Report Menu
All Cards
Total Cards: 416 | Page: 14 of 21 | Showing: 20 cards
156. වෛද්‍යවරයා

156. වෛද්‍යවරයා

  1. සසර දුකට වෙදකම් කරන අමාමෑණි තථාගතයන් වහන්සේ සියලු වෛද්‍යවරුන්ගේද වෛද්‍යවරයාය
  2. උන්වහන්සේගේ වෙදකම තුළ පෙති නැත. කරල් නැත. නිර්වින්දනය , පත්තු බැඳීම් ආදිය ද නැත
  3. බෙහෙත් ඇතුල් කරන්නේ කනෙන්ය. සියලු රෝග නිධානයන් ද දුරු කරමින් සසර දුකද කෙළවර වන්නේ ය
  4. බෙහෙත වර්ණනා කිරීමකින් හෝ එම බෙහෙත් වලට වන්දනාමාන කිරීම ආදියෙන් හෝ රෝග සුව වන්නේ නැත
  5. මල් පහන් හඳුන්කූරු දල්වා, බෙහෙත් වට්ටෝරුව සජ්ඣායනා කිරීමකින් ද රෝග සුවවීමක් අපේක්ෂා කළ නොහැක
  6. ගෑමට ඇති ඖෂධය බීමෙන් හෝ බීමට ඇති ඖෂධය ගෑමෙන් ද පලක් නැත
  7. තථාගත ඖෂධය ඇත්තේ ප්‍රත්‍යක්ෂ කිරීමටය, භාවිතා කිරීමටය. නැවත නැවත භාවිතා කිරීමටය
  8. ප්‍රතිකාරයේ යම් වරදක් සිදු වුණහොත් නඩු දැමීමට අධිකරණයක් නැති හෙයින් විටින් විට රෝගය සුව අතට හැරේදැයි තමාම විමසිලිමත් විය යුතුය. විදර්ශනාව පිණිසය...
155. වාහනය

155. වාහනය

  1. කෙළවරක් නොමැති බොහෝ ගමන් ඇති අතර , ගමන් කළහොත් සියලු ගමන් කෙළවර වන නිර්වාණ ගමන සියල්ල අතරින් ශ්‍රේෂ්ඨය
  2. වෙනත් රටකට යාම සඳහා ,ගමනක් යාම ආදිය සඳහා, අවශ්‍ය නම් යම් වාහනයක් වුවද නිෂ්පාදනය කර ගත හැක
  3. ඒකාන්ත සැපයට මාර්ගය වූ නිර්වාණ ගමන සඳහා අත්‍යවශ්‍ය වන, ඉතා දුර්ලභ වූ මනුෂ්‍ය ශරීරය නැමැති වාහනය ලෙහෙසියෙන් පහසුවෙන් යම් සත්වයෙකුට උරුම වන්නේ නැත
  4. නිෂ්පාදනය කළ නොහැක. ගිවිසුම් ගසා ලබා ගැනීමටද නොහැක. හේතුඵල අනුවම උරුමවන්නකි
  5. කෙසේ වුවත් පෙර පිනකට එය දැනටමත් ලැබී ඇත. ලැබුණු අවස්ථාව කිසිසේත් අත් නොහළ යුතුය. නැවත දෙවන අවස්ථාවක් අපේක්ෂා කළ නොහැක
  6. මෙම ගමනේ අසිරිමත් ලක්ෂණ ඇත්තේය. තනිවම ගමන් කළ හැකිය. සියලු ගමන් කෙළවර වන්නේ ය. ගමන් කළ යුත්තේ ද එක් වතාවක් පමණි. නැවත පැමිණීමක් නැත
  7. ඉතා වටිනා මනුෂ්‍ය ශරීරය නැමැති වාහනය උරුම වුවද වෙනත් වාහන පිළිබඳ සිහින දැකීම නිධානයක් උඩ කටු මැටි ගෙයක් සෑදීමට කල්පනා කිරීමක් වැනිය
154. ස්පර්ශය

154. ස්පර්ශය

  1. උපතින්ම මහපොළවේ ස්පර්ශය අපිට ඇත
  2. ආශ්වාස ප්‍රශ්වාස ලෙස, ආහාර ලෙස, උණුසුම සිසිලස ලෙස, දරා සිටීම ලෙස ද රූප, ශබ්ද, ගන්ධ ආදි නොයෙක් ආකාරයෙන් පොළොව ස්පර්ශව පවතී
  3. ශරීර පෝෂණය මෙන්ම ජීවිතය රැකෙන්නේ ද පැවැත්ම රඳා පවතින්නේද එම ස්පර්ශය මතයි
  4. එසේම සසරට ඇද වැටීම වැළැක්වීමට ධර්ම ස්පර්ශය නිරතුරුව පවත්වා ගත යුතුය
  5. උදාහරණයක් ලෙස කන හරහා ධර්මය ඇසීම ලෙස ස්පර්ශ විය යුතු අතර ඇසට ආරණ්‍ය දාන මාන ආදී ලෙස පෙනීමෙන් ධර්මයේ ස්පර්ශ විය යුතුය
  6. වැඩිදුරටත් සිත ඇතුළු ආයතන සීලය ලෙස, සමාධිය ලෙස, ප්‍රඥාව ලෙස ධර්මයෙන් තෙත් වනතුරු ස්පර්ශ විය යුතුය
  7. ධර්මයේ ස්පර්ශය ඇති විට අඩු වැඩි නොමැතිව සිත ධර්මය බවටම පත්වේ
  8. අභ්‍යන්තර බාහිර ලෙස වූ විෂමතාවය දුරු වේ. ඉපදීමේ නිරෝධය සිදු වේ. විදර්ශනාව පිණිසය...
153. සිහිනයකි

153. සිහිනයකි

  1. සිහිනයක සිටින විට සිහිනය ඇත්තක් ලෙස ඒ තුළ බැසගෙන පවතී
  2. සිහිනය තුළ නොයෙක් මිල මුදල් ආදිය ලැබීය හැක. නොයෙක් අලාභයන් ද සිදු විය හැක
  3. අතපය කැපීම් බිය ගැන්වීම් ආදී අත්විඳීමි ලැබිය හැක
  4. නමුත් සිහිනයෙන් අවදි වූ විට කිසිවක් නොමැත
  5. කාමය වරදවා හැසිරීම්, මත්පැන් පානය ආදී පංචකාමයන් මෙන්ම ෆිල්ම් එකක් බැලීම, සින්දුවක් ඇසීම වැනි කාමයන්හි අත්විඳීම ද සිහිනයක් වැනිය. රැස්වූ කර්මයක් හැරෙන්නට අවදි වූ විට ලද කිසිවක් නොමැත
  6. ජීවත්වීම ද යනු සිහිනයක් වැනිය. ස්වාමියා බිරිඳ දරුවන් දෙමාපියන් හිතවතුන් නෑදෑයන් දේපළ ආදිය ඇති ලෙස හැඟුණත් මරණය සිදුවනතුරු පමණි
  7. අන් ආකාරයෙන් කාමයන් යනු ගලක් මිරිකා වතුර ගන්නා වැනිය. කොපමණ උත්සාහ කළත් සෑහීමට පත් නොවේ
  8. කාමයන්හි සාරයක් ඇති ලෙස හැඟුනත් එය මුලාවක් පමණි
  9. අවසානයේ කනස්සල්ල පීඩාව කලකිරීම වැනි දේ හැර ලැබූ කිසිවක් නොමැත. කර්ම උත්පාදකයකි. දුක පිණිසම වූවකි. මුලා නොවනු පිනිසය...
152. හේතුව ඵලය

152. හේතුව ඵලය

  1. වස්තුව ආලෝකය පොළොව ආදි හේතු ඇති විට හෙවනැල්ලක් දක්නට ලැබේ
  2. මෙය වස්තුව නිසා පමණක් සිදු වූවක් නොවේ. ආලෝකය පොළව ආදී අනිකුත් හේතුන් ද ඇති විට සිදුවූවකි
  3. හේතූන් ඇති විට ඇතිවෙයි ( හේතූන් නැති වුවහොත් නැතිවීමේ හැකියාව පවතී )
  4. හේතූන් නැති විට නැතිවෙයි ( හේතූන් ඇතිවුවහොත් ඇතිවීමේ හැකියාවද පවතී ) කාල වෙනසක් නොමැත
  5. එලෙසම ඇසට රූපයක් පෙනීම, කනට ශබ්දයක් ඇසීම ආදීය ද, සිතිවිලි ඇතිවීම නැතිවීම ආදිය ද මඟ ඵල මෙන්ම සිතෙහි නිරෝධය ආදිය ද හේතුඵල ලෙස සිදුවේ
  6. මෙය ඇත නැත ආදී ලෙස වූ ද්වයතාවය නමැති මිථ්‍යාව ඉක්මවා යෑමකි. විදර්ශනාව පිණිසය...
151. ශරීරය යනු උගුලකි

151. ශරීරය යනු උගුලකි

  1. අප දරා සිටින්නේ නොයෙක් අසූචියෙන් පිරුණු ශරීරයකි
  2. ප්‍රාණය නිරුද්ධ ශරීරය, බිය උපදවන අතර පිළිකුල මෙන්ම දුර්ගන්ධයෙන්ද යුක්තය
  3. එසේම උපක්‍රම යොදා වළක්වා ඇතත් ප්‍රාණය ඇති විටද මෙම ලක්ෂණ එම ලෙසම ඇත්තේය. විටින් විට ප්‍රකට ද වන්නේය
  4. මෙම ශරීරයේ කිසිම අයිතියක් අප සතුව නැත. යම් දවසක ලැබුණු ශරීරය යම් දවසක අහිමි වන්නේය
  5. අන් ආකාරයෙන් ශරීරය යනු කර්ම රැස්වීම පිණිස අටවා ඇති සූක්ෂම උගුලකි
  6. බඩවැලේ කෙළවරක් වූ මුඛ ද්වාරයද බාහිර වාතයට නිරාවරණය නොවූ අසුචීන් පිට කිරීමට වූ ද්වාර ද ඇත්තේය
  7. උගුලක් බැවින්, පිළිකුල් බැවින්, අසුභ බැවින්, කර්මයන් රැස්වන බැවින්, ප්‍රමාදයට හේතුවන බැවින්, තමන්ගේ නොවන බැවින් ඒවා අසූචි බැහැර කිරීමට පමණක් සීමා කළ යුතුය
  8. විදර්ශනා කොට මෙම ශරීරය තුළ ද ගැඹුරට බැස ඇති සක්කාය දෘෂ්ටිය ගලවා වහ වහා ඉවත් කළ යුතුය
150. උපක්‍රමශීලීත්වය

150. උපක්‍රමශීලීත්වය

  1. උපක්‍රමශීලී බව නොමැතිව මේ සිත යටපත් කළ නොහැක
  2. ධර්මය වෙනුවෙන් දිනපතා යම් කාර්යයක් කළ යුතුය. ධර්මය තුළ සිත පිහිටන තෙක් සතියකට වරක් හෝ ධර්ම සාකච්ඡාවක් සිදුවිය යුතුය
  3. ලැබූ කමටහන් හෝ උපදෙස් නොඉක්මවිය යුතුය
  4. අප පිළිබඳ හොඳින්ම දන්නා සිත සංසාරයක් සිදුකලාසේම නැවත අපව මුළා කිරීමට බොහෝ ඉඩකඩ ඇත. මුලාවීදැයි නැවත නැවතත් සොයා බැලිය යුතුය
  5. ප්‍රමාදය නොයෙකුත් ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ. අද නොව හෙට, දැනට ඇති, අපට කරන්න බෑ, තව පින් කරන්න ඕන, මම මහා පින්වන්තයෙක්, කළ කුසල් හොඳටම ඇති ආදී ලෙස කියමින් නිවන් ගමන වළකනු ඇත
  6. ආරම්භක වීරිය ක්‍රමානුකූලව දුර්වලව, ධර්මය වෙනුවෙන් සිදුකළ කාර්යයන් එක එක නොදැනුවත්වම මගහැරී ගොස් හිතා ගත නොහැකි ලෙස පිරිහීමට පත්විය හැක
  7. තම කෙලෙස් පිළිබඳ හොඳින්ම දන්නේ තමන්ය. එයට වැට බැඳීම පිටසක්වලින් පැමිණ සිදු කරන්නේ නැත. අප්‍රමාදව ඒ සඳහා තමා විසින්ම උපක්‍රම සකස් කළ යුතුය
  8. ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි. තමා පිළිබඳ තමාටම අනුකම්පා කළ යුතුය
149. වත්කම

149. වත්කම

  1. ලෝකයේ වත්කම් යනු ඇත්නම් ය. ගේ දොර ඉඩකඩම් ආදීය ද දූ දරුවන් ආදීන් ද, වෙහෙස මහන්සියෙන් උපයාගත් වත්කම්ය
  2. පැවැත්මට යම් පහසුවක් වුවත් නඩත්තු කිරීම, සිතේ විසිරීම, කර්ම සකස්වීම, උපාදාන සකස්වීම ලෙස සත්වයාට උරුම වන්නේ සම්ප්‍රයුක්ත වූ දුකකි
  3. එක තප්පරයෙන් විනාශ වීමේ හැකියාව ඇත. අවදානම් සහගතය. මෙම වත්කම් එකවර අත්හැරීමට ද නොහැක. සිත හා උපාදාන වශයෙන් බද්ධව ඇත. අත්හැරීම අපහසුය. නඩු හබ පවා ඇති විය හැක. මෙම වත්කම් නිසා සතර අපාය පවා උරුම විය හැක
  4. ගේදොර ඉඩකඩම් නැත දරුවන් නැත යන්න වටිනා වත්කමකි. මෙම වත්කම භුක්ති විදීමට සමත් මානසික ශක්තියක් සෑම පුද්ගලයකුටම නැත
  5. මෙම වත්කම තුළ නඩත්තුවක් නැත. ප්‍රශ්න නැත. උපාදාන නැත. සුගති ලෝක, නිවන පවා පහසුවෙන් හිමි වේ
  6. ශ්‍රේෂ්ඨ වූ මානසික වත්කම් පවතී. දුන් දානය වත්කමකි. රක්නා ලද සීලය වත්කමකි. වැඩූ සමාධිය වත්කමකි. විදර්ශනා ඥාන මාර්ග ඵල ආදිය පරම වූ වත්කම්ය
  7. වටිනා වත්කම් භෞතික වත්කම් නොව මානසික වත්කම්ය. විදර්ශනාව පිණිසය...
148. සිහිය

148. සිහිය

  1. සිහිය පැවැත්වීමට පෙර සිහිය යනු කුමක්දැයි හොඳින් හඳුනාගත යුතුය. නැතිනම් කළුවා මාරපන ගියාසේ විය හැකිය
  2. සොරෙක් සොරකමේ යෙදෙන්නේ මනා සිහියකිනි. නමුත් එම සිහියෙන් නිර්වාණය සාක්ෂාත් නොවේ. එයින් නැවත ඉපදීම ඇතිවේ. එම නිසා එය අසිහියකි
  3. බොහෝ සිහියන් ඇති අතර නිවැරැදි සිහිය නිර්වාණයට සාපේක්ෂ වූ සිහියකි
  4. යමක් තුළ සිහිය පැවත්වීමෙන් නැවත ඉපදීමක් ඇති නොවේ හෝ ඒ සඳහා හේතු සැකසේ නම් එය නිවැරදි සිහියකි
  5. අසිහියෙන් සිටින බව දන්නේ නම් එය ද නිවැරදි සිහියකි
  6. ප්‍රත්‍යක්ෂ වූ ධර්මයන් භාවිතා කිරීමද නිවැරදි සිහියකි
  7. සත්වයා තුළ ඇතිවන සිතිවිලි ක්‍රියාත්මක වීම සිදුවේ. ජීවත් වීම යනු එයයි
  8. එම සිතිවිලි ක්‍රියාත්මක වීම වෙනුවට ධර්මානුකූල ප්‍රවේශයකින් හඳුනාගැනීමට හැකි නම් එම සිතුවිලි තුළ බැසගෙන නැත. එය ද නිවැරදි සිහියකි. විදර්ශනාව පිණිසය...
147. පින් කැටය

147. පින් කැටය

  1. දානය යනු පහසුවෙන් සිදුකළ හැකි කුසල් උත්පාදකයකි. දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදී පිරිස් ධර්මයට නැඹුරු කිරීමට හැකි එක්තරා උපක්‍රමයක් පහත දැක්වේ
  2. නිවසේ බුදුපිළිමයක් ඇත්නම් ඒ අසල හෝ සුදුසු ස්ථානයක දානය සඳහා මුදල් දැමිය හැකිසේ පෙට්ටියක් හෝ පින් කැටයක් අලංකාරවත් අයුරින් සකසන්න
  3. සෑම දිනයකම කුඩා හෝ මුදලක් දානය වෙනුවෙන් ඒ තුළට දමන්න/දැමීමට සලස්වන්න
  4. දානයක් එළඹුණු විට එහි ඇති මුදලෙන් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
  5. නැවතත් දානයක් එළඹෙන්නේ නම් ඉතිරි මුදලින් තුනෙන් එකක් වැනි කොටසක් ලබා දෙන්න
  6. මෙහිදී දන් වැටක් ආකාරයෙන් දානය සිදුවන අතර දානය සඳහා සිත භාවිතා වේ. ප්‍රමාණ කළ නොහැකි කුසලයක් රැස්වේ
  7. චේතනාව නිවන් අරමුණෙන්ම සිදු කිරීමට උත්සාහවත් විය යුතුය/කළ යුතුය
  8. ආනිසංස ලෙස නොදැනුවත්වම ධර්මයට නැඹුරුවනු ඇත. ඒ සඳහා මාර්ගය සැකසෙනු ඇත
146. නොමැරී මැරීම

146. නොමැරී මැරීම

  1. මරණය ඒකාන්තය. ව්‍යාධියක් ලෙස මරණය සිදු නොවුනහොත්, මරණයට පෙර ජීවිතයේ අවසානය ඔත්පලව අත පාමින් ජීවත්වීමට සිදුවේ. එය උපරිම ලෙස අවුරුද්දක් හෝ මදක් වැඩි විය හැක
  2. එම කාලයේ උදව්වක් ලබා ගැනීමේ අරමුණින් දරුවන් හදමින් දේපළ රැස් කරමින් ජීවිත කාලයම නොමැරී මැරේ. එම නිසා බොහෝ කර්මද රැස්වේ
  3. එහෙත් ඒකාන්ත වශයෙන් උදව්වක් ලැබේ යැයි ද බලාපොරොත්තු විය නොහැක
  4. එම කාලයේ යම් උදව්වක් ලැබුණත්, මරණින් මතු, එම සිදු වූ කර්මවලට සතර අපාය උරුම වුවහොත්, කිසිවෙකුට උදව්වක් කිරීමට ද නොහැකිය
  5. සම්ප්‍රයුක්ත වශයෙන් සිදුවිය ඇත්තේ මහත් වූ අලාභයකි
  6. ඇත්ත වශයෙන්ම උදව්ව ලැබිය යුත්තේ ඔත්පලව සිටින කාලයට නොව, මරණ මංචකයේ, සසර ගමන තීරණය කරන, චුති සිත පිහිටවීමටය
  7. එයට එකම උදව්ව වන්නේ ප්‍රගුණ කළ ධර්මයන් ය.
  8. තමන්ට යම් විවේකයක් ලැබෙන්නේ නම් එය ධර්මය වෙනුවෙන්ම යෙදවිය යුතුය
  9. දරුවන් හැදීම, දේපල රැස්කිරීම වැනි වැලි මාලිගා වෙනුවට ද තව තවත් ධර්මයන් ම ප්‍රගුණ කළ හැකි නම් එය මහත්ඵල මහත් ආනිසංසය...
145. මුලාව යනු කුමක්ද?

145. මුලාව යනු කුමක්ද?

  1. නැත යනු මුලාවයි. ඇත යනු මුලාවයි
  2. නැත නම්, පෙර ඇත හෝ පසු ඇත යන ලෙස ඇත බව කියැවේ
  3. ඇත නම්, පෙර නැත හෝ පසු නැත යන ලෙස නැති බව කියැවේ
  4. ඇත නැත යන්න සංක්ෂිප්ත වූ අටලෝ දහමයි. ද්වයතාවය යනු ද මෙයයි
  5. පඹයෙකුට පුද්ගලයෙක් යැයි රැවටී ඇතිවිට ඒ ගැහැණියෙක්ද පිරිමියෙක්ද යන ප්‍රශ්නයක් ඇත්නම් එය මුලාව නිසා සිදුවූවකි
  6. පඹයෙක් බව සැකහැර දැනගත් විට පිළිතුරු අපේක්ෂාව වෙනුවට ප්‍රශ්නය නිරෝධ වේ
  7. සත්ව පුද්ගලභාවය ඇත නැත යන මුලාව ප්‍රබලම මුලාවයි
  8. හේතූන් අනුව ඇත නැත ලෙස ඇතිවන සත්ව පුද්ගල දෘෂ්ටිය ධර්මතාවයක් වන අතර එහි ප්‍රත්‍යක්ෂ අවබෝධය සක්කාය දෘෂ්ටිය සිඳී යෑමයි
  9. බිඳුණු සක්කාය දෘෂ්ටිය ඇති විට අනෙක් සංයෝජනවල පැවැත්මක් නැත. ඒකාන්තයෙන් පිරිනිවෙනු ඇත
144. පෝෂණය

144. පෝෂණය

  1. ගස නැමැති ධර්මතාවය බොහෝ ශක්තිමත්ය. අපට ගසක් ලෙස බාහිරින් අලංකාරව පෙනුනද එහි අභ්‍යන්තරයේ පෝෂණය වෙනුවෙන් සංකීර්ණ ක්‍රියාවලියක් ඇත
  2. කුඩා ඒකක වන මල්, ඵල, පත්‍ර ආදියේද වෙන වෙනම එහි පෝෂණය සඳහා වූ ධර්මතාවයන් ක්‍රියාත්මක වේ
  3. බාහිර වූ හිරු එළිය, වාතය, පොළව ආදී හේතුන් ද පෝෂකයන්ය
  4. ගසෙහි පැවැත්ම බිඳීමට නම් මේවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. ගසෙහි පැවැත්ම බිඳීමට අතු කැපීම, කොළ, ගෙඩි, මල් කැඩීම ආදියෙන් ඇති පලක් නැත
  5. මනුස්ස ආදී ශරීරයද එලෙසමය. බාහිරින් මනුස්සයෙක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ශරීරය පෝෂණය වෙනුවෙන් ද විඤ්ඤාණය පෝෂණය වෙනුවෙන් ද සංකීර්ණ ක්‍රියාවලියක් පවතී
  6. විඤ්ඤාණයෙහි පැවැත්ම බිඳීමට විඤ්ඤාණය පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබිය යුතුය. මෙයට පෝෂණය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය සොයා ගත යුතුය
  7. දානය දීම, සිල් රැකීම ආදිය ශ්‍රේෂ්ඨ වූවත්, අතු කැපීමක් වැනිය
  8. මෙහිදී විඤ්ඤාණය පෝෂණය කරන ප්‍රධානතම හේතුව වූ මුලාව මුලින් උපුටා දැමිය යුතුය. විදර්ශනාව පිණිසය...
143. අමිල වූ මිල

143. අමිල වූ මිල

  1. වාතාශ්‍රය, ජලය, ආහාරපාන, සිසිලස, උණුසුම ආදී සියලු බාහිර සම්පත් ඇත්තේ අමිලවය, මිලකින් තොරවය. යම් යම් හේතුඵලයන්ට යටත්වය
  2. නමුත් මෙම සම්පත් වලට නොයෙකුත් වටිනාකම් ආදිය ආදේශ කිරීම මුලාව නිසා සිදුවූවකි
  3. මෙම වටිනාකම් තීරණයද නිරපේක්ෂ ලෙස නොව, තමන්ට ඒවායේ ඇති වටිනාකම අනුව තීරණය වී ඇත
  4. එහි දිගුවක් ලෙස නොයෙකුත් රාමුවලට කොටුවීමට සිදුවේ
  5. ආදීනව ලෙස ඒවා තුළ හික්මීමට මහත් පරිශ්‍රමයක්, දුකක්, පීඩාවක් දැරීමට සත්වයාට සිදුවී තිබේ. කර්මයන් බලවත් වී ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම වේ
  6. මුලාවන් අතර ප්‍රබලම මුලාව වන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ලෙස මුලාවීමයි. සත්ව පුද්ගල භාවය නිරෝධ වූ විට ඉහත සඳහන් සියලු ම දෘෂ්ටීන් නිරෝධ වනු ඇත. සියල්ල සුවපත් වනු ඇත. විදර්ශනාව පිණිසය...
142. කවලම් කිරීම

142. කවලම් කිරීම

  1. මානසික පරීක්ෂණය: භාජනයක ඇති සීනි හොඳින් කවලම් කර නිරීක්ෂණය කළ විට නැවත ඇත්තේ සීනිය. පෙර පසු සමානය. එය පිළිගත හැකි කාරණයකි
  2. පෘතුවිය බෙලෙන්ඩරයකට දමා හොඳින් කවලම් කරගත්විට ප්‍රතිඵලය දූවිලි ස්වභාවයකි
  3. කවලම් කිරීමට පෙර තිබූ ගහකොළ, සත්වයන්, භෞතික වස්තුන් ආදී කිසිවක් නිරීක්ෂණය නොවේ
  4. පෙර පසු අසමානය. ගම්‍ය වන්නේ ලෝකය පිළිබඳ දැන සිටි ආකාරයේ යම් වරද සහගත බවක් ඇති බවය
  5. මනුස්සයෙක් සම්බන්ධවද පරීක්ෂණය සිදු කළ විට පෙර පසු නොගැලපීමක් ඇත
  6. පෙර දැන සිටි විදිය පසුවද එලෙසම නම් එය යම් ප්‍රමාණයකට පිළිගත හැක
  7. නමුත් ලෝකය සම්බන්ධව මනුස්සයන් ආදීන් සම්බන්ධව ලැබෙන ඉහත ප්‍රතිඵල අනුව නිගමනය වන්නේ එළිපිටම මුලාවක් පවතින බවය. විදර්ශනාව පිණිසය
141. බාහිරය

141. බාහිරය

  1. මම යන්න පැවසීමට නමි මම නොවන අනෙකක්ද තිබිය යුතුය. නොමැති නම් මම යන්නත් පැනවිය නොහැක
  2. මගේ යන්න පැවසීමට නම්, මගේ වන දෙයක් ද බාහිර පැවතිය යුතුය. මගේ වන දෙයක් නොතිබේ නම් මගේ යන්නත් පැනවිය නොහැක
  3. මගේ පාලනයේ ඇත යන්න පැවසීමට නම් පාලනයට නතු වූ දෙයක් බාහිර පැවතිය යුතුය
  4. එනම් මෙම සියළුම දෘෂ්ටීන් බාහිරයට සාපේක්ෂව සකස් වේ. බාහිරයක් නොතිබේ නම් මම, මගේ, මගේ පාලනයේ ඇත නැත ආදී සක්කාය දෘෂ්ටිය පැනවෙන්නේ නැත
  5. එනම් බාහිරය හේතුවෙන් අභ්‍යන්තරය පැනවේ. එසේම අභ්‍යන්තරය හේතුවෙන් බාහිරය පැනවේ
  6. අන් ආකාරයෙන් අභ්‍යන්තරයෙන් තොර බාහිරයක් නැත. බාහිරයෙන් තොර අභ්‍යන්තරයක්ද නැත
  7. අභ්‍යන්තරය බාහිරය යනු මුලාව හේතුවෙන් හටගත් දෘෂ්ටීන් පමණි. විදර්ශනා කර වහ වහා දුරු කළ යුතුය
140. උපාය දන්නා අපායේ නොවැටේ

140. උපාය දන්නා අපායේ නොවැටේ

  1. සාදන ලද ගෙයක ජීවත් වීම, ගෙය පවතිනතුරුය
  2. නමුත් නැවත ගෙයක් සාදා ගැනීම ගෙයක් තිබූ පමණකින් කළ නොහැක
  3. ඒ සඳහා අමුද්‍රව්‍ය මෙන්ම එම හැකියාව ඇති පිරිසක්ද උපකරණද ඉඩමක්ද අවශ්‍යය. එම හේතූන් නැති විට නැවත ගෙයක් සෑදීමක් අපේක්ෂා කළ නොහැක
  4. පරිගණකයක මෘදුකාංගයක් ස්ථාපනය සඳහා සෙටප් ෆයිල් එකක් අවශ්‍ය වීම තවත් උදාහරණයකි. සෙටප් ෆයිල් එක විනාශ කළ විට නැවත එම මෘදුකාංගය ස්ථාපිත කළ නොහැක
  5. රහතන් වහන්සේ ද එලෙසය. අතීත විපාකයට සකස් වූ ශරීරය වැය වනතුරු ජීවත්වීම කල හැක. නමුත් නැවත ඉපදීමකට අදාළ හේතූන් නිරෝධ වී ඇත. එම නිසා නැවත උප්පත්තියක් නැත
  6. අපගේ පැවැත්ම සිදු වන්නේද නැවත ඉපදීමේ හැකියාව ඇතිවන්නේද එදිනෙදා ක්‍රියාකාරකම් තුළමය
  7. අද්භූත ආශ්චර්යය ලෙස නැවත ඉපදෙන්නේ නැත. සිහිය කමටහන් ආදී උපායන් පාවිච්චි කරන්නේ නම් අපායෙන් මිදිය හැකි අතර තවදුරටත් දියුණු කරන විට නැවත ඉපදීමක් ද සිදු නොවනු ඇත
139. දුබලතාවය

139. දුබලතාවය

  1. ඇස යනු ඉතාම දුර්වල ඉන්ද්‍රියකි.එයින් ඇත්ත නොපෙන්වයි. ගහ කොළ සතා සීපාවා ආදී ලෙස පෙනෙන්නේ ඒ නිසාය
  2. පෙනෙන දේ ඇසේ විභේදන ශක්තියට සාපේක්ෂකය.
  3. උදාහරණයක් ලෙස ඇසට අන්වීක්ෂයක් මෙන් ඉතා විශාල විභේදන හැකියාවක් ඇත්නම් රූපයන්, රූපයන් ලෙස හඳුනා ගන්නේ නැත. සියලු දේ අංශුමය ස්වරූපයෙන් දිස්වනු ඇත.
  4. තවදුරටත් ඇසේ විභේදන හැකියාව ඇත්නම් අංශු වෙනුවට ශුද්ධාෂ්ටකය ආදී ධාතුමය ස්වරූපයෙන්ම පෙනෙනු ඇත
  5. තණ්හාව දුරු වී පසේ බුද්ධත්වය ආදී ලෙස සසරෙන් මිදී යෑම අපේක්ෂා කළ හැක. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධවද මෙලෙසමය
  6. අපගේ ඉන්ද්‍රියන් ඉතා දුර්වලය. එම දුර්වල ඉන්ද්‍රියන්ට ගෝචර වන දෑ සත්‍ය යැයි මුලාවීම සසර යෑමට ප්‍රධානතම කාරණයයි
138. ටාගට්

138. ටාගට්

  1. ඉපදුන දා සිට දනගෑම, බහතේරීම, ළදරු පාසල්, පාසැල්, ශිෂ්‍යත්ව, ඕලවල් ආදී ලෙස අධ්‍යාපන කටයුතු සඳහා ටාගට් පවතී
  2. පසුව රැකියාව, විවාහය, පළමු දරුවා, දෙවන දරුවා, වත්කම්, වාහන ආදී ලෙස ද ටාගට් පවතී
  3. අවසානයේ දරුවන්ගේ විවාහය, දරුවන්ගේ දරුවන් බලා ගැනීම, ලෙඩ රෝග සුව කර ගැනීම ආදී ලෙස ද ටාගට් පවතී. අවසානයේ ලෙඩ දුක් විඳ මරුමුවට පත්වේ
  4. කිසි දිනෙක ටාගට් ඉවර වන්නේ නැත. ටාගට් යනු වළාකුලු වැනිය. ළඟට යන විට එහි එවැන්නක් නොමැත. ඉදිරියෙන් වෙනත් වලාකුලක් වෙනත් ස්වරූපයකින් දිස්වේ. කෙළවරක් නොමැත
  5. අවසානයේ ඉතිරි වන්නේ වෙහෙස, මහන්සිය, කනස්සල්ල, පසුතැවිල්ල ආදිය පමණි
  6. ස්වාමියා, බිරිඳ, දරුවන්, දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් ආදීන් හිස මුදුනේ තබා කටයුතු කළ ද එහි එවැන්නක්ද නොමැත
  7. විදර්ශනා කළ යුතුය. මස් ඇටකටු ආදී අසූචියම මිස වෙන කිසිවක් එතන නොමැත
  8. අවසානයේ සියල්ල මානසික වූ මුලාවක් බව ද වැටහෙනු ඇත. විරාගය නොඇල්ම ආදී ධර්මයන් ස්පර්ශ කොට නිවී සැනසී යනු ඇත
137. විදර්ශනාවට යමක්

137. විදර්ශනාවට යමක්

  1. මම යන්නක් පැනවීම නිශ්චිත පරිමාවක්, ස්කන්ධයක්, උෂ්ණත්වයක් ආදිය වත් ඇත්නම් සලකා බැලිය හැක
  2. අතීතයේ ද නොතිබෙන අනාගතයේ ද නොතිබෙන යමක් වර්තමානයේ තිබීමක් විශ්වාස කළ නොහැක
  3. ඉතා සංවේදී තරාදියකින් මනිනු ලැබුවේ නම් ශරීරයේ බර ක්ෂණයක් පාසා වෙනස්වෙයි. හුස්ම ගැනීමේදී බර වැඩිවේ. හුස්ම පිට කිරීමේදී බර අඩුවේ
  4. එලෙසම උෂ්ණත්වය, පරිමාව, හැඩය ආදිය ද ක්ෂණයක් පාසා වෙනස් වෙයි
  5. ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් බාහිරයටද බාහිරේ ඇති කොටස් අභ්‍යන්තරයට ද වේගයෙන් හුවමාරුවේ
  6. මම පරිහරණය, උදාහරණයක් ලෙස අත දරුවෙකුට ගුවන්යානයක පාලක මැදිරිය ලබා දුන්නා සේය
  7. ඉර පායන බව දැන ගත හැකිය. නමුත් දැනගත් පමණකින් එහි අයිතිය අප සතු නොවේ
  8. එලෙසම සිතිවිල්ලක් ද ඇතිවන බව පමණක් දැනගත හැකිය. දැනගත් පමණකින් සිතිවිල්ලේ අයිතිය අප සතු නොවේ