා, දුක් වේදනා, කුණාටු ආදිය හට ගනී. සමාධිමත් විට බොහෝ අලංකාරයක් ද පවතී
- නමුත් හටගත් ස්ථානයක් හෝ ඒවා කොටු කර තැබීමට හෝ ඒවාට සීමා පැනවීමක් සිදු කළ නොහැක
- එකම කාරණය වන්නේ නිරීක්ෂණය පමණි. නිරීක්ෂණය සිදුකළ හැකි පමණකින් සිතේ කිසිදු අයිතියක් අප සතුව නැත. එසේ හැකිනම් නිරීක්ෂණය කළ හැකි මුහුද මෙන්ම ඉර හඳ ද අප සතු වනු ඇත
- සිතේ මෙම ලක්ෂණ මෙනෙහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කර ගත යුතුය. එවිට සිතේ බල කනු දුර්වල වී සියල්ල අවසානයක් වනු ඇත
204. තුවාලය
- තුවාලයක වේදනාව, සුව වනතුරු දුරු වන්නේ නැත. අඩු වැඩි වෙමින් පීඩා දෙන්නේය
- තවම හඳුනාගෙන නොමැති තුවාලයක් ඇති විට තුවාලයක් නැතැයි සිතීම හඳුනා නොගැනීම නිසාම සිදුවූවකි
- වේදනාවෙන් උරුවන්බාමින් තුවාලයක් නැතැයි පැවසුවද බොහෝ වේදනාවෙන් සිටින බව එළිපිටම ඇති කාරණයකි
- සැපය පිළිබඳ පුද්ගලයාගේ දැක්මද එවැනි ය. සැප ලෙස හඳුනාගෙන ඇත්තේද විඳින්නා වූ තවත් දුකකි
- තුවාලයක් නැත්තෙකු තුවාලයක් ඇතැයි කීවත් තුවාලයක් නැති බවම ඉරියව් හැඟීම් ආදියෙන් හෙළිවේ
- එලෙසම තුවාලයක් ඇත්තෙකු තුවාලයක් නැතැයි කීවත් ඇති බවම හෙළිවේ
- සැප සම්බන්ධවද එය එලෙසමය.
- මම බොහෝ සැප විඳින, බොහෝ යාන වාහන දේපළ ඉඩකඩම් හිමි ආදී ලෙස පැවසුවද ජීවිතයේ විඳින ලද සැප කුමක්දැයි අසන විට මල්ලෙ පොල් වැනි උත්තර පිටවන්නේ තවම ප්‍රශ්නය පිළිබඳව වත් වැටහීමක් නැති හෙයිනි
- සිත යනු සුව නොවන තුවාලයකි. සුව කළ නොහැක්කක් සුව කිරීමට දරන වෑයමෙන් පලක් නැත. අත්හැරීම එකම විසදුමයි. තථාගත දේශනාවද එයයි
205. විඤ්ඤාණ ධර්මතාවය
- පෘථග්ජන විඤ්ඤාණයක් යනු සොබා දහම තුළ පවතින ස්ථාවර ධර්මතාවයකි
- එම ධර්මතාවයෙහි ආයතන ලෙස තවත් ධර්මතාවයක් පවතින අතර සසර පැවැත්ම වෙනුවෙන් සකස් වුණු යම් දුර්වලතාවයන් ද එම ආයතනයන් හි පවතී
- එම දුර්වලතාවයන්ට සාපේක්ෂව වස්තු මට්ටමේ, වචන මට්ටමේ ආදී ලෙස ආයතනයන්හි හඳුනා ගැනීම් පවතී. එම නිසා ගහකොළ සතා සිවුපාවා ආදී ලෙස ද නොයෙකුත් භාෂා ආදී ලෙසද ග්‍රහණය කිරීම් පවතී
- එහි ප්‍රතිඵලයක් ලෙස රාගය ද්වේශය මෝහය ආදිය ද සිත ලෙස ද චක්‍රයක් ගොඩනැගෙන අතර එයට සාපේක්ෂව සසර ද හටගෙන ඇත
- යම් හෙයකින් එම ආයතනයන්හි සියුම් විභේදන හැකියාවක් තිබුණේ නම් වස්තු වෙනුවට අංශු ලෙස ද, වචන වෙනුවට ශබ්ද මාත්‍ර ලෙසද වෙනස් හැඳින ගැනීමක් බලාපොරොත්තු විය හැක
- එවිට චන්දරාගයක් ආදිය හට ගැනීමක් බලාපොරොත්තු විය නොහැකි අතර සසර ගමනක් ද බලාපොරොත්තු විය නොහැක
- දැන් එළැඹී ඇති ප්‍රශ්නය අනුව අපට ආයතන වල විභේදන හැකියාව දියුණු කිරීම අපහසු කාරණයකි
- ඒ වෙනුවට හඳුනාගන්නා සිත තුල ප්‍රඥාව මතුකොට සිහිය නමැති ධර්මතාවයක් හරහා හඳුනාගැනීම සිදුකළ විට නැවත චන්දරාගය ආදිය දුරුවනු ඇත
- එම සිහියේ අනෙක් ප්‍රතිඵලයක් ලෙස විඤ්ඤාණය ද හේතුඵල ලෙස වැටහී අවසානයේ සසර ගමන ද කෙළවර වනු ඇත
206. අවදානම සහ අප්‍රමාදය
- කර්මයක් බලගැන්වුණු පසු මේ ජීවිතය, ඊළඟ ජීවිතය, පසු භවයන් ලෙස කර්ම පත ආදිය සකස්වීම සිදුවේ
- ගෙවුණු ජීවිත බොහෝ වන අතර බොහෝ කර්ම අප අතින් රැස් වන්නට ඇත
- ඒවායේ විපාක පැමිණෙන්නේ අහඹු, ආගන්තුක ලෙසය
- කන බොන මොහොතක, නිදාගෙන සිටින මොහොතක යන එන මොහොතක ආදී ලෙස කිසිම බාධාවකින් තොරව විපාක පැමිණීමේ හැකියාව ඇත
- වචන සරල වුවද කාරණය බරපතලය, අවදානම් ය
- එළැඹ ඇත්තේ නිර්වාණය ද භවය ද යන අපගේ සසර ඉරණම තීරණය වන තීරණාත්මකම අවස්ථාවයි
- අදටත් අප සසරේ සිටීමෙන් අපගේ ප්‍රමාදයේ තරම කොපමණදැයි තක්සේරු වන්නේය
- මේ ජීවිතයේත් බොහෝ නිදහසට කරුණු ඇති අතර අවසානයේ සිදුව ඇත්තේ අතීතයේ සිදුවූ ලෙසම නැවතත් ප්‍රමාද වීමය
- තවදුරටත් ප්‍රමාද විය නොහැක. නිර්වාණය වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම සිදුකළ යුතුය. වීරිය පිණිසය...
207. රියදුරා
- කය යනු අන් ආකාරයෙන් වාහනයකි. එය පදවන රියැදුරා මමය
- එක විට අතපය හැසිරවීම, වචන පිටකිරීම, සවන් දීම ආදී සංකීර්ණ රිය පැදවීමේ හැකියාවක් අප සතුව ඇත
- එලෙසම ශරීර වාහනය ද සංකීර්ණ අතර මල මුත්‍ර බඩගිනි පිපාස ආදිය සඳහා පවා සංඥා දැනුම් දීමේ පද්ධතීන් ක්‍රියාත්මකය
- මෙසේ අතීතයේ අප බොහෝ වාහන පදවා ඇති අතර අප අතීත භවයන්හි පැදවූ වාහනවල දැන් සැකිලිවත් ඉතිරිව නැත
- අප නොදන්නවා වුවත් අපට මනා සිහියක් ඇත. තවමත් මෙම වාහනයට අනතුරක් නොවී පැවතීම සාක්ෂියකි
- බොහෝ වෙහෙස බැවින් නිමාවක් නොමැති අතෘප්තිකර හෙයින් ආදීනව බොහෝ බැවින් මෙම රියදුරුකම නවතා දැමීම සුදුසුය
- කළ යුත්තේ ඉන්ධන සැපයුම් ජාලය නැවතීම පිරිස සිහිය පැවැත්වීම පමණි. පවතින ඉන්ධන දහනය වූ පසු ඉබේම වාහනය නවතින අතර රියදුරුකමද අවසන් වනු ඇත
- සිතෙහි මුල් බැස ඇති ඝණ කෙළෙස් බුරුල් කිරීම පිණිස මෙසේ නොයෙකුත් උදාහරණ උපමා පෙන්වමින් නිරතුරුව සිත සමග පොරබැදිය යුතුය
- අඛණ්ඩව නොපසුබටව ප්‍රතිපදාව සිදුකරගෙන යන මොහොතක නොසිතූ ලෙස ගැඹුරු වැටහීම් සිදුවනු ඇත
208. පිළිගැනීමේ නිලධාරියා
- සිත යනු බිහිසුණු ධර්මතාවයකි
- සිත තුළ පෙනෙන ඇසෙන දැනෙන සිතෙන ආදී නිරීක්ෂණය වන කුඩා කොටසක් පවතී
- නිරීක්ෂණය නොවන ලොකු කොටස වන කර්මයන් රැස්වෙන ආකාරය, කර්මයන් විපාක දෙන ආකාරය, සිතිවිලි වල යාන්ත්‍රණය, කැමැත්ත අකමැත්ත ඇතිවීම ආදියක් ද මෙහි ඇත
- මේ සිත තුළ ජනනය වන කර්මයන් අප දන්නේ නැත. ලැබෙන විපාකවලට හේතූන් ආදී කිසිවක් අප දන්නේ ද නැත
- සිත මම, මගේ යැයි සිතා සිටිය ද මම යනු එන යන අයට හායි බායි කියන පිළිගැනීමේ නිලධාරියෙක් වැනිය
- එන යන කිසිවෙකු අපගේ යහපත පිණිස පැමිණෙන්නේ නැත
- කිසිදු පරීක්ෂාවකට ලක් නොවීමට තරම් විශ්වාස වුවත් අප කිසිවෙකුගේ තතු දන්නේ ද නැත
- සිත යනු අවස්ථාව පැමිණෙන තුරු සිටින හඳුනා නොගත් සතුරෙකු වැනිය
- අවස්ථාව පැමිණි පසු සිත ඔබට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැත. ඒ බව සිත නිරෝධ කිරීම පිණිස අවස්ථාව ලද මේ මොහොතේ අවධාරණය කළ යුතුය
209. ගුරුවරයා
- විඤ්ඤාණයක් නොමැති වුවත් ගහකොළ ආදිය ද බොහෝ දුකට උවදුරුවලට ලක්වේ
- එයට උපක්‍රම ලෙස ලපටි දලු ආදිය මේරිම සිදුවේ
- ක්‍රමානුකූලව අතු මුල් ආදිය විහිදුවා ශක්තිමත් වේ
- එයින් එයට බාධක වන දැඩි හිරු රශ්මිය, සුළඟ, වැස්ස ආදිය ද, කෘමි සතුන් ආදී උවදුරුවලින් සිදුවන හානියට ද බාධා එල්ල කරයි
- ගසට අනුපිළිවෙල වැඩපිළිවෙලක් පවතී. එබැවින් මල්ඵල දැරීම ආදිය මුලින් සිදුවන්නේ නැත
- හඳුනාගත හැකිනම් වීර්යය, අකම්පිත බව, ඉවසීම, සමබරතාවය, සීලය ආදී බොහෝ පණිවිඩ සොබා දහම තුළ අන්තර්ගතය
- ඇත්තෙන්ම සොබාදහම යනු නිහඬ බණ දේශනා කරන රහතන් වහන්සේලා වැනිය
- සසරින් නික්මුන බොහෝ උත්තමයන්ද බොහෝ පාඩම් ඉගෙනගෙන ඇත්තේ සොබාදහමින්ය
- සොබා දහම ද නිර්වාණයට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක් කර ගතහොත් මාර්ගය වඩා පහසු වනු ඇත...
210. සෑහීමට පත්වීම
- විනෝද චාරිකාවක් ආදී ගමනක් ගමන් ගන්නා පිරිසක් ස්ථාන නරඹනවා මිස කිසිම ස්ථානයක ස්ථිරව නවතින්නේ නැත
- ගමන අතරතුර නොයෙකුත් ගොඩනැගිලි, කඩවල්, මිනිසුන්, නොයෙකුත් නිර්මාණ ආදී බොහෝ දෑ හමුවේ
- ඇතැම්විට ඒ ගොඩනැගිලි ආදිය තමාගේ මෙන් පරිභෝග කරයි
- ඡායාරූප ගැනීම, මිනිසුන් සමග කතා කිරීම, ගීත ගායනය ආදිය ද සිදු කරයි
- නමුත් ඒවායෙන් සෑහීමට පත්නොවේ. අරමුණින් අරමුණ අතහැර අවසානයේ නිවසට පැමිණි විට සුසුම්ලා ගිමන් හැර සෑහීමකට පත්වේ
- සිත ද එසේය. නොයෙක් අරමුණු පසුපස දිවගියද කිසිවකින් සෑහීමට පත්වී නැත. තවමත් ගමන් කිරීම එයට සාක්ෂියයි
- අප නොදන්නවා වුවත් ඇත්තෙන්ම මේ සිත සෑහීමට පත්වන්නේ නිර්වාණයෙන් පමණි
- නමුත් සංසාරේ කිසි දිනක සිත නිර්වාණය සහ ස්පර්ශව නැත
- මෙතෙක් නොයෙක් අරමුණු පසුපස දුවමින් සිත බොහෝ කාලයක් සෙවූ විමුක්තියද මෙයයි
211. අරමුණු
- එක් එක් පුද්ගලයන්ට එකිනෙකට වෙනස් අරමුණු ඇත
- බොහෝ මිනිසුන් උපරිම පරිශ්‍රමය යොදමින් එම අරමුණු ඉෂ්ට කර ගැනීම පිණිස කටයුතු කරයි
- නමුත් ඇත්තෙන්ම සිදුකළ යුත්තේ එම අරමුණු පසුපස හඹා යෑම වෙනුවට අරමුණු තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි
- මානසික පරීක්ෂණය: සිතේ ඇති සියලු අරමුණු යම් ඉෂ්ට දේවතාවෙක් පැමිණ ඉෂ්ට කළේ යැයි සිතන්න
- ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි සිතා බලන්න. නැවතත් වෙනත් අරමුණක් ඇති වන්නේ නම් එම අරමුණු සාරවත් අරමුණු නොවේ
- එසේ වී නම් නැවත සිදුව ඇත්තේ ස්වරූපය පමණක් වෙනස්ව නැවත අරමුණු පසුපස හඹා යෑමයි
- කළ යුත්තක් ඇත. දැනට තමන්ට පවතින අරමුණු හොඳින් විශ්ලේෂණය කළ යුතුය
- මුලින් බොහෝ මහන්සි වී විදර්ශනා කොට තමන්ට අවශ්‍ය අරමුණු කුමක්දැයි සොයා ගත යුතුය
- නැතහොත් පෙර ජීවිතවල සිදුවූවාසේම මේ ජීවිතයේද මිරිඟුවක් පසුපස හඹා යෑමක් වැන්නක් විය හැක
212. බයිසිකලය
- බයිසිකලයක් යොදන තෙරපුමට අනුව ගමන් කරන්නේ සමබරතාවය ඇති විටය
- එම සමබරතාවය ප්‍රාර්ථනාවකින් අයදීමකින් ලබාගත නොහැක
- සමබරතාවය ලබා ගැනීමට බයිසිකලයේ වර්ගය, පුරුදු වන ස්ථානය ආදී ලෙස විශේෂ ක්‍රමයක් ද නැත
- උත්සාහය, කැමැත්ත, කැපවීම තුළ යම් අවස්ථාවක සමබරතාවය ඇතිවේ
- ඉන් මතු ඕනෑම බයිසිකලයක හෝ ඕනෑම ස්ථානයක අවශ්‍ය නම් අමතර බරක් ද සහිතව ගමන් කිරීමේ හැකියාව ලැබේ
- එලෙසම නිර්වාණයට අවශ්‍ය සමබරතාවයක් ඇත
- කැමැත්ත ඇති විට උත්සාහය, වීර්යය ආදී ලෙස පුරුදු කරගෙන යන යම් අවස්ථාවක සමබරතාවය වැටහෙනු ඇත
- ඉන් මතු සිටින ස්ථානය කරන කාර්ය ආදීය තුළද ආයාසයකින් තොරව මනාව සමබරතාවය පවතිනු ඇත
- නැවත නැවත උත්සාහ කළ යුතුය. සමබරතාවය ඒකාන්තයෙන් වැටහෙනු ඇත
213. ලෞකික ජීවිතයෙන් නික්මීම
- ජීවිතය කියන්නේ ක්ලච් පෙලේට් ගියපු වාහනයක් වගේ
- රේස් කරන ප්‍රමාණයට දියුණුවක් නෑ. බොහෝමයක් බලාපොරොත්තු සඵල වෙන්නෙ නෑ
- හැම අවුරුද්දකම කිරි ඉතිරවීම සිදුකරත් මුට්ටියේ කිරි ඉතුරුණා පමණි. අපට ඉතිරූ කිරක් නෑ
- හැමදාම සිදුකරන්නේ අනාගතයේ ජීවත්වීමට වර්තමානයේ දුක් වේදනා විදීම පමණයි
- ගින්නට පනින පැළඟැටියෙක් වගේ, කොච්චර පිච්චුනත් අපට මේ දුක තේරෙන්නේ නෑ
- හැමදාම සිද්ධ වුණේ ඔහොම තමයි. සංසාරයක් තියෙනවාලු. නිර්වාණය කියලා මොකක්දෝ එකකුත් තියනවලු
- නිර්වාණ මග පෙන්නන්න තථාගතයන් වහන්සේ නමක් ගොඩක් කල් පෙරුම් පිරුවලු
- මේවා හුදෙක් වචන විතරයි. තේරෙන්නෙත් නෑ. මොකක්ද මේ අභිරහස..?
- පැටලුණු නූල් බෝලයක් වගේ, කොහොමද මේකෙන් නිදහස් වෙන්නෙ..? කවුද අපට පිහිට වෙන්නේ..?
214. පැවැත්මේ ධර්මතාවය
- ලෝකය තුළ බොහෝ ධර්මතා ක්‍රියාත්මක වන්නේ පැවැත්ම මූලික කරගනිමින්ය
- එම ධර්මතා නොනවතින චක්‍රයක්, වලල්ලක් ලෙස ක්‍රියාකිරීම ස්වභාවයයි. බොහෝ දෑ ඒ සඳහා උපකාරක ධර්ම ලෙස ක්‍රියා කරයි
- උදාහරණයක් ලෙස දොඩම් ගසක ප්‍රධාන අංගය එහි පැවැත්ම ඇති කරන දොඩම් බීජයයි
- සුවඳ, රසය, පැහැය ආදිය බීජය පැළවීම පිණිස උපකාරකයන් ලෙස ක්‍රියා කරයි
- සත්වයන්ගේ ප්‍රධාන අංගය වන්නේ පැවැත්ම ඇති කරන ප්‍රජනනයයි
- ආදරය, කරුණාව, රාගය, ද්වේශය ආදිය ද වර්ණ, ශබ්ද, ගන්ධ ආදිය ද එම පැවැත්ම සඳහා උපකාරක ලෙස ක්‍රියාකරයි
- අප මුලාව ආදියේ ග්‍රහණයට යටත්ව, කර්මය ආදී මාරධර්මයන්ගෙන් පාලනය වන රූකඩ වැනිය
- ස්වභාධර්මය සැකසී ඇත්තේ කිසිසේත්ම අපගේ යහපතට නොවේ. අප සොබා ධර්මයෙහි සිරකරුවන්ය
- ඔබට අපට මින් ගැලවීමේ අවස්ථාව එළඹී ඇත. තවදුරටත් මාර ධර්මයන්ගෙන් පාලනය වන රූකඩ විය යුතු නැත
215. කපටිකම
- අපට කපටිකම පිළිබඳව සකස් වී ඇත්තේ සෘණාත්මක සංඥාවකි. නමුත් එය වටිනා ධර්මයකි
- මිනිසුන්ගේ සත්වයන් ආදීන්ගේ නොයෙකුත් කපටිකම් ඇත. නමුත් යහපතක් සිදු නොවන්නේ, නැවතත් සසරටම වැටෙන්නේ කපටිකම නිවැරදිව සිදු නොකරන හේතුවෙනි
- වාසියට කියා සිතාගෙන කපටිකම කළත් ඇත්තෙන්ම වාසියක් නොවන බැවින්, අවසානයේ කර්මයන් ආදිය සකස් වන බැවින්, ලාමක බැවින්, දුකට පත්වන බැවින් ඒවා නිවැරදි කපටිකම් නොවේ
- සිල් රැකීම යනු බොහෝ ආනිසංස ඇති කපටිකමකි
- එය සතර අපායේ නොයෑමට, නොපිරිහීමට, නඩු හබ ආදී ප්‍රශ්නවල හිර නොවීමට, සිතේ විසිරීම වැළැක්වීම ආදියට යොදන අගනා කපටිකමකි
- එසේම දානය, සමාධිය, ප්‍රඥාව ආදි ධර්මයන් සසරෙහි සිර නොවීමට, දුකකට නොවැටීමට සිදු කරන අගනා කපටිකම්ය
- එම අර්ථයෙන් ගත් විට ආර්ය ශ්‍රාවකයා යනු කපටියකි. සොබා දහමේ උගුලට හසු නොවීමට තරම් ප්‍රඥාවන්ත කපටියකි
- උගුලට හසු නොවී ඇම අනුභව කරන, කිසිම කර්මයකට හසු නොවන, භවයන් නිරෝධ කළ නිවැරදිම කපටිකම සිදුකළා වූ උතුම්ම පුද්ගලයා අපගේ ගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය
216. පළමුව ආරක්ෂාව
- ඉදිකිරීම් ආදී කර්මාන්තයන්හි safety first යන තේමාවෙන් පුද්ගල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් පවතී
- පුද්ගල ආරක්ෂාව සිදු වූ විට ඉදිකිරීම පහසුවෙන් ඉදිරියට කරගෙන යා හැක
- ධර්ම මාර්ගය තුළද එවැන්නක් පවතී
- මාර්ගයට පිළිපන්නා වූ බොහෝ පිරිස් අවසානය දක්වා නොරැදෙන්නේ ආරක්ෂාව නිවැරදිව සිදු නොවූ හෙයිනි
- මාර්ගය වඩන විට බොහෝ ගුණවතුන් හමුවීම ස්වභාවයකි
- වචනය ලෙස, ක්‍රියාවන් ආදී ලෙස සුළු හෝ අතපසුවීමක් සිදුවූ විට එය විශාල විපාකයකට හේතු විය හැක
- දානය, සීලය, නිහතමානීකම, අන් වචනය පිළිගැනීම, ඉවසීම, අනුන්ගේ දුක හැඳිනීම ආදී ගුණයන් වත් අවම වශයෙන් පැවතිය යුතුය
- මාර්ගය වැඩීමට පෙර තම ආරක්ෂාව සලසන මෙම ගුණාංග මැනවින් පුරුදු පුහුණු කළ යුතුය
- නැතහොත් මාර්ගය වැඩීමට සිත් පහළ නොවන අතර හිතාගත නොහැකි ලෙස මාර්ගයෙන් ඉවතට විසිවී යනු ඇත
217. හොටෙල් එක
- තරු තුන, පහ, හත ආදී හොටෙල් පවතින අතර ඒවාට අනුව නොයෙකුත් මට්ටමේ විශේෂාංග සහ පහසුකම් පවතී
- කාමරයක් ආදී රැඳී සිටීමේ පහසුකමක් ලැබෙන අතර ආහාර පාන මෙන්ම වැසිකිළි කැසිකිළි පහසුකම් ආදියේ සිට සියල්ල සැලසේ
- රැඳී සිටීමේ හැකියාව ලැබුණු පමණකින් එහි උරුමකරුවෙක් නොවේ. අයිතිකරුවෙකු ද නොවේ. මුදල් ගෙවන තුරු ලැබෙන තාවකාලික පරිභෝජනයකි
- යම් හෙයකින් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි වේ. රැඳී සිටීමට උත්සාහ කළහොත් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමක් වුවද සිදුවිය හැක
- එලෙසම මනුස්ස ලෝකය නැමැති හෝටලය තුළ ශරීරය නැමැති කාමරයක් අපට වෙන් වී ඇත
- නමුත් පින තිබෙනතුරු පමණි. පින ගෙවී ගිය පසු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ශරීරයෙන් වහා ඉවත් වීමට සිදුවේ
- අපට මේ ලෝකයේ හෝ මෙම ශරීරයෙහි හෝ කිසිම අයිතියක් නොමැත
- පවතින්නේ සියල්ලෙහිම තාවකාලික භුක්තියක් පමණි. පින අවසන් වූ විට සියල්ලම අහිමි වේ
- මේ සියල්ල සත්‍ය වන අතර මහ පොළොවේ යථාර්ථයයි. මෙය තවත් වෘත්තාන්තයක් හෝ ප්‍රබන්ධයක් නොවේ
218. ලෞකික අරමුණු
- ලෞකික අරමුණු ඉටුකිරීම යනු කාන්තාරයක මිරිඟුවක් පසුපස දිවීම වැනිය
- ජලය කියා රැවටී එතැනට ගිය විට එතැන ජලය නැත. නැවත ඈත ජලය ඇති මෙන් (මිරිගුව) පෙනෙනු ඇත.
- ලෞකික අරමුණු ද එසේය. විවාහය, රැකී රක්ෂා, ව්‍යාපාර, යාන වාහන, කෙතරම් මහන්සි වී සඵල කළ ද සැබෑවටම එතැන සඵල වූ අරමුණක් නැත
- ඈත තවත් මිරිඟු පේනවා මෙන් තවත් ලෞකික අරමුණු මතුවීම සසර ස්වභාවයයි
- ධර්මාවබෝධය ලබන්නා මෙම මිරිගුවේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නා කෙනෙක් වැනිය
- ඔහු පැහැදිලිවම මිරිඟුවේ ජලය නොමැති බව දනී. එමනිසා ඒවා පසුපස දිවීම නවත්වයි
- මේවායේ සැබෑ ස්වරූපය නොදැන මුලාවට පත් වී ඒවා ඉටුකිරීමට දරන උත්සාහය කාලය නාස්ති කිරීමකි
- තේරෙනවා යයි සිතුවට තේරෙන්නේ නැත. සැලසුම අතේ තබාගෙන නිවාසය යැයි සිතනවා වැනිය
- හිස ගිනිගත්තෙකු ගින්න නිවන්නාක් මෙන් මෙම කාරණයන් වටහා ගැනීමට වීර්යය කළ යුතුය...
219. ජරාවක පවතින ජරාව
- කය යනු ජරාවකි. ඒ තුළ බැසගෙන ඇති සිතද ජරාවකි
- ජීවත්ව සිටින කාලයේ කයේ පවතින ජරා ස්වභාවය ඉස්මතු නොවන්නේ එය වැසීමට නොයෙකුත් උපක්‍රම යොදන නිසාය
- නමුත් ප්‍රාණය ඉවත් වී ගිය පසු මනාව කයේ ජරා ස්වභාවය පිටතට ඉස්මතුව පෙනෙන්නේය
- සම දුර්වර්ණව ගොස් උසුලා ගත නොහැකි ලෙස දුර්ගන්ධය පිටවන්නේය
- ආවරණය කළ අසූචි කළයක් වැනි මේ කය පරිහරණය තුළින් ජීවිතය විඳීමක් හෝ වෙනත් සතුටක් ලබන්නේ නම් උන්මත්තක ස්වභාවයක්, වහල් භාවයක් හෝ යම් මොළේ අමාරුවක් තිබිය යුතුය
- තවද ඉර හඳ මගේ යයි පවසන මෝඩකමක් ඇත්නම් එයටත් වඩා මෝඩ බවක් සිත මගේ යැයි පැවසීම යන්නෙහි පවතී
- සිතිවිලි හඳුනනවා නොවේ, හැඳිනෙනවා. සිතනවා නොවේ සිතෙනවා. කර්ම රැස් කරනවා නොවේ, කර්ම රැස් වෙනවා
- ඉපදෙනවා නොවේ ඉපැදෙනවා. සිදු කරනවා නොව සිදුවෙනවා. සිත යනු අපගේ පාලනයට නතු නොවන ක්‍රියාවලියකි
- මේවා හොඳින් විමසා ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මේ සිතේ කිසිම අයිතියක් පැනවිය නොහැක. මේ එක සිතිවිල්ල නිවැරදි වූ විට සසරම නවතිනු ඇත
220. ජිම්නාස්ටික්
- ජිම්නාස්ටික් යනු බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවකි
- එහි ශිල්පයන් කායික ලෙස සිදුකළ යුතු අතර කටපාඩම් කිරීමෙන් හෝ සජ්ඣායනා කිරීමෙන් ශිල්පයේ ප්‍රවීණත්වයක් ලබාගත නොහැක
- නමුත් පිරිසකට ශිල්පය ඉගැන්වීම ද කළ හැකි වුවත් එහි තරම දන්නේ කායිකව ප්‍රගුණ කළ අයෙක් පමණි
- තථාගත දහම ද එවැනි ශිල්පයකි. දැනගත් පමණකින් ප්‍රායෝගිකව සිදුකළ නොහැක
- දැනගත් බොහෝ පිරිසකට ද නිර්වාණය අහිමි වී ඇත්තේ ඒ හේතුවෙනි
- ආශාවන් යට කොට වීරිය ආදිය උපදවා ජීවිත පරිත්‍යාගයෙන් කෙලෙස් දුරු කිරීම සිදුකළ යුතුය
- නමුත් බොහෝ පිරිසක් තැත් කරන්නේ ආශාවන් වලට හානියක් නොකර නිවන් අවබෝධ කිරීමටයි
- එය උපමාවක් ලෙස තුවාලය තබාගෙන වේදනාව දුරු කිරීමට දරන උත්සාහයකි
- තවමත් ප්‍රමාද නැත. නමුත් ඉක්මන් විය යුතුය. සංසාරගත ශක්තිය අවශ්‍යම මොහොත මෙයයි
221. දුර්වල ඇස
- ඇස යනු දුර්වල ඉන්ද්‍රියකි. වැරදි තොරතුරු වාර්තා කරයි
- දුර්වල කැමරාවකින් ලබා ගන්නා ලද ඡායාරූපයක් මෙන් වර්ණ රටාවක් පමණක් පෙන්නුම් කරයි
- එහි බාහිර වස්තූන්ගේ පවතින අංශු භාවය නැත, ඒවා ඔබ මොබ චලනය වන තොරතුරු නැත
- ගඳ සුවඳ සීතල උණුසුම ආදිය ද නැත. ඒවා එකිනෙක ඝට්ටනය වීමෙන් ඇතිවන ශබ්දය පිළිබඳ තොරතුරක් ද එහි නැත
- ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ නොයෙක් පුද්ගලයන් සහ වස්තූන් ආදී ලෙසය
- මානසික පරීක්ෂණය: උප්පත්තියේ සිටම ඇසට අධි තාක්ෂණික අන්වීක්ෂ යුගලක් සවිකර ඇතැයි සිතන්න. එය උප්පත්ති ඇස ලෙසම සිතන්න
- එවිට ඇසට ගහකොළ පුද්ගල ගොඩනැගිලි ආදියක් හමු වන්නේ නැත. හමුවන්නේ හුදෙක් අංශුවල ඔබ මොබ චලිතයක් පමණි
- එවිට අමුතුවෙන් විදර්ශනා කළ යුතු නැත. සත්ව පුද්ගල සංඥා නිරායාසයෙන් බිඳී යනු ඇත
- මෝහයට පොළඹවන සසරට බැඳ තබන ඇස ආදී දුර්වල ඉන්ද්‍රියන් පවතින්නේ සත්වයාගේ දුක කඳුළ වේදනාව ආදී සසර පැවැත්ම සඳහාමය
222. උපකල්පන
- තත්පරයෙන් තත්පරය, පැයෙන් පැය, දවසින් දවස ජීවිතය ගෙවී යයි. මහපොළොවේ යථාර්ථයට ඔබ්බෙන් ගිය බොහෝ උපකල්පන මෙම ජීවත්වීම තුළ පවතී
- දූ දරුවන් සමග නැවත සතුටින් වාසය කිරීමට හැකි කාලයක් පැමිණේ යැයි උපකල්පනයක් පවතී
- වර්තමානයේ දුක් වින්දත් අනාගතයේ තමන්ට හොඳ ජීවිතයක් ලැබේ යැයි උපකල්පනයක් පවතී
- තමන් වැරදි කාරයෙක් වුවත් මේ මේ ආකාරයෙන් තමන් නිවැරදි යැයි උපකල්පන පවතී. බොහෝ වැරැදිකාරයන් තමන් නිවැරදි යයි නිදහසට කරුණු ඉදිරිපත් කරයි
- බිරිඳ, ස්වාමිපුරුෂයා හා හිතවතුන් ආදීන් තමන්ට අවංක යැයි උපකල්පනයක් පවතී
- පිළිකාවක් ආදියක් නොවැළඳේය යන උපකල්පනය පවතී. පිළිකාවක් හැදුන පසු තමයි වැටහෙන්නේ තමන්ටත් පිළිකා හැදෙන බව
- අපායේ යන එකක් නැත ලෙස උපකල්පනයක් පවතී. නමුත් අතීතයේ බොහෝ පිරිසක් අපාගත වූයේ අපායට යන බව නොදැනය
- නොමැරේ යැයි උපකල්පනයක් පවතී. උදාහරණයක් ලෙස ඉගෙනීම සිදු කරන්නේ අනාගතයේ තමා ජීවත් වේය යන උපකල්පනය උඩය
- තවත් බොහෝය. මම ලෙස කෙනෙක් පවතින බවද හුදෙක් උපකල්පනයක්ම පමණි
223. හඳුනා නොගත් සතුරා
- සසරේ බොහෝ දුක් පීඩා වලට උරදුන් අප, එයට වගකිව යුතු සතුරන් නිසි ලෙස හඳුනාගෙන සිටියේ නැත. උපමාවක් ලෙස වැරදිකාරයා ලෙස අප හඳුනා ගත්තේ නඩු තීන්දුව ලබා දුන් නඩුකාරයාය
- නමුත් එහි මහ මොළකරු වන, කර්මයන් රැස් කරන, වරදට පොළඹවන සිත කිසිසේත් වැරදිකරුවෙක් ලෙස හඳුනා ගත්තේ නැත
- සිත තමන්ට අවශ්‍ය කරන වින්දනයන් සූක්ෂමව ලබා ගනිමින්, සීලයක් සමාධියක් මැද වුවද පහසුවෙන් අපව රවටා උපක්‍රමශීලීව පැවැත්ම සකසා ගනී
- සතුරා සතුරා ලෙස කීවත්, චරිතය දෙස බැලූ විට පෙනෙන්නට ඇත්තේ සිත තවමත් හොඳ අඹ යාළුවෙකු බවයි
- සසර පුරා බොහෝ කාලයක් අපාය වල දුක් විඳිමින් කුඩා, විශාල ආදී නොයෙකුත් ශරීරයන් පෝෂණය කරමින් දීර්ඝ ගමනක් පැමිණීමට සිදුවූයේ මේ සිත නැමැති සතුරා තේරුම් ගැනීමට නොහැකි වූ නිසාය
- වෙනත් ආකාරයකින් සිත යනු සියලු ප්‍රේතයන්, යක්ෂයන්, නිරපල්ලන් ඇතුළු සියලු සතුරන්ගේ සේනාධි නායකයාය
- කර්මයෙන් බලගැන්වෙන, කර්මයන් බල ගන්වන, මේ සිත බොහෝ බලවත්ය
- ආයුධ භාවිතයෙන් පරාජය කළ නොහැක. එකඟ වී හෝ විරුද්ධ වී ද පරාජය කළ නොහැක
- සිත සහ මම පමණක් සිටිනා පාළු හුදකලා භූමියකි. සිතිවිලි වලින් සිදුවන ද්වන්ධ සටනකි. දෙවැනි පාර්ශ්වයක සහයක් නැත. කළ හැක්කේ යම් ක්‍රමයක් අසා ගැනීමක් පමණි. තමා විසින්ම සටන සිදු කළ යුතුය. විකල්ප නැත. විදර්ශනාව පිණිසය...
224. මහපොළොව
- මහ පොළොව යනු අකම්පිත ධර්මතාවයකි
- කොපමණ කැලි කසල ආදිය බැහැර කළත්, දුසිල්වත් ක්‍රියාවන් සිදුකළත් සියලු දෙනාට එකසේ සලකමින් අටලෝ දහමේ පාඩම මැනවින් විදහා දක්වයි
- සියල්ල පෙනෙන්නේය. සියල්ල ඇසෙන්නේය. සියල්ල දැනෙන්නේය. නමුත් මහ පොළව අකම්පිතය
- තමා සිදුරු කළේ යැයි තමාට හානි කළේ යයි තාඩනයට පීඩනයට ලක් වූයේ යයි වැට මායිම් ගසා තමාව කොටු කළේ යැයි දොස් නඟන්නේ නැත
- බොහෝ අතීතයේ සිටම මහ පොළොව බෙදා ගැනීමට බොහෝ පිරිසක් පොරබැදුවේය. සංග්‍රාමයන් සිදු කළේය
- ඒ සියලු දෙනා මිය පරලොව ගියා මිස කිසිවෙකුට මහපොළව උරුම වූයේ නැත
- මහ පොළොව යනු මහ පොළොවය. කිසිවෙකුට අයිතියක් නැත
- කල්ප ගණනක අත්දැකීම් හිමි අනන්ත ගුණයන්ගෙන් සමන්විත මහ පොළොව, ඉවසීම ආදී ගාම්භීර නිහඬ බණක් ලෝකයාට දේශනා කරන්නේය
- බුදුවරුන්ට පවා බුදුවීමට මගපෙන්වූ තථාගත ශ්‍රාවකයාගේ කල්‍යාණ මිත්‍රයා වූ මහ පොළොව අපගේද ගුරුවරයෙකු කරගත යුතුය
225. මහ පොළොව- 2
- අප යනු මහ පොළොවෙහිම කොටසකි. ගහකොළ, සතා සීපාව, සුළඟ ආදී සියල්ලද මහ පොළොවෙහිම කොටස්ය
- කිසිම හරයක් නොමැති සසර තුළ ඉපදෙමින් මැරෙමින් බොහෝ කාලයක් අප මහ පොළොව සමග පොර බදා ඇත
- මහපොළව මේ පිළිබඳ අපට වඩා හොඳින් දන්නේය. නමුත් යම් අන්ධකාරයකින් අපට ඒ කරුණු වැසී ඇත
- අපගේ කල්ප ගණනක මතකයන් මේ පොළොව තුළ රැඳී ඇත
- තථාගතයන් වහන්සේ බුදු වන රාත්‍රියේ පොළොවට අත තබා පාරමිතා ශක්තිය අවදි කළ අවස්ථාවක් අප අසා ඇත
- විවාහය, දරුවන්, යාන වාහන, ඉඩකඩම්, ජීවිතය, ලෙඩ රෝග ආදී සංඥාවලින් අප පොර බදා ඇත්තේ ඇත්තෙන්ම මහපොළොව සමඟමය
- දැන් බොහෝ වෙහෙසය. පොළොව තරමටම අපද ආයුෂය ගෙවා ඇත. නමුත් අපට කාරණා වැටහීමට බොහෝ කල් ගත වී ඇත
- අපගේ මව පියා ලෙස මහ පොළොවට ආමන්ත්‍රණය කළද එහි ඇති වරදක් නැත
- මහ පොළොවට සමුදීමට කාලය එළැඹ ඇත
226. මහ පොළොව- 3
- මහ පොළොව යනු එක්තරා ආකාරයකින් පරිගණකයක් වැනිය
- පොළොවට ඇතුල් කළ විට ශාක බීජයක ඇති තොරතුරු කියවීම උදාහරණයකි
- තවද මනුස්ස ආදී සත්වයන්ගේ විඤ්ඤාණ බීජයන් තුළ පවතින තොරතුරු ද කියවීම සිදුකරයි
- සමාධි අභිඥා ආදී ධර්මතාවයන් ඉක්මවා ගිය අසමසම කියවීමක් මහ පොළොව සතුය
- කර්මය ආදී ලෙස එක් එක් විඤ්ඤාණයන් සමඟ වෙන වෙනම ගනුදෙනු කරන මහපොළොවට කිසි දිනක වරදින්නේ නැත. අමතක වන්නේද නැත
- තවත් ආකාරයකින් මහ පොළොව යනු විශ්වය තුළ සැරිසරන අද්භූත යානාවක් වැනිය
- හේතුව ඵලය ආදී ලෙස පුනරාවර්තනය වෙමින් නැවත නැවත සකස් වන මේ මහ පොළොවේ ධර්මතාවයන් අප හට වැටහෙන්නේ නැත
- ලබු ගෙඩිය තුළ පෙරහැර ලෙස සසර ගත කල අපට නැවත නැවතත් රඟ දැක්වීමට ඇත්තේ පරණ පිටපතේම කොටස්ය
227. නිවන් මඟ කල් යැවීම
- නිවන සඳහා වීර්යය කළයුතු බව පිළිගැනුණද ස්වභාවය එය කල් යෑමයි
- බැඳීම්, දෙමාපියන්, අඹු දරුවන්, ලෞකික අරමුණු, අනාගතය පිළිබඳ බිය, සැකය, ආශාවන් යනාදියක් හේතු විය හැකිය
- නමුත් නිවනට ඇතිවන අවදානම සලකන විට මේවා ඉතා දුර්වල හේතූන් වන අතර සසර පැවැත්ම පිණිසම සැකසුණු ධර්මතාවය
- වැඩ රාජකාරී, වගකීම් ආදිය අවසන් කොට නිවන් දැකීමට අපේක්ෂා කළද බොහෝ විට සිදුවන්නේ තව තවත් නිවන කල් යාම පිණිස හේතු සකස් වීමයි
- වැඩ රාජකාරී, වගකීම් තිබියදීම නිවන් මඟ වැඩීම සඳහා උපක්‍රම යෙදිය යුතුය. අතීතයේ රජවරු පවා මාර්ගඵලවලට පත්වූ බව සඳහන්ය
- අනාගතය සුරක්ෂිත කිරීම, සැප විඳීම ලෙස සිතමින් ලෞකික අරමුණු ආදිය පසුපස හඹා ගියද සිදුවන්නේ කාලය නාස්තියක් පමණි. උපමාවක් ලෙස හිල්වුණු පනිට්ටුවක් පුරවනවා වැන්නකි
- අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ලෝකය තුළ පවතින ලෞකික වූ සැපක් නැත. පවතින්නේ සම්ප්‍රයුක්ත දුකකි
- ලෞකික යම් සැපයක් ඇත්නම් ඒවා තණ අග පිනි බිඳු ලෙස නොබෝ කලකින් අතුරුදහන් වනු ඇත. නැවතත් සුපුරුදු දුකම හිමිවනු ඇත
- භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ හිස ගිනිගත්තෙකු එම ගින්න නිවන්නා සේ නිවන් මඟ වඩන ලෙසයි. එසේ දේශනා කරන ලද්දේ උන්වහන්සේට තේරුණු නමුත් අපට නොතේරෙන තරම් සසර බියක් මෙහි ඇති නිසා විය යුතුය
228. භාර ගැනීම
- භාර ගැනීම යනු කර්මයන් බලගන්වන ප්‍රබල කාරණයකි
- මම සිදු කළේ යැයි, මට සිදු වුණේ යැයි, මම යැයි, මගේ යැයි ආදී ලෙස භාර ගැනීම ඒ ඒ ඔස්සේ කර්ම සකස්වීම සිදුවේ
- අපට සත්වයෙක් පුද්ගලයෙක් ලෙස සංසාරගත සංඥාවක් ඇතත් ඇත්තෙන්ම එය දෘෂ්ටියක්, වැරදි වටහා ගැනීමක්ම පමණි
- නමුත් එය දෘෂ්ටියක් වුවද එම දෘෂ්ටිය අනුව සිදුවන ක්‍රියාකාරකම්වලට කර්මයන් සකස් වේ
- එදිනෙදා ජීවිතයේ නින්දා, අපහාස, බැනුම් ආදිය ඇතිවීම ස්වභාවයකි
- එවිට එම බැනීම තමන්ට නොව, තමන්ගේ වැරැද්දට සිදුවූ බැනීමක් ලෙස භාර ගැනීමෙන් යම් වෙනසක් කළ හැකිය
- එම බැනීම වැරැද්දට අයිති බවද, වැරැද්ද රෙදි ඔතාගෙන පිටව යායුතු බවද ආදී ලෙස සිහිපත් කළ විට වැරැද්දේ බල බිඳෙනු ඇත
- කාරණය සරල වුවද කර්මයන් බලගැන්වීම දුර්වල වේ. දිට්ඨධම්මවේදනීය ලෙස එම මොහොතේම මනසටද යම් සහනයක් සැලසේ
- තව තවත් මේ ඔස්සේ විදර්ශනා කරන විට බොහෝ සියුම් කරුණු වැටහෙනු ඇත
229. තථාගත ධර්මය
- තථාගත ධර්මයක් බිහිවන්නේ අග්‍රම සැපය වූ පිරිනිවීම පිණිසය. අග්‍ර ඵලය නොවුනත් ලෞකික ලෝකෝත්තර ආදී සත්වයාගේ සැපය පිණිස මාර්ගයද ධර්මයයි
- සක්කාය දෘෂ්ටිය ආදී වූ මම පිළිබඳ සැඟවුණු වෘත්තාන්තය, දැනගැනීම, දැකගැනීම, අවබෝධ කිරීම හා ඒ බවටම පත්වීම ආදිය බොහෝ හේතූන් අනුව ක්‍රමානුකූලව සිදුවන්නකි
- එම නිසා මාර්ගය ලෙස තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවකි
- වගාවකට පෙර පොළොව සකස් කරනවා මෙන් ධර්මය අවබෝධයට සුදුසු ලෙස සිත සකස් විය යුතුය. ගුණයන් වර්ධනය විය යුතුය
- මේ සඳහා දාන, සීල, භාවනා ආදිය, නිහතමානීකම, අටලෝ දහමින් කම්පා නොවීම ආදී ගුණයන් පුරුදු කළ යුතුය
- විශාල ගසක් එක්වර බිම හෙළීම අපහසුය. මුලින් ගස වටේ සුද්ද කොට ඉඩක් සාදාගත යුතුය
- පසුව කුඩා අතු, විශාල අතු ලෙස ගසේ අතු කැපීම සිදුකරයි. පසුව කඳේ කොටසින් කොටස කපා ඉවත් කිරීම හෝ නිවැරදි උපක්‍රමයක් ඇත්නම් ගස මුලින් කැපීම සිදුකරයි
- නැවත පැලවීම වැළැක්වීමට මුදුන් මුල ආදිය ද පැතිර ඇති මූල පද්ධතිය ද හාරා සහමුලින් ඉවත් කළ යුතුය. සියල්ලෙන්ම සිදුවන්නේ ගස ඉවත් කිරීමක්මය
- එලෙසම සක්කාය දිට්ඨිය ක්‍රමානුකූලව බිඳ හෙළිය යුතුය. මම මගේ ලෙස දෘෂ්ටිය පැවතුනත් එහි සැර බාල කිරීමට දරන උත්සාහයන් ආදිය ද සක්කාය දිට්ඨිය ඉවත්කිරීමේ කොටසක්මය
230. විරුද්ධ යුගලය
- විඤ්ඤාණයට සැපයන් ලෙස හැඳින ගැනීමක් ඇත. එයට සාපේක්ෂව දුක්ඛයන් හැඳින ගැනීමක් ඇත
- එනම් මෙහි සැප දුක බෙදන රේඛාවක්, සහ එයට නිශ්චිත අර්ථ දැක්වීමක් පැවතිය යුතුය. නමුත් එම රේඛාවට නිශ්චිත අර්ථ දැක්වීමක් නැත
- උදාහරණයක් ලෙස එය නිශ්චිත නම් කිසි විටෙක සැප ලෙස පවසන යමක් පසුව දුක විය නොහැක
- මෙය ද්වයතාවය ආදී යුගල ලෙස සකස් වූ විඤ්ඤාණයේ පැවැත්ම ඇති කරන ධර්මතාවයයි
- අපට යමක් පිළිබඳ සැප සංඥාවක් පවතී නම්, එහි බොහෝ අනාවරණයන් ඇත
- එම කුලකයෙන් සැප කොටස ඉවත් කළ විට ඉතුරු කොටස දුක විය යුතුය
- එම සැප සංඥාව ඇති විට නිරායාසයෙන් එය ලබා ගැනීමට තණ්හාව ආදී ධර්මයන්, ඒ හා බැඳුණු කර්මයන් ක්‍රියාත්මක වනු ඇත
- නොලැබුණු විට ඉච්ඡාභංගත්වය ආදියද, ලැබුණු විට පැවැත්ම, ආරක්ෂාව, වැඩිදියුණුව යන ආකාරයන්ගෙන් දුක පැමිණීමද නිරායාසයෙන් සිදුවනු ඇත
- මෙසේ විරුද්ධ යුගලයන් ඇතිවීම එය බෙදන රේඛාව මෙම ධර්මතාවයන්ගේ දුකට ඇති සම්බන්ධය ආදිය පිළිබඳව තව තවත් සියුම්ව විදර්ශනා කළ යුතුය
231. ආබාධිතයාගේ වත්කම
- දෙපයින් නැගිටීමට නොහැකි ආබාධිතයකු සිහින දකින්නේ කෙදිනෙක හෝ ඇවිදීම පිණිසය
- යම් ක්‍රමයකින් එම වත්කම ලබා ගැනීමට තම සේසතම වුවද වියදම් කිරීමට නොපැකිලෙන්නේය
- ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, නොයෙකුත් ආබාධයන් සහිත පිරිසගේ විශාලම සිහිනය ද එම වත්කම් ලබා ගැනීමයි
- නමුත් එම වත්කම් හිමි වුවද අපට ඒවායේ වටිනාකමක් නොදැනෙන්නේ එම වත්කම් උප්පත්තියෙන්ම හිමි නිසාය
- නමුත් එම වත්කම් ජීවත්ව සිටියදීම යම් ව්‍යාධියකින් නැති වන්නේ නම් එහි වේදනාව දරාගත නොහැකි වනු ඇත
- එලෙසම දුර්ලභ මනුස්ස භාවය නැමැති වටිනා වත්කම උත්පත්තියෙන්ම හිමි නිසාදෝ එහි වටිනාකමක් අප හට නොදැනෙන්නේය
- එහි වටිනාකම ද වැටහෙන්නේ නැති වූ විටය
- අතේ සතයක් නැතත්, යානවාහන ඉඩකඩම් නැතත්, අනිත් බොහෝ සත්වයන්ට නැති ධර්මයක් ඇසීමේ තේරුම් ගැනීමේ අවබෝධ කිරීමේ වත්කම අප සතුව ඇත
- හිත හිතා සතුටු විය යුතුය. එසේම එම අග්‍ර වූ වත්කමේ නියම ප්‍රයෝජනය ලබාගත යුතුය
232. පරිප්පුව
- පරිප්පු යනු මිනිසුන් අතර ජනප්‍රිය ව්‍යංජනයකි
- මෙහි රසය ඇත්තේ පරිප්පු ඇටවල හෝ ලුණු, සුදුලූණු, තෙල් අබ, තුනපහ ආදී කුළුබඩු හෝ අමුද්‍රව්‍යයන්හි නොවේ
- ගිනි දල්වා අමුද්‍රව්‍ය නියම කාලයට මැනවින් එක් කළ විට ප්‍රණීත රසයක් හට ගනී
- එපමණකින් පරිප්පු තනිව කෑමට ගැනීම අපහසුය
- එහි නියම රසය ඇතිවීමට නම් ඒ සමග බත්, පාන්, ඉදිආප්ප ආදියක් එකතු විය යුතුය
- ධර්ම මාර්ගයද එලෙසමය. පාරමිතා පිරීම, ධර්මය වටහා ගැනීම, භාවනාව, වත් පිළිවෙත් කිරීම අපහසුය
- තනි තනිව ගත් විට කිසිවක ප්‍රණීත ආදී ලක්ෂණ නැත
- මේවා නියම පදමට නියම කාලයෙහි විඤ්ඤාණයක් හා මිශ්‍ර විය යුතුය
- එවිට තනි තනිව නොතිබුණ ප්‍රණීත භාවයක්, සෑහීමට පත්වීමක්, පිරිනිවීමක් හටගනු ඇත
233. භූතයෝ
- සසර ගමන තුළ බොහෝ හමුවීම් සහ වෙන්වීම් සිදුවී තිබේ
- කෙනෙක් වෙන්වන අතර ටික කාලයකට පසු ආගන්තුක ලෙස වෙනත් ස්වරූපයකින් නැවතත් අප අතරටම පැමිණේ
- වෙනත් ආකාරයකින් එක් තැනකින් අතුරුදහන්ව තව තැනකින් මතුවන භූත පිරිසක් වැනිය
- තවද සිතිවිලි යනු පොඩි පොඩි භූතයෝ වැනිය. හිටිහැටියේ හටගෙන හිටි හැටියේ නැතිව යන්නේය
- නමුත් චුතවීම හෝ පැමිණීම අපගේ පාලනයේ නැත
- එනම් යම් ස්වාමිත්වයකට, අණසකට යටත්ව එය සිදුවන්නේය
- අප එම ස්වාමීභාවයට යටත් බව වත් නොදත් වහල් භූතයන් පමණි
- අප භූතයන් බවට පත්වූයේ මුලාවෙන්ම සකස් වූ අභූත චෝදනාවලටය
- කර්මය අපේ ස්වාමියාය. අප කර්මයේ සෙල්ලම් බඩු වැනිය
234. සෙවනැල්ල
- සෙවනැල්ලක් ඇතිවීමට ආලෝකය සහ වස්තුව ආදී බොහෝ හේතු කාරණා පැවතිය යුතුය
- ආලෝකයේ සාපේක්ෂතාවයක් මිස සෙවනැල්ල ලෙස අමුතු යමක් නැත
- වේලා ගැනීමේ අරමුණකින් රෙද්දක් අව්වට දැමූ විට කිසිදු දැනුම් දීමකින් තොරව සෙවනැල්ලක් ඇතිවීම සිදුවේ
- කැමති වුවත් අකමැති වුවත් කිසිදු අඬබෙර ගැසීමකින් තොරව එය සිදුවන්නේය
- එලෙසම මෝහයෙන් තෙත් වූ සිතකට නාම රූප ආදිය වැටෙන විට කිසිදු දැනුම් දීමකින් තොරව කර්මයන් සකස් වන්නේය
- අරමුණ පිනවීමක් වුවත් කර්මයක් සකස් නොවී පිනවීම සිදුවන්නේ නැත
- ආලෝකය වැටෙන ආකාරය අනුව සෙවනැල්ලේ ප්‍රමාණය අඩු වැඩි වනවා සේ නාම රූප දකින කෝණය අවබෝධය අනුව කර්මයේ ප්‍රමාණයද තීරණය වේ
- තවද සෙවනැල්ලක් විනාශ කිරීමට හැකි කිසිදු අවියක් නැත
- එලෙසම කර්මයක් විනාශ කිරීමට හැකි කිසිදු ක්‍රමයක් ද නැත. තමා විසින්ම ගෙවා අවසාන කළ යුතුය
235. අවස්ථිතිය
- විඥානයක් තුළ හුරුවීම, අනුවර්තනය වීම, ඇබ්බැහිවීම වීම, අවස්ථිතිය ආදී ස්වභාවයන් ඇත
- යමක් නැවත නැවත සිදුකරන විට සිත තුළද, එහි දිගුවක් ලෙස කය තුළද, එයට හැඩගැසීමක් හුරුවීමක් සිදුවේ
- මේ හුරුවීම ප්‍රකාරව ඒ සඳහා කැමැත්තක් ඇතිවීම නිරායාසයෙන් සිදුවේ. මෙය අපගේ වසඟයේ හෝ අපට අයිති හෝ දෙයක් නොවේ. නැවත නැවත දීර්ඝ කාලයක් සිදුවීම නිසා සිදු වූවකි
- එම කැමැත්තේ ප්‍රමාණය ඉක්මවා ගිය විට ඇබ්බැහි වීම උපාදානය වීම ආදිය සිදුවේ
- තවද එහි පැවැත්ම බිඳීමට නොහැකි වන සේ අවස්ථිතියක්ද සකස් වේ
- සසර ගත පුරුදු ඔස්සේ දැඩි උපාදාන පවතින අපට තම සිත තුළ මෙන්ම සමාජය සොබාදහම තුළද එය බිඳීමට නොහැකි දැඩි බලපෑමක්, අවස්ථිතියක් පවතී
- අතීතය සහ වර්තමානය දෙස බලන විට බොහෝ මිනිසුන්ට නිවන් දැකීමට ප්‍රධාන බාධාවක් වූයේ මෙම බලපෑම් බිඳ ගැනීමට නොහැකි වීමය
- කුණාටුවක් tornado තත්ත්වයක් වුවද වැඩිවෙලාවක් පවතින්නේ නැත. නමුත් එම අවදානම් කාලය තුළ නිවැරදි තීරණ ගනිමින් ජීවිතය රැක ගත කරගත යුතුය
- එවිට නිවන වෙනුවෙන් බොහෝ කාලයක් ලැබෙන අතර පහසුවෙන් ධර්මයන් පුරුදු කොට සසර ගත උපාදානයන් බිඳ දැමීම පහසුවෙන් සිදු කළ හැකිය
236. බලවේගය
- විඤ්ඤාණයට බලපෑම් කළ හැකි බොහෝ බලවේග ලෝකය තුළ ක්‍රියාත්මක වේ
- එදිනෙදා බහුලව පරිහරණය කරන දේවල් මෙන්ම මව, පියා, හිතවතුන් ආදී බාහිර විඤ්ඤාණයන්ද යාන වාහන ඉඩකඩම් ආදියෙන්ද මෙම බලවේගයන් සකස්වීම සිදුවේ
- මෙම බලවේගයන්ගේ ග්‍රහණයට හසුවීමට විඤ්ඤාණය තුළ සංවේදීතාවය නම් දුර්වලතාවය පැවතිය යුතුය
- බෝනික්කෙක් දැකපු පොඩි ළමයෙකු එයට බොහෝ සංවේදී වන අතර සාපේක්ෂව වැඩිමහල් අයෙකුගේ එයට සංවේදී භාවය අඩුය
- මානසික පරීක්ෂණය: කුඩා තරුණ මහලු ආදී විශාල පිරිසක් මැද නවීන වාහනයක් ඇතැයි සලකන්න
- ඒ මගින් එක් එක් විඤ්ඤාණයන්ට විවිධ ප්‍රමාණ වලින් ඇලීම ගැටීම උපේක්ෂාව ලෙස එයට සංවේදී වන අතර එමගින් විඤ්ඤාණයන් තුළ එය මිලදී ගැනීම, වින්දනය කිරීම, ගැටීම ආදී ලෙස බලපෑම් එල්ල වේ
- නමුත් යම් විඤ්ඤාණයන් තුළ කිසිදු ප්‍රතිචාරයක් නැත. සංවේදී භාවය නැත
- සංවේදී නොවීම යනු අන් ආකාරයෙන් අටලෝ දහමින් කම්පා නොවීමයි
- විඤ්ඤාණය තුළ නොයෙක් අරමුණු වලින් බලපෑම් ඇතිවන ආකාරය සියුම්ව විදර්ශනා කළ යුතුය
237. සොහොනක සංඥාව
- මේ මහ පොළොව තුළ සත්වයන් කොපමණ මියගියේදැයි ප්‍රමාණ කළ නොහැක
- අතීතයේ මෙන්ම මේ මොහොතේද ක්ෂුද්‍ර ජීවී ආදීන්ගේ සිට අලි ඇතුන් ආදීන්ද අති විශාල තල්මසුන් ආදී ශරීරද මහපොළොව තුළ භූමදාන වීම සිදුවේ
- සොහොනක් ලෙස නොපෙනුනද තමන්ගේ නිවසේ සිට මේ මහ පොළොවේ සෑම ස්ථානයක්ම සොහොනක් බව විදර්ශනා ඇසට හසුවනු ඇත
- ලස්සන යයි වටින්නේ යැයි සලකන මේ ශරීරයද සොහොනකි
- ආහාරයට ගත් හාල් මැස්සන් මාළුවන් ආදී සත්වයන් මේ ශරීරය තුළ සෘජුවම භූමදාන වීම සිදුවේ
- එළවළුවක් වුවද වක්‍රාකාරයෙන් භූමදාන වීම සිදුවේ
- පැහැදිලි කිරීම: අමුමිරිස්, වට්ටක්කා, බණ්ඩක්කා ආදී එළවළු වුවද ඒවාද සත්වයන්ගේ මාංශ කොටස්මය
- ඒවා පෝෂණය වන්නේ මහපොළොවෙන්ය. මහ පොළොවේ ඇත්තේ සත්වයන්ගේ භූමදාන වූ ශරීර කොටස්ය
- මෙවැනි සංඥා උපදවා ගත් විට ලෝකය කෙරෙහි බැසගෙන පවතින චන්දරාගය ඉතා පහසුවෙන් ඉවත් කළ හැකිය
238. වමනය සංඥාව
- පිඟාන තුළ ලස්සනට පිළිවෙලට ඇති ආහාරය මුඛය හරහා ආමාශයට ඇතුල් වෙයි
- ගිලීමට මොහොතකට පෙර එම ආහාරය පිටතට ගෙන බැලිය හැකිනම් එහි පවතින්නේ වමනයක ස්වභාවයකි
- අපට ප්‍රණීත ලෙස දැනෙන්නේ පිටත වෙන වෙනම ලස්සනට තිබූ ආහාරය නොවේ
- ප්‍රණීත රසවත් ලෙස දැනෙන්නේ මුඛ ද්වාරය තුළ ඇඹරුණු කෙළ හා කලවම් වූ වමනයයි
- තවද ශුක්‍රාණු හා ඩිම්බ යනු මුඛය හරහා ඇතුළු වු වමනයෙන් සකස් වූවකි
- එයින් හටගත් කළලයද එහි වැඩීමද සිදුවන්නේ වමනයෙනි
- අවසානයේ ළමයෙක් බවට පත්වන්නේද හැඩි දැඩි වන්නේද වමනයෙන්මය
- එනම් මෙම ශරීරයේ සියලු කොටස් සකස් වී ඇත්තේ වමනයෙන්ය
- මම යනු අන් ආකාරයෙන් වමනයකි. මෙය තෘෂ්ණාව බිඳීමට භාවිතා කළ හැකි තවත් සංඥාවකි
239. ද්වේශය සහ සිත
- ද්වේශයක් නැතිව සිතක් පවතින්නේ නැත. ද්වේශය යනු සිතෙහි පැවැත්මයි. එම නිසා ද්වේශය සුළු කොට නොතැකිය යුතුය
- ද්වේශය සෘජුව දුරු කළ නොහැක. ඒ වෙනුවට සිදු කළ යුත්තේ ද්වේශයට හේතුව වන මෝහය දුරු කිරීමයි
- අකැමැත්ත ද්වේශයකි. කැමැත්තද එක්තරා ද්වේශයකි. ඉතිරි කොටස අකැමැත්ත වන බැවිනි
- කුඩා ද්වේශයක් වුවද ඇතිවන විට ඇති විය හැකි හානිය අයහපත පිළිබඳව මෙනෙහි කර ද්වේශය දුරු කළ යුතුය
- ආදීනව ලෙස සිතේ විසිරීම ඇතිවේ. කර්ම පථයන් සකස් වේ. අපකීර්තිය ආදිය ඇතිවේ
- හූනියම් කිරීම වැනි පාපකර්ම මෙන්ම පහරදීම සහ තලා පෙලා මරා දැමීම වැනි ක්‍රියාවන්ට හේතු සකස් විය හැක. වාචික ලෙස බැණ වැදීම, නිග්‍රහ කිරීම ආදියද ඇති විය හැක
- ද්වේශය නැවත භාවිතා වීමක් සිදුවන බැවින් පුරුද්දක් බවට පත්වන අතර නැවත ද්වේශයක් හට ගැනීමටද හේතු සැකසේ
- කායිකව ලේ පිච්චීම, අවලස්සන වීම, ඉක්මනින් වැහැරී යාම සහ නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීම පවා සිදුවේ
- සිරගත වීම ආදියේ සිට ආනන්තරිය පාපකර්ම ආදිය සකස් වීම සහ නිර්වාණය මගහැරීම වුවද සිදුවිය හැකි බව මෙනෙහි කළ යුතුය
240. ආර්ය ශ්‍රාවකයා
- ආර්ය ශ්‍රාවකයා හටද තථාගතයන් වහන්සේට දෙවැනි වූ උපායශීලී නුවණක් ඇත
- උන්වහන්සේලා කොපමණ කපටිද කියතොත්, කපටිකමක් සිදු කරන්නේ නැත
- කපටිකමක් කළහොත් විපාක ලෙස තමන්ද යම් දිනයක කපටිකමකට හසුවනු ඇත යන නුවණ පවතී
- නැවත කපටිකමකට හසු නොවීමේ කපටිකම ලෙස කිසිවෙකුට කපටිකමක් සිදු කරන්නේ නැත
- එලෙසම කොපමණ රැවටිලි කාරයෙක්ද කියතොත් රැවටීමක් සිදු කරන්නේ නැත
- කොපමණ ද්වේශ සහිතද කිවහොත්, ද්වේශයක් ඇති කර ගන්නේ නැත
- ද්වේශය තිබුණහොත් නැවත උප්පත්තිය සිදුවනු ඇත. එම නිසා නැවත ඉපදීමක් වෙනුවෙන් කළ හැකි උපරිම ද්වේශය, ද්වේශ නොකිරීමයි
- කොපමණ අනුකම්පාවක් සහිතද කිවහොත් උන්වහන්සේලා තුළ කිසිදු අනුකම්පාවක් නැත. අනෙකුත් ගුණ සම්බන්ධවද ඒ ඒ ආකාරයෙන් යෙදේ
- ඒ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා හට අනන්ත ගුණ ඇතැයි කියනු ලැබේ
241. දුර්ගන්ධය
- ශරීරය යනු පාලනය කළ හැකි ධර්මතාවයක් නොවේ
- සිදුවන දේ පිළිගැනීම මිස වෙනත් කළ හැක්කක් නොමැත
- ශරීරය තුලින් දහඩිය මෙන්ම මුඛය ආදියේ පවතින දුර්ගන්ධය යම් යම් අවස්ථාවල උසුලා ගැනීමද අපහසුය
- නොයෙකුත් අසූචීන්ගෙන් පිරුණු මේ කය තුළින් නොයෙක් ආකාරයෙන් දුර්ගන්ධය පිටවීම නවතාලිය නොහැක
- සුවඳ විලවුන් ආදිය භාවිතා කළද දුර්ගන්ධය පිටවීමේ වෙනසක් සිදු නොවේ
- සිදුවන්නේ දුර්ගන්ධයට වඩා වැඩි ප්‍රතිශතයකින් සුවඳ වහනය වීමයි
- හඳුනාගත නොහැකි වුවත් එම සුවඳ අතරද අඩු ධාරිතාවයකින් දුර්ගන්ධයද පවතී
- සුවඳ විලවුන් වියළී ගිය පසු නැවත දුර්ගන්ධය මතුවනු ඇත
- කයෙහි පවතින පිළිකුල නැවත නැවත මෙනෙහි කළ යුතුය. පිළිකුල සත්වයාගේ යහපත ආරක්ෂාව පිණිස පවතී
242. දුක ඉපදීම
- ඇලීම, ගැටීම සහ ලෞකික උපේක්ෂාව ලෙස මෝහයට සාපේක්ෂව උපදින මානසික මට්ටම් පවතී
- මෙය ඇතිවීමට පදනම පිළිබඳ එක්තරා කෙටි සටහනක් පහත පරිදිය
- මනසට සාපේක්ෂව ලෝකය තුළ පවතින්නේ ධාතු ආදී යම් කුඩා අංශුමය ස්වභාවයකි
- නමුත් එය ග්‍රහණය කර ගැනීමට, දුර්වල වූ ආයතනයන්ට නොහැකිය
- ආයතනයන්ට ගෝචර වන්නේ සත්වයෝ පුද්ගලයෝ සහ දේවල් ආදී ලෙසය
- ඒ හේතුවෙන් එය හොඳය මෙය නරකය ආදී ධර්මතාවයක් හට ගනී
- ඒ හේතුවෙන් තණ්හාව, ආශාව සහ උපාදානය ආදිය උපදී
- ඒ හේතුවෙන් ඉපදීම මරණය ආදී ධර්මයන් සහ දුක උපදී
- මුලින් සිදුවූ වැරදි වැටහීම නිවැරදි කළ විට ඉපදීම මරණය මෙන්ම සංසාරගත දුක්ඛයන්ට පාදක සියලු ධර්මතාද අහෝසි වී යනු ඇත
243. දුකෙන්ම උපදින දුක
- මේ ලෝකය තුළ සැප ලෙස පවතින්නේද හඳුනා නොගත් දුකකි
- කර්ම සකස් වීම සඳහා සිත කය වචනය මූලික කරගනිමින් යමක් කළ යුතුය. සිතීම, වචනය මෙන්ම ක්‍රියාවන් ලෙස යම් පරිශ්‍රමයක් දැරිය යුතුය. පරිශ්‍රමය යනු දුකකි
- උදාහරණයක් ලෙස ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී ක්‍රියාවන්ද දුකකි
- කිසිවෙකුට හසු නොවන සේ උපක්‍රමශීලීව අන්සතු වස්තුව ලබා ගැනීම අවදානම් සහිතවූද දුක් සහිතවූද කාරණයකි
- ලැබුණු වාසියක් ඇත්නම් ඒ හා සසඳන විට එහි විපාක ලෙස සකස් වන දුක, ප්‍රමාණ කළ නොහැක
- එහි ප්‍රතිඵලයක් ලෙස කර්ම පථ, බිය, සැකය සහ හිතේ විසිරීම ආදියද ඇතිවේ
- එය එක අඹ ගෙඩියක් වෙනුවෙන් අඹ වත්තක් බලා ගැනීමක් වැනිය
- තවද දුක නැති කිරීම යනු සැප ලැබීමක් නොවේ. දුක නැති වීමක් පමණි
- සැප නම් අන්තයට නොපැමිණ දුක දුරු වී නිවීමට පත්වීමකි
244. අකීකරු සහ කීකරු සිත
- ඇර දමා ඇති වතුර බටයක් වසා දැමීම අපට කළ හැකි අපට අවනත කාරණයකි
- නමුත් එම කාරණය යම් හෙයකින් නියමිත කාලයේ සිදු නොකළ විට ඉන් සිදුවන හානිය ( ජලය ඉවත් කිරීම, විදුලි බිල ආදිය ) ගෙවාම අවසන් කළ යුතුය
- එලෙසම කර්මයන් ද සකස්වීමට පෙර වැළැක්විය යුතුය. නැතහොත් ඒකාන්තයෙන් එය මෙන් බොහෝ ගුණයක් ගෙවා දැමීමට සිදුවනු ඇත
- ධර්මයට විනයට කීකරු නොවන්නෙකුට ලෝකෝත්තර ගමනක් නැත. ධර්මයක් වඩා සුදුසු වන්නේ පුහුණු කළ කීකරු ආදී ගුණ ඇති උත්තමයන්ට ය
- නුපුහුණු සිතක ස්වභාවය නොයෙකුත් අරමුණු ඔස්සේ සිතිවිලි පථ නිර්මාණය වීමය
- එමගින් පැන නගින නිශ්ඵල තීරණ ජීවන රටාව සංකීර්ණ කරයි. බොහෝ කර්ම සකස් කරයි
- ලෝකෝත්තර ඥානයන් වැඩීම සමඟ සිත නිරායාසයෙන් පාලනය වීමක් සිදුවේ. එවිට සිහියෙන් උපේක්ෂාවෙන් දැකීම නැවත නැවත භාවිත කිරීම තව තවත් පහසුවෙන් සිදු කළ හැකිය
- පුහුණු කළ සිත මෙලොව මෙන්ම පරලොවදී ද යහපත උදාකරනු ඇත
- සිතේ ස්වාමියා ධර්මය වේ. ධර්මය හමුවු විට තම ස්වාමියාට මනාව කීකරු වන්නේ ධර්මය සිතේහි ස්වාමියා බැවිනි
245. නොපෙනෙන රෝපණය
- කැමැත්තෙන් හෝ අකැමැත්තෙන්, අඹ ඇටයක් පැල වීමට අදාල අවම හේතූන් සකස් වූ විට අඹ ගසක් හට ගැනීමේ යාන්ත්‍රණය ආරම්භවේ
- අපට නොදන්වාම පස හා බද්ධ වීම, අතු රිකිලි දැමීම, මේරීම සහ විශාල ගසක් බවට පත්වීම නොනවත්වාම සිදුවේ
- නිසි කාලය එළැඹි පසු ඵල හට ගැනීම සිදුවේ. ඵල වල ස්වභාවය, හට ගන්නා වාර ගණන, බීජ වර්ගය ආදිය පාරිසරික බලපෑම් ආදී නොයෙකුත් හේතු අනුව තීරණයවේ
- කර්මයද එලෙසමය. කර්මය කොපමණ බරපතල වුවත් එසැණින් විපාක ලැබෙන්නේ නැත
- කර්මයන් සිදුකළ විට ඒවා අප නොදැනුවත්වම මේරීම සිදුවේ. කර්මය සිදුකළ මොහොතේ සිට සිදුවන්නේ එය නිසි කාලයේ නිසි ප්‍රමාණයෙන් විපාක ලබා දීම පිණිස අවශ්‍ය හේතු සකස්වීමය
- විපාකයන් ප්‍රමාද ලෙස හැඟුණත් කිසිදු අතපසුවීමකින් තොරව මේරීම සිදුවේ
- නියමිත ප්‍රමාණයෙන් මෝරා නිසි කාලයේ විපාකයන් පැමිණෙන්නේ අනපේක්ෂිත ලෙසය
- එම විපාකයන්ගේ තරම, විපාකය ලැබෙන කාලය, විපාක විදිය යුතු කාල පරාසය ආදිය සිදුකළ කර්මයේ ස්වභාවය සහ මානසික මට්ටම ආදිය මත තීරණයවේ
- මේ මොහොතේ වුවද අප කළ කර්ම අපට නොදන්වා මේරීම සිදුවේ. නිසි කාලය එළැඹුණු පසු විපාක ලබා දීම සිදුවනු ඇත. එවිට කිසිදු සමාවක් යෙදෙන්නේද නැත
246. කොක්ක
- කෙළවර වක් වූ හේතුවෙන් කොක්ක තුල නොයෙකුත් දේ පැටලීම සිදුවේ
- කොක්කේ ප්‍රමාණය, ආනතිය, ඇඳීම් බලය ආදිය අනුව පැටලීම සිදුවේ
- කොක්ක කෙළවර කෙලින් වූ විට පැටලීමක් සිදුනොවේ
- එවිට එය තවදුරටත් කොක්කක්ද නොවේ
- එලෙසම පෘතග්ජන සිත යනු ද උපමාවක් ලෙස කොක්කකි
- කැමැත්ත යනු කොක්කේ ප්‍රමාණයයි. එමගින් පැටලීමේ තරම තීරණයවේ
- තණ්හාව නැමැති ඇඳීම හමුවේ එය තව තවත් ශක්තිමත් වේ. ගලවා ගත නොහැකි ලෙස පැටලීම සිදුවේ
- පෘතග්ජන භාවය නැමැති කොක්ක ධර්මය නම් මිටියෙන් තලා ක්‍රමානුකූලව කෙලින් කළ යුතුය
- එවිට පෘථග්ජන භාවය නැමති කොක්ක අහෝසි වන අතර කුමන දේ ස්පර්ශ වුවද පැටලීමක් සිදු නොවේ
247. කොමඩු
- ආදීනවයකින් අවදානමකින් තොරව සත්වයාගේ ආශාවන් සහ අවශ්‍යතාවයන් පමණක් සපුරාගත හැකි ක්‍රමයක් ලෝකය තුළ නොමැත
- ආහාරයක් සපයා ගැනීමේදී පවා ආදීනවයන් ක්‍රියාත්මක දචචචචචචවේ
- උදාහරණයක් ලෙස අවශ්‍යතාවය කොමඩු පළුවක් වුවත් පළු ආකාරයෙන් කොමඩු පවතින්නේ නැත. බොහෝ විට ගෙඩියක්ම මිලදී ගැනීමට සිදුවනු ඇත
- කෑමට හැකි වන්නේ මදය වුවත් කොමඩු සමග අනවශ්‍ය පොතු සහ බීජ ආදියද අකැමැත්තෙන් වුවත් මිලදී ගැනීමට සිදුවේ
- කැමැත්ත පවතින්නේ ප්‍රණීත කොමඩු වලට වුවත් වෙළඳපොළේ පවතින්නේ ප්‍රණීත කොමඩු පමණක්ම නොවේ
- එම නිසා ප්‍රණීත කොමඩුම නොලැබීමට යම් අවදානමක්ද පවතී
- කොමඩු ගෙඩියක් ආහාරයට ගත හැකි ආකාරයට සැකසීමට පිහිය, හැන්ද, පිඟාන ආදී යම් යම් උපකරණ සහ භාණ්ඩද මිලදී ගැනීමට සිදුවේ
- හුස්ම ගැනීමේදී පවා ආදීනවයන් ක්‍රියාත්මක වේ
- අවශ්‍යතාවය හුස්ම ගැනීම වූ විට ආදීනව ලෙස හුස්ම පිට කිරීමට සිදුවේ
248. අහිකුණ්ඨකයා
- සර්පයන්ගේ විෂ නොදත් අතදරු ළදරුවන් ආදීන් සර්පයන්ට බිය වන්නේ නැත
- මෙල්ල කිරීම, දමනය කිරීම, දුර්වලතාවය ආදී සර්පයන්ගේ තතු මනාව දත් අහිකුණ්ඨකයන් ආදීන්ද සර්පයන්ට බිය වන්නේ නැත
- ඒ අතරමැද සිටින සර්පයන්ගේ විෂ, හැකියාව, දුර්වලතාවය, මෙල්ල කිරීම, දමනය ආදිය නොදත් පිරිස් පමණක් සර්පයන්ට බිය වීම සිදුවේ
- ඉහත උපැහරණය අනුව වැඩිම හානිය සිදු වන්නේ කිසිවක් නොදත් අතදරු ළදරුවන් හටය
- එලෙසම සිත, කර්මය, විපාක ආදිය පිළිබඳව කිසිවක් නොදත් පෘථග්ජන භාවය යනු එක්තරා අතදරු ළදරු භාවයකි
- මෙම මානසික තත්ත්වය තුළ උපරිම කර්මයක් රැස්වෙන අතර පහසුවෙන් සසර තුළ දුක් වේදනා විඳීමට උරුම වීමට හේතු සකස් වේ
- මේ සිත, කර්මය ආදිය පිළිබඳව මනාව දත් තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය ශ්‍රාවකයන් සිතට බිය වන්නේ නැත
- කර්මය බලගැන්වීම වැළැක්වීම පිණිස වූ නොයෙකුත් උපායන් උන්වහන්සේලා මනාව හඳුනන්නේ ය
- තවද උපාය දන්නා අපායේ නොවැටේ ලෙස සිංහල ජන වහර තුළ කියමනක්ද සම්මත වී ඇත්තේ අපගේ මුතුන් මිත්තන් බොහෝමයක්ද මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන් වූ හෙයිනි
249. ඇවිදින සිරගෙය
- ශරීරය යනු ඇවිදින සිරගෙයකි. අප එහි බරපතල වැඩ සහිත, දඬුවම් ලබන සිරකරුවන් වෙමු
- එය විශාල සිර මැදිරියක්ද නොවේ. ප්‍රමාණයෙන් ශරීර ප්‍රමාණය නොඉක්මවයි
- බඩගිනි වේදනාව මෙන්ම එයට ආහාර සැපයීමට සිදුවීම ලැබුණු එක් දඩුවමකි
- මලපහ කිරීම, මුත්‍රා කිරීම, ඒවා සේදීම ආදී අසූචිය සමඟ ලැගීමට සිදුවීම අනෙකකි
- නිරතුරුව ඉරියව් මාරු කිරීමට සිදුවීමද රැවුල කැපීම, කොණ්ඩ කැපීම, දත් මැදීම ආදී නොයෙකුත් පිරිසිදු කිරීම් ලෙස ලැබුණු තවත් දඬුවම්ය
- නිරතුරුව හුස්ම ගැනීම සහ පිට කිරීම මෙන්ම මානසික පීඩාවන් ආදී තවත් බොහෝ දඬුවම්ද වේ
- මේ අතරතුර මෙපමණ දඬුවම් විඳින අපහට තව තවත් දඬුවම් ලැබීම පිණිස වූ කර්මය ආදී නොපෙනෙන දඬුවම්ද වේ
- දඬුවමක් විඳින බව වත් නොවැටහෙන දුර්වල මානසික මට්ටමක් ලැබීම, ලැබුණු තවත් බරපතල දඬුවමකි
- මේ ආකාරයෙන් බොහෝ අසරණ අප හට කිසිදු සාධාරණ හේතුවක් නැතත් නිවන් දැකීම දක්වා බරපතල සිර දඬුවම් නියමවී ඇත. විදර්ශනාව පිණිසය
250. රුවල
- රුවලක් ගැසූ බෝට්ටුවක් සුළඟේ ග්‍රහණයට නතුවන්නේ රුවල ඇති තුරු පමණි. යම් දිසාවකට හමන්නේ ද එම දිශාවට බෝට්ටුව ද නිරායාසයෙන් ඇදී යාම සිදුවේ
- එය නැවතීමට රුවල් බෑම මිස අනෙක් පැත්තට පැදවීම ආදී ක්‍රියාවන් අනුවණ සහගතය
- සංසාරය යනු සුළඟකි. මම නැමැති බෝට්ටුව මෝහය නැමැති රුවල උපකාරයෙන් සසර පුරා ඇදී යාම සිදුවේ
- මෝහය තබාගෙන ආශාවන් දුරු කිරීමක් කළ නොහැක. එය රුවල් ගසා ඇති බෝට්ටුවක් විරුද්ධ දිශාවට පැදවීමක් වැනිය. පැදවීම නතර කළ විට සිදුවන්නේ නැවතත් ගසාගෙන යෑමය
- මෝහය යනු වැරදි වටහා ගැනීමකි. පඹයෙක් සිටින තැනක පුද්ගලයෙක් සිටිනවා යැයි වැරදියට වටහා ගැනීමක් වැන්නකි
- අප තුළ වැරදි වැටහීම එළිපිටම පවතින අතර එදිනෙදා ක්‍රියාකාරකම් තුළ එය නඩත්තු වීම සිදුවේ
- මම මගේ ආදී ලෙසද ලෝකය ලෙසද මව, පියා ගේ දොර ඉඩකඩම් ආදී ලෙස ද පනවා ගත් නොයෙකුත් වටිනාකම් උපයෝගී කර ගනිමින් රුවල ක්‍රියාත්මකවේ
- මෙය රුවලක් ලෙස නොපෙනුනත් අප නොයෙකුත් ආශාවන් ඔස්සේ ලෝකය දෙසට නිරායාසයෙන් ඇදී යන බව තුළින් එය හඳුනාගත හැකිය
- මෙම නොපෙනෙන, දුකට හේතුවන, රුවලේ සීමාවන් හඳුනගෙන වහා ගලවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය
251. තථාගතයන් වහන්සේ
- පොඩි දරුවෙකුට මහාචාර්යවරයකුගේ මානසික මට්ටමක් වටහා ගත නොහැක
- මහාචාර්යවරයා පිළිබඳ කුඩා දරුවෙකුගේ පැහැදීමක් ඇත්නම් බොහෝ විට ඒ බොළඳ ලපටි කාරණා වලටය. එසේම එම කාරණාවල සාවද්‍ය බවක්ද පැවතිය හැක
- එලෙසම තථාගත භාවය අපට වැටහෙන්නේ අප දන්නා ලෙසටය. අපගේ නුවණට සාපේක්ෂවය
- බුද්ධ ශාසනය තුළ, ඇතැම් විට අප නුගුණ ලෙස හඳුනාගෙන ඇති දෑ ගුණයන්ය
- එලෙසම ගුණ ලෙස හඳුනාගෙන ඇති දෑ ද ඇතැම් විටෙක නුගුණය
- දිය ඇලි, ගංගා, ගහ කොළ, සතා සිවුපාවන් ආදී සොබා දහමෙහි විචිත්‍රත්වයක් දැකිය හැකි වන්නේ ආලෝකය ඇති විටය
- සිටින්නේ අඳුරේ නම් කොපමණ උත්සහ කලත් විචිත්‍රත්වයක් දර්ශනය වන්නේ නැත
- එලෙසම අනන්ත ගුණ ඇතැයි අප අසා ඇති තථාගතයන් වහන්සේ හඳුනා ගැනීමට අප තුළ ප්‍රඥාව නැමති ආලෝකය පැවතිය යුතුය
- අපගේ ප්‍රඥාවේ ප්‍රභාෂ්වර භාවය කොපමණද, එපමණ ප්‍රමාණයට උන්වහන්සේගේ ගුණ ආදිය ද වැටහෙනු ඇත
252. ප්‍රේත ලෝකය
- අපගේ හිතවතුන්, ඥාති මිත්‍රයන් ආදී මිය යන බොහෝ මිනිසුන් යලි උපදින්නේ ප්‍රේත ලෝකවලය, යන්න අප විශ්වාස කළත් නොකළත් සත්‍ය කාරණයකි
- ඥාති ප්‍රේතයන්ට පින්දීම ආදී ලෙස පුණ්‍ය කර්ම සිදු කරන්නේද එබැවිනි
- අප කිසිවෙකුට වරදක් කරන්නේ නැත, අප පින් කරන්නේය, එම නිසා අප ප්‍රේත ලෝකවල උපදින්නේ නැත යන්නද එක්තරා මිත්‍යා දෘෂ්ටියකි
- මිහිපිට ඇති යථාර්ථය යළි යළිත් ප්‍රේත ලෝකවල ඉපදීමයි. සතර අපාය අපගේ මහ ගෙදර වී ඇත්තේ එම නිසාය
- ප්‍රේත ලෝකයේ යෑමට අමුතුවෙන් අකුසලයක් කළ යුතු නැත
- මම, සිත, ලෝකය ආදිය පිළිබඳ තවම හඳුනා නොගත් වැරදි වැටහීම් අපගේ සිත් වෙලාගෙන ඇත
- මරණ මංචකයේ වඩා බලවත් අකුසලය වන්නේ මෙම වැරදි වැටහීම්ය
- ඒ හේතුවෙන් ප්‍රේත ලෝකවල යෑමට, වැරදි වැටහීමක් පැවතීමම බලවත් කර්මය වන අතර එය හොඳටම ප්‍රමාණවත්ය
- තථාගතයන් වහන්සේ මිථ්‍යා දෘෂ්ටිය යනු බලවත් අකුසලයක් බවද එය වහා දුරු කළ යුතු බවද පෙන්වා දී ඇත්තේ එබැවිනි
253. අවශ්‍යතාවය
- දෑකැත්තේ අවශ්‍යතාවය ගොයම් කැපීම් ආදියක උවමනාව ඇති විටය
- වාහනයක අවශ්‍යතාවය ගමන් යෑමේ වුවමනාවක් ඇති විටය
- වුවමනාවන් ඇති විට ඒ හා පට බැඳුණු අවශ්‍යතා එකින් එක ඉෂ්ට කිරීමට සිදුවීම ලෝක ස්වභාවයකි
- අවශ්‍යතාවය යනු උපමාවක් ලෙස දුකට කාන්දමක් වැනිය. අන් ආකාරයෙන් දුකට කෙරෙන සුහද ආරාධනයකි
- ජලයේ අවශ්‍යතාවයක් ඇතිවිට ඒ හා බද්ධව පවතින සිසිලස, තෙතමනය, ගලා යෑම ආදී ලක්ෂණද ඒ හා මුසු වී පැමිණීම සිදුවේ
- එම ලක්ෂණ වෙන් කර ජලය පමණක් ලබා ගැනීමේ ක්‍රමයක් නොපවතී
- එලෙසම අවශ්‍යතාවය උවමනාව පවතින විට ඒ හා සමග කනස්සල්ල ඉච්ඡාභංගත්වය පීඩාව ආදී නොයෙකුත් දුක් කම්කටොළු නිරායාසයෙන් පැමිණීම සිදුවේ
- තවද අවශ්‍යතාවය වුවමනාව ආදිය යනු කාලය ගිල දමන භූතයන් වැනිය
- යම් යම් අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට පොර බදන විට එමගින් ඔබට නොදන්වාම ඔබගේ බොහෝ කාලයක් ගිල දමනු ඇත
254. නොපෙනෙන ඇබ්බැහිය
- මනස යනු අපට කිසිම අයිතියක් නැති අනාත්ම වූ ධර්මතාවයකි. නිශ්ඵල වුවද නොයෙකුත් දේ දැන ගැනීමට මනස කැමැත්තක් දක්වයි. බොහෝ විට මෙය ඇබ්බැහිවීමක් ලෙස මනසෙහි පවතී
- යම් ශබ්දයක් කන ගැටුණු විට ඒ කුමක්දැයි දැන ගැනීමේ කැමැත්තක් හෝ කුතුහලයක් පහළ වෙයි
- කිසිදු ලාභයක් නැතත්, ඒ දෙසට හිස හරවා නෙත් යොමා එය දැන ගැනීමට උත්සාහ කිරීමක් සිදුවේ
- යම් පිරිසකගේ සිනහවක් කතා බහ ආදියක් කන ගැටෙන විට ඒ කවුදැයි, කුමක් දැයි, කුමක් සඳහා දැයි ආදී ලෙස විමසීමක් මනස තුළ ඇතිවේ
- ඒ සමඟ එය දැන ගැනීම පිණිස සිත තුළ පීඩනයක් හට ගනී
- මෙම මානසික මට්ටම, සිදුකළ විදර්ශනාවන් ප්‍රගුණ කිරීමට කදිම අවස්ථාවක් කරගත හැකිය
- එම දැනගැනීම වෙනුවට එම දැනගැනීම හා සම්බන්ධ නිශ්ඵලභාවය, ඒ හා සම්බන්ධ දෝෂයන් පැහැදිලිව හඳුනාගෙන සිතට පෙන්වාදීම සහ ප්‍රහාණය කිරීම නැවත නැවත සිදු කළ යුතුය
- මෙවිට සිත හොඳින් භාවිතා වීම, පුහුණුවීම සිදුවන අතර මනස හොඳින් හඳුනාගත හැකි වනු ඇත
- ප්‍රීතිය ආදියද උපදින අතර නිර්වාණය පිණිස බොහෝ උපකාරයක් වනු ඇත
255. දැනගැනීම
- අපට මේ කය භාවිතයෙන් කළ හැකි දෙයක් ඇත්නම් එය සීමා සහිතය
- සිදුකළ හැක්කක් ඇත්නම් කායික ක්‍රියා ලෙස අතපය ඔලුව ආදිය චලනය කිරීම, වචනය ලෙස ශබ්ද පිට කිරීම සහ සිත ලෙස යම් සිතීමක් සිදු කිරීම මිස වෙනත් කළ හැකි කිසිවක් නොපවතී
- මේ කය අනුබද්ධ විපාක ලැබීමක් ඇත්නම් කර්ම රැස්වීමක් ඇත්නම්, එය සිදුවිය හැක්කේද ඉහත පටු වූ රාමුව තුළ පමණි
- මෙම සියල්ල නිරීක්ෂණය කළ විට අවසානයේ සිදුවී ඇත්තේ කුමක් හෝ දැන ගැනීමක් සිදුවීමය
- පෙනුණොත් පෙනුණ බව දැන ගැනීම, ඇසුණොත් ඇසුණු බව දැන ගැනීම, දැනුණොත් දැනුණු බව දැනගැනීම, සිතුණොත් සිතුණු බව දැන ගැනීම ලෙසය
- එසේම එම දැනගැනීම කැමති දැන ගැනීමක් ලෙස හඳුනාගත් විට සැප ලෙසද, අකමැති දැන ගැනීමක් ලෙස හඳුනාගත් විට දුක ලෙසද, එය තමන්ට සිදුවූවක් ලෙසද, තමන් යැයි ලෙසද මුලාව සහිතව සිත තුළ වර්ගීකරණයක් සිදුවේ
- මෙමගින් ද්වයතාවය සහ එමඟින් ප්‍රපංචයන් ද ගොඩනැගෙන අතර එය තුළ නැවත ඉපදීම ආදී සංසාර දුක්ඛයන්ට හේතු සකස්වේ
- දැනගැනීම සිදුවන ආකාරය යනු සම්මා දිට්ඨියේ පදනම වන අතර එය දෝෂ සහගත වූ විට සත්වයා දුකට පත්වේ
- සියල්ලටම පදනම වූ දැනගැනීම යනු දැන ගැනීමක් පමණි. එපමණකි
256. සිහිනය
- මනසට බලපෑමක් නොවන විට මනස, මනසෙහි ස්වභාවයෙන් පෙනී සිටීම සිහින තුලදී සිදුවේ. මෙමගින් මනසේ ස්වභාවය මෙන්ම සසරේ ස්වභාවයද මනාව අපෝහනය කර ගත හැක
- සිහිනය තුළට යන මාර්ගයක්, විශාලත්වයක්, තිබෙන දිශාවන් ආදියක් පැනවීම කළ නොහැක
- එබැවින් සිහිනය යනු කරුණු සහිතව ඔප්පු කළ නොහැකි, නමුත් ඇත්තෙන්ම පවතින ගුප්ත කාරණයකි
- වෙනත් ආකාරයකින් කිවහොත් හේතූන් අනුව හටගෙන හේතු නැති වූ විට නිරෝධ වී යන තවත් ධර්මයකි
- එලෙසම නිරය ලෝක, දිව්‍යලෝක ආදියද කරුණු සහිතව ඔප්පු කල නොහැකි වුවත් එලෙසම විය යුතු අතර ස්වභාවයද එවැනිම විය යුතු ලෙස අපෝහනය කළ හැකිය
- හොඳින් නිරීක්‍ෂණය කළහොත් අතීත මතකයන් අත්දැකීම් මෙන්ම රුචිකත්වයන් ආදියද සිහින තුළ මිශ්‍රව පවතින බව දැක ගත හැකිය
- එක්තරා ආකාරයකින් සිහිනය යනු විපාකයක් වන අතර මෙම සිහින සකස් කරන්නේද ඒවායේ ඇති සියලු චරිත වලට පණ ලබා දෙන්නේද මේ මායා සහගත සිත විසිනි
- මේ සිතට නොයෙකුත් උප්පත්ති භූමි නිර්මාණය කළ හැකි අතර ඒ තුළ අපව සතුටු කරවීම, තැති ගැන්වීම, බිය ගැන්වීම ආදී ඕනෑම දෙයක් මානසික ලෙස කළ හැකිය
- මේ සිත පිළිබඳව සුළු කොට නොසැලකිය යුතුය. කලකිරීම ඇතිකර ගත යුතු අතර හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස වහා නිරෝධ කළ යුතු ය
257. Reset
- මනුස්ස ජීවිතයක් ගත කරන අපගේ සියලු බලතල, දේපළ, දූ දරුවන් දෙමාපියන් ආදී සියල්ල අහෝසි වී Reset වන මොහොතක් නුදුරු අනාගතයේ ඒකාන්තයෙන් පැමිණෙනු ඇත
- මේ මොහොතේ අපට යන එන තැන් කරන කියන දෑ තීරණය කිරීමේ යම් හැකියාවක් ඇත
- නමුත් මරණ මංචකයේ දී අප උපදින තැන අපට තීරණය කළ නොහැක. අපගේ ඉරණම තීරණය කරනු ලබන්නේ කර්මය විසින්ය
- එය අවසාන තීරණය වන අතර එයට විරුද්ධව අභියාචනා හෝ නඩු දැමීම් ආදියක් කළ නොහැක
- කැමති වුවත් අකමැති වුවත් කර්මයට අදාළව තීරණය වන භූමියේ ඉපදීම අපගේ ඉරණම වනු ඇත
- පාසැල් හැර යන මොහොත, දෙමාපියන් හිතෛෂීයන් අතහැර යන මොහොත, දෙමාපිය ඥාතී හිතමිත්‍රාදීන්ගේ මරණය සහ විශ්‍රාම ලබන මොහොත ආදී ශෝකාන්විත, සංවේදී, ඇසේ කඳුළු සහිත අවස්ථාවන්හිදී දරා ගැනීම ඉතා අපහසු කාරණයකි
- නමුත් මරණ මංචකය යනු සියල්ල අහිමිව ජීවිතයද අහිමිවන මොහොතකි. එය දරාගැනීම අතිශය දුෂ්කර අසීරු කරුණක් වනු ඇත
- අප එදිනෙදා සිදු කරන කටයුතු නතර වෙන දවසක් ඇත. ඉගෙනීම රැකීරක්ෂා ආදිය කරමින්, දේපළ ධනය රැස්කරමින් කාලය ගත කරන්නේ ඒවා භුක්ති විදින දවසක් පැමිණෙනතුරු නොව මරණය පැමිණෙන තුරු බව බොහෝ පිරිසකට නොවැටහෙන කාරණයකිමෙයින් මිදීමට සමත් විදර්ශනා ඥානයක් නොතිබුණහොත් සියල්ල Reset වී නොබෝ කලකින් සසරගත සත්වයාගේ මහගෙදර වන සතර අපායටම ඇද වැටෙනු ඇත
258. ධර්ම ස්ථාපන කුසලය
- පරිගණක මෘදුකාංගයක් පරිගණකයක ස්ථාපනය නොකර එය කුමක්ද යන්නවත් වටහා ගැනීම අපහසුය
- එම මෘදුකාංගයෙහි ක්‍රියාකාරී තත්ත්වය, එහි වටිනාකම හෝ ඒ පිළිබඳ වන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු, ස්ථාපනය කළ විට පහසුවෙන් දැක බලා ගත හැකිය
- එලෙසම යම් ධර්මයක් කොපමණ බලවත් දැයි දැනගැනීමට එම ධර්මය විඤ්ඤාණයක් තුළ ස්ථාපනය කළ යුතුය
- ත්‍රිපිටකය යනු ධර්මය ස්ථාපනය කරන අයුරු පෙන්වා දෙන user manual එකක් වැනිය
- ස්ථාපිත ධර්මයක් ඇති විඤ්ඤාණයක් තවත් විඤ්ඤාණයක ධර්මය ස්ථාපනය සඳහා පවතින හොඳම මාර්ගයයි
- බුද්ධ ශාසනය පවතින්නේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ම බව තථාගතයන් වහන්සේද ප්‍රකාශ කර ඇති කාරණයකි
- තවද විඤ්ඤාණය යනු ධර්මය ගබඩා කර තැබිය හැකි හොඳම ස්ථානයයි
- විඤ්ඤාණය තුළ ධර්මයක් ගබඩා කර තැබීම සඳහා අවස්ථාව ලබාදීම යනු විශාල පුණ්‍යකර්මයකි
- ධර්ම ශ්‍රවණය යනු විඤ්ඤාණය තුළ ධර්මය ගබඩා කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමකි. ඒ බව දැනගෙන සිදු කරන විට එම කුසලය තව තවත් බල ගැන්වීම සිදුවේ
259. බලවත් ඡන්දය
- පැළයක් පොළොව තුළ ස්ථාපිත කිරීම අපහසු කාරණයකි
- පැළයක්ව පවතින අවධියේ හිරු එළිය, වැස්ස, සුළඟ පවා පළිබෝධ ලෙස ක්‍රියා කරයි
- නමුත් ක්‍රමානුකූලව අතුපතර දමා වැඩෙන විට පළිබෝධ වූ හිරු එළිය, සුළඟ පවා ගසෙහි වර්ධනයට උපකාර කරයි
- එලෙසම පුද්ගලයකු ධර්ම මාර්ගයට පිළිපන් විට මව, පියා, ඥාතීන් පවා එයට එරෙහිව නැගී සිටි
- නමුත් ධර්මයෙන් පරිණත වීමත් සමග දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් පවා එයට උපකාර කරන අතර ශ්‍රාවකයන් බවටද පත්වෙයි
- අවසානයේ තමන් මෙන්ම ඥාති හිතමිත්‍රාදීන්ටද ලෝක සත්වයාටද සසරෙන් එතෙර වීමට මාර්ගය සකස් වේ
- තවත් විශේෂ වූ කාරණයක් ඇත. ප්‍රතිපදාව සඳහා තමා තුළ වූ කැමැත්තේ ප්‍රමාණය (ඡන්දය) සියල්ලටම වඩා බලවත්ය. ඡන්දය බලවත් නම් කිසිවෙකුට ඊට එරෙහිව නැගී සිටීමක් කළ නොහැක
- ඒ සඳහා ඡන්දය ඇතිකර ගැනීමට විශේෂ අවධානයක් ලබා දිය යුතුය. ඊට හේතු සකස් කරන දුක, සසර බය, ආදීනව, විපාක ආදිය පිළිබඳ මනා දැක්මක් ඇතිකර ගත යුතුය
- මේ සඳහා ධර්මශ්‍රවණය විදර්ශනාව මෙනෙහි කිරීම් ආදිය වැඩි වැඩියෙන් සිදුකළ යුතුය
260. නොදන්නා දෙයක් නැත
- ලෝකය යනු පුද්ගල අනුබද්ධ මානසික කාරණයකි. එක්තරා ආකාරයකින් ලෝකය යනු තමන්ගේ දැනගැනීමේ ප්‍රමාණය ලෙසද දැක්විය හැක
- භෞතික ලෙස ලෝකයක් ඇත හෝ නැත ලෙස පවතින්නේද තවත් සිතිවිල්ලක් හෙයින් එයද මානසික කාරණයක් ලෙස දැක්විය හැක
- එනම් ලෝකය ලෙස හඳුනාගැනීමට ඇත්තේ එක්තරා ආකාරයකින් මානසිකව පවතින සිතිවිලි සමූහයකි
- ලෝකයෙන් මිදීම සඳහා, නිර්වාණය සඳහා යම් ආකාරයකට සියල්ල දැනගත යුතුය
- නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට ලෝකය ලෙස හසු වන්නේ අධ්‍යාපනය, තාක්ෂණය, ගහකොළ, මහ පොළොව, අවකාශය ආදී නොයෙකුත් සංකීර්ණ මාතෘකාවන්ය
- මේවා මේ ආකාරයෙන් දැනගෙන කෙළවර කළ නොහැක. එසේ උත්සාහයක් දරන්නේ නම් වෙහෙසට පත්වීම, ආයුෂ අවසන් වීම හෝ යම් උන්මත්තක භාවයකට පත් වනු ඇත
- නමුත් ආර්ය භූමියේදී පොළොව යනු දුකකි, ගහ කොල, මිනිසුන් යනු දුකකි ආදී ලෙස සියල්ල වෙනත් ආකාරයකින් දැන ගනී
- දැන ගත් යමක් ඇත්නම් දුකකි, නොදැනගත් යමක් ඇත්නම් දුකකි ලෙස ද, තවදුරටත් ලෝකය යනු ත්‍රිලක්ෂණය ආදී ලෙස ද කැටි කොට අවසානයේ සියල්ල ශුන්‍ය ලෙසද අභව්‍ය ලෙසද අවබෝධ කරගනී
- මෙලෙස ආර්ය ශ්‍රාවකයා කිසිදු අඩුපාඩුවකින් තොරව ලෝකයම දැන ගන්නා අතර, සියල්ල කෙළවර කර සැපෙන් දුකින්, දැනගැනීමෙන් මිදුනාවූ පිරිනිවීමට පත්වේ
261. කැමැත්ත
- රෝද යනු වාහනයක ගමනට අත්‍යාවශ්‍ය කාරණයකි. යාන්ත්‍රණයක් මගින් රෝද බලගැන්වීම සිදුකරයි. සුවපහසු අංග උපාංග රැසකින් නවීන වාහන සමන්විත වේ
- නමුත් මේ සියල්ලටම හේතුව වී ඇත්තේ මනුස්සයාගේ ගමන් යෑමට ඇති අවශ්‍යතාවයයි. එම අවශ්‍යතාවයට හේතුව වන්නේ කැමැත්තයි
- එම අවශ්‍යතාවය හේතුවෙන් උත්සාහයක් ඇතිවී නොයෙකුත් නිර්මාණයන් සිදු වී අවසානයේ වාහනයක් නිර්මාණය වී ඇත
- මෙයින් නොනවතින අතර කැමැත්ත දුරු නොවන්නේ නම් ඉන් ඉදිරියටද නොයෙකුත් දෑ නිර්මාණය වනු ඇත
- එලෙසම සසර ගමනටද හේතුවී ඇත්තේ කැමැත්තයි. සසර ගමන යෑමට අවශ්‍ය නොයෙකුත් ශරීරයන් එම කැමැත්තේ අවශේෂ ප්‍රතිඵලයන්ය
- මනුස්ස කය කැමැත්ත හේතුවෙන් ගොඩනැගී ඇති තවත් ප්‍රතිඵලයකි
- ගමන් කරන වාහනයක රෝද ගැලවීම, අඩ තැබීම අපහසු කාරණයකි. මුලින් වාහනය හොඳින් පාලනය කර උපක්‍රම යොදා නතර කළ යුතුය
- එලෙසම කැමැත්තද මුලින් පාලනය කර ගත යුතුය. කැමැත්තේ සැර බාල කිරීමට, කැමැත්ත වෙනස් කිරීමට මෙන්ම අවසානයේ කැමැත්ත නිරෝධ කිරීමට අදාල නොයෙකුත් භාවනා ක්‍රම බුද්ධ ශාසනය තුළ හඳුන්වා දී ඇත
- තමන්ගේ කැමැත්ත හඳුනාගෙන උපක්‍රම යොදා කැමැත්ත පාලනය කළ යුතුය. එවිට පහසුවෙන් එය නිරෝධ කර ගැනීමට හේතු සැකසෙනු ඇත
262. සිතිවිල්ල
- නිරතුරුව දැනගැනීම් වලින් පණ ගහන මෙම සිතෙහි ගිය ගිය තැන ඇලෙන ලක්ෂණ ඇත්තේය
- කොන්ක්‍රීට් මෙන් අරමුණු වල හැඩය ගනිමින් කාලයත් සමඟ හොඳින් සවි වීම සිතෙහිද ලක්ෂණයකි
- යම් අරමුණක් කෙරෙහි සිතිවිල්ලක් ඇතිවේ. නැවත නැවතත් සිතිවිලි ඇතිවේ. කාලයත් සමඟ නොදැනුවත්වම සිතිවිලි වලින් අරමුණ වෙලා ගැනීම, බැස ගැනීම, උපාදාන වීම සිදුවේ
- සිත තුළ යමක් ලස්සන ලෙස, සුබ ලෙස, වටිනා ලෙස ආදී හඳුනා ගැනීමක් ඇත්නම් එය උපාදානය සඳහා සාරවත් භූමියකි
- එවැනි සිතක් දුර්වල අතර පහසුවෙන්ම රාගයෙන් ද්වේශයෙන් තෙත් වනු ඇත
- කැමති වුවත් අකමැති වුවත් සොබා දහම මැදිහත්ව යම් දිනයක ඇලවී ඇති සියල්ල ගලවා දමන අතර එවිට ඇතිවන දුක දරා ගත නොහැකි වනු ඇත
- සොබා දහමෙන් වෙන්කිරීමට පෙර වෙන් වී සිටීමට හැකිනම් එය නුවණැති ක්‍රියාවකි
- තවද සිතුවිලි වලින් තොරව පැවැත්මක් හටගන්නේ නැත
- මම, ලෝකය සහ දුක ආදී සියල්ල පණගන්වන සිතිවිල්ල යම් අයෙකු අවබෝධ කරයි නම්, දුකෙහි පැවැත්ම බිඳ වැටී නිරායාසයෙන්ම සසර ගමනද නවතිනු ඇත
263. කළු ගල
- සංවේදීතාවය අඩු කළුගල්, ගහ කොළ සහ මල් මෙන් කම්පනය වන්නේ නැත
- වැස්ස, සුළඟ, ඉඩෝරය ආදියෙන් කළු ගලකට පහසුවෙන් හානියක් සිදුවන්නේ නැත
- බොහෝ අලංකාර වුවත් ගහ කොළ මල් ආදිය අව්ව, වැස්ස, සුළඟ ආදියට බොහෝ සංවේදී වේ. බාහිර බලපෑම්වල කුඩා අඩු වැඩිවීමක් වුවහොත් විනාශ වීම පවා සිදුවේ
- තවද ප්‍රබල කළු ගලෙහි ලපටි සියුමැලි ගතියක් නැත. ස්වභාවයෙන් කළු සහ රළුය. එය පහසුවෙන් විනාශයට පත්වන්නේද නැත
- නමුත් ලස්සන සුවඳ අලංකාර ගහ කොළ මල් ආදිය තුළ ඇත්තේ සාපේක්ෂව ළපටි සියුමැලි ගතියක්ය
- එවැනි ලක්ෂණ ඇත්නම් ඒ තුළ පහසුවෙන් දුකට පත්වීමේ හැකියාව පවතින බව දත යුතුය
- එලෙසම ළපටි, සියුමැලි, සංවේදී, බොළඳ සිත ද වඩා දුකට පත් වන්නේය. නිරතුරුව කඳුළු පිරුණු දෙනෙත් ඇත්තේය. ඉක්මනින් උවදුරු වලටද ලක් වන්නේය
- දුක් නොවිඳින අකම්පිත සිතක පැවතිය යුත්තේ දැඩි රළු ස්වභාවයකි
- දුකට පත්නොවන, කිසිවකට කම්පා නොවන සිතක් කළු ගල මෙන් දැඩි විය යුතු බව වටහා ගත යුතු කාරණයකි
264. කෙළවරක් නොමැත
- කාලය අතීතය දෙසට අනවරාග්‍රය. අනාගතය දෙසටද අනවරාග්‍රය. අප කාල අක්ෂය තුළ මංමුලාවී අතරමං වී ඇත. කෙළවරක් නොමැත
- පෘථිවිය විශාලය. සෞරග්‍රහ මණ්ඩලය අතිවිශාලය. අපට පෙනෙන තරු ආදියද විශ්වය තුළ පවතින ග්‍රහලෝකද, අනවරාග්‍රය. කෙළවරක් නොමැත
- ඉපදුණු විට මරණය සිදුවේ. මැරුණු විට නැවත ඉපදීම සිදුවේ. අනවරාග්‍රය. කෙළවරක් නොමැත
- ඉපදුණු දා සිට අප ඉගෙන ගන්නෙමු. නැවත නැවතත් ඉගෙන ගන්නෙමු. ජීවිතයෙන් ජීවිතයටද ඉගෙන ගන්නෙමු. අනවරාග්‍රය. කෙළවරක් නොමැත
- අපි කය පිරිසිදු කරන්නෙමු. නැවත නැවත පිරිසිදු කරන්නෙමු. ජීවිතෙන් ජීවිතයට පිරිසිදු කරන්නෙමු. කෙළවරක් නොමැත
- අපි ආහාර ගන්නෙමු. නැවත නැවත ආහාර ගන්නෙමු. කෙළවරක් නොමැත
- පෘථිවිය කැරකෙන්නේය. පෘථිවිය වටා සඳ කැරකෙන්නේය. සෞරග්‍රහ මණ්ඩලයද කැරකෙන්නේය. කෙළවරක් නොමැත.
- මේ පෘථිවිය ආදී සෞරග්‍රහ මණ්ඩලය කොහේ හෝ ගමනක් යන්නේය. අනවරාග්‍රය. කෙළවරක් නොමැත
- කර්මයන් සිදුවන්නේය. ගෙවෙන්නේය. නැවත රැස් වන්නේය. කෙළවරක් නොමැත. මේ ආකාරයෙන් ලෝකය යනු නොයෙකුත් දුක්ඛයන් පිරිවරා ගත් කෙළවරක් නොමැති ධර්මතාවයකි. සසරින් මිදීමට වීරිය ඇතිවීම පිණිසය
265. ඇලීමෙන් මිදීමේ ප්‍රඥාව
- අපද්‍රව්‍ය වලක් අත්හැරිය විට කාලය සමඟ පොහොර නිෂ්පාදනය වේ
- සක්‍රීය අපද්‍රව්‍ය වලක් වුවත් කාලය සමග පිරිසිදු භාවයට පත්වන ස්වභාවයක් ඇත
- නමුත් ශරීරය තුළ අපද්‍රව්‍ය වලවල් නමයක් ඇති අතර ඒවා තුළ සිදුවන්නේ අපද්‍රව්‍ය නිෂ්පාදනය වීමයි
- පිරිසිදු නොකර අතහැර දැමුවහොත් හඩු ගඳ හමන අතර, තවදුරටත් පිරිසිදු නොකරන්නේ නම් කුණු ගඳ ගසමින් වලවල් පිටින්ම කුණුවී යනු ඇත
- මෙපමණ කුණු ගඳ ගසන, අසූචිය නිෂ්පාදනය වන මෙම ශරීරය තුළ කැමැත්තෙන් බැසගෙන සිටීමට ප්‍රකෘතිමත් සිතකට නොහැකිය
- ඒ සඳහා පිළිකුල, නොපිළිකුලක් ලෙස දකින විකෘති සිතක්, උන්මත්තක ස්වභාවයක් පැවතිය යුතුය
- තථාගතයන් වහන්සේ පිළිකුල් භාවනාව ආදී භාවනාවන් හඳුන්වා දී ඇත්තේ මෙය නිවැරදි කිරීම සඳහා විය යුතුය
- අසූචි වලවල් පිරිසිදු කරමින්, ඒවා මුර කරමින්, ආරක්ෂා කරමින්, තව තවත් ඒවාම පතමින් ගත කරන ජීවත් වීමෙන් නැති ඵලක් නැත
- කාමයන්ගෙන් වැඩි බාගය පවතින්නේ ද මෙම අසූචි වලවල් කේන්ද්‍ර කොට ගෙනය. වෙනත් කෝණයකින් බැලුවහොත් ලෝකය කැරකෙන්නේ ද මෙම අසූචි වල වටාය. ප්‍රඥා ගෝචරය
266. චේතනාව සහ විපාකය
- චේතනාව යනු කර්මයයි. එම කර්මයේ ඵලය/ප්‍රතිඵලය විපාකයයි
- සිතුවිලි යනු චේතනා නොවන අතර පැරණි චේතනාවල ඵල (විපාක) ලෙස දැකිය හැකිය. අතීතයේ මුල් බැසගත් රාග, ද්වේශ, මෝහ වැනි කෙලෙස්වල බලපෑමෙන්ම වර්තමාන සිතුවිලි පහළ වේ
- සිතුවිලි යනු සිතේ ඇති වන රූප වන අතර, ඒවා ද ඇති වී නැති වී යන අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය
- සිතුවිල්ලක් ඇති වූ විගසම එය "මගේ සිතුවිල්ල" ලෙස තදින් අල්ලා ගැනීම (උපාදානය) මෝහයේ ලක්ෂණයයි
- අප්‍රසන්න දේ ඇසීම හෝ දැකීම ආදී විපාක ලෙස අපට දුක් සහගත සිතුවිලි ඇතිවිය හැක
- යම් පුද්ගලයෙකු සිතුවිලි 'විපාක' ලෙස හඳුනා ගත් විට නව කර්ම රැස් වීම දුර්වල වේ
- විපාකයක් වූ සිතුවිල්ලකට ඇලීම හෝ ගැටීම යනු, සිතුවිල්ල චේතනාවක් බවට පත් කර, සංසාරය දිගු කර ගැනීමයි
- සැපවත් හෝ දුක්ඛිත සෑම සිතුවිල්ලකම ඇත්තේ අනිත්‍යභාවය පමණක් බව නුවණින් දකින විට කෙලෙස් මන්දනය වී දුරුවී යනු ඇත. සිතුවිලි දෙස විපාක ලෙස බැලීම අවසානයේදී සියලු සිතුවිලිවලින් මිදී, පරම නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට මග පාදයි
267. සැප සංඥාව සහ ආදීනව
- ලෞකික සැපය යනු ක්ෂණිකව සිතට දැනෙන, තෘප්තියක් ලබා දෙන සංඥාවකි. මෙය වරදවා වටහා ගැනීම නැවත භවයට පැමිණීමටත් ප්‍රධාන හේතුවයි
- සැපයක් ඇත්නම් අල්ප වේ. එය විඳීම සඳහා කාලය, ශ්‍රමය සහ ශක්තිය කැප කිරීම සම්ප්‍රයුක්ත ලෙස මහත් වූ දුක්ඛයකි
- ලෞකික සැප විඳින මොහොතේදී පවා, නැවත දුක් විඳීමට හේතුවන කර්ම පථයන් කිසිම දැනුම් දීමකින් තොරව සිත තුළ නිර්මාණය වේ
- මෙම "ආදීනව පථ" යනු සත්ත්වයා භවයෙන් භවයට, භවයෙන් භවයට ගෙන යන විපාක වාරයන් (කර්ම විපාක චක්‍ර) වන අතර, ඒවා දීර්ඝ සංසාර ගමනට හේතුවේ
- යම් වස්තුවක් හෝ අරමුණක් කෙරෙහි ඇලී (තණ්හාවෙන්) එය භුක්ති විඳීම යනු, සැප සංඥාව මුල් කරගෙන අඛණ්ඩව දුක් විඳීමට මාර්ගය විවර කර ගැනීමකි
- උපමාවක් ලෙස ලෞකික සැපය යනු ගොම ගොඩක වූ කඩල ඇටයක් වැනිය. ආදීනව බොහෝ වන අතර වැඩි අනුපාතයකින් මිශ්‍ර වී ඇත්තේ දුකය
- ක්ෂණික සතුටක් වෙනුවෙන් මුළු සංසාර ගමනම දීර්ඝ කර ගැනීම අප මුතුන් මිත්තන් ඇතුළු බොහෝ පිරිසකට උරුම වූ දුක්ඛිත ඉරණමකි
- සැපයට ඇලීම සහ දුකට ගැටීම යන දෙකම ඇතිවන්නේ සැපයෙහි සැබෑ ස්වභාවය පිළිබඳව ඇති වැරදි වැටහීමක් නිසාය
- එබැවින්, සතර අපායටම නැමුණු සිත කෙලින් කර නිරෝධ කිරීම අප අපටම කර ගත යුතු යුතුකමයි
268. ලේ සංඥාව
- සිතේ විසිරුණු ස්වභාවය, සිත එකඟ කර ගැනීමට ඇති කදිම භාවනා උපක්‍රමයක් වන්නේ අසුභ සංඥාව මෙනෙහි කිරීමයි. ලේ සංඥාව යනු තවත් අසුභ සංඥාවකිලේ යනු ඝාතනය, මාංශ, ලේ පිපාසය, දඬුවම් සහ වධහිංසන වැනි අකුසල සහ දුක, අශුභ සංඥාවන් සමඟ සෘජුවම බැඳුණු ද්‍රව්‍යයකි. ඒ බව සිතට වටහා දිය යුතුය
- රුධිරයට ඇති කැමැත්ත යනු නිරය, ප්‍රේත, අසුර සහ තිරිසන් ආදී සතර අපාගත උප්පත්තීන් හි ගති නිමිති සමඟ සෘජුවම බැඳී පවතින සහ දුකට නැඹුරුවීමක් බව පෙන්වා දිය යුතුය
- රූප කෙරෙහි ඇලී බැඳී සිටීම යනු, රුධිරය නොමැතිව පැවතිය නොහැකි ඇසට බැඳීමකි. රුධිරයටම කැමති වීමකි, එනම් එනම් දුගති, ගති නිමිති ඒ හා ස්පර්ශව පවතී. මෙය මෙලෙසම බව පෙන්වා දිය යුතුය
- එලෙසම, ශබ්දයට කැමති වන්නා ද, රුධිරයෙන් තොරව පැවතිය නොහැකි කනක් මුල් කරගෙන, වක්‍රාකාරව රුධිරයට කැමැත්ත දක්වයි එනම් එහිද දුගති ගති නිමිති ස්පර්ශව පවතී
- දිව සහ ශරීරය තුළින් රසයන් සහ ස්පර්ශයන් විඳීම යනු ලේ මාංශ ඇසුරේ ගනුදෙනු කිරීමකි. එහිද පවතින්නේ දුගති ගති නිමිතිය
- සිතිවිලි පවා රුධිරය හා බැඳී පවතින්නේ, ඉහත ගනුදෙනුවලට වක්‍රාකාරව දායකවීම සහ සිත පැවැත්මට රුධිර සැපයුම අත්‍යවශ්‍ය වන බැවිනි
- මෙම ඉන්ද්‍රියයන් තුළින් අප විඳින සියලු සැප යනු, අවසානයේ ලේ මාංශ ඇසුරෙහි ගොඩනැගෙන දුගති ගති නිමිති වලට මාර්ගයේ විවර කර ගැනීමකි
- මෙලෙස සිතිවිලි ලේ හා ස්පර්ශව ඇති බව, දුගති ගති ඒ හා සම්බන්ධ බව පෙන්වා දිය යුතුය. මේලෙස සිතීම මගින් සිත හික්මවා ගත හැකිය
269. මිනිස් නුවණ
- මනුස්සයාගේ දැන ගැනීම් පිළිබඳ බුද්ධිමත් භාවය අන් සත්වයන්ට සාපේක්ෂව ඉහළ තත්වයකට වැඩිදියුණු කළ හැකි ය
- මතකය මෙන්ම, තීරණ ගැනීමේ හැකියාව සහ පුණ්‍ය ශක්තිය අනුව උරුමවන අතර එය කාලයෙන් කාලයට ජීවිතයෙන් ජීවිතයට වෙනස් වේ
- අන් සත්වයන්ගේ මානසික මට්ටමට සම වීම තුලින් එම සත්වයන්ට ඇතිවන දුක්ඛයන්, මානසික මට්ටම් මනාව වටහා ගත හැක. ඒ සඳහා එම සත්වයින් මම යැයි මට ආදේශ කර සිතීමෙන් මිනිසුන්ගේ මෙන්ම තිරිසන් සත්ත්වයන්ගේද දුක හඳුනාගත යුතුය
- මනුස්සයන් වූ අපට බොහෝ බලයක් ඇත. එය කොපමණද කිවහොත් අපගේ එක් සිතිවිල්ලක වෙනසින් බොහෝ සත්වයන් හට අභය දානය පවා ලබා දිය හැක. උදාහරණයක් ලෙස සින්ක් එකට උණු වතුර නොදැමීම ආදිය දැක්විය හැක
- කාමභෝගී සිතට ලැබුණු දෙයෙහි වටිනාකමක් පෙනෙන්නේ නැත. නොලැබුණු දේ තුළ බොහෝ වටිනාකමක් පෙනෙන්නට වන්නේය
- නමුත් ලැබුණු දෙය අහිමි වන විට හඬා වැලපීමේ ප්‍රමාණය, දුක් වීමේ ප්‍රමාණය අනුව එහි වටිනාකම විදහා දක්වන්නේය. නමුත් එවිට සියල්ල සිදුවී හමාරය
- නිර්වාණ සම්පත්තියද එවැන්නකි. අතට ලැබුණු අවස්ථාව මඟහරින, ප්‍රමාද කරන අප හට එහි වටිනාකම වැටහෙන්නේ නිරය, තිරිසන් ආදී අපායට වැටුණු දවසටය
- නමුත් එවිට වටහා ගැනීමේ හැකියාවද, අපගේ බලයද, නුවණද අපට අහිමි වී ගොසින්ය
- මනුස්ස නුවණ නොසිතන තරම් බලවත්ය. මුවහත් කළ විට කෙලෙස් ඉදිරියේ දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස ක්‍රියා කරන්නේය
270. නොනිදන සෙවණැල්ල
- සෑම කෙනෙකුම අතීතයේ රැස්කළ කර්මයන් ඔවුනොවුන්ට නොනිදන සෙවණැල්ලක් ලෙස උපමා කළ හැකිය
- සෙවණැල්ලක් පුද්ගලයා හැර නොයන්නා සේම, අප විසින් රැස් කරන ලද කර්මයද, මේ භවයේදී හෝ භවයෙන් භවයට හෝ අප පසුපසම ලුහුබඳිනු ඇත
- ස්තුවක් නොමැතිව සෙවණැල්ලක් ඇතිවන්නේ නැත. එලෙසම මම නැමැති දෘෂ්ටියෙන් තොරව කර්මයක් හට ගන්නේද නැත
- සෙවණැල්ලක් අල්ලා ගැනීමට, පාලනය කිරීමට නොහැකි සේම, කර්මය හෝ විපාකය අපගේ බාහිර කැමැත්තට අනුව වෙනස් කළ නොහැකි ධර්මතාවයකි
- සතර අපාය (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර) යනු නොනිදන සෙවණැල්ල අතිශයින්ම බලවත් වී විකෘති වී ගොස් ඇති භයංකර අවස්ථාවක් බව දැක්විය හැකිය
- අප අතින් කුසල් හෝ අකුසල් සිදුවන සෑම මොහොතකදීම, නව කර්මයක් (නව සෙවණැල්ලක්) නිර්මාණය කරමින්, සංසාර ගමන තව තවත් දීර්ඝ වේ
- සෙවණැල්ලකට වෙඩි වදින්නේ නැත. පොල්ලෙන් ගසා විනාශ කළ නොහැක. වෙනත් භෞතික උපක්‍රමයන් යෙදීමෙන්ද ඇති ඵලක් නැත
- එයට අදාළ හේතු නිරෝධ වන්නේ කෙදිනකද, ඒ වනතුරු කල්ප කාලාන්තරයක් වුවද සෙවණැල්ල පවතින්නේය. සක්කාය දිට්ඨියද එලෙසමය. ප්‍රාර්ථනාවෙන්, යැදීමෙන් හෝ හඬා වැටීමෙන් නිරෝධ වන්නේ නැත. එයට තුඩුදුන් හේතු කෙදිනක හෝ සොයා නිරෝධ කරන තුරු සක්කාය දිට්ඨියද ඒ හා බැඳී ඇති සසර ගමනද නොනැසී පවතිනු ඇත
271. රූපවාහිනිය
- රූපවාහිනියක් නරඹන්නෙකුට විකාශනය වන දෙය නැරඹීම මිස සිදු කළ හැකි වෙනත් කිසිවක් නැත
- චැනල් එක මාරු කළද සිදුවන්නේ නැවත විකාශනය වන දෙයක් නැරඹීම පමණි. විකාශනයට කිසිදු බලපෑමක් කළ නොහැක
- කතාවක් නැරඹීමට කැමැත්තක් ඇති විට රූපවාහිනයක් මිලදී ගැනීම, විදුලි බලය සපයාදීම, සුදුසු ස්ථානයක තබා ආරක්ෂා කිරීම, විකාශනය වන මොහොතට එය නැරඹීමට සිදුවීම ආදී බොහෝ ආදීනවද එහි පවතී
- කතාව පමණක් වෙනම නැරඹීම කළ නොහැක. වෙළඳ දැන්වීම් ආදිය නැරඹීමට සිදුවීම ආදීනව වේ
- එලෙසම මනස යනු ත්‍රිමාණ රූපවාහිනියකි. එය සාමාන්‍ය රූපවාහිනියකට වඩා දියුණු අතර ඇසීම, පෙනීම පමණක් නොව දැනීම, හැඟීම ආදී විශේෂාංග වලින් ද සමන්විත වේ
- මේ තුළ නොයෙකුත් විපාකයන් විකාශනය වන අතර ඒ ඒ මොහොතේ කර්මයන් ආදිය සකස් වෙමින් අනාගත විකාශනය ද සැලසුම් වේ
- සැප විඳීමේ අරමුණින් විකාශනය නැරඹුවත් නොයෙකුත් දුක්ඛයන් පැමිණීම නොවැළැක්විය හැකි දෙයකි
- සංසාරයක් තුළම සිදුකර ඇත්තේ මනස තුළ සිදුවන දුක සැප ආදී නැවත නැවතත් පුනරාවර්තනය වන විකාශනයන් නැරඹීමක් පමණි
- විකාශනය මම නැමැති දෘෂ්ටිය නිසා සිදුවන බවද විකාශනය තුල ඇති කුඩා කොටසකට ඇති වූ කැමැත්ත සියල්ලටම හේතුව බවද වැටහුණු විට විකාශනය නිරායාසයෙන් නතර වනු ඇත
272. සිත පෙරළා ගැනීම
- අප නොයෙකුත් කාරණා ඉස්මතු කළත් සිත පහසුවෙන් එම කාරණා පිළිගන්නේ හෝ ඒ තුළ පිහිටන්නේ නැත
- සිතට තරවටු කොට එම කාරණා තුළ පිහිටවිය යුතුය
- යකඩ ඇණයක් වුවද සියුමැලිව අතගා එය ගැලවීම අපහසු කාරණයකි
- ශරීර ශක්තිය මෙන්ම නුවණින් උපක්‍රම යොදා, නොයෙක් ආයුධ භාවිතයෙන් ගැලවීම සිදු කළ යුතුය
- එලෙසම සිතේ තදට බැස ඇති කෙලෙස් නැමැති ඇණ ගැලවීමටද එවැනිම ක්‍රමයක් භාවිතා කළ යුතුය
- ප්‍රාණ ශක්තිය උපදවා උපක්‍රමද යොදා ක්ලේශයන් ගැලවීම පිණිස වෙර වීරිය කළ යුතුය
- සැමදා එකම දේ සිදු කරන විටද ඒවාට හුරුවී ඒවා තුළද කෙලෙස් වැඩීම සිදුවේ
- ක්‍රම වෙනස් කරමින් නැවත නැවත යාවත්කාලීන කරමින් මෙම සංග්‍රාමය කළ යුතුය
- ආයුෂ කෙළවර වීමට පෙර, ධර්ම මාර්ගය තුළ සිත පිහිටුවීම සංසාරය පුරාවටම සිදු නොවූ නමුත් සිදුකළ යුතුම කාර්යයයි
273. පිළිකුල සහ වචන භාවිතය
- කළකිරීම සහ පිළිකුල ඉස්මතු වන ආකාරයෙන් වචන යොදමින්, සෑමවිටම මෙනෙහි කිරීම් කළ යුතුය
- මේ කයෙහි සම මතුපිට අසූචි තැවරී ඇති ස්ථාන ඇත්තේය. මසෙහි ගිලුණු මස් ගොබ දෙකක් මගින් පෙනීම ඇති වන්නේය
- මේ කයෙහි කකුල් කෙළවර මෙන්ම අත්වල කෙළවරද සම සිට මස දක්වා ගිලුණු නියපොතු ඇත්තේය. කෙළ මත ගිලුණු දිව ඇත්තේය
- දත් පිරිසිදු කිරීම මඳක් ප්‍රමාද වුවහොත් දත් අතර පල් වූ ආහාර කැබලි කෙළ සමග මිශ්‍ර වී කුණු ගඳ හමන්නේය
- මේ ශරීරයේ මළ මුත්‍රා, නිදිමත සහ බඩගිනි ආදී නොයෙක් වේදනාවන් ඇතිවන්නේය. නොයෙකුත් දුර්ගන්ධයන් හමන්නේය
- මොනතරම් කම්මැලියෙක් වුවත් කම්මැලිකම් පසෙකලා, වහලෙකු මෙන් වැසිකිළි කැසිකිලි ආදී ශරීරකෘත්‍යය ඉටු කර දීමට සිදුවන්නේය
- විටින් විට අසූචි පිටවීම පිණිස සංඥා නිකුත්වන්නේය. ඊට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉන්නා ස්ථානයේම අසූචි පිටව යන්නේය
- විටින් විට වේදනාවක් සමඟ මුත්‍රා පිරී ඇති බව සංඥාවන් මගින් මනසට ලැබෙන්නේය. වැසිකිළියට දුවනවා මිස, කිසිවෙකු එය කල් දැමීමට, තර්ක කරන්නේ හෝ උත්සාහ කරන්නේ නැත
- මෙම ශරීරය දුක් විඳීමටම සකස් වූවකි. මෙහි තතු හොඳින් දන්නා අයෙකු මෙයින් මිදීමම පතන්නේය
274. වැරදි වැටහීම
- විඤ්ඤාණ ධාතුව බොහෝ කල් පැවැති පුරුදු අනුව වෙනස් ලක්ෂණ දරයි. නමුත් හේතු ඵල ලෙස ක්‍රියාත්මක වීම, පැවැත්ම, නිරෝධය, කර්මය ආදී සියලු ධර්මතාවයන් විඤ්ඤාණය තුළ නොනැසී පවතින්නේය
- ගෙවීමට ඉතිරි වූ කර්මයන් මිස නිරෝධ කළ නොහැකි ලෙස පැනවෙන විඤ්ඤාණ ලෝක ධාතුව තුළ නොමැත
- ලෝක ධර්මය තුළ හේතු ඵල ක්‍රියාවලියක්ම මිස වැරදි නිවැරදි ලෙස, දුක සැප, හොඳ නරක, කරුණාව දයාව ආදී කිසිවක් පැනවෙන්නේ නැත
- ඒවා පැනවෙන්නේ සත්ව පුද්ගල දෘෂ්ටියට සාපේක්ෂවය
- ආයතන හරහා ඇතුල්වන තොරතුරු හඳුනා ගැනීම ඒ හරහා කර්මය ආදී ධර්මයන්ද උපයෝගී කරගනිමින් පැවැත්ම සකස් කර ගැනීම විඤ්ඤාණයේ ස්වභාවයයි
- නමුත් ගැටළුව වන්නේ මෙම ධර්මතාවය හරහා හේතුඵල ලෙස සකස් වූ දුක් විඳින සත්වයකු සසර තුළ සිරවීමයි. බුදු කෙනෙක් මැදිහත් වන්නේ මෙම ප්‍රශ්නය විසඳීමටයි
- මෙම සත්ත්වයා සසරෙන් ගැලවීම යන කාරණයට සාපේක්ෂව හොඳ නරක, වැරදි නිවැරදි හඳුනා ගැනීම, සැප දුක ආදී ධර්මතාවයන් ගොඩනැගේ
- මේවා හුදෙක් මම නැමති දෘෂ්ටියට සාපේක්ෂව පවතින ධර්මතා පමණි. ඒවා පරම සත්‍ය නොවන සාපේක්ෂක ධර්මතාවයන්ය
- එනම් සත්වයා සසරට පමුණුවන නැවත ඉපදීමකට හේතුවෙන පැවැත්ම ඇති කරන සියලු වැටහීම්, වැරදි වැටහීම් වේ. ඒ අනුව නැවත ඉපදීමක් ඇති නොවන පරිදි යම් වැටහීමක් ඇත්නම් එය නිවැරදි වැටහීමකි
275. ගඟ මැද ගල
- පුද්ගල දෘෂ්ටිය යනු ගඟක් මැද පිහිටි ගලක් වැනිය. ගඟ යනු සසර ස්වභාවය වේ
- ගල නිසා ජලයේ කැළඹීම, දියසුළි, රැළි ආදිය ඇතිවේ. ගලෙහි නිරතුරුව ජල පහර වැදීම සිදුවේ. ජල පහර ඔස්සේ ගලා එන යමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම සිදුවන්නේද ගල මත පීඩනයක් එල්ල වීමයි
- ගල, පොළොව අල්ලාගෙන පීඩනයෙන් මිදීමට උත්සාහ කළත් පීඩනය නතර වන්නේ නැත. අන් ආකාරයෙන් ගලෙහි ඉරණම වී ඇත්තේ පීඩනය නැතහොත් දුක දරා ගෙන රැඳීමක් පමණි
- දුකට හේතුව වන්නේ ගල පැවතීමයි. එසේම දුක නොපැවතී ගලෙහි පැවැත්ම ඇතිවන ක්‍රමයක්ද නැත
- උපමාවකට ගැලපුවහොත් දියරැළි, දියසුළි සහ ජල පහර වැදීමෙන් ඇතිවන පීඩනය ආදී බලපෑම්ද තෘප්තියක් කර ගනිමින් වින්දනය කිරීමට ගල උත්සාහ කරයි
- නැතහොත් ජලය තුළ බැසගෙන තිබෙන ගල ජලයෙහි සිසිලස හෝ විඳිමින් තෘප්තියක් ලැබීමට උත්සාහ කරයි
- එලෙසම පුද්ගල ධර්මතාවය ද සිසිලස, උණුසුම, හිරු එළිය සහ ශරීර වේදනාව ආදී සියල්ලෙන්ම බැට කමින් ඒවා තුළින්ම යම් තෘප්තියක්ද සකස් කර ගැනීමට උත්සාහ කරයි
- සසර තුළ කිසිදු පරම වූ සැපක් නොමැත. වැසිකිලි කැසිකිළි කිරීම තුළ පවා අපහසුතාව පහවීමෙන් තෘප්තියක් ලබා ගැනීමට විඤ්ඤාණයට සිදුවී ඇත්තේ ඒ නිසාය
- බඩගින්නට බත් කෑම විසඳුම නොවේ. බඩගින්නට නැවත නැවත බත් කෑමෙන් බඩගින්න කිසි දිනක දුරු වන්නේ නැත. එසේම බත් කෑමෙහි අවසන් වීමක්ද නැත. පැවැත්මට සකස් වූ විසඳුම් තුළ ඇත්තේ ද බඩගින්නට බත් කනවා වැනි තාවකාලික නිෂ්ඵල බවකි
276. කටුක බව
- ඉගෙන ගැනීම කටුකය, නමුත් රැකියාවක් කිරීමට එය සිදුකළ යුතුය
- රැකියාව කටුකය, නමුත් වැටුපක් ලබා ගැනීමට එය සිදු කළ යුතුය
- වැටුපෙන් කළ හැකි වන්නේ කැමති දේ ගැනීම නොව තිබෙනා දෙයින් යමක් තෝරා මිලදී ගැනීමයි
- එයින් බඩගිනි වේදනාව, සීතල උණුසුම ආදී දුක්ඛයන්ගෙන් සම ආරක්ෂා කිරීම, ඇසෙහි ඇති රූප දැකීමේ පිපාසය දුරු කිරීම, සිතෙහි විඳීමේ පිපාසය දුරු කිරීම, දිවෙහි රසවිඳීමේ පීඩාව දුරු කිරීම ආදී ලෙස වේ
- අවසානයේ රැකියා ආදිය සිදු කිරීමෙන් සිදුවී ඇත්තේ නොයෙකුත් කායික මානසික පීඩා දුරු කිරීමක් පමණි
- අන් ආකාරයෙන් රැකියා සිදු කරන්නේ වේදනාවන් අඩුකර ගැනීමට මිස සැපතක් ලැබීමට නොවේ. සසර තුළ පවතින්නේ සැප සොයමින් දුක් විඳීමක්ය. සැප ලෙස හමුවන දෑ ද දුකට මගක්ය.
- තවද පැවිද්ද වුවද අපහසුය, කටුකය, දුක් සහගතය. ලෞකික ජීවිතය බොහෝ අපහසුය, බොහෝ කටුකය, බොහෝ දුක් සහගතය
- ඇසින් බාහිර දේ දැකිය හැකි වුවත් එළිපිටම ඇති ඇසට ඇස දැකිය නොහැකිය. ඇස දැකීම උපක්‍රම හෝ මානසික ක්‍රමයකින් සිදු කළ යුතුය. එලෙසම එළිපිටම තිබුණත් මට මම හමුවන්නේද නැත. එය ප්‍රඥාගෝචරව වෙර වීරියෙන් සිදු කළ යුතු කාරණයකි
- මේ දුක්ඛයන් දුරු කිරීමට මේ මොහොතේ ගනු ලබන තීරණ බොහෝ වැදගත්ය. එම තීරණ පිළිබඳව සිය දහස් වාරයක් වුවද විමසීමට වටින්නේය
277. නොපෙනෙන බලය
- ඔන්චිල්ලාවක් තල්ලු කළ විට ප්‍රතිචාර වශයෙන් එය නැවත අප කරා පැමිණෙන්නේ තරහව නිසා නොවේ. යම් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
- එලෙසම යම් පුද්ගලයෙකුට බැනීමක් සිදුකළ විට ආපසු බැනුම් ලැබෙන්නේද එවන් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
- ගුරුත්වාකර්ෂණයට වස්තුවක් ස්පර්ශ කිරීමෙන් තොරව බලපෑම් කළ හැකිය
- කාන්දමකට, විශේෂ ගුණ ඇති වස්තූන් කුලකයකට ස්පර්ශයෙන් තොරව බලපෑම් කළ හැකිය
- එලෙසම විඤ්ඤාණ අතරද බලයක් ක්‍රියාත්මක වන අතර විඤ්ඤාණයකට තවත් විඤ්ඤාණයක් විසින් බලපෑම් සිදුකළ හැකිය
- එලෙසම අමනුස්ස, ප්‍රේත, භූත, ඇස් වහ, කට වහ ආදී බලපෑම් ලෙස ක්‍රියාත්මක වන්නේය
- ගුරුත්වාකර්ෂණ බලය, කාන්දම් බලය ආදී ලෙසම කර්ම බලයද ක්‍රියාත්මක වන්නේය.
- ආයතන වලට ගෝචර දෑ සත්‍යය ලෙසද ආයතන වලට ගෝචර නොවෙන දෑ ආශ්චර්ය අද්භූත ලෙසද සැලකුවත් සියල්ල එක හා සමාන ලෝක ධර්මතාවයන්ය
- තවද ලෞකික කාරණා සඳහා නොදැන ගත් දේ තුළ වටිනාකම් ගොඩනැගෙන අතර දැනගත් විට එහි වටිනාකම දියවී යන්නේය. නමුත් ලෝකෝත්තරව කිසිවක වටිනාකමක්, නොවටිනාකමක් පැනවෙන්නේ නැත
278. සිහිය ඇත පුද්ගලයෙක් නැත
- ගසක් ප්‍රමාණවත් වැඩීමෙන් පසුව මල් දැරීම සිදුවේ. එය නියමිත කාලයේ නියමිත ස්ථානයේ සිදුවන්නේය
- එනම් ගස තුළ මනා සිහියක් පවතී
- තවද ගසක් මනා සිහියෙන් සියලු ගෙඩි කොළ අතු ආදියට පෝෂණය සපයයි. අතපසුවීම් මගහැරීම් සිදුවන්නේ නැත
- පොළොවට වැටෙන සෑම කොළයක්ම අමතක වීමෙන් තොරව දිරාපත් වන්නේය
- ව්‍යාධිය සිදු නොවුනහොත් සෑම පැළයක්ම ගසක් වන්නේය. පැලයකට වර්ධනය වීම අමතක වන්නේ ද නැත
- අඹ ගසක වැරදීමෙන් පැපොල් හටගන්නේ නැත. මනා සිහියෙන් යුතුව අඹ ගසෙහි අඹම හට ගන්නේය
- මෙලෙස මෙනෙහි කරන විට ඉර හඳ මහ පොළොව සුළඟ ගහකොළ ආදී සියල්ල තුළ සිහිය පවතින බව වටහාගත හැකිය
- එනම් පුද්ගල භාවය නොමැති වුවත් සොබා දහම තුළ සිහිය ක්‍රියාත්මක වන්නේය
- මේ ආකාරයෙන් මෙනෙහි කොට සිහිය පවතින බැවින් පුද්ගලයෙක් පවතී ආදී ලෙස පවතින දෘෂ්ටීන් බිඳදැමිය යුතුය
279. පාවහන් යුගල
- දෙපයට ආරක්‍ෂාව සලසන පාවහන් යුගල හිතමිත්‍රයන්ටත් වඩා සේවයක් සිදුකරයි
- පාවහන් මගින් කටු ගල් මුල් ආදිය මෙන්ම කුණු තැවරීම ලිස්සීම ආදියෙන්ද ආරක්ෂාව සලසාලයි
- නමුත් මේ සියල්ල සිදුවන්නේ පාවහන් පලඳා ඇති අවස්ථාවේ පමණි
- එලෙසම තථාගත ශාසනය තුළද සත්වයාගේ සැපය පිණිස නිර්වාණය පිණිස කමටහන් ලෙස පාවහන් යුගලක් ඇත
- කමටහන් යනු කෙටියෙන් ගතහොත් සිතට ආරක්ෂාව සලසන, නිර්වාණයට පමුණුවන ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදයන්ය
- නොයෙකුත් භාවනා ක්‍රම මෙන්ම වත්පිළිවෙත් ආදිය ද මෙනෙහි කළ යුතු ආකාරයන් ද කමටහන් ගණයට ඇතුළත්වේ. කමටහන තුළ සිත පවතිනතුරු සිතෙහි ආරක්ෂාව සිදුවේ
- දුක ආදියෙන් ආරක්ෂාව සලසයි. භවය තුළ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී සැපය ළඟා කරයි. සතර අපායට දොර වැසී යයි. නිර්වාණය පිණිස මාර්ගය සලසාලයි
- සිත කුඩා දරුවෙක් වැනිය. විටෙක තරවටු කළ යුතුය විටෙක නින්දා කළ යුතුය. අගය කිරීමෙන් ද සිත මෙල්ල කළ හැකිය. උදාහරණයක් ලෙස එක් මොහොතක හෝ කමටහන තුළ සිහිය පවතින්නේ නම් එය ඉතා අගය කළ යුතුය
- සංසාරයක් අසිහියෙන් සිටි මා හට එක් මොහොතක් හෝ සිහියෙන් සිටීමට හැකි විය, ආදී ලෙස මෙනෙහි කරමින් සිත නැවත නැවත දිරිමත් කළ යුතුය
280. හඬක් නැති වේදනාව
- මිනිසෙකුට යම් කරදරයක් වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
- සමහර සත්ව කාණ්ඩ වලටද යම් කරදරයක් වේදනාවක් ඇති වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
- එය මනුස්ස ආදී සත්වයින්ට පවතින බලයකි
- නමුත් ඇතැම් මාළුවන්, කුහුඹුවන් වැනි සත්වයින්හට තමන්ට කරදරයක් දුකක් පීඩාවක් දැනෙන විට කෑ ගැසීමේ හැකියාව, දුක ප්‍රකාශ කිරීමේ හැකියාව අකුසලය විසින් වසා දමා ඇත
- ප්‍රතිචාරයක් නොමැති බැවින් බලයෙන් වැඩි සත්වයන් හට හැඟී යන්නේ එම බලයෙන් හීන සත්ත්වයන් හට වේදනාවන් නොදැනෙන බවය
- එම නිසා ඔවුන්ගේ වේදනාවට හඬක් නැගීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. එනම් ඔවුන්ට ලැබෙන අනුකම්පාවට සීමාවන් පැනවී ඇත
- අන් අයගේ බලය හමුවේ සියලු වේදනාවන් දරාගෙන සිටීම ඔවුන්ගේ ඉරණම වී ඇත
- වැස්සක් වුවද ඔවුන්ට ලැබෙන්නේ මහා මුහුදක් ලෙසය. මඳ සුළඟ වුවද සුළි සුළඟක් ලෙස හමන්නේය
- එම නිසා බලයෙන් වැඩි අපගේ එක් සිතිවිල්ලක වෙනසින් බලයෙන් හීන සත්වයන්ගේ ජීවිත පවා නැසී යන බව සිහියේ තබා ගත යුතුය
281. රස්තියාදුකාර සිතිවිලි
- සිතෙහි සිතිවිලි රස්තියාදුකාරයන් වැනිය. ඕපාදූප කරේ තබාගෙන පැමිණ සිත තුළ කැලඹීමක් ඇතිකර පිටව යන්නේය
- සිතිවිල්ලක් තුළින් පුද්ගලයෙකුට විනාශයක් මිස යහපතක් සිදු නොවන්නේ ය. කුමන සිතුවිල්ලකින් වුවත් බොහෝ විට සිදුවන්නේ සසර දිගුවීම පිණිස හේතු සකස්වීම පමණි
- සිහියෙන් නොසිටියහොත් සිතිවිලි විසින් අනාගතයේ දුක පැමිණීම පිණිස කර්මයන් උපදවා පිටව යන්නේය
- සිතිවිලි ක්‍රියාත්මක වන්නේ සන්තතියක් ලෙසය. උදාහරණයක් ලෙස පැමිණි දුකක් පහව යන්නේ ක්‍රමානුකූලවය. තත්පරයෙන් තප්පරයට දුක සැප ලෙස උච්ඡාවචනය වීමක් සිදුවන්නේ නැත
- පුළුන් කැබැල්ලක් ඉහළ අහසෙහි තබා අතහැරිය විට වැටෙන්නේ කොතැනටදැයි නිශ්චිතව කිව නොහැක
- එලෙසම සිතිවිල්ලකට මෝහය මිශ්‍ර වූ විට ඉතා බලගතුය. කුමන විනාශයක් සිදුවේදැයි තක්සේරු කළ නොහැක
- උදාහරණයක් ලෙස මෝහයේ ප්‍රමාණය අනුව ප්‍රාණඝාතය, සියදිවි හානි කර ගැනීම, සොරකම ආදී ඕනෑම අකුසල කර්මයක් මහත් අකුසල කර්මයක් ලෙස සිදුවිය හැක
- නමුත් කාරණය සරලය. සිතිවිල්ලක් ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන එකම සිද්ධිය තුළ, ගැඹුරු කුඩා මෝහයක් පැවතීම මේ සියල්ලටම හේතුව වේමනුස්ස ජීවිතය වේගයෙන් නොයෙකුත් කඩඉම් පසු කරමින් මරණය කරා ළඟා වන්නේ ය. ලැබුණා වූ මනුස්ස ජීවිතයේ නිමාවත් සමග වැසිකිලියක් බඳු විඤ්ඤාණ ධර්මතාවයෙන් මිදීමට ඇති තවත් අවස්ථාවක් අහිමි වී යන්නේ ය
282. ධර්මය
- නූතන වෛද්‍ය ප්‍රතිකාර තුළ රෝගීන් හට, විවිධ ඖෂධ සහ නොයෙක් ප්‍රතිකාර ක්‍රම ඇත්තේය
- අයෙක් වචනයෙන් පවා සුව කළ හැකි ය. තවත් විටෙක ගෑමට, බීමට මෙන්ම එන්නත් ලෙසද බෙහෙත් නියම කරන්නේය
- තවත් අයෙකුට අතපය බැඳ දැමීම, තරවටු කිරීම සහ හිර කර තැබීම ආදී ක්‍රමවලින්ද සැත්කම් කිරීම් සහ බද්ධ කිරීම්ද වශයෙන් ප්‍රතිකාර පවතින්නේය
- එලෙසම ධර්මය වනාහී සංසාර රෝගය සුවපත් කරන ඖෂධයකි. අයෙක් දහම් වචනය ඇසුණු පමණකින් සුවය ලබන අතර තවත් අය සඳහා අනුගමනය කළ යුතු නොයෙකුත් උපක්‍රම ධර්මය තුළ සඳහන් වේ
- කමටහන් ලබාදී සුවපත් කිරීම පමණක් නොව, දඬුවම් ආදිය නියම කිරීම සහ නොයෙකුත් සීලයන් පනවා සිත සිරකිරීමද ධර්මයක්ම වේ
- ස්වයං ශික්ෂණය ඇති ශ්‍රාවකයා මෙම දඩුවම් වලට ද සීලයට ද යටත් වන්නේ ස්වකැමැත්තෙන්මය
- සිත කය පරිහරණය යනු එක්තරා ආකාරයකින් සැඟවුණු පාලක මැදිරියක් ඇති උපකරණයක් වැනිය
- ධර්මය යනු පාලක මැදිරිය කුමක්දැයි, එහි එක් එක් අයිතමය සතු හැකියාව, දුර්වලතාවය, එම පද්ධතිය යහපත සඳහා නොවන බව, මිදිය යුතු බව මෙන්ම මිදිය යුතු මාර්ගයද විස්තර සහිතව පෙන්වා දීමක් වැනිය
- වෙනත් ආකාරයකින් කිසිදා පරාජයට පත් නොවූ, ඔබට අපට දුක උරුම කිරීමේ ධර්මය වන *සක්කාය දිට්ඨිය* බිඳීමේ ආයුධය යනු අති ප්‍රභල වූ තථාගත ධර්මය යි
283. දැනගැනීම
- මේ සිත කය පරිහරණය තුළ දැනගැනීම යනු ලෝකය පැනවෙන ප්‍රධාන කාරණයකි
- යමෙක් මියගොස් ඇති අවස්ථාවක එය දැනගන්නා තුරු අපට මියගොස් නැත
- හැඬීම දෙඩීම පටන් ගන්නේ මියගිය මොහොතේ නොවේ. එය දැනගත් මොහොතේ ය
- අනෙක් ආකාරයකට කෙනෙක් මියගොස් නැත. නමුත් වැරදි තොරතුරක් මගින් එම කෙනා මියගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත
- එම මොහොතේ මිය යෑමක් සිදු නොවුනත් කණගාටුවට පත්වීම, හැඬීම දෙඩීම සිදුවන්නේය
- නිගමනය වන්නේ මිය යෑම සිදුවුවත් නොවුනත් දැනගැනීම සිදුවූ පමණකින් කෙනෙක් මිය යෑම නොයෑම තීරණය වන බවය
- ලෝකය තුළ කුමක් සිදුවුවද එය දැනගන්නා තුරු අපට එය සිදුවී නැත
- සිල්වත් අයකු දුස්සීල ලෙස දැනගතහොත් අපට ඔහු දුස්සීලය. අනෙක් කාරණා සඳහාද එසේමය
- අපට සංසාරය සකස්වීමට ප්‍රධාන හේතුව වන්නේද දැනගැනීම හෙවත් දෘෂ්ටිය පිරිසුදු නොවීමය. ඒ අතරින් ප්‍රධාන වන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඇත ලෙස සිදුවී ඇති දැනගැනීම හෙවත් සක්කාය දෘෂ්ටියයි
284. දැනගැනීම 2
- ජීවත්වීම යනු නොයෙකුත් දැනගැනීම් සමග සිදු කරන පොර බැඳීමකි
- එක් එක් දැනගැනීම සිදුවන්නේ අතීත මතකයන් නම් උපැස් යුවළ තුළින් ය
- එම මතකයන් වල ස්වභාවය අනුව දැනගැනීම දෘෂ්ටියක් වීම ද ඒ තුළින් ද්වයතාවයක් නිර්මාණය වීම ද සිදුවේ
- තවද පිළිකුල් දේ නොපිළිකුල් ලෙස, නොපිළිකුල් දේ පිළිකුල් ලෙස, සුභ දේ අසුබ ලෙස, අසුභ දේ සුභ ලෙස ආදී වශයෙන් වරද තුළ ද වරද සහගත බවක් ගොඩනැගී ඇතඑමගින් ඇතිවන සිතිවිලි පරම්පරා මගින් බොහෝ කර්ම සකස් වීම සිදුවේ
- රහතන් වහන්සේලාට ද, තථාගතයන් වහන්සේට ද තම අතීත වතගොත මතකයේ පැවතුණ බව අප අසා ඇත
- එනම් සිදු කළ යුත්තේ මතකයන් වෙනස් කිරීම හෝ මකා දැමීම නොවේ. ඒවා තුළ මුල් බැස ඇති පුද්ගල දෘෂ්ටිය ඉවත් කිරීම පමණි
- මම මගේ ලෙස යම් හැඟීමක් ඇත්නම් සියලු දුක්ඛයන්ට බීජය වන්නේ එයයි
- එම නිසා වඩාත් බිය විය යුත්තේ යක්ෂයන්ට, ප්‍රේතයන්ට, මරණයට, සතර අපාය ආදියට නොවේ. මම මගේ ආදී ලෙස සකස් වී ඇති සිතිවිලි වලටය
285. දැනගැනීම 3
- බුද්ධ ශාසනයේ ඇත නැත ආදී පැනවීම් සිදුවන්නේ බඹයක් පමණ වූ මෙම කයට (සිතද ඇතුලත්ය) සාපේක්ෂවය
- ඉර පෑයීම, සඳ පෑයීම, සුළං හැමීම, ගහ කොළ සෙලවීම ආදී බොහෝ දෑ ලෝක ධර්මතාවය තුළ සිදුවේ
- නමුත් මිහිපිට සිටියා වුවත් යම් හෙයකින් අයෙකුට ඒ පිළිබඳව දැන ගැනීමට නොහැකි විට ඔහුට ඒ දේවල් නැත
- ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇත්නම් ඔහුට ඒ දේවල් ඇත. බාහිර ඉර පෑයීම ඇතත් වඩා ප්‍රබල වන්නේ දැනගැනීම හෙයින් ඉර පෑයීමක් නැත ලෙස කිව හැකිය
- සතර අපාය ඇත සතර අපාය නැත ආදිය ද එවැනි කරුණකි
- සතර අපායට කර්මයක් සකස් වී නොමැති නම් හා හැකියාවක් ද නොමැති නම් ඔහු සතර අපාය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය නැත
- සතර අපායට කර්ම සකස් වී ඇත්නම් හෝ හැකියාවක් ඇත්නම් ඔහු එය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය ඇත
- මෙය හේතුඵල ධර්මයක් වන අතර සතර අපාය පැනවෙන්නේ විඤ්ඤාණයකට සාපේක්ෂවය
- විඤ්ඤාණ ලෙස ධාතුවක් ඇත්නම් ද එයට සතර අපායට කර්මයක් ඇත්නම් ද සතර අපාය ඇත, එසේ කර්මයක් නැත්නම් සතර අපායක් නැත
286. මිථ්‍යා දෘෂ්ටිය
- මිථ්‍යා දෘෂ්ටිය යනු සරලව වරදවා වටහා ගැනීමයි
- උපමාවක් ලෙස අඹ ගසක් සිටවා ඇති විට එය දෙල් ගසක් ලෙස වරදවා වටහා ගැනීමක් වැනිය
- දෙල් ගසක් යැයි සිතා අඹ ගසක් සිටවා දෙල් පැලේ ලක්ෂණ, දෙල් ගසේ ලක්ෂණ ආදිය ද අවසානයේ දෙල් ද බලාපොරොත්තුවේ
- නමුත් අඹ ගස දරන්නේ අඹ ගසේ ලක්ෂණය ය. එහි කිසි දිනක දෙල් හටගන්නේ නැත
- එම වරදවා වටහා ගැනීම නිසා ඉච්ඡාභංගත්වය, පසුතැවිල්ල, අනපේක්ෂිත දෑ සිදුවීම ආදී බොහෝ දුක්ඛයන්ට පත්වෙයි
- එලෙසම ලෝකයේ පුද්ගල භාවයෙන් තොර හේතුඵල ආදී යම් ධර්මයක් ඇති අතර එය වරදවා වටහා ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි
- පුද්ගල භාවයක් ගොඩනැගීම හේතුවෙන් කර්ම ආදිය සකස් වන අතර අනපේක්ෂිත ලෙස ජාති ජරා, ව්‍යාධි මරණයන් ට ගොදුරු වීම සිදුවේ
- නිවැරදි වැටහීම තුළ පුද්ගල භාවයක් නොමැති අතර ඒම අවබෝධය ඇත්නම් කර්ම සකස් වන්නේ නැත
- එවිට ඉපදීමක් සිදු නොවන අතර සංසාර දුක්ඛය ද අවසන් වීම සිදුවේ
287. හේතුඵල
- ගසක් මල් ගෙඩි ආදිය මෙන්ම අතු ඉති බෙදී ලස්සනට තිබුනත් ඒ පෙනෙන්නට ඇත්තේ හේතු සමුදායක එකතුවකි
- එනම් ජලයෙන් වාතයෙන් පසෙන් හිරු එළියෙන් පෝෂණය වන ගස යනු එම හේතූන් වල එක්තරා ස්වරූපයක් ලෙස දැක්විය හැකිය
- නමුත් එය හේතූන්ට හාත්පස වෙනස් භෞතික ලක්ෂණ පෙන්වයි
- හිරු එළියට පමණක් ගසක් සකස් කළ නොහැක. එනම් එක් එක් හේතුව තනි තනිව ගත්විට ඒවා සතුව ගසක් සකස් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් හේතූන් නියම පදමින් එක් වූ විට ගසක් හට ගැනීම සිදුවේ
- තවද සිදුවන්නේ කර්මයක් වුවත් එයට හාත්පස වෙනස් ලක්ෂණ ඇති ඇස කන දිව නාසය ආදී ශරීර කොටස් මෙන්ම සුඛ දුක්ඛ ආදී මානසික තත්ත්වයන්ද හට ගැනීම හේතුඵල ලෙස සිදුවන්නකි
- එක් හේතුව එක් ඵලය ලෙසද, එක් හේතුව ඵල රාශියක් ලෙසද, හේතු රාශිය එක් ඵලය ලෙසද, හේතු රාශිය ඵල රාශිය ලෙස ද හේතුඵල ගැලපීම සිදුකළ හැක
- එදිනෙදා ජීවිතය තුළ මේවා සිදුවන ආකාරය ඝන මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා දැකීමට උත්සාහ ගත යුතුය. පුහුණු කළ යුතුය.
- එවිට හිතන ආකාරය වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන අතර එහි ඵලයන් ලෙස කැමැත්ත පාලනය වීම සිදුවේ
- මේ ආකාරයෙන් වැරදෙන සෑම අවස්ථාවකම සිත ධෛර්යමත් කරමින් පුරුදු පුහුණුව සිදු කරන විට ශක්තිමත් ලෙස සම්මා දිට්ඨිය වර්ධනය වීම සිදුවේ
288. සමබරතාවය
- බතක් පිසීමේ යම් ක්‍රමයක් සහ එම ක්‍රියාදාමයේ යම් සමබරතාවයක් ඇත
- හාල්, වතුර සහ ගින්දර ආදී අමුද්‍රව්‍ය එකම වුවද සිදු කරන ක්‍රියාවලිය තුළ ලැබෙන ප්‍රතිඵල වෙනස්ය
- හාල් මුලින් දමා ගින්දර වැඩි කොට අවසානයේ වතුර දැමීමෙන් බත් ලැබෙන්නේ නැත
- අඩු වැඩි නොවූ වතුර, අඩු වැඩි නොවූ ගින්දර ආදී සමබරතාවය වැටහෙන්නේ කාලයක් බත් පිසීමෙන් ලද පළපුරුද්දේ ප්‍රතිඵලයක් ලෙසය
- ලෞකික ලෝකෝත්තර සමබරතාවය වැටහෙන්නේද ඒ ආකාරයෙන් කාලයත් සමඟය
- බත් පිසීමේ කාලයක් නිරත වූ අයෙකුට බත උතුරන හඬින් බතෙහි ස්වභාවය ප්‍රකාශ කළ හැකිය
- එලෙසම ධර්ම ප්‍රතිපදාවේ කාලයක් නියැලුණ අයෙකුට සිත හැසිරෙන ආකාරයෙන් සිදුවන්නේ කුමක්දැයි වැටහෙන්නේය
- ලෞකික ජීවිතයට සිරවී ඇත්තේ නොයෙකුත් බැඳීම් මගින්ය. බැඳීම් යනු හුදෙක් සිතුවිලි සමුදායක් පමණි. එනම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ සිතිවිලි වලටමය
- සිතිවිල්ල යනු භෞතික දෙයක් හෝ ඉසිලිය නොහැකි බරක් හෝ නොවේ. එය හුදෙක් සිතිවිල්ලක් පමණක් වන බව වටහා ගත යුතුය
289. වේගය සහ ක්ලේශය
- වේගය යනු අප නොසිතන ලෙස ක්ලේශයන් හා බැඳී ඇති ධර්මතාවයකි
- උදාහරණයක් ලෙස යම් කාන්තාවක්, පුරුෂයෙක් ගමන් කරන වේගය සිය ගුණයකින් වැඩි කළ විට හෝ අඩු කළ විට කැමැත්තක් ගොඩනැගෙන්නේ නැත
- අනන්ත ලෙස වේගය අඩු වැඩි කළ හැකි වුවත් ඉතා කුඩා වේග සීමාවකට පමණක් කැමැත්ත ඉපදීම සිදුවේ
- ෆිල්ම් එකක් වුවද කිහිප ගුණයකින් වේගය වැඩිකර හෝ අඩුකර නැරඹූ විට ඒ තුළ කිසිදු රස විඳීමක් හටගන්නේ නැත
- ඉර හඳ ගමන් කරන වේගය සුළඟ වැස්ස ආදී ධර්මතාවල ද ලස්සනක් කැමැත්තක් ඇතිවන්නේ එක්තරා වේග සීමාවකට පමණි
- කන අනුබද්ධයෙන් ගතහොත් යම් සින්දුවක් වැඩි වේගයකින් හෝ අඩු වේගයකින් ශ්‍රවණය කළ විට එහි රසයක් උපදින්නේ නැත. අනෙක් ආයතන සම්බන්ධව ද එසේමය
- මෙලෙස ක්ලේශයන් සහ වේගය අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීම පිණිස පරීක්ෂණ සිදු කළ යුතුය
- වේගය ක්‍රමානුකූල ලෙස අඩුකරමින් වේගය ක්‍රමානුකූලව වැඩි කරමින් කැමැත්ත වෙනස් වන ආකාරය මානසික පරීක්ෂණයක් ලෙස සිදුකළ යුතුය
- මෙම විදර්ශනාව කැමැත්ත මෙල්ල කිරීම පිණිස ප්‍රයෝජනයට ගත හැකි අගනා වටිනා තවත් විදර්ශනාවකි
290. අවශේෂ වන බැඳීම
- පැලයක් සිටවූ පසු එහි පැවැත්ම සිදුවන්නේ පොළව සමග බැඳීම යන කාරණය මතය. එහි පැවැත්ම ඇතිවීමට නම් පොළව තව තවත් අල්ලා ගත යුතුය
- කොපමණ පොළොව සමග බැඳුනත් යම් දිනෙක සියලු බැඳීම් බිඳ වැටී පොළොවටම ඇද වැටෙන ඉරණම ද එය සතුව ඇත
- සෑම බැඳීමකම සැඟවුණු ප්‍රතිලාභ අපේක්ෂාවක් ඇත. ගසක් වුවද බැඳීම සිදු කරගන්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභ ද සලකාය. හොඳින් පෝෂණය ඇති ප්‍රදේශයට වැඩි ප්‍රමාණයක් මුල් ඇදීම උදාහරණයකි
- මුහුදු ජලය මුහුදු ජලය සමඟ බැඳී ඇත ලෙසද, බැඳී නැත ලෙසද හේතු සාධක ඉදිරිපත් කළ හැකිය.මෙවැනි උදාහරණ ඔස්සේ විදර්ශනාව ගෙනයන විට බැඳීම යනු පැනවිය නොහැකි දෘෂ්ටියක් බව තහවුරු වනු ඇත
- අප නෑදෑ හිතවතුන් ඥාති මිත්‍රයන් යාළුවන් ආදීන් හා බැඳී ඇති ලෙස පෙනුනද ඇත්තෙන්ම එම බැඳීම් වාසියට ම සකස් වූ ප්‍රපංචයන්ය
- සොයා බැලුවහොත් හමුවන්නේ බැඳී ඇතැයි, බැඳී නැතැයි ලෙස වරදවා වටහා ගත් සිතිවිලි සමුදායක් පමණි
- ලෝකය තුළ කිසිවක් කිසිවකට බැඳී නොමැත. කිසිවක් කිසිවකට නොබැඳී ද නොමැත
- පවතින්නේ හේතුඵල සබඳතාවයක් වන අතර එයද එක්තරා සිතිවිලි සමුදායක් පමණි. සම්මා දෘෂ්ටිය ද එක්තරා දෘෂ්ටියකි. නමුත් එය දෘෂ්ටීන් අතුරෙන් අඩුම හානිය ඇති දෘෂ්ටියයි
- ලණුවක් පමණක් අතැතිව ඇතැයි පැවසුවද පසුපස හරකා පැමිණෙනවා සේ බැඳීමක් ඇති විට බැඳීම පසු පස ඒකාන්තයෙන් දුකද පැමිණෙනු ඇත
291. වචනයෙහි බර
- ගලක් පොළොවෙහි බොහෝ කාලයක් රැඳී පවතින්නේ එය සතු බර නිසාය. නැතහොත් වැස්ස, සුළඟ වැනි බාහිර බලපෑම් හමුවේ ගසාගෙන යෑමක් සිදුවේ
- එලෙසම නිවන් මාර්ගයේ ගමන් ගන්නා අයෙකුගේ වචනයෙහි අර්ථවත් බවින් යුක්ත බරක් තිබිය යුතුය
- සිතෙහි නොනැවතී ඇතිවන සිතිවිලි නිසා හටගන්නා වචන නම්වූ සුළඟ, තම වාසිය නම්වූ වැස්ස හමුවේ ගසාගෙන යෑම සිදු නොවිය යුතුය. එසේ වීමට නම් වචනයෙහි බර තිබිය යුතුය
- කෙසෙල් ගසක පතුරු ගැලවෙනවා මිස එහි හරයක් හෝ ප්‍රයෝජනයට ගත හැකි අරටුවක් නැත
- එලෙසම පිටවන වචන වල අර්ථය සලකා බලන විට ඇත්තේ කිසිදු හරයක් නොමැති වචන සමූහයක් පමණි. තමන්ට හෝ අනුන්ට කිසිදු යහපතක්ද වී නැත. අවසානයේ සිදුවී ඇත්තේ කර්ම රැස්වීම තුළින් දීර්ඝ සසරක් උරුමවීම පමණි
- දහයියාද ඈත සිට බලන කල වී ලෙස පෙනුණත් සොයා බලන විට ඇතුළත හිස්ය. බරක් නොමැත. හිස් වචන ලෙස හඳුන්වන්නේද එම වචනවල බරක් නොමැති නිසාය
- තථාගතයන් වහන්සේගේ එක් වචනයක පවා සිතාගත නොහැකි, මැනිය නොහැකි අප්‍රමාණ බරක් ඇත
- එම වචන තවමත් නොසෙල්වී පවතින්නේ ඒවායේ ඇති බර නිසාය. කිසිදු බාහිර බලපෑමක් හමුවේ ගසාගෙන යන්නේ නැත
- නිවන් මාර්ගයේ ගමන් කරන අපගේද වචන වල යම් බරක් පැවතිය යුතුය. එය බුද්ධ ශ්‍රාවකයෙක් සතු විය යුතු අගනා ගුණයකි
292. ප්‍රශ්න
- ගිහි ජීවිත ගතකරන සාමාන්‍ය මිනිසුන්ට බරපතල ප්‍රශ්න ලෙස පෙනෙන්නේ සහ දැනෙන්නේ ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න සහ දේශපාලන ප්‍රශ්න ආදියයි
- මේවා නිට්ටාවටම විසඳිය හැකි ප්‍රශ්න නොවන අතර යම් විසඳුමක් ලැබුණත් ඒවා තාවකාලිකව යොදනු ලබන පැලැස්තර වේ
- කායිකව ඇතිවන ලෙඩ රෝග වල පීඩාව මේ අතරින් ඉතා ප්‍රබල ප්‍රශ්නයකි. බොහෝ විට එහි පීඩාව හඳුනන්නේ එයින් අසරණ වූ පිරිස පමණකි. අදාල රෝගයට නියමිත ඖෂධ ලබාගන්නා නමුත් නැවත රෝග ඇතිවීම, විසඳිය නොහැකි ප්‍රශ්නයකි
- බොහෝ රෝගීන් සහ රැකී රක්ෂා කරමින් ඉඩකඩම් දේපළ රැස් කරන්නන් තුළ පවතින සිතිවිල්ලක් වන්නේ දිනෙක සියලු ලෙඩ රෝග සුවවී තම හිතෛෂීයන් සමග රැස්කළ ධනය භුක්ති විඳිමින් සතුටින් සිටීමට කාලයක් එළඹේ යන්නයි
- එය සිතිවිල්ලක්ම මිස කිසිදිනක ඉටුනොවන කාරණයකි. අතීතයේද එලෙස සිතූ කිසිවෙකුට සතුටින් ජීවත්වීමට නොහැකි වූ අතර සියලු රැස්කිරීම් හුදෙක් ජීවත් වීමට ගත් උත්සාහයක්ම පමණක් විය
- නමුත් බඩගින්න, පිපාසය, පිරිසිදු කිරීම් සහ කායික නඩත්තුව ප්‍රශ්න ලෙස නොගැනුණත් අරගල කළ යුත්තේ එම ප්‍රශ්න වලට එරෙහිවය. නමුත් ඒවාද විසඳීමෙන් අවසන් වන ප්‍රශ්න නොවේ
- මෙම සියලු ප්‍රශ්නවල උත්පාදකයා වන මානසික ප්‍රශ්නය නිවැරදිව මෙනෙහි වීමෙන් අවබෝධයට පත් සිහිය ඇති පුද්ගලයෙකුට ලේ වමනය පිටවන්නේය
- අයිතියක් පැනවිය නොහැකි, පාලනය කළ නොහැකි, ක්ෂණිකව කර්මයන් උත්පාදනය වන, දුකින්ම උපන් සහ දුකම උපදවන මෙම තුච්ච නින්දිත සිත අත්හැරීමට සිත් පහළ විය යුතුය
- මේ සඳහා සතර සම්‍යක් ප්‍රධාන ධර්මතාවය අනුගමනය කර වීර්යය වඩමින් කෙලෙස් දුරු කිරීම පිණිස එදිනෙදා කටයුතු උපක්‍රමශීලීව වෙනස් කළ යුතුය
293. ජංගම දුරකථනය
- මනසේ පැවැත්මට අඛණ්ඩව පෝෂණය සපයන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි. සංක්ෂිප්ත ලෙස ගතහොත් නොයෙකුත් දැනගැනීමි ලෙස ගත හැක
- ශරීරයට ආහාර ලබා දීමෙන් පෝෂණය වන්නා සේ වර්තමානයේ මනස, නිරතුරුව දැනගැනීම් වලින් පෝෂණය වන්නේ ජංගම දුරකථනය මගිනි
- නවීන තාක්ෂණය අනුව ලෝකයේම ඇති ප්‍රශ්න තෝරා බේරා ගැනීමකින් තොරව ක්ෂණිකව මනසට ඇතුල් කිරීමට ජංගම දුරකථනය සමත් වීම නිසාම අද බොහෝ මිනිසුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත
- මෙය එක්තරා ආකාරයකට මනසට සමානය. මෙයට නොයෙකුත් තොරතුරු ලැබෙන අතර තොරතුරු ලැබෙන ආකාරය ඔප්පු කිරීම අපහසුය.
- ලැබෙන තොරතුර දැනගැනීම පමණක් සිදුකළ හැකිය. තමන් කැමති තොරතුරුම එයින් නොලැබෙන්නේය. මෙලෙස මෙනෙහි කරමින් මේ තුළින් අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ආදී ලක්ෂණ මතු කළ යුතුය
- මෙයින් බොහෝ විට ආදීනව ලෙස රාග, ද්වේශ වැඩිවීම සහ පැවැත්ම පිණිස කර්ම සකස් වීම සිදුවේ
- විදුලි බලය හරි ආකාරව සම්බන්ධ කරන්නේ නම් විශාල ප්‍රයෝජනයක් ගත හැකි අතර නැතහොත් ගිනි ගැනීම් ආදිය ඇතිවී ජීවිතය පවා තොර වීම සිදුවන්නේය
- එලෙසම ජංගම දුරකථනය භාවිතා කරන ආකාරය අනුව නිවන මෙන්ම නිරයටද මාර්ගය සකසා ගත හැකිය
- මේ ආකාරයෙන් ජංගම දුරකථනය විදර්ශනා කළ හැකිනම් එයින්ද නිවන උදෙසා විශාල ධර්මයක් මතුකර ගත හැකිය
294. රැවටීමෙන් උපන් ආයතන
- අපට බාහිර වස්තු ත්‍රිමාණ ලෙස දර්ශනය වීම සිදුවුවත් ඇස අනුබද්ධයෙන් ගතහොත් රූපයක් දුටු විට ලැබෙන තොරතුර බාහිර පිට පොත්ත හා සම්බන්ධ දෙයක් පමණි
- උදාහරණයක් ලෙස පුද්ගල රූපයක් දකින විට ශරීරයේ දෙතිස් කුණපය අතරින් කෙස්, ලොම්, නිය, දත් සහ සම් (තච පංචකය) ලෙස කුණප පහක් පමණක් මූලිකව දර්ශනය වේ
- ඒවා ඇසට හසු වන්නේ වර්ණ සටහන් ලෙසය. ඇත්තෙන්ම බාහිර ආලෝක ප්‍රභවයට සාපේක්ෂව ඇස තුළ හටගන්නා වර්ණ සටහනකි
- එම වර්ණ සටහනට නොයෙකුත් තොරතුරු එක්කොට හැඩ වැඩ දමා පුද්ගලයකු ලෙස, දෙයක් ලෙස මවා පෙන්වන්නේ සිත මගින්ය
- මෙය උපමාවක් ලෙස තමන්ගේ පවතින හිස රුදාවකට වෙනත් අයෙකුගේ හිස ද නොව, කිසිදු සම්බන්ධයක් නැති ඔහුගේ කකුල පිරික්සීමක් වැන්නකි
- ඇසෙහි හට ගන්නා ඡායාව නිරීක්ෂණය කර ඒ තුළ භෞතික වස්තුන්, සත්වයන් පුද්ගලයන් ඇතැයිද එම වස්තූන් බාහිරව ඇතැයිද පැවසීම බොරුව තුළ බොරුවක් ගොඩනැගීමකි
- තවද එසේ හටගන්නා වර්ණ සටහන ඒ ආකාරයෙන්ම ඇති කළහැකි බාහිර උපකරණයක් ඇත්නම් කිසිදු ආයාසයකින් තොරව ඇස රැවටිය හැකිය. ඒ අනුබද්ධයෙන් රාග, ද්වේශ මෙන්ම නොයෙකුත් කර්මයන්ද හට ගැනීම සිදුවේ
- තවද ඇසට හසු වන රූපයේ දර්ශන මාත්‍රයකින් වුවද ඇසීම, දැනීම සහ සුවඳ ආදී එහි ස්වභාවයන් මෙම මායාකාරී විඤ්ඤාණයට මවා පෙන්විය හැකිය
- මුලාවක් නොමැතිව ඇස පවතින්නේ නැත. මක්නිසාද ඇස උපදින්නේද මුලාවෙන්මය. අනෙක් ආයතන සම්බන්ධවද එසේමය. විදර්ශනාව පිණිසය
295. තනි රූල් කොලය
- පෙනෙන රූපය එකම වුවද සිතන ක්‍රමය අනුව එහි වටිනාකම වෙනස් වේ
- මානසික පරීක්ෂණය: තනි රූල් කොළයක් උදාහරණයට ගනිමු. පස් වල පෝෂණය උරා සකස්වන ගස් අන් ආකාරයෙන් පස්මය. ගස් කැබිලි කොට කුඩු කොට සකස් කරන කඩදාසි ද අන් ආකාරයෙන් පස්මය
- කඩදාසි කොලය යනු ඇසෙහි සටහන් වන වර්ණ ඡායාවක් පමණි
- ඇසෙහි පෙනීම, කයෙහි දැනීම නැතිනම් කඩදාසි කොලය මනස තුළට ඇතුල් වන්නේ නැත. එනම් කඩදාසි කොලය යනු ඇස කය ඇත්නම් පවතින නැත්නම් නොපවතින කාරණයකි
- කඩදාසි කොලයේ දිග පළල අතර අනුපාතය වෙනස් වන විට කඩදාසි කොලයක් පැනවීමට නොහැකි අවස්ථාවක් පැමිණේ. එය අතුරුදහන් වී, එවිට කඩදාසී තීරුව යන්නක් හටගනී. එනම් මෙහි යම් මායාකාරී භූත ස්වභාවයක් ඇත
- ආලෝකය නැත්නම් මනස තුළ කඩදාසි කොළයක් හට නොගනියි. එනම් කඩදාසි කොලය යන්න තුළ ආලෝකයේ ද සම්බන්ධයක් පවතී
- කඩදාසි කොලයක් දැකීමට අප ඉපදී තිබිය යුතුය. එනම් ඉපදීමට අතීතයේ යම් කර්මයක් කර තිබිය යුතුය. එනම් කඩදාසි කොලය දැකීම යනු කර්ම විපාකයකි
- කඩදාසි කොලය හඳුනා ගැනීමට ඇගේ ශක්තිය තිබිය යුතුය. ආහාර නොගෙන සිටි දුර්වල අවස්ථාවක කඩදාසි කොලය හඳුනාගත නොහැක. එනම් කඩදාසි කොලය යන්නෙහි ජලය ආහාරය ආදියෙහි ද සම්බන්ධයක් ඇත
- මෙලෙස නොයෙකුත් අරමුණු නොයෙකුත් ආකාරයෙන් බලමින් වටිනාකම වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න. විදර්ශනාව පිණිසය
296. තනි රූල් කොලය 2
- තනි රූල් කොලයේ වටිනාකම නීරෝගීබවට සාපේක්ෂය. වයස්ගත මරණාසන්න පුද්ගලයෙකුට හෝ ශාරීරිකව ඉතා දුර්වල, කිසිවක් කරකියා ගත නොහැකි අයෙකුට එහි වටිනාකමක් නැත
- තනි රූල් කොලයක වටිනාකම වයසට සාපේක්ෂවද වෙනස් වේ. ඉගෙන ගන්නා දරුවෙකු එයින් බොහෝ ප්‍රයෝජන ගන්නා අතර කිරි බොන ළදරුවෙකුට එය සෙල්ලම් කිරීමට ලැබුණු තවත් එක් දෙයක් පමණක් වනු ඇත
- එහි වටිනාකම ක්‍රියාකාරී ස්ථානයටද සාපේක්‍ෂය. පිහිනුම්කරුවෙකුට හෝ කිමිදුම්කරුවෙකුට තනි රූල් කොලයෙන් ඇති පලක් නැත
- රැකියා ස්වභාවය අනුවද තනිරුල් කොලයේ වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ
- තනි රූල් කොලය ඇසෙහි පෙනීමෙහි දුර්වල කමට සාපේක්ෂය. ඇසේ බොහෝ විභේදන හැකියාව තිබුණේ නම් එහි ඇති අංශු කොටස් හොඳින් නිරීක්‍ෂණය වීමෙන් එය කඩදාසියක් නොවන බව අවබෝධ වනු ඇත
- උප්පත්ති භූමියට අනුවද තනි රූල් කොලයේ වටිනාකම තීරණය වන අතර කුහුඹුවකු, ගැඩවිලෙකු මෙන් තිරිසන් සත්වයින්ටද අපායගාමී නිරිසතුන්ටද කඩදාසි කොලයක වටිනාකමක් නැත
- ලිවීමට, එතීමට, ගිනි දැල්වීමට, පිහදැමීමට සහ වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීමද අනුව ප්‍රයෝජනයට ගන්නා කාරණය මත කඩදාසි කොලයේ වටිනාකම වෙනස් වේ
- ළඟ දුර අනුවද වටිනාකම වෙනස් වේ. ඉතා දුර ඇති කඩදාසි කොලයක වටිනාකම අඩු අතර සාපේක්ෂව ළඟ ඇති කඩදාසි කොලයක වටිනාකම වැඩිය
- මේ ආකාරයෙන් මෙනෙහි කරන විට එකම තනි රූල් කොලයේ වටිනාකම සාපේක්ෂ බවද, අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ලක්ෂණ ඇති බවද හේතුඵල න්‍යායක් බවද වැටහෙනු ඇත
297. තනි රූල් කොලය 3
- තනි රූල් කොලය ලෙස එක් හැඳින ගැනීමක් ඇති විට සම්මුතියේ තවත් බොහෝ හැඳින ගැනීම් එම විඤ්ඤාණය සතු බවද එයින් කියැවේ
- එය විශේෂයෙන් තනි රූල් කොලය ලෙස ප්‍රකාශ කිරීමට අනිත් ඒවා ද හඳුනාගෙන තිබිය යුතුය. නැතිනම් එය තනි රූල් කොළය ලෙස වෙන්කර හඳුනා ගැනීමට නොහැක.
- තනි රූල් කොලය යනු වචනයකි. එම වචනය තනි රූල් කොලය නම් භෞතික වස්තුව හා සම්බන්ධ කර ඇත්තේ මනස විසින්ය
- බහ තෝරන අවධියේ මව සහ පියා විසින් තනි රූල් කොලයට කොටු රූල් කොලය ලෙස ඉගැන්වූයේ නම් දැන් එහි හඳුනාගැනීම කොටු රූල් කොලයක් ලෙස වේ
- තනි රූල් කොලය ලෙස ඇසුණු විට මනස තුල මැවෙන්නේ වර්ග කිලෝමීටරයක් තරම් විශාල ප්‍රමාණයේ හෝ වර්ග සෙන්ටිමීටරයක් තරම් කුඩා ප්‍රමාණයේ කොලයක්ද නොවේ. එනම් මනස තුළ තනිරූල් කොලය ලෙස පෙරදී දැක හඳුනා ගත් ප්‍රමාණයන් සහ සීමාවන් ඇත
- කුඩා කොලයේ සිට විශාල කොලය දක්වා ක්‍රමානුකූලව වැඩි කරගෙන යන විට මනසෙහි තනි රූල් කොලය ලෙස හැඳින ගැනීම තුළ සැඟවුණු යම් ධර්මයක් මතු කර ගත හැක
- තනි රූල් කොළය හැඳින ගන්නා ක්‍රමය අනුව වටිනාකම තීරණය වේ. ඒ අනුව කැමැත්තක් හෝ අකැමැත්තක් උපදී. ඒ අනුව උපාදාන වීමෙන් කර්ම සකස්වීම සිදුවේ
- කර්ම සකස්වීම ඉතා අඩු ආකාරයෙන් සහ සිතේ නිවීම ඇති කරන වඩාත් නිවැරදි දැකීමේ ක්‍රම හඳුනාගත යුතුය. එලෙසම ප්‍රගුණ කළ යුතුය
- ඒවාද සම්මා දිට්ඨීන් වන අතර තවදුරටත් ප්‍රඥාව වැඩීමෙන් දැකීමේ ක්‍රමය සියුම් වන විට නැවත ඉපදීමට හේතු සකස් නොවන දැකීමේ ක්‍රමයක් උපදවා ගත හැකිය
298. තනි රූල් කොළය 4
- තනි රූල් කොලය කිසි දිනක දැකිය නොහැකි භෞතික වස්තුවකි. දැකිය හැක්කේ දෘෂ්ටිවිතානය මත සැකසුණු ප්‍රතිබිම්බයක් පමණි
- මම දකින තනි රූල් කොලය මගේ ඇසෙහි ඇති පෙනීමේ ස්වභාවයට, දුර්වලතාවයන්ට සහ දෝෂ වලට සාපේක්ෂය. වෙනත් අයෙකුට පෙනෙන ආකාරයද එම පුද්ගලයාගේ ඇසට සාපේක්ෂය
- මම දකින තනි රූල් කොලය යනු ඇත්තෙන්ම මගේ දෘෂ්ටිවිතානයේ සැකසී ඇති ප්‍රතිබිම්බයයි. එය වෙනත් කිසිවෙකුට දැකීමට හෝ මෙලෙස යැයි පෙන්වීමට නොහැක
- වෙනත් අයෙකුට මගේ දෘෂ්ටිවිතානය තුළ ඇති තනි රූල් කොලයේ වර්ණ සටහන දැකිය හැකි නම් අවම වශයෙන් මම දැකපු තනි රූල් කොලය දැක ඇතැයි කිව හැකිය
- තනි රූල් කොලය යනු තින්ත කඩදාසිය හෝ සුදු පාට හෝ එහි හැඩය නොවේ. ඒවා නිසා ඉපදී ඇති භූත ලක්ෂණ ඇති රූපයකි
- කඩදාසි කොලය කුඩා කොටස් වලට ඉරූ විට එයින් කඩදාසි කැබලි හට ගනී. කඩදාසි කොලය කඩදාසි කැබලි වල නොමැත. නමුත් හේතු සකස් වූ විට හට ගැනීමේ හැකියාව ඇත
- කඩදාසි කොලය යනු අතීතයේ නොතිබුණු, වර්තමානයේ තිබෙන අනාගතයේ නැවත නැතිවෙන ධර්මතාවයකි. එහි මායාකාරී ලක්ෂණ පවතී
- එකම කඩදාසි කොලයේ ස්වරූපය වෙනස් කළ විටද නම සහ වටිනාකම වෙනස් වේ. කඩදාසි කොලය ගුලි කළ විට කඩදාසි කොළය අහෝසි වී කඩදාසි ගුලියක් මතුවේ. රෝල් කල විට කඩදාසි බටයක් මතුවේ
- මේ තවත් මෙනෙහි කළ හැකි පැතිකඩයන්ය. මෙම කාරණා ඔස්සේ ද තවදුරටත් විදර්ශනා කළ හැකිය
299. තනි රූල් කොලය 5
- ත, නි, රූ, ල් ආදී කිසිදු අකුරක නැති අර්ථයක්, සම්මුතියේදී එම අකුරු කිහිපය එකතු වූ විට ලැබීම සඳහා පදනමක් නැත
- කඩදාසි කොලය දරාගෙන සිටින්නේ අවකාශ ධාතුවයි. හඳුනා ගන්නේ විඤ්ඤාණ ධාතුවයි. කඩදාසි කොලය ලෙස යමක් ඇත්නම් එහි අවකාශ ධාතුවක ද විඤ්ඤාණ ධාතුවක ද සම්බන්ධයක් තිබී ඇත
- සියල්ල දරාගෙන සිටින අවකාශ ධාතුව වැඩිම ධාරිතාවක් ඇති ධාතුවයි
- කඩදාසි කොලය තුළ ඇත්තේ පඨවි ධාතුව පමණක්ම නොවේ. ආපෝ, තේජෝ සහ වායෝ ධාතූන්ද අන්තර්ගත වේ. පඨවි ධාතුව පවතින ප්‍රමාණයේ ප්‍රතිශතය අනෙක් ඒවාට සාපේක්ෂව වැඩි නිසා එහි පඨවි ස්වභාවය වඩාත් ඉස්මතු වේ
- රළු මට්ටමින් සියලු භෞතික වස්තුන් යනු පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ධාතූන්වල නොයෙක් අනුපාතයන්ගේ මිශ්‍රවීමක්ය
- එය සවිස්තරාත්මකව ප්‍රකාශ කරන විට වර්ණ, ගන්ධ, රස සහ ඕජා ආදියද තවදුරටත් අවකාශ ධාතුව සහ විඤ්ඤාණ ධාතුවද එකතු වේ
- මේ සියල්ලම විඤ්ඤාණයක් විසින් හඳුනාගන්නා දේවල් පමණි. එනම් මෙම ධාතූන් විඤ්ඤාණයකට සාපේක්ෂ ධර්මතාවයන් පමණි
- පිරිනිවීමේදී විඤ්ඤාණය නිරෝධ වන බැවින් හඳුනා ගැනීමද නිරෝධ වේ. එනම් හඳුනා ගැනීමට සාපේක්ෂව වූ සියලු ධර්මතාද නිරෝධ වේ
- එනම් පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ආදී ධාතූන් නිරෝධ කිරීමෙන් හෝ හැඳින ගැනීමෙන් අවසානයේ සිදුවන්නේ එකම කාරණයකි. එම නිසා හැඳින ගැනීම අනුබද්ධයෙන් ලෝක නිරෝධය කිරීම නිවන් මාර්ගයේදී සිදු කෙරේ
300. තනි රූල් කොලය 6
- අනෙක් ඕනෑම ආයතනයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් සිතට ඇත
- උදාහරණයක් ලෙස තනි රූල් කොලය ලෙස සිතින් මෙනෙහි කරන විට එය මස් කනෙහි සම්බන්ධයකින් තොරව ඇසීම සිදුවේ. සිහිනයක් දැකීමේදී සිදුවන අත්විඳීම් තවත් උදාහරණයකි
- ගිනි කූරක් දැල්වීම තුළින් ගිනිදැල්ලක් මතුවන්නා සේ තනි රූල් කොළයක් ඇසට පෙනුණු විට ඒ පිළිබඳ තොරතුරු සියල්ල ක්ෂණිකව මතුවේ
- ගිනිදැල්ල කොහේ හෝ සිට පැමිණියා හෝ මැවුනා නොවේ. හේතු ඇතිවූ තැන ඉපදුණු ධර්මයකි
- ඇසෙහි ගෑවෙන ලෙස තනි රූල් කොලයක් තිබුණොත් එය හඳුනාගත නොහැක. එය කිලෝමීටරයක් පමණ ඈතින් තිබුණත් තනි රූල් කොළයක්දැයි හඳුනාගත නොහැක
- හඳුනා ගැනීම ඇති වන්නේ පෙනෙන සීමාව තුළ වස්තුව තිබුණහොත් පමණි. එනම් ක්ලේශයක් ඉපදවීමට වස්තුව පවතින දුරෙහිද සෘජු බලපෑමක් පවතී
- ජාති, ජරා, ව්‍යාධි මරණ යනු තනි රූල් කොලයට ද පොදු වූ ධර්මතාවයකි
- තනි රූල් කොලය, තනි රූල් කොලයක් වන්නේ අනෙක් ඒවා තනි රූල් කොල නොවූ නිසාය
- තනි රූල් කොලය යනු බොහෝ පිරිසකගේ දුකෙහි ප්‍රතිඵලයකි
301. තනි රුල් කොලය 7
- තනි රූල් කොලය තුළ මුළු ලෝකයම අන්තර්ගත වී ඇත
- එම කඩදාසි කොලය තුළ, එය නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආදිය සපයන්නන් සහ කඩදාසි නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයන්ගේ දුක අන්තර්ගත වේ
- එය නිර්මාණය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, මෙවලම් සහ උපකරණ ආදිය නිෂ්පාදනය වී තිබිය යුතුය. එනම් කඩදාසි කොලය තුළ එම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කළ සහ නිර්මාණය කළ පිරිසකගේ ද දුක අන්තර්ගත වේ
- ඔවුන්ට එය නිර්මාණය කිරීමට වායු ගෝලය, හිරු එළිය සහ ආහාරපාන ආදිය අවශ්‍ය වේ. එනම් කඩදාසි කොලයට සොබා දහමෙහි පවා දායකත්වය ලැබී ඇත.
- එම කඩදාසි ප්‍රවාහනය කළ පිරිස, ඒ සඳහා පාරවල් සකස් කළ පිරිස, යාන වාහන සකස් කළ පිරිස, ඒවා නිර්මාණය කළ පිරිස ආදී ලෙස බලන කල මුළු ලෝකයේම දායකත්වය කඩදාසි කොලයට ලැබී ඇත.
- කඩදාසි කොලයෙන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්නේ නම් එයින් ජනනය වන යම් පිනක් කුසලයක් ඇත්නම්, ඉහත සෘජු හෝ වක්‍ර දායකත්වයන් දැක්වූ සියලු පිරිසට අනුමෝදන් විය යුතුය
- අයෙකු නිවනට, නිරයට මෙන්ම දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක ආදියටද පැමිණවීමට හේතු සකස් කිරීමට කඩදාසි කොලයකට හැකියාව ඇත
- කඩදාසි කොලය විටෙක යතුරක් වැනිය. කඩදාසි කොලය ඇස ගැටුණු විට ඒ සැණින් අතීතයට සම්බන්ධ තොරතුරක් මනසට මෙනෙහි වන අවස්ථා ඇත
- එනම් එය මෙනෙහි වීම නම් වූ ද්වාරය විවර කිරීම සඳහා කඩදාසි කොලය යතුරක් ලෙස ක්‍රියා කර ඇත
302. තනි රූල් කොලය 8
- තනි රූල් කොලය සුමට ලෙස හැඟුනද විභේදන හැකියාව ඉහල අන්වීක්‍ෂයකින් නිරීක්ෂණය කරන විට උස් පහත් කම සහිත බොහෝ රළු පෘෂ්ඨයක් පවතින බව දැක ගත හැකිය
- එම ලක්ෂණය කඳු නිම්න පහත් බිම් ආදී ලෙස මහ පොළොවේ ද පවතින අතර එලෙසම ආයුෂ ලෙස වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලෙස සිතෙහි ද උස් පහත් කම් පවතී
- පෑන් ඉරක් අඳින විට තීන්ත තනි රූල් කොළය තුළ තැවරීම ඒකාකාරී නොවේ. යම් තැනක හොඳින් තැවරෙන අතර යම් තැනක තැවරෙන්නේ අල්ප වශයෙනි
- නමුත් තීන්ත තැවරීම අත්‍යවශ්‍ය විට එකම ඉර මත නැවත නැවත ඇඳීම සිදුකරන විට නොතැවරෙන තැන් වලද තීන්ත තැවරීම සිදුවේ
- ධර්මයක් අසන විට සිතෙහි තැවරෙන්නේ ද එලෙසය. අයෙකුගේ සිතේ හොඳින් ධර්මය තැවරෙන අතර තවත් අයෙකුගේ තැවරීම මඳ වශයෙනි
- නමුත් නැවත නැවත එම ධර්මය ශ්‍රවණය කිරීමේදී සිතෙහි එම ධර්මය හොඳින් තැවරීම සිදුවේ. ධාරණය වීම සිදුවේ
- කඩදාසි කොලය දැන් කඩදාසි කොලයක් වුවද ගින්නකට අවශ්‍ය හේතු ද ඒ තුළ පවතී
- එලෙසම සිත දැන් උදාසීනව පැවතියද මහා ගින්නක්, නිරයක් නිර්මාණය කිරීමට සමත් හේතු ද සිත තුළ පවතී. එම නිසා සිත පරිහරණය ප්‍රවේශමෙන් කළ යුතුය
- පාවිච්චි කරන විට තනි රූල් කොළයට තනි රූල් කොලයක වටිනාකම පවතින අතර විදර්ශනා කරන විට පරම වූ ද ප්‍රමාණ කළ නොහැකි වූ ද නිර්වාණ වටිනාකම වුව ද මතු කරගත හැකිය
303. තනි රූල් කොලය 9
- තනි රූල් කොලය යනු අන් ආකාරයෙන් සිතිවිලි වල එකතුවකි
- සොබාදහමට, සිතිවිලි නම් හේතුව එකතු වූ විට කඩදාසි කොලයක් ඉපදීම සිදුවේ
- සිතිවිලි යනු පුද්ගල අනුබද්ධ ධර්මයක් නොවේ. හේතුඵල ලෙස ක්‍රියාත්මක වන ධර්මතාවයකි
- තනි රූල් කොලය තුල අමු සොහොනක සංඥාවක් උපදවාගත හැකිය. තනි රූල් කොලය තුළ ඇති අංශු අතීතයේ නොයෙකුත් ස්ථානවල තිබී ඇති පස්ය
- ඉපදුනු මැරුණ සත්වයන් ප්‍රමාණය සමග සසඳන විට ද දීර්ඝ සසර ගමන හා සසඳන විට ද පොළොවේ ඇති පස් අතීතයේ යම් සත්වයෙකුගේ ශරීරයේ තිබූ මස් විය යුතුය
- එනම් තනි රූල් කොලය තුළ වූ අංශු අතීතයේ යම් යම් සත්වයන්ගේ ශරීර මාංශයන් ය. එබැවින් තනි රූල් කොලය යනු මෘත ශරීර කොටස් වලින් පිරුණු සොහොනක් ලෙස දැක්විය හැකිය
- ඇසට සාපේක්ෂව තනි රූල් කොලයක් වුවත් සංවේදී අන්වීක්ෂයකට සාපේක්ෂව දැලක් වැනිය. ජලය දැමූ විට තෙත්වීම සිදුවන්නේ එහි බොහෝ සිදුරු ඇති බැවිනි
- නමුත් අපගේ දුර්වල ඉන්ද්‍රියන්ට එය දැලක් ලෙස නොපෙනෙන නමුත් ඇත්තෙන්ම එහි දැලක ස්වභාවයක් ද ඇත. කිසිවක් වැරදි හෝ නිවැරදි නොවන අතර ඒවා සාපේක්ෂක හේතුඵල ධර්මයන්ය
- මෙවැනි මෙනෙහි කිරීම් වලින් ඕනෑම හොඳ දෙයක් නරක ලෙසද ඕනෑම නරක දෙයක් හොඳ ලෙසද සංඥාවන් උපදවා ගත හැකිය. අවසානයේ හොඳ නරක වලින් මිදීමට ද මෙවැනි මෙනෙහි කිරීම් උපකාරී වේ
304. තනි රූල් කොළය 10
- තනි රූල් කොලය තුළ තනි රූල් කොලයට ආවේණික යම් ගන්ධයක් පවතී
- එයින් නිගමනය වන්නේ එහි අංශු නිරතුරුව ගැලවී යන ස්වභාවයක් පවතින බවයි. ඒ මගින් එහි පවතින අනිත්‍ය ස්වභාවය, වැය වන ස්වභාවය හඳුනාගත හැකිය
- තනි රූල් කොලය තුළද ජරාවට පත්වීමේ ලක්ෂණය ඇත
- තනි රූල් කොලය තුළ වූ අංශු සමූහයට දැන් ලැබී ඇති නම තනි රූල් කොලය ලෙස වේ
- නමුත් අතීතයේ එහි අංශූන් නොයෙකුත් තැන්වල තිබී ඇති අතර ඒවාට නොයෙකුත් රූප මෙන්ම නොයෙකුත් නම්ද ලැබී ඇත
- විඤ්ඤාණයක ග්‍රහණයට පත්වන තුරු තනි රූල් කොලයට කිසිදු නමක් නැත. කිසිදු හැඩයක් නැත
- පවතින්නේ සතර මහා ධාතුව ලෙස පැවසුවද විඤ්ඤාණයක් මැදිහත් වනතුරු එසේ සතර මහා ධාතුව ලෙසද යමක් පැනවෙන්නේ නැත
- විඤ්ඤාණයක් විසින් හඳුනා ගත් විට ඇත. හඳුනා නොගත් විට නැත. විඤ්ඤාණයක් ඇති විට ඇත. නැති විට නැත
- මේ අයුරින් විදර්ශනා කිරීම තුළින් ද්වයතාවය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැක
305. නැති වත්කම
- ලෝකය තුළ යානවාහන දේපල පුද්ගලයන් ආදී නොයෙකුත් වත්කම් පවතී
- මේවා නඩත්තු කළ යුතු වත්කම් ය. නැතහොත් අපිරිසිදු වීම, අන් සතු වීම, වත්කම් අහිමිවීම සිදුවේ
- දරුවන් හිතවතුන් ඥාතීන් ආදී පුද්ගල වත්කම් නඩත්තු කිරීම සඳහා විශාල වැය බරක් දැරිය යුතුය. තවද කාලය ශ්‍රමය පවා වැය කිරීමට සිදුවේ
- ආදීනව ලෙස ඔවුන් පිළිබඳ සිතිවිලි ඉපදීම, උපාදාන වීම, ඇලීම, ගැටීම ආදී ලෙස මානසික සමාහිත භාවය නැතිවේ
- ක්ෂණිකව අමනාප වීමේ හැකියාවක් ද පවතින අතර ඔවුන් ක්ෂණිකව සතුරන් වීමේ හැකියාව පවා ඇත. බොහෝ විට සතුරන් වන්නේ කලක් ඇසුරු කළ මිතුරන්ය
- එම වත්කම් තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ ද පවතින අතර මරණය ආදී ලෙස ක්ෂණිකව එම වත්කම් අහිමිවීමේ හැකියාව ද ඇත
- නමුත් දරුවන් නැත, දේපළ ඉඩකඩම් නැත, වාහන නැත, හිතවතුන් නැත යන්න ශ්‍රේෂ්ඨ වූ වත්කමකි
- ඒ තුළ නඩත්තුවක් නැත, වියදමක් නැත, මනාප අමනාප වීමක් නැත, මානසික දුක් නැත, අනාගතයට පැමිණීමට ද දුක් නැත ආදී බොහෝ ආනිසංස පවතී
- මෙම වත්කම් තවදුරටත් දියුණු වන විට ද්වයතාවයෙන් තොර වූ කැමැත්ත නැත, අකමැත්ත නැත, ඇලීම නැත, ගැටීම නැත ආදී ලෙස අටලෝ දහමෙහි පැනවීමක් පවා නැති නිර්වාණ වත්කම විඥාන ධාතුවක උපදින පරම වූ ශ්‍රේෂ්ඨ වූ වත්කමයි
306. සූර්යයා
- පෘථිවියෙහි පැවැත්මට ශක්තිය මෙන්ම ආලෝකය සපයන ප්‍රභවය සූර්යයායි
- තවද අපගේ සිතිවිලිද එක්තරා ආකාරයකට හිරුගේ ශක්තියේම ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැක
- යමක් මනා සිහියකින් යුතුව කල්පනා කිරීමට හෝ මෙනෙහි කිරීමට ප්‍රමාණවත් ආහාරයක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි
- එම ආහාරයන් නිෂ්පාදනයට ශාක වලට හැකියාව ලැබෙන්නේ හිරුගේ ශක්තිය ප්‍රමාණවත් ලෙස ලැබීමෙන් පමණි
- සියලු ආහාරදාමයන් පවතින්නේ හිරුගේ ශක්තිය මත වන අතර ශාක, හිරුගේ එම ශක්තිය ආහාර බවට පරිවර්තනය කරන උපකරණ වැනිය
- එලෙසම සත්වයන් යනු උදාසීන සූර්ය ශක්තිය මගින් ක්ලේශයන් නිෂ්පාදනය කරන උපකරණ ලෙස දැක්විය හැකිය
- මෙලෙසින් ගත්කල සත්වයන්ට සිතුවිලි ඇතිවීමෙන් කුසල හෝ අකුසල සියලු කර්මයන් රැස්වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සූර්යයා ලෙස දැක්විය හැකිය
- බුද්ධත්වයට මෙන්ම නිර්වාණ මාර්ගයටද සූර්යයා, නිහඬ එහෙත් ප්‍රබල සේවයක් සිදුකරන බව වටහාගත හැකිය
- මේ ආකාරයෙන් ඕනෑම දෙයක් පිළිබඳව විවිධ පැතිකඩයන් ඔස්සේ මෙනෙහි කරන අයුරු තව තවත් ප්‍රගුණ කළ යුතුය
307. සැප විඳීම
- සැපය, කායික සැප සහ මානසික සැප වශයෙන් දෙයාකාර ලෙස දැක්විය හැක
- කායික සැපය යනු නීරෝගීකම හා බැඳුණු ඉතා ඉහළ වටිනාකමකින් සලකන එහෙත් බොහෝ පටු පරාසයක පිහිටි ධර්මයකි
- බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලාට ද කායික දුක් පීඩාවන්ගෙන් ගැලවීමට නොහැකි වූ අතර කළ හැකි වූයේ ඒවා භාර නොගෙන සිටීමයි
- සැපයක් විඳීමට නම් දුකෙහි සිටින කෙනෙක් විය යුතුය. සැපයෙහි අවශ්‍යතාවය ඇත්තේ දුක් විඳින සහ සැබැවින්ම ඒ විඳින්නේ දුකක් බව හඳුනාගත් කෙනෙකුටය. ( සැප විඳීමට කලින් දුකෙහි සිටි බවක් හෝ සැප විඳීමෙන් පසු දුකෙහි සිටීමට සිදුවන බවක් ඒ තුළ අන්තර්ගත වේ )
- ඒකාන්ත සැපයෙන් සිටින කෙනෙකුට සැපය ලෙස අමුතුවෙන් දෙයක් අවශ්‍ය නොවේ
- හිසේ සිට දෙපතුල දක්වා මෙනෙහි කරන විට නොයෙකුත් කායික වේදනාවන්, පීඩාවන් ඇති කරන ස්ථාන බොහෝ හඳුනාගත හැකිය
- මනුෂ්‍ය ශරීරය යනු දුක් විඳීමටම සකස් වූ, රෝගයන්ට කැදැල්ලක් බඳු වූ ශරීරයකි. එම නිසා එයින් සැපයක් බලාපොරොත්තු විය නොහැක
- සැප විඳීම යනු ද එක්තරා විඳීමකි. මනසෙහි සිදුවන එක්තරා ආකාරයක දැනගැනීමකි. දැනගැනීම යනු වෙහෙසකි, දුකකි. තවද මෙම දැනගැනීම මත පුද්ගලයාගෙන් පුද්ගලයාට සැප විඳීම සාපේක්ෂ වේ
- පිරිනිවීම හැරුණු කොට, දැනගැනීම් වලින් තොර වූ, වේදනා, සංඥා නොමැති නිරෝධ ඵල සමාපත්තිය මේ ලෝකයේ ඇති අග්‍රම සැපය ලෙස දැක්විය හැකිය
308. ආරෝග්‍යා පරමා ලාභා
- කායික නිරෝගී භාවය සත්ත්වයෙකුට අත්වන පරම සම්පතකි
- නිරෝගීකම මිලදී ගැනීමට හැකියාවක් නැත. මිල මුදලින් ප්‍රමාණ කළ නොහැක
- තමා නිරෝගී යැයි මාන්නයෙන් සිටියද නිරෝගීකම රෝගයෙන් කෙළවර වන බව බොහෝ පිරිසක් නොදන්නා කාරණයකි
- කය යනු රෝගයට කැදැල්ලක් බඳුය. රෝගී වූ පසු රෝගයට පිළියම් කිරීම ලෙසද, කායික වේදනාව ලෙසද, සිදුවන අලාභය, අසරණභාවය ප්‍රමාණ කළ නොහැක
- නමුත් ඇත්තෙන්ම රෝගය වැළඳී ඇත්තේ සිතටය. නොයෙක් දේ තුල ඇලීම, නොයෙක් දේ තුළ ගැටීම ආදී සියල්ල රෝගයන්ය
- මෙසේ සිදුවිය යුතුය, මෙසේ සිදු නොවිය යුතුය ලෙස සිතාගෙන සිටීමද රෝගයකි
- අවසානයේ මෙහි සත්වයෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වේය යන්නද මනසෙහි පවතින දරුණු රෝගයකි
- කනස්සල්ල, පසුතැවිල්ල, එපාවීම, සැප සහ දුක යනු මෙම රෝගය නිසා හටගන්නා වේදනාවන් වේ
- කායික රෝගයන්, කය පවතින තුරුම පවතින්නේය. නමුත් මානසික රෝගය ජීවත්ව සිටියදීම දුරු කළ හැක්කේය
309. නිහතමානීකම
- මල් ගසක් බාහිරින් වතුර, සුළඟ, හිරු එළිය සහ පස ආදිය උපයෝගී කර ගනිමින් මල් පිපෙන ක්‍රියාවලිය ඉතා ක්‍රමවත්ව සිදුකරයි
- නමුත් කිසි දිනක තම හැකියාව පිළිබඳ මාන්නයකට පත්වී නැවත මල් නොදී සිටින්නේ නැත
- විශාල ගසක් සුළි සුළං, වැස්ස සහ හිරු එළිය ආදිය ඉදිරියේ ශක්තිමත්ව එයට මුහුණ දුන්නත් ඒ පිළිබඳව මාන්නයට පත්වන්නේ නැත
- තවද ඉංජිනේරු ඥානයට සහ දියුණු තාක්ෂණයට ගෝචර නොවන, ජලය සහ ඛනිජ ලවන ආදිය ශාක පත්‍ර ඇතුළු අනෙකුත් ශාක කොටස් මග නොහැර, ක්‍රමවත්ව බෙදා හැරීමේ දියුණු ක්‍රමවේදයක් ගසක් සතුවේ. නමුත් ගස ඒ පිළිබඳව මාන්නයට පත්වන්නේ හෝ එම ක්‍රියාවලිය අත්හිටුවන්නේ නැත
- ඕනෑම සත්ත්වයකුගේ පිපාසය සංසිඳුවා, සනහාලීමේ හැකියාවක් ජලය සතුවේ. නමුත් ජලයද එයින් කිසි දිනක මාන්නයට පත්වන්නේ නැත
- වැස්ස ලබා දෙමින් වියළී ගිය ගහකොළ, සතා සිව්පාවා සැනසීමේ හැකියාවක් වැස්ස සතු වේ. නමුත් වැස්ස එම රාජකාරී සිදු කරන්නේ බොහෝ නිහතමානීවය
- සතර මහ සාගරය, විශාල කඳු පර්වත ඇතුළු ගහකොළ මෙන්ම සියලු සත්වයන් දරාගෙන සිටියත්, මහ පොළවද කිසිදු මාන්නයක් නොපෙන්වයි
- ඒ හා සසඳන විට අපට ඇති ඉතාමත් කුඩා හැකියාවන් නිසා අධික මාන්නයට පත්වීම විහිළු සහගතය
- බොහෝ කාලයක් මේ පොළොව මත ජීවත් වුවද අපට නෙත ගැටී ඇත්තේ සහ වටිනාකම් සකස් වී ඇත්තේ වෙනත් දේවලට ය. සොබාදහම තුල ඇති මෙම නිහතමානී ගුණය අපද ගුණයක් කරගත යුතුය
310. නිර්වාණය සඳහා කාලය
- කල් දැමීම, ප්‍රමාදය යනු නිවනින් දුරස් කරවන්නාවූ සසරටම බැඳ තබන පැවැත්මේ ධර්මතාවයකි
- සිත තුළ පවතින සසර ගත අවස්ථිතිය හේතුවෙන් ද නිර්වාණ මාර්ගය ආධුනික දෙයක් හේතුවෙන් ද බොහෝවිට නිවන තුළ සිත රඳන්නේ නැත
- ලෞකික ජීවිතය කොපමණ අපහසු වුවත් ඒ තුළ ඇති බලවත් සසර ගත හුරුව හේතුවෙන් ඒ දෙසටම ඇදී යාම විඤ්ඤාණයේ ස්වභාවයයි
- අධික කාර්යබහුලකම, වෙහෙස, මහන්සිය, කුසීත කම සහ ලෙඩ රෝග පීඩාවන් ආදිය බොහෝ පිරිසකගේ නිර්වාණ මාර්ගය අවහිර කරලීමට හේතුවේ
- උපතින්ම, නිධානයක් බඳු උත්තරීතර බුද්ධ ශාසනයක උරුමය ලද අප, එය මතම සිටිමින් නිධානය හඳුනා නොගෙන යාචකයෙකු ලෙස යදින්නෙක් නොවිය යුතුය
- තමා පිළිබඳව තමාම අනුකම්පා කර ගනිමින් ධර්මයේ හැසිරීමම මිස වෙන අයෙකු පැමිණ නිර්වාණය දියකර පොවන්නේ නැත
- ආදීනව මෙන්ම සසර බිය නිරතුරුව මෙනෙහි කරන විට ධර්මය තුළ සිත නිරායාසයෙන් පිහිටනු ඇත
- විශේෂයෙන් කාලයක් යෙදවීමට නොහැකි නම් ඉවුම් පිහුම් කරන මොහොතක, යම් වෙනත් කටයුත්තක් කරන මොහොතක හෝ ගමන් බිමන් යන අවස්ථාවන් වලදී හෝ ධර්මයකට සවන් දීම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරනු ඇත
- සසර තුළ බොහෝ උවදුරු ඇත්තේය. ප්‍රමාණ කළ නොහැකි දුකක් ඇත්තේය. එබැවින් කිසිම සැපක් නොපවතින්නේය ආදී ලෙස මෙනෙහි කරමින් සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය
311. ආපසු හැරවිය නොහැකිය
- ප්‍රාණඝාතයක් සිදුකළ විට නැවත එම සත්වයාට ප්‍රාණය ලබාදීම කිසිසේත්ම සිදුකළ නොහැක
- සොරකමක් සිදු කළ විට නැවත එය හැරවීමට ද නොහැක. යම් අයෙකුගේ වටිනා කාලයක් සොරකම් කිරීම වැනි දෑ සැලකූවිට එම ගෙවුණු කාලය නැවත කිසිදා යළි ලබාදිය නොහැක. සොරකම් කරන ලද භෞතික වස්තුවක් නැවතත් පෙර තිබූ තැන තැබීමට හැකි වුවත් සොරකමට අදාල ක්‍රියාවලිය සිදුවී හමාරය.
- බොරුවක්, පරුෂ වචනයක්, හිස් වචනයක් හෝ කේලමක් ලෙස වචනයක් පැවසීමෙන් පසුව එයද ආපසු ගැනීමට හෝ හැරවීමට නොහැක
- එම නිසා එවැනි කාරණා සම්බන්ධව ඇතිවන කර්මයන් ද හැරවීම කළ නොහැක. එම කර්ම ගෙවීමෙන්ම අවසන් කළ යුතුය
- ප්‍රමාද කරමින්, කල්දමමින් සිට අවසානයේ ව්‍යාධියක් හෝ මරණය එළැඹි විට නැවත පෙර තත්ත්වයටම පැමිණීමට හැකි ක්‍රමයක් නොමැත
- ලෝකය ක්‍රියාත්මක වන්නේ කිසිදු සමාවක් නොමැත යන ධර්මතාවය තුළමය
- සවිඤ්ඤාණික මනසක පවතින කරුණාව, දයාව, තරහව, පළිගැනීම, වේදනාව, ශෝකය හෝ ලොකු කුඩා භේද ආදිය සොබාදහමට වැටහෙන්නේ නැත
- සොබා දහම තුළ පවතින්නේ හේතුව සහ එයට අනුව ඵලය සකස්වීමේ ධර්මතාවයයි. මෙය පමණක්ම විදර්ශනා කිරීමෙන් වුවද සසර තුළ පවතින බිහිසුණු බව තේරුම් ගතහැකිය
- කිසිවක් පෙර තිබූ තත්ත්වයටම හැරවිය නොහැකි බැවින් ගතවන සෑම තත්පරයක්ම නුවණින් යුක්තව මනා සිහියෙන් ගෙවිය යුතුය
312. ප්‍රඥාව සහ තියුණු බව
- ලෝහ කැබැල්ලක්, ලෝහ කැබැල්ලක් ලෙසම පවතින විට එමගින් විශාල යමක් කළ නොහැකි වුවත් විවිධ වෙනස් ස්වරූපයන් බවට පත් කිරීමෙන් යම් ප්‍රයෝජනයක් ලබාගත හැකිවේ
- උදාහරණයක් ලෙස එම ලෝහ කැබැල්ල තියුණු උලක් ලෙස සකස් කල විට එමගින් යමක් විදීම සිදුකළ හැකිය
- අවශ්‍යතාවය පරිදි කොක්කක් පිහියක් ලෙස සකස් කළ හැකිනම් එයින් ගත හැකි ප්‍රයෝජනය ඒ ඒ අනුව වෙනස් වේ
- එලෙසම සිතෙහි ඇති පැතිරුණු ස්වභාවය තුළ පවතින කෙලෙස් හඳුනා ගැනීමේ හෝ කෙලෙස් කැපීමේ හැකියාවක් නොමැත
- එය භාවනා කොට විදර්ශනා කොට ප්‍රඥාවෙන් තියුණු ලෙස සකස් කළ විට බොහෝ පහසුවෙන්ම ක්ලේශයන් කපා දැමිය හැකිය
- බිත්තරය තුළ සිටින පැටවාට බිත්තරය පෙනෙන්නේ නැත. බිත්තරය පෙනෙන්නේ බිත්තරයට පිටින් සිටින අයෙකුටය
- එලෙසම ක්ලේශයන් තුළම සිටින, ඒ බවටම පත්වු පුද්ගලයකුට ක්ලේශයන් පෙනෙන්නේ නැත
- අපගේ ක්ලේශයන් වුවද පෙනෙන්නේ එම ක්ලේශයන් ප්‍රහීණ කල තථාගත ශ්‍රාවකයාටය
- අපගේ කෙලෙස් අපට නොපෙනෙන බව දැනගැනීමද මහත් වූ ප්‍රඥාවකි. එම ප්‍රඥාව යම් දිනක එම නොපෙනෙන ක්ලේශයන් හඳුනා ගැනීමට, දුරු කිරීමට මහත් වූ රුකුලකි
313. මරණානුස්සතිය
- පායන හිරුගේ බැස යාම ඒකාන්තයෙන්ම සිදුවන්නේය. එලෙසම අපගේ මරණයද නිශ්චිතවම සිදුවන්නේය
- ජීවත්වන සියලු දෙනාගේ ජීවත්වීම පවතින්නේ මරණය එළඹෙනතුරු පමණි
- යම් අවුරුද්දක, යම් මාසයක, යම් දිනයක, යම් පැයක, යම් තත්පරයක අපගේ මරණයද ලියැවී ඇත
- නිරතුරුව හුස්ම අදිමින් මොහොතින් මොහොත පණ ගසන මේ ජීවිතය තුළ පුදුමය වන්නේ තවමත් ජීවත් වීමය
- හෘදය ස්පන්දනය වන මොහොතක් පාසා පණ ගසමින් සිදුවන්නේ එක් ස්පන්දනයක සිට ඊළඟ ස්පන්දනය තෙක් මරණය කල් දැමීමයි
- අතීතයේ බොහෝ පිරිසක් ජීවත් වුවද ඒ කිසිවෙකුට මරණයෙන් බේරීමට නොහැකි විය.
- උප්පත්තිය හිමිවන්නේ ඒකාන්ත මරණයද සමගය. සියල්ල පවතින්නේ පින පවතින තුරු පමණි
- හෘද මාංශය, නහර, බඩවැල් කුණු නොවී නිසි පරිදි පවත්වා ගනිමින් අපව ජීවත් කරවීමට ශරීරය තුළ පවතින නොයෙකුත් පද්ධතීන් දිනපතා විශාල කෘත්‍යයක් සිදු කරනු ලබයි
- මරණාසන්න මොහොතේදී සිතේ ඇතිවන ව්‍යාකූලත්වයෙන් මිදීමට, ඉතා විශාල ආරක්ෂාවක් සලසන මරණානුස්සතිය සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු භාවනාවකි
314. සූර පප්පා
- සූර පප්පා, ජිම් පප්පා ආදී චරිත රැගත් එම කාටූනය ලොකු කුඩා කාගේත් සිත් ගත් ඉතා ජනප්‍රිය කාටුන් වැඩසටහනකි
- නමුත් සූර පප්පා, ජිම් පප්පා ආදී බොහෝ චරිත වලට කොපමණ ඇලුම් කළත් එවැනි චරිතයන් ඇත්තෙන්ම නැත
- ඒ සියල්ල සහ ඒ වටා ගොඩනැගෙන සම්පූර්ණ කතාව මානසිකව සකස් වූ ලෝකයකි
- යම් උදාහරණයක් ලෙස ඇත්තෙන්ම පඹයෙක් සිටිනා විට, එතැන සිටිනුයේ පඹයෙකු නොව මිනිසෙකු යැයි දැනගැනීම වේනම් ඒ දැනගැනීම අනුව අපට හැඟෙනුයේ එම ස්ථානයේ මිනිසෙකු සිටින බවයි
- අනෙක් ආකාරයෙන් මිනිසෙකු සිටින තැනක දැනගැනීම පඹයෙකු ලෙස වේනම් අපට හැඟෙනුයේ එම ස්ථානයේ සිටින්නේ පඹයෙක් බවයි
- මෙයින් අදහස් වන්නේ බාහිර කුමන දේ පැවතුණද කුමන දේ නොපැවතුණද අපගේ දැනගැනීම යම් සේද ඒ අනුව සියල්ල සකස් වන බවයි
- ලෝකය තුළ සත්‍ය වශයෙන්ම සත්වයෙකු පුද්ගලයෙකු පැනවිය නොහැකි අවස්ථාවක අපගේ දැනගැනීම වී ඇත්තේ සත්වයෙක් පුද්ගලයෙක් සිටිනා ලෙසය
- අපට සියලු කර්ම සකස් වී ඇත්තේ මූලිකවම එම දැනගැනීම පදනම් කරගෙනය
- තථාගත ශාසනය තුළ සිදු කෙරෙන්නේ එම දැනගැනීම පිළිබඳ මුලාව පෙන්වාදී දැනගැනීම නිවැරදි කිරීමක් පමණි
315. දිට්ඨෙ දිට්ඨ මත්තං
- ඇසට සිදුවන්නේ පෙනීමකි. එය එපමණකි. එය පැහැදිලි කර ගැනීමට දරන උත්සාහයක් පහත පරිදි වේ
- පෙනීම දැනගැනීම ලෙස විඤ්ඤාණය ස්පර්ශ කරයි. විඤ්ඤාණය යනු දැනගැනීමම වේ. දැනගැනීමේ හැකියාව විසින් එය හඳුනා ගනී
- දැන ගැනීමේ හැකියාව අන් ආකාරයෙන් විපාකයක් බැවින් කළ හැකි වන්නේ නැවත දැනගැනීමකට හේතු සකස් නොකිරීමයි. තවද එම දැනගැනීම සිදුවන්නේ හේතුඵල ලෙස වන අතර මනසේ අපිරිසිදු කමට සාපේක්ෂව එය සිදුවේ
- දැනගැනීමේ දෝෂය අන් ආකාරයෙන් කර්මයන් සකස් වීමේ යතුරයි. ඇස, රූපය සහ චක්ඛු විඤ්ඤාණය එකතු වූ තැන ස්පර්ශයක් සිදුවේ
- අඳුරේ ඇති අපිරිසිදු කණ්නාඩියක් මතට ආලෝකය වැටුණු විට එය ක්‍රියාත්මක වන්නේ අපිරිසිදු ස්වභාවයෙනි. එය ආලෝකයේ ප්‍රශ්නයක් නොවන අතර එය කණ්නාඩියේ දුර්වලතාවයකි
- එලෙසම අපවිත්‍ර විඤ්ඤාණය තුළ ඇතිවන සියලු දැනගැනීම්ද අපවිත්‍රභාවයෙන් තෙත්ව අපවිත්‍ර භාවය මිශ්‍රව පවතී
- කණ්නාඩිය පිරිසිදු කර ඇති අවස්ථාවේදී ආලෝකය වැටුණු විට ඇතිවන ප්‍රතිබිම්බයද පැහැදිලිය. තාත්විකය. පිරිසිදුය
- මනස පිරිසිදු කළ යුත්තේද ඒ හෙයිනි. එවිට පිරිසිදු කණ්නාඩියකින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුනා සේ පිරිසිදු මනසින් දකින විට සියල්ලෙහි යථාර්ථය පැහැදිලිව පෙනෙනු ඇත.
- එවිට එම පිරිසිදු දැන ගැනීම හේතුවෙන් ලෝක යථාර්ථය යම් සේද සිතද ඒ බවටම පත්වනු ඇත
316. විපාක දීමට සුදුසු පරිසරය
- කර්මයක් විපාක දීමට නම් ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. පරිසරය නිසි ලෙස සකස් වී නොමැති විට යම් ආකාරයකින් කර්මයන් අහෝසි වීම හෝ සැර බාල වීම සිදුවිය හැකිය
- මානසිකව පුණ්‍ය වූ පරිසරයක් ඇත්තෙකුට, විපාක දීමට ඇති කර්මයන්හි සැර බාල වන බව අංගුත්තර නිකායේ ලෝණඵල සූත්‍රයේ සඳහන් වේ
- දරුවන්, බිරිඳ, ස්වාමිපුරුෂයා සහ ඥාතීන් යනු කර්මයන් විපාක දීමට ඉතා සුදුසු පරිසරයකි
- තම දරුවා, බිරිඳ, ස්වාමිපුරුෂයා යැයි සිතා සිටියද අවසානයේ ඔවුන් ලංවී ඇත්තේ කර්මයන් විපාක දීමට බව බොහෝ අය නොදත් කාරණයකි
- තමා සතු අගනා වටිනා වත්කම් නැතිවෙන විට ඇතිවන වේදනාව දරා ගැනීම අපහසුය. එවැනි වූ පරිසරයක් ද දුක් වූ කර්ම විපාක දීමට ඉතා සුදුසු පරිසරයකි
- ස්වාමිපුරුෂයා, බිරිඳ සහ දරුවන් වුවද ඔවුන්ගේ නඩත්තුව අපි කැමති ලෙස සිදුකළ නොහැක. නීතියන්ට යටත්ව සහ ඔවුන්ගේ කැමැත්තට එකඟව සිදු කළ යුතුය
- කුඩා වෙනසක් සිදුවුවහොත් මිනී මැරුමක්, ගෙල වැළලා ගැනීමක් හෝ වස බීමක් වැන්නක් බලාපොරොත්තු විය හැකිය
- මනුස්ස ශරීරය සමෙන් ආවරණය වුණු බඩවැල් ගොඩක්ම මිස ඒ තුළ රන් මිණි මුතු මැණික් නොපවතී
- එහිම සරණ යනවා මිස ජීවිත කාලය අවසන් වන තුරුම එය හඳුනා ගැනීමට නොහැකි තරම් අන්ධකාරයක් ඒ තුළ පවතී
317. පිළිතුර සංඥාව
- වර්තමානයේ ඇතිවී තිබෙන ප්‍රශ්න යනු ඇත්තෙන්ම මේ මොහොතේ ඇතිවූ ප්‍රශ්න නොවේ. අතීතයේ ඇතිකරගත් ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරුය
- උදාහරණයක් ලෙස අඹ ගෙඩි, අඹ කොළ ආදිය ඇතිවීම යනු ප්‍රශ්නයක් නොවේ
- අතීතයේ අඹ ගසක් සෑදීම ලෙස හේතුවක් සකස් වී ඇත එයට ලැබුණු පිළිතුරු ලෙස දැකිය හැකිය
- බොහෝ විට අතීතයේ ඇති කරගත් ප්‍රශ්නවලට ලැබෙන්නේ එක් පිළිතුරක් නොවේ. වරින් වර විශාල විවිධ වූ පිළිතුරු ප්‍රමාණයක් ලැබේ
- මේ මනුස්ස ජීවිතයද අතීතයේ සිදුකරගත් කර්මයට ලැබෙන විපාකයකි. එනම් එයද අතීත ප්‍රශ්නයකට, වර්තමානයේ ලැබුණු පිළිතුරක් ලෙස දැකිය හැකිය
- බුද්ධත්වය යනුද බොහෝ කාලයක් අතීතයේ සකස් කළ හේතූන්ට ලැබුණ ඵලය වේ. අන් ආකාරයෙන් අතීත ප්‍රශ්නයකට ලැබුණු වර්තමාන පිළිතුරක් ලෙසද දැකිය හැක
- යම් දෙයක් ප්‍රශ්නයක් ලෙස දකින විට, පිච්චීම වැඩිය. පිළිතුරු සොයන්නටම පෙළඹේ. ප්‍රශ්නයට නැවත නැවත පිළිතුරු සොයන්නට යෑමෙන් ඉතා වෙහෙසට පත්වේ. නැවත කර්මද සකස්වේ
- එය පිළිතුරක් ලෙසම දකින විට නැවත නැවත පිළිතුරු සෙවීමක් අනවශ්‍ය බැවින් සාපේක්ෂව සිතෙහි නිවීමක් ඇතිවේ
- එම නිසා වර්තමානයේ ලැබෙන්නේ පිළිතුරුය. එයට අදාළ ප්‍රශ්නය අතීතයේ සිදුවී ඇත, ආදී ලෙස මෙනෙහි කරමින් මෙම සංඥාවද ප්‍රගුණ කිරීම සිතෙහි නිවීම ඇතිවීම පිණිස හේතුවක් වනු ඇත
318. මම සහ සොබාදහම
- සොබාදහම යනු මම ය. මම යනු සොබාදහම ය
- ආහාර ගැනීම, ආශ්වාස කිරීම ආදී නොයෙකුත් ලෙස සොබා දහමෙහි කොටස් කයට එකතු වෙයි
- මල පහ කිරීම, මුත්‍රා කිරීම, දහඩිය, සෙම සොටු කබ ආදී ලෙස ශරීරයේ කොටස් සොබාදහමට එකතුවේ
- එනම් එය මෙයට මෙය එයට එකතු වෙයි. පවතින්නේ සමතුලිතයකි. මෙහි මනා අවබෝධයක් ඇතිවිට පහත පරිදි එම අවබෝධය භාවිතා කළ හැකිය
- උදාහරණයක් ලෙස පරිසරය විනාශ කිරීම යනු මම මාව විනාශ කර ගැනීමක් ආදී ලෙස ද සොබාදහම තුළින් මම දැකිය හැකිය
- වැස්ස යනු මමය, සුළඟ යනු මමය, මුහුද යනු මමය, ආදී ලෙස සොබා දහමෙහි ඇති කොටස් මම ලෙස මෙනෙහි කළ හැක
- අනෙක් ආකාරයෙන් කයෙහි කොටස් සොබාදහම ලෙස සැලකිය හැකිය. ඇස කන නාසය ආදීය සොබා දහමම ලෙස සැලකිය හැක
- එවිට සොබා දහම සහ මම අතර පවතින භේදය දුරු වේ. දෘෂ්ටීන් වලට විශාල පහරක් එල්ල වේ
- මේ ආකාරයෙන් වැටහීම සිදුවන විට කෙනෙක් පුද්ගලයෙක් පැනවිය නොහැකි බව ද සිදුවී ඇත්තේ මුලාවක් බව ද මනාව වැටහෙනු ඇත
319. බලය විනාශයට මුලකි
- බොහෝ පිරිසක් බලයට තණ්හා කරති. ආශා කරති. එම නිසාම බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට මැලි නොවෙති
- කොපමණ ප්‍රබල බලයක් පවතීද ඒ බලය තුළින් සිදු විය හැකි කර්මයන්ද ඉතා ප්‍රබලය
- මිනිසුන් බහුතරයක්, පිරිස් බලය, කාය බලය, මුදල් බලය ආදියට ඇලුම් කරන්නේ බොහෝවිට කාමයන් පිනවීමටය. මෙමඟින් පියවි සිහියද නැතිවන අතර සක්කායදිට්ඨිය තව තවත් ස්ථාවර වීමට වඩාත් ඉඩකඩ ඇත
- තම අනිසි බලය තුළ ලබාගන්නා තීරණ මගින් බොහෝ විට සිදුවන්නේ අනෙක් පිරිසට හානියක්ය. අන් අයගේ නිවන පවා අහිමි කිරීමේ හැකියාව ඒ තුළ ඇත
- නමුත් බලයන් අතරින් ඇත්තෙන්ම බලවත් විය යුත්තේ සිතෙහි බලයයි. ක්ලේශයක් ඇතිවන විටම එය හඳුනා ගැනීමේ බලය පැවතිය යුතුය. ඒවා දුරු කිරීමට සිතේ බලය සහ ශක්තිය පැවතිය යුතුය
- මක්නිසාද දුක් විපාක නිර්මාණය කරන සසර ගමනට පාර කපන සිතට, නැවත උප්පත්තියත් සමග සියලු බලයන් අහිමි කිරීමේ හැකියාව පවතින බැවිනි.
- නිහතමානීකම තුළින් යම් ආකාරයකින් සිත පාගා දැමීමක් සිදුවේ. සිත ස්වභාවයෙන්ම කැමැති වන්නේ මාන්නයට පත්වීමටය. නමුත් එයට එරෙහිව නැගී සිටීමට ප්‍රඥාව ආදී මානසික බලයක් පැවතිය යුතුය
- තම කැමැත්තට එරෙහිව නැඟී සිටීම යනු තවත් ඉතා අපහසු කාරණයකි. ඒ සඳහාද ප්‍රබල බලයක් අවශ්‍ය වේ
- ලෞකික බලයන් නිසි ලෙස පාලනය නොකළහොත් අවසානයේ එම බලයන් තමන්ටම එරෙහිව ක්‍රියාත්මක වනු ඇත.
320. අභ්‍යන්තර ස්වභාවය
- දොඩම් ගසක්, එය කුමන ස්ථානයක සිටවූව ද, අවසානයේදී ලබා දෙන්නේ දොඩම් පමණි. එහි මූලික අභ්‍යන්තර ස්වභාවය බාහිර පරිසරයෙන් වෙනස් කළ නොහැක
- ගසක් සිය පැවැත්මට අවශ්‍ය වාතය, පස, ජලය සහ හිරු එළිය වැනි බාහිර පරිසර සාධක උපයෝගී කර ගනිමින් තමන්ටම ආවේණික වූ ඵලය (දොඩම්) නිපදවයි.
- අනෙකුත් ගස්වලට ද මෙම බාහිර සැපයුම (ජලය, පස, හිරු එළිය) එකම වුවත්, ඒ සෑම ගසක්ම තමන්ගේ ජානයට සහ ස්වභාවයට ආවේණික වූ ඵලයක්ම (අඹ, පොල් ආදිය) බිහි කරයි
- සමහර ගස් බාහිර සැපයුම එක සේ භාවිතා කළද එයින් සිදුවන නිෂ්පාදන එම ගසට හෝ පරිසරයට හෝ කිසිම යහපතක් සිදු නොකරයි
- ඒ ආකාරයෙන්ම, මිනිසුන්ද එකම ආහාර ද්‍රව්‍යයන් (පාන්, බත්, කව්පි, මුං ඇට වැනි දෑ) ආහාරයට ගෙන එකම බාහිර සාධක සහිත ලෝකය බෙදා ගත්තද, ඔවුන්ගේ අභ්‍යන්තර 'නිෂ්පාදනයන්' සහ ඒවායින් ඇතිවන බලපෑම එකිනෙකාට වෙනස් වේ
- සමහර පුද්ගලයන්ගෙන් කරුණාව, මෛත්‍රිය, සහ ගුණ යහපත්කම් වැනි දේ සමාජයට මුදා හැරෙන විට, තවත් අයගෙන් ද්වේශය, ඊර්ෂ්‍යාව සහ ගැටුම් වැනි දේ බිහිවේ
- විශාල පිරිසක් එම එකම බාහිර සැපයුමෙන්ම පෝෂණය වෙමින් පින පව තුළ කොටුවෙමින් තවමත් සසර සිරකරුවන් ලෙස සිටියි
- කළ යුත්තක් සහ නොකළ යුත්තක් නොවැටහෙන මෙම මානසික තත්ත්වයන් තුල අපිද සංසාරයේ බොහෝ කාලයක් ගත කළේ වෙමු
- නමුත් දැන් වටිනා මහගු අවස්ථාවක් එළැඹී ඇත. මෙයට පිළියම් කිරීම පහසු කාරණයක් නොවේ. නමුත් හොඳින් සිහිය ඇතිකර ගනිමින් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්න මුලින් විසඳමින් ක්‍රමානුකූලව අඛණ්ඩව ප්‍රතිපදාව කළ යුතුය
- වීර්යය අඩුවන බව දැණුනු විට නොයෙකුත් උපක්‍රම යොදමින් සිතෙහි පසු බැසීම වැළැක්විය යුතුය. මෙවිට නොදැනුවත්වම සියලු ප්‍රශ්න විසඳෙනු ඇත
321. සසරට බිය විය යුතුය
- මේ ඉර හඳෙන් පෝෂණය වන ලෝකය තුළ සත්වයෝ සැප විඳින්නේ නැත. සසර යනු උලක් උඩ ගෙවෙනා ජීවිතයක් වැනිය. කුඩා වෙනස්වීමක් සිදුවුවහොත් බරපතල කර්ම සකස් වන්නේ ය
- කෙසේ නමුත් අප සසරට වැටී අවසානය. එය සිදුවූයේ කෙසේදැයි සොයා පලක් නැත. සිදුවී ඇති තුවාලයකට බෙහෙත් බැඳීම වෙනුවට එය සෙවීමට ගියහොත් සිදුවන්නේ සුව කර ගැනීමට පවතින කාලයද අහිමි වීමය
- වාතය, ජලය ආදිය කැළඹුණු විට කළ හැකි හදිය අප දනිමු. එයින් සිදු වන්නේ උපරිම වශයෙන් මරණය වුවත් මෝහයෙන් මත් වූ සිත කැළඹුණු විට සිදුවන විනාශය කාලය වශයෙන් කල්ප ගණනක් විය හැකිය
- අපට අද දිනයේ ද මෙය හොඳ යැයි, මෙය ගුණයයි කියමින් නොයෙකුත් ආකාරයෙන් ආහාර සකස්කොට බඩ වැලක් පිරවීමට සිදුවී ඇත්තේ අතීතයේ වරදවා වටහා ගත් සිත නිසාය
- සත්වයාට උරුම වී ඇති දුර්වල ඉන්ද්‍රියන් හේතුවෙන් හටගන්නා රූප ශබ්ද ගන්ධ ආදිය හටගන්නේ ම දෝෂ සහිතවය
- නමුත් එය වටහාගැනීමට නොහැකි සිත එය සත්‍ය යයි විශ්වාස කරමින් මුලාවී ඒ තුළ විපාක පිණිස නොයෙකුත් බරපතළ කර්මයන් සකස් වන්නේ තමාද නොදැනුවත්වය. එය ප්‍රමාණ කළ නොහැකි අසරණ භාවයකි
- ඒවා වළක්වා ගැනීමට නොහැකි වන්නේ නම් එයට අදාළ විපාකයන් ඉදිරි බව තුළ තමාටම ගෙවීමට සිදුවන්නේ කිසිදු සමාවකින් තොරවය
- බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවන්, ඥාතීන් සහ හිතවතුන් ආදී කිසිවෙකු එවිට පිළිසරණට නොසිටිනු ඇත
- එම නිසා මේ පිළිබඳ ඉගැන්වීම සහිත තථාගත ශාසනය හමුවූ මොහොතේ වහ වහා තමාගේ පිළිසරණ තමාම සකසා ගත යුතුය
322. අඛණ්ඩත්වය සහ පුරුද්ද
- නිවැරදි බව සහ ප්‍රතිපදාවේ අඛණ්ඩත්වය ප්‍රතිඵල කෙරෙහි සෘජුවම බලපාන සාධක වේ
- මේ සඳහා පුරුද්දක් ලෙස දිනපතා යමක් ධර්මය වෙනුවෙන් සිදු කළ යුතුය. නැතහොත් ධර්මය අමතකව ගොස් ඒය නැවත සිහිපත් වනු ලබන්නේ බොහෝ කාලයකට පසුවය
- අප නොයෙක් දේ නොයෙක් මාතෘකා අනුව ධර්මානුකූල ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ අපගේ ඔබගේ යහපත සඳහාය. හේතු සකස්වීම සඳහාය
- එය කියවීම පුරුද්දක් කර ගනිමින් ප්‍රතිපදාව අමතක වීමට නොදී පවත්වා ගැනීම, යම් ධර්මයක් මතුකර ගැනීම ආදිය සිදු කරනු ඇතැයි අප තුළ අපේක්ෂාවක් ඇත
- අධර්මයක් වුවද ලෝකය තුළ පවතින්නේ එය පැවතීමට අදාළ ධර්මයක් ද එහි පවතින බැවිනි
- එබැවින් ඕනෑම අධර්මයකින් වුවද ධර්මයක් මතුකර ගත හැකිය
- ධර්මය යනු කෙළවරක් නොමැති ලෞකික ඉගෙනීම් ආදී තවත් ඉගෙනීමක් නොවේ. එහි න්‍යායන් වැටහුණු පසු ප්‍රත්‍යක්‍ෂය සමඟ එහි නිමාව සිදුවේ
- ඒ සමගම බඩගින්න පිපාසය පීඩාව දුක සැප කනස්සල්ල ආදී සියල්ල අවසන් වේ. දුක්ඛිත සසර ගමන අවසාන වේ
- එම නිසා දිනපතා භාවනාව ධර්මශ්‍රවණය හෝ වෙනත් යම් පුරුද්දක් ඇතිකර ගන්නේ නම් කාලයත් සමඟ නොදැනුවත්වම ධර්ම අවබෝධයන් සිදුවනු ඇත
323. කුඹුරු කෙටීම
- කුඹුරු කෙටීමක් සිදු කරන්නේ වගාවක් සඳහාමය
- මේ ආකාරයෙන් කුඹුර කෙටීම සැපය, අර ආකාරයෙන් කුඹුර කෙටීම සැපය යයි ලෙස බේදයක් නැත
- මොන ආකාරයෙන් කුඹුර කෙටුවත් උරුම වන්නේ වෙහෙස මහන්සිය සහ සම්ප්‍රයුක්ත වශයෙන් දුකය
- කොටන ලද කුඹුරක් එතනින් නතර වන්නේ නැත. වගා කිරීම රැක බලා ගැනීමද අවසානයේ බෝග විකුණා ලැබෙන ධනයෙන් නැවත සිදු කරන්නේ කුඹුරු කෙටීමය
- එලෙසම මෙය සැපය, එය සැපය කියමින් සිදු කරන ලෞකික ගනුදෙනු තුළ ඇති වන්නේ දුකක්ය
- එම ලෞකික ගනුදෙනු තවත් ලෞකික ගනුදෙනුවකට පාර කපන අතර කුඹුරු කෙරුවාව සේ චක්‍රයක් ලෙස වරින් වර තමා වෙත පැමිණෙන්නේ දුකමය
- උපමාවක් ලෙස ලෞකික ජීවිතය යනු එය දුකය, මෙය සැපය කියමින් ක්‍රමය වෙනස් කරමින් නැවත නැවත සිදු කරන කුඹුරු කෙටීමක්ය
- ඉතිරියක් නැත. ලාභයක් නැත. අවසානයේ කුඹුර තුලම ජරා ජීර්ණව මිය පරලොව යාමට සිදුවන්නේය.අප සංසාරය තුළ මේ ආකාරයෙන් ඕනෑ තරම් කුඹුරු කොටා ඇත
- සංසාරය නැමැති මෙම දුක්ඛිත කුඹුරට, කුඹුරු කෙටීමට සමුදීමට කාලය එළැඹ ඇත
324. වතුර බෝතලය
- වතුර බෝතලයක් ගත්විට එහි බර පාට භෞතික ලක්ෂණ ආදිය විස්තර කළ හැකිය
- තවත් අයෙකුට මෙම වතුර විශ සහිතය, මෙම වතුර නුගුණය ලෙස පවසමින් වතුර පානය කිරීම කෙරෙහි ඇති විශ්වාසය බිඳවීමේ හැකියාව ඇත
- වතුර බෝතලය පුද්ගලයාට සාක්කුවේ දාගත හැකිය. රැගෙන යා හැකිය. නමුත්, එවිට වතුර බෝතලය එකකි. පුද්ගලයා තව එකකි. දැනුම උපමාවක් ලෙස මෙවන් දෙයකි
- නමුත් වතුර පානය කළ විට වතුර සහ පුද්ගලයා ලෙස දෙකක් නොපවතී. වතුර සහ පුද්ගලයා එකකි, වෙන්කළ නොහැක
- එම වතුර කෙරෙහි විශ්වාසය බිඳ වැට්ටවීමක් පැනවිය නොහැක. තවද පානය කළ වතුර වල පාට බර ආදී භෞතික ලක්ෂණ ද ඉස්මතු කළ නොහැක
- එය එකක්ම වී ඇති බැවින් එය සහ මෙය ලෙස වෙනසක් නොපවතී. අවබෝධය හෝ ප්‍රත්‍යක්ෂය මෙවැනිය
- එය ඵලයක් වන අතර එය තව කෙනෙකුට දිය නොහැක
- කළ හැකි වන්නේ එය සිදුවූයේ කෙසේද ලෙස ජලය පානය කළ ක්‍රමය විස්තර කිරීමය
- අන් ආකාරයෙන් එයට අදාල නිවැරදි ධර්මය වන්නේ ජලය පානය කළ ආකාරයයි. එයින් පමණක් පිපාසය සංසිඳීම සිදුවේ
325. විවාහ ජීවිතය
- අප ඉපදී ඇත්තේ අතීත කර්මයන්ට ලැබුණු දඬුවමක් ලෙසය. ලෝකය යනු එම චූදිතයන්ට දඬුවම් විඳීම පිණිස සකස් වූ පාවෙන සිර මැදිරියක් වැනිය
- රාගය, ද්වේශය ආදිය ඇතිවීම එම දඬුවමේම කොටසකි. විවාහ ජීවිතය යනු එම දඬුවමෙන් ඇතිවෙන පීඩාව මඳක් සමනය කර ගැනීමට යයි සිතා චූදිතයන් විසින්ම සකස් කර ගත් ක්‍රමයකි
- වෙනත් ආකාරයකින් විවාහ ජීවිතය යනු එලයිමන්ට් වල දෝෂ සහිත බොහෝ බර පටවාගත් වාහනයක් පදිනවා වැනිය
- වම් පස රෝදය එක අතකට සකස් වී ඇති අතර දකුණු පස රෝදය පවතින්නේ වෙනත් අතකට සකස් වීය
- බොහෝ මුදල් ඉපයීම සිදුකළ ද ඉතුරුවක් නොමැත. හිල් වූ පනිට්ටුවකට වතුර එකතු කරනවා මෙන් එකතුවන ප්‍රමාණයට වඩා පිටව යන්නේය. මුදල් රඳන්නේ නැත
- කළු ගලක් කරේ තබා බැඳ ගැනීමක් වැනිය. නීතිය පවා සකස් වී ඇත්තේ කොපමණ බර වුවත් පහසුවෙන් බිම තැබීමට නොහැකි වන ලෙසය
- තවද විවාහ වී බොහෝ කාලයක් ගතවුව ද එකිනෙකාගේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම ද අපහසු කාරණයකි
- එකිනෙකාගේ නොයෙකුත් අඩුපාඩු ඉස්මතු වන්නේ කාලයත් සමගය. අවසානයේ පවුල් ජීවිතය ගතවන්නේ වෙනත් කිරීමට දෙයක් නොහැකි නිසාය
- විවාහය යනු නිර්වාණය පවා අහිමි කරන මාර ධර්මයකි. එම නිසා විවාහයේ නිස්සාර බව දැන සරණ යෑම කිසිසේත් නොකළ යුතුය
326. විවාහ ජීවිතය 2
- වෙරළට ගොස් මුහුදේ සිරි නැරඹීම තුළ විශාල වරදක් නැත
- නමුත් වෙරළ තුළ වැලිවලින් නොයෙකුත් නිර්මාණ කිරීම කාලය නාස්ති කිරීමක් සහ තමා කරා දුක පැමිණීමට පාර කපා ගැනීමක් වැනිය
- එයට වඩා හොඳ නිර්මාණයක් වෙනත් අයෙකු සිදුකරන විට, මුහුදු රළ විසින් ඒවා කඩා බිඳ දමන විට සිත තුළ ඇතිවන්නේ වේදනාව කි
- තවද වඩා කැපවීමෙන් එම නිර්මාණ සිදු කරන අයෙක් වේ නම් මුහුදු රළ විසින් ඒවා කඩා බිඳ දමන විට ඔහු වඩා දුකට පත්වන්නේය
- විවාහ ජීවිතය ද වෙරළ තුළ නිර්මාණයක් සිදුකරනවා වැන්නකි. අතීතයේ බොහෝ සාර්ථක වූ පවුලක් වුවද ඉතුරු වූයේ නැත. සියලු දෙනා මිය පරලොව ගියේය. සියලු වත්කම්ද විනාශ වූයේය
- තවද බොහෝ පිරිසක් තම විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ කැප කිරීම් සිදුකරයි
- නමුත් ලෙඩ රෝග, වෙනත් සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවූ විට වඩා තැවෙන්නේ/ ගෙල වැලලා ගන්නේ වඩා කැපකිරීමක් සිදුකළ පිරිසය. එවිට පැමිණෙන දුක දරා ගත නොහැක
- තවද විවාහ ජීවිතයේ සාර්ථකත්වය පවතින්නේ නිරෝගිකම පවතින තුරු පමණි. නිරෝගී කම නැති වූ පසු ක්‍රමානුකූලව වෙනත් අතක් බලා ගැනීම මනුස්ස ස්වභාවයයි
- විවාහ ජීවිතයේ අග්‍රඵලය වන දරුවන්ගෙන් අවසාන කාලයේ සැලකිය යුතු සත්කාරයක් ලබන්නේ ඉතා අල්ප පිරිසකි. ඒය සිදුවන්නේද බොහෝවිට අකමැත්තෙනි
327. මාළු දැල
- මාළුවන් සිටින පොකුණක මාළුවන්ගේ පැවැත්ම බොහෝ අස්ථීර එකකි
- මාළුවන්ට, තමන්ගේම ලොකු මාළුවන්ට මෙන්ම කුරුල්ලන්, කිඹුලන් සහ මිනිසුන් ආදී බොහෝ පිරිසකගේ ගොදුරු වලට පත්වීමට සිදුවේ
- ඉතිරි වන්නේ බොහෝ අතලොස්සකි. ඔවුන්ද ආයුෂ අවසන් වී මරණයට පත් වන්නේය
- එලෙසම මනුස්ස ලෝකය නම් වූ මාළු වලට, බොහෝ මාළු දැල් විටින් විට පතිත වන්නේය
- ස්වභාවික විපත්, ලෙඩ රෝග ආදිය ද මිනීමැරුම්, සියදිවි නසා ගැනීම් ආදී දැල් වලට ද විටින් විට පිරිස් ගොදුරු වන්නේය
- ඉතිරි වන පිරිසද ආයුෂ කෙළවර මරණයට පත්වන්නේය
- මෙලෙස නොයෙක් ආකාරයෙන් මෙනෙහි කරමින් ලෝකය කෙරෙහි පවතින ඡන්ද රාගය දුර්වල කළ යුතුය
- ලෝකය පිළිබඳ සුභ සංඥාව ඉස්මතු වන සෑම මොහොතකම සිදු වන්නේ කර්ම සකස් වීම පිණිස මාර්ගයක් විවර වීමකි
- එම නිසා දුක ලෙස, අසුභ ලෙස, අසාර ලෙස, මෙනෙහි කිරීම සියලු සත්වයන්ගේ යහපත පිණිසද, හිත සුව පිණිසද වන්නේය
328. වේගය
- වේගය යනු කුමක්දැයි ඇසූ විට එලෙස යමක් ඇතත් අර්ථ දැක්වීමක් දීම අපහසුය
- වාහනයක වේගය සම්බන්ධයෙන් ගතහොත් වාහනය ගමන් කිරීම ම වේගය යි
- මලක පිපීමේ වේගය සම්බන්ධයෙන් ගතහොත් මළ පිපීම ම වේගය යි
- වේගයක් ලෙස යමක් ඇත්තෙන්ම ඇති නමුත් එය භාජනයක දමා ගෙනත් පෙන්විය නොහැක
- එලෙසම මම යන්නෙහි අර්ථකථනය ද එවැන්නෙකි
- පෙනීමක් ඇසීමක් දැනීමක් හැඟීමකින් තොරව සත්වයෙක් පුද්ගලයෙක් පැනවෙන්නේ නැත
- එම නිසා පෙනෙන පුද්ගලයෙක් ලෙස නොව, පෙනීම ම මමයි, ඇසීම ම මමයි, දැනීම ම මමයි, හැඟීම ම මමයි ලෙස මෙනෙහි කළ විට ඒ තුළ සැඟවුණු යම් ධර්මයක් මතු කර ගත හැකිය
- පෙනීම ඇසීම දැනීම හැඟීම ඇති විට පුද්ගලයෙක් පහළ වෙයි. පූර්ණ වශයෙන් නැති විට නිරෝධ වේ.
- පෙනීම ඇසීම දැනීම හැඟීම නිරෝධ වූ විට ඒවායේ අයිතිය ඇති වෙනත් ධර්මතාවයක් ඉතුරු වන්නේ නැත. එයින් සියල්ල නිරෝධ වී ඇත. විදර්ශනාව පිණිසය
329. කම්පනය සංඥාව
- ලෝකය යනු කම්පනයක් ලෙස කැටි කළ හැකිය. මෙහි යම් විග්‍රහයක් පහත පරිදිය
- සියල්ල සතර මහ ධාතුව සහ එම සතර මහා ධාතුව සම්බන්ධන් මෝහය විඤ්ඤාණ ධාතුවෙහි පැවැත්ම ලෙස සඳහන් කළ හැකිය
- පොදුවේ ගත් කල සියල්ල ධාතූන් ය. ධාතූන් නිකං පවතින්නේ නැත තියුණු අන්වීක්ෂීය නිරීක්ෂණයකට හසු වන්නේ නිරතුරුව කම්පනය වෙමින් පවතන ස්වභාවය කි
- අප විද්‍යාව ලෙස සිදු කළ ඉගෙනීම් තුළද පරමාණු ලෙසද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදිය න්‍යෂ්ටිය වටේ කම්පනය වීමක් ලෙසද අසා ඇත
- හොඳින් දූවිලි පවතින අවස්ථාවක අපට හොඳින් අරමුණු වන්නේ දූවිලි අංශු නොව එහි පවතින කම්පනය වීමක් ය
- එලෙසම ලෝකය, මනසින් ධාතු කම්පනයක් ලෙස අරමුණු කළ විට ලෝකයේ කම්පනය නොවන කිසිවක් නොමැති බව වැටහෙනු ඇත
- සියල්ලෙහි පොදු සාධකය ලෙස කම්පනය ඉස්මතු කොට එම අරමුණෙහි සිහිය පවත්වාගෙන යන විට ඒ තුළ හිත හොඳින් සමාධිගත වනු ඇත
- එවිට ක්ලේශයන් ස්පර්ශ නොවනු ඇත
- මේ ඔස්සේ විදර්ශනා කරමින් ලෝකයේ යනු කම්පනයක් ලෙස සංඥාවක් මතුකළ හැකිය
330. ඇසෙන ශබ්දය
- කණට ඇසෙන ශබ්ද ද එක්තරා ආකාරයකට ප්‍රතිබිම්බයකි. නැතහොත් ඡායාවකි. මේ පිළිබඳ යම් විග්‍රහයක් පහත පරිදිය.
- වාහනයක් ගමන් කරන විට යම් ශබ්දයන් කනට ඇසීම සිදුවේ
- නමුත් ඇත්තෙන්ම කන ස්පර්ශ කරන්නේ වාහනේ ඇති කම්පනය වන කොටස් නොවේ
- කනෙහි ඇති මස් කෙන්ද ස්පර්ශ කරන්නේ කන අවට ඇති අංශුවල කම්පනයයි
- එය වස්තුව යම් ආකාරයකින් කම්පනය වන විට එයට සාපේක්ෂ අංශු වල කම්පනයයි
- නමුත් සිත අපට පෙන්වා දෙන්නේ එය වාහනයේ කම්පනය ලෙසය
- තවද කන දුර්වල බැවින් කන ග්‍රහණය කරන්නේ කම්පන රටා ආකාරයෙනි
- නමුත් පවතින්නේ කුඩා කුඩා එකිනෙකට ස්වායක්ත බොහෝ කම්පනයන්ය
- මේ ආදී වශයෙන් ශබ්දයක් හඳුනා ගැනීම තුළ එළිපිට පවතින, සිත මුලාවට පත් කරන බොහෝ දුර්වලතා පවතී. විදර්ශනාව පිණිසය
331. කාය ස්පර්ශය
- කාය ස්පර්ශය ද එක්තරා ආකාරයක ප්‍රතිබිම්බයකි
- යම් වස්තුවක් කයේ ස්පර්ශ වන විට කයට දැනෙන්නේ වස්තුවේ ස්පර්ශය නොවේ. එම වස්තුවට සාපේක්ෂ ස්නායු වල තෙරපීමයි
- සිත පෙන්වා දෙන්නේ එය වස්තුවෙහි ස්පර්ශය ලෙසය. නමුත් එය වැරදි වැටහීමකි
- යම් වස්තුවක් මගින් ස්නායු මත ඇති කරන තෙරපීමම, වෙනත් උපක්‍රමයකින් සිදුකළ හැකිනම් සිත හඳුනාගන්නේ එම වස්තුව ස්පර්ශ වූ ලෙසය
- ස්නායු අක්‍රීය අයෙකුට කුමන වස්තුවක් ස්පර්ශ වුවද ස්පර්ශය නොදැනෙන්නේ ස්පර්ශය ලෙස සිත හඳුනාගන්නේ වස්තුවට සාපේක්ෂ ස්නායු වල යම් හැසිරීමක් බැවිනි
- තවද කාය ස්පර්ශය දුර්වල බැවින්, උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් ඔක්සිජන් වැනි වායු අණු දෙකක ස්පර්ශයෙහි වෙනසක් ශරීරයට හඳුනාගත නොහැක
- එලෙසම වෙනත් ලෝහ අංශු දෙකක ආදියෙහි වෙනසක් ද හඳුනාගත නොහැක
- තවද මොන ඉරියව්වෙන් සිටියද ශරීරයේ කුමන හෝ කොටසක් පොළොව සමග තෙරපීම සිදුවේ. තෙරපීමක් යනු දුක් සහගත ස්පර්ශයකි
- සිත ස්පර්ශය දැනගන්නා ආකාරය තුළ පවතින්නේ ද විශාල එළිපිටම පවතින මුලාවකි. විදර්ශනාව පිණිසය
332. නොහැකියාව
- ශරීර ක්‍රියාවලිය අපගේ පාලනයෙන් තොර වෙනත් ධර්මතා වලින් පාලනය වේ
- නමුත් එය සිදු කරන්නේ අප යැයි සිතීම මහත් වූ අනුවණ කමකි
- අපට පැලයක් සිටුවා ගැනීමද අපහසු කාරණයකි. කෙස් ගසක් සිටවීම කිසිසේත් කළ නොහැකි කාරණයකි
- එක වැඩක් එක දිගට පැය කිහිපයක් වත් කල නොහැකි අපට කෙස් ගසක් අඛණ්ඩව වර්ධනය කිරීම කළ නොහැකි කාරණයකි
- ශරීරය, බත් පරිප්පු මුං ඇට යොදා ශක්තිය නිෂ්පාදනයක් සිදු කළද එය අපට සිදු කළ නොහැකි කාරණයකි
- ආහාරයක් දකින විට කටට කෙළ පැමිණීම සිදුවේ. එය අපට කළ නොහැකි කාරණයකි
- සිත සම්බන්ධව ද හේතුවක් නොමැතිව සතුටක් හෝ දුකක් ඉපදවීම කළ නොහැකි කාරණයකි
- මේ ආදී ලෙස මේ කිසිවක් අපගේ පාලනයේ නොමැති ධර්මතා ලෙස මෙනෙහි කළ යුතුය
- අපට කළ හැකි එකම දේ සිදුවන දේ සිදු වූ විට දැනගැනීම පමණි. විදර්ශනාව පිණිසය
333. ටෝච් එළිය
- ටෝච් එක විශාල ප්‍රදේශයක් පුරා පතිත වන විට බොහෝ කලාපයක් පෙනෙන අතර අඩු ආලෝකය නිසා පැහැදිලිව හඳුනාගත නොහැකිය
- නමුත් ටෝච් එළිය ක්‍රමානුකූලව ෆෝකස් කරන විට හසුවන ප්‍රමාණය අඩු වන අතර එවිට එළිය වැඩිවන හෙයින් පැහැදිලිව හඳුනාගත හැකිය
- හොඳින් ෆෝකස් වූ විට පොල් ගසක ඇති ගෙඩි ගණන වුවද ගණන් කළ හැකිය
- එලෙසම සියලු දෙනාටම පවතින යම් සිහියක් පවතී
- නාමරූප වල පවතින මෝහයන් හොඳින් හඳුනා ගැනීමට මනා සිහියක් අවශ්‍ය වේ
- එම නිසා පැතිරුණු සිහිය එක්තැන් කළ යුතුය. විදර්ශනාවට පෙර බොහෝ භාවනාවන් පවතින්නේ ඒ සඳහා ය
- බොහෝ පිරිසක් සිහිය නැතැයි කනස්සල්ලට පත්වුවද ඇත්තෙන්ම සිහිය එම අරමුණේ නැති වුවද යම් වෙන අරමුණක එම මොහොතේ, එම සිහිය පැවතී ඇත
- සිහියේ නිවැරදි ප්‍රයෝජනය නම් ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කිරීමය
- සිහිය ද හේතුඵල ධර්මයකි. එම සිහිය දිගටම තිබේ යැයි සහතිකයක් දිය නොහැකිය. එබැවින් සිහිය පවතින මේ මොහොතේ කළ යුත්ත සිදු කළ යුතුය.විදර්ශනාව පිණිසය
334. පිරිසිදු කිරීම
- වත්ත, මිදුල පිරිසිදු කිරීම එදිනෙදා දින චර්යාවේ කාර්යයකි. එහි බොහෝ ධර්මයන් ද ගැබ්ව පවතී
- වල් ගැලවීම වැනි කාර්යයක් තුළ මුලින් ලොකු වල් පැලෑටි ඉවත් කළ යුතු අතර, එවිට ඊළඟට ඇති වල් පැළෑටි ඉස්මතු වී පෙනේ
- එලෙසම මනස තුළ ඇති කෙලෙස් ද මේ ආකාරයෙන්ම උපමා උපමේය ලෙස ගැලපිය හැකිය
- වත්ත විශාල විට පිරිසිදු කිරීමේ කටයුත්ත අපහසුය. අද නොව හෙට ලෙස, සහ නොයෙකුත් මනසිකාරයන් ඔස්සේ සිත පසුගාමී වීම ස්වභාවයකි
- එවිට මෙම කොටස පමණක් සිදුකරනවා යැයි සිතා කුඩා කොටසක් තෝරාගෙන පිරිසිදු කිරීමට පටන් ගැනීම සිදුකළ යුතුය
- මෙවිට සිත මෙල්ල කිරීම සඳහා නොයෙකුත් උපක්‍රම යෙදීමට සහ සිතෙහි ස්වභාවය වටහා ගැනීමට පහසුවනු ඇත
- නමුත් ඇත්තෙන්ම සියල්ල සිදුකිරීමට නොහැකි විට, හැකි පමණ පිරිසුදු කොට සෑහීමට පත්විය යුතුය. එවිට සෑහීමට පත්වීම ලෙස ගුණයක් ද වැඩිය හැකිය
- හැමදාම සුද්ද කිරීම, අනෙක් අය සහභාගි නොවීම පිළිබඳ කනස්සල්ල, කරදරයක් ලෙස සිතීම ආදී ලෙස ද්වේශය මතුවිය හැකිය
- එවිට නොයෙකුත් සංඥා භාවිතා කරමින් නොයෙකුත් ධර්මයන් භාවිතා කරමින් සිත යටපත් කළ යුතුය. මෙලෙස සිත යටපත් කිරීම සඳහා උපක්‍රම භූමියක් ලෙස වත්ත මිදුල පිරිසිදු කිරීම සැලකිය හැකිය
335. පිරිසිදු කිරීම 2
- වල් ගැලවීම තුළින් ද යම් හේතුඵල ධර්මයක් වටහා ගත හැකිය. උදළු ආදී උපකරණ භාවිතයෙන් වත්ත සුද්ද කිරීමේදී වල් ගසේ උඩින් කැපී යාම සිදුවේ
- එහිදී සිදුවන්නේ හේතුව ඉතිරිව තිබියදී ඵලය විනාශ වීමයි. ඒ වෙනුවට පස බුරුල් කර අලය පිටින්ම ඉවත් කර දැමීම හේතුව නැති කිරීමයි
- එලෙසම ද්වේශය, රාගය ආදිය ඵලයන්ය. ඒවා දුරු කිරීම කළ නොහැක
- ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ ඊට තුඩු දෙන ප්‍රධාන හේතුව වන, සිතන ක්‍රමය සහ දකින ක්‍රමය වෙනස් කිරීමයි
- සක්කාය දිට්ඨිය ප්‍රහාණය යනු දැකීමේ ක්‍රමයේ සිදුවන වෙනසයි. නැතහොත් සම්මා දෘෂ්ටියයි
- සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ පසු සිදුවී ඇත්තේ ගසක මුදුන් මුල කැපීමක් වැනිය. වල් පැළෑටියක අලය ගලවා ඉවත් කිරීමක් වැනිය
- සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වූ පසු අටවෙනි ජීවිතයක් එළඹීමට පෙර සියලු ක්ලේශයන් දුරුවන බව තථාගත දේශනාවයි
- එම නිසා රාගය, ද්වේශය ආදී සියලු ක්ලේශයන් සක්කාය දෘෂ්ටිය හේතු කරගෙන පවතින ධර්මතාවයන්ය. නැතහොත් සියලු ක්ලේශයන්ගේ රජුන් වන්නේ සක්කාය දෘෂ්ටිය නම් ධර්මතාවයයි
- සක්කාය දෘෂ්ටිය බිඳුණු පසු කිසිදු ක්ලේශයක් නොනැසි ඉතිරි වීමේ ක්‍රමයක් ලෝක ධර්මතාවය තුළ නොමැත
336. පිරිසිදු කිරීම 3
- සමහර වල් ගස් විශාල ලෙස පෙනුන ද ඉතා පහසුවෙන් ගලවා ඉවත් කළ හැක
- නමුත් සමහර වල් ගස් කුඩා ලෙස, දුර්වල ලෙස පෙනුනද ගැලවීම ඉතා අපහසුය. විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය
- සියලු ගස් ඉවත්කිරීමේ අරමුණ ඇත්නම් පහසුවෙන් සියල්ල ඉවත් කළ හැකිය
- නමුත් වැදගත් යැයි සලකන යමක් ඇති විට, වටිනාකම් ඇති විට, පිරිසිදු කිරීමේදී ඒවා වෙන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එලෙසම ඒ තුළ වල් ගස් වලටද සැඟවීමේ හැකියාව ඇත
- ක්ලේශයන් දුරු කිරීමේදී ද එලෙසය. සමහර ක්ලේශයන් පහසුවෙන් ඉවත් කළ හැකි ය
- ක්ලේශයක් ලෙසවත් නොපෙනෙන දරු සෙනෙහස ආදී බැඳීම් ඉවත් කිරීම ඉතා අපහසුය. මෙය එක් එක් පුද්ගලයාට සාපේක්ෂය
- තවද ගසක එළියට පෙනෙන්නට ඇත්තේ කොටසක් පමණි. වැඩි කොටස පවතින්නේ පොළොවෙන් යටය
- එලෙසම ක්ලේශයක් ලෙස හසු වන්නේ ක්ලේශයේ කුඩා කොටසකි. ඒවායේ පැතිරුණු තරම වැටහෙන්නේ ඉවත් කිරීමට උත්සාහ කරන විටය
- සිත යනු ක්ලේශයකි. එම ක්ලේශ භූමිය තුළ තවත් ක්ලේශයන් පැලවී ඇති ලෙස උපමා කළ හැකිය. නිවන් මාර්ගය යනු එම ක්ලේශයන් ට තුඩු දුන් හේතූන් ඉවත් කිරීමක් වැනිය. එවිට ක්ලේශයන් ඉවත් වන්නේ නිරායාසයෙනි
337. පිරිසිදු කිරීම 4
- පිරිසිදු කිරීමකට ප්‍රධාන හේතුව වන්නේ එය අපිරිසිදුයි ලෙස සකස් වන හේතුවයි
- එලෙසම තමන් පිරිසිදු ලෙස සලකන අයෙකු තම අපිරිසිදු බව හඳුනාගන්නා තුරු පිරිසිදු වීමට උත්සාහ දරන්නේ නැත
- තමන් අපිරිසිදු යැයි හේතුව ඇති විට පිරිසිදු කිරීම නැමති ඵලය ඉබේ සිද්ධ වන්නේය
- තවද තමන් ඉතා අපහසුවෙන් පිරිසිදු කළ ස්ථානයක් වෙනත් අයෙකු විසින් අපිරිසිදු කරන විට ද්වේශයක් මතුවීමට බොහෝ ඉඩකඩ පවතී
- නමුත් හැමදාම කොළ වැටෙනවා, අතු වැටෙනවා ලෙස සොබා දහමින් සිදුකරන අපිරිසිදු කිරීම් වලින් අපට කේන්ති යන්නේ නැත
- එලෙසම පුද්ගලයන් ද ඉහත ආකාරයේ ධර්මතා ලෙස සලකන විට ඔවුන් සිදු කරන අපිරිසිදු කිරීම් වලටද කේන්ති යන්නේ නැත
- ආදි කාලයේ යුද්ධයකට පුහුණුවීමේදී ලී කඩු ආදියෙන් පුහුණුව ලබන අතර හොඳින් පුහුණුව ලැබූ පසු ඇත්ත කඩුව ද මනා ලෙස හැසිරවීමේ හැකියාව ලැබේ
- එලෙසම පිරිසිදු කිරීම ආදිය ඔස්සේ පුහුණුව ලබා, භාවනා ආදිය සිදු කරන විට සිතේ තතු දන්නා බැවින් ඉක්මනින් සිත සමාධි කර ගැනීම, ප්‍රඥාව අවදි කර ගැනීම සිදු කරගත හැකිවේ
- එම නිසා එදිනෙදා දින චරියාව තුළ සිදුවන පිරිසිදු කිරීම්ද පුහුණුවක් ලෙස සලකා කටයුතු කළ යුතුය. එය දිනෙක නිර්වාණය පිණිස ද පිළිසරණක් වනු ඇත
338. පිරිසිදු කිරීම 5
- අප නොයෙකුත් උපකරණ උපක්‍රම භාවිතා කරමින් පිරිසිදු කිරීම සිදුකළද සොබා දහම තුළද ස්වයං පිරිසිදු වීමක් පවතී
- දිරාපත් වීම එක්තරා පිරිසිදු වීමකි. වර්ෂාව මගින් කැලි කසල ගසාගෙන යෑම තවත් පිරිසිදු වීමකි
- එලෙසම මනස තුළද පවතින ද්වේශය, රාගය, තණ්හාව ආදී අපිරිසිදු වීම් කාලයත් සමග යම් පිරිසුදු වීමේ ස්වභාවයක් ඇත
- තවද පිරිසිදු බව හෝ අපිරිසිදු බව යනු පුද්ගල සාපේක්ෂ දෘෂ්ටියකි
- සොබාදහම තුළ කිසිවක් පිරිසිදු හෝ අපිරිසිදු හෝ ලෙස නැත
- ඒවා පැනවෙන්නේ එම ස්ථානයට පුද්ගලයාගේ පැමිණීමත් සමඟය
- තවත් ආකාරයකින් පිරිසිදු කිරීම යනු මාන්නයට විශාල පහරක් එල්ල වන කටයුත්තකි
- බාහිරින් පිරිසිදු කරන ලෙස පෙනුණද ඇත්තෙන්ම එය මාන්නයත් සමඟ අභ්‍යන්තරයේ සිදුකරන පොර බැඳීමකි
- අවසානයේ පිරිසිදු කළ භූමිය දෙස බලන විට සිතෙහි ද ප්‍රබෝධමත් ගතියක් ඇති වන්නේ ඒ සමග සිතද පිරිසිදු වී ඇති හෙයිනි
339. පිරිසිදු කිරීම 6
- ධර්මය රකින්නා ධර්මයෙන් රැක දෙන්නේය. මේ තුළ සැඟවුණු බොහෝ ධර්මතා අන්තර්ගත වේ
- වත්ත පිටිය ගෙවත්ත පිරිසිදු කිරීම තුළින් ගේ දොර තුල සිරියාවක් උපදින අතර පිරිසිදුකම විසින් පෙරලා මනසට ප්‍රබෝධයක් ද ලබාදේ
- වෙහෙස මහන්සි වී සිදු කරන බැවින් කාය ශක්තිය උපදින අතර කාය නීරෝගී භාවය ද සකස් වේ
- ඩෙංගු ආදී රෝග සඳහා සඳහා හේතු නැති වන බැවින් ශ්‍රම දානය තුළ නීරෝගීකම ද දානයක් ලෙස පිරිනැමේ
- සර්පයන් ආදී සත්වයන්ගෙන් ඇතිවන අනතුරුද අවම වන බැවින් ආරක්ෂාව ද දානයක් ලෙස පිරිනැමේ
- අන් ආකාරයෙන් අප පරිසරය රකින විට පරිසරය විසින් නොයෙක් ආකාරයෙන් අපව රකිනු ලැබේ
- පිරිසිදු කිරීම තුළ අන් අයගේ යහපත සිදුවේ. ඒ තුළින් විදර්ශනාවක් අවදි කළ හැකි අතර ඒ තුළ කරුණාව මෛත්‍රිය ද උපදවා ගත හැක
- ගසක් ඉපදී මියැදී යන ආකාරය දැකීම තම ජීවිතයට ගැලපීම තුළ මරණානුස්සතිය ආදී භාවනාවන් වුවද ඉස්මතු කළ හැකිය
- පිරිසිදු කිරීම තුළ පිරිසිදු බව මෙන්ම ඒ තුළින් අති පිරිසිදු ප්‍රඥාවද මතු කළ හැකිය
340. දුරස්ථ පාලනය
- නවීන තාක්ෂණය අනුව බොහෝ දෑ දුරස්ථව පාලනය කළ හැක
- ඇත්තෙන්ම සිදුවී ඇත්තේ නොයෙක් දෑ නොයෙක් දේ ට සංවේදී භාවයක් ඇතිවීමය
- අපේ සිත ද ආකාර කිහිපයක් යටතේ නොයෙක් දෑ සඳහා සංවේදී බවක් දක්වයි
- කෙනෙක් බැන්න විට සිතේ රිදීමක් ඇතිවෙන්නේ එම බැනීමට සංවේදී පරිපථ කොටසක් මනස තුළ ඇති බැවිනි
- එය උපමාවක් ලෙස අපගේ මනසට ක්‍රියාත්මක කරවිය හැකි දුරස්ථ පාලකයක් ඔහු සන්තකයේ පවතිනවා වැනිය
- මෙලෙස නොයෙකුත් ලෙස මනස ක්‍රියාත්මක කරවිය හැකි දුරස්ථ පාලකයන් රූප, ශබ්ද, ගන්ධ ආදිය තුල සැඟව පවතී
- අටලෝ දහමින් කම්පා නොවීම යනු මෙම සංවේදී කොටස් ගලවා විසි කිරීමක් වැනිය
- මේ තුළින් අපව පාලනය කළ හැකි දුරස්ථ පාලක බාහිරය තුළ පැවතිය නොහැක, ලෙස සංඥාවක් වැඩිය හැකිය
- මේ තුළ ලැජ්ජාව බය ආදී ධර්මතාවයන් උපදවා ගනිමින් ක්ලේශයන් යටපත් කළ හැකිය
341. අතීතය සහ අනාගතය
- ඇස, කන, නාසය, දිව, ශරීරය ආදියෙන් අවසානයේ මනස තුළ සිදුවන්නේ දැන ගැනීමක් පමණි
- උදාහරණයක් ලෙස ඇසින් දැනගැනීමක් සිදුවේ. දැනගැනීම කුමක්දැයි යන ප්‍රශ්නය මතුවූ විට රූපයක් යැයි ද, එය විග්‍රහ කරන විට අම්මා තාත්තා ආදී ලෙස ද ගස ගල මල ආදී ලෙස ද නාම රූප මතුවේ
- සිතිවිල්ලක් ඇති වුවද අවසානයේ සිදුවන්නේ දැන ගැනීමක් වන අතර දැනගැනීම වන්නේ සිතිවිල්ලක් ඇති වූ බවය
- එපමණකින් නොනැවතී දැනුම අනුව විචිත්‍ර කරන්නේ ද නොයෙකුත් අර්ථ දමන්නේ ද සිත මෝහය තුළ පවතින තුරු පමණි
- ලියුම් බෙදන්නෙකුට සියල්ල ලියුම් ලෙස සමාන වටිනාකම පවතින අතර වටිනාකම් මතුවන්නේ ඒවා කඩා තම දැනුම තුළින් ඒ දෙස බැලුවහොත් පමණි
- සිතේ උපදින්නේ සිතිවිලි පමණි. ඇති වන්නේ වර්තමානයේ පමණි. අතීතයේ සිදුවූ සිදුවීමක් වුවද එය දැනගන්නේ වර්තමාන සිතිවිල්ලකිනි. එම නිසා තොරතුර අතීත වුවද එය වර්තමාන සිතිවිල්ලකි
- අතීත අනාගත ලෙස සිතුවිලි නැත. අතීතයේ ඇති වූ සිතිවිල්ලක් ඇති වී අවසානය එය නැවත ඇති කළ නොහැක
- අනාගතයේ ඇතිවන සිතිවිල්ලක් තවම ඇතිවී නොමැත එම නිසා එය නිගමනය කළ නොහැක
- සිතිවිල්ලට, සිතිවිල්ලක වටිනාකම පමණක් ලබාදිය යුතුය. එවිට සිතිවිල්ලකි. එපමණකි
342. ගෝනිබිල්ලා
- ගෝනිබිල්ලා යනු කුඩා දරුවන් නලවා ගැනීම පිරිස, බිය ගැන්වීම පිණිස ගොඩනගා ඇති මනඃකල්පිත ප්‍රතිරූපයකි
- චරිතය මනඃකල්පිත වූවත් ඒ හේතුවෙන් කුඩා දරුවන් තුළ නොයෙකුත් කර්ම සකස් වේ
- දිට්ඨධම්මවේදනීය ලෙස කළුවරට බිය වීම, තැතිගැනීම ආදී නොයෙකුත් ලෙස කුඩා දරුවන්ගේ මනසට බලපෑම් එල්ල වේ
- තරුණ භාවයට පත්වුවද එම අතීත සංඥා හේතුවෙන් බියට පත්වීම තැති ගැනීම වුවද සිදුවිය හැකිය. නමුත් හාස්‍යජනක කතාව වන්නේ මුල සිටම ගෝනිබිල්ලෙකු සිට නැත
- එලෙසම මම යන සංකල්පයද මනඃකල්පිත ය. උපමාවක් ලෙස ගෝනිබිල්ලාට සමාන කළ හැකිය
- හොඳින් සොයා බලන විට මම ලෙස අර්ථයක් දැමිය හැකි කිසිවක් නොමැත. නමුත් අති දීර්ඝ සංසාර ගමනට හේතුව එම මනඃකල්පිත මම නම් දෘෂ්ටියයි
- සරල උදාහරණයක් ලෙස මේ මගේ ශරීරය ලෙස පවසන විට, ඒ තුළ මම ලෙස ද එයට අයිති ශරීරය ලෙස අනෙකක් ද පවතී. එයින් අදහස් වන්නේ ශරීරය මම නොවන බවය
- මේ මගේ සිත ලෙස පවසන විට එහි ද මම ලෙස සහ එයට අයිති සිත ලෙස අනෙකක් පවතී. එයින් අදහස් වන්නේ සිතද මම නොවන බවය
- එසේනම් මම යනු කුමක්ද ? ඇත්තෙන්ම මනඃකල්පිත ගෝනි බිල්ලෙක් පමණි
343. සිතෙහි පැවැත්ම
- ගණිත විෂය තුළ බින්දුව, අනන්තය ආදී විශේෂ අවස්ථාවන් ඇතැම් ගණිත ගැටලු විසඳීම සඳහා භාවිතා කළ හැක
- එවැනි විශේෂ අවස්ථාවක් විඤ්ඤාණය වටහා ගැනීමටද භාවිතා කළ හැකිය
- මානසික පරීක්ෂණයකි: නිරෝගී ආයතන පිහිටා ඇති නමුත් තවම අරමුණක් ගැටී නැති උපකල්පිත මානසික මට්ටමක් සලකමු
- එහි, ඇස ඇත, නමුත් තවම කිසිදු රූපයක් දැක නැත. කන ඇත, නමුත් තවම ශබ්දයක් අසා නැත. නාසය ඇත, නමුත් ගන්ධයක් දැනී නැත. දිව ඇත, තවම රසයක් දැනී නැත. ශරීරය ඇත, තවම ස්පර්ශයක් දැනී නැත
- මෙම මානසික මට්ටම හොඳින් මෙනෙහි කර ඒ තුළ සිතිවිල්ලක් හට ගන්නේ කෙසේද යන ප්‍රශ්නය විමසා බැලිය යුතුය
- මේ ආකාරයෙන් සිතා බලන විට වැටහෙන්නේ අරමුණක් නැතුව සිතිවිල්ලක් හට ගැනීමට හැකියාවක් නොමැති බවයි
- සිතිවිල්ලක් නිකරුණේ හටගන්නේ නැත. එය බොහෝ නාමරූප ඇසුරු කරමින් නොයෙකුත් හේතු නිසා ඇතිවන ඵලයකි
- එම මානසික මට්ටම තුළ ඇස අනුබද්ධයෙන් ගත් විට, ඇසට පළමු රූපය ගැටුණු මොහොත තුල පළමු දැනගැනීම හටගනීඑම දැනගැනීම හේතුවෙන් ඒ හා බැඳුණු ඵලයන් ලෙස මතකය, තව තවත් සිතිවිලි ඇතිවීම ආදිය ද මෝහ සහගත විට තණ්හා උපාදාන ආදිය ද ඇතිවේ. විදර්ශනාව පිණිසය
344. හරකා
- ධර්ම මාර්ගයේ ගමන් කරන්නන් හට ඕනෑම සිද්ධියක් කමටහනක් කර ගත හැකිවිය යුතුය
- හරක් රැලක් තුළ සිටින හරකෙකු වෙනස් හැසිරීමක් දක්වන විට එම හරකා රැලෙන් වෙන්වීම අතරමං වීම මෙන්ම නොයෙකුත් උවදුරු වලට භාජනය විය හැකිය
- අන් හරකුන් ගමන් කරන වේගයට වඩා වැඩි වේගයෙන් යෑමට උත්සාහ කළහොත් ඉදිරියෙන් යන හරකුන් අතරින් මාර්ගයක් සකසා ගැනීමට අපහසුවීම, අන් හරකුන් සමග ගැටීම තුවාල වීම ආදියක් සිදුවිය හැකිය
- අන් හරකුන්ගේ වේගයට ගමන් නොකළහොත් පිටිපස හරකුන්ට පෑගීම හේතුවෙන් අනතුරට ලක් වීම වැනි අපහසුතාවයන්ට පත් විය හැකිය
- එම නිසා හොඳම දෙය වන්නේ අවස්ථාවක් ලැබෙන තුරු අනෙක් හරකුන් අනුගමනය කරමින්, එම දිශාවටම එම වේගයෙන් ගමන් කිරීමය
- ධර්ම මාර්ගයද එලෙසය. මානසිකත්වය පමණක් වෙනස් කරමින් සාමාන්‍ය මිනිසෙකු මෙන් එදිනෙදා කටයුතු සිදු කළ යුතුය. යුතුකම් වගකීම් ද ඉටුකල යුතුය. නමුත් එම සියල්ල විදර්ශනා ඇසකින් දැකිය යුතුය
- මෙවිට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස බාහිරට පෙනුනද, කාලයත් සමග කුඩා පැලයක් ලොකු ගසක් බවට පත් වන්නා සේ අභ්‍යන්තරයේ මහා විපර්යාසයක් සිදුවේ
- තමන් නොදැනුවත්වම මානසික මට්ටම ශක්තිමත් වන අතර දරා ගැනීමේ හැකියාව ඉවසීම කෙලෙස් වලට ප්‍රතිරෝධී භාවය ක්‍රමානුකූලව සකස් වේ
- අවසානයේ විශාල යැයි, බිඳ හෙළිය නොහැකි යැයි, සලකාගෙන සිට සිටි කෙලෙස් පහසුවෙන් බිඳ හෙළිය හැකිවේ
- කලබල වීමෙන්, ඇඳුම වෙනස් කිරීමෙන්, තැන වෙනස් කිරීමෙන් මනස ධර්මානුකූල භාවයට පත් නොවේ. වැල හැරවීම වෙනුවට මැස්ස හරවනවා සේ ඉතා සූක්ෂමව උපක්‍රමශීලීව මෙම මානසික වෙනස්වීම සිදු කළ යුතුය
345. ජලාශය
- ජලය ගලා යෑම සඳහා බෑවුමක් අවශ්‍ය වේ. ගලා යන ජලයට බාධක හමුවූ විට තව තවත් ප්‍රචණ්ඩ වීම සිදුවේ
- නිශ්චල ජලාශයක් නිශ්චලව පවතින්නේ එයට ගලා යෑම සඳහා හේතු සකස් වන තුරු පමණි. නිශ්චලව පැවතියද ඒ තුළ බිහිසුණු බවද සැඟවී පවතී
- එලෙසම අපගේ මනස ද මේ මොහොතේ නිශ්චලව පැවතුන ද එයට හේතු සැකසුණු පසු එයින් උපදින්නා වූ දුක්ඛයන් සිතාගතවත් නොහැකි ය
- ඒවා සමඟ සසදන විට සුගතියක් වූ මනුස්ස ජීවිතය තුළ පැමිණෙන දුකක් දුකක් ලෙස සැලකිය නොහැකිය
- ජලාශයක බැම්ම බිඳී යෑමට ප්‍රථම එහි අවදානම හඳුනාගෙන බැම්ම ශක්තිමත් කළ යුතුය. බැම්ම බිඳුණු පසු එය කල්පනා කිරීමෙන් ඵලක් නැත
- මනස ද එලෙසය. යමක් වැටහෙන මනුස්ස ජීවිතය පවතින, මෙම අවධියේ සතර අපායට නොයෑම පිණිස, මනස තුළ ශක්තිමත් බැමි සකස් කළ යුතුය
- එලෙසම ගස්, ගල්, පර්වත, සුළඟ, ඉර එළිය ආදී සියල්ල අහිංසක ලෙස පෙනුන ද ඒවා අහිංසක ලෙස පවතින්නේ හේතු සකස් වන තුරු පමණි
- එසේ වුවද ඒ සියල්ලෙන් ම බේරීමට, මගහැරීමට කෙසේ හෝ උපක්‍රමයක් යෙදිය හැකිය
- නමුත් ඒ සියල්ලටම වඩා ප්‍රබල වන්නේ සිත ය. ඒ තුළ යම් ආනන්තරීය ආදී කර්මයක් සකස් වී ඇති විට තථාගතයන් වහන්සේට වත් පිහිට විය නොහැකි ය. කිසිදු සමාවක් ලැබෙන්නේ නැත. ගෙවාම අවසන් කළ යුතුය
346. නිරෝගී භාවය
- මනුස්සයෙකුට නිරෝගී භාවය වටිනා සම්පතකි. නමුත් එම නිරෝගී යැයි සලකන ධර්මතාවය තුළ බොහෝ උපකල්පන පවතී. උදාහරණයක් ලෙස, ශරීරය තුළ පවතින බොහෝ බරපතළ රෝග, රෝග ලෙස ගැනෙන්නේ නැත
- නමුත් හොඳින් බලන විට දත් අපිරිසිදු වීම රෝගයකි. එය දිගටම පිරිසිදුව තිබුණේ නම් සාපේක්ෂව නිරෝගීකමකි
- මලපහ මූත්‍රා ආදිය පිටවීම ද රෝගයකි. ඇටෑච් බාත්රූම් අවශ්‍ය වී ඇත්තේ එම රෝගයට නිරතුරුව පිළියම් අවශ්‍ය බැවිනි
- මේ ආකාරයෙන් බඩගින්න, පිපාසය, දහඩිය පිටවීම, ජරා වීම ආදිය ද ජරා ව්‍යාධි මරණ ද රෝගයන්ය
- රාගය ඇතිවීම, ද්වේශය ඇතිවීම, තණ්හාව ඊර්ෂ්‍යාව ආදී සියල්ල ද රෝගයන්ය
- මානසික පරීක්ෂණය: ඉහත රෝග සියල්ලෙන්ම තොර වූ මනුස්සයෙක් සලකන්න
- එවැනි පුද්ගලයෙක් ජීවත් වන්නේ කුමකටද? ඉතා හොඳින් විමසා බලන්න. බොහෝ ධර්මයන් මතුකර ගත හැකිය
- ඇත්තෙන්ම ජීවත්වීම යනු රෝගයන් සමග පොර බැදීමකි. රැකියාව සිදු කරන්නේද බඩගින්න නමැති රෝගයේ පීඩාව නිසාය. විවාහ වන්නේ ද රාගය නමැති රෝග පීඩාව නිසාය
- සියලු රෝග දුර වූ, පරම නිරෝගී භාවය ඇත්නම්, එවැනි පැවැත්මක් පැනවෙන්නේ නැත
347. අත් කාචය
- අත් කාච ඉතා කුඩා අකුරු මෙන්ම නොයෙකුත් කුඩා කොටස් හඳුනා ගැනීම සඳහා විශාල පහසුවක් සලසයි
- පියවි ඇසින් බැලීම වෙනුවට අත් කාචයකින් බැලීම තුළ දැකීම, හඳුනාගත හැකි දැකීමක් බවට පත්වේ
- උපමාවක් ලෙස තථාගත ධර්මය යනු මෝහයට අත් කාචයක් වැනිය
- සසර පුරා එළිපිටම මෝහය තිබී ඇති අතර හඳුනා ගැනීමට නොහැකි වීම සසර ගමන් කිරීමට හේතුවයි
- නමුත් තථාගත ධර්මය නමැති අත් කාචය භාවිතයෙන් එම එකම මෝහය දෙස බලන විට මෝහය, හඳුනාගත් මෝහයක් බවට පත්වන්නේය
- නමුත් අත් කාචය ප්‍රමාණයට වඩා ලං කිරීම හෝ ප්‍රමාණයට වඩා ඈත් කිරීම තුළින් පෙනුන යමක් ඇත්නම් එයද නොපෙනී යාම සිදුවිය හැකිය
- තථාගත ධර්මය ද එලෙසය. ධර්මය අතට පත්වුවද එය භාවිතා කරන ආකාරය වරද සහගත වූ විට පෙනීම තවත් විකෘති භාවයට පත් විය හැකිය
- එම නිසා ධර්මය පරිහරණය කරන ආකාරයද වෙනම උගත යුතු පාඩමකි
- ධර්මය නැමැති කාචය හොඳින් අතට හුරු වන තුරු එයින් නියම ප්‍රයෝජනය ලබා ගැනීමට නොහැකි ය. එම නිසා වැඩි වැඩියෙන් ධර්මය පුරුදු කිරීමට කාලය ගත කළ යුතුය
348. දුන් විට දෙකකි
- ආහාර දානය යනු නිර්වාණ මාර්ගයේ ආරම්භක පියවරකි
- කාලයත් සමඟ එය දියුණු වන අතර දීමේ ක්‍රමය සහ ඒ පිළිබඳව දැක්ම ද සියුම් වේ
- යමක් නුදුන් විට නුදුන් දෙය තම සන්තකයේ ඉතිරි වේ
- දුන් විට දුන් දෙය මෙන්ම දුන්නා යන්න ද ඉතුරු වේ
- උදාහරණයක් ලෙස තමන් සන්තකයේ යම් මුදලක් තිබූ විට මුදල පමණක් පවතී
- එම මුදල වියදම් කොට යම් පිළිමයක් කරවූ විට පිළිමය වෙනම පවතින අතර එය කරවූ සිත ආරක්ෂාවක් ලෙස ජීවිත කාලය තුරා පවතී
- දීම සිදුකළ හැක්කේ යම් දැක්මක් සහිත අනුකම්පා දයාව ආදිය ඇති පුද්ගලයකුට පමණි
- එම නිසා දීම පුරුදු කරන විට නිරායාසයෙන් අනුකම්පාව දයාව මෙන්ම දැක්ම ද දියුණුවේ
- නුදුන් දේය ව්‍යාධිය මරණය ආදී වශයෙන් ඒකාන්තයෙන් අහිමි වන අතර දුන් දෙය සසර පුරා පිළිසරණක් වෙමින් බොහෝ කල් පවතිනු ඇත
349. බවට පත්වීම
- බස් රථ රියදුරෙකු පුරුදු වන මුල් කාලයේ ජියර් දැමීම ක්ලව් එක පෑගීම තිරිංග තද කිරීම ආයාසයෙන් සිදු කරනු ලබයි
- නමුත් කාලයකට පසු සියල්ල සිදුවන්නේ නිරායාසයෙනි. ඔහුගේ සහ බස් රථයේ වෙනසක් නැත. එකක් බවට පත්වී ඇත
- නළුවෙකු කතාවක චිත්‍රපටයක යම් චරිතයක් රඟපාන විට එම චරිතය හොඳින් මතකයේ තබා ගනිමින් රඟ දැක්වීම සිදුකරයි
- නමුත් රඟපාන බව දන්නා බැවින් ඔහු ඒ බවට පත්වී නැත. එය පවතින්නේ රඟපෑම අවසන් වන තුරු පමණි
- නමුත් මම, මම නම් චරිතයට රඟපාන අතර එය රඟපෑමක් බව දන්නේ ද නැත
- චරිතයේ පිටපත කර්මය විසින් ලියා ඇති අතර එය නොදන්නා මම විසින් සිදු කරන්නේ එය බවට පත් වී එය රඟ දැක්වීමය
- නමුත් මෙය හේතුඵල ආදී ආකාරයෙන් හඳුනාගන්නා උතුමන් වහන්සේලා තුල මෙම චරිතය රඟ දැක්වෙන්නේ නැත
- එලෙසම සිතිවිල්ලක් හඳුනාගන්නා අයෙකු ද සිතිවිල්ල භුක්ති විඳින්නේ නැත
- නමුත් හඳුනා නොගත් සිතිවිල්ල තුළ සිදුවී ඇත්තේ ඒ බවට පත්වීම ය. නිරායාසයෙන් එය භුක්ති විදීම සිදුවන අතර කර්මයන්ද නිරායාසයෙන් ජනනය වේ
350. මොහොතකට පෙර
- ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන මරණ මොහොත යනු උපරිම මානසික වෙනස් වීමක් අත්විඳින සුවිශේෂී මානසික මට්ටමකි
- මරණ මංචකය තුළ මාර්ගයේ සිටින අයෙකු ඵලයට පත්වීම පිළිබඳ බුදු දහමේ සඳහන් වේ
- එම නිසා මරණ මංචකය නම් විශේෂ අවස්ථාව විදර්ශනා කිරීම තුළ සුවිශේෂී අවබෝධයන් ලබා ගත හැකිය
- මානසික පරීක්ෂණය: මරණයට මොහොතකට පසු මොහොත සිහිපත් කරන්න
- වාහන ගෙදර මුදල් ආදී සියලු වත්කම් අහිමි වී ඇත. නෑදෑයන් අහිමි වී ඇත. දූ දරුවන් මාපියන් බිරිඳ ස්වාමිපුරුෂයා අහිමි වී ඇත.
- ඩිග්‍රිය වලංගු නැත. තරාතිරම් මාන්න සියල්ල බිඳී ගොසින්ය. තම සිරුර ද අහිමි වී ඇත
- ජීවත්ව සිටි කාලයේ මෙන් තම වචනයට කිසිවෙකු අවනත නැත. සියල්ල *Reset* වී ඇත. නැවත ඒ කිසිවක් කිසි දිනක ලැබෙන්නේ නැත
- නැවත මරණයට මොහොතකට පෙර අවස්ථාව සිහිපත් කරන්න. සියල්ලෝ තමා වටා හඬා වැළපෙන ලෙස, දුක් වෙන ලෙස පෙනෙන නමුත් ඒ බැඳීම් එක එක බිඳීමේදී පිටවෙන ශබ්දයයි
- මේ ආකාරයෙන් මරණයට පෙර මරණයට පසු අවස්ථා ගැන මනස යොමු කරමින් නැවත නැවත සිහිපත් කරන්න. බොහෝ වැටහීම් සිදුවනු ඇත
351. අවසන් කළ නොහැක
- ලෞකික සිතකට කිසිවක් නිවැරදිව නිගමනය කළ නොහැක. සංසාරයක් නොයෙකුත් දේ හැකි උපරිමයෙන් සිදුකළ ද අවසන් වී නැත්තේ ඒ හෙයිනි
- ඇසට බොහෝ දේවල් හසු වුවත් ප්‍රඥාවකින්ම මිස ඇසට ඇස හසු වන්නේ නැත. එලෙසම සිතට සිත හසු වන්නේ ද නැත
- ඉගෙනීම යනු මිරිඟුවකි. ඉගෙනීම අවසන් වන්නේ තවදු ඉගෙනීමකට අත්තිවාරමක් දමාය
- බඩගින්න පිපාසය නිදිමත කාලය විශාලත්වය ආදීය එම එකදු කුලකයේ ධර්මතාය. අවසානයක් පැනවිය නොහැක
- මරණය තවදු ඉපදීමක ආරම්භයයි. ඉපදීම තවදු ජරා, මරණ ආදියක ආරම්භයයි.
- කිසිවක් ලබා දී හෝ ලබා නොදී තෘප්තිමත් කළ නොහැකි මෙම ශරීරය යනු අපට එළිපිට කර ඇති හූනියම කි
- සිතුවිල්ලක් අවසන් වන විට නැවත සිතිවිලි පැමිණෙන මේ සිතෙන් මිදී මොහොතක්වත් ගත කළ නොහැක. කරුමයකි
- මෙපමණ සංකීර්ණ වීමට ඇත්තෙන්ම මෙහි ඇති දෙයක් නැත. මක්නිසාද ඒ සියල්ල පනවා ඇත්තේ සිතින් බැවිනි
- සිතින් පැනවූ දෙය සිතින්ම අවසන් කරනවා මිස වෙනත් අවසන් කිරීමේ ක්‍රමයක් නැත
352. ඉවත් කිරීමේ ක්‍රමය
- ධර්ම මාර්ගයේ ගමන් කරන බොහෝ පිරිසක් උත්සාහ කරන්නේ කෙලෙස් ඉවත් කිරීමටය. ඒ තුළ සිදුවන්නේ අනාත්ම භාවයක්, ආත්මභාවයක් කිරීමට උත්සාහ දැරීමකි
- එය කළ නොහැකි කාරණයකි. එය සිදුකිරීමට උත්සාහ කරන විට සිදුවිය හැක්කේ ඉච්ඡාභංගත්වය, කනස්සල්ල හෝ පසුතැවිල්ල ආදිය ඇතිවීමය
- නිවසෙහි පවතින යම් භාණ්ඩයක් ඉවත් කිරීමට අරමුණක් ඇති විට සිදු කළ යුත්තේ ඉවත්කිරීමය
- ඒ වෙනුවට එය පිරිසිදු කිරීමක් සිදුවන්නේ නම් එයින් එම භාණ්ඩය තබා ගැනීම පිණිස සිදු කරන වෑයමක් පෙන්නුම් කරයි
- එලෙසම සසර ගමනින් මිදීමට අදහස් කරන්නේ නම් එවන් අයෙක් එම භාණ්ඩය පිරිසිදු කර කර ඉන්නේ නැත
- පිරිසිදු කිරීමෙන් සිදුවන්නේ සහ එයින් අදහස් වන්නේ එය ඉවත් නොකිරීමේ සූදානමකි
- ධර්ම මාර්ගය තුළ සිදු කළ යුතු වන්නේ කෙලෙස් ඉවත් කිරීම වෙනුවට කෙලෙස් හඳුනා ගැනීමය
- එම ක්ලේශයන්හි පටිච්චසමුප්පන්න ස්වභාවය හඳුනා ගැනීමය
- එවිට කෙලෙස් වලින් මිදීම, සසරින් මිදීම සිදුවන්නේ නිරායාසයෙනි
353. නෝන්ජලයෙකු නොවේ
- තථාගත ශ්‍රාවකයා යනු අන් අයගේ උසුළු විසුළු වලට පාත්‍ර විය යුතු අයෙක් නොවේ
- ප්‍රඥාව වැඩීමත් සමඟ තථාගත ශ්‍රාවකයා ගාම්භීර එඩිතර බවට පත්විය යුතුය. එසේ නොමැති නම් එය ප්‍රඥාවේ පවතින දෝෂයකි
- නුවණැති අයෙකු තථාගත ශ්‍රාවකයා ඉදිරියේ ගොළු වන්නේය. තවද ගාම්භීරත්වය, ගුණවත් බව, පෞරුෂය ආදිය තුළ නිරායාසයෙන් ගරුත්වය සකස් වීම ලෝක ධර්මතාවයකි
- තවද යම් ශ්‍රාවකයෙක් ප්‍රතිපදාවක් සිදුකරන්නේ වඩා සැපවත් භාවය උදෙසා මිස දුක් විඳීම පිණිස නොවේ
- තථාගත ශ්‍රාවකයා යනු හිඟාකමින්, බැගෑපත් වෙමින්, නෝන්ජලයෙකු සේ ජීවත් විය යුතු බව බොහෝ පිරිසක් තුළ පවතින වැරදි මතයකි
- බොහෝ විට නුගුණක් ලෙස අපහදින්නේ ද තථාගත ශ්‍රාවකයා තුළ පවතින හඳුනා නොගත් ගුණයකටමය
- අහිංසක ලෙස, නෝන්ජලයෙකු ලෙස රැවටිය හැකි ලෙස බාහිරට පෙනුණද තථාගත ශ්‍රාවකයා රැවටිය හැකි පුද්ගලයෙකු නොවේ
- සිත ඉදිරියේ සිංහයෙකු ලෙස සිටින තථාගත ශ්‍රාවකයා බාහිරට පෙනෙණුයේ අහිංසක බිම බලාගෙන යන සංවේදනයක් නැති අයෙකු ලෙසය. එයද වරදවා වටහා ගැනීමකි
- යම් ශ්‍රාවකයෙකුගේ ගුණ හඳුනා ගැනීමට තමා තුළ ද එම ගුණ හඳුනා ගැනීමට ප්‍රමාණවත් ප්‍රඥාවක්, නිහතමානී බවක් පැවතිය යුතුය. එම නිසා බොහෝ පිරිසකට තථාගත ශ්‍රාවකයෙකු හඳුනා ගැනීම අපහසු කාරණයකි
354. තථාගත තේජස
- තථාගතයන් වහන්සේ නිවන අධිගමනය කළ ආකාරය හිරිගඩු නංවන, ඇඟ සීතල කරන සුළුය
- සමත්, නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ශරීරයේ ලේ මස් වියලි යතොත් යේවා
- පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් සතර මාර්ග ඥානයකට හා සර්වඥ ඥානයකට පැමිණිය යුතු ද එයට නොපැමිණ වීරිය අත් නොහරිමි
- මේ තථාගත සිංහ නාදයකි. මේ ආකාරයෙන් නිවන් සටනෙහි යෙදෙන ශ්‍රාවකයා ද හික්මිය යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත
- වීරිය හීන වන විට අපගේ ගුරු තථාගතයන් වහන්සේ මෙවන් උත්තමයන් වහන්සේ නමක් ය, ලෙස බුද්ධානුස්සතිය මෙනෙහි කොට වීරිය ඉපදවිය හැකිය
- කලවා ඇට බිඳගෙන මහණදම් පිරූ, ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ තථාගත ශ්‍රාවකයන් පිළිබඳ අප අසා ඇත
- ඔබ අතට පත්වී ඇති තථාගත ශාසනය මෙවන් මහා වීරයන් වහන්සේලාගේ සහ ගුණවතුන් වහන්සේලාගේ ස්පර්ශය ලැබූවකි
- මෙවන් ආදර්ශ ලබා දී ඇත්තේ මා උදෙසාමය, මගේ නිවන් මාර්ගය සාර්ථක කර ගැනීම උදෙසාමය, ලෙස මෙනෙහි කළ යුතුය
- මෙසේ මෙනෙහි කරමින් නීවරණ යටපත් කොට කෙළවරක් නොමැති සසර ගමන වහ වහා කෙළවර කිරීමට කටයුතු කළ යුතුය
355. මහ පොළොව සංඥාව
- මේ කය සකස් වී ඇත්තේ මහ පොළවේම ඇති කොටස් වලිනි
- තවද එය පවත්වා ගැනීමට ආහාර ලෙස ලබා ගන්නේ ද මහ පොළොවේම ඇති කොටස්ය
- බෙහෙතක් හේතක් ලෙස ලබා ගන්නා දේ ද මහ පොළවේම කොටස් ය
- අපේ යම් වත්කමක් ඇතැයි පවසන්නේ නම් එයද මහපොළොවේ ඇති කොටස් ය
- තවද ඇස, කන, නාසය සහ දිව ආදී ඉන්ද්‍රියන් පිනවන්නේ ද මහපොළොවේම ඇති කොටස් වලිනි.
- හිඳගන්නා පුටුව නිදාගන්නා ඇඳ මෙන්ම භාවිතා කරන උපකරණ වාහන පවා මහ පොළොවේම කොටස් ය
- යම් දුකක් හෝ සැපක් ඇත්නම් එය ද මහ පොළොව ඇසුරු කරමින් සකස් වී ඇත
- එම නිසා මහපොළොව වටහා ගත් විට, මම නම් ප්‍රහේලිකාව විසදෙන්නේ ය
- තථාගතයන් වහන්සේ පවා බුද්ධත්වය ලබන අවස්ථාවේ සාක්ෂි කළ මහ පොළොව පිළිබඳව මේ ආකාරයෙන් මෙනෙහි කරන විට බොහෝ අවබෝධයන් ලබාගත හැකිය
356. සිත
- සරල ලෙස සිතෙහි හැකියාව වන්නේ දැන ගැනීමයි. තවද එය විපාකයකි
- මතකය යනු සිතෙහිම තවත් ක්‍රියාත්මක ස්වරූපයකි. අන් ආකාරයෙන් එයද විපාකයකි
- ස්වයංක්‍රීයව කර්ම සකස් වීමේ ස්වභාවයක් විපාක ක්‍රියාත්මක වීමේ ස්වභාවයක්ද ඇත
- විශේෂ පුහුණුවකින් මිස උපක්‍රම යොදා විනාශ කළ නොහැක. සතර මහා ධාතුවේ පාලකයා වන්නේද සිතයි
- යම් හේතූන් පවතීද එම හේතූන්ට අනුව ක්‍රියාත්මක වේ. කරුණාව, අනුකම්පාව සහ දයාව ආදියක් නොයෙදේ
- සිතට අවසානයක් නොමැත. අරමුණක් ද නොමැත. සිතෙහි පැවැත්ම වන්නේ මුලාවයි
- සිත යනු ගහකොළ, ඇළ දොළ මෙන් නිදහස්ව ක්‍රියාත්මක වන ධර්මතාවයකි. තණ්හාව උපාදානය ආදී ධර්මතා තුළ බැස ගැනීමේ ස්වභාවයක් ඇත
- සත්‍ය ලෙස හඳුනාගත් සංඥාවක් ඇත්නම් එය තුළ පවතී, එය බවට පත්වේ. අසත්‍ය ලෙස හඳුනාගත් යමක් ඇත්නම් එයින් ඈත්වේ. එය සිතෙහි ස්වභාවයයි
- පැවැත්මේ ධර්මතා මුලාවක් ලෙසද, නැවැත්මේ ධර්මතා නොමුලාවක් ලෙසද සංඥා ඉපද වූ විට සිත නැවැත්මේ ධර්මතාවය බවට පත්වේ
- එම උපක්‍රමය තුළ සිත නවතී. සිතින් මිදීමේ හැකියාව ලැබේ. අවසාන වේ. එය නිර්වාණයයි
357. මම යනු ලෝකයයි
- තිබෙන ලෝකයක මම ජීවත් වෙනවා නොවේ
- මම ලෝකයක් හදනවා ද නොවේ
- මම යනු ලෝකයයි. පහත කරුණු ඔස්සේ සිතා බලන්න
- මම අවසන් වන මොහොතේ ( එනම් පිරිනිවීමේදී ) ලෝකය නැති වෙන බැවින් ද
- මම යම් දිනක පහළ වූ වේද ඒ දින වන තුරු මට ලෝකයක් නොතිබූ බැවින්ද,
- එක් එක් අයට ගෝචර ලෝකය එක් එක් අයට අනන්‍ය බැවින් ද
- තමාට පැනවෙන ලෝකය තමා දන්නා හඳුනන දෙයින් පමණක් සැකසී ඇති බැවින් ද
- තමා නොදන්නා දේවල් ලෝකය තුළ නැති හෙයින්ද
- මම යනු ලෝකය විය යුතු නොවේද? විදර්ශනාව පිණිසය
358. ගුණයන් වැඩීම
- බුද්ධ ශාසනය තුළ ගුණය යනු සැපයට පත්වීම පිණිස, පිරිනිවීම පිණිස, හේතු සකස් කරන හැසිරීම් රටාවකි. මෙනෙහි කිරීමේ ක්‍රමයකි
- දුකට පත් වීමේ යම් හැසිරීමක් ඇත්නම් යම් මෙනෙහි කිරීමේ ක්‍රමයක් ඇත්නම් ඒ නුගුණයකි
- යම් ගුණයක් ඊට වඩා හොඳ ගුණයක් පුරුදු කරන විට සාපේක්ෂව නුගුණයක් වන්නේය
- අවසානයේ කිසිම ගුණයක් නැති බව හොඳම ගුණය වන්නේය
- ගුණයක් හඳුනාගෙන ගුණය සිතෙහි රඳවාගෙන මෙනෙහි කරමින් ඒ තුළ හික්මීම එක්තරා ආකාරයක සිහිය වැඩීමක් ද වන්නේය
- එම ගුණය තුළ නිරායාසයෙන් සීලයක් ද සමාධිය ප්‍රඥාව ආදිය ඇතිවීම ද සිදුවන්නේ ය
- නූපන් නුගුණයන් නූපදීම පිණිස, උපන් නුගුණයන් දුරු කිරීම පිණිස, නූපන් ගුණයන් ඉපදවීම පිණිස, උපන් ගුණයන් වැඩි දියුණු කිරීම පිණිස ලෙස ඒ තුළ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ද ඇති කළ හැකිය
- ගුණයන් යනු නිර්වාණය පිණිස වූ ඉනිමගකි
- ධර්මයේ හැසිරෙන්නා ගුණයන් හඳුනාගත යුතුය. එම ගුණයන් තමා තුළට පමුණුවා ගත යුතුය. එවිට නිර්වාණ මාර්ගය වඩා පහසු වනු ඇත. අවසානයේ ගුණයන් බවටම පත් වනු ඇත
359. පීඩාකාරී ශරීරය
- සැප වාහන, සුව පහසු ඇඳ ඇතිරිලි , සුවපහසු ආසන ආදිය අවශ්‍ය ලෙස යමෙක් පවසන විට ඒ තුළ පීඩාවෙන් පවතින කයක් ඇති බව සැඟව ඇති කරුණකි
- ජලය අවශ්‍ය වන්නේ පිපාසයෙන් පීඩා විඳින අයෙකුටය
- එලෙසම සැප පහසුව අවශ්‍ය වන්නේ අපහසුවෙන් පවතින, පීඩා විඳින කයකටය
- අප ජීවිත කාලය පුරා දුක් විඳින්නේ උප්පත්තියෙන්ම අඩුපාඩු සහිත නොයෙකුත් රෝග සහිත කයක් මෙන්ම නොයෙක් රෝග සහිත සිතක් ද හිමි වූ බැවිනි
- කය අපහසු බැවින් එයට යම් පහසුවක් සැලසීමට යාන වාහන, පහසුකම් සහිත නිවසක් ආදී නොයෙකුත් දෑ සපයා ගැනීමට සිදුවී ඇත
- සිත අපහසු බැවින් එයට යම් පහසුවක් සැලසීම පිණිස රූප, ශබ්ද, ගන්ධ ආදිය හඹා යෑමට ද සත්වයා පෙළඹී ඇත
- ඇත්තෙන්ම ජීවිත කාලය පුරා සිදු කරන්නේ මේ රෝගී සිතට, රෝගී කයට ආවතේව කිරීමය
- මෙය විදර්ශනා කොට මෙවන් සිතක් කයක් උරුම වීමට හේතු වූ හේතු කාරණා හඳුනාගත යුතුය
- සැප පහසුව සොයා යෑම තුළින් සැපවත් වූ කිසිදු පුද්ගලයෙක් නොමැත. ඇත්තේ මෙය තේරුම් ගෙන මිදී ගිය පිරිසක් පමණි
360. අමරණීය භාවය
- ගසක හටගන්නා ඵලයකි. එම ඵලයෙන් හටගන්නා ගසකි මෙය ඉපදීම මිය යෑම ලෙස හේතු ඵල ලෙස දිගින් දිගට ක්‍රියාත්මක වේ
- එම ඉපදීම මිය යෑම යන යාන්ත්‍රණය තුළ යම් ධර්මයක අමරණීය පැවැත්මක් හට ගනී
- නමුත් ගසක හට ගැනීම මිය යෑම ලෙස පෙනෙන්නට ඇත්තේ එම යාන්ත්‍රණය තුළ සතර මහ ධාතුව ක්‍රියාත්මක වන ආකාරය පමණි
- එම ධර්මය තුළ සත්වයෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ නැත. ස්වයංව පෝෂනය වන එම ධර්මය තුල ක්‍රියාත්මක වන්නේ හේතු ඵල න්‍යායකි
- සිතක පැවැත්ම යනු තවත් එවන් වූ ධර්මයක් පමණි
- මෙම කය යනු එම ධර්මය තුළ සතර මහා ධාතුව ක්‍රියාත්මක වන ආකාරයයි
- නමුත් පිරිසුදු නොවූ දෘෂ්ටියට හසු වන්නේ එහි මම මගේ ආදී පැවැත්මක් ඇති ලෙසය
- එයම හේතුව කරගනිමින් එම දෘෂ්ටිය බිඳෙන තුරු දුක් විඳින සත්වයෙකු ගේ අමරණීය පැවැත්මක් හටගනී
- තථාගත ධර්මය තුළ සිදුවන්නේ සරලව මෙම දෘෂ්ටිය බිඳීම පමණි. එම හේතුව බිඳුනු විට අමරණීය භාවය අහෝසි වන අතර මරණීය සත්වයාගේ අමරණීය නිරෝධය සිදුවේ
361. වැරදි දෙයක් නැත
- ලෝකය වැරදි යැයි ද මෙය මෙසේ විය යුතු යැයි මෙයම නිවැරදි යැයි ලෙස සිතන දෘෂ්ටියක් සත්වයා තුළ ඇත
- නමුත් වැරැද්ද සහ නිවැරැද්ද යනු සාපේක්ෂක ධර්මතාවය
- යමකට සාපේක්ෂව යමක් නිවැරදි වන අතර අනෙකකට සාපේක්ෂව එය වරද සහගත වේ
- නිවන් මාර්ගය තුළ හරි වැරැද්ද පෙන්වා දෙන්නේ නිවනට සාපේක්ෂවය
- අරමුණකට සාපේක්ෂව හරි වැරැද්ද තීරණය වන බැවින් ඒකාන්ත නිවැරදි දෙයක් නොපවතී
- එම නිසාවෙන් කිසිවක් වැරදි සහගත ද නොවන අතර එය එහි අනෙක් අන්තය වන නිවැරදි භාවය නොඉක්මව යි
- මුවෙක් වීමට යම් අයෙකුට අරමුණක් ඇත්නම් එවැනි අයෙකුට විදර්ශනා කිරීම, පිළිකුල් අසුභ ආදිය වැඩීම වරද සහගත වේ
- කොපමණ අරගල කලද තම දෘෂ්ටිය ම මිස ලෝකය තුළ කිසිවක් වැරදි නැත
- වැරැද්ද ඇත්තේ ලෝකය වැරදි ලෙස දකින තමා තුළම ය
362. වෛද්‍යවරයා
- කායික රෝග සඳහා බොහෝ වෛද්‍යවරුන් සිටින නමුත් ඇත්තෙන්ම නියම වෛද්‍යවරුන් ඔවුන් නොවේ
- 365 දවසේම, පැය 24 තුලම කයෙහි රෝග පිළිබඳව අවදියෙන් සිටින ප්‍රබල වෛද්‍යවරයා කයම ය
- වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන්නේ එම වෛද්‍යවරයාට යම් පහසුවක් සැලසීම පමණි
- ශල්‍යකර්මයකින් පසුව වුවද එහි විෂබීජ ඇත්නම් ඉවත් කොට තුවාල සුව කිරීමේ හැකියාවක් මේම වෛද්‍යවරයා සතුවේ
- කයෙහි රෝග කයට ම සුවපත් කර ගැනීමට ඉඩ හැරීම මගින් එම වෛද්‍යවරයා දිරිගැන්වෙන අතර තව තවත් ශක්තිමත් වනු ඇත
- බැරිම අවස්ථාවක බාහිර වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත යුතුය
- මේ කය සකසා ගෙන ඇත්තේ මනස විසින්ය. එම නිසා කයෙහි පවතින රෝගයක් සුව කිරීමේ හැකියාව ප්‍රබල ලෙස මනසටද ඇත
- කායික රෝග යනු මනසෙහි පවතින රෝගයන් නිසා හට ගත් අතුරු ඵලයක් පමණි
- ඉපදවූ සම්මා දිට්ඨිය නියම වෛද්‍යවරයා වන අතර එම වෛද්‍යවරයා ට සියලු රෝග සුව කළ හැකි අතර කිසි දිනක සුව නොවූ සංසාර රෝගය පවා සුව කිරීමේ හැකියාව ඇත
363. ශ්‍රී ලංකාව
- ආලෝකය තුළ අන්ධකාරයෙන් වැසී ඇති බොහෝ රටවල් අතරින් ශ්‍රී ලංකාව යනු ආලෝකය තුළ ආලෝකය පවතින රටකි
- මෙහි පළමු ආලෝකය හිරු එළිය ද දෙවන ආලෝකය කළ යුත්ත නොකළ යුත්ත හඳුනන ප්‍රඥා ආලෝකය ද වේ
- බොහෝ පිරිසක් සැනසීමට පත් වූ ශ්‍රී ලංකා භූමියේ ස්පර්ශය උපතින්ම ඔබ අපහට ලැබී ඇත
- ප්‍රඥා ආලෝකයෙන් බබළන ශ්‍රී ලංකා භූමිය තුළ දානය, සීලය, සමාධිය සහ ප්‍රඥාව ආදී මානසික ඖෂධීය ධර්මයන් කිසිදු වෙහෙසකින් තොරව සොයා ගත හැකිය
- මැණිකක වටිනාකම පවතින්නේ මැණික මැණිකක් ලෙස හඳුනාගත් විට පමණි
- මැණික් පතලක් උඩ වාඩි වී කළු ගල් ගැන කල්පනා කරන්නේ වාඩි වී සිටින්නේ මැණික් පතලෙහි බව නොදන්නා හේතුවෙනි
- නිර්වාණ ධර්මය උපතින්ම හිමි මිනිසුන් කාමයන් ගැන කල්පනා කරමින් ආයුෂ වැය කිරීම ඉහත උපමාවට සමකල හැකිය
- තථාගතයන් වහන්සේගේ පවා නෙත ගැටුණු ශ්‍රී ලංකාව නිර්වාණයට සරු කෙතකි
- වෙනත් කුමන අඩුපාඩුකම් තිබුණත් ශ්‍රී ලංකා භූමිය තුළ නිර්වාණ ධර්මයට නම් කිසිදු බාධාවක්, අඩුපාඩුවක් නොමැත
364. තැලෙන සුළු භාවය
- ලෝකයේ ජීවත් වන සියලු සත්වයන් නොයෙක් ආකාරයෙන් තැලීම් පෙළීම් වලට භාජනය වේ
- බොහෝ විට තැලීම් පෙළීම් වලින් පීඩාවට පත්වෙන්නේ සංවේදී සත්වයන් ය
- සංවේදී සිත පහසුවෙන් දුකට පත්වන්නේය. කඳුළින් කාලය ගතවන්නේ ය
- දැඩි සිතක් ඇත්තේ නම් තැලීම් පෙළීම් වලට ඔරොත්තු දෙන අතර දුකට පත්වීම සාපේක්ෂව අඩුය
- හිරු එළියෙන් සුළඟින් සත්වයන්ගෙන් තැලීම් පෙළීම් ලබන ගස් ගල් ආදිය තුළ පවතින්නේ තද රළු ස්වභාවයක්ය
- ගස් ගල් වල පැවැත්ම ඇත්තේ ඒවා තුළ පවතින දැඩි භාවය හේතුවෙනි. සංවේදී දුර්වල ගහකොළ ඉක්මනින් විනාශ වන්නේය
- සොබාදහම දැඩි වෙමින් ඒවායේ සුරක්ෂිතභාවය සලසාගෙන ඇති ආකාරය දැක ගත හැකිය
- එලෙසම, මේ සිතද සොබා දහම තුළ පවතින ධර්මතාවයක් බැවින් සිත මෙල්ල කිරීමටද දැඩි භාවය පැවතිය යුතුය
- නිර්වාණය පිණිස වෙර වීරිය දරන අයෙක් තුළ දැඩි භාවය ගුණයක් ලෙස තිබිය යුතුය
365. මරණය
- මරණය යනු සියලු සත්වයන්ට උරුම වූ පොදු වූ ධර්මතාවයකි
- මරණය පැමිණෙන තුරුම තමන් මැරෙන පුද්ගලයෙකු බව බොහෝ පිරිසක් හඳුනන්නේ නැත
- ඒකාන්ත වශයෙන් හෙට මරණය සිදුවන්නේ නම් අද අපගේ හැසිරීම කෙසේ විය හැකිද ?
- බොහෝවිට කඳුළු සලමින් බෝධි පූජා තියමින් හැකි සියලු දේ සිදු කරමින් යම් පීඩනයකින් ගතවනු ඇත
- නමුත් ඇත්තෙන්ම අප අද දින සිටින්නේ කඳුළු සලමින් බෝධි පූජා තියමින් නොවේ
- එයින් ගම්‍ය වන්නේ හෙට නොමැරෙන බව හිත තුළ දැඩි ලෙස පවතින බැවිනි
- නමුත් ඇත්තෙන්ම මැරෙන දවස හෙට වන දිනයක් පැමිණෙනු ඇත
- එදිනද පෙර දින ගතවනු ඇත්තේ මෙලෙසම ය. එනම් මරණය පැමිණෙනතුරු අපට මරණය හඳුනාගත නොහැකි බව ඒ තුළ ගැබ්ව
- එම නිසා නිර්වාණයට වෙර වීරිය දරන්නෙකු සසර බය මතුවීම පිණිස, සිහිය ඇතිවීම පිණිස, වීරිය ඉපදවීම පිණිස, ආරක්ෂාව පිණිස මරණානුස්සතිය වැඩිය යුතුය
366. ගසට සාත්තු කිරීම
- ලැබී ඇත්තේ ලැබෙන්න තිබූ දේය. නොලැබී ඇත්තේ නොලැබීමට තිබූ දේය
- ලැබී ඇති දේ ඵලයකි. එය පිළිබඳව තර්ක කිරීමෙන් අරගල කිරීමෙන් ඵලක් නැත
- එය උපමාවක් ලෙස අඹ ගසක අඹ නැතැයි අතු වලට චෝදනා කරනවා මෙනි
- තවද අඹ බලාපොරොත්තුවෙන් අඹ අතු පෝෂණය කිරීම ඵලක් නැත
- අඩුම තරමින් පොහොර ජලය ආදිය ආදිය ගස මුලට දමා අඹ බලාපොරොත්තු වීම සාධාරණය
- නමුත් කොහු අඹ ගහක මී අඹ හට ගන්නේ නැත
- මී අඹ සකසා ගැනීමට නම් ක්‍රමය වන්නේ මී ගසක් පැළ කිරීමය
- එසේම තම ලෞකික ලෝකෝත්තර නොලැබීම ඵලයක් හෙයින් ඒ පිළිබඳ දොස් පවරා වැඩක් නැත
- කළ යුත්තේ දාන සීල සමාධි ප්‍රඥා ආදී ලැබීම පිණිස පවතින හේතූන් ශක්තිමත් කිරීමයි
367. ටෙනිස් බෝලය
- ටෙනිස් බෝලයක් උඩ දමා බිම වැටීමට නොදී තට්ටු දමමින් ගුවනේ රඳවා තබා ගත හැක
- නමුත් ටෙනිස් බෝලයේ ස්වභාවය බිමට වැටීමයි
- තට්ටු දැමීමෙන් සිදු කරන්නේ එය වැටීමට නොදී මොහොතින් මොහොත බිමට වැටීම කල් දැමීමයි
- එලෙසම මේ ශරීරයේ ස්වභාවය මරණයට පත්වීමයි
- එය මැරෙන්නට නොදී තට්ටුවක් දමන්නේ, මරණය මොහොතින් මොහොත කල් දමන්නේ හුස්ම ගැනීම, පිටකිරීම තුළිනි
- මේ ආකාරයෙන් හුස්ම පහර මැදිහත්ව අපගේ මරණය දිනකට ආසන්න ලෙස 22,000 වාරයක් කල් දැමීම සිදුවේ
- ඇත්තෙන්ම සිදුවන්නේ ජීවත් වීමක් නොවේ. මොහොතින් මොහොතට මරණය කල් දැමීමක් පමණි
- මේ ආකාරයෙන් මොහොතින් මොහොත පණ ගසන කය දෙස බලා සිටින්න
- සිහිය පිහිටනු ඇත, කෙලෙස් යටපත් වනු ඇත, නිර්වාණය පිණිස මාර්ගය එළි වනු ඇත