Report Menu
All Cards
116. කඹ ඇදීම
- සසර ගත සත්ත්වයා කාම වස්තුන් සම්බන්ධ කඹ ඇදීමක නිරතවේ
- මාරයාගේ දිශාවේ කඹය ඇත්තේ අදින විට හිරවෙන ලෙසය. එක්තරා සීමාවකින් එහාට කිසිසේත් ඇඳිය නොහැක. අඳින විට සිදුවන්නේ පරාජය වීමය
- මෙම ක්‍රීඩාව කළ හැකි වෙනත් ආකාරයක් ඇත. කඹය අල්ලාගෙන, ඇදීම නොකළ යුතුය. සුදුසු ලෙස අතහැරීම සිදුකළ යුතුය
- ලැබුණු දෙයින් සෑහීමට පත් වීම. නොලැබුන දේ පිළිබඳ අරගල නොකිරීම. ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටීම ආදිය එම ක්‍රීඩාව සිදුකරන ආකාරයයි
- ඉහත මානසික මට්ටම නොයෙකුත් ගුණ පුරුදු කිරීම, ප්‍රත්‍යක්ෂය ආදී කාරණා මත සිදුවේ
- ලැබී ඇත්තේ ලැබීමට තිබූ දේය. නොලැබී ඇත්තේ නොලැබීමට තිබූ දේය
- නොලැබීමට ඇති දේ ලැබෙන්නේ නැත. ලැබීමට ඇති නොලැබෙන්නේද නැත
- අසූ හාරදාහක් ධර්මස්කන්ධය යනු ලෝකය හා ගනුදෙනු කරන ක්‍රමවේදයයි. ලං කර ගන්නේ නැත. විසිකරන්නේද නැත. පරිහරණය නොකරන්නේ ද නැත. පරිහරණය කරන්නේද නැත
- මක්නිසාද අත්හැරීම යනු අවබෝධයක්ම මිස අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නොවන බැවිනි. විදර්ශනාව පිණිසය
115. සිත
- සිත විටෙක මළ ගෙයක් වැනිය. විටෙක කම්හලක් වැනිය. වැස්සක්, සොහොනක්, සිරකුටියක් වැනිය. නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුත් වෙනස්වීම් නුඹ සතුය
- දයාබර සිත, මා එය දකිමි. නමුත් නුබට කල හැකි දෙයක් නැත
- රැවටීම ඔබගේ කලාවයි. මුලා කිරීම ඔබගේ ස්වභාවයයි. බොරුව ඔබගේ අත්තිවාරමයි. ඔබේ ස්වාමියා මෝහයයි
- නුඹ මම යයි මෙතෙක් කල් රැවටී සිටියෙමි. නුඹ නිසා බොහෝ කල් අපායවල දුක් වින්දෙමි. නුඹ නිසා මා නොයෙක් වර හැඬූ කඳුළින් ගත කළෙමි. බොහෝ පීඩා වින්දෙමි
- අතීතයේ සැමදා ම නුබේ වහලෙක් වී වාසය කලෙමි. නුබ කී දේම කලෙමි. ඉල්ලු සියල්ලම ලබා දුනෙමි. නුඹට කිසිම කෙළෙහිගුණයක් නැත
- මේ මොහොතේ නම් නුබ අසරණය. නැවත නුඹට හිස එසවීමට ඉඩ නොතබමි
- නුඹට එරෙහිව බුද්ධ ධම්ම සංඝ ලෙස ප්‍රබල සේනාංක තුනක සහාය මා සතුව ඇත. නුඹගේ අවසානය නොබෝ කලකින් සිදුවනු ඇත
114. ශරීරය
- ශරීරය පිරී ඇත්තේ මළ මූත්‍ර සහ නොයෙකුත් අසුචියන්ගෙන් වන අතර බරින් හාල්මිටියක්, දෙකක් තරම් වත් නොවන්නේය
- වැසිකිලි අවශ්‍යතාවය වත් කල් දමා ගැනීමේ, පාලනය කිරීමේ හැකියාවක් අප සතුව නැත
- නොයෙකුත් රෝග පීඩාවන් වැළඳෙන්නේ අපගේ කිසිදු අවසරයකින් තොරවය
- ශරීරයේ සම කෙස් ආදි ශරීර කොටස් නොදන්වාම ශරීරයෙන් ගැලවී වැටෙන්නේය
- සිතිවිලි ද නොදන්වා පැමිණෙන්නේය. නොදන්වාම පිටවන්නේය
- ඉපදීම මරණය වුවද එය එලෙසමය. නොදන්වා නොසිතූ මොහොතක සිදුවන්නේය
- කෙසේ නම් මෙම කසල කුඩුම්බිය මම වන්නේද? මගේ වන්නේද? විදර්ශනාව පිණිසය...
113. දුර්වලතාවය
- සොබා දහම තුළ පළමුවෙන් ගොදුරු වන්නේ දුර්වලයාය
- මානසික දුර්වලතාවය ඇත්තා පහසුවෙන් සසරේ ගොදුරක් බවට පත්වන්නේය. නිර්වාණය මගහැරෙන්නේය
- කායික දුර්වලතාවය මානසික දුර්වලතාවයේ ප්‍රතිඵලයකි
- සියලු දුක උරුම වන්නේද මානසිකව දුරුවරයාටය. මානසික පීඩාව, ආතතිය මෙන්ම අන් අයගේ වහලෙකු බවටද පත්වන්නේය. තවද මරණින් මතු සතර අපායවල ද උපදින්නේය
- මානසිකව ශක්තිමත් රහතුන් වහන්සේලාට මානසික පීඩාවක් නැත. උන්වහන්සේලාගේ බඩගින්න ආදී කායික පීඩාවද සමනය කරන්නේ අන් පිරිසක්ය
- උන්වහන්සේලා මේ ලෝකයෙහි සැපෙන්ම ජීවත්වී නිර්වාණ සැපයට ද ළඟාවේ
- මානසික ශක්තිය දිනෙන් දින වර්ධනය කළ යුතුය. සෘජුවිය යුතුය. දැඩි විය යුතුය
- මහා සුළඟින් අකම්පිතව සිටින ගල් පර්වතයක් සේ ශක්තිමත්ව වාසය කළ යුතුය. අටලෝ දහම තුළ අකම්පිත සිතක් ඇතිකර ගත යුතුය. වීරිය පිණිසය..
112. අසරණකම
- කාර්යබහුලකම, වැඩ අධිකකම, දේපළ, වතුපිටි, ළමයින්, ලෝකය දෙස බලා සිටින අප තුළ අසරණකම ගැඹුරේ සැඟවී පවතිනු ඇත
- තරුණ ජවයට, නිරෝගී කමට, හැකියාවට, රැකියාවට, ලස්සනට මුවා වී ද අසරණකම පවතිනු ඇත
- ආයුෂය අහිමිවන විට ලස්සන අහිමිවන විට හැකියාවන් අහිමිවන විට අසරණකම ක්‍රමානුකූලව ඉස්මතු වනු ඇත
- අහිමි වූ නිරෝගිකම කිසි දිනක නැවත පැමිණෙන්නේ නැත. සුන්දර අතීතය මතකයක් පමණක් වී ඇත. පෙර ළඟ සිට සැනසූ මව, පියා, ස්වාමිපුරුෂයා, බිරිඳ කිසිවෙක් ගෙන් පිහිටක් නැත
- එවිට ඉකි ගසා ඇඬීමම මිස කල හැක්කක් නොමැත. මරණය එක් පසෙකින් අත වනනු ඇත. එක් පසෙකින් අතීතය මෙනෙහි වනු ඇත
- කළ අකුසලයන් විටින් විට මතකයට එන විට නොදැවී දැවෙනු ඇත
- අවදානම ඒකාන්තයෙන් පැමිණෙනු ඇත. සූදානමින් සිටින්න...
111. නිරය
- බුද්ධ දේශනාවේ සඳහන් නිරය යනු ඔබ අප දීර්ඝ කාලයක් අති විශාල දුකක් විඳි ස්ථානයකි
- නොදන්නාකම නිසා සිදුවන සුළු ක්‍රියාවක් වුවද නිරයට යාමට ප්‍රමාණවත්ය
- වද හිංසා පමුණුවන නිරය යනු වධකාගාරයකි
- බොහෝ දෙනෙකුගේ අදහස නිරය යනු දරුවන් නලවා ගැනීමට ගෙතු බොරුවක් ලෙසය. එහෙත් ඉර හඳ යම්සේ දිස් වේද එලෙසම නිරය සත්‍ය වේ
- නිරයේ දුක් හා සසඳන විට අපට ඇති ලොකුම දුකක් වුවද ඇල්පිනිති තුඩක් තරම්වත් නොවන්නේය
- අපට පැමිණෙන දුක්, මානසික තැවුල් ඉතා කුඩාය. නිරයෙහි දුක ඉතා විශාලය. අප තවම නිරයට වැටී නැත්තේය යැයි සිතමින් ඒම දුක්, මානසික පීඩාවන් යටපත් කළ යුතුය
- ඔබ අප සිටින්නේ සුන්දර ලෝකයක නම් නොවේ. කුඩා අතපසුවීමක් බොහෝ ආදීනව ගෙන දේ. සමාවක් අනුකම්පාවක් කිසිසේත් නොමැත
- නැවත නිරයට නොයෑම පිණිස කළයුත්ත කළ යුතුය. නොකළ යුත්ත නොකළ යුතුය
- නිරය දුක මෙනෙහි කරමින් ආතාපි වීරියෙන් මාර්ගය වඩා සසර ගමන අවසාන කළ යුතුය. සසර බිය ඉපදවීම පිණිසය...
110. බඩගින්න
- දිනපතා බඩගින්න ඇතිවන ශරීරයක් ඇත. එක් වතාවක් නොව කිහිප වතාවක් ලෙසද අඛණ්ඩව ජීවිත කාලය අවසන් වනතුරු ද මෙම මහත් වූ පීඩාව පවතී
- කිසිසේත් බඩගින්නට වංගු ගැසීමක් කළ නොහැක. එක් වේලක් මගහැරුණොත් ක්ලාන්තය, දෙවේලක් තුන් වේලක් මගහැරුණොත් රෝගය, ඊට වැඩි වුවහොත් මරණය වුවද සිදු විය හැක
- ඉගෙනීම කළ යුතුය. රැකියාවක් කළ යුතුය. දුක් මහන්සියෙන් හම්බ කළ යුතුය. අවසන් ප්‍රධාන අරමුණ ද බඩගින්න නිවීමයි
- මෙය කරදරයක්, ලෙඩක් ලෙස පිලි නොගැනීම සාංසාරික ලෙස දුකට හුරු වීමේ ප්‍රතිඵලයකි
- ආහාර ලබාදීමේ ස්වාධීනත්වයක් අපට නැත. බොහෝ සීමාවන් පවතී (සරිලන ලෙස පිසීම, දිවෙහි රුචිය, රෝග, මිල, ප්‍රමාණය ආදී ලෙසය)
- අඩුව වුවහොත් මන්දපෝෂණයකි. වැඩි වුවහොත් රෝගයකි
- ආහාර සෙවීම ඇමක් ලෙස ස්වභාව දහම තුළ ක්‍රියාත්මක වේ. බොහෝවිට ජීවිතයද තොරවේ (මුවෙක් ආහාර සොයා යෑමේදී ගොදුරක් බවට පත්වීම)
- බඩගින්න යනු සුව නොවන රෝගයකි. මහත් වූ දුකකි පීඩාවකි. වහල් භාවයකි. විදර්ශනාව පිණිසය
109. දේපළ
- ජීවත් වීමට නොයෙකුත් දේ රැස්කිරීම ස්වභාවයයි. ඒවා සඳහා පනවා ගත් වටිනාකම් පවතී
- නොපෙනෙන කාරණය නම් එම පනවාගත් වටිනාකමේ ප්‍රමාණයට නොයෙකුත් ප්‍රභේද සහිත දුකක්ද අන්තර්ගත වීමයි
- එම දුක අනාගතයේ නොයෙකුත් ආකාරයෙන් විඳීමට සිදුවනු ඇත
- තමා සන්තක දේපලක් ඇත්නම්, ගැනීමට පෙර සිදුකළ වෙහෙස පටන් නඩත්තුව, ආරක්ෂා කිරීම ආදී බොහෝ දුක් විඳීමට සිදුවනු ඇත
- යම් සිදුවීමකින් අහිමි වනු ඇති නම් එවිට දැනෙන දුක අල්ලා ගත් ප්‍රමාණය තරම්ම විශාලය
- බොහෝ විට එහි අයිතිය පිළිබඳ මාන්නයක් ද, වෙනත් නොයෙකුත් ප්‍රභේදයෙන් යුත් කෙලෙස් ද ගොඩනැගුණු ඇත
- හොඳින් බලන විට වත්කම් ලෙස ගොඩනගාගෙන ඇත්තේ කෙලෙස් ගොන්නක්ය. දුකක්ය
- තම දේපළ ඇත්තේ හේතු ඇතිතාක් පමණි. හේතු බිඳීමත් සමග නැතිවී යනු ඇත. දේපළ ලෙස පැවති ඇත්තේ මානසික මුලාවක් පමණි. විදර්ශනාව පිණිසය...
108. මානසික පිළිබිඹුව
- අම්මා යනු මානසික පිළිබිඹුවකි
- මව මුලින්ම දැකපු මොහොතේ සිට ඇය සම්බන්ධයෙන් ඇසට වැටුණු වර්ණ, කණට ඇසුණු ශබ්ද, නාසයට දැනුණු සුවඳ, දිවට දැනුණු රස, ශරීරයට ලැබුණු පහස අනුබද්ධයෙන් මව නැමැති මානසික පිළිබිඹුව සකස් වී ඇත
- මෙම පිළිබිඹුව තම අත්දැකීම් සහ මතකයන්ගෙන් බොහෝ ශක්තිමත් වී බිඳිය නොහැකි මානසික සංඥාවක් බවට පත්වී ඇත
- යම් හෙයකින් මව මිය ගියහොත්, සහ එය නොදන්නා තාක් දුක දැනෙන්නේ නැත. හේතුව උක්ත මානසික පිළිබිඹුවට හානියක් සිදු නොවූ බැවිනි
- බොහෝ කාලයකින් පසු හෝ එය දැනගත් මොහොතේ ඉහත මානසික පිළිබිඹුවට හානි සිදුවේ
- එවිට, එම මානසික පිළිබිඹුව කොපමණ ශක්තිමත්ද, එපමණ දුකක් ඇතිවේ
- මව යනු මානසික පිළිබිඹුවක් සහ රැවටීමක්ම මිස, එය බාහිර ඇතැයි වැටහීම මහත් වූ මුලාවකි
- අනෙකුත් සියලුම පුද්ගලයන් සම්බන්ධව ද සියලු භෞතික දේ සම්බන්ධව ද එය එසේමය
- සියල්ල මානසික වූ මුලාවකි. එපමණකි. ගැඹුරු විදර්ශනාව පිණිසය...
107. මරණානුස්සතිය 3
- තුන් ලෝකයක් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේද, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද, මහ රහත් උතුමන් වහන්සේලාද අතීතයේ සිටි සක්විති රජවරුන්ටද මරණය උරුම වූයේය
- එසේම තමන්ට පමණක් නොව තමන් ඇසුරු කරන ඥාති හිත මිත්‍රාදීන්ද මරණයට ගොදුරු වූ වරෙන්තු කරුවන්ය
- ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක වරෙන්තුව ක්‍රියාත්මක විය හැක
- පෙර ඇති වූ සියල්ලෝම මැරෙනවා යන හැඟීම සාක්ෂියක් කොටගෙන තමන්ද ඒ ධර්මතාවය ඒකාන්තයෙන් සිදුවන බව භාවනාවෙන් පසක් කරගත යුතුය
- “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේය ජීවිතීන්ද්‍රිය සිඳී යන්නේය යනු අර්ථයයි
- බොහෝ අනුහස් ඇති මරණානුස්සතිය හැකි උපරිම ශක්තිය යොදා වඩනු සුදුසුය... නිවන් මග බොහෝ ඉක්මන් වනු ඇත....
106. සම්භාවිතාව
- "බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලුම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නොහැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නොහැකි වේ"
- ඉතා සංවේගය දනවන ඉහත තථාගත පණිවිඩය අනමතග්ග සංයුත්තයහි ගංගා සූත්‍රයෙහි සඳහන් වේ
- එම කාලය පුරා අප ද සසර ගමනේ කොටුවී සිටියෙමු. සැප විඳිමින් නොවේ. දුකම විඳිමින්ය
- බුදුවරු බොහෝ මුණගැසුණත් ඒ සෑම අවස්ථාවකම අපගේ නිවන මගහැරී ඇත
- නැවත විමර්ශනය කළ හැකි නම් ඒවා පහත ලෙස වර්ග කළ හැක
- සිතෙහි දුර්වලතා නිසා, මව නිසා, පියා නිසා, දරුවන් නිසා, ඥාතියෝ නිසා, පෙම්වතා නිසා, පෙම්වතිය නිසා, ස්වාමිපුරුෂයා නිසා, භාර්යාව නිසා, රෝග පීඩා නිසා, ස්වභාවධර්මය නිසා ආදී ලෙසය
- සියල්ල සිදුවී හමාරය. මේ ජීවිතයේ එසේ වීමට ඉඩ දිය නොහැක
- තමා සතු සියලු ශක්තිය යෙදවිය යුතු අවස්ථාව එළඹ ඇත. සංවේගය පිණිසය...
105. මාන්නය
- මාන්නය යනු සසර පැවැත්ම ශක්තිමත් කරන අති ප්‍රබල ධර්මතාවයකි. අනවබෝධයේ ප්‍රමාණයට ක්‍රියාකාරකම්වල මාන්නය මිශ්‍ර වේ
- පෘථග්ජන සිතකට, කතා කිරීම, කතා නොකිරීම මාන්නයයි
- තම තතු නොපැවසීම මාන්නයයි. තම තතු පැවසීමද මාන්නයයි
- හිඳගෙන සිටීම, සිටගෙන සිටීම, නිදාගෙන සිටීම මාන්නය යි
- කුමන උත්සාහය දැරුවත් අනවබෝධය පවතී නම් ක්‍රියාකාරකම් තුළ මාන්නය මිශ්‍ර වේ
- මාන්නයෙන් තොරවීමට දරන උත්සාහයද මාන්නයක් වෙයි
- තමන්ට මාන්නයක් නැතැයි මාන්නයට පත්වේ
- මාන්නයෙන් තොරවීම වෙනුවට අවබෝධයන් දියුණු කළ යුතුය
- එවිට, අවබෝධය සමග ක්‍රියාකාරකම්වල මිශ්‍රිත මාන්නයේ ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩුව ගොස්, භව නිරෝධය සමඟ මාන්නය ද නිරෝධ වේ. විදර්ශනාව පිණිසය...
104. මරණානුස්සතිය 2
- යමෙක් මරණසතිය වඩන්නේ නම් ඔහු නිවනට බැස ගත්, නිවන කෙළවර කොට ගෙන ඉන්නා අයෙක් බව තථාගත දේශනාවය
- මරණයට මුහුණදීම පමණක් නොව, සදාකාලිකවම මරණයෙන් මිදිය යුතුය යන ඥානය ඇති කරවීමද අරමුණකි
- එයින් ඔබට මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය, යනුවෙන් සිහියක් මෙන් ම ලබා ඇති නිස්සාර ජීවිතය ගැන සංවේගයක්ද ඇති වන්නේය
- මේ නැවත නැවත මැරි මැරී යන සසර ගමනෙන් මිදිය යුතු බවට පෙර නොතිබූ ඥානයක් ඇති වන්නේය
- කයෙහි (රූපයෙහි) මෙන්ම වේදනා, සංඥා ආදියෙහි ආදීනවයම මනසිකාරය වන්නට පටන් ගන්නේය
- එයින් ආශ්වාදය බිඳ ආදීනවයම ප්‍රකට වන්නට පටන් ගන්නේය. එයින් නිස්සරණයේ පිහිටන්නේය
- ඇති තතු දැකීමෙන් ආර්ය භාවයට පත්ව නැවත භවයකට වූ තණ්හාව දුරු කර චුති චිත්තය සමග නිවී යන්නේ ය. එනිසා සියල්ලෝම අප්‍රමාදීව මරණසතිය වඩත්වා...
103. මරණානුස්සතිය
- මරණානුස්සතිය සිදු කළ යුතු, බොහෝ ආනිසංස ඇති භාවනාවකි. කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාන හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි
- කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතුද ?
- හුදු ඒකාන්තවම මැරෙන බව දැකීමටය
- අවසානයේදී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දීමෙන් අර්ථයක් නැති බව දැකීමටය
- කෙළවරක් නැති ව ජීවිත තරඟයක ඉන්නේ ඵලක් නැති කයක් පෝෂණය කිරීමට බව දැකීමටය
- අවුරුදු 60ක් හෝ 70ක් වන තාවකාලික ජීවිතයේ අර්ථයක් ඇත්දැයි කල්පනා කිරීමටය
- මරණින් මතු යන්නට ඇති කෙළවරක් නොපෙනෙන, පිහිටක් පිළිසරණක් නැති සසර ගැන දැකීමට ය. මරණානුස්සති භාවනාව පිණිසය...
102. නිදහස් වීම
- බොහෝ පිරිස් නිදහස්වීම අපේක්ෂා කරයි. එම නිදහස්වීම බොහෝවිට සිරගත වූ පුද්ගලයෙක් සිරගෙය මාරු කිරීම වැනිය
- එක් තැනකින් නිදහස් වී තවත් තැනක සිරවීම සිදුවේ. පෘථග්ජන සිත එක් සිර ගෙයක සිට අනෙක් සිර ගෙයක නිදහස ඇතැයි අපේක්ෂා කරයි
- නිදහස්වීම සාපේක්ෂය. සිරෙන් නිදහස් වූ පුද්ගලයාට කරදරවලින් නිදහස් වීමේ දුක ඇත
- කරදර වලින් නිදහස් වූ තැනැත්තාට දරුවන්ගෙන් හෝ පවුල් බරින් නිදහස් වීමේ දුක ඇත
- පවුල් බරින් නිදහස් වූ විට මළ මුත්‍ර ජරාවට පත්වීම ආදී ශරීර බරින් නිදහස් වීමේ දුක ඇත. එයට සමගාමී ලෙස මානසික දුකින් නිදහස් වීමේ දුක ඇත. විසඳුමක් නොමැත
- නමුත් විය යුත්තේ මම නැමැති දෘෂ්ටියෙන් නිදහස් වීමයි. හේතුව සංසාරය උසුලා සිටින්නේ අති ප්‍රබල ධර්මතාවයක් වන මම නමැති දෘෂ්ටියයි
- එවිට ඉහත කී සියල්ල එකින් එකින් නිදහස් වනු ඇත. අවසානයේ සංසාර ගමනින් නිදහස් වනු ඇත. විදර්ශනාව පිණිසය...
101. බැටරිය
- සංසාර යනු ෆෝන් එකක් උපමා කළ හැකිය
- එක් ජීවිතයක් යනු නොදන්නා බැටරි ලෙවල් එක බසින තුරු ෆෝන් එකක් පාවිච්චිය වැනිය
- එය තුළම ඇතිවන නොයෙකුත් කර්මයන්ගෙන් ආරෝපණය වන අතර එමගින්ම එය පණ ගැන්වෙයි
- ලෝකය දෙස ඇස කන දිව නාසය ශරීරය ඔස්සේ ලෝකය බැලීම ෆෝන් එක බලනවා වැනිය
- මෙය සංඥාවක් ලෙස සකසා ගත් විට ෆෝන් එකෙහි බැටරි බහින විට අපේ ආයුෂ ද මේ ආදී ලෙස පෙනෙනු ඇත
- තප්පරෙන් තප්පරය, පැයෙන් පැය, දිනෙන් දින, මාසය අවුරුද්ද, දස අවුරුද්ද ආදී වශයෙන් ඉතා වේගයෙන් කාලය ගතවේ
- අපගේ ප්‍රතිපදාව වෙන අයෙකු පැමිණ කර දෙන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අප නොදන්නා කරුණු බන්දේසියක දමා අයෙක් පැමිණ පිළිගන්වන්නේ නැත. අප විසින්ම කළ යුතුය
- අපේ ප්‍රතිපදාව පිළිබඳව අපම වඩා සංවේදී විය යුතුය. විදර්ශනාව පිණිසය...
100. දරුවන් සහ දෙමාපියන්
- දරුවන් සහ දෙමාපියන් යනු එක් ජීවිතයකට අනන්‍යවූ, සංසාර පැවැත්මට සැකසුණු ධර්මතාවයකි
- බොහෝ පිරිසකට නිවන මගහැරුනේ මෙම ධර්මතාවය නිසාය
- ආදරය, සෙනෙහස, දරු කැක්කුම ආදී ලෝක ධර්මතා දෙමව්පියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට සැකසී ඇති මුලාවන්ය
- දරුවන් සහ දෙමව්පියන් ලෙස බැඳීම පවතින්නේ ජීවත් වනතුරු පමණි
- දෙමාපියන් දරුවන් මෙසේ විය යුතු යැයිද, එසේ නොවන විට ගැටුම්ද පැවතීම ස්වභාවයයි
- දරුවන් හා බැඳීම භයානකය. විශේෂයෙන් දෙමාපියන්ට මරණින් මතු බොහෝ විට ප්‍රේත භූමි උරුම වන්නේ මේ නිසාය
- උප්පත්තිය ලබා දුන් නිසා මවය, පියාය. එසේ බලන විට කර්මය, ආහාර, හිරු එළිය සහ සොබා දහම ආදී සියල්ල ම අපගේ මව්වරුය, පියවරුය. මෙය දියුණු කළ හැකි විදර්ශනා පැතිකඩකි
- කෙසේ නමුත් මෙම බැඳීම් නොබෝ කලකින් සොබාදහමින් ඒකාන්තයෙන් වෙන් කරනු ඇත. වෙන් කිරීමට පෙර මානසිකව වෙන්ව සිටීම නුවණැති ක්‍රියාවකි. විදර්ශනාව පිණිසය...
099. භුක්තිය
- බොහෝ මිනිසුන් නොයෙකුත් ආකාරයෙන් රැස් කිරීම සිදුකරයි
- නොදන්නා කාරණය වන්නේ එම රැස්කිරීමේ ප්‍රමාණයට සාපේක්ෂව එම ප්‍රමාණයේ කර්මයක්ද රැස්වන බවයි
- රැස්කළ සියල්ල දමා ගියත් රැස්වූ කර්මය රැගෙන යාමට සිදුවේ
- තවද රැස්කිරීම දිගටම සිදුකරන අතර රැස්කළ සම්පත් යම්කිසි දිනක තම හිත මිත්‍රයන් හා නිදහසේ පාරිභෝජනය කළ හැකි යැයි දෘෂ්ටියක් පවතී
- කිසි දිනෙක සිදු නොවන එය හුදෙක් දෘෂ්ටියක්ම පමණි
- ආදීනව ලෙස ප්‍රේත භූත ලෝක උරුම විය හැක
- රැස්කිරීම කෙසේ වෙතත් රැස්කළ දේ සම්බන්ධයෙන් මනස හිස් කිරීම නුවණැති ක්‍රියාවකි
- රැස්කිරීම භුක්තිය පිළිබඳ සමතුලිතය හොඳින් හඳුනාගත යුතුය. දෘෂ්ටීන් ඉවත් කළ යුතුය. විදර්ශනාව පිණිසය...
098. නිශ්ශබ්දතාවය
- නිශ්ශබ්දතාවය යනු හොඳම ශබ්දයයි
- සින්දුවක් ඇසීම ආදිය සැපක් වන්නේ සාපේක්ෂව නිශ්ශබ්දතාවය දුක වූ නිසාය
- සින්දු ඇසීමෙන් විඩාවට පත් වූ විට නැවත නිශ්ශබ්දතාවය සැපක් වේ
- එනම් මෙහි සැප දුක අන්ත මාරුවීමක් සිදුවේ
- සිත යනු දීමෙන් තෘප්තිමත් වන ධර්මතාවයක් නොවේ
- ලෝකය තුළ සැප සොයා යාමෙන් සිදුවන්නේ අන්ත පෙරළීම පමණි
- එම නිසා සැපයට තුඩු දෙන හේතූන් සොයා බැලිය යුතුය. ඒවා නිරෝධ කළ විට සිත තෘප්තිමත්භාවයට පත්වෙයි. විදර්ශනාව පිණිසය...
097. ආදීනව
- නොයෙකුත් දේ සම්බන්ධ නොයෙකුත් ආදීනවයන් පවතී
- අපට විශාල යමක් නැත. ඇස කන දිව නාසය අතපය ආදිය හැකිලීම දිගහැරීම කැරකැවීම ආදී ලෙස ක්‍රියාත්මක වේ
- මෙම ක්‍රියාවන් චේතනාව සමඟ මිශ්‍ර වූ විට ඉතා බරපතලය. ආදීනව භූමි ලෙස අවීචි මහ නරකාදියේ සිට බ්‍රහ්ම තල දක්වා ක්‍රියාත්මක වේ
- මෙහි යම් චේතනාමය වෙනසක් සිදුවූ විට නිර්වාණය පවා සාක්ෂාත් වේ
- නොදැනුවත්භාවය නිසා සිදුවන ක්‍රියාවල ඇති බරපතළකම දන්නේ නම් මෙපමණ ආදීනව ද ලෙස ලේ වමනය යන්නේය
- කර්මය සිදුවූ පසු ගෙවීමම මිස හැරවීමේ ක්‍රමයක් නැත
- කුඩා වැරැද්දේ පවා ආදීනව ඇති බව දැනගත යුතුය. විදර්ශනාව පිණිසය