Report Menu
All Cards
Total Cards: 442 | Page: 1 of 23 | Showing: 20 cards
442. අවතාර ඇටසැකිලි

442. අවතාර ඇටසැකිලි

  1. මනුස්ස ඇටසැකිල්ලක් ගෙයක් තුළ තබා ගැනීමට පවා ඒ අසලින් ගමන් කිරීමටද බියක් පිළිකුලක් පවතින්නේය
  2. නමුත් අප එදිනෙදා ඇසුරු කරන්නේ ද සමින් මසින් වසාගත් ඇටසැකිලි ය
  3. පිටත සමම දුටුවා මිස ඒ තුළ පවතින ඇවිදින ඇටසැකිල්ල හරිහැටි දුටුවේ නම් බිය වන්නේය, තැති ගෙන දුවන්නේ ය
  4. තමාගේ මෙන්ම අන් අයෙකුගේ ශරීර මාංශය දෙපසට කළ විට අතරින් ඇවිදින ඇටසැකිල්ල පැහැදිලිව පෙනෙන්නේය
  5. සම මස මෙන්ම අසිහිය ඇඳිරියක් ලෙස ක්‍රියාකරමින් මෙම ඇටසැකිලි අවතාරය අපට නොපෙනෙන ලෙස වසා සිටින්නේය
  6. මම පොරය, මම දන්නේය, මට හැක්කේ ය, කියමින් මෙම අවතාර ලෝකය තුළ සැරිසරන්නේය
  7. අසිහිය, මුලාව ඉවත් කළ විට තමන් ද ඇවිදින ඇටසැකිලි අවතාරයක් ලෙස වැටහෙන අතර ඉහ මොල රත් වන්නේය
  8. කලකිරෙන්නේ ය, වටිනාකම් ශුන්‍ය වන්නේය, මිදීම පිණිස කටයුතු සැලසෙන්නේ ය
  9. අට්ඨික සංඥාව අමෘතයක් වැන්නේය. නිර්වාණයට බර වූ සිත් ඇති වන්නේය
No audio available
441. නින්ද

441. නින්ද

  1. නිදාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ ඇස් දෙක පියා ගනිමින්, සියලු වැඩ නවතා එය සිදුවීමට ඉඩ හැරීමයි
  2. නමුත් නිදා ගැනීමක් සිදු කිරීමට උත්සාහ දරන අයෙකුට නින්ද පැමිණෙන්නේ නැත
  3. මෙසේ ඇස් වසා ගතහොත් නිවැරදිද? මේ ආකාරයෙන් අත් තබා ගැනීම නිවැරදිද? මෙසේ නිදා ගැනීම සුදුසුද? ආදී ලෙස විමසීම තුළ සිදුවන්නේ නින්ද පැමිණීම වැළැක්වීමකි
  4. මක්නිසාද නින්ද යෑම සිදු කරන දෙයක් නොව එය සිදුවන දෙයකි
  5. එය සිදු කිරීමට දරන සෑම වෑයමකින් ම සිදුවන්නේ නිරායාසයෙන් පැමිණෙන නින්ද වැළැක්වීමකි
  6. එලෙසම සිතෙහි නිවීම ද සිදුවන දෙයකි. සිත නිවීමට වෑයම් දරන විට සිදුවන්නේ තව තවත් සිත කැළඹීම ය
  7. සිත ස්වභාවයෙන්ම නිවීමට පත්වන ධර්මයකි. නමුත් මුලා වූ සිත මුලාවෙන් ම සකස් කරගත් අරමුණු සමග පොර බැඳීම සිදුකරයි
  8. සම්මා දිට්ඨිය උපදවා ඒ තුළ සිහිය පිහිටවීමෙන් මුලාවන් පහසුවෙන් දුරු කළ හැකිය
  9. මුලාවන් දුරු වූ සිත නිරායාසයෙන් නිවීමට පත්වන්නේ ය
No audio available
440. හී පහර

440. හී පහර

  1. හී පහරක් වැදුනු අයෙකු වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළේ යැයි සිතන්න
  2. වෛද්‍යවරයා ට අවශ්‍ය වන්නේ හී පහර පැමිණියේ කා විසින්,කෙසේද යන ආදියක් නොවේ
  3. තුවාලය සිදුවී ඇත්තේ කොතනද එහි ප්‍රමාණය කොපමණද කුමන ස්ථානයේද යනාදියක් පමණි
  4. අප සසර ඉපදීම යන හී පහර වැදුණු සත්වයන් වේ
  5. එය කෙසේ සිදුවූවේ දැයි යන්න සෙවීම හී පහර එවූ තැනැත්තා කවුද යයි සොයනවා වැනි කාරණයකි
  6. එයින් සිදුවන්නේ කාල නාස්තියකි. රෝගය සුවපත් කර ගැනීම සඳහා ඇති අවස්ථාවද ගිලිහී යාමකි
  7. තුවාලයට පිළියම් කිරීම සඳහා හී පහර එවූ තැනැත්තා හෝ එය සිදුවූ ආකාරය සඳහා පරීක්‍ෂණ පැවැත්වීම තුවාලය සුවවීම සඳහා බලපාන්නේ නැත
  8. හිස ගිනි ගත්තෙකු එම ගිනි ඇතිවූයේ කෙසේදැයි කල්පනා කරන්නේ නැත
  9. සිදු කරනු ලබන්නේ හැකි ඉක්මනින් ගින්න නිවා ගැනීම සඳහා උත්සාහ කිරීමය
No audio available
439. ඉපදුනේ ඇයි

439. ඉපදුනේ ඇයි

  1. අඹ ගස් යන්න උදාහරණයක් ලෙස සලකන්න. අඹ යන නාමය අප ඉපදෙන විටද මේ ලෝකයේ තුළ පැවති කාරණයකි
  2. අඹ ගස් හට ගන්නා අතර යම් කාලයක් ඇවෑමෙන් එම ගස් මැරී යාම සිදුවේ. නමුත් ඒවායෙන් උපන් අඹ ගස් අඹ යන නාමය දිගටම පවත්වාගෙන යනු ලබයි
  3. අඹ යන නාමය මේ ලෝකයේ දුරු කිරීම අපේක්ෂා කරන අයෙක් එහි ආරම්භය සොයා යෑම සිදු කළ යුතු යැයි සිතයි
  4. එසේ සිතා එය සිදුකිරීමට උත්සාහ කරන විට හමුවන එකම කාරණය අඹ ඇට වලට හේතුව අඹ ගසක් බවත් අඹ ගසට හේතුව අඹ ඇටයක් බවත් ලෙස අනන්තව පුනරාවර්තනය වන දාමයක් ය. කෙළවරක් සොයා ගත නොහැකි වනු ඇත
  5. ඒ තුළින් ඉච්ඡාභංගත්වයක් උන්මත්තක වීමක් වෙහෙසට පත්වීමක් අපේක්‍ෂා කළ හැකිය. තවද එය විසඳිය හැකි කාරණයක් නොවන්නේය
  6. අඹ ගසෙහි පැවැත්ම සිදුවන්නේ පසේ සාරවත්භාවය තෙතමනය හිරු එළිය වාතය ආදී සාධක නිසාය
  7. එම හේතූන් දුරු කිරීම අඹ ගස් සහ අඹ යන නාමය මේ ලෝකයෙන් දුරු කිරීම පිණිස වන එකම සහ නුවණැති පහසුම කාරණය ද වන්නේය
  8. එලෙසම මේ සිතෙහි හට ගැනීම සොයා යෑම නිශ්ඵල කාර්යයක් සහ කළ නොහැකි කාර්යයක් වන්නේය
  9. අඹ ගස මේ ලෝකයෙන් දුරු කරන්නේ කෙසේද, එලෙසම සිතෙහි ආරම්භය සෙවීම වෙනුවට සිතේ පැවැත්මට අදාළ වූ හේතු කාරණා සොයා දුරු කිරීම නිර්වාණය පිණිස වූ මාර්ගය වන්නේය
No audio available
438. අපගේ මනුස්ස ජීවිතය

438. අපගේ මනුස්ස ජීවිතය

  1. දැනටමත් ජීවිතයේ බොහෝ කාලයක් ගතව ගොස් ඇත
  2. ගිය අවුරුද්දේ තිබුණු දත් ආදිය මේ අවුරුද්දේ නොමැත
  3. පැහැපත් බව යොවුන් බව තරුණ බව ක්‍රමානුකූලව ගිලිහී ගොසින්ය
  4. දැනටමත් ශරීරයේ පවතින නිදන්ගත රෝගයන් බොහෝය. කොපමණ උත්සාහ කළ ද රෝගයන් සුව වීම වෙනුවට සිදු වී ඇත්තේ තව තවත් ආගන්තුක රෝගයන් ශරීරය තුළ බැසගැනීමයි
  5. වල ගැසුණු ඇස, රැලි වැටුණු සම, පැසුණු කෙස, වාරු නැති අතපය දැන් දැන් සිහිනයක් නොවන්නේය
  6. හිමිදිරි පාන්දර සිට මධ්‍යම රාත්‍රිය වන තුරුම කාර්ය බහුල ජීවිතයක් ගත කළ නමුත් ඒ තුළ සැනසීමක් ලැබී නැත
  7. අතීතයේ රජවරු, සිටුවරු මෙන්ම සක්විති රජවරුන්ට පවා කොපමණ උපක්‍රම යෙදුවද සියල්ල අතහැර දමා මරණයට පත්වීමට සිදුවිය. අප ගැන කවර කතාද
  8. ධර්මයෙන් තොර ජීවත්වීම ගඟට ඉනි කැපීමක් වැනිය. තවද හිල් වූ පනිට්ටුවකට වතුර එකතු කරනවා සේය
  9. මරණ මංචකයේදී කළ දෙයක් නොමැති බව, හිස් ජීවිතයක් බව, වැටහී ඇති පලක් නැත. මේ මොහොතේ ඒ සඳහා කළ යුත්ත අප්‍රමාදීව සිදු කළ යුතුය
No audio available
437. ඇටසැකිල්ල

437. ඇටසැකිල්ල

  1. මෙම ශරීරය වනාහි ඇවිදින ඇටසැකිල්ලකි
  2. කාමයන්ට ඇති මත් භාවය නිසා ඇටසැකිල්ල ආවරණය වී ඇති ලේ, මස්, නහර ආදිය පැවතුන පමණකින්, ඇට සැකිල්ලක බැස ගෙන සිටින බව පවා අමතක වී ඇත. මෙය පවතින අසිහියකි
  3. ඇත්තම ඇටසැකිල්ලක් තම නිවස තුළ තැබුවහොත් බියවීම, තැතිගැනීම ආදිය අපේක්ෂා කළ හැක
  4. නමුත් එවැනි ඇට සැකිල්ලක් තුළ බැසගෙන පවතින මෙම ශරීරයට බිය නොවීම, අසිහිය ඇති බව සනාථ කරන කරුණකි
  5. සිහිය ඉපදුන විට තමන් ඇටසැකිල්ලක බැස ගෙන සිටින බවත්, සොහොන් පිටියක් වන් මෙම ශරීරය තුළ බිය, පිළිකුල, තැතිගැනීම ආදී ලෙස සිහිය උපදින අතර, නිර්වාණයේ අවශ්‍යතාවය මතුවනු ඇත
  6. මානසික පරීක්ෂණය: ඇටසැකිල්ල මතුවන තෙක් මෙම ශරීරයේ කොටසින් කොටස, සම, මස්, නහරවැල් ආදී කොටස් ඉවත් කරන්න
  7. නැවත එක් එක් කොටස් තබා, ඇටසැකිල්ල ආවරණය කරන්න.ඉන් පසු සිදු වන මානසික වෙනස හොදින් නිරීක්ෂණය කරන්න
  8. අනුලෝම, ප්‍රතිලෝම, අනුලෝම ප්‍රතිලෝම ලෙස නැවත නැවත සිදු කරන්න
  9. මෙවිට සිහිය උපදිනු ඇත. ක්ලේශයන් යටපත් වන අතර, නිර්වාණය පිණිස ප්‍රබල ලෙස හේතු සකස් වනු ඇත
No audio available
436. නම් තැබීම

436. නම් තැබීම

  1. යමක් නිවැරදි ලෙස අර්ථ දැක්වීමට නම් පරිමාව බර හැඩය ආදිය නොවෙනස් විය යුතුය
  2. උදාහරණයක් ලෙස රන් කරුවෙකු රන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන අතරතුර එයට මිලක් නියම කළ නොහැක
  3. අවම වශයෙන් නිර්මාණය අවසන් වූ පසු එහි නිමාව හැඩය බර ආදිය අනුව එයට යම් වටිනාකමක් ලබාදීම යම්තාක් දුරට සාධාරණය
  4. අති සංවේදී උපකරණ භාවිතයෙන් මෙම ශරීරයෙහි පරිමාව බර හැඩය උෂ්ණත්වය පිළිබඳ පාඨාංක ගතහොත් නිරීක්ෂණය කළ හැකි වන්නේ වේගයෙන් වෙනස් වීමකි
  5. නමුත් මෙම ශරීරයට නම් පනවා ඇත්තේ මුහුණේ ස්වභාවය, ශරීරයේ ආසන්න උස, ශරීර ප්‍රමාණය ආදී දෝෂ සහිත නිගමනයන් තුළින් ය
  6. ඇසේ පවතින දුර්වලතාවයට සාපේක්ෂව මෙම ශරීරයේ නිරතුරුව සිදුවන වෙනස්වීම හඳුනාගත නොහැක
  7. උදාහරණයක් ලෙස ආහාර ජලය ආදිය ගැනීම, හුස්ම ගැනීම පිට කිරීම, මල පහ මුත්‍රා පිටවීම්, ජල වාෂ්ප පිටවීම, දහඩිය, සම් කැබලි කඩා වැටීම, හිස කෙස් ගැලවී යාම ආදී බොහෝ දෑ මගින් මෙම ශරීරයේ පරිමාව බර උෂ්ණත්වය හැඩය ආදී සියල්ල වේගයෙන් වෙනස් වීම සිදුවේ
  8. ඉදින් මෙම ශරීරයට නමක් පනවන්නේ නම් අසවල් බර, පරිමාව, හැඩය, උෂ්ණත්වය සහිත මෙම ශරීරය සඳහා අසවල් නම නියම කරනු ලැබේ ලෙස නිවැරදිව අර්ථ දැක්විය යුතුය
  9. නමුත් මෙහි ඇත්තේ වේගයෙන් වෙනස්වීමකි. එය වටහා ගත නොහැකිව මුලාවී එයට නම් දමා, වටිනාකම් එකතු කරමින් සසර ගමන සකසා ගෙන ඇත්තේ අප විසින්මය. ඉදින් මුලාවන් දුරු කොට අප ම එය අවසන් කළ යුතුය...
No audio available
435. යටහත් පහත් බව

435. යටහත් පහත් බව

  1. යටහත් පහත් බව නිවන් දැකීම පිණිස තිබිය යුතු අනිවාර්ය ගුණයකි
  2. ශාසනය තුළ පිණ්ඩපාතය ආදී පිළිවෙත් තුළින් ඉල්ලාගෙන කෑම ආදී ලෙස යාචකයෙකු ලෙස, අසරණ ලෙස, යටහත් පහත් ආදී ගුණයන් සකස් කරනු ලබයි
  3. කුල මල භේදයන් තොරව ශාසනයට ඇතුල් වන ඕනෑම අයකු සිවුරු පිරිකර ආදියෙ සිට සියලු දේ යටහත් පහත් ව ඉල්ලා ගැනීමට සිදුවේ
  4. මේ තුළ සැඟවුණු ධර්මයක් ඇත. ගස කැපීමට ප්‍රථම අතු ඉති ආදිය කපා බල හීන කළ යුතුය
  5. එලෙසම සක්කාය දෘෂ්ටිය ආදී දෘෂ්ටීන් ප්‍රහාණය කිරීමට ප්‍රථම සසර පුරා පෝෂණය වූ මම පොරක් ලෙස, බලවත් ලෙස, ධනවත් ලෙස, ශක්තිමත් ආදී ලෙස පවතින සියලු අතු රිකිළි කපා බල හීන කළ යුතුය
  6. යටහත් පහත් නොවන අයෙකුට ධර්මයක් ඇසීමට මඟ සකස් වන්නේ නැත
  7. තමා නිවැරදි යැයි සිතීම, තම මතයම දැරීම, අන් අය අවතක්සේරු කිරීම, තමා පිළිබඳ ඇති වටිනාකම් මගින් සිදුවන්නේ තව තවත් මමත්වය පෝෂණය වීමය
  8. එම නිසා සෑම විටම තමන් නොදන්නේ ය, තමන් අසරණය ආදී ලෙස යටහත් පහත් ගුණය වඩන අයෙකුට සිත මෙල්ල වන්නේය. ධර්මයන් අසන්නට ලැබෙන්නේය. වහ වහා නිවන් මාර්ගය සම්පූර්ණ වන්නේය..
No audio available
434. විඤ්ඤාණය හට ගැනීම 2

434. විඤ්ඤාණය හට ගැනීම 2

  1. මානසික පරීක්ෂණය: ලෝකය තුළ කිසිදු විඤ්ඤාණයක් තවම හටගෙන නැතැයි සිතන්න
  2. විඤ්ඤාණය පළමුවරට පහළවීමට මොහොතකට පෙර මම ලෙස, මගේ ලෙස යම් පැනවීමක් තිබුණේ නැත
  3. විඤ්ඤාණය පහළ වී රූප ශබ්ද ආදිය හඳුනා ගන්නා විට මම හට ගැනීමක් අපේක්ෂා කළ හැකිද
  4. විඤ්ඤාණය පහළ වීමට පෙර සහ පසු සිදුවී ඇති වෙනස වන්නේ සිතුවිලි ඇතිවීමක් පමණි
  5. මේ අතරතුර හඳුනා ගැනීම් ම මිස "මම" ක් ඇති වූයේ නැත
  6. සිතුවිලි සමුදායක් සිත තුළ ඇති විට ඒ තුළ කෙනෙක් පුද්ගලයෙක් ඇති ලෙස මුලා වීම සිදුවන අතර, මේ සිතුවිලි ඇතිවන්නේ මට ලෙස, මගේ ආදී ලෙස තව තවත් සිතිවිලි ඇතිවෙයි
  7. සරලව බලන විට මේ සිටින්නේ මම, මගේ ය ආදී ලෙස පවතින්නේ ද සිතිවිලිම ය
  8. මෙය ප්‍රබල විදර්ශනාවක් වන අතර බොහෝ සූක්ෂමව විදර්ශනා කළ යුතුය
No audio available
433. විඤ්ඤාණය හට ගැනීම

433. විඤ්ඤාණය හට ගැනීම

  1. මානසික පරීක්ෂණය: ලෝකය තුළ කිසිදු විඤ්ඤාණයක් තවම හටගෙන නැතැයි සිතන්න
  2. විඤ්ඤාණය පළමුවරට පහළවීමට මොහොතකට පෙර අවස්ථාව සලකන්න. ඒ පිළිබඳ හොඳින් මනසින් මෙනෙහි කරන්න
  3. එම අවස්ථාවේ කිසිදු රූපයක් දැක නොමැත, කිසිදු ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලැබී නොමැත. එවිට කිසිදු සිතිවිල්ලක් ඇතිවිය හැකිද? මනසින් විමසන්න
  4. විඤ්ඤාණය පහළ වූ පසු පළමු වතාවට ආලෝකය යම් වස්තුවක ගැටී පරාවර්තනය වී එම ආලෝකය දෘෂ්ටිවිතානය මත පතිත වීම සිදුවේ
  5. එය හුදෙක් වර්ණ සටහනක් මිස එය තුළ ගහකොළ ගල මල ලෙස වෙන් කිරීම් නොමැත
  6. එම වර්ණ සටහන විඤ්ඤාණය විසින් ග්‍රහණය කරන අතර පසුව එය වර්ණ සටහනක් නොව නොයෙකුත් දේවල් ලෙස මුලාවීම ආරම්භවේ. එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් බෙදීම් සිදුකරයි
  7. මෙය හොඳය මෙය නරකය, දුර ළඟ ආදී ලෙස එම නිකෙලෙස් වර්ණ සටහන කෙළෙසන අතර සිතුවිලි විකාශනය ආරම්භ වේ
  8. එය ක්‍රියාවලියක් මිස ඒ සඳහා කිසිදු සත්වයෙක් පුද්ගලයෙක් සම්බන්ධ වූයේ නැත. පසුව මුලාව හේතුවෙන් පෙනුනේ කාටද ලෙස සිතිවිල්ලක් පහළ වන අතර, එය පෙනුනේ මට ලෙස මම නම් දෘෂ්ටිය පහළවීම සිදුවේ
  9. මෙලෙස අනුලෝම ප්‍රතිලෝම ලෙස හොඳින් මෙනෙහි කරන්න. බොහෝ ධර්මයන් වැටහෙනු ඇත
No audio available
432. අනුපූර්ව ප්‍රතිපදාව

432. අනුපූර්ව ප්‍රතිපදාව

  1. දන්දීම සිල් රැකීම භාවනා කිරීම ආදී ලෙස ක්‍රමානුකූලව කළ යුතු වැඩ පිළිවෙළක් ශාසනය තුළ සඳහන් වේ
  2. ලොකු ගසකට කරන සාත්තුව කුඩා පැලයක් සඳහා නොගැලපෙන්නේ ය. පැලය සඳහා කරන සාත්තුව එම ගස ලොකූ වූ පසු නොගැලපෙන්නේය
  3. ධර්ම ප්‍රතිපදාවද එලෙසමය. මුලින්ම දානය සීලය ආදී ලෙස මෙය හොඳය, මෙය නරකය ලෙස පෙන්වා දී සතර අපාය ආදී දුක්ඛිත විපාක සඳහා සිදුවන ප්‍රබල හේතු සකස්වීම වැළැක්වීම සිදුකරයි
  4. තවද උපමාවක් ලෙස ගසක් පෙරළී විශාල අලාභයක් සිදු වී ඇති විට කළ අයෙකු නොමැති හෙයින් වරද පැටවීමක් නඩු දැමීමක් සිදුකළ නොහැක
  5. එලෙසම කර්මයක් සකස් වීම සිදුවන්නේ මම මගේ ආදී ලෙස සත්වයෙක් පුද්ගලයෙක් ලෙස සිත තුළ පවතින වැරදි වැටහීම නිසාය. එවැනි වැරදි වැටහීමක් නැති හෙයින් රහතන් වහන්සේලාට කර්ම සකස් වන්නේ නැත
  6. ඒ හෙයින් ධර්ම මාර්ගය තුළ පසුව එම වැරදි වැටහීම දුරු කිරීම සඳහා ධර්මය දේශනා කරනු ලබයි
  7. පසුව පවක් කළ විට එය විපාක දීම සඳහා නැවත ඉපදීමට සිදුවේ, පිනක් සිදුකළ විටද එය විපාක දීම සඳහා ද ඉපදීමට සිදුවේ
  8. මෙලෙස නැවත ඉපදීම සඳහා හේතුවන සියලු හේතූන් වැළැක්වීම සිදුකර නැවත ඉපදීමක් සිදු නොවන තැනට, නිවී සැනසී පිරිනිවීම පිණිස මග පෙන්වීම සිදුකරයි.
  9. ඒ අමා මෑණි සම්මා
  10. සම්බුදුරජාණන් වහන්සේට
  11. නමස්කාරය වේවා....!!!
No audio available
431. රූකඩ

431. රූකඩ

  1. සරලව ගතහොත් පෘථිවිය තුළ පවතින්නේ සූර්යයාගෙන් පාලනය වන්නා වූ ජීවී අජීවී ආදී රූකඩයන් ය
  2. යම් හෙයකින් සූර්ය ශක්තිය නොමැති වුවහොත්, පෘථිවියට ලැබෙන පෝෂණය නොමැති වනු ඇත. ක්‍රමානුකූලව ජීවී ආදී සියලු පද්ධතින් බිඳ වැටෙනු ඇත
  3. හොඳින් බලන විට පෘථිවිය තුළ යම් චලනයක් සිදු වේ නම්, එහි වගකීම සූර්යයා සතු බව වැටහෙනු ඇත
  4. නිදසුනක් ලෙස අතපය සෙලවීම ආදී චලනයන්ට ශක්තිය සපයන්නේ සූර්යයාය
  5. මෙලෙස මම ය, මාගේ ය, මට කළ හැකිය ලෙස සිතා සිටියද මෙම ශරීරය පවා බල ගැන්වෙන්නේ සූර්යය ශක්තියෙනි
  6. වාහනයක ඇක්සිලේටරය පෑගීම වාහනය ගමන් කිරීමට එක් කුඩා හේතුවක් පමණි, නමුත් එය ගමන් කිරීමට ඉන්ධන ආදී තව බොහෝ ප්‍රබල හේතූන් සකස් විය යුතුය
  7. අත එසවීමට යම් සිතිවිල්ලක් සකස් වූ විට එපමණකින් අත එසවෙන්නේ නැත
  8. ප්‍රමාණවත් ආහාරයක් ගෙන තිබීම. ආශ්වාසය ප්‍රශ්වාසය හොඳින් සිදුවීම, ශරීරයේ සියලු පද්ධතීන් හොඳින් වැඩ කිරීම ආදී නොයෙකුත් හේතුන් සකස් විය යුතුය
  9. මේ සියල්ල සඳහා සෘජු වක්‍ර බොහෝ හේතුන් සකස් කරන්නේ සූර්යයාය. එම නිසා මම මගේ ලෙස යමක් ඇත්නම් එහි විශාල පංගුව අයත් විය යුත්තේ මෙම ශරීරය බල ගන්වන සූර්යයාටය
No audio available
430. හොඳම ඝාතකයා තථාගතයන් වහන්සේය.

430. හොඳම ඝාතකයා තථාගතයන් වහන්සේය.

  1. කෑවත්, නොකෑවත් වයස යන්නේය, රෝගයන් වැළඳෙන්නේ ය, නොබෝ කලකින් ඒකාන්තයෙන් මිය යන්නේය
  2. මිනියක් මැරීම යනු විශාල කාරණයක් නොවන්නේ ය. සරල උපක්‍රමයකින් වුවද එය සිදුකළ හැකිය
  3. එහි දී සිදුවන්නේ හුදෙක් ශරීර මරණයක් පමණි. නමුත් මොහොතකින් තවත් ශරීරයක් දරාගෙන මෙම සිත නැවත නැගිටින්නේ ය
  4. නමුත් පසේබුදු හැරුණු කොට තථාගත අනුශාසනයකින් තොරව මෙම සිත මැරීම තබා කුමක්දැයි, කෙසේ ක්‍රියාත්මක වන්නේදැයි හඳුනා ගැනීම වත් කළ නොහැක
  5. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කල්පයන් පසු කරමින් බොහෝ පරිත්‍යාගයන් කොට මෙම සිත ඝාතනය කිරීමට ශක්තිය උපදවන්නේ ය
  6. මෛත්‍රිය කරුණාව පිළිකුල අසුභය ආදියෙන් මෙම සිත මෙල්ල කරන්නේය. මහා පුරුෂ ශක්තිය උපදවා කෙලෙස් නැමැති සංග්‍රාම භූමිය තුළ සිත සමඟ සම්මා දිට්ඨිය නැමැති අසිපතෙන් සටන් වදින්නේ ය
  7. අවසානයේ උපක්‍රමශීලී ලෙස නැවත නොනැගිටින සේ සිත ඝාතනය කර දමන්නේය. අන් අයට දේශනා ද කරන්නේ ය
  8. එම අර්ථයෙන් තථාගතයන් වහන්සේලා හොඳම ඝාතකයන් වන්නේය.....
No audio available
429. සොබා දහම සහ මම

429. සොබා දහම සහ මම

  1. මළමුත්‍ර, දහඩිය, ගැලවී වැඩෙන සම් කැබලි, නියපොතු, හිසකෙස් ආදී නොයෙක් කොටස් පරිසරයට එකතු වේ
  2. ආහාර ලෙස ජලය ආදී ලෙස ද ආශ්වාසය ප්‍රශ්වාසය මගින්ද මෙම ශරීරය සොබා දහම සහ බැඳී පවතී. නිරතුරුව ශරීරයය සොබා දහම හා කවලම් වීම සිදුවේ
  3. මගේ ලෙස වෙන්කර ගැනීමට වෑයම් කළද මෙම ශරීරය සොබාදහම සහ බද්ධව, මුසුවී පවතී
  4. පණ ගැට ගසා ගැනීමට සොබාදහම අපට දැඩි සක්කාර පහසුකම් සපයයි
  5. ඔක්සිජන් ටැංකිය වායු ගෝලය වේ. උණුසුමට හිරු එළිය, සිසිලස ට සුළඟ, ආහාරයට ගහ කොල, මහ පොළොව ආදී ලෙස වේ
  6. මෙලෙස විදර්ශනා කරන විට මෙම ශරීරය සොබා දහම ම බවද මම ලෙස පැනවීමක් කළ නොහැකි බව වැටහෙනු ඇත
No audio available
428. හොඳ නරක

428. හොඳ නරක

  1. සොබා දහමට හොඳ, නරක විපාක ලෙස විපාක භේදයක් නැත. හොඳ නරක විපාක ලෙස පැනවීමක් හට ගන්නේ එයට විඤ්ඤාණයක් මැදිහත් වූ විටය
  2. සිතේ රුචිකත්වයට යමක් සිදුවේ නම් හොඳ විපාක ලෙස ද නැතහොත් නරක විපාක ලෙස ද සිත මගින් අර්ථ ගැන්වුව ද සොබා දහමට එවැනි පැනවීම් නොමැත
  3. සොබා දහම තුළ ඇත්තේ හේතු සකස් වූ විට එයට සබැඳි ඵලයන් සිදුවීමය. ඒ තුළ අනුකම්පාව දයාව ආදියක් යෙදෙන්නේ නැත
  4. වැස්සක් සඳහා හේතු සකස් වූ විට ඵලය ලෙස වැසි වැටීම සිදුවේ. එහි ඇති හොඳක් නරකක් සොබාදහමට නැත
  5. සිතට හොඳ දේවල් නරක දේවල් ලෙස භේදයක් ඇත. නමුත් වඩා හොඳ දෙයක් හමුවේ හොඳ දෙයක් වුවද නරකකි
  6. නරක දෙයක් වුවද ඊට වඩා නරක දෙයකට සාපේක්ෂව හොඳකි
  7. හොඳ නරකය බෙදන නිශ්චිත රේඛාවක් සිතකට නැත. සිතට විටෙක හොඳ දෙයක් පසුව නරක් වන්නේ එම නිසාවෙනි
  8. එක් අන්තය ක සිටින සිත යම් හේතුවක් වෙනස් වූ විට අනෙක් අන්තය දරයි. හේතුව වන්නේ හොඳ නරක යනු සොබා දහම නොහඳුනන සිතකට සාපේක්ෂක ධර්මයක් බැවිනි
  9. මෙලෙස කාරණා වැටහීමත් සමඟ සිත හොඳ නරක ඉක්මවා යන අතර ඒ වෙනුවට හේතුව ඵලය ලෙස සිතෙහි හැඳිනීම වෙනස් වී සිතද සොබා දහම ම බවට පත්වී නිවී යනු ඇත
No audio available
427. සෑම සිතිවිල්ලකටම විපාකයක් ඇත

427. සෑම සිතිවිල්ලකටම විපාකයක් ඇත

  1. සැලකිය යුතු විපාක මට්ටමක් නොවුනත් පෘථග්ජන සිතක සෑම සිතිවිල්ලකට විපාකයක් ඇත
  2. උදාහරණයක් ලෙස "මේ බස් රථයේ යා යුතු යැයි සිතීම" යන සිතිවිල්ල සලකන්න. එහි විපාකයක් ලෙස ඒ පිළිබඳ මතකයක් අපගේ මතකයට එකතුවීම සිදුවේ. මෙනෙහි කළ හැක්කේ ඒ නිසාවෙනි. එය ඒ අනුබද්ධයෙන් ඇතිවූ විපාකය කි
  3. අපිට වෙන දවසක එම බස් රථය දක්නට ලැබුණහොත් "මේ අසවල් බස් රථය යැයි" මතකය අවදිවන්නේ එහි විපාකයක් ලෙස ය
  4. මේ බස් රථයේ යා යුතු යැයි සිතූ විට, වෙන බස් රථයක නොයෑම එහි විපාකයක් ලෙස සිදුවේ
  5. සෑම සිතිවිල්ලකට ම යම් ශක්තියක් වැයවීම සිදුවේ. මේ බස් රථයේ යා යුතු යැයි සිතන විට එම සිතිවිල්ලට වැයවන ශක්තිය, එම සිතිවිල්ල සඳහා කාලය වැයවීම ආදිය ද දිට්ඨධම්ම වේදනීය විපාකයන් ය
  6. එම සිතිවිල්ල ප්‍රධාන අරමුණ වන විට වෙනත් සිතිවිල්ලක් ඇති නොවීම ද එහි විපාකයකි
  7. ඒ සිතුවිල්ල හේතුවෙන් එම දිශාවට හිස හැරවීම ද විපාකය කි
  8. මේ ආකාරයෙන් එම සිතිවිල්ල නිසා ප්‍රමාණ කළ නොහැකි බොහෝ විපාක සකස්වීම සිදුවේ
  9. අප කර්මයක් විපාකයක් ලෙස බාර ගැනීමට එය මහත් වූ දෙයක් විය යුතු ලෙස සිත තුළ මුලාවක් ඇත. මේ ආකාරයෙන් මෙනෙහි කරමින් එම මුලාව දුරු කළ යුතුය
No audio available
426. ස්ථාන මාරුව

426. ස්ථාන මාරුව

  1. බත් පතක ඇති ව්‍යංජන තිබෙන ස්ථානය අනුව කැමැත්තේ විශේෂ වෙනස් වීමක් සිදුවන්නේ නැත
  2. නමුත් මනුෂ්‍ය ශරීරයක ඇති අවයව තිබෙන ස්ථානය වෙනස් කළහොත් කැමැත්ත අහසට පොළොව සේ වෙනස් වනු ඇත. එයට පදනම් වූ ධර්මය කුමක්ද?
  3. උදාහරණයක් ලෙස නහය පහළට දමා කට ඉහලට දැමුවහොත්, ආදී ඕනෑම වෙනසක් විකෘතියක් වනු ඇත. බිය පිළිකුල ආදිය උපදවනු ඇත
  4. එවිට ප්‍රකෘතිය වන්නේ මේ අවස්ථාවේ අවයව පිහිටා ඇති ආකාරයද?
  5. නැත. එයද විකෘතියකි. කාරණය වන්නේ දීර්ඝ කාලයක් පුරා අප එයට පුරුදුව සිටීමයි. මේ තිබෙන රූප ස්වභාවය සිත තුළ ජප වී තිබීමයි
  6. කමටහන: මනුස්ස සත්ව ආදී ශරීරයක ඇති කොටස් වල තිබෙන ස්ථානය වෙනස් කරමින් තමන්ගේ කැමැත්තට කුමක් වේදැයි මනසින් මෙනෙහි කරන්න
  7. මෙවැනි විදර්ශනා තුළින් සිත තුළ පවතින කැමැත්ත කාලය, පවතින ස්ථානය, ළඟ, දුර, වයස, දැනුම ආදී බොහෝ කාරණා මත පවතින බවද, එය සාපේක්ෂක ධර්මයක් බව ද, මුලාවක් බව ද වැටහෙණු ඇත
No audio available
425. නිදි කුම්බා පැළය

425. නිදි කුම්බා පැළය

  1. නිදි කුම්භ ආදී පැලයක් ඇල්ලූ සැණින් ඇල්ලූ බව දැන ගනී
  2. ප්‍රතිචාර ලෙස හැකිලීම සිදුවේ
  3. නමුත් ඒ තුළ කෙනෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ නැත
  4. සත්වයෙක් පුද්ගලයෙක් නොමැතිව දැන ගැනීමේ ක්‍රමයක් පවතින බව ඉන් පැහැදිලි වේ
  5. අප තුළද පවතින්නේ නොයෙක් ආකාරයේ දැන ගැනීම් ය. ඒවාට ප්‍රතිචාර දැක්වීමක් ද ඒ තුළ දක්නට ලැබේ
  6. නමුත් එම දැනගැනීම් ද ක්‍රියාත්මක වන්නේ නිදි කුම්බා පැලය සේය. එහි යම් සංකීර්ණ අවස්ථාවක් ලෙස සැලකිය හැක
  7. ඇසෙන් රූපයක් දැනගැනීම ඇස රූපය සහ එයට අවධානය සහිත සිත ඇති විට නිරායාසයෙන් සිදුවේ
  8. එම දැනගැනීමට සත්වයෙක් පුද්ගලයෙක් අවශ්‍ය වන්නේ නැත. ඒ තුළ ක්‍රියාත්මක වන මම හුදෙක් සිතිවිල්ලක් පමණි
  9. විදර්ශනාව පිණිස ය
No audio available
424.දැනගැනීම

424.දැනගැනීම

  1. අහස දෙස බැලූ විට වළාකුළු ඇති විට ඇති බව දැනගත හැකිය. නැති විට නැති බව දැනගත හැකිය
  2. නමුත් ඒවා පාලනය කිරීමක් අපට කළ නොහැකිය. එය දැනගත් පමණකට ඒවායේ අයිතියක් අපට හිමිවන්නේ නැත
  3. එලෙසම සිත නැමැති අහසේ සිතුවිලි නැමැති වළාකුල ඇතිවේ. අපගේ පාලනයකින් තොරව පැමිණීම නැති වී යාම සිදුවේ. කාරණා දෙකෙහි කිසිදු වෙනසක් නැත
  4. අපට සිදුකළ හැක්කේ ඇතිවූ විට ඇති බව, නැති වූ විට නැති බව දැන ගැනීම පමණි
  5. එලෙසම සිතෙහි කැළඹීමක් ඇති විට කැළඹීමක් ඇති බව, ද්වේශයක් ඇති විට ද්වේශයක් ඇති බව, ආදී ලෙස සිතෙහි නොයෙකුත් අවදීන් දැනගත හැකිය
  6. නමුත් ඒ දැනගත් පමණකින් ඒ කිසිවක අයිතිය, පාලනය නොමැතිය
  7. විදර්ශනාව පිණිසය..
  8. ගැඹුරින් ගැඹුරට යනු ඇත..
No audio available
423. මතකය

423. මතකය

  1. නිරතුරුව මේ සිතෙහි නැඹුරුව ඇත්තේ සසරටය. සසර ගමනට යම් හේතුවක් සකස් වන්නේ නම් එය වරද සහගත ක්‍රියාවකි
  2. සසර ගමන වැළැක්වීම පිණිස යම් ක්‍රියාවක් හේතු වේ නම් එය නිවැරදි ක්‍රියාවකි. සසර තුළම බොහෝ කාලයක් සිටි අපට ජප වී ඇත්තේ සරට යන වරද සහගත ක්‍රියාවන්මය
  3. තවද වැරැද්දක් සිදුවීමට වැඩිවෙලාවක් නොයන අතර එයට තමා තුළ දැඩි කැමැත්තක්ද පවතී
  4. නමුත් එය මැරෙන මොහොත දක්වා මතකයෙහි රැඳීම ආදීනවයකි. එම මතකය විටින් විට මතුවෙමින් පසුපසම හඹා පැමිණීම වැළැක්වීම බොහෝ අපහසු කරුණකි
  5. එම මතකය මරණ මොහොතේදී අපගේ ඉරණම පවා තීරණය කළ හැකි බිහිසුණු කාරණයකි
  6. එම නිසා වැරැද්දක් නොවීමට වග බලා ගැනීම නුවණැතිය
  7. මනුස්ස ජීවිතය තුළ නිවනට මෙන්ම නිරයට යෑමටද වැඩිවෙලාවක් ගතවන්නේ නැත.. ප්‍රවේසම් විය යුතුය...
  8. වීරිය පිණිසය...
No audio available