Report Menu
All Cards
Total Cards: 416 | Page: 11 of 21 | Showing: 20 cards
216. පළමුව ආරක්ෂාව

216. පළමුව ආරක්ෂාව

  1. ඉදිකිරීම් ආදී කර්මාන්තයන්හි safety first යන තේමාවෙන් පුද්ගල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් පවතී
  2. පුද්ගල ආරක්ෂාව සිදු වූ විට ඉදිකිරීම පහසුවෙන් ඉදිරියට කරගෙන යා හැක
  3. ධර්ම මාර්ගය තුළද එවැන්නක් පවතී
  4. මාර්ගයට පිළිපන්නා වූ බොහෝ පිරිස් අවසානය දක්වා නොරැදෙන්නේ ආරක්ෂාව නිවැරදිව සිදු නොවූ හෙයිනි
  5. මාර්ගය වඩන විට බොහෝ ගුණවතුන් හමුවීම ස්වභාවයකි
  6. වචනය ලෙස, ක්‍රියාවන් ආදී ලෙස සුළු හෝ අතපසුවීමක් සිදුවූ විට එය විශාල විපාකයකට හේතු විය හැක
  7. දානය, සීලය, නිහතමානීකම, අන් වචනය පිළිගැනීම, ඉවසීම, අනුන්ගේ දුක හැඳිනීම ආදී ගුණයන් වත් අවම වශයෙන් පැවතිය යුතුය
  8. මාර්ගය වැඩීමට පෙර තම ආරක්ෂාව සලසන මෙම ගුණාංග මැනවින් පුරුදු පුහුණු කළ යුතුය
  9. නැතහොත් මාර්ගය වැඩීමට සිත් පහළ නොවන අතර හිතාගත නොහැකි ලෙස මාර්ගයෙන් ඉවතට විසිවී යනු ඇත
No audio available
215. කපටිකම

215. කපටිකම

  1. අපට කපටිකම පිළිබඳව සකස් වී ඇත්තේ සෘණාත්මක සංඥාවකි. නමුත් එය වටිනා ධර්මයකි
  2. මිනිසුන්ගේ සත්වයන් ආදීන්ගේ නොයෙකුත් කපටිකම් ඇත. නමුත් යහපතක් සිදු නොවන්නේ, නැවතත් සසරටම වැටෙන්නේ කපටිකම නිවැරදිව සිදු නොකරන හේතුවෙනි
  3. වාසියට කියා සිතාගෙන කපටිකම කළත් ඇත්තෙන්ම වාසියක් නොවන බැවින්, අවසානයේ කර්මයන් ආදිය සකස් වන බැවින්, ලාමක බැවින්, දුකට පත්වන බැවින් ඒවා නිවැරදි කපටිකම් නොවේ
  4. සිල් රැකීම යනු බොහෝ ආනිසංස ඇති කපටිකමකි
  5. එය සතර අපායේ නොයෑමට, නොපිරිහීමට, නඩු හබ ආදී ප්‍රශ්නවල හිර නොවීමට, සිතේ විසිරීම වැළැක්වීම ආදියට යොදන අගනා කපටිකමකි
  6. එසේම දානය, සමාධිය, ප්‍රඥාව ආදි ධර්මයන් සසරෙහි සිර නොවීමට, දුකකට නොවැටීමට සිදු කරන අගනා කපටිකම්ය
  7. එම අර්ථයෙන් ගත් විට ආර්ය ශ්‍රාවකයා යනු කපටියකි. සොබා දහමේ උගුලට හසු නොවීමට තරම් ප්‍රඥාවන්ත කපටියකි
  8. උගුලට හසු නොවී ඇම අනුභව කරන, කිසිම කර්මයකට හසු නොවන, භවයන් නිරෝධ කළ නිවැරදිම කපටිකම සිදුකළා වූ උතුම්ම පුද්ගලයා අපගේ ගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය
No audio available
214. පැවැත්මේ ධර්මතාවය

214. පැවැත්මේ ධර්මතාවය

  1. ලෝකය තුළ බොහෝ ධර්මතා ක්‍රියාත්මක වන්නේ පැවැත්ම මූලික කරගනිමින්ය
  2. එම ධර්මතා නොනවතින චක්‍රයක්, වලල්ලක් ලෙස ක්‍රියාකිරීම ස්වභාවයයි. බොහෝ දෑ ඒ සඳහා උපකාරක ධර්ම ලෙස ක්‍රියා කරයි
  3. උදාහරණයක් ලෙස දොඩම් ගසක ප්‍රධාන අංගය එහි පැවැත්ම ඇති කරන දොඩම් බීජයයි
  4. සුවඳ, රසය, පැහැය ආදිය බීජය පැළවීම පිණිස උපකාරකයන් ලෙස ක්‍රියා කරයි
  5. සත්වයන්ගේ ප්‍රධාන අංගය වන්නේ පැවැත්ම ඇති කරන ප්‍රජනනයයි
  6. ආදරය, කරුණාව, රාගය, ද්වේශය ආදිය ද වර්ණ, ශබ්ද, ගන්ධ ආදිය ද එම පැවැත්ම සඳහා උපකාරක ලෙස ක්‍රියාකරයි
  7. අප මුලාව ආදියේ ග්‍රහණයට යටත්ව, කර්මය ආදී මාරධර්මයන්ගෙන් පාලනය වන රූකඩ වැනිය
  8. ස්වභාධර්මය සැකසී ඇත්තේ කිසිසේත්ම අපගේ යහපතට නොවේ. අප සොබා ධර්මයෙහි සිරකරුවන්ය
  9. ඔබට අපට මින් ගැලවීමේ අවස්ථාව එළඹී ඇත. තවදුරටත් මාර ධර්මයන්ගෙන් පාලනය වන රූකඩ විය යුතු නැත
No audio available
213. ලෞකික ජීවිතයෙන් නික්මීම

213. ලෞකික ජීවිතයෙන් නික්මීම

  1. ජීවිතය කියන්නේ ක්ලච් පෙලේට් ගියපු වාහනයක් වගේ
  2. රේස් කරන ප්‍රමාණයට දියුණුවක් නෑ. බොහෝමයක් බලාපොරොත්තු සඵල වෙන්නෙ නෑ
  3. හැම අවුරුද්දකම කිරි ඉතිරවීම සිදුකරත් මුට්ටියේ කිරි ඉතුරුණා පමණි. අපට ඉතිරූ කිරක් නෑ
  4. හැමදාම සිදුකරන්නේ අනාගතයේ ජීවත්වීමට වර්තමානයේ දුක් වේදනා විදීම පමණයි
  5. ගින්නට පනින පැළඟැටියෙක් වගේ, කොච්චර පිච්චුනත් අපට මේ දුක තේරෙන්නේ නෑ
  6. හැමදාම සිද්ධ වුණේ ඔහොම තමයි. සංසාරයක් තියෙනවාලු. නිර්වාණය කියලා මොකක්දෝ එකකුත් තියනවලු
  7. නිර්වාණ මග පෙන්නන්න තථාගතයන් වහන්සේ නමක් ගොඩක් කල් පෙරුම් පිරුවලු
  8. මේවා හුදෙක් වචන විතරයි. තේරෙන්නෙත් නෑ. මොකක්ද මේ අභිරහස..?
  9. පැටලුණු නූල් බෝලයක් වගේ, කොහොමද මේකෙන් නිදහස් වෙන්නෙ..? කවුද අපට පිහිට වෙන්නේ..?
No audio available
212. බයිසිකලය

212. බයිසිකලය

  1. බයිසිකලයක් යොදන තෙරපුමට අනුව ගමන් කරන්නේ සමබරතාවය ඇති විටය
  2. එම සමබරතාවය ප්‍රාර්ථනාවකින් අයදීමකින් ලබාගත නොහැක
  3. සමබරතාවය ලබා ගැනීමට බයිසිකලයේ වර්ගය, පුරුදු වන ස්ථානය ආදී ලෙස විශේෂ ක්‍රමයක් ද නැත
  4. උත්සාහය, කැමැත්ත, කැපවීම තුළ යම් අවස්ථාවක සමබරතාවය ඇතිවේ
  5. ඉන් මතු ඕනෑම බයිසිකලයක හෝ ඕනෑම ස්ථානයක අවශ්‍ය නම් අමතර බරක් ද සහිතව ගමන් කිරීමේ හැකියාව ලැබේ
  6. එලෙසම නිර්වාණයට අවශ්‍ය සමබරතාවයක් ඇත
  7. කැමැත්ත ඇති විට උත්සාහය, වීර්යය ආදී ලෙස පුරුදු කරගෙන යන යම් අවස්ථාවක සමබරතාවය වැටහෙනු ඇත
  8. ඉන් මතු සිටින ස්ථානය කරන කාර්ය ආදීය තුළද ආයාසයකින් තොරව මනාව සමබරතාවය පවතිනු ඇත
  9. නැවත නැවත උත්සාහ කළ යුතුය. සමබරතාවය ඒකාන්තයෙන් වැටහෙනු ඇත
No audio available
211. අරමුණු

211. අරමුණු

  1. එක් එක් පුද්ගලයන්ට එකිනෙකට වෙනස් අරමුණු ඇත
  2. බොහෝ මිනිසුන් උපරිම පරිශ්‍රමය යොදමින් එම අරමුණු ඉෂ්ට කර ගැනීම පිණිස කටයුතු කරයි
  3. නමුත් ඇත්තෙන්ම සිදුකළ යුත්තේ එම අරමුණු පසුපස හඹා යෑම වෙනුවට අරමුණු තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි
  4. මානසික පරීක්ෂණය: සිතේ ඇති සියලු අරමුණු යම් ඉෂ්ට දේවතාවෙක් පැමිණ ඉෂ්ට කළේ යැයි සිතන්න
  5. ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි සිතා බලන්න. නැවතත් වෙනත් අරමුණක් ඇති වන්නේ නම් එම අරමුණු සාරවත් අරමුණු නොවේ
  6. එසේ වී නම් නැවත සිදුව ඇත්තේ ස්වරූපය පමණක් වෙනස්ව නැවත අරමුණු පසුපස හඹා යෑමයි
  7. කළ යුත්තක් ඇත. දැනට තමන්ට පවතින අරමුණු හොඳින් විශ්ලේෂණය කළ යුතුය
  8. මුලින් බොහෝ මහන්සි වී විදර්ශනා කොට තමන්ට අවශ්‍ය අරමුණු කුමක්දැයි සොයා ගත යුතුය
  9. නැතහොත් පෙර ජීවිතවල සිදුවූවාසේම මේ ජීවිතයේද මිරිඟුවක් පසුපස හඹා යෑමක් වැන්නක් විය හැක
No audio available
210. සෑහීමට පත්වීම

210. සෑහීමට පත්වීම

  1. විනෝද චාරිකාවක් ආදී ගමනක් ගමන් ගන්නා පිරිසක් ස්ථාන නරඹනවා මිස කිසිම ස්ථානයක ස්ථිරව නවතින්නේ නැත
  2. ගමන අතරතුර නොයෙකුත් ගොඩනැගිලි, කඩවල්, මිනිසුන්, නොයෙකුත් නිර්මාණ ආදී බොහෝ දෑ හමුවේ
  3. ඇතැම්විට ඒ ගොඩනැගිලි ආදිය තමාගේ මෙන් පරිභෝග කරයි
  4. ඡායාරූප ගැනීම, මිනිසුන් සමග කතා කිරීම, ගීත ගායනය ආදිය ද සිදු කරයි
  5. නමුත් ඒවායෙන් සෑහීමට පත්නොවේ. අරමුණින් අරමුණ අතහැර අවසානයේ නිවසට පැමිණි විට සුසුම්ලා ගිමන් හැර සෑහීමකට පත්වේ
  6. සිත ද එසේය. නොයෙක් අරමුණු පසුපස දිවගියද කිසිවකින් සෑහීමට පත්වී නැත. තවමත් ගමන් කිරීම එයට සාක්ෂියයි
  7. අප නොදන්නවා වුවත් ඇත්තෙන්ම මේ සිත සෑහීමට පත්වන්නේ නිර්වාණයෙන් පමණි
  8. නමුත් සංසාරේ කිසි දිනක සිත නිර්වාණය සහ ස්පර්ශව නැත
  9. මෙතෙක් නොයෙක් අරමුණු පසුපස දුවමින් සිත බොහෝ කාලයක් සෙවූ විමුක්තියද මෙයයි
No audio available
209. ගුරුවරයා

209. ගුරුවරයා

  1. විඤ්ඤාණයක් නොමැති වුවත් ගහකොළ ආදිය ද බොහෝ දුකට උවදුරුවලට ලක්වේ
  2. එයට උපක්‍රම ලෙස ලපටි දලු ආදිය මේරිම සිදුවේ
  3. ක්‍රමානුකූලව අතු මුල් ආදිය විහිදුවා ශක්තිමත් වේ
  4. එයින් එයට බාධක වන දැඩි හිරු රශ්මිය, සුළඟ, වැස්ස ආදිය ද, කෘමි සතුන් ආදී උවදුරුවලින් සිදුවන හානියට ද බාධා එල්ල කරයි
  5. ගසට අනුපිළිවෙල වැඩපිළිවෙලක් පවතී. එබැවින් මල්ඵල දැරීම ආදිය මුලින් සිදුවන්නේ නැත
  6. හඳුනාගත හැකිනම් වීර්යය, අකම්පිත බව, ඉවසීම, සමබරතාවය, සීලය ආදී බොහෝ පණිවිඩ සොබා දහම තුළ අන්තර්ගතය
  7. ඇත්තෙන්ම සොබාදහම යනු නිහඬ බණ දේශනා කරන රහතන් වහන්සේලා වැනිය
  8. සසරින් නික්මුන බොහෝ උත්තමයන්ද බොහෝ පාඩම් ඉගෙනගෙන ඇත්තේ සොබාදහමින්ය
  9. සොබා දහම ද නිර්වාණයට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක් කර ගතහොත් මාර්ගය වඩා පහසු වනු ඇත...
No audio available
208. පිළිගැනීමේ නිලධාරියා

208. පිළිගැනීමේ නිලධාරියා

  1. සිත යනු බිහිසුණු ධර්මතාවයකි
  2. සිත තුළ පෙනෙන ඇසෙන දැනෙන සිතෙන ආදී නිරීක්ෂණය වන කුඩා කොටසක් පවතී
  3. නිරීක්ෂණය නොවන ලොකු කොටස වන කර්මයන් රැස්වෙන ආකාරය, කර්මයන් විපාක දෙන ආකාරය, සිතිවිලි වල යාන්ත්‍රණය, කැමැත්ත අකමැත්ත ඇතිවීම ආදියක් ද මෙහි ඇත
  4. මේ සිත තුළ ජනනය වන කර්මයන් අප දන්නේ නැත. ලැබෙන විපාකවලට හේතූන් ආදී කිසිවක් අප දන්නේ ද නැත
  5. සිත මම, මගේ යැයි සිතා සිටිය ද මම යනු එන යන අයට හායි බායි කියන පිළිගැනීමේ නිලධාරියෙක් වැනිය
  6. එන යන කිසිවෙකු අපගේ යහපත පිණිස පැමිණෙන්නේ නැත
  7. කිසිදු පරීක්ෂාවකට ලක් නොවීමට තරම් විශ්වාස වුවත් අප කිසිවෙකුගේ තතු දන්නේ ද නැත
  8. සිත යනු අවස්ථාව පැමිණෙන තුරු සිටින හඳුනා නොගත් සතුරෙකු වැනිය
  9. අවස්ථාව පැමිණි පසු සිත ඔබට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැත. ඒ බව සිත නිරෝධ කිරීම පිණිස අවස්ථාව ලද මේ මොහොතේ අවධාරණය කළ යුතුය
No audio available
207. රියදුරා

207. රියදුරා

  1. කය යනු අන් ආකාරයෙන් වාහනයකි. එය පදවන රියැදුරා මමය
  2. එක විට අතපය හැසිරවීම, වචන පිටකිරීම, සවන් දීම ආදී සංකීර්ණ රිය පැදවීමේ හැකියාවක් අප සතුව ඇත
  3. එලෙසම ශරීර වාහනය ද සංකීර්ණ අතර මල මුත්‍ර බඩගිනි පිපාස ආදිය සඳහා පවා සංඥා දැනුම් දීමේ පද්ධතීන් ක්‍රියාත්මකය
  4. මෙසේ අතීතයේ අප බොහෝ වාහන පදවා ඇති අතර අප අතීත භවයන්හි පැදවූ වාහනවල දැන් සැකිලිවත් ඉතිරිව නැත
  5. අප නොදන්නවා වුවත් අපට මනා සිහියක් ඇත. තවමත් මෙම වාහනයට අනතුරක් නොවී පැවතීම සාක්ෂියකි
  6. බොහෝ වෙහෙස බැවින් නිමාවක් නොමැති අතෘප්තිකර හෙයින් ආදීනව බොහෝ බැවින් මෙම රියදුරුකම නවතා දැමීම සුදුසුය
  7. කළ යුත්තේ ඉන්ධන සැපයුම් ජාලය නැවතීම පිරිස සිහිය පැවැත්වීම පමණි. පවතින ඉන්ධන දහනය වූ පසු ඉබේම වාහනය නවතින අතර රියදුරුකමද අවසන් වනු ඇත
  8. සිතෙහි මුල් බැස ඇති ඝණ කෙළෙස් බුරුල් කිරීම පිණිස මෙසේ නොයෙකුත් උදාහරණ උපමා පෙන්වමින් නිරතුරුව සිත සමග පොරබැදිය යුතුය
  9. අඛණ්ඩව නොපසුබටව ප්‍රතිපදාව සිදුකරගෙන යන මොහොතක නොසිතූ ලෙස ගැඹුරු වැටහීම් සිදුවනු ඇත
No audio available
206. අවදානම සහ අප්‍රමාදය

206. අවදානම සහ අප්‍රමාදය

  1. කර්මයක් බලගැන්වුණු පසු මේ ජීවිතය, ඊළඟ ජීවිතය, පසු භවයන් ලෙස කර්ම පත ආදිය සකස්වීම සිදුවේ
  2. ගෙවුණු ජීවිත බොහෝ වන අතර බොහෝ කර්ම අප අතින් රැස් වන්නට ඇත
  3. ඒවායේ විපාක පැමිණෙන්නේ අහඹු, ආගන්තුක ලෙසය
  4. කන බොන මොහොතක, නිදාගෙන සිටින මොහොතක යන එන මොහොතක ආදී ලෙස කිසිම බාධාවකින් තොරව විපාක පැමිණීමේ හැකියාව ඇත
  5. වචන සරල වුවද කාරණය බරපතලය, අවදානම් ය
  6. එළැඹ ඇත්තේ නිර්වාණය ද භවය ද යන අපගේ සසර ඉරණම තීරණය වන තීරණාත්මකම අවස්ථාවයි
  7. අදටත් අප සසරේ සිටීමෙන් අපගේ ප්‍රමාදයේ තරම කොපමණදැයි තක්සේරු වන්නේය
  8. මේ ජීවිතයේත් බොහෝ නිදහසට කරුණු ඇති අතර අවසානයේ සිදුව ඇත්තේ අතීතයේ සිදුවූ ලෙසම නැවතත් ප්‍රමාද වීමය
  9. තවදුරටත් ප්‍රමාද විය නොහැක. නිර්වාණය වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම සිදුකළ යුතුය. වීරිය පිණිසය...
No audio available
205. විඤ්ඤාණ ධර්මතාවය

205. විඤ්ඤාණ ධර්මතාවය

  1. පෘථග්ජන විඤ්ඤාණයක් යනු සොබා දහම තුළ පවතින ස්ථාවර ධර්මතාවයකි
  2. එම ධර්මතාවයෙහි ආයතන ලෙස තවත් ධර්මතාවයක් පවතින අතර සසර පැවැත්ම වෙනුවෙන් සකස් වුණු යම් දුර්වලතාවයන් ද එම ආයතනයන් හි පවතී
  3. එම දුර්වලතාවයන්ට සාපේක්ෂව වස්තු මට්ටමේ, වචන මට්ටමේ ආදී ලෙස ආයතනයන්හි හඳුනා ගැනීම් පවතී. එම නිසා ගහකොළ සතා සිවුපාවා ආදී ලෙස ද නොයෙකුත් භාෂා ආදී ලෙසද ග්‍රහණය කිරීම් පවතී
  4. එහි ප්‍රතිඵලයක් ලෙස රාගය ද්වේශය මෝහය ආදිය ද සිත ලෙස ද චක්‍රයක් ගොඩනැගෙන අතර එයට සාපේක්ෂව සසර ද හටගෙන ඇත
  5. යම් හෙයකින් එම ආයතනයන්හි සියුම් විභේදන හැකියාවක් තිබුණේ නම් වස්තු වෙනුවට අංශු ලෙස ද, වචන වෙනුවට ශබ්ද මාත්‍ර ලෙසද වෙනස් හැඳින ගැනීමක් බලාපොරොත්තු විය හැක
  6. එවිට චන්දරාගයක් ආදිය හට ගැනීමක් බලාපොරොත්තු විය නොහැකි අතර සසර ගමනක් ද බලාපොරොත්තු විය නොහැක
  7. දැන් එළැඹී ඇති ප්‍රශ්නය අනුව අපට ආයතන වල විභේදන හැකියාව දියුණු කිරීම අපහසු කාරණයකි
  8. ඒ වෙනුවට හඳුනාගන්නා සිත තුල ප්‍රඥාව මතුකොට සිහිය නමැති ධර්මතාවයක් හරහා හඳුනාගැනීම සිදුකළ විට නැවත චන්දරාගය ආදිය දුරුවනු ඇත
  9. එම සිහියේ අනෙක් ප්‍රතිඵලයක් ලෙස විඤ්ඤාණය ද හේතුඵල ලෙස වැටහී අවසානයේ සසර ගමන ද කෙළවර වනු ඇත
No audio available
204. තුවාලය

204. තුවාලය

  1. තුවාලයක වේදනාව, සුව වනතුරු දුරු වන්නේ නැත. අඩු වැඩි වෙමින් පීඩා දෙන්නේය
  2. තවම හඳුනාගෙන නොමැති තුවාලයක් ඇති විට තුවාලයක් නැතැයි සිතීම හඳුනා නොගැනීම නිසාම සිදුවූවකි
  3. වේදනාවෙන් උරුවන්බාමින් තුවාලයක් නැතැයි පැවසුවද බොහෝ වේදනාවෙන් සිටින බව එළිපිටම ඇති කාරණයකි
  4. සැපය පිළිබඳ පුද්ගලයාගේ දැක්මද එවැනි ය. සැප ලෙස හඳුනාගෙන ඇත්තේද විඳින්නා වූ තවත් දුකකි
  5. තුවාලයක් නැත්තෙකු තුවාලයක් ඇතැයි කීවත් තුවාලයක් නැති බවම ඉරියව් හැඟීම් ආදියෙන් හෙළිවේ
  6. එලෙසම තුවාලයක් ඇත්තෙකු තුවාලයක් නැතැයි කීවත් ඇති බවම හෙළිවේ
  7. සැප සම්බන්ධවද එය එලෙසමය.
  8. මම බොහෝ සැප විඳින, බොහෝ යාන වාහන දේපළ ඉඩකඩම් හිමි ආදී ලෙස පැවසුවද ජීවිතයේ විඳින ලද සැප කුමක්දැයි අසන විට මල්ලෙ පොල් වැනි උත්තර පිටවන්නේ තවම ප්‍රශ්නය පිළිබඳව වත් වැටහීමක් නැති හෙයිනි
  9. සිත යනු සුව නොවන තුවාලයකි. සුව කළ නොහැක්කක් සුව කිරීමට දරන වෑයමෙන් පලක් නැත. අත්හැරීම එකම විසදුමයි. තථාගත දේශනාවද එයයි
No audio available
203. මුහුදු වෙරළ

203. මුහුදු වෙරළ

  1. මුහුද යනු බොහෝ පිරිසකගේ සිතේ සැනසීමක් ඇති කරන අලංකාර දර්ශනයකි
  2. නමුත් එම ලස්සන පවතින්නේ තනි තනිව ගත්විට වතුරේ, වෙරළේ හෝ අහස ආදියේ නොවේ
  3. මෙම හේතූන් එක්වුණ විට ලස්සනක් අලංකාරයක් වැන්නක් උපදී
  4. මෙම ලස්සන රැගෙන යාමට, පාලනය කිරීමට නොහැකිය. සෑම වේලාවකම පවතින්නේ ද නැත. නිරතුරුව වෙනස් වේ. නිශ්චිතව අසවල් ස්ථානයේ ලස්සන ඇතැයි පැනවිය නොහැක. නිරීක්ෂණය කිරීමක් පමණක් සිදුකළ හැක
  5. අත්විඳීම් විඳි පමණකින් මුහුද අපට අයිති නැත
  6. එලෙසම සිතද මුහුද වැනිය. නොයෙකුත් සිතිවිලි හටගනී නොයෙකුත් සැප වේදනා, දුක් වේදනා, කුණාටු ආදිය හට ගනී. සමාධිමත් විට බොහෝ අලංකාරයක් ද පවතී
  7. නමුත් හටගත් ස්ථානයක් හෝ ඒවා කොටු කර තැබීමට හෝ ඒවාට සීමා පැනවීමක් සිදු කළ නොහැක
  8. එකම කාරණය වන්නේ නිරීක්ෂණය පමණි. නිරීක්ෂණය සිදුකළ හැකි පමණකින් සිතේ කිසිදු අයිතියක් අප සතුව නැත. එසේ හැකිනම් නිරීක්ෂණය කළ හැකි මුහුද මෙන්ම ඉර හඳ ද අප සතු වනු ඇත
  9. සිතේ මෙම ලක්ෂණ මෙනෙහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කර ගත යුතුය. එවිට සිතේ බල කනු දුර්වල වී සියල්ල අවසානයක් වනු ඇත
No audio available
202. ඇත්තටම සැපයක් ද?

202. ඇත්තටම සැපයක් ද?

  1. එක් එක් සත්වයන්ට සැපය පිළිබඳ නොයෙකුත් අර්ථකථන ඇතත් සියලු සත්වයෝ සැපයට කැමතිය. නමුත් ඇත්තෙන්ම සැපය යනු කුමක්ද?
  2. මානසික රෝග ලෙස සිතේ මෙන්ම, එය මේ මොහොතේ බැසගෙන පවතින ශරීරයේද බොහෝ රෝග පවතී
  3. සංසාර ගත රෝග වන රූප, ශබ්ද ආදිය සඳහා ඇති කැමැත්ත හෝ අකමැත්ත, සිතේ විසිරීම, සෑහීමට පත් නොවීම, පසුතැවිල්ල, කනස්සල්ල, ආදී නොයෙකුත් මානසික රෝග පවතී
  4. උප්පත්ති රෝග වන බඩගින්න, පිපාසය, තෙහෙට්ටුව, නින්ද, මළ පහ වීම, මුත්‍රා වීම ආදිය මෙන්ම අඩු ලන්සුවෙන් ගතහොත් ආශ්වාසය ප්‍රශ්වාසයද ශරීරයේ සැමදා පැවතුන රෝග වේ
  5. මෙම රෝගයන්ට පිළියම් කිරීමේ උත්සාහයක් ලෙස ඉගෙන ගැනීම, රැකි රක්ෂා කිරීම, නොයෙකුත් කර්මාන්තයන්හි නියැලීම සිදුකළත් ඒවා ඒ ඒ මොහොතේ දුක අඩු කර ගැනීමට ගසන පැලැස්තර මිස සැප විඳීමක් නොවේ
  6. පුටුවක් ඇති තැන මේසයක් ලෙස හඳුනාගැනීම මෙන්, සරල ලෙස ගතහොත් ලෝක ධර්මතාවයන් වැරදි ලෙස වටහා ගැනීම මෝහය වේ
  7. මෝහය ඇති විට සිතක් හිමිවේ. සිත හිමි විට කය හිමිවේ. එයට යටත් සියලු රෝගයන් ද හිමි වේ
  8. රෝගයන් පිරිවරා ගත් සිත, කය පරිහරණය කරමින් කිසි විටෙක සැපයක් නොලැබේ
  9. සැපයක් ඇත්නම්, ඉහත රෝගයන්ගෙන් ඇතිවන පීඩාව අඩු කර ගැනීම සැපයක් ලෙස වරදවා වටහා ගැනීමක්ම පමණි
No audio available
201. ධර්ම ශ්‍රවණය

201. ධර්ම ශ්‍රවණය

  1. ආයතන නිරෝධ වීම පිණිස ආයතන හරහාම ඇතුල් කරනු ලබන ධර්මය ඇතුල්වීමේදී යම් දෝෂයන් සිදුවිය හැකිය
  2. පිරිසිදු ධර්මයක් වුවද ඇතුල් වන විට සංසාර පුරුදු සහ නොයෙකුත් මුළුගැන්වුණු දෘෂ්ටීන් නිසා බොහෝවිට ඇතුල් වන්නේ අපිරිසුදු වීමක්ද සහිතවය
  3. උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ ආදී ලෙස විඤ්ඤාණයන්හි පිරිසිදුභාවය ශාසනය තුළ වර්ගීකරණය වන්නේ ඒ නිසාවෙනි
  4. උපමාවක් ලෙස ඇල් වතුරට ලුණු දැමූ විට ලුණු රසය පැහැදිලිව දැනෙන නමුත්, පල් වතුරට ලුණු දැමූ විට විශේෂ ලෙස ලුණු රසයක් හඳුනාගත නොහැක
  5. ලුණු රසය වෙනුවට හාත්පස වෙනත් රසයක් වුවද දැනිය හැක
  6. එලෙසම සංසාරය තුළ පල් වූ ක්ලේශයන් ඇති විට ප්‍රණීත වූ ගම්භීර වූ ධර්මයක් ඇතුල් කලද විශේෂ වෙනසක් සිදුවන්නේ නැත
  7. මෙය අවම කිරීම සඳහා අන් වචනය ගරු කිරීම, නිහතමානීකම ආදී ගුණ මෙන්ම දානය, සීලය ආදියද පුරුදු කළ යුතුය
  8. එසේම අසන ලද ධර්මය විනයට සීලයට එකඟදැයි විමසා බැලිය යුතුය
  9. එසේම සාරිපුත්තයාණන්, මහා කාශ්‍යප ආදී උත්තමයන්ගේ චරිතාදර්ශ සමඟද ඔබගේ අපගේ ශාස්තෘ වූ අමාමෑණි තථාගතයාණන් වහන්සේගේ චරිත ආදර්ශයන් හා එකඟදැයි දෙවනුවත් තෙවනුවත් විමසා බැලිය යුතුය
No audio available
200. සිතෙහි පැවැත්ම

200. සිතෙහි පැවැත්ම

  1. සිත යනු පුද්ගල අනන්‍ය වූවක් නොවේ. මම සිටියත් නොසිටියත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයකි
  2. සිත් අතර පවතින්නේ සංසාරගත පුරුද්දේ වෙනසක් පමණි. සියලු සිත්වල ඇතිවිය හැක්කේ පොදු ක්ලේශයන් වන රාග ද්වේශ මෝහ පමණි
  3. සරුංගලයක නූල අතැතිව තිබුණද සරුංගලයේ චලනය ඒ ඒ මොහොතේ සකස් වන වායුවේ කැලඹීම, සුළඟේ දිශාව, සරුංගලයේ හැඩය ආදී බොහෝ හේතූන් මත රඳා පවතී
  4. නූල යනු එක් හේතුවක් පමණි. ඇඳීම බුරුල් කිරීම හැර එයින් කළ හැකි වෙනත් පාලනයක් නැත
  5. මගේ පැවැත්ම රැඳී ඇත්තේ ද නූල අතැතිව ඇති බැවිනි
  6. අල්ලාගෙන සිටින්නේ නූල වූවත් තණ්හාව පවතින්නේද නූලට නොවේ. නූල කෙළවර පවතින සරුංගලයටයි
  7. සරුංගලයට ඇති තණ්හාව බිඳ වැටුණු විට නූල අතහැරෙනු ඇත. හේතු නැති වී ඇති හෙයින් පුද්ගලයෙකුද එම ස්ථානයේ නොරැඳෙනු ඇත
  8. සිතේ අනාත්මය වැටහීම පිණිස ඉහත වැනි උදාහරණ හොඳින් මෙනෙහි කළ යුතුය
  9. උපමා උපමේය ගලපමින් විදර්ශනා කිරීම ධර්ම අවබෝධයට බොහෝ පහසුවක් වනු ඇත
No audio available
199. භාවය

199. භාවය

  1. ප්‍රතිපදාව මාර්ගය සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇති ගැටලුව පැටලෙනකමය
  2. පැටලී නොමැති මොහොතේ ද පවතින පැටලෙන භාවය පැටලීමකට වඩා භයානකය
  3. පැටලෙනකම ඵලය වන අතර එයට අදාල හේතුව වන්නේ පැටලෙන භාවයයි. සතර අපායෙන් නිදහස් වීමේදී සිදුවන්නේ ද පැටලීමට ඇති හැකියාව දුරුවීමයි
  4. අඹ ගසෙහි ඇත්තේ අඹ ලැබෙන භාවය යි. අඹ ගෙඩිය යනු ඵලයයි
  5. අවධානය යොමු විය යුතු කාරණය, ඵලය වන අඹ ගෙඩිය නොව, හේතුව වන අඹ ඇතිවීමට ඇති හැකියාවට යි
  6. කායික රෝගයකින් පීඩා විඳින අයෙකු දෙස සංවේදී වීමකට වඩා කායික රෝගයක් වැළඳීමේ හැකියාව ඇති මේ ශරීරය පිළිබඳව අති සංවේදී විය යුතුය
  7. ඒ සම්බන්ධව නිවැරදිව සිහිය එළඹුණ විට හතර හන්දි පණ නැතිව ගොස්, ඉහමොල රත් වනු ඇත
  8. උපන් මොහොතේ සිටම අප සිටින්නේ මරණයට ඇති හැකියාව, රෝගයක් වැළඳීමට ඇති හැකියාව, කර්මයක් විපාක දීමට ඇති හැකියාව ආදී හේතු ගොන්නක් උරුමවය
  9. මනාව විදර්ශනා කොට වහ වහා සිහිය එළඹවා ගත යුතුය. විදර්ශනාව පිණිසය...
No audio available
198. මමායන දෘෂ්ටිය

198. මමායන දෘෂ්ටිය

  1. වාහනයක දොර ඇරිය හැක දොර වැසිය හැක
  2. හුලං ගැසීම රෝද මාරු කිරීම ආදිය ද සිදුකළ හැක
  3. එපමණකින් වාහනය තමා සතු යයිද, තම පාලනයේ ඇතැයි ද ලෙස සිතීම මුලාවකි
  4. කිසි දිනයක ධාවනය වන වාහනයක් හෝ වාහනයේ අයිතිය පිළිබඳ බලපත්‍ර හෝ නොදැක ඇති විට ඉහත ආදී මුලාව පහසුවෙන් සිදුවේ
  5. එලෙසම අතපය චලනය කළ හැකි පමණකින්, සිතිවිලි ඇතිවන පමණකින්, මම හෝ මගේ හෝ මගේ වසඟයේ යන්නත් පැනවිය නොහැක
  6. පවතින්නේ මම, මගේ ආදියක් නොවේ. එවැන්නක් පවතින්නේ ය යන දැඩි විශ්වාසයක් පමණි
  7. යම් ගසක් තුළ දෙවියෙක් සිටිනවා යයි දෘෂ්ටියක් ඇති කළ විට පින් කැටය පිරෙන්නේ ඉබේය
  8. දෘෂ්ටිය වැඩිවන තරමට කැටයේ පිරීමද වැඩිය
  9. එලෙසම මම සිටිනවා ආදී ලෙස දෘෂ්ටියක් ඇති විට කර්මයන් රැස්වීම සිදුවන්නේ ද ඉබේමය. විදර්ශනාව පිණිසය...
197. නොනිවීමට හේතුව

197. නොනිවීමට හේතුව

  1. තථාගත ශාසනයේ සසරින් මිදීමට වෙර දරන වීරියවන්තයන් හට ක්ලේශයන් හඳුනා ගැනීම බොහෝ වැදගත් ය
  2. නමුත් දීර්ඝ කාලයක් ක්ලේශයන් තුලම සිරවී සිටි බැවින් ඒවා පහසුවෙන් හඳුනාගත නොහැක
  3. එය උපමාවක් ලෙස මුහුදේ සිටින මාළුවෙක් මුහුද සොයනවා වැන්නකි
  4. ක්ලේශයන් මොනවාදැයි සොයන යම් කාරණයක් ඇත්නම් එයද එක්තරා ක්ලේශයකි
  5. නිසල විල තුළ නිසල බව සෙවීම කැලඹීමට කාරණයකි
  6. නිවන සෙවීමට දරණ වෑයමමෙන් සිදුවන්නේ ද තව තවත් සිත කැළඹීමට පත්වීමය. එම නිසා එවැනි වෑයමක් තුළ නිවීමක් සැනසීමක් නැත
  7. නිවීම සෙවීම වෙනුවට කැළඹීමට තුඩුදුන් හේතු සොයා ඉවත් කිරීම සිදුකළ විට නිරායාසයෙන් සිත නිවීමට පත්වේ
  8. යුද්ධයේ අවශ්‍යතාවය ඇති විට අවි ආයුධ ආදිය අතට පත්වන්නේ නිරායාසයෙනි
  9. එලෙසම රූප බැලීම, ශබ්ද ඇසීම, රස විඳීම් ආදී ලෙස බැඳුණු සිත් ඇති විට සංසාර ගමන නිරායාසයෙන්ම උරුම වන්නේ ය. විදර්ශනාව පිණිසය...