Report Menu
All Cards
210. සෑහීමට පත්වීම
- විනෝද චාරිකාවක් ආදී ගමනක් ගමන් ගන්නා පිරිසක් ස්ථාන නරඹනවා මිස කිසිම ස්ථානයක ස්ථිරව නවතින්නේ නැත
- ගමන අතරතුර නොයෙකුත් ගොඩනැගිලි, කඩවල්, මිනිසුන්, නොයෙකුත් නිර්මාණ ආදී බොහෝ දෑ හමුවේ
- ඇතැම්විට ඒ ගොඩනැගිලි ආදිය තමාගේ මෙන් පරිභෝග කරයි
- ඡායාරූප ගැනීම, මිනිසුන් සමග කතා කිරීම, ගීත ගායනය ආදිය ද සිදු කරයි
- නමුත් ඒවායෙන් සෑහීමට පත්නොවේ. අරමුණින් අරමුණ අතහැර අවසානයේ නිවසට පැමිණි විට සුසුම්ලා ගිමන් හැර සෑහීමකට පත්වේ
- සිත ද එසේය. නොයෙක් අරමුණු පසුපස දිවගියද කිසිවකින් සෑහීමට පත්වී නැත. තවමත් ගමන් කිරීම එයට සාක්ෂියයි
- අප නොදන්නවා වුවත් ඇත්තෙන්ම මේ සිත සෑහීමට පත්වන්නේ නිර්වාණයෙන් පමණි
- නමුත් සංසාරේ කිසි දිනක සිත නිර්වාණය සහ ස්පර්ශව නැත
- මෙතෙක් නොයෙක් අරමුණු පසුපස දුවමින් සිත බොහෝ කාලයක් සෙවූ විමුක්තියද මෙයයි
209. ගුරුවරයා
- විඤ්ඤාණයක් නොමැති වුවත් ගහකොළ ආදිය ද බොහෝ දුකට උවදුරුවලට ලක්වේ
- එයට උපක්‍රම ලෙස ලපටි දලු ආදිය මේරිම සිදුවේ
- ක්‍රමානුකූලව අතු මුල් ආදිය විහිදුවා ශක්තිමත් වේ
- එයින් එයට බාධක වන දැඩි හිරු රශ්මිය, සුළඟ, වැස්ස ආදිය ද, කෘමි සතුන් ආදී උවදුරුවලින් සිදුවන හානියට ද බාධා එල්ල කරයි
- ගසට අනුපිළිවෙල වැඩපිළිවෙලක් පවතී. එබැවින් මල්ඵල දැරීම ආදිය මුලින් සිදුවන්නේ නැත
- හඳුනාගත හැකිනම් වීර්යය, අකම්පිත බව, ඉවසීම, සමබරතාවය, සීලය ආදී බොහෝ පණිවිඩ සොබා දහම තුළ අන්තර්ගතය
- ඇත්තෙන්ම සොබාදහම යනු නිහඬ බණ දේශනා කරන රහතන් වහන්සේලා වැනිය
- සසරින් නික්මුන බොහෝ උත්තමයන්ද බොහෝ පාඩම් ඉගෙනගෙන ඇත්තේ සොබාදහමින්ය
- සොබා දහම ද නිර්වාණයට මඟ පෙන්වන කල්‍යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක් කර ගතහොත් මාර්ගය වඩා පහසු වනු ඇත...
208. පිළිගැනීමේ නිලධාරියා
- සිත යනු බිහිසුණු ධර්මතාවයකි
- සිත තුළ පෙනෙන ඇසෙන දැනෙන සිතෙන ආදී නිරීක්ෂණය වන කුඩා කොටසක් පවතී
- නිරීක්ෂණය නොවන ලොකු කොටස වන කර්මයන් රැස්වෙන ආකාරය, කර්මයන් විපාක දෙන ආකාරය, සිතිවිලි වල යාන්ත්‍රණය, කැමැත්ත අකමැත්ත ඇතිවීම ආදියක් ද මෙහි ඇත
- මේ සිත තුළ ජනනය වන කර්මයන් අප දන්නේ නැත. ලැබෙන විපාකවලට හේතූන් ආදී කිසිවක් අප දන්නේ ද නැත
- සිත මම, මගේ යැයි සිතා සිටිය ද මම යනු එන යන අයට හායි බායි කියන පිළිගැනීමේ නිලධාරියෙක් වැනිය
- එන යන කිසිවෙකු අපගේ යහපත පිණිස පැමිණෙන්නේ නැත
- කිසිදු පරීක්ෂාවකට ලක් නොවීමට තරම් විශ්වාස වුවත් අප කිසිවෙකුගේ තතු දන්නේ ද නැත
- සිත යනු අවස්ථාව පැමිණෙන තුරු සිටින හඳුනා නොගත් සතුරෙකු වැනිය
- අවස්ථාව පැමිණි පසු සිත ඔබට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැත. ඒ බව සිත නිරෝධ කිරීම පිණිස අවස්ථාව ලද මේ මොහොතේ අවධාරණය කළ යුතුය
207. රියදුරා
- කය යනු අන් ආකාරයෙන් වාහනයකි. එය පදවන රියැදුරා මමය
- එක විට අතපය හැසිරවීම, වචන පිටකිරීම, සවන් දීම ආදී සංකීර්ණ රිය පැදවීමේ හැකියාවක් අප සතුව ඇත
- එලෙසම ශරීර වාහනය ද සංකීර්ණ අතර මල මුත්‍ර බඩගිනි පිපාස ආදිය සඳහා පවා සංඥා දැනුම් දීමේ පද්ධතීන් ක්‍රියාත්මකය
- මෙසේ අතීතයේ අප බොහෝ වාහන පදවා ඇති අතර අප අතීත භවයන්හි පැදවූ වාහනවල දැන් සැකිලිවත් ඉතිරිව නැත
- අප නොදන්නවා වුවත් අපට මනා සිහියක් ඇත. තවමත් මෙම වාහනයට අනතුරක් නොවී පැවතීම සාක්ෂියකි
- බොහෝ වෙහෙස බැවින් නිමාවක් නොමැති අතෘප්තිකර හෙයින් ආදීනව බොහෝ බැවින් මෙම රියදුරුකම නවතා දැමීම සුදුසුය
- කළ යුත්තේ ඉන්ධන සැපයුම් ජාලය නැවතීම පිරිස සිහිය පැවැත්වීම පමණි. පවතින ඉන්ධන දහනය වූ පසු ඉබේම වාහනය නවතින අතර රියදුරුකමද අවසන් වනු ඇත
- සිතෙහි මුල් බැස ඇති ඝණ කෙළෙස් බුරුල් කිරීම පිණිස මෙසේ නොයෙකුත් උදාහරණ උපමා පෙන්වමින් නිරතුරුව සිත සමග පොරබැදිය යුතුය
- අඛණ්ඩව නොපසුබටව ප්‍රතිපදාව සිදුකරගෙන යන මොහොතක නොසිතූ ලෙස ගැඹුරු වැටහීම් සිදුවනු ඇත
206. අවදානම සහ අප්‍රමාදය
- කර්මයක් බලගැන්වුණු පසු මේ ජීවිතය, ඊළඟ ජීවිතය, පසු භවයන් ලෙස කර්ම පත ආදිය සකස්වීම සිදුවේ
- ගෙවුණු ජීවිත බොහෝ වන අතර බොහෝ කර්ම අප අතින් රැස් වන්නට ඇත
- ඒවායේ විපාක පැමිණෙන්නේ අහඹු, ආගන්තුක ලෙසය
- කන බොන මොහොතක, නිදාගෙන සිටින මොහොතක යන එන මොහොතක ආදී ලෙස කිසිම බාධාවකින් තොරව විපාක පැමිණීමේ හැකියාව ඇත
- වචන සරල වුවද කාරණය බරපතලය, අවදානම් ය
- එළැඹ ඇත්තේ නිර්වාණය ද භවය ද යන අපගේ සසර ඉරණම තීරණය වන තීරණාත්මකම අවස්ථාවයි
- අදටත් අප සසරේ සිටීමෙන් අපගේ ප්‍රමාදයේ තරම කොපමණදැයි තක්සේරු වන්නේය
- මේ ජීවිතයේත් බොහෝ නිදහසට කරුණු ඇති අතර අවසානයේ සිදුව ඇත්තේ අතීතයේ සිදුවූ ලෙසම නැවතත් ප්‍රමාද වීමය
- තවදුරටත් ප්‍රමාද විය නොහැක. නිර්වාණය වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම සිදුකළ යුතුය. වීරිය පිණිසය...
205. විඤ්ඤාණ ධර්මතාවය
- පෘථග්ජන විඤ්ඤාණයක් යනු සොබා දහම තුළ පවතින ස්ථාවර ධර්මතාවයකි
- එම ධර්මතාවයෙහි ආයතන ලෙස තවත් ධර්මතාවයක් පවතින අතර සසර පැවැත්ම වෙනුවෙන් සකස් වුණු යම් දුර්වලතාවයන් ද එම ආයතනයන් හි පවතී
- එම දුර්වලතාවයන්ට සාපේක්ෂව වස්තු මට්ටමේ, වචන මට්ටමේ ආදී ලෙස ආයතනයන්හි හඳුනා ගැනීම් පවතී. එම නිසා ගහකොළ සතා සිවුපාවා ආදී ලෙස ද නොයෙකුත් භාෂා ආදී ලෙසද ග්‍රහණය කිරීම් පවතී
- එහි ප්‍රතිඵලයක් ලෙස රාගය ද්වේශය මෝහය ආදිය ද සිත ලෙස ද චක්‍රයක් ගොඩනැගෙන අතර එයට සාපේක්ෂව සසර ද හටගෙන ඇත
- යම් හෙයකින් එම ආයතනයන්හි සියුම් විභේදන හැකියාවක් තිබුණේ නම් වස්තු වෙනුවට අංශු ලෙස ද, වචන වෙනුවට ශබ්ද මාත්‍ර ලෙසද වෙනස් හැඳින ගැනීමක් බලාපොරොත්තු විය හැක
- එවිට චන්දරාගයක් ආදිය හට ගැනීමක් බලාපොරොත්තු විය නොහැකි අතර සසර ගමනක් ද බලාපොරොත්තු විය නොහැක
- දැන් එළැඹී ඇති ප්‍රශ්නය අනුව අපට ආයතන වල විභේදන හැකියාව දියුණු කිරීම අපහසු කාරණයකි
- ඒ වෙනුවට හඳුනාගන්නා සිත තුල ප්‍රඥාව මතුකොට සිහිය නමැති ධර්මතාවයක් හරහා හඳුනාගැනීම සිදුකළ විට නැවත චන්දරාගය ආදිය දුරුවනු ඇත
- එම සිහියේ අනෙක් ප්‍රතිඵලයක් ලෙස විඤ්ඤාණය ද හේතුඵල ලෙස වැටහී අවසානයේ සසර ගමන ද කෙළවර වනු ඇත
204. තුවාලය
- තුවාලයක වේදනාව, සුව වනතුරු දුරු වන්නේ නැත. අඩු වැඩි වෙමින් පීඩා දෙන්නේය
- තවම හඳුනාගෙන නොමැති තුවාලයක් ඇති විට තුවාලයක් නැතැයි සිතීම හඳුනා නොගැනීම නිසාම සිදුවූවකි
- වේදනාවෙන් උරුවන්බාමින් තුවාලයක් නැතැයි පැවසුවද බොහෝ වේදනාවෙන් සිටින බව එළිපිටම ඇති කාරණයකි
- සැපය පිළිබඳ පුද්ගලයාගේ දැක්මද එවැනි ය. සැප ලෙස හඳුනාගෙන ඇත්තේද විඳින්නා වූ තවත් දුකකි
- තුවාලයක් නැත්තෙකු තුවාලයක් ඇතැයි කීවත් තුවාලයක් නැති බවම ඉරියව් හැඟීම් ආදියෙන් හෙළිවේ
- එලෙසම තුවාලයක් ඇත්තෙකු තුවාලයක් නැතැයි කීවත් ඇති බවම හෙළිවේ
- සැප සම්බන්ධවද එය එලෙසමය.
- මම බොහෝ සැප විඳින, බොහෝ යාන වාහන දේපළ ඉඩකඩම් හිමි ආදී ලෙස පැවසුවද ජීවිතයේ විඳින ලද සැප කුමක්දැයි අසන විට මල්ලෙ පොල් වැනි උත්තර පිටවන්නේ තවම ප්‍රශ්නය පිළිබඳව වත් වැටහීමක් නැති හෙයිනි
- සිත යනු සුව නොවන තුවාලයකි. සුව කළ නොහැක්කක් සුව කිරීමට දරන වෑයමෙන් පලක් නැත. අත්හැරීම එකම විසදුමයි. තථාගත දේශනාවද එයයි
203. මුහුදු වෙරළ
- මුහුද යනු බොහෝ පිරිසකගේ සිතේ සැනසීමක් ඇති කරන අලංකාර දර්ශනයකි
- නමුත් එම ලස්සන පවතින්නේ තනි තනිව ගත්විට වතුරේ, වෙරළේ හෝ අහස ආදියේ නොවේ
- මෙම හේතූන් එක්වුණ විට ලස්සනක් අලංකාරයක් වැන්නක් උපදී
- මෙම ලස්සන රැගෙන යාමට, පාලනය කිරීමට නොහැකිය. සෑම වේලාවකම පවතින්නේ ද නැත. නිරතුරුව වෙනස් වේ. නිශ්චිතව අසවල් ස්ථානයේ ලස්සන ඇතැයි පැනවිය නොහැක. නිරීක්ෂණය කිරීමක් පමණක් සිදුකළ හැක
- අත්විඳීම් විඳි පමණකින් මුහුද අපට අයිති නැත
- එලෙසම සිතද මුහුද වැනිය. නොයෙකුත් සිතිවිලි හටගනී නොයෙකුත් සැප වේදනා, දුක් වේදනා, කුණාටු ආදිය හට ගනී. සමාධිමත් විට බොහෝ අලංකාරයක් ද පවතී
- නමුත් හටගත් ස්ථානයක් හෝ ඒවා කොටු කර තැබීමට හෝ ඒවාට සීමා පැනවීමක් සිදු කළ නොහැක
- එකම කාරණය වන්නේ නිරීක්ෂණය පමණි. නිරීක්ෂණය සිදුකළ හැකි පමණකින් සිතේ කිසිදු අයිතියක් අප සතුව නැත. එසේ හැකිනම් නිරීක්ෂණය කළ හැකි මුහුද මෙන්ම ඉර හඳ ද අප සතු වනු ඇත
- සිතේ මෙම ලක්ෂණ මෙනෙහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කර ගත යුතුය. එවිට සිතේ බල කනු දුර්වල වී සියල්ල අවසානයක් වනු ඇත
202. ඇත්තටම සැපයක් ද?
- එක් එක් සත්වයන්ට සැපය පිළිබඳ නොයෙකුත් අර්ථකථන ඇතත් සියලු සත්වයෝ සැපයට කැමතිය. නමුත් ඇත්තෙන්ම සැපය යනු කුමක්ද?
- මානසික රෝග ලෙස සිතේ මෙන්ම, එය මේ මොහොතේ බැසගෙන පවතින ශරීරයේද බොහෝ රෝග පවතී
- සංසාර ගත රෝග වන රූප, ශබ්ද ආදිය සඳහා ඇති කැමැත්ත හෝ අකමැත්ත, සිතේ විසිරීම, සෑහීමට පත් නොවීම, පසුතැවිල්ල, කනස්සල්ල, ආදී නොයෙකුත් මානසික රෝග පවතී
- උප්පත්ති රෝග වන බඩගින්න, පිපාසය, තෙහෙට්ටුව, නින්ද, මළ පහ වීම, මුත්‍රා වීම ආදිය මෙන්ම අඩු ලන්සුවෙන් ගතහොත් ආශ්වාසය ප්‍රශ්වාසයද ශරීරයේ සැමදා පැවතුන රෝග වේ
- මෙම රෝගයන්ට පිළියම් කිරීමේ උත්සාහයක් ලෙස ඉගෙන ගැනීම, රැකි රක්ෂා කිරීම, නොයෙකුත් කර්මාන්තයන්හි නියැලීම සිදුකළත් ඒවා ඒ ඒ මොහොතේ දුක අඩු කර ගැනීමට ගසන පැලැස්තර මිස සැප විඳීමක් නොවේ
- පුටුවක් ඇති තැන මේසයක් ලෙස හඳුනාගැනීම මෙන්, සරල ලෙස ගතහොත් ලෝක ධර්මතාවයන් වැරදි ලෙස වටහා ගැනීම මෝහය වේ
- මෝහය ඇති විට සිතක් හිමිවේ. සිත හිමි විට කය හිමිවේ. එයට යටත් සියලු රෝගයන් ද හිමි වේ
- රෝගයන් පිරිවරා ගත් සිත, කය පරිහරණය කරමින් කිසි විටෙක සැපයක් නොලැබේ
- සැපයක් ඇත්නම්, ඉහත රෝගයන්ගෙන් ඇතිවන පීඩාව අඩු කර ගැනීම සැපයක් ලෙස වරදවා වටහා ගැනීමක්ම පමණි
201. ධර්ම ශ්‍රවණය
- ආයතන නිරෝධ වීම පිණිස ආයතන හරහාම ඇතුල් කරනු ලබන ධර්මය ඇතුල්වීමේදී යම් දෝෂයන් සිදුවිය හැකිය
- පිරිසිදු ධර්මයක් වුවද ඇතුල් වන විට සංසාර පුරුදු සහ නොයෙකුත් මුළුගැන්වුණු දෘෂ්ටීන් නිසා බොහෝවිට ඇතුල් වන්නේ අපිරිසුදු වීමක්ද සහිතවය
- උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ ආදී ලෙස විඤ්ඤාණයන්හි පිරිසිදුභාවය ශාසනය තුළ වර්ගීකරණය වන්නේ ඒ නිසාවෙනි
- උපමාවක් ලෙස ඇල් වතුරට ලුණු දැමූ විට ලුණු රසය පැහැදිලිව දැනෙන නමුත්, පල් වතුරට ලුණු දැමූ විට විශේෂ ලෙස ලුණු රසයක් හඳුනාගත නොහැක
- ලුණු රසය වෙනුවට හාත්පස වෙනත් රසයක් වුවද දැනිය හැක
- එලෙසම සංසාරය තුළ පල් වූ ක්ලේශයන් ඇති විට ප්‍රණීත වූ ගම්භීර වූ ධර්මයක් ඇතුල් කලද විශේෂ වෙනසක් සිදුවන්නේ නැත
- මෙය අවම කිරීම සඳහා අන් වචනය ගරු කිරීම, නිහතමානීකම ආදී ගුණ මෙන්ම දානය, සීලය ආදියද පුරුදු කළ යුතුය
- එසේම අසන ලද ධර්මය විනයට සීලයට එකඟදැයි විමසා බැලිය යුතුය
- එසේම සාරිපුත්තයාණන්, මහා කාශ්‍යප ආදී උත්තමයන්ගේ චරිතාදර්ශ සමඟද ඔබගේ අපගේ ශාස්තෘ වූ අමාමෑණි තථාගතයාණන් වහන්සේගේ චරිත ආදර්ශයන් හා එකඟදැයි දෙවනුවත් තෙවනුවත් විමසා බැලිය යුතුය
200. සිතෙහි පැවැත්ම
- සිත යනු පුද්ගල අනන්‍ය වූවක් නොවේ. මම සිටියත් නොසිටියත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයකි
- සිත් අතර පවතින්නේ සංසාරගත පුරුද්දේ වෙනසක් පමණි. සියලු සිත්වල ඇතිවිය හැක්කේ පොදු ක්ලේශයන් වන රාග ද්වේශ මෝහ පමණි
- සරුංගලයක නූල අතැතිව තිබුණද සරුංගලයේ චලනය ඒ ඒ මොහොතේ සකස් වන වායුවේ කැලඹීම, සුළඟේ දිශාව, සරුංගලයේ හැඩය ආදී බොහෝ හේතූන් මත රඳා පවතී
- නූල යනු එක් හේතුවක් පමණි. ඇඳීම බුරුල් කිරීම හැර එයින් කළ හැකි වෙනත් පාලනයක් නැත
- මගේ පැවැත්ම රැඳී ඇත්තේ ද නූල අතැතිව ඇති බැවිනි
- අල්ලාගෙන සිටින්නේ නූල වූවත් තණ්හාව පවතින්නේද නූලට නොවේ. නූල කෙළවර පවතින සරුංගලයටයි
- සරුංගලයට ඇති තණ්හාව බිඳ වැටුණු විට නූල අතහැරෙනු ඇත. හේතු නැති වී ඇති හෙයින් පුද්ගලයෙකුද එම ස්ථානයේ නොරැඳෙනු ඇත
- සිතේ අනාත්මය වැටහීම පිණිස ඉහත වැනි උදාහරණ හොඳින් මෙනෙහි කළ යුතුය
- උපමා උපමේය ගලපමින් විදර්ශනා කිරීම ධර්ම අවබෝධයට බොහෝ පහසුවක් වනු ඇත
199. භාවය
- ප්‍රතිපදාව මාර්ගය සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇති ගැටලුව පැටලෙනකමය
- පැටලී නොමැති මොහොතේ ද පවතින පැටලෙන භාවය පැටලීමකට වඩා භයානකය
- පැටලෙනකම ඵලය වන අතර එයට අදාල හේතුව වන්නේ පැටලෙන භාවයයි. සතර අපායෙන් නිදහස් වීමේදී සිදුවන්නේ ද පැටලීමට ඇති හැකියාව දුරුවීමයි
- අඹ ගසෙහි ඇත්තේ අඹ ලැබෙන භාවය යි. අඹ ගෙඩිය යනු ඵලයයි
- අවධානය යොමු විය යුතු කාරණය, ඵලය වන අඹ ගෙඩිය නොව, හේතුව වන අඹ ඇතිවීමට ඇති හැකියාවට යි
- කායික රෝගයකින් පීඩා විඳින අයෙකු දෙස සංවේදී වීමකට වඩා කායික රෝගයක් වැළඳීමේ හැකියාව ඇති මේ ශරීරය පිළිබඳව අති සංවේදී විය යුතුය
- ඒ සම්බන්ධව නිවැරදිව සිහිය එළඹුණ විට හතර හන්දි පණ නැතිව ගොස්, ඉහමොල රත් වනු ඇත
- උපන් මොහොතේ සිටම අප සිටින්නේ මරණයට ඇති හැකියාව, රෝගයක් වැළඳීමට ඇති හැකියාව, කර්මයක් විපාක දීමට ඇති හැකියාව ආදී හේතු ගොන්නක් උරුමවය
- මනාව විදර්ශනා කොට වහ වහා සිහිය එළඹවා ගත යුතුය. විදර්ශනාව පිණිසය...
198. මමායන දෘෂ්ටිය
- වාහනයක දොර ඇරිය හැක දොර වැසිය හැක
- හුලං ගැසීම රෝද මාරු කිරීම ආදිය ද සිදුකළ හැක
- එපමණකින් වාහනය තමා සතු යයිද, තම පාලනයේ ඇතැයි ද ලෙස සිතීම මුලාවකි
- කිසි දිනයක ධාවනය වන වාහනයක් හෝ වාහනයේ අයිතිය පිළිබඳ බලපත්‍ර හෝ නොදැක ඇති විට ඉහත ආදී මුලාව පහසුවෙන් සිදුවේ
- එලෙසම අතපය චලනය කළ හැකි පමණකින්, සිතිවිලි ඇතිවන පමණකින්, මම හෝ මගේ හෝ මගේ වසඟයේ යන්නත් පැනවිය නොහැක
- පවතින්නේ මම, මගේ ආදියක් නොවේ. එවැන්නක් පවතින්නේ ය යන දැඩි විශ්වාසයක් පමණි
- යම් ගසක් තුළ දෙවියෙක් සිටිනවා යයි දෘෂ්ටියක් ඇති කළ විට පින් කැටය පිරෙන්නේ ඉබේය
- දෘෂ්ටිය වැඩිවන තරමට කැටයේ පිරීමද වැඩිය
- එලෙසම මම සිටිනවා ආදී ලෙස දෘෂ්ටියක් ඇති විට කර්මයන් රැස්වීම සිදුවන්නේ ද ඉබේමය. විදර්ශනාව පිණිසය...
197. නොනිවීමට හේතුව
- තථාගත ශාසනයේ සසරින් මිදීමට වෙර දරන වීරියවන්තයන් හට ක්ලේශයන් හඳුනා ගැනීම බොහෝ වැදගත් ය
- නමුත් දීර්ඝ කාලයක් ක්ලේශයන් තුලම සිරවී සිටි බැවින් ඒවා පහසුවෙන් හඳුනාගත නොහැක
- එය උපමාවක් ලෙස මුහුදේ සිටින මාළුවෙක් මුහුද සොයනවා වැන්නකි
- ක්ලේශයන් මොනවාදැයි සොයන යම් කාරණයක් ඇත්නම් එයද එක්තරා ක්ලේශයකි
- නිසල විල තුළ නිසල බව සෙවීම කැලඹීමට කාරණයකි
- නිවන සෙවීමට දරණ වෑයමමෙන් සිදුවන්නේ ද තව තවත් සිත කැළඹීමට පත්වීමය. එම නිසා එවැනි වෑයමක් තුළ නිවීමක් සැනසීමක් නැත
- නිවීම සෙවීම වෙනුවට කැළඹීමට තුඩුදුන් හේතු සොයා ඉවත් කිරීම සිදුකළ විට නිරායාසයෙන් සිත නිවීමට පත්වේ
- යුද්ධයේ අවශ්‍යතාවය ඇති විට අවි ආයුධ ආදිය අතට පත්වන්නේ නිරායාසයෙනි
- එලෙසම රූප බැලීම, ශබ්ද ඇසීම, රස විඳීම් ආදී ලෙස බැඳුණු සිත් ඇති විට සංසාර ගමන නිරායාසයෙන්ම උරුම වන්නේ ය. විදර්ශනාව පිණිසය...
196. බරපතලකම
- නිරයෙහි අප්‍රමාණ දුකක් විඳීමට සමත් බරපතල හේතුව සඳහා අවුරුදු පනහක් හැටක් ගතවන්නේ නැත. හේතුව තත්පර කිහිපයක සරල කාරණයක් විය හැක
- එලෙසම අප තුළ කෙලෙස් ප්‍රහාණය නොවීමට තුඩු දුන් හේතූන් හිතාගත නොහැකි මායාකාරී කාරණා නොවේ. බොහෝ සරල කාරණාය
- ඒවා සරල ලෙස සහ පැහැදිලිව නොපෙනෙන ලෙස ද, ඒවා භයානක නොවන ආදී ලෙස වෙස්වලා ගනිමින් සිත තුළ රැකවරණය සලසාගෙන ඇත
- ඒවා සිදු කරන හානිය පැහැදිලිව පෙනෙන අනෙක් ක්ලේශයන් සිදු කරන හානියට සාපේක්ෂව මහත්ය
- ඉදිරියෙහි වතුර ඇති ලෙස පෙනෙන මිරිඟුව බොහෝ සරල සහ අහිංසක ස්වරූපයෙන් පෙනී සිටි
- එයට මුලාවන මුවෙකුට අත්වන ඉරණම ම කෙලෙස් අවතක්සේරු කරන යෝගාවචරයාගේ ප්‍රතිපදාවට නොබෝ කලකින් සිදුවන්නේ ය
- තවද භයානක ලෙස පෙනෙන අපරාධකාරයන්ට වඩා උඩින් සිට එය මෙහෙයවන, මිත්‍රශීලී ආදී ස්වරූපයෙන් පෙනී සිටින දේශපාලනඥයන් භයානකය
- ධර්මය ලෙස බොහෝවිට පවතින්නේ සරල කාරණාය. බොහෝ පිරිසක් ඒවායින් සෑහීමට පත්වන්නේ නැත
- නමුත් නුග ඇටය කුඩා වුවද එය තුළ අතුපතර විහිදී ගිය විශාල ගසක් නිර්මාණය කිරීමට සමත් විස්තර පවතින්නේය. විදර්ශනාව පිණිසය...
195. ඇස සහ විදර්ශනාව-4
- පෙනීම කරදරයකි. සත්ත්වයා වෙහෙසට පත් කරවයි. දවස පුරා පෙනීම තුළින් ඇතිවන වෙහෙස රාත්‍රී වන විට උග්‍ර වේ
- රාත්‍රියේ මඳ විවේකයක් ලබා ගැනීමට ඇස් පියා ගත්විට සිහින ආදී ලෙස හෝ නැවතත් පෙනීම ලෙස වෙහෙසට පත්වේ
- නොපෙනීමද එක්තරා පෙනීමක් බැවින් අසවල් දේ නොපෙනුනේ යැයි නොපෙනීමෙන්ද ඇතිවන්නේ වෙහෙසයි
- රාත්‍රිය පුරා චාජ්කර දවස පුරා වැඩ ගන්නා කාර්ය බහුල උපකරණයක් මෙන් පෙනීමට උදව් කරන මස් ඇස සිතේ වහලෙක්ය
- කොපමණ වහල්කම් කළත් තවමත් සිත තෘප්තිමත් කිරීමට නොහැකි වී ඇත. තව තවත් බැලීමට ඇති අවශ්‍යතාවය එය සනාථ කරවයි
- පෙනීම වෙහෙසක් ලෙස, උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස, දුකක් ලෙස වැටහීම පවා විශාල ජයග්‍රහණයකි
- මෙයින් මිදීමේ ක්‍රමවේදය සඳහන් බුද්ධ ශාසනයේ අවශ්‍යතාවය ඇතිවන්නේ මෙම ජයග්‍රහණයෙන් පසුවය
- මිදීමට ඇත්තේ එකම මඟකි. වෙනස් වන මායාවක් ලෙස, දුක ලෙස, පාලනය කළ නොහැකි ලෙස, සිත ඉදිරියේ කරුණු දක්වමින් මුල් බැස ඇති බැඳීම් දුර්වල කළ යුතුය
- කුඩා වැරැද්ද පවා විශාල ලෙස දකිමින් උත්තරය කෙසේ වෙතත් ප්‍රශ්නය වත් සොයා ගත නොහැකි කටුක සංසාර ගමන නතර කිරීම පිණිස උපරිම වීරිය සිදුකළ යුතුය
194. ඇස සහ විදර්ශනාව-3
- ගසට අකමැති නමුත්, එහි බැඳි ඔන්චිල්ලාවට කැමැත්තක් ඇත්නම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ගසටමය. ගසට කොපමණ අකමැති වුවත් ගස කැපීමකට කිසිසේත් අවසර ලැබෙන්නේ නැත. ඔන්චිල්ලාව හරහා ගසට දැඩි කැමැත්තක් සකස් වී ඇත
- එසේම මස් වලින් සැකසුණු, ප්‍රමාණයෙන් කුඩා, ආහාරයෙන් පෝෂණය වන ආදී මස් ඇසට අයෙකු බොහෝ විට සෘජුව කැමති වන්නේ නැත
- රූපයට කැමැත්ත සකස් වන විට නිරායාසයෙන් ඇසට ද කැමැත්ත ප්‍රකාශවීම සිදුවේ. නැටුම් ගැයුම් ආදිය මෙන්ම සොබාදහමේ වුවද ලස්සනක් පෙනේනම් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ ඇසටම ය
- පෙනීමක් ඇතිවූ විට පෙනීමක් ඇතිවූ බව දැනගත හැකිය. නමුත් එය කෙසේ සිදුවූයේ දැයි අප දන්නේ නැත. පෙනීම යනු පාලනයෙන් තොර ධර්මයකි ආදී ලෙස අනාත්මය වැඩිය යුතුය. උදාහරණයක් ලෙස තිරිංග තද කරන විට වාහනයක් නවතින බවද ඇක්සිලේටරය පාගන විට වාහනය ත්වරණය වන බවද දැන ගත හැකිය
- එය මායාකාරී ස්වභාවයක් නොවන අතර එය කෙසේ සිදු වූයේ යැයි ද අප දනිමු. එම නිසා අවශ්‍ය නම් ක්‍රියාදාමය බිඳ දැමීම, නවීකරණය ආදී ලෙස පාලනයක් සිදුකළ හැක. ඇස සම්බන්ධයෙන් එසේ සිදු කළ නොහැක
- ඉර පෑයීම වළාකුළු වල චලනය අපට දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතුව නැත
- පෙනීමද එලෙසමය. පෙනීමක් ඇති බව දැනගත හැකිය, පෙනීමක් ඇති වූ පමණකින් එහි අයිතිය අප සතුව නැත. විදර්ශනාව පිණිසය...
193. ඇස සහ විදර්ශනාව-2
- මානසික පරීක්ෂණයකි. ඇසට පෙනෙන යම් දර්ශනයක් සලකන්න
- එහි ඇති රතු පාට ඉවත් කරන්න. කොළපාට පාට, නිල් පාට ඉවත් කරන්න. කහපාට දුඹුරු පාට ආදී ලෙස සියලු වර්ණ එකින් එක ඉවත් කරන්න
- ඉතිරි වන්නේ කුමක්ද? කළු පාට යනු ද වර්ණයකි
- කිසිවක් ඉතිරි නැත. එනම් සංසාරයක් පුරා අප දැක ඇත්තේ රතු නිල් කොළ කහ ආදි වර්ණම පමණි
- තවද ඇස කාචයක් ලෙස ක්‍රියා කරන විට දෘෂ්ටිවිතානය මත වර්ණ සටහනක් ඇතිවෙයි
- සිතට ගෝචර වන්නේ බාහිර ඇති වස්තුවක් නොව, දෘෂ්ටිවිතානය මත වර්ණ සමූහයක් ලෙස පතිත වන ප්‍රතිබිම්බයයි
- එහි සත්වයෙක් පුද්ගලයෙක් ලෙස කිසිවක් නැත. ඇත්තේ වර්ණ පමණි. මෙම උදාසීන වර්ණ භාවිතා කර නොයෙකුත් රූප නිර්මාණය කර ඇත්තේ සිත විසින්ම ය
- එනම් අප කිසි දිනක රූප දැක නොමැත. දැක ඇත්තේ ප්‍රතිබිම්බ පමණි
- නොදකින ලද රූපයකට ක්ලේශයක් ඇතිවිය නොහැක. මේ ආකාරයෙන් මනසිකාර කළ යුතුය. තවත් බොහෝ ධර්මයන් වැටහෙනු ඇත. විදර්ශනාව පිණිසය...
192. ඇස සහ විදර්ශනාව
- ඇසෙහි රූපය ගැටුණු විට පෙනීමක් උපදී. එය කළ හැකි හෝ වැලැක්විය හැකි දෙයක් නොවේ. සිදුවන දෙයක් පමණි
- සුළඟ හමනවා ගහ කොළ සෙලවෙනවා ආදීමෙන් තවත් සිද්ධියකි
- එම නිසා තමන් සිදු කළ දෙයක් නොවන බැවින් එහි කිසිදු වගකීමක් තමන් සතු නොවන බව සිතට පෙන්වා දිය යුතුය
- ඇසට පෙනෙන දේ මස් ඇසට සාපේක්ෂව සිදුවූ පෙනීමකි. ඇසෙහි විභේදන ශක්තිය වැඩි වූයේ නම් අංශු සමූහයක් ලෙස පෙනෙනු ඇත
- මේ කිසිවක් සත්‍ය හෝ අසත්‍ය නොවේ. ඒ ඒ හැකියාවට සාපේක්ෂව සිදුවන ඒ ඒ පෙනීම්ය
- එසේ සිදුවන පෙනීම සිත ග්‍රහණය කරන්නේ දැන උගත් කරුණු අනුව සහ සිතට සාපේක්ෂවය
- එකම කාන්තාවක් නැගණිය මව සහෝදරිය බිරිඳ ආදී ලෙස කිහිප දෙනෙකුට කිහිප ආකාරයකින් පෙනෙන්නේ ඒ නිසාවෙනි
- මිනින්දෝරු කටයුත්තකදී යම් ස්ථානයකට සාපේක්ෂව මැනීම් සිදුකරයි. නමුත් ඒ සියලු ස්ථාන ඒ ඒ මොහොතේ පනවා ගත් අතර එකදු ස්ථානයක් වත් සත්‍ය හෝ අසත්‍ය නොවන අතර සාපේක්ෂව ලබාගත් මිනුම්ය
- එලෙසම සියල්ල සාපේක්ෂක බවද එහි කිසිදු සත්‍ය හෝ අසත්‍ය භාවයක් නොමැති බවද ඒ ඒ හේතු වලට අදාළව සිදුවූ ඒ ඒ ඵල බවද පෙන්වා දිය යුතුය...
191. නිර්වස්ත්‍ර හිත
- නිර්වස්ත්‍ර හේතුවකට නිර්වස්ත්‍රව උපදින අපගේ සිතද නිර්වස්ත්‍රය
- උදාහරණයක් ලෙස ද්වේශයක් පැමිණි විට එය ආවරණය කිරීමට සමත් වස්ත්‍රයක් නොමැත ආදී අර්ථයෙන් නිර්වස්ත්‍රය. අනෙක් ක්ලේශයන් සම්බන්ධව ද එසේමය
- රාගය ද්වේශය මෝහය පිරිවරා ගත් රැවටීම මුලාව ආදිය වැලකීමට සමත් වස්ත්‍රයක් නොතිබූ බැවින් ඔබ අප අතීතයේ බොහෝ පීඩාවට ලක්විය
- එම සියලු උවදුරු වළකාලන වටිනාම වස්ත්‍රය වන ධර්මය මේ මොහොතේ නොමිලේම ලැබී ඇත
- සිතක් යනු කිසිසේත් පාලනය කළ නොහැකි කිසිවෙකුට, කිසිවකට අවනත නොවන ධර්මතාවයකි
- යම් හෙයකින් යටත් කර ගැනීමට හැකියාවක් තිබුණේ නම් තථාගතයන් වහන්සේ සිත නිරෝධ කළ යුතු බව දේශනා නොකරනු ඇත
- මෙම අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මේ සඳහා සිත තුළ ඇතිවන සිතිවිලි ක්‍රියාත්මක කිරීම වෙනුවට එම සිතිවිලි වල රටාවන්, ක්‍රියාකාරීත්වය ආදිය දෙස බලා සිටීම ඉතා වැදගත් වේ
- එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ හේතු සකස් වන අතර ඉදිරි මාර්ගය නිරායාසයෙන් මතුවනු ඇත
- අනාගතයේ පැමිණිය හැකි දුක්ඛයන් වැළැක්වීම පිණිස තමන් විසින් තමන්ටම අනුකම්පාවෙන් මෙම ධර්මයන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය