Report Menu
All Cards
Total Cards: 367 | Page: 5 of 19 | Showing: 20 cards
287. හේතුඵල

287. හේතුඵල

  1. ගසක් මල් ගෙඩි ආදිය මෙන්ම අතු ඉති බෙදී ලස්සනට තිබුනත් ඒ පෙනෙන්නට ඇත්තේ හේතු සමුදායක එකතුවකි
  2. එනම් ජලයෙන් වාතයෙන් පසෙන් හිරු එළියෙන් පෝෂණය වන ගස යනු එම හේතූන් වල එක්තරා ස්වරූපයක් ලෙස දැක්විය හැකිය
  3. නමුත් එය හේතූන්ට හාත්පස වෙනස් භෞතික ලක්ෂණ පෙන්වයි
  4. හිරු එළියට පමණක් ගසක් සකස් කළ නොහැක. එනම් එක් එක් හේතුව තනි තනිව ගත්විට ඒවා සතුව ගසක් සකස් කිරීමේ හැකියාවක් නොමැත. නමුත් හේතූන් නියම පදමින් එක් වූ විට ගසක් හට ගැනීම සිදුවේ
  5. තවද සිදුවන්නේ කර්මයක් වුවත් එයට හාත්පස වෙනස් ලක්ෂණ ඇති ඇස කන දිව නාසය ආදී ශරීර කොටස් මෙන්ම සුඛ දුක්ඛ ආදී මානසික තත්ත්වයන්ද හට ගැනීම හේතුඵල ලෙස සිදුවන්නකි
  6. එක් හේතුව එක් ඵලය ලෙසද, එක් හේතුව ඵල රාශියක් ලෙසද, හේතු රාශිය එක් ඵලය ලෙසද, හේතු රාශිය ඵල රාශිය ලෙස ද හේතුඵල ගැලපීම සිදුකළ හැක
  7. එදිනෙදා ජීවිතය තුළ මේවා සිදුවන ආකාරය ඝන මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා දැකීමට උත්සාහ ගත යුතුය. පුහුණු කළ යුතුය.
  8. එවිට හිතන ආකාරය වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙන අතර එහි ඵලයන් ලෙස කැමැත්ත පාලනය වීම සිදුවේ
  9. මේ ආකාරයෙන් වැරදෙන සෑම අවස්ථාවකම සිත ධෛර්යමත් කරමින් පුරුදු පුහුණුව සිදු කරන විට ශක්තිමත් ලෙස සම්මා දිට්ඨිය වර්ධනය වීම සිදුවේ
No audio available
286. මිථ්‍යා දෘෂ්ටිය

286. මිථ්‍යා දෘෂ්ටිය

  1. මිථ්‍යා දෘෂ්ටිය යනු සරලව වරදවා වටහා ගැනීමයි
  2. උපමාවක් ලෙස අඹ ගසක් සිටවා ඇති විට එය දෙල් ගසක් ලෙස වරදවා වටහා ගැනීමක් වැනිය
  3. දෙල් ගසක් යැයි සිතා අඹ ගසක් සිටවා දෙල් පැලේ ලක්ෂණ, දෙල් ගසේ ලක්ෂණ ආදිය ද අවසානයේ දෙල් ද බලාපොරොත්තුවේ
  4. නමුත් අඹ ගස දරන්නේ අඹ ගසේ ලක්ෂණය ය. එහි කිසි දිනක දෙල් හටගන්නේ නැත
  5. එම වරදවා වටහා ගැනීම නිසා ඉච්ඡාභංගත්වය, පසුතැවිල්ල, අනපේක්ෂිත දෑ සිදුවීම ආදී බොහෝ දුක්ඛයන්ට පත්වෙයි
  6. එලෙසම ලෝකයේ පුද්ගල භාවයෙන් තොර හේතුඵල ආදී යම් ධර්මයක් ඇති අතර එය වරදවා වටහා ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි
  7. පුද්ගල භාවයක් ගොඩනැගීම හේතුවෙන් කර්ම ආදිය සකස් වන අතර අනපේක්ෂිත ලෙස ජාති ජරා, ව්‍යාධි මරණයන් ට ගොදුරු වීම සිදුවේ
  8. නිවැරදි වැටහීම තුළ පුද්ගල භාවයක් නොමැති අතර ඒම අවබෝධය ඇත්නම් කර්ම සකස් වන්නේ නැත
  9. එවිට ඉපදීමක් සිදු නොවන අතර සංසාර දුක්ඛය ද අවසන් වීම සිදුවේ
No audio available
285. දැනගැනීම 3

285. දැනගැනීම 3

  1. බුද්ධ ශාසනයේ ඇත නැත ආදී පැනවීම් සිදුවන්නේ බඹයක් පමණ වූ මෙම කයට (සිතද ඇතුලත්ය) සාපේක්ෂවය
  2. ඉර පෑයීම, සඳ පෑයීම, සුළං හැමීම, ගහ කොළ සෙලවීම ආදී බොහෝ දෑ ලෝක ධර්මතාවය තුළ සිදුවේ
  3. නමුත් මිහිපිට සිටියා වුවත් යම් හෙයකින් අයෙකුට ඒ පිළිබඳව දැන ගැනීමට නොහැකි විට ඔහුට ඒ දේවල් නැත
  4. ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇත්නම් ඔහුට ඒ දේවල් ඇත. බාහිර ඉර පෑයීම ඇතත් වඩා ප්‍රබල වන්නේ දැනගැනීම හෙයින් ඉර පෑයීමක් නැත ලෙස කිව හැකිය
  5. සතර අපාය ඇත සතර අපාය නැත ආදිය ද එවැනි කරුණකි
  6. සතර අපායට කර්මයක් සකස් වී නොමැති නම් හා හැකියාවක් ද නොමැති නම් ඔහු සතර අපාය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය නැත
  7. සතර අපායට කර්ම සකස් වී ඇත්නම් හෝ හැකියාවක් ඇත්නම් ඔහු එය විශ්වාස කළත් නැතත් ඔහුට සතර අපාය ඇත
  8. මෙය හේතුඵල ධර්මයක් වන අතර සතර අපාය පැනවෙන්නේ විඤ්ඤාණයකට සාපේක්ෂවය
  9. විඤ්ඤාණ ලෙස ධාතුවක් ඇත්නම් ද එයට සතර අපායට කර්මයක් ඇත්නම් ද සතර අපාය ඇත, එසේ කර්මයක් නැත්නම් සතර අපායක් නැත
No audio available
284. දැනගැනීම  2

284. දැනගැනීම 2

  1. ජීවත්වීම යනු නොයෙකුත් දැනගැනීම් සමග සිදු කරන පොර බැඳීමකි
  2. එක් එක් දැනගැනීම සිදුවන්නේ අතීත මතකයන් නම් උපැස් යුවළ තුළින් ය
  3. එම මතකයන් වල ස්වභාවය අනුව දැනගැනීම දෘෂ්ටියක් වීම ද ඒ තුළින් ද්වයතාවයක් නිර්මාණය වීම ද සිදුවේ
  4. තවද පිළිකුල් දේ නොපිළිකුල් ලෙස, නොපිළිකුල් දේ පිළිකුල් ලෙස, සුභ දේ අසුබ ලෙස, අසුභ දේ සුභ ලෙස ආදී වශයෙන් වරද තුළ ද වරද සහගත බවක් ගොඩනැගී ඇතඑමගින් ඇතිවන සිතිවිලි පරම්පරා මගින් බොහෝ කර්ම සකස් වීම සිදුවේ
  5. රහතන් වහන්සේලාට ද, තථාගතයන් වහන්සේට ද තම අතීත වතගොත මතකයේ පැවතුණ බව අප අසා ඇත
  6. එනම් සිදු කළ යුත්තේ මතකයන් වෙනස් කිරීම හෝ මකා දැමීම නොවේ. ඒවා තුළ මුල් බැස ඇති පුද්ගල දෘෂ්ටිය ඉවත් කිරීම පමණි
  7. මම මගේ ලෙස යම් හැඟීමක් ඇත්නම් සියලු දුක්ඛයන්ට බීජය වන්නේ එයයි
  8. එම නිසා වඩාත් බිය විය යුත්තේ යක්ෂයන්ට, ප්‍රේතයන්ට, මරණයට, සතර අපාය ආදියට නොවේ. මම මගේ ආදී ලෙස සකස් වී ඇති සිතිවිලි වලටය
No audio available
283. දැනගැනීම

283. දැනගැනීම

  1. මේ සිත කය පරිහරණය තුළ දැනගැනීම යනු ලෝකය පැනවෙන ප්‍රධාන කාරණයකි
  2. යමෙක් මියගොස් ඇති අවස්ථාවක එය දැනගන්නා තුරු අපට මියගොස් නැත
  3. හැඬීම දෙඩීම පටන් ගන්නේ මියගිය මොහොතේ නොවේ. එය දැනගත් මොහොතේ ය
  4. අනෙක් ආකාරයකට කෙනෙක් මියගොස් නැත. නමුත් වැරදි තොරතුරක් මගින් එම කෙනා මියගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත
  5. එම මොහොතේ මිය යෑමක් සිදු නොවුනත් කණගාටුවට පත්වීම, හැඬීම දෙඩීම සිදුවන්නේය
  6. නිගමනය වන්නේ මිය යෑම සිදුවුවත් නොවුනත් දැනගැනීම සිදුවූ පමණකින් කෙනෙක් මිය යෑම නොයෑම තීරණය වන බවය
  7. ලෝකය තුළ කුමක් සිදුවුවද එය දැනගන්නා තුරු අපට එය සිදුවී නැත
  8. සිල්වත් අයකු දුස්සීල ලෙස දැනගතහොත් අපට ඔහු දුස්සීලය. අනෙක් කාරණා සඳහාද එසේමය
  9. අපට සංසාරය සකස්වීමට ප්‍රධාන හේතුව වන්නේද දැනගැනීම හෙවත් දෘෂ්ටිය පිරිසුදු නොවීමය. ඒ අතරින් ප්‍රධාන වන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඇත ලෙස සිදුවී ඇති දැනගැනීම හෙවත් සක්කාය දෘෂ්ටියයි
No audio available
282. ධර්මය

282. ධර්මය

  1. නූතන වෛද්‍ය ප්‍රතිකාර තුළ රෝගීන් හට, විවිධ ඖෂධ සහ නොයෙක් ප්‍රතිකාර ක්‍රම ඇත්තේය
  2. අයෙක් වචනයෙන් පවා සුව කළ හැකි ය. තවත් විටෙක ගෑමට, බීමට මෙන්ම එන්නත් ලෙසද බෙහෙත් නියම කරන්නේය
  3. තවත් අයෙකුට අතපය බැඳ දැමීම, තරවටු කිරීම සහ හිර කර තැබීම ආදී ක්‍රමවලින්ද සැත්කම් කිරීම් සහ බද්ධ කිරීම්ද වශයෙන් ප්‍රතිකාර පවතින්නේය
  4. එලෙසම ධර්මය වනාහී සංසාර රෝගය සුවපත් කරන ඖෂධයකි. අයෙක් දහම් වචනය ඇසුණු පමණකින් සුවය ලබන අතර තවත් අය සඳහා අනුගමනය කළ යුතු නොයෙකුත් උපක්‍රම ධර්මය තුළ සඳහන් වේ
  5. කමටහන් ලබාදී සුවපත් කිරීම පමණක් නොව, දඬුවම් ආදිය නියම කිරීම සහ නොයෙකුත් සීලයන් පනවා සිත සිරකිරීමද ධර්මයක්ම වේ
  6. ස්වයං ශික්ෂණය ඇති ශ්‍රාවකයා මෙම දඩුවම් වලට ද සීලයට ද යටත් වන්නේ ස්වකැමැත්තෙන්මය
  7. සිත කය පරිහරණය යනු එක්තරා ආකාරයකින් සැඟවුණු පාලක මැදිරියක් ඇති උපකරණයක් වැනිය
  8. ධර්මය යනු පාලක මැදිරිය කුමක්දැයි, එහි එක් එක් අයිතමය සතු හැකියාව, දුර්වලතාවය, එම පද්ධතිය යහපත සඳහා නොවන බව, මිදිය යුතු බව මෙන්ම මිදිය යුතු මාර්ගයද විස්තර සහිතව පෙන්වා දීමක් වැනිය
  9. වෙනත් ආකාරයකින් කිසිදා පරාජයට පත් නොවූ, ඔබට අපට දුක උරුම කිරීමේ ධර්මය වන *සක්කාය දිට්ඨිය* බිඳීමේ ආයුධය යනු අති ප්‍රභල වූ තථාගත ධර්මය යි
No audio available
281. රස්තියාදුකාර සිතිවිලි

281. රස්තියාදුකාර සිතිවිලි

  1. සිතෙහි සිතිවිලි රස්තියාදුකාරයන් වැනිය. ඕපාදූප කරේ තබාගෙන පැමිණ සිත තුළ කැලඹීමක් ඇතිකර පිටව යන්නේය
  2. සිතිවිල්ලක් තුළින් පුද්ගලයෙකුට විනාශයක් මිස යහපතක් සිදු නොවන්නේ ය. කුමන සිතුවිල්ලකින් වුවත් බොහෝ විට සිදුවන්නේ සසර දිගුවීම පිණිස හේතු සකස්වීම පමණි
  3. සිහියෙන් නොසිටියහොත් සිතිවිලි විසින් අනාගතයේ දුක පැමිණීම පිණිස කර්මයන් උපදවා පිටව යන්නේය
  4. සිතිවිලි ක්‍රියාත්මක වන්නේ සන්තතියක් ලෙසය. උදාහරණයක් ලෙස පැමිණි දුකක් පහව යන්නේ ක්‍රමානුකූලවය. තත්පරයෙන් තප්පරයට දුක සැප ලෙස උච්ඡාවචනය වීමක් සිදුවන්නේ නැත
  5. පුළුන් කැබැල්ලක් ඉහළ අහසෙහි තබා අතහැරිය විට වැටෙන්නේ කොතැනටදැයි නිශ්චිතව කිව නොහැක
  6. එලෙසම සිතිවිල්ලකට මෝහය මිශ්‍ර වූ විට ඉතා බලගතුය. කුමන විනාශයක් සිදුවේදැයි තක්සේරු කළ නොහැක
  7. උදාහරණයක් ලෙස මෝහයේ ප්‍රමාණය අනුව ප්‍රාණඝාතය, සියදිවි හානි කර ගැනීම, සොරකම ආදී ඕනෑම අකුසල කර්මයක් මහත් අකුසල කර්මයක් ලෙස සිදුවිය හැක
  8. නමුත් කාරණය සරලය. සිතිවිල්ලක් ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන එකම සිද්ධිය තුළ, ගැඹුරු කුඩා මෝහයක් පැවතීම මේ සියල්ලටම හේතුව වේමනුස්ස ජීවිතය වේගයෙන් නොයෙකුත් කඩඉම් පසු කරමින් මරණය කරා ළඟා වන්නේ ය. ලැබුණා වූ මනුස්ස ජීවිතයේ නිමාවත් සමග වැසිකිලියක් බඳු විඤ්ඤාණ ධර්මතාවයෙන් මිදීමට ඇති තවත් අවස්ථාවක් අහිමි වී යන්නේ ය
No audio available
280. හඬක් නැති වේදනාව

280. හඬක් නැති වේදනාව

  1. මිනිසෙකුට යම් කරදරයක් වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
  2. සමහර සත්ව කාණ්ඩ වලටද යම් කරදරයක් වේදනාවක් ඇති වූ විට කෑ ගැසීමේ හැකියාව ඇත
  3. එය මනුස්ස ආදී සත්වයින්ට පවතින බලයකි
  4. නමුත් ඇතැම් මාළුවන්, කුහුඹුවන් වැනි සත්වයින්හට තමන්ට කරදරයක් දුකක් පීඩාවක් දැනෙන විට කෑ ගැසීමේ හැකියාව, දුක ප්‍රකාශ කිරීමේ හැකියාව අකුසලය විසින් වසා දමා ඇත
  5. ප්‍රතිචාරයක් නොමැති බැවින් බලයෙන් වැඩි සත්වයන් හට හැඟී යන්නේ එම බලයෙන් හීන සත්ත්වයන් හට වේදනාවන් නොදැනෙන බවය
  6. එම නිසා ඔවුන්ගේ වේදනාවට හඬක් නැගීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. එනම් ඔවුන්ට ලැබෙන අනුකම්පාවට සීමාවන් පැනවී ඇත
  7. අන් අයගේ බලය හමුවේ සියලු වේදනාවන් දරාගෙන සිටීම ඔවුන්ගේ ඉරණම වී ඇත
  8. වැස්සක් වුවද ඔවුන්ට ලැබෙන්නේ මහා මුහුදක් ලෙසය. මඳ සුළඟ වුවද සුළි සුළඟක් ලෙස හමන්නේය
  9. එම නිසා බලයෙන් වැඩි අපගේ එක් සිතිවිල්ලක වෙනසින් බලයෙන් හීන සත්වයන්ගේ ජීවිත පවා නැසී යන බව සිහියේ තබා ගත යුතුය
No audio available
279. පාවහන් යුගල

279. පාවහන් යුගල

  1. දෙපයට ආරක්‍ෂාව සලසන පාවහන් යුගල හිතමිත්‍රයන්ටත් වඩා සේවයක් සිදුකරයි
  2. පාවහන් මගින් කටු ගල් මුල් ආදිය මෙන්ම කුණු තැවරීම ලිස්සීම ආදියෙන්ද ආරක්ෂාව සලසාලයි
  3. නමුත් මේ සියල්ල සිදුවන්නේ පාවහන් පලඳා ඇති අවස්ථාවේ පමණි
  4. එලෙසම තථාගත ශාසනය තුළද සත්වයාගේ සැපය පිණිස නිර්වාණය පිණිස කමටහන් ලෙස පාවහන් යුගලක් ඇත
  5. කමටහන් යනු කෙටියෙන් ගතහොත් සිතට ආරක්ෂාව සලසන, නිර්වාණයට පමුණුවන ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදයන්ය
  6. නොයෙකුත් භාවනා ක්‍රම මෙන්ම වත්පිළිවෙත් ආදිය ද මෙනෙහි කළ යුතු ආකාරයන් ද කමටහන් ගණයට ඇතුළත්වේ. කමටහන තුළ සිත පවතිනතුරු සිතෙහි ආරක්ෂාව සිදුවේ
  7. දුක ආදියෙන් ආරක්ෂාව සලසයි. භවය තුළ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී සැපය ළඟා කරයි. සතර අපායට දොර වැසී යයි. නිර්වාණය පිණිස මාර්ගය සලසාලයි
  8. සිත කුඩා දරුවෙක් වැනිය. විටෙක තරවටු කළ යුතුය විටෙක නින්දා කළ යුතුය. අගය කිරීමෙන් ද සිත මෙල්ල කළ හැකිය. උදාහරණයක් ලෙස එක් මොහොතක හෝ කමටහන තුළ සිහිය පවතින්නේ නම් එය ඉතා අගය කළ යුතුය
  9. සංසාරයක් අසිහියෙන් සිටි මා හට එක් මොහොතක් හෝ සිහියෙන් සිටීමට හැකි විය, ආදී ලෙස මෙනෙහි කරමින් සිත නැවත නැවත දිරිමත් කළ යුතුය
No audio available
278. සිහිය ඇත පුද්ගලයෙක් නැත

278. සිහිය ඇත පුද්ගලයෙක් නැත

  1. ගසක් ප්‍රමාණවත් වැඩීමෙන් පසුව මල් දැරීම සිදුවේ. එය නියමිත කාලයේ නියමිත ස්ථානයේ සිදුවන්නේය
  2. එනම් ගස තුළ මනා සිහියක් පවතී
  3. තවද ගසක් මනා සිහියෙන් සියලු ගෙඩි කොළ අතු ආදියට පෝෂණය සපයයි. අතපසුවීම් මගහැරීම් සිදුවන්නේ නැත
  4. පොළොවට වැටෙන සෑම කොළයක්ම අමතක වීමෙන් තොරව දිරාපත් වන්නේය
  5. ව්‍යාධිය සිදු නොවුනහොත් සෑම පැළයක්ම ගසක් වන්නේය. පැලයකට වර්ධනය වීම අමතක වන්නේ ද නැත
  6. අඹ ගසක වැරදීමෙන් පැපොල් හටගන්නේ නැත. මනා සිහියෙන් යුතුව අඹ ගසෙහි අඹම හට ගන්නේය
  7. මෙලෙස මෙනෙහි කරන විට ඉර හඳ මහ පොළොව සුළඟ ගහකොළ ආදී සියල්ල තුළ සිහිය පවතින බව වටහාගත හැකිය
  8. එනම් පුද්ගල භාවය නොමැති වුවත් සොබා දහම තුළ සිහිය ක්‍රියාත්මක වන්නේය
  9. මේ ආකාරයෙන් මෙනෙහි කොට සිහිය පවතින බැවින් පුද්ගලයෙක් පවතී ආදී ලෙස පවතින දෘෂ්ටීන් බිඳදැමිය යුතුය
No audio available
277. නොපෙනෙන බලය

277. නොපෙනෙන බලය

  1. ඔන්චිල්ලාවක් තල්ලු කළ විට ප්‍රතිචාර වශයෙන් එය නැවත අප කරා පැමිණෙන්නේ තරහව නිසා නොවේ. යම් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
  2. එලෙසම යම් පුද්ගලයෙකුට බැනීමක් සිදුකළ විට ආපසු බැනුම් ලැබෙන්නේද එවන් හේතුඵල ක්‍රියාවලියක් නිසාය
  3. ගුරුත්වාකර්ෂණයට වස්තුවක් ස්පර්ශ කිරීමෙන් තොරව බලපෑම් කළ හැකිය
  4. කාන්දමකට, විශේෂ ගුණ ඇති වස්තූන් කුලකයකට ස්පර්ශයෙන් තොරව බලපෑම් කළ හැකිය
  5. එලෙසම විඤ්ඤාණ අතරද බලයක් ක්‍රියාත්මක වන අතර විඤ්ඤාණයකට තවත් විඤ්ඤාණයක් විසින් බලපෑම් සිදුකළ හැකිය
  6. එලෙසම අමනුස්ස, ප්‍රේත, භූත, ඇස් වහ, කට වහ ආදී බලපෑම් ලෙස ක්‍රියාත්මක වන්නේය
  7. ගුරුත්වාකර්ෂණ බලය, කාන්දම් බලය ආදී ලෙසම කර්ම බලයද ක්‍රියාත්මක වන්නේය.
  8. ආයතන වලට ගෝචර දෑ සත්‍යය ලෙසද ආයතන වලට ගෝචර නොවෙන දෑ ආශ්චර්ය අද්භූත ලෙසද සැලකුවත් සියල්ල එක හා සමාන ලෝක ධර්මතාවයන්ය
  9. තවද ලෞකික කාරණා සඳහා නොදැන ගත් දේ තුළ වටිනාකම් ගොඩනැගෙන අතර දැනගත් විට එහි වටිනාකම දියවී යන්නේය. නමුත් ලෝකෝත්තරව කිසිවක වටිනාකමක්, නොවටිනාකමක් පැනවෙන්නේ නැත
No audio available
276. කටුක බව

276. කටුක බව

  1. ඉගෙන ගැනීම කටුකය, නමුත් රැකියාවක් කිරීමට එය සිදුකළ යුතුය
  2. රැකියාව කටුකය, නමුත් වැටුපක් ලබා ගැනීමට එය සිදු කළ යුතුය
  3. වැටුපෙන් කළ හැකි වන්නේ කැමති දේ ගැනීම නොව තිබෙනා දෙයින් යමක් තෝරා මිලදී ගැනීමයි
  4. එයින් බඩගිනි වේදනාව, සීතල උණුසුම ආදී දුක්ඛයන්ගෙන් සම ආරක්ෂා කිරීම, ඇසෙහි ඇති රූප දැකීමේ පිපාසය දුරු කිරීම, සිතෙහි විඳීමේ පිපාසය දුරු කිරීම, දිවෙහි රසවිඳීමේ පීඩාව දුරු කිරීම ආදී ලෙස වේ
  5. අවසානයේ රැකියා ආදිය සිදු කිරීමෙන් සිදුවී ඇත්තේ නොයෙකුත් කායික මානසික පීඩා දුරු කිරීමක් පමණි
  6. අන් ආකාරයෙන් රැකියා සිදු කරන්නේ වේදනාවන් අඩුකර ගැනීමට මිස සැපතක් ලැබීමට නොවේ. සසර තුළ පවතින්නේ සැප සොයමින් දුක් විඳීමක්ය. සැප ලෙස හමුවන දෑ ද දුකට මගක්ය.
  7. තවද පැවිද්ද වුවද අපහසුය, කටුකය, දුක් සහගතය. ලෞකික ජීවිතය බොහෝ අපහසුය, බොහෝ කටුකය, බොහෝ දුක් සහගතය
  8. ඇසින් බාහිර දේ දැකිය හැකි වුවත් එළිපිටම ඇති ඇසට ඇස දැකිය නොහැකිය. ඇස දැකීම උපක්‍රම හෝ මානසික ක්‍රමයකින් සිදු කළ යුතුය. එලෙසම එළිපිටම තිබුණත් මට මම හමුවන්නේද නැත. එය ප්‍රඥාගෝචරව වෙර වීරියෙන් සිදු කළ යුතු කාරණයකි
  9. මේ දුක්ඛයන් දුරු කිරීමට මේ මොහොතේ ගනු ලබන තීරණ බොහෝ වැදගත්ය. එම තීරණ පිළිබඳව සිය දහස් වාරයක් වුවද විමසීමට වටින්නේය
No audio available
275. ගඟ මැද ගල

275. ගඟ මැද ගල

  1. පුද්ගල දෘෂ්ටිය යනු ගඟක් මැද පිහිටි ගලක් වැනිය. ගඟ යනු සසර ස්වභාවය වේ
  2. ගල නිසා ජලයේ කැළඹීම, දියසුළි, රැළි ආදිය ඇතිවේ. ගලෙහි නිරතුරුව ජල පහර වැදීම සිදුවේ. ජල පහර ඔස්සේ ගලා එන යමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම සිදුවන්නේද ගල මත පීඩනයක් එල්ල වීමයි
  3. ගල, පොළොව අල්ලාගෙන පීඩනයෙන් මිදීමට උත්සාහ කළත් පීඩනය නතර වන්නේ නැත. අන් ආකාරයෙන් ගලෙහි ඉරණම වී ඇත්තේ පීඩනය නැතහොත් දුක දරා ගෙන රැඳීමක් පමණි
  4. දුකට හේතුව වන්නේ ගල පැවතීමයි. එසේම දුක නොපැවතී ගලෙහි පැවැත්ම ඇතිවන ක්‍රමයක්ද නැත
  5. උපමාවකට ගැලපුවහොත් දියරැළි, දියසුළි සහ ජල පහර වැදීමෙන් ඇතිවන පීඩනය ආදී බලපෑම්ද තෘප්තියක් කර ගනිමින් වින්දනය කිරීමට ගල උත්සාහ කරයි
  6. නැතහොත් ජලය තුළ බැසගෙන තිබෙන ගල ජලයෙහි සිසිලස හෝ විඳිමින් තෘප්තියක් ලැබීමට උත්සාහ කරයි
  7. එලෙසම පුද්ගල ධර්මතාවය ද සිසිලස, උණුසුම, හිරු එළිය සහ ශරීර වේදනාව ආදී සියල්ලෙන්ම බැට කමින් ඒවා තුළින්ම යම් තෘප්තියක්ද සකස් කර ගැනීමට උත්සාහ කරයි
  8. සසර තුළ කිසිදු පරම වූ සැපක් නොමැත. වැසිකිලි කැසිකිළි කිරීම තුළ පවා අපහසුතාව පහවීමෙන් තෘප්තියක් ලබා ගැනීමට විඤ්ඤාණයට සිදුවී ඇත්තේ ඒ නිසාය
  9. බඩගින්නට බත් කෑම විසඳුම නොවේ. බඩගින්නට නැවත නැවත බත් කෑමෙන් බඩගින්න කිසි දිනක දුරු වන්නේ නැත. එසේම බත් කෑමෙහි අවසන් වීමක්ද නැත. පැවැත්මට සකස් වූ විසඳුම් තුළ ඇත්තේ ද බඩගින්නට බත් කනවා වැනි තාවකාලික නිෂ්ඵල බවකි
No audio available
274. වැරදි වැටහීම

274. වැරදි වැටහීම

  1. විඤ්ඤාණ ධාතුව බොහෝ කල් පැවැති පුරුදු අනුව වෙනස් ලක්ෂණ දරයි. නමුත් හේතු ඵල ලෙස ක්‍රියාත්මක වීම, පැවැත්ම, නිරෝධය, කර්මය ආදී සියලු ධර්මතාවයන් විඤ්ඤාණය තුළ නොනැසී පවතින්නේය
  2. ගෙවීමට ඉතිරි වූ කර්මයන් මිස නිරෝධ කළ නොහැකි ලෙස පැනවෙන විඤ්ඤාණ ලෝක ධාතුව තුළ නොමැත
  3. ලෝක ධර්මය තුළ හේතු ඵල ක්‍රියාවලියක්ම මිස වැරදි නිවැරදි ලෙස, දුක සැප, හොඳ නරක, කරුණාව දයාව ආදී කිසිවක් පැනවෙන්නේ නැත
  4. ඒවා පැනවෙන්නේ සත්ව පුද්ගල දෘෂ්ටියට සාපේක්ෂවය
  5. ආයතන හරහා ඇතුල්වන තොරතුරු හඳුනා ගැනීම ඒ හරහා කර්මය ආදී ධර්මයන්ද උපයෝගී කරගනිමින් පැවැත්ම සකස් කර ගැනීම විඤ්ඤාණයේ ස්වභාවයයි
  6. නමුත් ගැටළුව වන්නේ මෙම ධර්මතාවය හරහා හේතුඵල ලෙස සකස් වූ දුක් විඳින සත්වයකු සසර තුළ සිරවීමයි. බුදු කෙනෙක් මැදිහත් වන්නේ මෙම ප්‍රශ්නය විසඳීමටයි
  7. මෙම සත්ත්වයා සසරෙන් ගැලවීම යන කාරණයට සාපේක්ෂව හොඳ නරක, වැරදි නිවැරදි හඳුනා ගැනීම, සැප දුක ආදී ධර්මතාවයන් ගොඩනැගේ
  8. මේවා හුදෙක් මම නැමති දෘෂ්ටියට සාපේක්ෂව පවතින ධර්මතා පමණි. ඒවා පරම සත්‍ය නොවන සාපේක්ෂක ධර්මතාවයන්ය
  9. එනම් සත්වයා සසරට පමුණුවන නැවත ඉපදීමකට හේතුවෙන පැවැත්ම ඇති කරන සියලු වැටහීම්, වැරදි වැටහීම් වේ. ඒ අනුව නැවත ඉපදීමක් ඇති නොවන පරිදි යම් වැටහීමක් ඇත්නම් එය නිවැරදි වැටහීමකි
No audio available
273. පිළිකුල සහ වචන භාවිතය

273. පිළිකුල සහ වචන භාවිතය

  1. කළකිරීම සහ පිළිකුල ඉස්මතු වන ආකාරයෙන් වචන යොදමින්, සෑමවිටම මෙනෙහි කිරීම් කළ යුතුය
  2. මේ කයෙහි සම මතුපිට අසූචි තැවරී ඇති ස්ථාන ඇත්තේය. මසෙහි ගිලුණු මස් ගොබ දෙකක් මගින් පෙනීම ඇති වන්නේය
  3. මේ කයෙහි කකුල් කෙළවර මෙන්ම අත්වල කෙළවරද සම සිට මස දක්වා ගිලුණු නියපොතු ඇත්තේය. කෙළ මත ගිලුණු දිව ඇත්තේය
  4. දත් පිරිසිදු කිරීම මඳක් ප්‍රමාද වුවහොත් දත් අතර පල් වූ ආහාර කැබලි කෙළ සමග මිශ්‍ර වී කුණු ගඳ හමන්නේය
  5. මේ ශරීරයේ මළ මුත්‍රා, නිදිමත සහ බඩගිනි ආදී නොයෙක් වේදනාවන් ඇතිවන්නේය. නොයෙකුත් දුර්ගන්ධයන් හමන්නේය
  6. මොනතරම් කම්මැලියෙක් වුවත් කම්මැලිකම් පසෙකලා, වහලෙකු මෙන් වැසිකිළි කැසිකිලි ආදී ශරීරකෘත්‍යය ඉටු කර දීමට සිදුවන්නේය
  7. විටින් විට අසූචි පිටවීම පිණිස සංඥා නිකුත්වන්නේය. ඊට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉන්නා ස්ථානයේම අසූචි පිටව යන්නේය
  8. විටින් විට වේදනාවක් සමඟ මුත්‍රා පිරී ඇති බව සංඥාවන් මගින් මනසට ලැබෙන්නේය. වැසිකිළියට දුවනවා මිස, කිසිවෙකු එය කල් දැමීමට, තර්ක කරන්නේ හෝ උත්සාහ කරන්නේ නැත
  9. මෙම ශරීරය දුක් විඳීමටම සකස් වූවකි. මෙහි තතු හොඳින් දන්නා අයෙකු මෙයින් මිදීමම පතන්නේය
No audio available
272. සිත පෙරළා ගැනීම

272. සිත පෙරළා ගැනීම

  1. අප නොයෙකුත් කාරණා ඉස්මතු කළත් සිත පහසුවෙන් එම කාරණා පිළිගන්නේ හෝ ඒ තුළ පිහිටන්නේ නැත
  2. සිතට තරවටු කොට එම කාරණා තුළ පිහිටවිය යුතුය
  3. යකඩ ඇණයක් වුවද සියුමැලිව අතගා එය ගැලවීම අපහසු කාරණයකි
  4. ශරීර ශක්තිය මෙන්ම නුවණින් උපක්‍රම යොදා, නොයෙක් ආයුධ භාවිතයෙන් ගැලවීම සිදු කළ යුතුය
  5. එලෙසම සිතේ තදට බැස ඇති කෙලෙස් නැමැති ඇණ ගැලවීමටද එවැනිම ක්‍රමයක් භාවිතා කළ යුතුය
  6. ප්‍රාණ ශක්තිය උපදවා උපක්‍රමද යොදා ක්ලේශයන් ගැලවීම පිණිස වෙර වීරිය කළ යුතුය
  7. සැමදා එකම දේ සිදු කරන විටද ඒවාට හුරුවී ඒවා තුළද කෙලෙස් වැඩීම සිදුවේ
  8. ක්‍රම වෙනස් කරමින් නැවත නැවත යාවත්කාලීන කරමින් මෙම සංග්‍රාමය කළ යුතුය
  9. ආයුෂ කෙළවර වීමට පෙර, ධර්ම මාර්ගය තුළ සිත පිහිටුවීම සංසාරය පුරාවටම සිදු නොවූ නමුත් සිදුකළ යුතුම කාර්යයයි
No audio available
271. රූපවාහිනිය

271. රූපවාහිනිය

  1. රූපවාහිනියක් නරඹන්නෙකුට විකාශනය වන දෙය නැරඹීම මිස සිදු කළ හැකි වෙනත් කිසිවක් නැත
  2. චැනල් එක මාරු කළද සිදුවන්නේ නැවත විකාශනය වන දෙයක් නැරඹීම පමණි. විකාශනයට කිසිදු බලපෑමක් කළ නොහැක
  3. කතාවක් නැරඹීමට කැමැත්තක් ඇති විට රූපවාහිනයක් මිලදී ගැනීම, විදුලි බලය සපයාදීම, සුදුසු ස්ථානයක තබා ආරක්ෂා කිරීම, විකාශනය වන මොහොතට එය නැරඹීමට සිදුවීම ආදී බොහෝ ආදීනවද එහි පවතී
  4. කතාව පමණක් වෙනම නැරඹීම කළ නොහැක. වෙළඳ දැන්වීම් ආදිය නැරඹීමට සිදුවීම ආදීනව වේ
  5. එලෙසම මනස යනු ත්‍රිමාණ රූපවාහිනියකි. එය සාමාන්‍ය රූපවාහිනියකට වඩා දියුණු අතර ඇසීම, පෙනීම පමණක් නොව දැනීම, හැඟීම ආදී විශේෂාංග වලින් ද සමන්විත වේ
  6. මේ තුළ නොයෙකුත් විපාකයන් විකාශනය වන අතර ඒ ඒ මොහොතේ කර්මයන් ආදිය සකස් වෙමින් අනාගත විකාශනය ද සැලසුම් වේ
  7. සැප විඳීමේ අරමුණින් විකාශනය නැරඹුවත් නොයෙකුත් දුක්ඛයන් පැමිණීම නොවැළැක්විය හැකි දෙයකි
  8. සංසාරයක් තුළම සිදුකර ඇත්තේ මනස තුළ සිදුවන දුක සැප ආදී නැවත නැවතත් පුනරාවර්තනය වන විකාශනයන් නැරඹීමක් පමණි
  9. විකාශනය මම නැමැති දෘෂ්ටිය නිසා සිදුවන බවද විකාශනය තුල ඇති කුඩා කොටසකට ඇති වූ කැමැත්ත සියල්ලටම හේතුව බවද වැටහුණු විට විකාශනය නිරායාසයෙන් නතර වනු ඇත
No audio available
270. නොනිදන සෙවණැල්ල

270. නොනිදන සෙවණැල්ල

  1. සෑම කෙනෙකුම අතීතයේ රැස්කළ කර්මයන් ඔවුනොවුන්ට නොනිදන සෙවණැල්ලක් ලෙස උපමා කළ හැකිය
  2. සෙවණැල්ලක් පුද්ගලයා හැර නොයන්නා සේම, අප විසින් රැස් කරන ලද කර්මයද, මේ භවයේදී හෝ භවයෙන් භවයට හෝ අප පසුපසම ලුහුබඳිනු ඇත
  3. ස්තුවක් නොමැතිව සෙවණැල්ලක් ඇතිවන්නේ නැත. එලෙසම මම නැමැති දෘෂ්ටියෙන් තොරව කර්මයක් හට ගන්නේද නැත
  4. සෙවණැල්ලක් අල්ලා ගැනීමට, පාලනය කිරීමට නොහැකි සේම, කර්මය හෝ විපාකය අපගේ බාහිර කැමැත්තට අනුව වෙනස් කළ නොහැකි ධර්මතාවයකි
  5. සතර අපාය (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර) යනු නොනිදන සෙවණැල්ල අතිශයින්ම බලවත් වී විකෘති වී ගොස් ඇති භයංකර අවස්ථාවක් බව දැක්විය හැකිය
  6. අප අතින් කුසල් හෝ අකුසල් සිදුවන සෑම මොහොතකදීම, නව කර්මයක් (නව සෙවණැල්ලක්) නිර්මාණය කරමින්, සංසාර ගමන තව තවත් දීර්ඝ වේ
  7. සෙවණැල්ලකට වෙඩි වදින්නේ නැත. පොල්ලෙන් ගසා විනාශ කළ නොහැක. වෙනත් භෞතික උපක්‍රමයන් යෙදීමෙන්ද ඇති ඵලක් නැත
  8. එයට අදාළ හේතු නිරෝධ වන්නේ කෙදිනකද, ඒ වනතුරු කල්ප කාලාන්තරයක් වුවද සෙවණැල්ල පවතින්නේය. සක්කාය දිට්ඨියද එලෙසමය. ප්‍රාර්ථනාවෙන්, යැදීමෙන් හෝ හඬා වැටීමෙන් නිරෝධ වන්නේ නැත. එයට තුඩුදුන් හේතු කෙදිනක හෝ සොයා නිරෝධ කරන තුරු සක්කාය දිට්ඨියද ඒ හා බැඳී ඇති සසර ගමනද නොනැසී පවතිනු ඇත
No audio available
269. මිනිස් නුවණ

269. මිනිස් නුවණ

  1. මනුස්සයාගේ දැන ගැනීම් පිළිබඳ බුද්ධිමත් භාවය අන් සත්වයන්ට සාපේක්ෂව ඉහළ තත්වයකට වැඩිදියුණු කළ හැකි ය
  2. මතකය මෙන්ම, තීරණ ගැනීමේ හැකියාව සහ පුණ්‍ය ශක්තිය අනුව උරුමවන අතර එය කාලයෙන් කාලයට ජීවිතයෙන් ජීවිතයට වෙනස් වේ
  3. අන් සත්වයන්ගේ මානසික මට්ටමට සම වීම තුලින් එම සත්වයන්ට ඇතිවන දුක්ඛයන්, මානසික මට්ටම් මනාව වටහා ගත හැක. ඒ සඳහා එම සත්වයින් මම යැයි මට ආදේශ කර සිතීමෙන් මිනිසුන්ගේ මෙන්ම තිරිසන් සත්ත්වයන්ගේද දුක හඳුනාගත යුතුය
  4. මනුස්සයන් වූ අපට බොහෝ බලයක් ඇත. එය කොපමණද කිවහොත් අපගේ එක් සිතිවිල්ලක වෙනසින් බොහෝ සත්වයන් හට අභය දානය පවා ලබා දිය හැක. උදාහරණයක් ලෙස සින්ක් එකට උණු වතුර නොදැමීම ආදිය දැක්විය හැක
  5. කාමභෝගී සිතට ලැබුණු දෙයෙහි වටිනාකමක් පෙනෙන්නේ නැත. නොලැබුණු දේ තුළ බොහෝ වටිනාකමක් පෙනෙන්නට වන්නේය
  6. නමුත් ලැබුණු දෙය අහිමි වන විට හඬා වැලපීමේ ප්‍රමාණය, දුක් වීමේ ප්‍රමාණය අනුව එහි වටිනාකම විදහා දක්වන්නේය. නමුත් එවිට සියල්ල සිදුවී හමාරය
  7. නිර්වාණ සම්පත්තියද එවැන්නකි. අතට ලැබුණු අවස්ථාව මඟහරින, ප්‍රමාද කරන අප හට එහි වටිනාකම වැටහෙන්නේ නිරය, තිරිසන් ආදී අපායට වැටුණු දවසටය
  8. නමුත් එවිට වටහා ගැනීමේ හැකියාවද, අපගේ බලයද, නුවණද අපට අහිමි වී ගොසින්ය
  9. මනුස්ස නුවණ නොසිතන තරම් බලවත්ය. මුවහත් කළ විට කෙලෙස් ඉදිරියේ දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස ක්‍රියා කරන්නේය
No audio available
268. ලේ සංඥාව

268. ලේ සංඥාව

  1. සිතේ විසිරුණු ස්වභාවය, සිත එකඟ කර ගැනීමට ඇති කදිම භාවනා උපක්‍රමයක් වන්නේ අසුභ සංඥාව මෙනෙහි කිරීමයි. ලේ සංඥාව යනු තවත් අසුභ සංඥාවකිලේ යනු ඝාතනය, මාංශ, ලේ පිපාසය, දඬුවම් සහ වධහිංසන වැනි අකුසල සහ දුක, අශුභ සංඥාවන් සමඟ සෘජුවම බැඳුණු ද්‍රව්‍යයකි. ඒ බව සිතට වටහා දිය යුතුය
  2. රුධිරයට ඇති කැමැත්ත යනු නිරය, ප්‍රේත, අසුර සහ තිරිසන් ආදී සතර අපාගත උප්පත්තීන් හි ගති නිමිති සමඟ සෘජුවම බැඳී පවතින සහ දුකට නැඹුරුවීමක් බව පෙන්වා දිය යුතුය
  3. රූප කෙරෙහි ඇලී බැඳී සිටීම යනු, රුධිරය නොමැතිව පැවතිය නොහැකි ඇසට බැඳීමකි. රුධිරයටම කැමති වීමකි, එනම් එනම් දුගති, ගති නිමිති ඒ හා ස්පර්ශව පවතී. මෙය මෙලෙසම බව පෙන්වා දිය යුතුය
  4. එලෙසම, ශබ්දයට කැමති වන්නා ද, රුධිරයෙන් තොරව පැවතිය නොහැකි කනක් මුල් කරගෙන, වක්‍රාකාරව රුධිරයට කැමැත්ත දක්වයි එනම් එහිද දුගති ගති නිමිති ස්පර්ශව පවතී
  5. දිව සහ ශරීරය තුළින් රසයන් සහ ස්පර්ශයන් විඳීම යනු ලේ මාංශ ඇසුරේ ගනුදෙනු කිරීමකි. එහිද පවතින්නේ දුගති ගති නිමිතිය
  6. සිතිවිලි පවා රුධිරය හා බැඳී පවතින්නේ, ඉහත ගනුදෙනුවලට වක්‍රාකාරව දායකවීම සහ සිත පැවැත්මට රුධිර සැපයුම අත්‍යවශ්‍ය වන බැවිනි
  7. මෙම ඉන්ද්‍රියයන් තුළින් අප විඳින සියලු සැප යනු, අවසානයේ ලේ මාංශ ඇසුරෙහි ගොඩනැගෙන දුගති ගති නිමිති වලට මාර්ගයේ විවර කර ගැනීමකි
  8. මෙලෙස සිතිවිලි ලේ හා ස්පර්ශව ඇති බව, දුගති ගති ඒ හා සම්බන්ධ බව පෙන්වා දිය යුතුය. මේලෙස සිතීම මගින් සිත හික්මවා ගත හැකිය
No audio available