Report Menu
All Cards
Total Cards: 416 | Page: 15 of 21 | Showing: 20 cards
136. ඔන්චිල්ලාව

136. ඔන්චිල්ලාව

  1. ගැටගැසීමක්, ඇදීමේ බලයක් ද ආදි හේතු ඇති විට දෙපසට පැද්දීමක් සිදුවේ. ඔන්චිල්ලාව තුළ සිදුකරන ක්‍රියාකාරකම අනුව පැද්දීම අඩු වැඩිවීම තීරණය වේ
  2. ඒ දෙසට පැද්දෙන්නේ මේ දෙසට පැමිණීම සඳහාය. මේ දෙසට පැද්දෙන්නේ ඒ දෙසට පැමිණීම සඳහාය
  3. ද්වේශය, පළිගැනීම ආදී දෘෂ්ටියක් එහි නොයෙදෙන අතර පවතින්නේ හේතුඵල ක්‍රියාවක්ය. ගැටගැසීම ආදී හේතු නිසා ඇති වන පැද්දීම ගැට ගැසීම නැතිවන විට නැතිවන්නේය. හේතු නිරෝධ වන විට පැද්දීමක් පැනවෙන්නේ නැත
  4. සිත නැමැති ධර්මතාවය ද එසේමය. මෝහය ඇති විට අටලෝ දහම තුළ දෙපසට පැද්දීම සිදුවේ
  5. හඬා දොඩා ප්‍රාර්ථනා සිදුකර මෙයින් මිදිය නොහැක. අනුකම්පාව, සමාව, ආදරය, ආදී ධර්මතා යෙදෙන්නේ මානය සක්කාය දෘෂ්ටිය නැමති රාමුව තුළය. එම නිසා කිසිම සමාවක් ලැබෙන්නේ ද නැත
  6. මෝහය නැමැති හේතුව නිවැරදි වන්නේ කවදාද ඒතාක් මෙම පැද්දීම සිදුවේ. එම නිසා මෝහය මුලාව දුරු කිරීමට ම උත්සාහවත් විය යුතුය
135. සුතමය ඥානය

135. සුතමය ඥානය

  1. නිවන් මාර්ගය සඳහා සුතමය ඥානය අනිවාර්ය වූ සාධකයකි
  2. මානසික පරීක්ෂණය: එක සමාන, විවෘත කිරීමට අපහසු හිස් පෙට්ටි අනන්ත ප්‍රමාණයක් සලකන්න
  3. නිවන් මගෙහි යතුර එක් පෙට්ටියක ඇතැයි ද, එක් පෙට්ටියක් විවෘත කිරීමට අවුරුදු ගණනාවක් හෝ ජීවිත කාලයම යන්නේ යයිද සලකන්න
  4. කාලය, වීරිය, උපක්‍රම ආදිය කොපමණ යෙදුවත් යතුර ලබා ගැනීමේ හැකියාව ඉතා දුර්ලභය
  5. යම් උත්තම පුද්ගලයෙකු ඇඟිල්ල දිගු කර අසවල් පෙට්ටියේ යතුර ඇතැයි ඒකාන්තයෙන් පවසන්නේ නම්, එය වචන කිහිපයක් පමණක් වුවද එහි වටිනාකම කෙසේ නම් ප්‍රමාණ කළ හැකිද?
  6. තථාගතයන් වහන්සේ නොයෙකුත් විමුක්ති මාර්ග අතුරින් අසවල් දෙය ඒකාන්ත විමුක්තිය ලෙසද, එය අසවල් මාර්ගයෙන් ලැබෙන්නේ යයිද පැවසීමත් එලෙසමය
  7. එම ධර්මයන් දැනගැනීම සුතමය ඥානය වේ. එක් ධර්ම කරුණක් වුවද එහි සාර අසංඛ්‍යය කල්ප ලක්ෂයක පාරමිතා ශක්තියම ගැබ්ව පවතී. වටිනාකම වචන වලින් ප්‍රමාණ කළ නොහැක
134. සසර ජීවිතය

134. සසර ජීවිතය

  1. තවත් රාත්‍රියක් ද අවසාන විය..
  2. සංසාරය බොහෝ දුක ලෙස අප අසා ඇත. නමුත් එය අපට වචනයක් පමණ
  3. එම දුක කුමක්දැයි අපට තවම වැටහී නැත. සසර පුරා දුකම විඳ හිත හිරිවැටී ඇත
  4. ඇත්තෙන්ම සංසාරය දුකය. කිසිම සමාවක් නොමැත. සියලු උප්පත්ති භූමි සැකසී ඇත්තේ දුක් විඳීමටය
  5. දුක්ඛයන් වටහා ගත යුත්තේ දැන් මේ මොහොතේය. එවිට දුක නිමා කළ හැක, නොමැති නම් නොබෝ කලකින් එම දුක විස්තරාත්මක ලෙස විඳීමට සිදුවනු ඇත
  6. මනුස්ස ජීවිතය අහිමිවූ පසු දුක වටහාගෙන ඇති පලක් නැත. නැවත නැවතත් හිරි වැටුණු හිතට, හිරි ඇරෙනතුරු පහදා දිය යුතුය
  7. බොහෝ සංවේදී විය යුතුය. සංසාර ගමන පහසුවෙන් නිමා කළ හැක්කේ බුද්ධකාලයක ලැබූ මනුස්ස ජීවිතයකිනි...
  8. මේ තත්පරයෙන් තත්පරය ගෙවෙන්නේ ඔබට එසේ ලැබුණු තවත් වටිනා මනුස්ස ජීවිතයකි.
133. මාරයාගේ ඊහිස

133. මාරයාගේ ඊහිස

  1. මාරයාගේ දුන්නේ ඊ හිසේ ඇත්තේ උලක් නොව මලක්ය
  2. මලක් ලෙස සිතා පපුව දුන් විට ඊ හිස පපුව පසාරු කරගෙන යන්නේය. බොහෝ වේදනාවට දුකට පත්වන්නේය
  3. කාම සම්පත්තීන් ලබා ගැනීමට පෙර, අපටද එය සැපයැයි ද සුන්දර යැයිද පෙනේ
  4. නමුත් ලබාගත් පසු ඒ අනුබද්ධයෙන් බොහෝ දුක් විඳීමට සිදුවේ. බොහෝ විට තම මනුස්ස ආයුෂයම මේ ආදී දුක් නඩත්තුව සඳහා වැය වේ
  5. ඇත්තෙන්ම මලක් සංඥාවෙන් පැමිණෙන්නේ තියුණු උලක්ය
  6. උදාහරණයක් ලෙස ප්‍රේමවන්තයන්ගේ සියදිවි නසා ගැනීම් සෑම කාලයෙම සිදුවන දෙයකි
  7. එනම් එම සම්බන්ධය පටන් ගැනීමම ඔවුන්ගේ විනාශය සඳහාම සිදුවූවකි. මලක් ලෙස පැමිණි උලකි
  8. බොහෝ කාමයන් සම්බන්ධයෙන් මෙලෙසමය. අවසානයේ කෙළවර වන්නේ දුකකින්ය
  9. එනම් ඇත්තේ සැප දේ දුක ලෙස ද දුක දේ සැප ලෙසද පෙනෙන සංඥා විපල්ලාසයකි. විදර්ශනාව පිණිසය
132. ප්‍රාණඝාත කර්ම විපාක

132. ප්‍රාණඝාත කර්ම විපාක

  1. කර්ම විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ
  2. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය
  3. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය
  4. ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි
  5. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ
  6. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ
  7. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ
  8. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ
  9. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි. දැනගැනීම පිණිසය
131. චක්ෂු ප්‍ර‍සාදය

131. චක්ෂු ප්‍ර‍සාදය

  1. රූපයන් දක්නා වූ චක්ෂුර් විඥානය උපදනා ස්ථානය වූ ඇස තුළ පිහිටි ඔපය චක්ෂු ප්‍ර‍සාදය ය
  2. ඇසේ කළු ඉංගිරියාව මැද තෙලක් මෙන් පැතිරී පිහිටා තිබේ
  3. ඒ ඔපයෙහි ඉදිරියෙහි රූපයන්ගේ ඡායා පහළ වූ කල්හි, දකින සිත වූ චක්ෂු විඥානය උපදී. එයට දැකීම යයි ද පෙනීම යයි ද කියනු ලැබේ
  4. චක්ෂු ප්‍ර‍සාදය පිහිටි ස්ථානයේ ප්‍ර‍මාණය උකුණු හිසක් පමණ වන බව බොහෝ අභිධර්ම ග්‍ර‍න්ථවල දක්වා තිබේ
  5. පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුව යයි භූතරූප සතරෙකි
  6. භූත රූප සතර, වර්ණය, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය ය යන රූප නවය හා එක් ව චක්ඛුප්‍ර‍සාදය උපදී
  7. චක්ඛුප්‍ර‍සාදය සහිතව ඒ දශයක්ට චක්ඛුදසක කලාප යයි කියනු ලැබේ. ඉතිරි රූප නවයෙන් වෙන් ව චක්ඛුප්‍ර‍සාද රූපයට පමණක් නූපදිය හැකි ය
  8. චක්ඛු දසක කලාපය ඉතා කුඩා ය. උකුණු හිසක ප්‍ර‍මාණයෙහි දහස් ගණන් චක්ඛු දසක කලාප ඇත්තේය
  9. ඇසෙහි චක්ෂු දසක කලාප ක්ෂණ්‍යක් පාසා ම අලුතෙන් උපදී. ආයුෂය ගෙවූ කලාපයෝ නිරුද්ධ වෙති. පරණ කලාප නිරුද්ධ වීමෙන් වන අඩුවට ක්ෂණයක් පාසා ම චක්ඛු දසක කලාප උපදිති. දැන ගැනීම පිණිසය
130. ප්‍ර‍සාද රූප පස

130. ප්‍ර‍සාද රූප පස

  1. චක්ෂුඃ ප්‍ර‍සාදය, ශ්‍රෝත ප්‍ර‍සාදය, ඝ්‍රාණ ප්‍ර‍සාදය, ජිව්හා ප්‍ර‍සාදය, කාය ප්‍ර‍සාදය යි ප්‍ර‍සාද රූප පසෙකි
  2. ප්‍ර‍සාද යනු ඔපයට නමෙකි. කැඩ පත් ආදියෙහි අන්‍ය වස්තූන්ගේ ඡායාවන්ට ඇතුළු වී සිටීමට යෝග්‍ය ස්වභාවයක් ඇත්තේ ය. ඔපය යි කියනුයේ එයට ය
  3. සත්ත්ව ශරීරයන්හි ද රූපාදි ආරම්මණයන් ගේ ඡායා ප්‍රවේශ වීමට යෝග්‍ය වූ කර්මයෙන් හට ගත්තා වූ චක්ෂු විඥානාදීන්ට නිඃශ්‍ර‍ය වන්නා වූ ඔප පසක් ඇත්තේ ය
  4. ප්‍ර‍සාද රූපයෝ යයි කියනුයේ ඒ ඔප ගතිවලට ය. ඒවාට ඉන්ද්‍රිය යයි ද කියනු ලැබේ. මතකයේ තබා ගැනීමටය
129. නිවීම

129. නිවීම

  1. නිවීමේ අවශ්‍යතාවය ඇත්තේ ඇවිලීමක් ඇති විට ය.
  2. ගින්නක ඇවිලීමේ ස්වභාවය ගිනිදළු එකින් එක වැඩිවීමයි
  3. හටගත් ගින්නක පැවැත්මේ ස්වභාවය ගිනි දළු අඩුවීම වැඩිවීම ගිනි පුලිගු ලෙස පැවතීම නැවත ඇවිලීම ආදී ලෙසය
  4. ගින්නක ඇති හානිය වන්නේ ප්‍රධාන ලෙස පිච්චීමය
  5. එලෙසම සිත මුලාව මෝහය නැමැති ගිනිපුළිඟු ඇති විට ඇවිලීම සිදුවේ. ගිනි ගන්නා විට නැගෙන ගිනිදළු සිතිවිලිය. මෝහය නැමැති ගිනිපිලිඟු ඇති බැවින් නැවත ඇවිලෙන්නේය
  6. ගින්නක පිච්චීම පිච්චුනා එපමණය. නමුත් මෙහිදී සිදුවන පිච්චීමේ හානිය ප්‍රමාණකල නොහැක. ගෑස්ටික්, ස්ට්‍රෙස්, කනස්සල්ල, පීඩාව සිත විසිරීම ආදිය දිට්ඨධම්මවේදනීයව ලැබෙන අතර කර්මයන්, කර්මපථයන් සකස් කරමින් අවසානයේ නොනිවෙන ගින්නක් බවට පත්වේ
  7. මෙහි තරම දන්නා අයෙක් කිසිසේත් සසරෙහි නොරැදෙන්නේය. හිසෙහි හටගත් ගින්න නිවන්නාසේ වීරිය වඩා වහ වහා සසරෙන් එතෙර වීමට කටයුතු කරන්නේය.
128. මානය

128. මානය

  1. සත්ව පුද්ගල දෘෂ්ටිය මානයේ පදනම වේ. සසර ගත වැරදි වැටහීමක් හේතුවෙන්, උත්පත්තියෙන්ම, සත්වයෙක්/පුද්ගලයෙක් පැනවිය නොහැකි තැනක සත්වයේක්/පුද්ගලයෙක් ඇතැයි පනවා ගැනීම දුක ආදී සියල්ලටම ප්‍රධාන හේතුවයි
  2. මානයේ ඇති ප්‍රධාන හානිය වන්නේ මට උනා මම කළා ආදී ලෙස කර්මය බලගැන්වීමයි
  3. තවද දිට්ඨධම්ම ලෙස අටලෝ දහමින් සෙලවීම ඇති කරන සිතේ විසිරීම, කනස්සල්ල, පීඩාව, පසුතැවිල්ල, ඉච්ඡාභංගත්වය, ආදරය කරුණාව ආදී සියල්ලටම පදනම ද මෙයයි
  4. මුවා බොහෝ අහිංසක සතෙකි. නමුත් කාන්තාරයේ වතුර ඇතැයි යන වැරදි වැටහීම සිදුවූ පමණකින් බොහෝ දුකට සහ අවසානයේ මරුමුවට පවා පත්විය හැකිය
  5. එම නිසා සියලු අකුසලයන්ට වඩා මිථ්‍යා දෘෂ්ටිය/වැරදි වැටහීම ප්‍රබල වේ
  6. එලෙසම මානය යන වැරදි වැටහීම නිසාම සත්වයා බොහෝ දුකට පත්වන අතර නිරයන්හි පවා උප්පත්තිය ලැබීමට හේතුවේ
  7. නිවන් මගේ පාදම වන සක්කාය දිට්ඨිය දුරුවීමද අති ප්‍රබල ක්ලේශයක් වන මානය තේරුම් ගැනීම නිසා සිදුවන්නකි
  8. මේ මානයට එරෙහිව අවි එසවිය යුතු අවස්ථාවයි. යුද්ධයට නැති අවිය මක් කරන්නද...? තමා තමාගෙන්ම විමසිය යුතු ප්‍රශ්නයයි
127. තෘප්තිමත්භාවය

127. තෘප්තිමත්භාවය

  1. කොපමණ දේපළ, ධනය ආදිය ලැබුණත් සෑහීමට පත් නොවීම සිතේ ස්වභාවයයි
  2. ආහාර පාන, ඇඳුම් පැළඳුම් වලින්ද තෘප්තිමත් නොවන සිත තව තවත් රසවත් ගුණවත් ආහාර මෙන්ම විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් ද සොයයි
  3. නමුත් මීටර සීයක් නොපෙනෙන ඇස ගැන තෘප්තිමත්ය. සීමා සහිත කනෙහි ශ්‍රවණය ගැන තෘප්තිමත්ය
  4. කය කොපමණ පීඩා ගෙන දුන්නත් ඒ පිළිබඳ අරගල කරන්නේ නැත. හිස කැරකිය හැකි සීමාව මදියැයි චෝදනා කරන්නේ නැත
  5. ඒ වෙනුවට, තම රූපය ලස්සන යයි ද හැකියාවන් බොහෝ ඇතැයි ද ආඩම්බරය මිශ්‍ර තෘප්තිමත්භාවය ඇත
  6. අරගල කළ යුත්තේ රට රාජ්‍ය ආදි බාහිරය පිළිබඳව නොව, අසූචි පිටවන ශරීරය පිළිබඳවයි, සිතෙහි අසංවර භාවය පිළිබඳවයි, වේදනා ගෙන දෙන කය පිළිබඳවයි, අනවසරයෙන් සිතට පැමිණෙන සිතිවිලි ආදිය පිළිබඳවයි
  7. අප මෙපමණකල් සටන් කර ඇත්තේ කයෙහි දුර්වලතාවයන්ට එරෙහිව නොව, දුර්වලතාවයෙන් හෙබි සිත, කය නඩත්තු කිරීමටය
  8. සටන දිගටම කළ යුතුය, නමුත් සිතට එරෙහිවය. විදර්ශනාව පිණිසය
126. ලිඳට පැනීම

126. ලිඳට පැනීම

  1. ඉච්ඡාභංගත්වය හෝ යම් හේතුවකට ළිඳට පැනීම වැන්නක් තනිව කළ හැකිය. නමුත් එයින් ගොඩ ඒම සඳහා බොහෝ විට බාහිර කෙනෙක් හෝ පිරිසකගේ සහය අවශ්‍ය වේ. එසේ නොමැති විට විනාශයට පත්වේ
  2. එදිනෙදා කටයුතුවල ලිඳට නොපැන ළිඳට පනින අවස්ථා එමටය. එම අනුවණ ක්‍රියාවන්ට ගතවන්නේ කුඩා කාලයක්ය. නමුත් තමා පමණක් නොව බාහිර පිරිසද සමාජය ද බොහෝ කාලයක් පීඩාවට පත්වනු ඇත
  3. ලෞකික ජීවිතය යනු තවත් එක්තරා ළිඳකි. ළිඳේ විෂ්කම්භය සැරිසැරිය හැකි සීමාවයි. බැඳීම් ළිඳේ ගැඹුරයි
  4. ගතවන සෑම මොහොතකම දිවි රැක ගැනීම සඳහා ප්‍රශ්න නමැති ලිං ජලය සමග පොරබැදිය යුතුය. ඉදින් ගොඩ ඒම සඳහා උපක්‍රම යෙදීමට කාලයක් නොමැත. බොහෝ පිරිස් ලිංවල උදේ සිට රෑ වනතුරු ජබුන් ගසන්නේ ගොඩ ඒමට අපහසු බැවිනි. ළිඳ තුළම මරුමුවට පත්වේ. නැතහොත් නිවැරදි කිරීමට විශාල කාලයක් සහ බොහෝ පිරිසකගේ සහයක් ද අවශ්‍ය වේ
  5. තවද මෝහය ලෙස හඳුන්වන, ලෝකයේ යථාර්ථය වැරදියට තේරුම් ගැනීම හේතුවෙන් සසර ගමන් කිරීම මහත් වූ අසරණභාවයකි. මෙහිදී අප මෙන්ම අප නිසා ලෝකයාද බොහෝ අපහසුතාවයට, දුකට පත් විය
  6. මේ ආදී සියලුම දුක්ඛයන්ට එකම පිළිසරණය වන්නේ උතුම් වූ බුද්ධ ශාසනයක් පමණි. සියල්ල නිවැරදි කිරීමේ දුර්ලභ අවස්ථාව එළඹ ඇත. අප්‍රමාදීව කටයුතු කරන්න
125. ධාතු වන්දනාව සහ සිත පිහිටවීම

125. ධාතු වන්දනාව සහ සිත පිහිටවීම

  1. ධර්මය අග්‍රය. ශ්‍රේෂ්ඨය. කිසිවකට නොදෙවෙනිය
  2. ධර්මය ස්පර්ශ වූ බැවින් තථාගතයන් වහන්සේගේ ශරීරය, පරිහරණය කළ දෑ මෙන්ම දහඩිය පවා ධාතු බවට පත්විය
  3. ධාතු වන්දනාව ශ්‍රද්ධාව ආදී ලෙස නිවන් මගට හේතුවක් වුවත් අග්‍ර ඵලය නොවන්නේය
  4. ධාතු සරණ යෑම එක් කාමයක් අත්හැර තවත් කාමයක් පසුපස යෑමක් විය හැක. එක්තරා මුලාවක්ද විය හැක
  5. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙස ධාතු තුළින්ද ධර්මයන් මතුකර නිවන් මග විවෘත කර ගැනීම නුවණැතිය
  6. නිවනට හේතු සම්පත් නොමැති විට, දිව්‍ය ලෝක ආදියෙහි සිත පිහිටුවීම විකල්පයකි. නැතහොත් එය ප්‍රමාදයට හේතුවක් වනු ඇත
  7. දිව්‍ය ලෝක තුළ ඇත්තේද කාමයන්ය. මනුස්ස ලෝකය තුළ වූ කාමය අතහැර, සීලය ආදිය ආරක්ෂා කර, ඊට වඩා වැඩි දිව්‍ය වූ කාමයක් පැතීම මෝහ සහගත ක්‍රියාවකි
  8. කිසිම භවයක් වර්ණනා නොකළ තථාගතයන් වහන්සේගේ මග පෙන්වීම නිර්වාණයම සඳහාය...විදර්ශනාව පිණිසය
124. වන්දා

124. වන්දා

  1. වන්දා යනු පරිසරයට අනුවර්තනය වෙමින් ළඟට එන ගොදුරු ඩැහැගන්නා සතෙකි
  2. අවශ්‍ය විටෙක, තම ශරීර ප්‍රමාණය මෙන් බොහෝ ගුණයක් වන සතෙක් වුවද පහසුවෙන් මරා දමයි
  3. එලෙසම ක්ලේශයන් මෝහය තුළ සැඟවෙමින් අවශ්‍ය විට මතුවීම සිදුවේ. ක්ලේශයන් කුඩා වුවද සිදු කරන හානිය බොහෝය
  4. ක්ලේශයන් සිත තුළ පවතින්නේ වෙනත් වෙනත් ලේබල් ගසාගෙනය. වෙස් වලාගෙනය
  5. කුඩා ක්ලේශයක් වුවද ඉතා විශාල ලෙස සලකා වහ වහා දුරු කළ යුතුය. විදර්ශනාව පිණිසය
123. දුඃඛ ලක්ෂණය

123. දුඃඛ ලක්ෂණය

  1. ඉපැදීම් බිඳීම් දෙකින් නිරතුරුව ඇතිවන පීඩාව, බිය විය යුතු බව, බිය ගෙන දෙන බව, දුඃඛ උත්පත්තිස්ථාන හිමිවන බව ද දුඃඛ වූ ලක්ෂණයි
  2. මහ වැසි වසින විට විලක නැඟෙන දිය බුබුළු බිඳී බිඳී යන්නාක් මෙන් ද, රත් වූ කබලෙක අබ පුපුරන්නාක් මෙන් ද, මේ ශරීරයෙහි කෝටි ගණන් රූප කලාපයේ නිරන්තරයෙන් ම බිඳි බිඳී යති. තමන් ඇලුම් කරන්නා වූ ඒ රූපයන් බිඳි බිදී යෑම සත්ත්වයා හට දුකෙකි
  3. බිඳෙන රූපයන් වෙනුවට නැවත නැවතත් අලුත් රූප උපදවා ගත යුතුය. එ බැවින් බිඳී ගිය නොයෙක් වර්ග වලට අයත් රූපයන් නැවත උපදවා ගනු පිණිස නොයෙක් ආකාර ආහාර පාන ශරීරයට ඇතුළු කළ යුතු ය. බෙහෙත් සැපයිය යුතුය. ශීතල අධික වුවහොත් උණුසුම් කළ යුතුය. උෂ්ණය අධික වුවහොත් සිසිල් කළ යුතුය
  4. රූපයන් උපදවා ගනු පිණිස විඳින්නට වන්නා වූ ඒ දුක්, උපන් රූපයෝ නිත්‍ය නම් විඳින්නට නො වන්නේය. තවද ඉබේ ම රූපයෝ උපදින්නේ නම් ද විඳින්නට නො වන්නේය
  5. රූපය පිහිට කොට ගෙන වෙසෙන, තැනැත්තා විසින් සෑම කල්හි ම ඒ දුක් විඳිය යුතු ය
  6. බොහෝ දුක් දී පහළ වන්නා වූ රූපය සැණෙකින් බිඳෙයි. එය ද රූපය ආත්මය කොට සලකන සත්ත්වයා හට මහත් දුකෙකි
  7. මෙසේ ඉපැදීම් බිඳීම් දෙකින් රූප පෙළෙන බව රූප වල ඇති දුඃඛ ලක්ෂණයෙකි. රූපවල පමණක් නොව මෙම දුක්ඛ ලක්ෂණයෙන් සකල සංස්කාරයෝ ම, සංස්කාරයන් ආත්මය කොට ඇති, සංස්කාරයනට ඇලුම් කරන සත්ත්වයා නිරන්තරයෙන් පෙලෙන්නේය. විදර්ශනාව පිණිසය
122. අරමුණු සොයන සිත

122. අරමුණු සොයන සිත

  1. නිරය දුකෙහි ද හේතුව වන සිත නිරයට වඩා භයානකය
  2. සිතෙහි අරමුණක් ඇත. එය දුර්වල වන විට ප්‍රබල අනෙක් අරමුණකට මාරුවේ. මෙම සිද්ධිය උපතේ සිට මරණය දක්වාම සිදුවේ. කෙළවරක් නැත
  3. අරමුණුවල යම් රටාවන් ඇත. සිත දෙස බොහෝවෙලා බලා සිටීමේදී මේවා හඳුනාගත හැක (උදාහරණයක් ලෙස අයෙක් කොල්මන් කතාවක් පවසන විට අපටද අපගේ අත්දැකීමක් හෝ වෙනත් හොල්මන් කතාවක් මතක් වීම)
  4. අරමුණක ස්වභාවය දැනගැනීමය. දැනගැනීම සිතෙහි ඇතිවන සිතිවිල්ලක් පමණක් වන අතර එය සත්වයෙක්, පුද්ගලයෙක්, භෞතික වස්තුවක් නොවන අතර දැන ගැනීමක්ම පමණක් වේ
  5. එකම අරමුණ දැනගන්නා ආකාරය අනුව නිවන, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මෙන්ම නිරය වුවද තීරණය විය හැක
  6. දන්නා අරමුණු අතර පමණක් අරමුණු මාරුවීම සිදුවේ. එනම් අරමුණු මාරුවීමේ පරාසය දන්නා ප්‍රමාණයයි. නොදැකපු නොදන්නා දේ පිළිබඳ අරමුණු ගැනීමක් සිදු නොවේ
  7. අරමුණුවල වෙනස් වෙන ස්වභාවය දුක්ඛ ස්වභාවය පාලනය කළ නොහැකි ස්වභාවය ආදී ලක්ෂණ මෙනෙහි කරන විට අරමුණුවල බැසීම වෙනුවට අරමුණු හඳුනාගැනීම සිදුකළ හැක
  8. කළ යුත්තක් ඇත. අරමුණක හඳුනාගත යුතුය. අරමුණ හඳුනා ගැනීමට සිහියක් අවශ්‍යවේ. උපක්‍රම භාවිතා කළ යුතුය. ඓයට තුඩු දුන් මුලාව සිතට පෙන්වා දිම කළ යුතුය. නැවත නැවත පුරුදු කළ යුතුය
121. ස්වංක්‍රීය යන්ත්‍රය

121. ස්වංක්‍රීය යන්ත්‍රය

  1. ශරීරය යනු ස්වයංක්‍රීය අසූචි නිෂ්පාදන යන්ත්‍රයකි
  2. ආහාර ජලය ආදීය ඇතුල් කළ විට අසුචිය පිටවී යයි
  3. නව දොරින් නොයෙක් ප්‍රභේදයෙන් යුත් අසුචිය. නාසයෙන් සොටු, ඇසෙන් කබ, කනින් කනඳුරු, කටින් කෙළ සෙම වමනය, අධෝ මාර්ග වලින් මල සහ මුත්‍රාය
  4. සමස්ත ශරීරයෙන් ම පිටවන දහඩිය, තෙල, නියපොතු, ලොම් ආදී අසූචිය
  5. මෙම නොයෙකුත් අසුචි නිෂ්පාදන සඳහා ආහාර ජලය ආදීය ඇතුල් කිරීම, අදාළ ශරීරය නමැති යන්ත්‍රයෙන්ම ස්වයංව සිදු කරගනී
  6. කකුල් අතපය ආදිය ද ඉගෙනීම මතකය රැකියාව ලෙසද මෙම යන්ත්‍රයේ කොටසක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසාය
  7. තවද තවත් අසුචි නිෂ්පාදන යන්ත්‍ර ජනනය කිරීම සඳහාද මෙම යන්ත්‍රය තුළ පද්ධතියක් සකස්වී ඇත
  8. මෙම අසූචි නිෂ්පාදනය උත්පේරණය කිරීම සහ ස්ථායීතාවය සඳහා මෝහ මූලික ආදරය, කරුණාව, දයාව ආදී විශේෂාංග වලින්ද මේය සමන්විතය
  9. මේ අසූචිය සමග කුමන ගිවිසුම්ද? කිනම් ලස්සනක්ද? කිනම් ආශාවක් ද? කිනම් ලෝභයක් ද? විදර්ශනාව පිණිසය
No audio available
120. පුස්තකාල දර්ශන

120. පුස්තකාල දර්ශන

  1. කණ්නාඩියකින් දකින ප්‍රතිබිම්බයක ඇත්තේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ මිස වස්තුවේ ලක්ෂණ නොවේ
  2. එලෙසම අප ලෝකය සමඟ ගනුදෙනු කරන විට ඇස, කන, දිව, නාසය, ශරීරය යන දර්පනයන්ගෙන් ලැබෙන්නේ ප්‍රතිබිම්බයන් මිස වස්තූන් නොවේ (මෙතෙක් කල් භුක්ති විඳ ඇත්තේ ප්‍රතිබිම්බ මිස වස්තු නොවේ)
  3. එම ප්‍රතිබිම්බ අතීත දැනුමෙන් සහ මෝහයන් ද මිශ්‍රවී සත්වයන් පුද්ගලයන් වස්තූන් ලෙස මුලාවක් නිර්මාණය වී ඇත
  4. අප ගනුදෙනු කර ඇත්තේද, කරන්නේද මෙම මානසික වූ ප්‍රතිබිම්බ සමඟයි. නමුත් මනස විසින් මේවා බාහිර ඇතැයි ද පෙනෙන්නේ එම වස්තූන් ලෙස ද මුලාවක් රඟ දක්වයි
  5. නමුත් බාහිර පවතින්නේ වෙනත් ධර්මතාවයක්ය. තථාගත දේශනාවේ අභිධර්මය කොටස තුළ මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ඇත
  6. ආලෝකය ඇති විට පමණක් පෙනීම සිදුවේ. සරල ලෙස ආලෝකය වස්තුව මත පතනය වී ඇස මත ප්‍රතිබිම්බයක් සෑදේ
  7. මනසට ග්‍රහණය වන්නේ එම ප්‍රතිබිම්බයයි. ආලෝකය නැති විට ප්‍රතිබිම්බයක් හට නොගනියි. එම නිසා පෙනීම හට නොගනියි
  8. පුද්ගලයන් වස්තූන් ලෙස ඇත්තේ මුලාවන්ය. ක්ලේශයන්ය. කෙලෙස් ගුලි ය. මේය එක්තරා විදර්ශනා මාර්ගයකි. කල්පනා කර බලන විට නොයෙකුත් වැටහීම් සිදුවනු ඇත
No audio available
119. කැමැත්ත

119. කැමැත්ත

  1. කැමැත්ත අකමැත්ත යනු ලෝක ධර්මතාවයක්ය. පුද්ගල අනන්‍ය, පුද්ගලයෙක් සතු දෙයක් නොවේ
  2. ධර්ම මාර්ගයේ යන සමහරෙකුට ධර්මයට ඇත්තේ අඩු කැමැත්තක්ය
  3. අදහස වන්නේ වෙන දෙයකට වැඩි කැමැත්තක් ඇති බවයි
  4. කැමැත්ත දුරු කිරීම පිණිස ඇති කැමැත්ත උතුම්ම කැමැත්තයි
  5. අකමැත්ත යනු තවත් කැමැත්තකි
  6. කැමැත්ත කැමැත්තක්ම මිස එය තමන්ට අයිති දෙයක් නොවේ. කැමැත්තට තුඩු දුන් හේතු නැතිවෙන විට කැමැත්ත නිරායාසයෙන් නැතිවී යනු ඇත
  7. කුඩා තරුණ මහළු ආදී ශරීරයන්ට සාපේක්ෂවද, ගැහැණු පිරිමි බව අනුවද, ස්ථානය අනුවද, කුසගිනි ඇති විට, නැති විට ආදී ලෙසද කැමැත්ත වෙනස් වේ. (බොහෝ විට පොදු වූ කැමැත්තන් පවතී)
  8. අදහස් වන්නේ කැමැත්ත පුද්ගල අනුබද්ධ නොවන බවයි. එය තම කැමැත්තක් නොව සැමදා ලොව පවතිනා වූ හේතුඵල ක්‍රියාවලියකි
  9. කැමැත්ත පැවැත්මට වූවකි. තම කැමැත්ත ලඝු වී ඇති ස්ථාන හොඳින් හඳුනාගත යුතුය. එයට තුඩු දුන් හේතුන් සොයා දුරු කිරීම කළ යුතුය
118. වඩා ප්‍රබල හේතුව

118. වඩා ප්‍රබල හේතුව

  1. ලෞකික භූමිය තුළ සිදුවන ක්‍රියාවන් අර්ථ සහ අනර්ථ හෝ හොඳ නරක ලෙස වෙන් කෙරේ
  2. මෙය සත්ත්වයෙකුට පුද්ගලයකුට සාපේක්ෂක ධර්මයකි. එහි පදනම වන්නේ අදාළ සත්වයා පුද්ගලයාගේ සැපයයි
  3. නමුත් ලෝක ධර්මතාවයට අර්ථ අනර්ථ නැත. ඇත්තේ හේතුඵල පමණි. ඒ හේතුවට අදාළ ඒ ඵලය, මේ හේතුවට අදාළ මේ ඵලය ලෙස වේ
  4. එම නිසා ලෝක ධර්මතාවය තුළ ආදරය අනුකම්පාව දයාව සෙනෙහෙය වැනි දෑ නොයෙදේ
  5. හේතු සකස් වූ විට සත්වයා කොපමණ දුකකට පත්වුවද, ලොකු කුඩා භේදයකින් තොරව, කිසිම අනුකම්පාවකින් තොරව ඵලය ක්‍රියාත්මක වේ.
  6. එම නිසා ලෝක ධර්මතාවයට බිය විය යුතුය.
  7. අඹ ගෙඩිය යනු ඵලයකි. හේතුව වන්නේ අඹ ගසයි. ප්‍රබල වන්නේ අඹ ගෙඩිය නොව හේතුව වන අඹ ගසයි. අපගේ අවධානය යොමු විය යුත්තේ ඵලයට නොව වඩා භයානක හේතුවටය
  8. අවධාරණය කළ යුතු කරුණක් ඇත. නිරයේ දුක ඵලයකි. එයට හේතු සකස් කරන හේතුව නිරයට වඩා බිහිසුණුය....
117. කැටලොග්එක

117. කැටලොග්එක

  1. සිත මෙන්ම එහිම ජන්මයක් වන ශරීරය යනු බොහෝ සංකීර්ණ විෂයකි
  2. සියලුම නිරය ආදී දුක්ඛයන්ට හේතුව වන්නේ මේ පිළිබඳ නිවැරදි කියවීමක් නොමැති වීමයි
  3. ඔබ අප, සිත නැමැති නාඳුනන ධර්මතාවයට පැටලී බොහෝ කල්ය. සිත නැමැති ධර්මතාවය කිසිසේත් අපගේ යහපතට නොවන බව අවධාරණය කළ යුතුය
  4. මෙහි තතු දන්නා අයෙක් නිරෝධයම මිස වෙනත් කිසිවක් නොපතන්නේය
  5. කුඩා දරුවෙකු අන් වචනයට මුලාවී ගෝනි බිල්ලෙක් හෝ එවන් චරිතයක් සිතින් මවාගෙන එයට බිය වෙමින් තැති ගනිමින් ඇතිවන තත්ත්වය එහි තතු වැටහීම සමග නිරෝධ වන්නේය
  6. එලෙසම මුලාවෙන් සකස් වූ සිතෙහි තතු සිතටම වැටහීම සමග සිතද නිරෝධ වී යන්නේය
  7. මේ සඳහා සිතෙහි තතු දැනගැනීම අනිවාර්ය වේ. මේම ඉගැන්වීම සිදුවන්නේ බුද්ධ ශාසනයකින් පමණි
  8. බුදු දහම යනු සිතෙහි ඔරිජිනල් කැටලොග් එකයි. ඒමගින් සිත මෙන්ම එහි පැනවීම් වන උත්පත්ති භූමි මෙන්ම ශරීරයන්ද පරිපූර්ණ ලෙස ආවරණය වේ
  9. සිත පිළිබඳ ඉගැන්වීම ඉතා දුර්ලභය. තම සසර ගමන නැවතීමට සංවේදී විය යුතු මොහොත එළැඹ ඇත..