Report Menu
All Cards
Total Cards: 367 | Page: 10 of 19 | Showing: 20 cards
187. වාහනය සහ විදර්ශනාව

187. වාහනය සහ විදර්ශනාව

  1. වාහනය, ඇස කන ආදී ලෙස ආකාර කිහිපයකට විඤ්ඤාණ ගෝචරව ය
  2. වාහනය යන ශබ්දය ශබ්දයක් ලෙස සියල්ලන්ටම ගෝචර වුවත් අර්ථය ලෙස ගෝචර වන්නේ සිංහල භාෂාව දන්නා පිරිසට පමණි
  3. ශබ්දය ඇසෙත්ම ඵලය ලෙස එහි වර්ණය, මතකයන්, වටිනාකම ආදිය නිරායාසයෙන් මෙනෙහි වීම සිදුවේ
  4. නිරායාසයෙන්ම ද්වේශය වෛරය ආශාව තණ්හාව ආදි ක්ලේශයන් ද ඒ අනුබද්ධ කර්මයන් ඇති වීම ද සිදුවේ
  5. මෙවැනි අවස්ථාවක මේවායේ බල බිඳීම පිණිස අනෙක් හේතුවක් සකස් කල හැක
  6. එය හේතුව මෙය ඵලය ලෙස හේතුඵල ධර්මයන් මෙනෙහි කිරීම බල බිඳීම පිණිස එක් හේතුවකි
  7. අනුලෝම පටිලෝම ලෙස සිතෙහි ක්‍රියාකාරීත්වය මෙනෙහි කරමින් මෙම කාරණයන් සඳහා තමන්ගේ කිසිම මැදිහත්වීමක් නොමැති බව, අනාත්ම බව පෙන්වාදීම තවත් හේතුවකි
  8. අතීතයේ පොළවේ තිබූ පස් යම් ක්‍රියාදාමයකට පසුව වාහනය බවට පත්වී ඇත. එනම් වාහන යනු අන් ආකාරයෙන් පස් ය ලෙස පෙන්වාදීම තවත් හේතුවකි. තවත් බොහෝ හේතු පවතී, වෑයම් කළ යුතුය. ක්ලේශයන් නිරෝධ වීම නිරායාසයෙන් සිදුවනු ඇත
  9. විදර්ශනාව සකස් වී ඇත්තේ ද ක්ලේශයෙනි. ක්ලේශයන් දුරු කළ රහතන් වහන්සේට විදර්ශනාවක් නොමැත. ක්ලේශයෙන් ක්ලේශය දුරු කිරීම ප්‍රඥාගෝචරය. නිවැරදිම විදර්ශනාව ඇතුළත පිටත පවතින නිශ්ශබ්දතාවයයි
186. නොවැටහෙන දහම

186. නොවැටහෙන දහම

  1. අමෘතයාවන් තථාගත දහම බොහෝ සරල හෙයින් දෝ බොහෝ පිරිසකට අපහසු වී ඇත
  2. විජ්ජා නැත. මායා කර්ම නැත. ලෝකය තුළ ඇති ධර්මතාවයන් අඩු වැඩි නොමැතිව පැහැදිලි කෙරෙන තථාගත දහම අපහසු නැත
  3. ලෝකය තුළ යම් ශිල්පයක් ඉගෙන ගත් පසු ප්‍රතිලාභයක් ලැබීමට නම් එම ශිල්ප උපයෝගී කරගනිමින් යම් කාර්යයක් සිදු කළ යුතුය
  4. තථාගත දහම එසේ නොමැත. ප්‍රත්‍යක්ෂ කළ මොහොතේ සිට මහත් ඵල වන අතර, දානමාන ලෙස, මානසික සුවය ලෙස, මුලාවෙන් මිදීම ලෙස, පරලෝ සැපය ආදී ලෙස ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයන්හි භුක්තිය පවතී
  5. බර ලෙස කිලෝ සීයක් වත් නොඉක්මවන, පරිමාව ලෙස ගණ මීටරයක් තරම්වත් නොවන අපට ප්‍රමාණයෙන් ආයතන දෙසීයක් තුන්සීයක් නැත
  6. ඇත්තේ දකින බව ඇසෙන බව දැනෙන බව හැඟෙන බව ආදී සරල ධර්මතාවයන් පිළිබඳව ඇති මුළාව දුරු කිරීමක් පමණි. එපමණකි
  7. මේ සඳහා මිලදී ගත යුතු විශේෂ මෙවලම් කට්ටල නැත
  8. ඉන්නා තැන සිට ඉන්නා ඉරියව්වෙන් ගෝචර අරමුණු පිළිබඳව සිදු කෙරෙන කුඩා ගවේෂණයකි
  9. සරල වුවද නොකෙරුනහොත් අත්වන ඉරණම තථාගතයන් වහන්සේටද විසඳිය නොහැකි බැවින් අප්‍රමාද විය යුතුය. වීරිය පිණිසය...
185. බලය

185. බලය

  1. සත්වයාගේ පුණ්‍ය ශක්තියට අනුව ලැබෙන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා අතරින් බලයද සුවිශේෂ තැනක් ගනී
  2. එක්තරා අර්ථයක් ලෙස බලය යනු විඤ්ඤාණයට අවනත සතර මහ ධාතු ප්‍රමාණයයි
  3. සජීවී ධාතු අජීවී ධාතු ලෙස ධාතූන්හි ප්‍රභේද නොමැත. සජීවී අජීවි ආදී ද්වයතාවයන් මෝහ මූලික දෘෂ්ටීන් පමණි
  4. තම ශරීරයෙහි ධාතු ප්‍රමාණය හැසිරවීමේ බලයක් තම විඤ්ඤාණය සතුය
  5. එය කූඹුවෙකුගේ අල්ප වූ ධාතු ප්‍රමාණයට සාපේක්ෂව මහත්තය
  6. ඉගෙනීමේ හැකියාව, ධාරණ ශක්තිය, සෘජු බව, ගාම්භීරත්වය ආදී විඤ්ඤාණයේ පුණ්‍ය ශක්තිය වැඩි වන විට බාහිර ධාතූන් ද විඤ්ඤාණයට අවනත වේ
  7. කිසිවක් නැත, දුබලය ආදී ලෙස සිතා සිටියද මනුෂ්‍යයන් වන අපගේ බලය අන් සත්ත්වයන්ට සාපේක්ෂව මහත්තය
  8. එම නිසා සොබා දහමට මෙන්ම අන් සත්ත්වයන්ට හානියක් වන ලෙස බලය පාවිච්චි නොකල යුතුය
  9. ලෝක ධාතුවේ අග්‍රම සැපය වන නිර්වාණය වෙනුවෙන් ම බලය පාවිච්චි කිරීම ඥානාන්විත අතර සැනසීම පිණිස හේතු වන්නේය. විදර්ශනාව පිණිසය...
184. සර්පයා

184. සර්පයා

  1. සර්පයා සර්පයකු වන්නේ ද සර්පයා බලවත් වන්නේ ද නොදකින හෝ හඳුනා නොගන්නා තුරුය
  2. සර්පයා හඳුනාගත් පසු බලවත්කම ලැබෙන්නේ මිනිසාටය. එම බලවත්භාවය තුළ අඩපණ කිරීම, මරණය, පලවා හැරීම මෙන්ම කූඩු කර වැඩ ගැනීම ආදී ඕනෑම දෙයක් සර්පයාගේ ඉරණම වන්නේය
  3. එලෙසම මනස තුළ ක්‍රියාත්මක ක්ලේශයන් ක්ලේශයන් වන්නේ හඳුනා ගන්නා තුරුය
  4. ක්ලේෂයන් ක්ලේෂයන් ලෙස සිහිය ඇත්නම්, ක්ලේශයන් ඇත, නමුත් ක්‍රියාත්මක වීමක් ඇත
  5. හඳුනාගත් ක්ලේශයන්ට බිය විය යුතු නැත. හඳුනාගත් ක්ලේශයන් ක්‍රමානුකූලව පහව යාම ධර්මතාවයකි
  6. සිහිය ඉදිරියේ ක්ලේශයන් දුර්වල වන බැවින් සිහිය පුරුදු කළ යුතුය
  7. හඳුනා නොගත් ක්ලේශයන් කාලයත් සමඟ ප්‍රබල දෘෂ්ඨින් බවට පත්වන බැවින් ප්‍රවේසම් විය යුතුය
  8. එසේ සකස් වූ දෘෂ්ටීන් අප තුළද පැවතිය හැකි අතර ඒ පිළිබඳව නැවත විමසා බැලිය යුතුය
  9. ක්ලේශයන් දුරු කිරීමට නොව උත්සාහ කළ යුත්තේ ක්ලේශයන් හඳුනා ගැනීමටයි. විදර්ශනාව පිණිසය...
183. නොනැවතුන යුග දිවිය

183. නොනැවතුන යුග දිවිය

  1. මෝහය ඇතිවිට සිත සහ මම ලෙස ද්වයතාවයක් වන්නේය. මෝහය දුරු නොවුනු බැවින් සසර පුරා මෙම ධර්මතාවයට යටත් වීමට සිදුවිය
  2. උපමාවක් ලෙස ශරීරය නැමැති නිවස තුළ මම සහ සිත ලෙස ගත කරන්නේ යුග දිවියකි
  3. පින් පව් ආදිය යුග දිවියේ පැවැත්මයි
  4. සිත රිසිසේ කර්ම රැස් කරගන්නා අතර ගෙවීමට සිදුවන්නේ අනේකාටය
  5. අපට හැකි ලෙස ලබා දිය හැකි සියලු සැප සම්පත් ලබා දුන්නත් සිත කිසිසේත් සෑහීමට පත් වන්නේ නැත
  6. මේය අසාර්ථක යුග දිවියක් වන අතර මනස තුළ ඇත්තේ සිත සහ මම අතර සංසාරයක් පුරා පවතින ආරවුලකි
  7. අපගේ දුක සිතට තේරෙන්නේ නැත. සිතට අවශ්‍ය වන්නේ වින්දනය පමණි
  8. මෙම සිත නඩත්තු කර අප බොහෝ වෙහෙසට පත් වී සිටිමු
  9. තථාගත ශාසනයේ මෙම අසාධාරණයට විරුද්ධව නඩු දමා ත්‍රිවිධ රත්නය ඉදිරියේ නඩුව විභාග කොට මෙම පීඩිත විවාහය නිරෝධ කළ යුතුය. විදර්ශනාව පිණිසය...
182. ජීවත් වීමට උත්සාහය

182. ජීවත් වීමට උත්සාහය

  1. සසර තුළ දක්නට ලැබෙන්නේ ජීවත් වීමක් නොව ජීවත්වීම පිණිස දරුණු ලබන උත්සාහයකි
  2. උදාහරණයක් ලෙස ගෙයක් සාදනු ලබන්නේ අනාගතයේ ජීවත්වීම පිණිසය. වර්තමානයේ සිදු කරනු ලබන්නේ උත්සාහයකි
  3. දැන් සිදුවන ආශ්වාසය, ප්‍රශ්වාසය මොහොතේ ජීවත්වීම සදහා ය. එලෙසම ප්‍රශ්වාසය මීළඟ ආශ්වාසය මොහොතේ ජීවත්වීම සඳහාය
  4. රාත්‍රියේ ලබාගන්නා නින්ද ද නින්දක් නොවන අතර පසුදින ජීවත්වීම පිණිස කරනු ලබන උත්සාහයකි
  5. එනම් වර්තමානයේ පවතින්නේ ජීවත්වීම වෙනුවෙන් සිදු කරන පොර බැඳීමක් පමණි
  6. මේ ආදී නොයෙකුත් සටහන් ජීවිතයේ පවතින අතර මේ ආකාරයෙන් මෙනෙහි කිරීම් වලින් යථා ස්වභාවය ඉස්මතු වන අතර සිහිය පැවතීමට ද හේතුවකි
  7. සසර බන්ධනය සරල නොවේ. මනස මෙන්ම ලෝකයද සකස් වී ඇත්තේ ද සසර ගමනට අනුග්‍රහ පිණිස ය
  8. එම නිසා සැඟවුණු යමක් සොයා ගැනීමට උපක්‍රම භාවිතා කරන්නා සේ සැඟවුණු විද්‍යාව මතුකර ගැනීම සඳහා දකින කෝණය, පිළිකුල අසුභය ආදිය මෙන්ම වෙනත් වෙනත් විදර්ශනා ක්‍රම ද භාවිතා කළ යුතුය. බහුල වශයෙන් භාවිත කළ යුතුය. විදර්ශනාව පිණිසය...
181. ප්‍රණීත බව

181. ප්‍රණීත බව

  1. බොහෝ පානීය වර්ග ඇති අතර එක්තරා දර්ශකයක් ලෙස ඒවායේ ප්‍රණීත බව වැඩිවන තරමට පානය කරන ප්‍රමාණයද වැඩි වන බව දැක්විය හැක
  2. එම අර්ථයෙන් ගත්විට බොහෝ පානය කරන බැවින් ජලය අනන්ත ලෙස ප්‍රණීත විය යුතුය
  3. හඳුන්කූරු සුවඳ විලවුන් ආදීය නිසා නාසය වෙහෙසට පත්වන බැවින් වැඩිවෙලාවක් ආග්‍රහණය කළ නොහැක
  4. බොහෝ ආශ්වාස ප්‍රශ්වාස කරන අර්ථයෙන් උදාසීන වාතය අනන්ත සුගන්ධයෙන් යුක්තය
  5. පුද්ගලයෙක් සත්වයෙක් ක්‍රියාත්මක නොවන බැවින් තථාගතයන් වහන්සේ තුළ කිසිම ගුණයක් නොමැත
  6. එම නිසා ජලයේ රසය තක්සේරු නොකළ හැකි සේ උන්වහන්සේගේ ගුණය ද තක්සේරු කළ නොහැක. එම නිසා අනන්ත ගුණ ආදිය ඇතැයි කියනු ලැබේ
  7. වෙනත් ආකාරයකින් රසවත් ප්‍රණීත දෑ අනුභව කරන විට දිව සක්‍රීය වන බැවින් දිව ඉක්මනින් විඩාවට පත්වෙයි
  8. නමුත් දිව විඩාවට පත් නොකරන අර්ථයෙන් ඇල් ජලය ආදිය අනෙක් සියල්ලට වඩා වඩා ප්‍රණීත වේ
  9. එම නිසා ආයතන විඩාවට පත් නොකරන නිහඬ බව උදාසීන බව උපේක්ෂාව වැනි ලෝක ධර්මයන් වඩා ප්‍රණීතය. විදර්ශනාව පිණිසය...
180.  මරණ මංචකය

180. මරණ මංචකය

  1. අපගේ අතීතයේ දෙමාපියන් මෙන්ම බොහෝ ඥාතීන් හිතවතුන් මිත්‍රයන් ආදීන්ට හිමිවූයේ ශෝචනීය මරණයන්ය
  2. ධර්ම ප්‍රත්‍යක්ෂයන් ඇති අතලොස්සක් හැරුණු කොට අති බහුතරයට මරණ මංචකය බිහිසුණු තීරණාත්මක වූ අතර මරණින් මතු සතර අපාය උරුම විය
  3. ඔබ අපටද එවන් අවදානමක් පවතින අතර ව්‍යාධිය ආදිය නොවුනහොත් නොබෝ කලකින් ලෙඩ ඇඳකට වැටී මළ මුත්‍රා ආදිය සමඟ ජීවිතයක් ලැබෙන අතර ඔත්පලව ලොල වී යනු ඇත
  4. කායික අපහසුතාවයට වඩා අතීතයේ කළ කී දෑවල මතකය මහත් පීඩාවක් වනු ඇත
  5. බොහෝවිට සිදුවන්නේ ජීවිතය ආයාචනා කරමින් සිදුවන බියගුළු නිවට වූ මරණයන්ය
  6. අපගේ මරණය එසේ විය නොහැක. එම නිසා එවන් සෝචනීය මරණයකට තුඩු දෙන හේතු කිසිසේත් සකස් නොකළ යුතුය
  7. කායික අපහසුතාවය කෙසේ වුවත් මානසිකව සිංහ විලාශයෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිතය අතහැරීම අතහැරීමේ හැකියාව බුද්ධ ශ්‍රාවකයා සතු විය යුතුය
  8. තවමත් එම හැකියාව නොමැති නම් අවදානම බොහෝ බැවින් වහ වහා ඒ සඳහා අවශ්‍ය හේතු සම්පාදනය කළ යුතු අතර අවශ්‍ය වුවහොත් දැඩි තීරණයක් වුවද දෙවරක් නොසිතා ගත යුතුය
179. ළදරුවා

179. ළදරුවා

  1. කුඩා ළදරුවෙකු සැමදා කුඩා ළදරුවෙකු නොවන්නේය
  2. දිනෙන් දින වැඩීමත් සමඟ ළදරු ලක්ෂණ ඉවත් වන්නේය
  3. කය වැඩිමහලු වුවද යමෙකු හට ධර්මය නොතේරෙන තෙක් ධර්මය සම්බන්ධයෙන් ළදරුවෙකි
  4. ධර්මයෙන් පරිණත වූ පසු ළදරු ලක්ෂණ පහව යන්නේය. ගුණ ආදී ධර්මයන් පිහිටන්නේය
  5. එවිට කලින් චරිත ලක්ෂණ මතක තබා ගනිමින් ඒ අනුව නිගමනයන් කරා එළඹීම දෝෂ සහගතය
  6. විශේෂයෙන් සංඝයා සම්බන්ධව දෝෂ සහගත නිගමනයන්ට එළඹීම සිදුවිය හැකි කාරණයකි
  7. එම නිසා සංඝ ආදී තිසරණයෙන් නිවන මෙන්ම යම් වරදක් සිදුවුවහොත් නිරයද උරුම වන බැවින් ප්‍රවේසම් විය යුතුය
  8. ලෝකයෙහි වැරැද්දක් නැත, වැරැද්ද ඇත්තේ තමා තුළමය ලෙස සිතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම සියලු සත්වයාගේ යහපත පිණිස පවතින්නේය
No audio available
178. ආත්ම ස්වභාවය

178. ආත්ම ස්වභාවය

  1. ආත්ම ස්වභාවය යනු තම පාලනයේ වසඟයේ පැවැත්විය හැක යන්නයි
  2. ගැට ගසා ඇති හරකෙක් යම් සීමාවක් තුළ ගමන් කිරීමේ හැකියාවක් ඇත. එය හරකා සතු ආත්ම ස්වභාවයක් නොවේ
  3. යම් සීමාවක් තුළ ගමන් කළ හැකි වුවද හරකා පාලනය වන්නේ ලණුවෙන්ය. හරකාට ලණුවේ සීමාව ඉක්මවාලිය නොහැක
  4. ඒ පරිදිම චේතනාව පරිදි යම් යම් සීමා වලට යටත්ව යම් යම් චලනය කිරීම් හෝ නිශ්චල කිරීමේ හැකියාව සත්වයා සතුය
  5. එපමණකින් එය පාලනය කිරීමේ හැකියාවක් යන්න වැරදි වැටහීමකි
  6. නිශ්චල වස්තුවක් සතු චලනය විය හැකි ස්වභාවය හෝ චලනය වන වස්තුවක ඇති නිශ්චල විය හැකි ස්වභාවය සත්වයාට පාලනය කළ නොහැක
  7. එය පාලනය වන්නේ හේතුඵල ලෙස වූ ධර්මයකින්ය
  8. සත්වයා පාලනය වන්නේ කර්මය නම් ලණුවෙන්ය. සත්වයාට කර්මය නම් ලණුවේ සීමාව ඉක්මවාලිය නොහැක
177. මෙනෙහි කිරීම

177. මෙනෙහි කිරීම

  1. යම් මෙනෙහි කිරීම් වල යම් මෝහයක් මිශ්‍ර වුවද ලෞකික ලෙස සම්මා දිට්ඨියකි. සිතේ විසිරීම පාලනය කළ හැක. බොහෝ ප්‍රයෝජනය
  2. අපට වඩා බොහෝ දුක් විඳින සත්ත්වයන් ඇත. ඔවුන්ට සාපේක්ෂව අප විදින්නේ සැපයකි ආදී ලෙස මෙනෙහි කළ යුතුය
  3. අපට ප්‍රශ්න වී ඇත්තේ බොහෝ විට අප එකඟ නොවන දේවල් සමග ය
  4. සිදුවූයේ සිදුවීමට තිබූ දේය. සිදු නොවීමට තිබූ දෙයක් සිදුවන්නේ නැත
  5. පෙනෙන බොහෝ දේ තුළ නොපෙනෙන බොහෝ ධර්මයන් ගැබ්ව ඇත
  6. කළ හැකි දේ අල්පය, නොකළ හැකි දේ බොහෝය
  7. තව ද ධර්මයේ මුල මැද අග ලෙස කාරණා ඇති අතර මුල් මට්ටමේ සත්‍ය මැද අගට යත්ම ඊට වඩා සත්‍යයකින් ප්‍රතිස්ථාපනය වනු ඇත
  8. පසුව සත්‍ය අසත්‍යතාවය වෙනුවට හේතුව ඵලය ලෙස වෙනත් තලයක සිත පිහිටනු ඇත. අවසානයේ සිත නිරෝධ වී පිරිනිවනු ඇත
176. සඟ ගුණ

176. සඟ ගුණ

  1. සංඝයා යනු බුද්ධ ශාසනයේ පැවැත්මයි
  2. එක්තරා විග්‍රහ කිරීමක් ලෙස ස්වභාව ධර්මය යනු දෘෂ්ටීන් ඉවත් කළ විට ලෝකයේ පවතින යථා ස්වභාවයයි. නැතහොත් ස්වභාවයේ ධර්මයයි. නැතහොත් ධර්මයයි
  3. මුලාව දුරු කළ, නිර්වාණය පණිවිඩය දරා ගත් තථාගතයන් වහන්සේලාද සංඝයා වහන්සේලා ද ධර්මය නමැති සොබා දහමේ අසිරිමත් නිර්මාණ වේ
  4. අපට පෙනෙන උන්වහන්සේලාගේ සමහර නුගුණයන්ද ඇත්තෙන්ම අපගේ ප්‍රඥාවට හසු නොවන ගුණයන්ය. ගුණයන්ද එලෙසමය
  5. සෝතාපන්න පුද්ගලයා යනු අන් ආකාරයෙන් රහතන් වහන්සේ නමකි
  6. එහි අර්ථය, සෝතාපන්න පුද්ගලයා + කාලය = රහතන් වහන්සේ බැවින්, සෝතාපන්න පුද්ගලයා ද කාලයේ ඇවෑමෙන් බිහිවන රහතන් වහන්සේ නමකි
  7. තථාගත ධර්මය ඔබට අපට ලැබී ඇත්තේ සංඝ ස්පර්ශය තුළින්ය
  8. එබැවින් සංඝයා ගුණ නුගුණ ආදී ලෙස කෙසේ වුවත් උන්වහන්සේලා කෙරෙහි අපගේ ඇති ගෞරවය අපගේ යහපත පිණිස පවතින්නේය
  9. උන්වහන්සේලාගේ යම් නුගුණයක් ඇත්නම් එම නුගුණය දරා ගැනීම අප සතු අගනා ගුණයක් බව දතයුතුය
175. උගුලට උගුලක්

175. උගුලට උගුලක්

  1. මිනිසා සොබා දහමේ උප කුලකයකි. එම නිසා මිනිසාට වඩා සොබාදහම බොහෝ බුද්ධිමත්ය. උපක්‍රමශීලීය
  2. ගසක් සැලකූ විට තම පැවැත්ම පිණිස බීජ පමණක් නිපදවා නොනවතින අතර බීජය වටේ ආහාර රඳවා ප්‍රණීත බව, අලංකාරය සුවඳ ආදිය මුසුකර බීජය රැගෙන යාම පිණිස සත්වයන් හට උගුලක් අටවා ඇත
  3. ප්‍රධාන අරමුණ සත්වයන්ගේ කුසගින්නට ආහාර සැපයීම ආදිය නොව, තම පැවැත්ම සකස් කර ගැනීමය
  4. එලෙසම රාගය, ආදරය ආදියේ ප්‍රධාන අරමුණ සත්වයාට වින්දනයක් ලබාදීම නොව, පැවැත්ම පවත්වා ගැනීමය. වින්දනය යනු අටවා ඇති උගුලයි
  5. පසුව බොහෝ ආදීනව ආදී කටයුතු ඇතිවන අතර පුද්ගලයා ලෑල්ලටම හේත්තු වනු ඇත
  6. මෙසේ බොහෝ අසරණ සත්වයාට ලැබී ඇති ඇස, කන, දිව ආදිය සකස් වී ඇත්තේ ද පහසුවෙන් උගුල්වලට හසුවන සේය
  7. එලෙසම එම සත්ත්වයාද අන් සත්වයාට උගුලක් ලෙස ක්‍රියාත්මක වේ. එනම් මේ සියල්ල එකිනෙකට බද්ධ වූ උගුල් ජාලයකි
  8. නමුත් බුද්ධ ශ්‍රාවකයා උගුල උගුල ලෙස දැනගෙන, උගුලට හසු නොවී උගුලම ඇසුරු කරමින් උගුලට උගුලක් අටවා උගුලින් මිදී යනු ඇත. විදර්ශනාව පිණිසය...
174. භූ කම්පනය

174. භූ කම්පනය

  1. මෙය මානසික පරීක්ෂණයකි.
  2. පොළොවෙහි මතුපිට පස් තට්ටුව කනපිට හැරීමට තරම් පෘථිවියෙහි යම් කම්පනයක් සිදුවූ යේ යැයි ද තමා පමණක් ඉතුරු වූයේ යැයි ද සලකන්න
  3. එවිට මෙම තත්පර කිහිපයක කාරණයෙන් පසු සියලු අයිතිවාසිකම්, සිදුවූ සංවර්ධනයන්, සොයා ගැනීම්, තාක්ෂණයන් ආදී සියල්ල Reset වේ
  4. ලෝකය තුළ, පස්ම වෙනත් ස්වරූපවලින්, එනම් මිනිසුන් ලෙස ගහකොළ, යාන වාහන ආදී ලෙස, නොයෙකුත් භූත ස්වභාවයෙන් පෙනී සිටි
  5. කම්පනයෙන් පසු එහි භූත ස්වරූපය විදහා දක්වමින් තිබූ ගස්කොලන්, යානවාහන, වතුපිටි ඉඩ කඩම් ක්ෂණිකව Reset වී එහි තවත් භූත ස්වරූපයක් වන පස් බවට හැරවී ඇත
  6. නාම රූප තුළ මුල් බැසගෙන ඇති සිතටද කර කියාගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇත
  7. සිතෙන්න දෙයක් නැත. සිතන්න දෙයක්ද නැත. තණ්හාව, බැඳීම්, ද්වේශය ආදිය ද මතුවන්නේ ද නැත
  8. මෙවැනි කම්පනයක් කිසි දිනක සිදු නොවිය හැකි කාරණයක් නොවේ
  9. සියල්ල පනවා ගත් මානසික ලෝකයක් වන අතර කාලයෙන් තක්සේරු කළහොත් තත්පර කිහිපයක් පමණි
173. න්‍යාය පත්‍රය

173. න්‍යාය පත්‍රය

  1. සංසාරේ යනු නිමා නොවන න්‍යාය පත්‍රයකි
  2. මනුස්ස ජීවිතවලට අදාල ව ඉගෙන ගැනීම, රැකියාවක් සිදු කිරීම, විවාහය ආදී ලෙස ප්‍රධාන න්‍යායන් වේ
  3. අනෙක් ජීවිත වලට ද ඒ හා බැඳුණු න්‍යායන් පවතී. නමුත් පොදුවේ පුනරාවර්තනය වන එකම න්‍යායන් සමූහයක් පවතී
  4. මම කළා, මට උනා ආදී ලෙස වූ නැවත කර්මයක් ඇති වීම පිණිස පවතින මෝහ බීජය මේ න්‍යායන් නොනැවතී පවත්වා ගනු ලබන පෝෂකයා ය
  5. මේ ආදී ලෙස සසර ස්වභාවය සහ එයින් නික්මීම තථාගතයන් අනාවරණය කළ ද, එහෙමයි, එය සැබෑවකි එය කළ යුතු ය, යැයි පවසන බොහෝ පුද්ගලයන් ටික දවසකින් සියල්ල අමතක වී නැවත සුපුරුදු න්‍යාය පත්‍රය ම අනුගමනය කිරීම සිදුකරයි
  6. එය නිදිකලංගාතෙන් සිටින අයෙකු හා කතා කිරීමක් වැනිය. ටික වේලාවකින් නැවතත් නිදි ය
  7. මෙම අර්ථයෙන් ගත්විට සසරෙහි සියල්ලෝම නිදිය. අතලොස්සක් පමණක් අවදීයෙන් ඇත්තේය
  8. අපත් තවමත් නිදි ද, අපේ ජීවිත ගත වන්නෙත් මෙලෙස ද, නැවත නැවතත් පරීක්ෂා කළ යුතුව ඇත. විදර්ශනාව පිණිසය...
172. දැනගෙන කිරීම

172. දැනගෙන කිරීම

  1. අප යමෙකු සොරෙකු බවද, ඔහු එය අප දන්නා බවද දන්නේ නම් සොරකමක් සිදු කළ නොහැක
  2. ඔහු ළඟින් ඇසුරු කළද සොරකමක් සිදු කළ නොහැකි බැවින් ඔහු තවදුරටත් සොරෙකු නොවේ
  3. එසේම යම් ක්ලේශයක් ආශ්වාදය ආදීනව හේතුඵල ක්‍රියාකාරීත්වය ආදී ලෙස හඳුනන්නේ නම් ක්ලේශය සමඟ ජීවත් වුවද හානිය අවම වේ
  4. විශ්වාසයන් පිළිබඳ සැකයක් නැත්නම් විශ්වාස කිරීමෙහි ඇති වරදක් ද නැත
  5. ඉහත ආදී කාරණා මඟට සත්‍ය වුවද අගට යත්ම වෙනත් ආකාරයකින් යෙදේ
  6. ලෝකෝත්තර භූමිය තුළ ඉදිරියට යත්ම දැනගෙන කිරීම, දැනගෙන ජීවත්වීම යනු ප්‍රඥාගෝචර කාරණයකි. එය ප්‍රත්‍යක්ෂය පිළිබඳ කියවීමකි. එහි ආශ්වාදයක් හෝ ලැබෙන ලාභයක් නැත
  7. නමුත් මෙය ලෞකික භාවිතය තුළ යම් වාසියක් ලාභයක් ලබමින් දැනගෙන කරන්නේ යයි පැවසීම මෝහ සහගත කාරණයකි
  8. මෙය අගට නොයෑමට කාරණයක් වන අතර එයින් අන් ආකාරයෙන් සිදුවන්නේ පැවැත්මක් ඇතිවීමය
  9. දැනගෙන කරනවා, දැනගෙන ජීවත් වෙනවා ආදී ලෙස අයුතු ප්‍රයෝජන ලබා ගනිමින් ක්ලේශයන් රැස්වීමට ඉඩ නොතැබිය යුතුය
171. නොහික්මුණු සිත

171. නොහික්මුණු සිත

  1. නොහික්මුණු සිතක් මෙල්ල කිරීමට තැත් කළහොත් තව තවත් නොහික්මීම ම ඇතිවේ. ඒ වෙනුවට නොහික්මීමට තුඩු දුන් හේතු දුරු කළ යුතුය
  2. වැරැද්ද, නිවැරැද්ද හෝ මැද ඇතැයි සැලකිය හැකි ලෞකික උපේක්ෂාවක් ලෝක ධර්මතාවය තුළ නොයෙදේ
  3. එසේ පවතී නම් එය මෝහ සහගත විඤ්ඤාණයක් තුළ පමණක් යෙදේ
  4. හේතූන් සහ අනුරූප ඵල ලෙස ලෝක ධර්මතා ක්‍රියාත්මක අතර, එහි අවබෝධය ලෝකෝත්තර උපේක්ෂාවයි
  5. එහි විඤ්ඤාණයන්ට සාපේක්ෂක වූ වැරදි නිවැරදි අනුකම්පාව ආදරය දයාව ආදියක් නොයෙදේ
  6. සත්‍ය වශයෙන් හේතුඵල ආදී ලෙස පවතින ලෝක ධර්මතාවය වෙනත් ආකාරයකින් සිතාගැනීම වැරදි වැටහීමයි
  7. වැරදි වැටහීමේ ප්‍රමාණයට සිතේ නොහික්මීම ඇතිවේ
  8. ලෝක ධර්මතාවය, ලෝක ධර්මතාවය ලෙස වටහා ගත් විට කැමති වුවත් අකමැති වුවත් සිතෙහි හික්මීම ඇතිවේ, සිත නතර වේ, නැවත ඉපදීමක් ඇති නොවේ
170. දුක් විඳීමටම සැකසුණු කය

170. දුක් විඳීමටම සැකසුණු කය

  1. ඇටසැකිල්ලක් ඇත. වටේට මස් පිහිටා ඇත. මස් නොවැටෙන සේ සම පිහිටා ඇත
  2. පොළොවෙහිම කොටසක් වූ මනුෂ්‍ය ශරීරය පොළොව හා ආහාර උණුසුම වාතය ආදි ලෙස නොබැඳී, බැඳී පවතී
  3. තව ද කුමන ඉරියව්වකින් සිටිය ද ඇටකටු සහ පොළොව අතර යම් මස් තෙරපීමක් සිදුවේ. දුකම උපදී
  4. තවද මෙම ශරීරය එක් මොහොතක් හෝ නිශ්චලව පැවැත්විය නොහැක. හුස්ම ගැනීම ඔස්සේ, උදරයේ හෝ පිම්බිමක් හැකිලීමක් සිදුවේ
  5. ලෙඩ දුක්වලට කැදැල්ලකි. ඕනෑම මොහොතක ලෙඩක් දුකක් ඇතුළු විය හැක
  6. දුක් විඳීමට ම සැකසී ඇති කය මරණයට වරෙන්තු ලබා ඇත
  7. මෙවන් වූ ශරීරය නඩත්තු කිරීමට සිහිය ඇති අයෙකු කිසිසේත් කැමති වන්නේ නැත
  8. මාගේ, දැනුවත් අවසරයකින් තොරව එය සිදුවී ඇත. එයට මාගේ කිසිදු සම්බන්ධයක් නැත
  9. මේ ආකාරයෙන් මෙනෙහි කර අනාත්ම සංඥාව උපදවා කය කෙරෙහි ඇති ඡන්දය රාගය දුරු කළ යුතුය
169. ආරක්ෂාව

169. ආරක්ෂාව

  1. නිවස වටා තාප්පයක් ගසා ගේදොර අගුළු දමා තිබුණද පුද්ගලයා සතු ආරක්ෂාවක් නොමැත
  2. හේතුව, සිදුවූ කර්මයන් තමා කරා පැමිණීමට කිසිදු බාධාවක් නොමැති වීමය
  3. කර්මයන්ගේ පැමිණීම වැළැක්වීමට බැඳිය හැකි තාප්පයක් හෝ යෙදිය හැකි වෙනත් උපක්‍රමයක් නැත
  4. අගුළු දැමිය යුත්තේ, තාප්ප බැඳිය යුත්තේ කර්මයන් සිදු සිදු නොවීම පිණිසය
  5. සීලයට යම් හානියක් සිදු කර ගැනීමට වැඩිවෙලාවක් ගතවන්නේ නැත
  6. නමුත් එහි මතකය ජීවිත කාලය පුරා වද දෙනු ඇත. ප්‍රතිඵලය ලෙස බිහිසුණු මරණයක්, නිරය තිරිසන් ප්‍රේත ආදී උප්පත්තියක් උරුම විය හැකිය
  7. සිදුවූ කර්මයන් විපාක නොදී සිටීමේ ක්‍රමයක් නැත. කර්මයට ගැසිය හැකි වංගුවක් නැත
  8. එම නිසා හැකි සෑම අවස්ථාවකම කර්මයන් සිදු නොවීමට වග බලා ගැනීම කළ යුතුය
168. ශ්‍රාවකයාගේ වත්කම්

168. ශ්‍රාවකයාගේ වත්කම්

  1. උපයාගත් දේපළ දරුවන් ආදිය ඇති බව සාමාන්‍ය ලෝකයා සතු වත්කම් ය. සිත හා එකඟ බැවින් ඉපයීම සාපේක්ෂව පහසුය
  2. රැකබලා ගැනීම නඩත්තු කිරීම පෝෂණය කිරීම මෙන්ම ආදීනව බහුල බැවින් ඒවා දුර්වල වූ වත්කම්ය
  3. දේපළ නැත, දරුවන් නැත, වාහන නැත ආදී ලෙස වූ නැතිකම ද ප්‍රඥාගෝචර වත්කමකි
  4. සිත හා විරුද්ධ කාරණයක් බැවින් නැති බව ඉපයීම ඇති බව ඉපයීමට සාපේක්ෂව අපහසුය
  5. නඩත්තු නැත, වගකීම් නැත, සිතේ විසිරීම නැත, ආදීනව නැත ආදී වශයෙන් සැපය උපදවනා වූ නැති බව වත්කමකි
  6. තවද දුන්නා වූ දානය, රැක්කා වූ සීලය, සිදුකළා වූ භාවනාවන් ආදිය මානසික වත්කම්ය
  7. සැහැල්ලු වූ බාහිරයට නොපෙනෙන මෙම වත්කම් සසර තුළ ඕනෑම මොහොතක සැපයක්/රැකවරණයක් බවට පරිවර්තනය වීමේ හැකියාව ඇත
  8. මේ සියලු වත්කම් පුද්ගල දෘෂ්ටියට සාපේක්ෂය. එය බිඳ දැමිය හැකිනම් එය බුද්ධ ශ්‍රාවකයාගේ පරම වූ වත්කම වන්නේය