Dhamma Quotes

Card Image

වටිනාකම

  1. බුද්ධකාලයක් නොවන අවස්ථාවක් සිහිපත් කරමු.
  2. නුවණැත්තෙකුට, නුවණැත්තන් පිරිසකට ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක යනාදිය හඳුනාගත හැක.
  3. පසේ බුද්ධත්වය නොවුණහොත්, මිදීමට දරන උත්සාහය නොයෙකුත් දෘෂ්ටි වේ.
  4. උදාහරණ ලෙස, විශ්වය තුළ යම් තැනක, කාලය තුළ හෝ කාලයේ ගෙවීම තුළ, දුක් විඳීම හෝ නොයෙකුත් ක්‍රියා පටිපාටින් තුළ විමුක්තිය ඇතැයි විශ්වාස කරනු ඇත.
  5. කල්ප ගණන් අදාල දෘෂ්ටි තුළ හිරවෙමින් කාලය ගත කර, නොයෙකුත් ආකාරයෙන් දුක් විඳ විමුක්තිය ලබා ගැනීමේ වෑයමක් ලෙස බොහෝ විධාවට පත්වනු ඇත.
  6. "නොඉපදීම තුළ විමුක්තිය ඇත" යන බුද්ධ වචනය පමණක් සැලකුවහොත්, සත්වයා ඉහත පරිදි දුක්නොවිඳුනු ඇත. එයින් සත්වයා තුළ දුරුවන දුක ප්‍රමාණ කල නොහැක.
  7. එම වචන කිහිපය තුළ සාර අසංකෙයිය කල්ප ලක්ෂයේම පාරමිතා ශක්තිය ගැබ්ව පවතී.
  8. එය අපට වචන කිහිපයක් ලෙස පෙනුනද එම ප්‍රකාශය සඳහා විශ්වයම පිළිසිඳ දැකගත යුතුය. හොඳින් විදර්ශනා කර බලන්න
Card Image

ගල

  1. ගංගා ආදියෙන් හමුවන ගලක බොහෝ ස්ථාවර මුහුණත් පෙන්වයි. (රවුම් මුහුණතක් හෝ වක්‍රාකාර ස්වරූපය)
  2. මෙසේ සිදුවී ඇත්තේ ගල තාඩන පීඩන බිඳවැටින් ආදී බොහෝ උවදුරයන්ට ලක් වූ බැවිනි.
  3. ධර්ම මාර්ගයද එලෙසමය, කොපමණ තාඩන පීඩන ගැරහීම් පැමිණේද, විශේෂයෙන් ධර්මයෙන් සන්නද්ධ හිතක්, මනාව ස්ථාවර බවට පත්වෙයි. තව තවත් ධර්මය ප්‍රත්‍යක්ෂ වේ.
  4. එම නිසා තම ජීවිතයට පැමිණෙන තාඩන පීඩන ගැරහීම් කමටහනක් කර ගනිමින් ප්‍රතිපදාවේ හැසිරෙන්න......
Card Image

පැහැදිලි කිරීම

  1. ඔබගේ අදහස් දැක්වීම අගය කරමු.
  2. අදහස වූයේ "අයවීමක් ඇත්නම් වැයවීමක් තිබිය යුතුය. වැයවීමක් නොමැති අයවීමක් රැවටීමක් විය හැකිය" යන්නයි
  3. පිළිතුරු අදහසෙහි ඇති වරදක් නැත.එහි අරමුණු ගත විදර්ශනාව අනුව එය නිවැරදිය.
  4. ලෝකය තුළ ඇති දේ සියල්ල දෘෂ්ටීන් වන අතර සම්මා දෘෂ්ඨිය වඩා නිවැරදි දෘෂ්ටිය වන්නේය.
  5. ලෝකය තුළ පවතින යම් ධර්මයක් මතු කර ගැනීමට උපකල්පන කිහිපයක් මත සිටිමින්, ලෝකය තුළින්ම උදාහරණ කිහිපයක් ලබා ගනිමින් ධර්මයක් මතුකර ගැනීමට උත්සාහ දැරීම ඥානවන්ත ක්‍රියාවකි.
  6. තවදුරටත් විශේෂණය කරන්න...
Card Image

වස්තුව සහ ප්‍රතිබිම්බය

  1. ඇතිවන සියල්ල තම අභ්‍යන්තරයේම හටගනී..
  2. උදාහරණයක් ලෙස, බනිස් ගෙඩියක් අයෙක් භුක්ති විඳ ඇත්නම්, තව කෙනෙකුට භුක්ති විඳීමට ඉඩකඩ නැත, එය වැය වී ඇත.
  3. බාහිර ඇති ගසක් බොහෝ පිරිසක් දකින අතර අවශ්‍යය නම් තවත් පිරිසකට එය දැකගත හැක.
  4. එනම් එහි වැයවීමක් සිදුවී නැත. වැයවීමක් නොමැති භුක්තිය යනු යම් මායාකාරී ස්වභාවයකි. භුක්ති විද ඇත්තේ හුදෙක් ප්‍රතිබිම්බයක් පමණි.
  5. තවද වැය නොවූ දෙයක් භුක්ති විඳිය නොහැක. එනම් අප භුක්ති විඳ ඇත්තේ වස්තුව නොව, අභ්‍යන්තරයේම සකසා ගන්නා ලද ස්වභාවයකි.
  6. අන්තර්ගතය හිස් ස්වාභාවයකි. මෙය පැවැත්ම පිණිස ඇති ලෝක ධර්මතාවයකි. මුලාවකි.
  7. ගැඹුරු විදර්ශනාවකට මඟ පාදන ඉහත කරුණු හොඳින් විශ්ලේෂණය කරන්න...
Card Image

මයිනහම

  1. අතීතයේ කම්හල් වල මයිනහම හුළං ලබාදෙමින් ගිනි අඟුරු පණ ගැසීම සඳහා යොදා ගත් උපකරණයකි.
  2. සුළං ලැබෙනතුරු ගිනි අඟුරු තව තවත් ගිනියම් වන අතර සුළං නොලැබෙන විට එහි ශක්තය ක්‍රමානුකූලව අඩුවේ.
  3. අපගේ ශරීරය ද මයිනහමක් මෙන් නිරතුරුවම හුස්ම අඳිමින් පිටකරමින් පණ ගැසීම සිදුවේ.
  4. හුස්ම ගැනීම පිට කිරීම දුර්වල වුවහොත් ශරීරය අප්‍රාණික වේ. මරණය සිදුවේ.
  5. දිවා රාත්‍රී නිරතුරුව හුස්මෙන් පණ පෙවෙන මෙම ජීවිතය බොහෝ දුර්වලය. නිරතුරුව පණ ගසන මෙම ජීවිතය මයිනහමක් වැනිය.
  6. හුස්ම පවතින තුරු පවතින්නේය. නතර වූ විට බිඳෙන්නේය.
  7. මෙහි තතු දැනුණු විට කුමන මාන්නයක් ද ? කුමන වටිනා කමක් ද ?
  8. මෙහි වටිනාකම මයින හම නොඉක්මවන්නේය.
  9. එක් හුස්මක ශක්තියෙන් මොහොතක් ජීවත් වෙයි. එය පුනරාවර්තනය වෙමින් ජීවත්වීම සිදුවේ. ඕනෑම මොහොතක මියයෑම ද ඒ තුළ අඩංගු වේ.
  10. ජීවිතයේ නොවටිනා බව, නිස්සාර බව වටහාදීම සඳහා කමටහනක් කර ගන්න...
Card Image

ගංගාව සහ ද්වයතාවය

  1. ගඟකින් නොයෙකුත් ප්‍රයෝජන ඇත. ධර්ම මාර්ගය සඳහාද අගනා ප්‍රයෝජන ඇත.
  2. ගඟ හුදකලාව ගලා බසි.
  3. පුද්ගලයෙක් ගඟ අසලට ගිය විට, ඉහළ දෙස බලන විට එන ලෙසත් පහළ දෙස බලන විට යන ලෙසත් ද්වයතාවයක් හට ගනී.
  4. එන යන බව පුද්ගල පැමිණීමත් සමග සිදුවූ දෙයකි.
  5. ද්වයතාවය පුද්ගල පැමිණීමට පෙර තිබුණේ නැත. තවද පුද්ගල පැමිණීමට පෙර නොතිබුනේ ද නැත.
  6. පැමිණීම නිසාම හටගත්තේ මිස නොපැමිණීම ඔස්සේ හට නොගනියි.
  7. තවද එන බවක් නොමැති යෑමක් නැත, යන බවක් නොමැති ඒමක් නැත. හේතු ප්‍රකාරව අන්ත දෙක එක විට එකවර හටගනී. එක විට නිරුද්ධවේ.
  8. ජීවිතය නමැති ගංගාවේහි ඉවුරෙහි නොරැඳෙමු. ද්වයතාවය දුරු කරමු.
Card Image

නැවතීම

  1. කලකිරීම නැවතීමට ඉතා හොඳ ආරම්භයක් ලබාදේ.
  2. නමුත් අඛණ්ඩ වීරිය, ධර්මශ්‍රවණය මෙන්ම උපක්‍රමශීලීත්වය, ගුණ, ආදී ආදිය හොඳින් ප්‍රගුණ කළ යුතුය.
  3. නැවැත්මට පෙර, පැවැත්ම සහ නැවැත්ම අතර වෙනස හොඳින් වටහා ගත යුතුය.
  4. නැතහොත් ප්‍රතිපදාවද කළුවා මාරපන් යෑමක් සේ විය හැක.
  5. ජීවිතය සමබර විය යුතු අතර සමාජය තුළ අමුතු චරිතයක් නොවිය යුතුය. එසේ වුවහොත් එයද ධර්ම අවබෝධයේ යම් අඩුවක් විය හැක.
  6. එදිනෙදා පැවැත්ම ධර්මානුකූල රාමුවකට යොමු කළ යුතුය. එවිට ප්‍රතිපදාව ඉතා පහසුවනු ඇත.
  7. සෑම දිනකම ඉන්නා තැනින් ඉහලට පත්වීම සඳහා වීරිය කරන්න. දිනෙක ඔබ පතන සැනසීම එලෙසම වනු ඇත...
Card Image

කන්නාඩිය

  1. දර්පණ ප්‍රතිබිම්බයෙහි තිරිසන් ආදී සත්වයන් මුළාවූවත් මනසින් උසස් මිනිසුන් මුලා නොවන්නේ යාන්ත්‍රණය දන්නා බැවිනි.
  2. මෙසේ සත්වයන් මුලාවට පත්වුවත් ප්‍රතිබිම්බය
  3. -ස්පර්ශ කළ නොහැකිය,
  4. -එයින් හඬක් ද නැත
  5. -ගඳ සුවඳක් නැත
  6. -රසයක් දැනෙන්නේද නැත
  7. හුදෙක් වර්ණ සමූහයකි
  8. මෙවන් වූ මුලාවක් මිනිසුන්ටද තිබේ..
  9. පෙනුන, ඇසුන, දැණුන, හැඟුන පමණකින් සත්ව පුද්ගල බවක් නිගමනය නුවණෙහි ඇති මඳකමකි.
  10. අඩුම තරමින් පාලනය කළ හැකි, වෙනස් නොවන, දුක් සහිත බව නැති ආදී,
  11. ලෙඩ නොවන, මරණයට පත්නොවන, ජරාවට පත්නොවන ආදී ලක්ෂණවත් ඇත්නම් අවම වශයෙන් පුද්ගලභාවය ප්‍රකාශ කිරීම සාධාරණ යැයි සිතිය හැක.
  12. විවිධ සම්බන්ධකම් සහිතව ක්‍රියාත්මක වන හේතුවක ඵලයක යාන්ත්‍රණයක් නැතහොත් හේතුඵල ස්වභාවයක් මෙහි ගැබ්ව පවතී.
  13. තමා තුළ ඇතිවන සිතිවිල්ලක් පවා හේතුවක ඵලයකි.
  14. මෙය පොදු යාන්ත්‍රණකි. සෑම සත්ත්වයාටම පොදු වූ රාග ද්වේශ මෝහ ලෙස කෙලෙස් ස්වභාවයන් සමාන වන්නේ ඒ හෙයිනි.
  15. නොයෙකුත් අත්හදා බැලීම් කරමින් මනසේ ස්වභාවය වටා ගන්න. ඔබ කවරෙක්දැයි ඔබම සොයාගන්න...