Report Menu
All Cards
402. පුනරාවර්තනය
- කුණු පැල්ලමක් නැවත නැවත පිස දමන්නේ කුණු ඉවත් නොවූ නිසාවෙනි
- අඹ යනු නැවත නැවත ඇතිවී නැතිවී යන ක්‍රියාවලියකි
- ඒවා නැවත නැවත ඇති වන්නේ ඒවා ඇති වූ අරමුණ පූර්ණය කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි
- නැවත නැවත ආහාර ලබා ගැනීමට සිදුවී ඇත්තේ ආහාර ලබා ගැනීමට වූ අරමුණ පූර්ණය නොවූ බැවිනි
- මෙලෙස බොහෝ ක්‍රියාවලින් සිදුවන අතර ඒවා ඇතිවීමේ අරමුණ පූර්ණය නොවූ බැවින් නැවත නැවතත් සිදුවේ
- එලෙසම ඇසුණු යමක් නිවැරදිව ඇසුනේ නම් නැවත ඇසීමක් සිදු නොවිය යුතුය
- ඇසීමට වූ අරමුණ පූර්ණය නොවූ බැවින් නැවත නැවතත් ඇසීම සිදුවේ
- එලෙසම සියලු ආයතනවල වල සිදුවන හඳුනා ගැනීම් නැවත නැවත පුනරාවර්තනය වන ඒවාය
- මෙම ආයතන වලට පෙනෙන ඇසෙන දැනෙන හැඟෙන දේ පූර්ණය වූ විට නැවත පෙනීමක් ඇසීමක් දැනීමක් හැඟීමක් සිදු නොවන්නේය. ඒ සියලු දේ පූර්ණත්වයට පත්වන්නේ ය. අවසාන වන්නේය
401. පාවඩය
- පාවඩය යනු පාවඩයක් පමණක් නොව බොහෝ ධර්මයන් අන්තර්ගත කමටහනකි
- පාවඩය පයට පහසුවක් පමණක් නොව ඇසට අලංකාරයක්, මෙන්ම නිහඬව ආදරය ගරුත්වය පිරිනැමිය හැකි ක්‍රමයකි
- උදාහරණයක් ලෙස එම ගරුත්වය ලබන්නේ තථාගත ශ්‍රාවකයකු නම් ධර්මය මැනවින් දේශනා කිරීම මෙන්ම ශ්‍රාවකයා තුළ මැනවින් ධර්මය ඇසීම සඳහා ද හේතු සකස් වන්නේය
- පිරිසිදු පය අපිරිසිදු පය ලෙස භේදයක් නැත. සියලු පය සඳහා පාවඩය සුවපහසුව සලසන්නේ ය
- එය දකින ශ්‍රාවකයාට පාවඩය නිහඬ බණක් වන අතර උදාහරණයක් ලෙස සැප දුක් නින්දා ප්‍රශංසා ආදිය නිහඩ ව විඳ දරා ගත යුතු බව නිරූපණය කරයි
- තවද සිතක් තුළ පාවඩයෙහි අලංකාරය මතුවන්නේ එක් කොටසකින් පමණක් නොව එහි සියලු කොටස් මනාව එකතු වූ විටය
- මේ කයද එලෙසමය, නොයෙකුත් කොටස් මනාව එකතු වී ඇති බැවින් මම ලෙස පෙනෙන්නේය, ලෙස විදර්ශනාව අවදි කළ හැකිය
- මුලින් අලංකාරව තිබූ පාවඩය භාවිතයත් සමඟ කාලයත් සමග ජරා ජීර්ණ ව යන්නේය. එලෙසම තරුණ කාලයේ අගනා වටිනා ලස්සන මෙම කය ද කාලයත් සමග දුර්වර්ණ වී ජරාවට පත් වන්නේය
- මේ ආදී ලෙස නොයෙක් විදර්ශනාවන්ට පෙරළිය හැකි පාවඩය නිර්වාණය මතුකිරීම සඳහා අගනා වටිනා කමටහනකි
400. නොහඳුනන සැප
- සිතට අවශ්‍ය කරන සියලු දේ ලබාදීම සැප ද?
- සිතට සිතෙන සියලු දේ කිරීම සැප ද?
- සිත සැප ලෙස හඳුනාගන්නා සියල්ල සැප ද?
- සාර්ථක යැයි සැලකෙන මිනිසුන් අනුගමනය කිරීමෙන් වැඩ කටයුතු කිරීම, ඒවා ළඟා කර ගැනීම සැප ද?
- සිතට යම් වින්දනයක් ලැබීම සැප ද? තම සන්තකයේ ඇති සියලු දේ ඉවත් කිරීම සැප ද?
- පෙනීම සැප ද? ඇසීම සැප ද? ආඝ්‍රහණය සැප ද? ස්පර්ශය සැප ද? ඇත්තෙන්ම සැප යනු කුමක් ද?
- ජීවිතය පුරා සැප සොයාගෙන ගියද එම සැපය කුමක්දැයි ඇසූ විට ඊට දීමට පිළිතුරක් නැත
- සැප සොයන්නේ ආයතන පරිහරණය තුළින් නම් කිසි දිනක සැපයක් ලබාගත නොහැක
- උදාහරණයක් ලෙස පින්තූරයක් තුළ ඇති ආහාරයක් ගැනීමට දරන උත්සාහයක් වැනිය. කොපමණ උපක්‍රම යෙදුවත් එය කිසි දවසක සිදු කළ නොහැක
399. සීමාව
- පරිසරය තුළ බොහෝ ශබ්ද පවතී
- නමුත් අපේ කනට ගෝචර වන්නේ එයින් ඉතා කුඩා ප්‍රමාණයක් පමණි. එම නිසා කන ඉතා දුර්වල ආයතනයකි
- අපට ශබ්දයක් ලෙස හසු වන්නේ කනෙහි යම් කම්පනයක් සිදු කිරීමට සමත් ශබ්දයන් පමණි. නමුත් එම ශබ්දයන් ද ගෝචර වන්නේ එක් එක් පුද්ගලයන්ගේ කන් වලට සාපේක්ෂවය
- එම නිසා දුර්වල වූ කනෙන් ලැබෙන ශබ්ද මගින් නිවැරදි නිගමනයන් සිදු කළ නොහැක
- එලෙසම අනෙක් ආයතනද බොහෝ දුර්වලය
- රූපවාහිනියක් තුළ කුඩා බල්බ හරහා ජනනය වන වර්ණ රටාවන් දුර්වල වූ ඇසට හසුවන්නේ නොයෙක් රූප, ටෙලි වෘතාන්ත ආදී ලෙසය
- එම දුර්වලතාවය නිසා ආයතන හරහා අපට ඇති දෙය නිවැරදිව නොපෙනෙන අතර නැති දෙයක් ඇති ලෙස පෙනීම සිදුවේ
- මෙම ආයතන නිවැරදි කිරීම කළ නොහැක. මේවා සකස් වී ඇත්තේ සංසාර ගමන සඳහාමය
- කළ හැකි කාර්ය වන්නේ යම් විදර්ශනාවක් තුළින් මෙම ආයතන තුළ පවතින දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒවාට නොරැවටී සිටීමයි. නික්මීම යි. මිදීමයි
398. පින ද ධර්මතාවයකි
- මට බොහෝ පින් ඇතැයි පැවසුවද පින ද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දරන ලෝක ධර්මතාවයකි
- ආර්ථික ශක්තිය හිමි මෝඩයෙකු බොහෝ කර්ම රැස් කර ගනිමින් තම ජීවිතයට හානියක්ම කර ගන්නේය
- ආර්ථික ශක්තිය හිමි නුවණැත්තෙකු තව තවත් සැපයෙන් සැපයට ම පත්වන්නේ ය
- එලෙසම අතීතයේ සිදු කරන ලද පුණ්‍ය ශක්තිය වුවද මෝහ සහගත පුද්ගලයෙකුට බොහෝවිට අයහපතක් සිදු කරන්නේය
- ප්‍රඥාවන්තයා අතීත පාපකර්මයක් වුවද තම යහපතට ම යොදවා ගන්නේය
- එලෙසම පින යනු ද තාවකාලිකව අපට ලැබී ඇති ධර්මයකි, වහා ගෙවී යන්නේය
- තවද අපගේ ශරීරයෙහි ඇති අත් කකුල් හිස ආදිය පවා ලැබී ඇත්තේ තාවකාලිකවය
- සියල්ල තාවකාලික පරිභෝජනයක් පමණි
- යම් දිනෙක මේ සියල්ල ඒකාන්තයෙන් අහිමි වන්නේය. අවසාන වන්නේය
397. ගිනිදැල්
- ගින්නක් ඇතිකළ හැකි ආකාර බොහෝ පවතී
- ගිනි කූරක් ගිනි පෙට්ටියක ඇතිල්ලීමෙන් ගින්නක් ඇති කළ හැකිය. නමුත් ගිනිදැල් දෙස බලා ගින්න හට ගත්තේ කෙසේදැයි නිගමනය කළ නොහැක
- ගිනි ගන්නා ලද කැලයක හටගන්නා ගිනිදැල් දෙස බලා ලැව් ගින්නක් ද වෙනත් අයෙකු විසින් ගිනි තබන්න ලද්දක්ද යන බව නිගමනය කළ නොහැක
- ගින්නක් ඇත්නම් ගින්නක් ඇති බව දැන ගත හැකිය. ගින්න නිවුණු විට ගින්න නිවී ගියේ යයි දැනගත හැකිය
- නමුත් කාරණය වන්නේ ඇවිලී ඇති ගින්නක් නිවීම අරමුණ වන විට ගින්න හට ගත් සුල මුල සෙවීමට යෑම මගින් සිදුවන්නේ ගින්න නිවීම තව තවත් ප්‍රමාද වීමයි
- මෙමගින් සිදුවන්නේ තව තවත් හානිය වැඩි වීමයි
- එලෙසම සිත යනු ද ඇවිලුණු ගින්නකි. සිතිවිලි යනු ගිනිදැල් ය.සිත හටගත්තේ කෙසේද ලෙස සෙවීමට යෑමෙන් සිදුවන්නේ නිවීමට ඇති කාලයද අහිමිවීම යි
- එය ඇති වූයේ මෙසේ යැයි දැනගත්ත ද එය නිර්වාණය කෙරෙහි (ගින්න නිවීම කෙරෙහි) රුකුලක් වන්නේ නැත
- එම නිසා සිත හටගත් ආකාරය නොව එය පැවතීමට ඇති හේතු සොයා ඒවා නිරෝධ කිරීම නුවණැති ය
396. තච පංචකය
- කෙස්, ලොම්, නිය, දත් හා සම් ලෙස දෙතිස් කුණපයේ පළවෙනි පහ තජපංචකය නම් වේ
- බොහෝ සත්වයන්ගේ පිටතින් පෙනෙන්නට ඇත්තේ මෙම කුණප කොටස් පහය
- සත්වයා නොයෙක් නිගමනයන්ට එළඹෙන්නේ කොටස් 32ක් ඇති තැනක කොටස් පහක් පමණක් නිගමනය කිරීමෙන්ය. එම නිසා දෝෂ සහිතය
- විදර්ශනාව තුළදී මෙම කොටස් මනසට ගෝචර වන ආකාර පිළිබඳව මෙනෙහි කළ යුතුය
- ඇස අනුබද්ධයෙන් වර්ණය ලෙස, කන අනුබන්ධයෙන් ශබ්දය ලෙස, නාසය අනුබද්ධයෙන් ගන්ධය ලෙස, දිව අනුබද්ධයෙන් රස ලෙස, ශරීරය අනුබද්ධයෙන් ස්පර්ශය ලෙස ය
- දුරින් ඇති විට ළඟින් ඇති විට, අතීත ලෙස අනාගත ලෙස, ආරෝහණ අවරෝහණ ලෙස කුඩා විශාල ලෙස ආදී නොයෙකුත් න්‍යායන්ගෙන් මෙනෙහි කළ යුතුය
- මේවා මෙනෙහි කරමින් තම එදිනෙදා වැඩ කටයුතු වලට සම්බන්ධ කරමින් කාලය ගත කළ යුතුය
- වැටහීම් සිදුවන්නේ නිරායාසයෙනි
- මෙමඟින් ප්‍රඥාව උපදින අතර නිර්වාණය සාක්ෂාත් වීම පිණිස ප්‍රබල වූ හේතු ධර්මයන් සකස් වනු ඇත
395. ඇඳිරිය
- තථාගත සම්මා සම්බුදුවරයෙක් පහළ වන්නේ ඉතා දුර්ලභවය
- ඒ තථාගත ධර්මය ඇසීම සඳහා දුර්ලභ මනුසත් බව ආදී භවයක් මෙන්ම යම් නොවැසුණු මානසික තත්ත්වයක් සත්වයා සතුව පැවතිය යුතුය
- යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර තුළදී බන්ධනයක් සිදුකර එය කැපීම අපහසුවීම පිණිස එය නොපෙනෙන පරිදි ඇඳිරියක් දැමීම සිදුකරයි
- එලෙසම සත්ත්වයාගේ ක්ලේශයන් ඉවත් කිරීමට තථාගත ධර්මයක් ඇසුන ද එය නොඇසුනාමෙන් සිටින්නේ සත්වයාගේ සිතේ තම අසරණ භාවය නොපෙනෙන ඇඳිරියක් පවතින බැවිනි
- තමා සියල්ල දන්නේ යැයි, තමා පොර යැයි ආදී ලෙස සිතන අයෙකුට එසේ සිටීම ධර්මයක් නොවැටහීම පිණිස ඇඳිරියක් ලෙස ක්‍රියාත්මක වේ
- බොහෝ විට ධර්මය ප්‍රතික්ෂේප වන අතර ධර්මයක් ඇසීමට සිත් දෙන්නේ නැත
- අසීමිත ආශාවන්, අධික කෝපය, කම්මැලි භාවය, පොරත්වය, මෙන්ම පින් මද භාවය නිවන ආවරණය කරන ඇඳිරියක් ලෙස ක්‍රියා කරයි
- එලෙසම මුදල්, වත්කම්, නිරෝගි මදය, රෝගී භාවය, කර්ම විපාක, පිරිස් බලය ආදීය ද නිවන් මාර්ගය විවෘත නොවන තවත් ඇඳිරීන් විය හැකිය
- අපට ද ඕනෑම වෙලාවක ඒවා ක්‍රියාත්මක විය හැකි බැවින් ඒවා දුර්වල මේ මොහොතේ වහ වහා නිවන් මාර්ගය සම්පූර්ණ කළ යුතුය
394. එපමණකි
- අඹ ගෙඩිය යනු අඹ ගෙඩියකි. එපමණකි
- ඇටය ඇත. මදය ඇත. පොත්ත ඇත. ක්‍රියාවලීන් ඇත. නමුත් එපමණකි
- අඹ ගෙඩිය තුළ මේරීමේ ක්‍රියාවලිය, යම් පලුද්දක් සිදුවුවහොත් එයට අනුවර්තනය වීමේ ක්‍රියාවලිය ආදී බොහෝ ක්‍රියාවලින් ඇත. නමුත් සත්ව පුද්ගල භාවයක් එහි නැත. ඒ හෙයින් එපමණකි
- බොහෝ ක්‍රියාවලින් අන්තර්ගත සත්ත්වයා යනු ද එසේය
- ආයතන ක්‍රියාකාරීත්වයක් පවතින්නේය. නමුත් එයද සොබා දහමේ පවතින ක්‍රියාවලියක් මෙන් එහි දියුණු තත්ත්වයකි. පුද්ගල භාවයක් පැනවිය නොහැකිය
- පෙනෙන්නේය. ඇසෙන්නේය හැඟෙන්නේය, දැනෙන්නේය. නමුත් ඒවා සොබා දහම තුළද දක්නට ලැබෙන්නේ ය
- ශාක පත්‍ර හිරු එළිය දෙසට හැරීම, නිදි කුම්බා කොළයකට දැනීම සහ ප්‍රතිචාර දැක්වීම ආදී කාරණයන් උදාහරණය
- එම නිසා දැකීමකි, එපමණකි, ඇසීමකි එපමණෙකි, දැනීමකි එපමණකි, ලෙසය. පමණ ඉක්මවා යන පුද්ගල භාවයක් එහි පැනවෙන්නේ නැත
- සත්වයා තුළ පවතින ආයතන ක්‍රියාකාරීත්වය ද සොබා දහම තුළ පවතින තවත් එක්තරා ක්‍රියාවලියක් පමණි. පුද්ගල භාවයක් නැත. ඒ හෙයින් එපමණකි
393. උපන්දිනය
- උපන් දිනයක අවුරුද්ද මාසය දිනය පැය විනාඩිය තත්පරය ලෙස බොහෝ කොටස් පවතී
- නමුත් අප සැමරීම සිදු කරන්නේ දිනය පමණකි
- එය එසේනම් උපන් තප්පරය ලෙස සැමරීම ක් සිදු කළ හැකි විය යුතුය
- උපන් විනාඩිය ලෙස, උපන් පැය ලෙස සැමරීම සිදු කළ හැකි විය යුතුය
- තවද උපන් මාසය ලෙස අදාළ මාසයේ ම සැමරීම සිදු කළ හැකිය
- නමුත් අවුරුද්ද නැවත මුල සිට ආරම්භ නොවන බැවින් අවුරුද්ද සැමරීම කළ නොහැක
- තවද උපන්නේ රාත්‍රියක නම් සෑම රාත්‍රියම සැමරීම සිදුකළ හැකිය
- උපන්නේ වැසි වෙලාවක නම් වැසි වහින සෑම අවස්ථාවක්ම සැමරීම සිදු කළ හැකිය
- මෙසේ උපන්දිනය යනු දෘෂ්ටියක් වන අතර එය එසේනම් ඉහත සියලු ආකාරයෙන් සැමරීම් සිදුකළ හැකි විය යුතුය
392. ලෝකය නිවැරදිය
- ලෞකික සිත තුල මෙසේ විය යුතු යැයි ද, මෙසේ නොවිය යුතු යැයි ද, පනවා ගත් කාරණා ඇත
- ඵවැනි යමක් සිත කැළඹීමට හේතු සකස් කරනු ලබයි
- නැතහොත් විය යුතු දෙයක් නොවිය යුතු ලෙස ද නොවිය යුතු දෙයක් විය යුතු ලෙස ද සිතීම සිත කැළඹීමට පත්කරයි
- දෙයක් සිදුවන්නේ සිදුවිය යුතු නිසාය. සිදු නොවන්නේ සිදු නොවිය යුතු නිසාය
- මෙලෙස ලෝකය නිසි ආකාරයෙන් ම පවතින්නකි. ගැටුම් හට ගන්නේ ඒවා සිතට එකඟ නොවන ලෙස සිදුවීමෙන් ය
- ලෝකය මෙසේ සිදුවිය යුතු යැයි සිතුවද එසේ සිදුවන්නේ නැත. මක්නිසාද හේතු සකස් වී ඇත්තේ එම සිදුවන දේ සඳහාම ය
- මේ ආකාරයට ඒ ඒ හේතුන් හමුවේ සිදු වුණ සියල්ල ඒ මොහොතේදී නිසි වූ දෙයයි
- එම නිසා සිදුවන සියල්ල ට එකඟ වීම, ඒවා දරා ගැනීම ධර්මයේ හැසිරෙන්නෙකු තුළ පැවතිය යුතු ගුණයකි
391. සිතුවිලි ලෝකය
- අප කිසිදු රූපයක් දැක නොමැත. කිසිම ශබ්දයක් අසා නොමැත. හොඳින් බලන විට අපට ගෝචර වී ඇත්තේ ඒවා නිසා ඇති වූ සිතිවිලි පමණි
- ඇසට රූප පෙනීම සිදුවේ. අතීත දැනුම ද එම රූපය ද අනුව සිතිවිල්ලක් (හේතු ප්‍රකාරව) හට ගනී. ඉන් පසු එම සිතිවිල්ල හඳුනා ගැනීම සිදුවේ
- ඇත්තෙන්ම හඳුනා ගනු ලබන්නේ ගන්නේ රූපය නොව එම රූපය සම්බන්ධව ඇතිවූ සිතිවිල්ල යි
- එනම් රූප ලෙස අපට ගෝචර වන්නේ හුදෙක් සිතිවිලි ය
- එසේම අප හඳුනා ගනු ලබන්නේ කනට ඇසෙන ශබ්ද නොව එම ශබ්ද සම්බන්ධයෙන් ගොඩනැගුණු සිතිවිලි ය
- මේ සියලු ආයතන සම්බන්ධයෙන් අප හඳුනා ගනු ලබන්නේ සිතිවිලි පමණකි
- කිසිම රූපයක් ශබ්දයක් ගන්ධයක් ස්පර්ශයක් සෘජුව සිතට ස්පර්ශ වන්නේ නැත
- අපට ඒවා දැනෙන්නේ සිතිවිලි ලෙසය
- ඇත්තෙන්ම ලෝකය ලෙස අපට ගෝචර වන්නේ සිතිවිලි ගොන්නක් පමණි
390. මතකය තුළ වූ වත්කම
- ඉපදුන දා සිට දැනුම රැස් කිරීම වත්කම් රැස් කිරීම සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය වී ඇත
- ජීවිතයේ යම් මොහොතක මතකය නැති වී ගියහොත් එම වත්කම් අපගෙන් ඈත් වන්නේය, ඉවත්ව යන්නේය
- එනම් ජීවිත කාලය පුරා මහන්සි වී සිදු කර ඇත්තේ යම් මතකයක් ගොඩනගා ගැනීම පමණකි
- ඊට අමතරව යමක් ඇත්නම් සසර පැවැත්ම ඇති කරන කර්මයි. එය ද එක්තරා මතකයකි
- දැනුම ලෙස වත්කම් ලෙස යහළුවන් යෙහෙළියන් ලෙස ද මව පියා දරුවන් ලෙස ද පවතින්නේ මතකයක් පමණි
- අතීත ජීවිත වල මෙම මනස තුළ එවැනි නොයෙකුත් වටිනා කම් වලින් යුත් මතකයන් තිබී ඇත
- නමුත් ජීවිත මාරුවීමත් සමඟ එම සියලු මතකයන් අහිමි වන අතර ඉතිරි වන්නේ විපාක පිණිස වූ කර්මයන් ලෙස පවතින මතකයන් පමණි
- වත්කම් රැස්කිරීම ලෙස නැවත නැවතත් සිදු කරනු ලබන්නේ මතකයන් ගොඩ ගසා ගැනීමක් පමණි
- අවසානයේ බලන විට බොහෝ දුක් මහන්සි වී රැස්කර ඇත්තේ හුදෙක් තාවකාලික වූ මතකයක් පමණි
389. සම්බන්ධය
- මේ සිත ප්‍රධාන කොට ගත් ශරීරය මේ ලෝකයට නොයෙක් ආකාරයෙන් සම්බන්ධයන් පවතින්නේය
- ඉදිකට්ට ට නූල ගැලපෙනවා සේ, පෑනට ක්ලිප් එක ගැලපෙනවා සේ, මේ ශරීරයට ගැලපෙන ලෙස ලෝකය ද, ලෝකයට ගැළපෙන ලෙස ශරීරය සකස් වී ඇත
- මවෙක් ඇති විට, දරුවෙක් ඇති විට, ආදරය ලෙස ධර්මතාවයක් පවතින්නේ මවගේ ළමයාගේ පැවැත්ම උදෙසාය
- මේ එක් මවෙකු ට එක් දරුවෙකුට සීමා නොවන අතර සියලු මව්වරුන්ට සියලු දරුවන්ට ක්‍රියාත්මක වන පොදු වූ ලෝක ධර්මතා ය
- ගහකොළ වල ඵල දරන්නේ ය, ඒවා අනුභව කිරීමට මේ කයෙහි කටක් පවතින්නේය
- නොයෙකුත් රූපයන් ඇත්තේය, ඒවා බැලීමට මේ කයෙහි ඇස පවතින්නේය
- නොයෙකුත් ශබ්දයන් පවතින්නේය, ඒවා ඇසීමට මේ කයෙහි කන පවතින්නේය ආදී ලෙසය
- මේ නොයෙකුත් සම්බන්ධකම් විමසා බලන විට පෙනෙන්නට ඇත්තේ අප තුලින්ද අප තුළ ද එම සම්බන්ධයන් ක්‍රියාත්මක වන බවය
- කෙනෙකු පුද්ගලයකු ලෙස නොව නොයෙක් දේට නොයෙක් ආකාරයෙන් සම්බන්ධකම් දරන අප ද සසර ඕගයේ ම කොටසක් බවය
388. වහලය
- හිසට වහලක් පැවතීම සැපයකි, ආරක්ෂාවකි
- සසරට වහල වන්නේ සිදුකළ පුණ්‍ය කර්මයන්ය. එයින් සත්වයාට යම් සැපයක් ආරක්ෂාවක් සැලසෙන්නේ ය
- නමුත් කොපමණ ශක්තිමත් වහලය ක් වුව ද සැමදා පවතින්නේ නැත. ජාති, ජරා, ව්‍යාධි මරණයන් ට ලක් වන්නේය
- නමුත් නියම වහල ගැසීම වන්නේ, වහලය න් ගැසීමට හේතු සකසන පුද්ගලභාවය දුරු කිරීමය
- එවිට සොබා දහම ම බවට පත්වන අතර ආරක්ෂාවක් ලෙස යමක් පැනවෙන්නේ ද නැත
- නොයෙක් ජාතීන් නොයෙක් ශරීරයන් සකස් වන්නේ පුද්ගලභාවය නිසාය. අනෙකුත් සියලු ක්ලේශයන් එය නිසා හටගත් ඒවාය
- ජාති, ජරා, ව්‍යාධි මරණයන් ට නියත ආරක්ෂාව සපයන වහලක් මිහි පිට නොමැත
- එදිනෙදා ජීවිතය තුළ නොයෙකුත් දේ සඳහා නොයෙකුත් ආරක්ෂාවන් යෙදීමට උත්සාහ කළද ඒවා හුදෙක් තාවකාලික පැලැස්තර පමණි. කිසි දිනක සාර්ථක වන්නේ නැත
- මේවා නිතර නිතර මෙනෙහි කළ යුතුය. පුද්ගලයෙක් නොමැති වීම ම පරම වූ වහලය බව දත යුතුය
387. නිවැරදි වීම
- බල්ලෙකුගේ ස්වරූපය ගලක් ගැසු විට ගල දෙසට දිවීමයි
- නමුත් සිංහයෙකු සිදුකරන්නේ ගල දෙසට දිවීම නොව ගල ගැසු අය දෙස හැරී බැලීමයි
- ලෝකය තුළ පවතින අඩුපාඩු අසාධාරණකම් දැකීම එක්තරා ආකාරයකට ගල දෙසට දිවීමක් වැනිය
- නමුත් මෙම භූමියට පැමිණීමට මග සැලසූ සිතෙහි ඇති මෝහය කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ ලෝකය වැරදි ලෙසය
- නමුත් කළ යුත්තේ ලෝකය නිවැරදි කිරීම වෙනුවට එවන් ඉරණමක් උරුම කළ මෝහය දුරු කිරීමයි
- කුණු ගොඩක් අසල රඳවා ඇති පුද්ගලයෙක් මෙතනට කුණු දමන්නේ යැයි දොස් නැගීම අනුවණකමකි. මක්නිසාද ඒ කුණු දමන ස්ථානයක් බැවිනි
- ඇත්තෙන්ම එහි වැරදි කාරයා වන්නේ කුණුගොඩ අසල රැඳීමට උපක්‍රම යෙදූ අයය
- තවද අප සිතන ආකාරයෙන්ම ලෝකය නිවැරදි වූයේ නම් සියලු ප්‍රශ්න අවසන් වන්නේද?
- නොවේ නම් එහි අදහස වන්නේ ලෝකයේ කිසිසේත් නිවැරදි කළ නොහැකි බවයි. ඒ වෙනුවට තමාම නිවැරදි විය යුතු බවයි
386. කාය ස්පර්ශය
- යම් විටෙක සිටගෙන සිටීමට වඩා වාඩිවීම යම් පහසුවකි
- එසේ වාඩි වන්නේ කායික අපහසුතාවය නිසාය
- අසුනකට වෙල්වට් යොදා කොපමණ සැප පහසුවට සකස් කළත් වාඩි වී ටික වේලාවකින් කායික අපහසුතාවය දැනෙන්නේ ය
- මක්නිසාදයත් ප්‍රශ්නය පවතින්නේ කයේ බැවිනි
- අසූචි, රත්තරන් බඳුනක තැබුව ද සුගන්ධයක් හමන්නේ නැත. හමන්නේ දුර්ගන්ධයම ය
- අසූචිය, රන් බඳුනක තැබුව ද වෙනසක් සිදුවන්නේ නැත
- එලෙසම අසූචි කඳක් වන් මේ ශරීරයට සැප පහසුව ආදිය සැලසීමට තැත් කිරීමෙන් වැඩක් නැත
- විශාල මුදල් වැය කර කොපමණ සැප පහසු වාහන ආදිය භාවිතා කළ ද වෙනසක් සිදුවන්නේ නැත
- මක්නිසාද අපහසුතාවය පවතින්නේ කයේම බැවිනි
385. මහජන සම්පත
- මහජන සම්පත ආදී ස්වීප් ටිකට් පතක පළමු දිනුම ඇඳීම බොහෝ දුර්ලභ කාරණයකි
- ජීවිත කාලයක් ටිකට් මිලදී ගත්තද නොවිය හැකි කාරණයක් විය හැකිය
- තවද සංවර්ධන වාසනාව ශනිදා වාසනාව මහජන සම්පත ආදී ටිකට් වල පළමු දිනුම ජීවිත කාලය තුළ එක් පුද්ගලයකුට හිමිවීම කිසිසේත් අපේක්ෂා කළ නොහැක
- තවද ඒවායේ පළමු දිනුම එක දිනක් තුළ එක් පුද්ගලයකුට ලැබීම හිතා ගත නොහැකිය
- නමුත් ඊටත් වඩා බොහෝ දුර්ලභ කාරණයක් ඇත
- මනුසත් බව ලැබීමම දුර්ලභය
- බුද්ධ ශාසනයක් ලොව පහළ වීම අති දුර්ලභය
- එසේ ඇති වූ බුද්ධ ශාසනය අපට හිමිවීම, ධර්මය අසන්නට ලැබීම, ධර්මය තුළ නියැලීමට සිත් පහළවීම, මාර්ග ඵල ආදිය අවබෝධ වීම දුර්ලභය
- මේ මොහොත එම සියලු දුර්ලභ කාරණා එක විට සිදුවූ මොහොතකි. එම නිසා ලැබුණු අවස්ථාව කිසිසේත් මගහැරීම සිදු නොකළ යුතුය
384. ෆිල්ම් එක
- ෆිල්ම් එකක් තුළ රඟ දැක්වෙන්නේ බොරුවක් වන අතර බොහෝ විට අයෙකුගේ හිතේ ඇතිවූ ප්‍රබන්ධයකි
- යම් උපකරණයක් අලෙවි කිරීමේදී නැති දෙයක් ඇතැයි කියමින් අලෙවි කිරීම පාරිභෝගිකයා මුලා කිරීමකි
- මෙහිදී අලෙවිකරුවා පාරිභෝගිකයා රවටන නමුත් පාරිභෝගිකයා රැවටීමට අකමැති අයෙකි
- චිත්‍රපටයක් තුළ සිදුවන්නේ ද නැති දෙයක් ඇති ලෙස පෙන්වමින් රඟ දැක්වීමකි
- එහිදී ද සිදුවන්නේ ද පාරිභෝගිකයා රැවටවීමයි
- නමුත් මෙහිදී පාරිභෝගිකයා රැවටීමට කැමති අයෙකි
- එනම් චිත්‍රපටය යනු රවටන නමුත් කැමැත්තෙන් රැවටෙන අවස්ථාවකි
- බොහෝ වේලාවක් වැය කර මුදල් ගෙවා රැවටීමට පත්වීම උන්මත්තක බාවයකි
- එලෙසම තමන්ද රංගනයේ යෙදෙමින් කැමැත්තෙන් රැවටෙන චිත්‍රපටය මම ලෙස සකස් වූ චිත්‍රපටයයි
383. ළඟට පෙනෙන අඩුපාඩුව
- මේ ලෝකයේ ඇති බොහෝ දේ පරිපූර්ණ ලෙස මනසට ගෝචර වේ
- එලෙස පෙනීමේ ධර්මතාවය මෝහයයි
- එම මෝහය තුළ නැති සැපයක් මවා පෙන්වීමෙන් සත්වයා සංසාරය තුළ මුළා කරවයි
- නමුත් ළංකර බැලූ විට අඩුපාඩුවක් නොමැති කිසිදු වස්තුවක් නොමැත
- උදාහරණයක් ලෙස පොඩි දරුවෙකුගේ අතපය වුවද සියුමැලි ලෙස පෙනුනද ලංකර බැලූ විට විශාල වලවල් ආදී ලෙස දර්ශනය වේ
- ලස්සනට පෙනෙන බිත්තියක් වුවද ළංකර බැලූ විට කඩතොලු, රළු භාවය, තින්ත නොගෑවුණු ස්ථාන හොඳින් දර්ශනය වේ
- සිත නිවන සොබා දහමේ දර්ශනයක් වුවද ළංකර බැලූ විට එසේ ලස්සනක් නොපෙනෙන අතර බොහෝ අඩුපාඩු දක්නට ලැබේ
- ජංගම දුරකථන, රූපවාහිනී ආදිය වරු ගණන් නැරඹීම සිදුකළ ද ලං කර බැලූ විට පෙනෙන්නේ නොයෙක් වර්ණයෙන් යුත් කුඩා කොටුය
- මේ ආකාරයෙන් ඕනෑම දෙයක් වඩා ළංකර බලන විට බොහෝ අඩුපාඩු පෙනෙන අතර ඇලීමේ ස්වභාවයට ප්‍රබල පහරක් එල්ල වනු ඇත