Report Menu
All Cards
Total Cards: 367 | Page: 1 of 19 | Showing: 20 cards
367. ටෙනිස් බෝලය

367. ටෙනිස් බෝලය

  1. ටෙනිස් බෝලයක් උඩ දමා බිම වැටීමට නොදී තට්ටු දමමින් ගුවනේ රඳවා තබා ගත හැක
  2. නමුත් ටෙනිස් බෝලයේ ස්වභාවය බිමට වැටීමයි
  3. තට්ටු දැමීමෙන් සිදු කරන්නේ එය වැටීමට නොදී මොහොතින් මොහොත බිමට වැටීම කල් දැමීමයි
  4. එලෙසම මේ ශරීරයේ ස්වභාවය මරණයට පත්වීමයි
  5. එය මැරෙන්නට නොදී තට්ටුවක් දමන්නේ, මරණය මොහොතින් මොහොත කල් දමන්නේ හුස්ම ගැනීම, පිටකිරීම තුළිනි
  6. මේ ආකාරයෙන් හුස්ම පහර මැදිහත්ව අපගේ මරණය දිනකට ආසන්න ලෙස 22,000 වාරයක් කල් දැමීම සිදුවේ
  7. ඇත්තෙන්ම සිදුවන්නේ ජීවත් වීමක් නොවේ. මොහොතින් මොහොතට මරණය කල් දැමීමක් පමණි
  8. මේ ආකාරයෙන් මොහොතින් මොහොත පණ ගසන කය දෙස බලා සිටින්න
  9. සිහිය පිහිටනු ඇත, කෙලෙස් යටපත් වනු ඇත, නිර්වාණය පිණිස මාර්ගය එළි වනු ඇත
No audio available
366. ගසට සාත්තු කිරීම

366. ගසට සාත්තු කිරීම

  1. ලැබී ඇත්තේ ලැබෙන්න තිබූ දේය. නොලැබී ඇත්තේ නොලැබීමට තිබූ දේය
  2. ලැබී ඇති දේ ඵලයකි. එය පිළිබඳව තර්ක කිරීමෙන් අරගල කිරීමෙන් ඵලක් නැත
  3. එය උපමාවක් ලෙස අඹ ගසක අඹ නැතැයි අතු වලට චෝදනා කරනවා මෙනි
  4. තවද අඹ බලාපොරොත්තුවෙන් අඹ අතු පෝෂණය කිරීම ඵලක් නැත
  5. අඩුම තරමින් පොහොර ජලය ආදිය ආදිය ගස මුලට දමා අඹ බලාපොරොත්තු වීම සාධාරණය
  6. නමුත් කොහු අඹ ගහක මී අඹ හට ගන්නේ නැත
  7. මී අඹ සකසා ගැනීමට නම් ක්‍රමය වන්නේ මී ගසක් පැළ කිරීමය
  8. එසේම තම ලෞකික ලෝකෝත්තර නොලැබීම ඵලයක් හෙයින් ඒ පිළිබඳ දොස් පවරා වැඩක් නැත
  9. කළ යුත්තේ දාන සීල සමාධි ප්‍රඥා ආදී ලැබීම පිණිස පවතින හේතූන් ශක්තිමත් කිරීමයි
No audio available
365. මරණය

365. මරණය

  1. මරණය යනු සියලු සත්වයන්ට උරුම වූ පොදු වූ ධර්මතාවයකි
  2. මරණය පැමිණෙන තුරුම තමන් මැරෙන පුද්ගලයෙකු බව බොහෝ පිරිසක් හඳුනන්නේ නැත
  3. ඒකාන්ත වශයෙන් හෙට මරණය සිදුවන්නේ නම් අද අපගේ හැසිරීම කෙසේ විය හැකිද ?
  4. බොහෝවිට කඳුළු සලමින් බෝධි පූජා තියමින් හැකි සියලු දේ සිදු කරමින් යම් පීඩනයකින් ගතවනු ඇත
  5. නමුත් ඇත්තෙන්ම අප අද දින සිටින්නේ කඳුළු සලමින් බෝධි පූජා තියමින් නොවේ
  6. එයින් ගම්‍ය වන්නේ හෙට නොමැරෙන බව හිත තුළ දැඩි ලෙස පවතින බැවිනි
  7. නමුත් ඇත්තෙන්ම මැරෙන දවස හෙට වන දිනයක් පැමිණෙනු ඇත
  8. එදිනද පෙර දින ගතවනු ඇත්තේ මෙලෙසම ය. එනම් මරණය පැමිණෙනතුරු අපට මරණය හඳුනාගත නොහැකි බව ඒ තුළ ගැබ්ව
  9. එම නිසා නිර්වාණයට වෙර වීරිය දරන්නෙකු සසර බය මතුවීම පිණිස, සිහිය ඇතිවීම පිණිස, වීරිය ඉපදවීම පිණිස, ආරක්ෂාව පිණිස මරණානුස්සතිය වැඩිය යුතුය
No audio available
364. තැලෙන සුළු භාවය

364. තැලෙන සුළු භාවය

  1. ලෝකයේ ජීවත් වන සියලු සත්වයන් නොයෙක් ආකාරයෙන් තැලීම් පෙළීම් වලට භාජනය වේ
  2. බොහෝ විට තැලීම් පෙළීම් වලින් පීඩාවට පත්වෙන්නේ සංවේදී සත්වයන් ය
  3. සංවේදී සිත පහසුවෙන් දුකට පත්වන්නේය. කඳුළින් කාලය ගතවන්නේ ය
  4. දැඩි සිතක් ඇත්තේ නම් තැලීම් පෙළීම් වලට ඔරොත්තු දෙන අතර දුකට පත්වීම සාපේක්ෂව අඩුය
  5. හිරු එළියෙන් සුළඟින් සත්වයන්ගෙන් තැලීම් පෙළීම් ලබන ගස් ගල් ආදිය තුළ පවතින්නේ තද රළු ස්වභාවයක්ය
  6. ගස් ගල් වල පැවැත්ම ඇත්තේ ඒවා තුළ පවතින දැඩි භාවය හේතුවෙනි. සංවේදී දුර්වල ගහකොළ ඉක්මනින් විනාශ වන්නේය
  7. සොබාදහම දැඩි වෙමින් ඒවායේ සුරක්ෂිතභාවය සලසාගෙන ඇති ආකාරය දැක ගත හැකිය
  8. එලෙසම, මේ සිතද සොබා දහම තුළ පවතින ධර්මතාවයක් බැවින් සිත මෙල්ල කිරීමටද දැඩි භාවය පැවතිය යුතුය
  9. නිර්වාණය පිණිස වෙර වීරිය දරන අයෙක් තුළ දැඩි භාවය ගුණයක් ලෙස තිබිය යුතුය
No audio available
363. ශ්‍රී ලංකාව

363. ශ්‍රී ලංකාව

  1. ආලෝකය තුළ අන්ධකාරයෙන් වැසී ඇති බොහෝ රටවල් අතරින් ශ්‍රී ලංකාව යනු ආලෝකය තුළ ආලෝකය පවතින රටකි
  2. මෙහි පළමු ආලෝකය හිරු එළිය ද දෙවන ආලෝකය කළ යුත්ත නොකළ යුත්ත හඳුනන ප්‍රඥා ආලෝකය ද වේ
  3. බොහෝ පිරිසක් සැනසීමට පත් වූ ශ්‍රී ලංකා භූමියේ ස්පර්ශය උපතින්ම ඔබ අපහට ලැබී ඇත
  4. ප්‍රඥා ආලෝකයෙන් බබළන ශ්‍රී ලංකා භූමිය තුළ දානය, සීලය, සමාධිය සහ ප්‍රඥාව ආදී මානසික ඖෂධීය ධර්මයන් කිසිදු වෙහෙසකින් තොරව සොයා ගත හැකිය
  5. මැණිකක වටිනාකම පවතින්නේ මැණික මැණිකක් ලෙස හඳුනාගත් විට පමණි
  6. මැණික් පතලක් උඩ වාඩි වී කළු ගල් ගැන කල්පනා කරන්නේ වාඩි වී සිටින්නේ මැණික් පතලෙහි බව නොදන්නා හේතුවෙනි
  7. නිර්වාණ ධර්මය උපතින්ම හිමි මිනිසුන් කාමයන් ගැන කල්පනා කරමින් ආයුෂ වැය කිරීම ඉහත උපමාවට සමකල හැකිය
  8. තථාගතයන් වහන්සේගේ පවා නෙත ගැටුණු ශ්‍රී ලංකාව නිර්වාණයට සරු කෙතකි
  9. වෙනත් කුමන අඩුපාඩුකම් තිබුණත් ශ්‍රී ලංකා භූමිය තුළ නිර්වාණ ධර්මයට නම් කිසිදු බාධාවක්, අඩුපාඩුවක් නොමැත
No audio available
362. වෛද්‍යවරයා

362. වෛද්‍යවරයා

  1. කායික රෝග සඳහා බොහෝ වෛද්‍යවරුන් සිටින නමුත් ඇත්තෙන්ම නියම වෛද්‍යවරුන් ඔවුන් නොවේ
  2. 365 දවසේම, පැය 24 තුලම කයෙහි රෝග පිළිබඳව අවදියෙන් සිටින ප්‍රබල වෛද්‍යවරයා කයම ය
  3. වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන්නේ එම වෛද්‍යවරයාට යම් පහසුවක් සැලසීම පමණි
  4. ශල්‍යකර්මයකින් පසුව වුවද එහි විෂබීජ ඇත්නම් ඉවත් කොට තුවාල සුව කිරීමේ හැකියාවක් මේම වෛද්‍යවරයා සතුවේ
  5. කයෙහි රෝග කයට ම සුවපත් කර ගැනීමට ඉඩ හැරීම මගින් එම වෛද්‍යවරයා දිරිගැන්වෙන අතර තව තවත් ශක්තිමත් වනු ඇත
  6. බැරිම අවස්ථාවක බාහිර වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත යුතුය
  7. මේ කය සකසා ගෙන ඇත්තේ මනස විසින්ය. එම නිසා කයෙහි පවතින රෝගයක් සුව කිරීමේ හැකියාව ප්‍රබල ලෙස මනසටද ඇත
  8. කායික රෝග යනු මනසෙහි පවතින රෝගයන් නිසා හට ගත් අතුරු ඵලයක් පමණි
  9. ඉපදවූ සම්මා දිට්ඨිය නියම වෛද්‍යවරයා වන අතර එම වෛද්‍යවරයා ට සියලු රෝග සුව කළ හැකි අතර කිසි දිනක සුව නොවූ සංසාර රෝගය පවා සුව කිරීමේ හැකියාව ඇත
No audio available
361. වැරදි දෙයක් නැත

361. වැරදි දෙයක් නැත

  1. ලෝකය වැරදි යැයි ද මෙය මෙසේ විය යුතු යැයි මෙයම නිවැරදි යැයි ලෙස සිතන දෘෂ්ටියක් සත්වයා තුළ ඇත
  2. නමුත් වැරැද්ද සහ නිවැරැද්ද යනු සාපේක්ෂක ධර්මතාවය
  3. යමකට සාපේක්ෂව යමක් නිවැරදි වන අතර අනෙකකට සාපේක්ෂව එය වරද සහගත වේ
  4. නිවන් මාර්ගය තුළ හරි වැරැද්ද පෙන්වා දෙන්නේ නිවනට සාපේක්ෂවය
  5. අරමුණකට සාපේක්ෂව හරි වැරැද්ද තීරණය වන බැවින් ඒකාන්ත නිවැරදි දෙයක් නොපවතී
  6. එම නිසාවෙන් කිසිවක් වැරදි සහගත ද නොවන අතර එය එහි අනෙක් අන්තය වන නිවැරදි භාවය නොඉක්මව යි
  7. මුවෙක් වීමට යම් අයෙකුට අරමුණක් ඇත්නම් එවැනි අයෙකුට විදර්ශනා කිරීම, පිළිකුල් අසුභ ආදිය වැඩීම වරද සහගත වේ
  8. කොපමණ අරගල කලද තම දෘෂ්ටිය ම මිස ලෝකය තුළ කිසිවක් වැරදි නැත
  9. වැරැද්ද ඇත්තේ ලෝකය වැරදි ලෙස දකින තමා තුළම ය
No audio available
360. අමරණීය භාවය

360. අමරණීය භාවය

  1. ගසක හටගන්නා ඵලයකි. එම ඵලයෙන් හටගන්නා ගසකි මෙය ඉපදීම මිය යෑම ලෙස හේතු ඵල ලෙස දිගින් දිගට ක්‍රියාත්මක වේ
  2. එම ඉපදීම මිය යෑම යන යාන්ත්‍රණය තුළ යම් ධර්මයක අමරණීය පැවැත්මක් හට ගනී
  3. නමුත් ගසක හට ගැනීම මිය යෑම ලෙස පෙනෙන්නට ඇත්තේ එම යාන්ත්‍රණය තුළ සතර මහ ධාතුව ක්‍රියාත්මක වන ආකාරය පමණි
  4. එම ධර්මය තුළ සත්වයෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වන්නේ නැත. ස්වයංව පෝෂනය වන එම ධර්මය තුල ක්‍රියාත්මක වන්නේ හේතු ඵල න්‍යායකි
  5. සිතක පැවැත්ම යනු තවත් එවන් වූ ධර්මයක් පමණි
  6. මෙම කය යනු එම ධර්මය තුළ සතර මහා ධාතුව ක්‍රියාත්මක වන ආකාරයයි
  7. නමුත් පිරිසුදු නොවූ දෘෂ්ටියට හසු වන්නේ එහි මම මගේ ආදී පැවැත්මක් ඇති ලෙසය
  8. එයම හේතුව කරගනිමින් එම දෘෂ්ටිය බිඳෙන තුරු දුක් විඳින සත්වයෙකු ගේ අමරණීය පැවැත්මක් හටගනී
  9. තථාගත ධර්මය තුළ සිදුවන්නේ සරලව මෙම දෘෂ්ටිය බිඳීම පමණි. එම හේතුව බිඳුනු විට අමරණීය භාවය අහෝසි වන අතර මරණීය සත්වයාගේ අමරණීය නිරෝධය සිදුවේ
No audio available
359. පීඩාකාරී ශරීරය

359. පීඩාකාරී ශරීරය

  1. සැප වාහන, සුව පහසු ඇඳ ඇතිරිලි , සුවපහසු ආසන ආදිය අවශ්‍ය ලෙස යමෙක් පවසන විට ඒ තුළ පීඩාවෙන් පවතින කයක් ඇති බව සැඟව ඇති කරුණකි
  2. ජලය අවශ්‍ය වන්නේ පිපාසයෙන් පීඩා විඳින අයෙකුටය
  3. එලෙසම සැප පහසුව අවශ්‍ය වන්නේ අපහසුවෙන් පවතින, පීඩා විඳින කයකටය
  4. අප ජීවිත කාලය පුරා දුක් විඳින්නේ උප්පත්තියෙන්ම අඩුපාඩු සහිත නොයෙකුත් රෝග සහිත කයක් මෙන්ම නොයෙක් රෝග සහිත සිතක් ද හිමි වූ බැවිනි
  5. කය අපහසු බැවින් එයට යම් පහසුවක් සැලසීමට යාන වාහන, පහසුකම් සහිත නිවසක් ආදී නොයෙකුත් දෑ සපයා ගැනීමට සිදුවී ඇත
  6. සිත අපහසු බැවින් එයට යම් පහසුවක් සැලසීම පිණිස රූප, ශබ්ද, ගන්ධ ආදිය හඹා යෑමට ද සත්වයා පෙළඹී ඇත
  7. ඇත්තෙන්ම ජීවිත කාලය පුරා සිදු කරන්නේ මේ රෝගී සිතට, රෝගී කයට ආවතේව කිරීමය
  8. මෙය විදර්ශනා කොට මෙවන් සිතක් කයක් උරුම වීමට හේතු වූ හේතු කාරණා හඳුනාගත යුතුය
  9. සැප පහසුව සොයා යෑම තුළින් සැපවත් වූ කිසිදු පුද්ගලයෙක් නොමැත. ඇත්තේ මෙය තේරුම් ගෙන මිදී ගිය පිරිසක් පමණි
No audio available
358. ගුණයන් වැඩීම

358. ගුණයන් වැඩීම

  1. බුද්ධ ශාසනය තුළ ගුණය යනු සැපයට පත්වීම පිණිස, පිරිනිවීම පිණිස, හේතු සකස් කරන හැසිරීම් රටාවකි. මෙනෙහි කිරීමේ ක්‍රමයකි
  2. දුකට පත් වීමේ යම් හැසිරීමක් ඇත්නම් යම් මෙනෙහි කිරීමේ ක්‍රමයක් ඇත්නම් ඒ නුගුණයකි
  3. යම් ගුණයක් ඊට වඩා හොඳ ගුණයක් පුරුදු කරන විට සාපේක්ෂව නුගුණයක් වන්නේය
  4. අවසානයේ කිසිම ගුණයක් නැති බව හොඳම ගුණය වන්නේය
  5. ගුණයක් හඳුනාගෙන ගුණය සිතෙහි රඳවාගෙන මෙනෙහි කරමින් ඒ තුළ හික්මීම එක්තරා ආකාරයක සිහිය වැඩීමක් ද වන්නේය
  6. එම ගුණය තුළ නිරායාසයෙන් සීලයක් ද සමාධිය ප්‍රඥාව ආදිය ඇතිවීම ද සිදුවන්නේ ය
  7. නූපන් නුගුණයන් නූපදීම පිණිස, උපන් නුගුණයන් දුරු කිරීම පිණිස, නූපන් ගුණයන් ඉපදවීම පිණිස, උපන් ගුණයන් වැඩි දියුණු කිරීම පිණිස ලෙස ඒ තුළ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ද ඇති කළ හැකිය
  8. ගුණයන් යනු නිර්වාණය පිණිස වූ ඉනිමගකි
  9. ධර්මයේ හැසිරෙන්නා ගුණයන් හඳුනාගත යුතුය. එම ගුණයන් තමා තුළට පමුණුවා ගත යුතුය. එවිට නිර්වාණ මාර්ගය වඩා පහසු වනු ඇත. අවසානයේ ගුණයන් බවටම පත් වනු ඇත
No audio available
357. මම යනු ලෝකයයි

357. මම යනු ලෝකයයි

  1. තිබෙන ලෝකයක මම ජීවත් වෙනවා නොවේ
  2. මම ලෝකයක් හදනවා ද නොවේ
  3. මම යනු ලෝකයයි. පහත කරුණු ඔස්සේ සිතා බලන්න
  4. මම අවසන් වන මොහොතේ ( එනම් පිරිනිවීමේදී ) ලෝකය නැති වෙන බැවින් ද
  5. මම යම් දිනක පහළ වූ වේද ඒ දින වන තුරු මට ලෝකයක් නොතිබූ බැවින්ද,
  6. එක් එක් අයට ගෝචර ලෝකය එක් එක් අයට අනන්‍ය බැවින් ද
  7. තමාට පැනවෙන ලෝකය තමා දන්නා හඳුනන දෙයින් පමණක් සැකසී ඇති බැවින් ද
  8. තමා නොදන්නා දේවල් ලෝකය තුළ නැති හෙයින්ද
  9. මම යනු ලෝකය විය යුතු නොවේද? විදර්ශනාව පිණිසය
No audio available
356. සිත

356. සිත

  1. සරල ලෙස සිතෙහි හැකියාව වන්නේ දැන ගැනීමයි. තවද එය විපාකයකි
  2. මතකය යනු සිතෙහිම තවත් ක්‍රියාත්මක ස්වරූපයකි. අන් ආකාරයෙන් එයද විපාකයකි
  3. ස්වයංක්‍රීයව කර්ම සකස් වීමේ ස්වභාවයක් විපාක ක්‍රියාත්මක වීමේ ස්වභාවයක්ද ඇත
  4. විශේෂ පුහුණුවකින් මිස උපක්‍රම යොදා විනාශ කළ නොහැක. සතර මහා ධාතුවේ පාලකයා වන්නේද සිතයි
  5. යම් හේතූන් පවතීද එම හේතූන්ට අනුව ක්‍රියාත්මක වේ. කරුණාව, අනුකම්පාව සහ දයාව ආදියක් නොයෙදේ
  6. සිතට අවසානයක් නොමැත. අරමුණක් ද නොමැත. සිතෙහි පැවැත්ම වන්නේ මුලාවයි
  7. සිත යනු ගහකොළ, ඇළ දොළ මෙන් නිදහස්ව ක්‍රියාත්මක වන ධර්මතාවයකි. තණ්හාව උපාදානය ආදී ධර්මතා තුළ බැස ගැනීමේ ස්වභාවයක් ඇත
  8. සත්‍ය ලෙස හඳුනාගත් සංඥාවක් ඇත්නම් එය තුළ පවතී, එය බවට පත්වේ. අසත්‍ය ලෙස හඳුනාගත් යමක් ඇත්නම් එයින් ඈත්වේ. එය සිතෙහි ස්වභාවයයි
  9. පැවැත්මේ ධර්මතා මුලාවක් ලෙසද, නැවැත්මේ ධර්මතා නොමුලාවක් ලෙසද සංඥා ඉපද වූ විට සිත නැවැත්මේ ධර්මතාවය බවට පත්වේ
  10. එම උපක්‍රමය තුළ සිත නවතී. සිතින් මිදීමේ හැකියාව ලැබේ. අවසාන වේ. එය නිර්වාණයයි
No audio available
355. මහ පොළොව සංඥාව

355. මහ පොළොව සංඥාව

  1. මේ කය සකස් වී ඇත්තේ මහ පොළවේම ඇති කොටස් වලිනි
  2. තවද එය පවත්වා ගැනීමට ආහාර ලෙස ලබා ගන්නේ ද මහ පොළොවේම ඇති කොටස්ය
  3. බෙහෙතක් හේතක් ලෙස ලබා ගන්නා දේ ද මහ පොළවේම කොටස් ය
  4. අපේ යම් වත්කමක් ඇතැයි පවසන්නේ නම් එයද මහපොළොවේ ඇති කොටස් ය
  5. තවද ඇස, කන, නාසය සහ දිව ආදී ඉන්ද්‍රියන් පිනවන්නේ ද මහපොළොවේම ඇති කොටස් වලිනි.
  6. හිඳගන්නා පුටුව නිදාගන්නා ඇඳ මෙන්ම භාවිතා කරන උපකරණ වාහන පවා මහ පොළොවේම කොටස් ය
  7. යම් දුකක් හෝ සැපක් ඇත්නම් එය ද මහ පොළොව ඇසුරු කරමින් සකස් වී ඇත
  8. එම නිසා මහපොළොව වටහා ගත් විට, මම නම් ප්‍රහේලිකාව විසදෙන්නේ ය
  9. තථාගතයන් වහන්සේ පවා බුද්ධත්වය ලබන අවස්ථාවේ සාක්ෂි කළ මහ පොළොව පිළිබඳව මේ ආකාරයෙන් මෙනෙහි කරන විට බොහෝ අවබෝධයන් ලබාගත හැකිය
No audio available
354. තථාගත තේජස

354. තථාගත තේජස

  1. තථාගතයන් වහන්සේ නිවන අධිගමනය කළ ආකාරය හිරිගඩු නංවන, ඇඟ සීතල කරන සුළුය
  2. සමත්, නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ශරීරයේ ලේ මස් වියලි යතොත් යේවා
  3. පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් සතර මාර්ග ඥානයකට හා සර්වඥ ඥානයකට පැමිණිය යුතු ද එයට නොපැමිණ වීරිය අත් නොහරිමි
  4. මේ තථාගත සිංහ නාදයකි. මේ ආකාරයෙන් නිවන් සටනෙහි යෙදෙන ශ්‍රාවකයා ද හික්මිය යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත
  5. වීරිය හීන වන විට අපගේ ගුරු තථාගතයන් වහන්සේ මෙවන් උත්තමයන් වහන්සේ නමක් ය, ලෙස බුද්ධානුස්සතිය මෙනෙහි කොට වීරිය ඉපදවිය හැකිය
  6. කලවා ඇට බිඳගෙන මහණදම් පිරූ, ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ තථාගත ශ්‍රාවකයන් පිළිබඳ අප අසා ඇත
  7. ඔබ අතට පත්වී ඇති තථාගත ශාසනය මෙවන් මහා වීරයන් වහන්සේලාගේ සහ ගුණවතුන් වහන්සේලාගේ ස්පර්ශය ලැබූවකි
  8. මෙවන් ආදර්ශ ලබා දී ඇත්තේ මා උදෙසාමය, මගේ නිවන් මාර්ගය සාර්ථක කර ගැනීම උදෙසාමය, ලෙස මෙනෙහි කළ යුතුය
  9. මෙසේ මෙනෙහි කරමින් නීවරණ යටපත් කොට කෙළවරක් නොමැති සසර ගමන වහ වහා කෙළවර කිරීමට කටයුතු කළ යුතුය
No audio available
353. නෝන්ජලයෙකු නොවේ

353. නෝන්ජලයෙකු නොවේ

  1. තථාගත ශ්‍රාවකයා යනු අන් අයගේ උසුළු විසුළු වලට පාත්‍ර විය යුතු අයෙක් නොවේ
  2. ප්‍රඥාව වැඩීමත් සමඟ තථාගත ශ්‍රාවකයා ගාම්භීර එඩිතර බවට පත්විය යුතුය. එසේ නොමැති නම් එය ප්‍රඥාවේ පවතින දෝෂයකි
  3. නුවණැති අයෙකු තථාගත ශ්‍රාවකයා ඉදිරියේ ගොළු වන්නේය. තවද ගාම්භීරත්වය, ගුණවත් බව, පෞරුෂය ආදිය තුළ නිරායාසයෙන් ගරුත්වය සකස් වීම ලෝක ධර්මතාවයකි
  4. තවද යම් ශ්‍රාවකයෙක් ප්‍රතිපදාවක් සිදුකරන්නේ වඩා සැපවත් භාවය උදෙසා මිස දුක් විඳීම පිණිස නොවේ
  5. තථාගත ශ්‍රාවකයා යනු හිඟාකමින්, බැගෑපත් වෙමින්, නෝන්ජලයෙකු සේ ජීවත් විය යුතු බව බොහෝ පිරිසක් තුළ පවතින වැරදි මතයකි
  6. බොහෝ විට නුගුණක් ලෙස අපහදින්නේ ද තථාගත ශ්‍රාවකයා තුළ පවතින හඳුනා නොගත් ගුණයකටමය
  7. අහිංසක ලෙස, නෝන්ජලයෙකු ලෙස රැවටිය හැකි ලෙස බාහිරට පෙනුණද තථාගත ශ්‍රාවකයා රැවටිය හැකි පුද්ගලයෙකු නොවේ
  8. සිත ඉදිරියේ සිංහයෙකු ලෙස සිටින තථාගත ශ්‍රාවකයා බාහිරට පෙනෙණුයේ අහිංසක බිම බලාගෙන යන සංවේදනයක් නැති අයෙකු ලෙසය. එයද වරදවා වටහා ගැනීමකි
  9. යම් ශ්‍රාවකයෙකුගේ ගුණ හඳුනා ගැනීමට තමා තුළ ද එම ගුණ හඳුනා ගැනීමට ප්‍රමාණවත් ප්‍රඥාවක්, නිහතමානී බවක් පැවතිය යුතුය. එම නිසා බොහෝ පිරිසකට තථාගත ශ්‍රාවකයෙකු හඳුනා ගැනීම අපහසු කාරණයකි
No audio available
352. ඉවත් කිරීමේ ක්‍රමය

352. ඉවත් කිරීමේ ක්‍රමය

  1. ධර්ම මාර්ගයේ ගමන් කරන බොහෝ පිරිසක් උත්සාහ කරන්නේ කෙලෙස් ඉවත් කිරීමටය. ඒ තුළ සිදුවන්නේ අනාත්ම භාවයක්, ආත්මභාවයක් කිරීමට උත්සාහ දැරීමකි
  2. එය කළ නොහැකි කාරණයකි. එය සිදුකිරීමට උත්සාහ කරන විට සිදුවිය හැක්කේ ඉච්ඡාභංගත්වය, කනස්සල්ල හෝ පසුතැවිල්ල ආදිය ඇතිවීමය
  3. නිවසෙහි පවතින යම් භාණ්ඩයක් ඉවත් කිරීමට අරමුණක් ඇති විට සිදු කළ යුත්තේ ඉවත්කිරීමය
  4. ඒ වෙනුවට එය පිරිසිදු කිරීමක් සිදුවන්නේ නම් එයින් එම භාණ්ඩය තබා ගැනීම පිණිස සිදු කරන වෑයමක් පෙන්නුම් කරයි
  5. එලෙසම සසර ගමනින් මිදීමට අදහස් කරන්නේ නම් එවන් අයෙක් එම භාණ්ඩය පිරිසිදු කර කර ඉන්නේ නැත
  6. පිරිසිදු කිරීමෙන් සිදුවන්නේ සහ එයින් අදහස් වන්නේ එය ඉවත් නොකිරීමේ සූදානමකි
  7. ධර්ම මාර්ගය තුළ සිදු කළ යුතු වන්නේ කෙලෙස් ඉවත් කිරීම වෙනුවට කෙලෙස් හඳුනා ගැනීමය
  8. එම ක්ලේශයන්හි පටිච්චසමුප්පන්න ස්වභාවය හඳුනා ගැනීමය
  9. එවිට කෙලෙස් වලින් මිදීම, සසරින් මිදීම සිදුවන්නේ නිරායාසයෙනි
No audio available
351. අවසන් කළ නොහැක

351. අවසන් කළ නොහැක

  1. ලෞකික සිතකට කිසිවක් නිවැරදිව නිගමනය කළ නොහැක. සංසාරයක් නොයෙකුත් දේ හැකි උපරිමයෙන් සිදුකළ ද අවසන් වී නැත්තේ ඒ හෙයිනි
  2. ඇසට බොහෝ දේවල් හසු වුවත් ප්‍රඥාවකින්ම මිස ඇසට ඇස හසු වන්නේ නැත. එලෙසම සිතට සිත හසු වන්නේ ද නැත
  3. ඉගෙනීම යනු මිරිඟුවකි. ඉගෙනීම අවසන් වන්නේ තවදු ඉගෙනීමකට අත්තිවාරමක් දමාය
  4. බඩගින්න පිපාසය නිදිමත කාලය විශාලත්වය ආදීය එම එකදු කුලකයේ ධර්මතාය. අවසානයක් පැනවිය නොහැක
  5. මරණය තවදු ඉපදීමක ආරම්භයයි. ඉපදීම තවදු ජරා, මරණ ආදියක ආරම්භයයි.
  6. කිසිවක් ලබා දී හෝ ලබා නොදී තෘප්තිමත් කළ නොහැකි මෙම ශරීරය යනු අපට එළිපිට කර ඇති හූනියම කි
  7. සිතුවිල්ලක් අවසන් වන විට නැවත සිතිවිලි පැමිණෙන මේ සිතෙන් මිදී මොහොතක්වත් ගත කළ නොහැක. කරුමයකි
  8. මෙපමණ සංකීර්ණ වීමට ඇත්තෙන්ම මෙහි ඇති දෙයක් නැත. මක්නිසාද ඒ සියල්ල පනවා ඇත්තේ සිතින් බැවිනි
  9. සිතින් පැනවූ දෙය සිතින්ම අවසන් කරනවා මිස වෙනත් අවසන් කිරීමේ ක්‍රමයක් නැත
No audio available
350. මොහොතකට පෙර

350. මොහොතකට පෙර

  1. ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන මරණ මොහොත යනු උපරිම මානසික වෙනස් වීමක් අත්විඳින සුවිශේෂී මානසික මට්ටමකි
  2. මරණ මංචකය තුළ මාර්ගයේ සිටින අයෙකු ඵලයට පත්වීම පිළිබඳ බුදු දහමේ සඳහන් වේ
  3. එම නිසා මරණ මංචකය නම් විශේෂ අවස්ථාව විදර්ශනා කිරීම තුළ සුවිශේෂී අවබෝධයන් ලබා ගත හැකිය
  4. මානසික පරීක්ෂණය: මරණයට මොහොතකට පසු මොහොත සිහිපත් කරන්න
  5. වාහන ගෙදර මුදල් ආදී සියලු වත්කම් අහිමි වී ඇත. නෑදෑයන් අහිමි වී ඇත. දූ දරුවන් මාපියන් බිරිඳ ස්වාමිපුරුෂයා අහිමි වී ඇත.
  6. ඩිග්‍රිය වලංගු නැත. තරාතිරම් මාන්න සියල්ල බිඳී ගොසින්ය. තම සිරුර ද අහිමි වී ඇත
  7. ජීවත්ව සිටි කාලයේ මෙන් තම වචනයට කිසිවෙකු අවනත නැත. සියල්ල *Reset* වී ඇත. නැවත ඒ කිසිවක් කිසි දිනක ලැබෙන්නේ නැත
  8. නැවත මරණයට මොහොතකට පෙර අවස්ථාව සිහිපත් කරන්න. සියල්ලෝ තමා වටා හඬා වැළපෙන ලෙස, දුක් වෙන ලෙස පෙනෙන නමුත් ඒ බැඳීම් එක එක බිඳීමේදී පිටවෙන ශබ්දයයි
  9. මේ ආකාරයෙන් මරණයට පෙර මරණයට පසු අවස්ථා ගැන මනස යොමු කරමින් නැවත නැවත සිහිපත් කරන්න. බොහෝ වැටහීම් සිදුවනු ඇත
No audio available
349. බවට පත්වීම

349. බවට පත්වීම

  1. බස් රථ රියදුරෙකු පුරුදු වන මුල් කාලයේ ජියර් දැමීම ක්ලව් එක පෑගීම තිරිංග තද කිරීම ආයාසයෙන් සිදු කරනු ලබයි
  2. නමුත් කාලයකට පසු සියල්ල සිදුවන්නේ නිරායාසයෙනි. ඔහුගේ සහ බස් රථයේ වෙනසක් නැත. එකක් බවට පත්වී ඇත
  3. නළුවෙකු කතාවක චිත්‍රපටයක යම් චරිතයක් රඟපාන විට එම චරිතය හොඳින් මතකයේ තබා ගනිමින් රඟ දැක්වීම සිදුකරයි
  4. නමුත් රඟපාන බව දන්නා බැවින් ඔහු ඒ බවට පත්වී නැත. එය පවතින්නේ රඟපෑම අවසන් වන තුරු පමණි
  5. නමුත් මම, මම නම් චරිතයට රඟපාන අතර එය රඟපෑමක් බව දන්නේ ද නැත
  6. චරිතයේ පිටපත කර්මය විසින් ලියා ඇති අතර එය නොදන්නා මම විසින් සිදු කරන්නේ එය බවට පත් වී එය රඟ දැක්වීමය
  7. නමුත් මෙය හේතුඵල ආදී ආකාරයෙන් හඳුනාගන්නා උතුමන් වහන්සේලා තුල මෙම චරිතය රඟ දැක්වෙන්නේ නැත
  8. එලෙසම සිතිවිල්ලක් හඳුනාගන්නා අයෙකු ද සිතිවිල්ල භුක්ති විඳින්නේ නැත
  9. නමුත් හඳුනා නොගත් සිතිවිල්ල තුළ සිදුවී ඇත්තේ ඒ බවට පත්වීම ය. නිරායාසයෙන් එය භුක්ති විදීම සිදුවන අතර කර්මයන්ද නිරායාසයෙන් ජනනය වේ
No audio available
348. දුන් විට දෙකකි

348. දුන් විට දෙකකි

  1. ආහාර දානය යනු නිර්වාණ මාර්ගයේ ආරම්භක පියවරකි
  2. කාලයත් සමඟ එය දියුණු වන අතර දීමේ ක්‍රමය සහ ඒ පිළිබඳව දැක්ම ද සියුම් වේ
  3. යමක් නුදුන් විට නුදුන් දෙය තම සන්තකයේ ඉතිරි වේ
  4. දුන් විට දුන් දෙය මෙන්ම දුන්නා යන්න ද ඉතුරු වේ
  5. උදාහරණයක් ලෙස තමන් සන්තකයේ යම් මුදලක් තිබූ විට මුදල පමණක් පවතී
  6. එම මුදල වියදම් කොට යම් පිළිමයක් කරවූ විට පිළිමය වෙනම පවතින අතර එය කරවූ සිත ආරක්ෂාවක් ලෙස ජීවිත කාලය තුරා පවතී
  7. දීම සිදුකළ හැක්කේ යම් දැක්මක් සහිත අනුකම්පා දයාව ආදිය ඇති පුද්ගලයකුට පමණි
  8. එම නිසා දීම පුරුදු කරන විට නිරායාසයෙන් අනුකම්පාව දයාව මෙන්ම දැක්ම ද දියුණුවේ
  9. නුදුන් දේය ව්‍යාධිය මරණය ආදී වශයෙන් ඒකාන්තයෙන් අහිමි වන අතර දුන් දෙය සසර පුරා පිළිසරණක් වෙමින් බොහෝ කල් පවතිනු ඇත
No audio available