Report Menu
All Cards
Total Cards: 416 | Page: 6 of 21 | Showing: 20 cards
316. විපාක දීමට සුදුසු පරිසරය

316. විපාක දීමට සුදුසු පරිසරය

  1. කර්මයක් විපාක දීමට නම් ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. පරිසරය නිසි ලෙස සකස් වී නොමැති විට යම් ආකාරයකින් කර්මයන් අහෝසි වීම හෝ සැර බාල වීම සිදුවිය හැකිය
  2. මානසිකව පුණ්‍ය වූ පරිසරයක් ඇත්තෙකුට, විපාක දීමට ඇති කර්මයන්හි සැර බාල වන බව අංගුත්තර නිකායේ ලෝණඵල සූත්‍රයේ සඳහන් වේ
  3. දරුවන්, බිරිඳ, ස්වාමිපුරුෂයා සහ ඥාතීන් යනු කර්මයන් විපාක දීමට ඉතා සුදුසු පරිසරයකි
  4. තම දරුවා, බිරිඳ, ස්වාමිපුරුෂයා යැයි සිතා සිටියද අවසානයේ ඔවුන් ලංවී ඇත්තේ කර්මයන් විපාක දීමට බව බොහෝ අය නොදත් කාරණයකි
  5. තමා සතු අගනා වටිනා වත්කම් නැතිවෙන විට ඇතිවන වේදනාව දරා ගැනීම අපහසුය. එවැනි වූ පරිසරයක් ද දුක් වූ කර්ම විපාක දීමට ඉතා සුදුසු පරිසරයකි
  6. ස්වාමිපුරුෂයා, බිරිඳ සහ දරුවන් වුවද ඔවුන්ගේ නඩත්තුව අපි කැමති ලෙස සිදුකළ නොහැක. නීතියන්ට යටත්ව සහ ඔවුන්ගේ කැමැත්තට එකඟව සිදු කළ යුතුය
  7. කුඩා වෙනසක් සිදුවුවහොත් මිනී මැරුමක්, ගෙල වැළලා ගැනීමක් හෝ වස බීමක් වැන්නක් බලාපොරොත්තු විය හැකිය
  8. මනුස්ස ශරීරය සමෙන් ආවරණය වුණු බඩවැල් ගොඩක්ම මිස ඒ තුළ රන් මිණි මුතු මැණික් නොපවතී
  9. එහිම සරණ යනවා මිස ජීවිත කාලය අවසන් වන තුරුම එය හඳුනා ගැනීමට නොහැකි තරම් අන්ධකාරයක් ඒ තුළ පවතී
No audio available
315. දිට්ඨෙ දිට්ඨ මත්තං

315. දිට්ඨෙ දිට්ඨ මත්තං

  1. ඇසට සිදුවන්නේ පෙනීමකි. එය එපමණකි. එය පැහැදිලි කර ගැනීමට දරන උත්සාහයක් පහත පරිදි වේ
  2. පෙනීම දැනගැනීම ලෙස විඤ්ඤාණය ස්පර්ශ කරයි. විඤ්ඤාණය යනු දැනගැනීමම වේ. දැනගැනීමේ හැකියාව විසින් එය හඳුනා ගනී
  3. දැන ගැනීමේ හැකියාව අන් ආකාරයෙන් විපාකයක් බැවින් කළ හැකි වන්නේ නැවත දැනගැනීමකට හේතු සකස් නොකිරීමයි. තවද එම දැනගැනීම සිදුවන්නේ හේතුඵල ලෙස වන අතර මනසේ අපිරිසිදු කමට සාපේක්ෂව එය සිදුවේ
  4. දැනගැනීමේ දෝෂය අන් ආකාරයෙන් කර්මයන් සකස් වීමේ යතුරයි. ඇස, රූපය සහ චක්ඛු විඤ්ඤාණය එකතු වූ තැන ස්පර්ශයක් සිදුවේ
  5. අඳුරේ ඇති අපිරිසිදු කණ්නාඩියක් මතට ආලෝකය වැටුණු විට එය ක්‍රියාත්මක වන්නේ අපිරිසිදු ස්වභාවයෙනි. එය ආලෝකයේ ප්‍රශ්නයක් නොවන අතර එය කණ්නාඩියේ දුර්වලතාවයකි
  6. එලෙසම අපවිත්‍ර විඤ්ඤාණය තුළ ඇතිවන සියලු දැනගැනීම්ද අපවිත්‍රභාවයෙන් තෙත්ව අපවිත්‍ර භාවය මිශ්‍රව පවතී
  7. කණ්නාඩිය පිරිසිදු කර ඇති අවස්ථාවේදී ආලෝකය වැටුණු විට ඇතිවන ප්‍රතිබිම්බයද පැහැදිලිය. තාත්විකය. පිරිසිදුය
  8. මනස පිරිසිදු කළ යුත්තේද ඒ හෙයිනි. එවිට පිරිසිදු කණ්නාඩියකින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුනා සේ පිරිසිදු මනසින් දකින විට සියල්ලෙහි යථාර්ථය පැහැදිලිව පෙනෙනු ඇත.
  9. එවිට එම පිරිසිදු දැන ගැනීම හේතුවෙන් ලෝක යථාර්ථය යම් සේද සිතද ඒ බවටම පත්වනු ඇත
No audio available
314. සූර පප්පා

314. සූර පප්පා

  1. සූර පප්පා, ජිම් පප්පා ආදී චරිත රැගත් එම කාටූනය ලොකු කුඩා කාගේත් සිත් ගත් ඉතා ජනප්‍රිය කාටුන් වැඩසටහනකි
  2. නමුත් සූර පප්පා, ජිම් පප්පා ආදී බොහෝ චරිත වලට කොපමණ ඇලුම් කළත් එවැනි චරිතයන් ඇත්තෙන්ම නැත
  3. ඒ සියල්ල සහ ඒ වටා ගොඩනැගෙන සම්පූර්ණ කතාව මානසිකව සකස් වූ ලෝකයකි
  4. යම් උදාහරණයක් ලෙස ඇත්තෙන්ම පඹයෙක් සිටිනා විට, එතැන සිටිනුයේ පඹයෙකු නොව මිනිසෙකු යැයි දැනගැනීම වේනම් ඒ දැනගැනීම අනුව අපට හැඟෙනුයේ එම ස්ථානයේ මිනිසෙකු සිටින බවයි
  5. අනෙක් ආකාරයෙන් මිනිසෙකු සිටින තැනක දැනගැනීම පඹයෙකු ලෙස වේනම් අපට හැඟෙනුයේ එම ස්ථානයේ සිටින්නේ පඹයෙක් බවයි
  6. මෙයින් අදහස් වන්නේ බාහිර කුමන දේ පැවතුණද කුමන දේ නොපැවතුණද අපගේ දැනගැනීම යම් සේද ඒ අනුව සියල්ල සකස් වන බවයි
  7. ලෝකය තුළ සත්‍ය වශයෙන්ම සත්වයෙකු පුද්ගලයෙකු පැනවිය නොහැකි අවස්ථාවක අපගේ දැනගැනීම වී ඇත්තේ සත්වයෙක් පුද්ගලයෙක් සිටිනා ලෙසය
  8. අපට සියලු කර්ම සකස් වී ඇත්තේ මූලිකවම එම දැනගැනීම පදනම් කරගෙනය
  9. තථාගත ශාසනය තුළ සිදු කෙරෙන්නේ එම දැනගැනීම පිළිබඳ මුලාව පෙන්වාදී දැනගැනීම නිවැරදි කිරීමක් පමණි
No audio available
313. මරණානුස්සතිය

313. මරණානුස්සතිය

  1. පායන හිරුගේ බැස යාම ඒකාන්තයෙන්ම සිදුවන්නේය. එලෙසම අපගේ මරණයද නිශ්චිතවම සිදුවන්නේය
  2. ජීවත්වන සියලු දෙනාගේ ජීවත්වීම පවතින්නේ මරණය එළඹෙනතුරු පමණි
  3. යම් අවුරුද්දක, යම් මාසයක, යම් දිනයක, යම් පැයක, යම් තත්පරයක අපගේ මරණයද ලියැවී ඇත
  4. නිරතුරුව හුස්ම අදිමින් මොහොතින් මොහොත පණ ගසන මේ ජීවිතය තුළ පුදුමය වන්නේ තවමත් ජීවත් වීමය
  5. හෘදය ස්පන්දනය වන මොහොතක් පාසා පණ ගසමින් සිදුවන්නේ එක් ස්පන්දනයක සිට ඊළඟ ස්පන්දනය තෙක් මරණය කල් දැමීමයි
  6. අතීතයේ බොහෝ පිරිසක් ජීවත් වුවද ඒ කිසිවෙකුට මරණයෙන් බේරීමට නොහැකි විය.
  7. උප්පත්තිය හිමිවන්නේ ඒකාන්ත මරණයද සමගය. සියල්ල පවතින්නේ පින පවතින තුරු පමණි
  8. හෘද මාංශය, නහර, බඩවැල් කුණු නොවී නිසි පරිදි පවත්වා ගනිමින් අපව ජීවත් කරවීමට ශරීරය තුළ පවතින නොයෙකුත් පද්ධතීන් දිනපතා විශාල කෘත්‍යයක් සිදු කරනු ලබයි
  9. මරණාසන්න මොහොතේදී සිතේ ඇතිවන ව්‍යාකූලත්වයෙන් මිදීමට, ඉතා විශාල ආරක්ෂාවක් සලසන මරණානුස්සතිය සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු භාවනාවකි
No audio available
312. ප්‍රඥාව සහ තියුණු බව

312. ප්‍රඥාව සහ තියුණු බව

  1. ලෝහ කැබැල්ලක්, ලෝහ කැබැල්ලක් ලෙසම පවතින විට එමගින් විශාල යමක් කළ නොහැකි වුවත් විවිධ වෙනස් ස්වරූපයන් බවට පත් කිරීමෙන් යම් ප්‍රයෝජනයක් ලබාගත හැකිවේ
  2. උදාහරණයක් ලෙස එම ලෝහ කැබැල්ල තියුණු උලක් ලෙස සකස් කල විට එමගින් යමක් විදීම සිදුකළ හැකිය
  3. අවශ්‍යතාවය පරිදි කොක්කක් පිහියක් ලෙස සකස් කළ හැකිනම් එයින් ගත හැකි ප්‍රයෝජනය ඒ ඒ අනුව වෙනස් වේ
  4. එලෙසම සිතෙහි ඇති පැතිරුණු ස්වභාවය තුළ පවතින කෙලෙස් හඳුනා ගැනීමේ හෝ කෙලෙස් කැපීමේ හැකියාවක් නොමැත
  5. එය භාවනා කොට විදර්ශනා කොට ප්‍රඥාවෙන් තියුණු ලෙස සකස් කළ විට බොහෝ පහසුවෙන්ම ක්ලේශයන් කපා දැමිය හැකිය
  6. බිත්තරය තුළ සිටින පැටවාට බිත්තරය පෙනෙන්නේ නැත. බිත්තරය පෙනෙන්නේ බිත්තරයට පිටින් සිටින අයෙකුටය
  7. එලෙසම ක්ලේශයන් තුළම සිටින, ඒ බවටම පත්වු පුද්ගලයකුට ක්ලේශයන් පෙනෙන්නේ නැත
  8. අපගේ ක්ලේශයන් වුවද පෙනෙන්නේ එම ක්ලේශයන් ප්‍රහීණ කල තථාගත ශ්‍රාවකයාටය
  9. අපගේ කෙලෙස් අපට නොපෙනෙන බව දැනගැනීමද මහත් වූ ප්‍රඥාවකි. එම ප්‍රඥාව යම් දිනක එම නොපෙනෙන ක්ලේශයන් හඳුනා ගැනීමට, දුරු කිරීමට මහත් වූ රුකුලකි
No audio available
311. ආපසු හැරවිය නොහැකිය

311. ආපසු හැරවිය නොහැකිය

  1. ප්‍රාණඝාතයක් සිදුකළ විට නැවත එම සත්වයාට ප්‍රාණය ලබාදීම කිසිසේත්ම සිදුකළ නොහැක
  2. සොරකමක් සිදු කළ විට නැවත එය හැරවීමට ද නොහැක. යම් අයෙකුගේ වටිනා කාලයක් සොරකම් කිරීම වැනි දෑ සැලකූවිට එම ගෙවුණු කාලය නැවත කිසිදා යළි ලබාදිය නොහැක. සොරකම් කරන ලද භෞතික වස්තුවක් නැවතත් පෙර තිබූ තැන තැබීමට හැකි වුවත් සොරකමට අදාල ක්‍රියාවලිය සිදුවී හමාරය.
  3. බොරුවක්, පරුෂ වචනයක්, හිස් වචනයක් හෝ කේලමක් ලෙස වචනයක් පැවසීමෙන් පසුව එයද ආපසු ගැනීමට හෝ හැරවීමට නොහැක
  4. එම නිසා එවැනි කාරණා සම්බන්ධව ඇතිවන කර්මයන් ද හැරවීම කළ නොහැක. එම කර්ම ගෙවීමෙන්ම අවසන් කළ යුතුය
  5. ප්‍රමාද කරමින්, කල්දමමින් සිට අවසානයේ ව්‍යාධියක් හෝ මරණය එළැඹි විට නැවත පෙර තත්ත්වයටම පැමිණීමට හැකි ක්‍රමයක් නොමැත
  6. ලෝකය ක්‍රියාත්මක වන්නේ කිසිදු සමාවක් නොමැත යන ධර්මතාවය තුළමය
  7. සවිඤ්ඤාණික මනසක පවතින කරුණාව, දයාව, තරහව, පළිගැනීම, වේදනාව, ශෝකය හෝ ලොකු කුඩා භේද ආදිය සොබාදහමට වැටහෙන්නේ නැත
  8. සොබා දහම තුළ පවතින්නේ හේතුව සහ එයට අනුව ඵලය සකස්වීමේ ධර්මතාවයයි. මෙය පමණක්ම විදර්ශනා කිරීමෙන් වුවද සසර තුළ පවතින බිහිසුණු බව තේරුම් ගතහැකිය
  9. කිසිවක් පෙර තිබූ තත්ත්වයටම හැරවිය නොහැකි බැවින් ගතවන සෑම තත්පරයක්ම නුවණින් යුක්තව මනා සිහියෙන් ගෙවිය යුතුය
No audio available
310. නිර්වාණය සඳහා කාලය

310. නිර්වාණය සඳහා කාලය

  1. කල් දැමීම, ප්‍රමාදය යනු නිවනින් දුරස් කරවන්නාවූ සසරටම බැඳ තබන පැවැත්මේ ධර්මතාවයකි
  2. සිත තුළ පවතින සසර ගත අවස්ථිතිය හේතුවෙන් ද නිර්වාණ මාර්ගය ආධුනික දෙයක් හේතුවෙන් ද බොහෝවිට නිවන තුළ සිත රඳන්නේ නැත
  3. ලෞකික ජීවිතය කොපමණ අපහසු වුවත් ඒ තුළ ඇති බලවත් සසර ගත හුරුව හේතුවෙන් ඒ දෙසටම ඇදී යාම විඤ්ඤාණයේ ස්වභාවයයි
  4. අධික කාර්යබහුලකම, වෙහෙස, මහන්සිය, කුසීත කම සහ ලෙඩ රෝග පීඩාවන් ආදිය බොහෝ පිරිසකගේ නිර්වාණ මාර්ගය අවහිර කරලීමට හේතුවේ
  5. උපතින්ම, නිධානයක් බඳු උත්තරීතර බුද්ධ ශාසනයක උරුමය ලද අප, එය මතම සිටිමින් නිධානය හඳුනා නොගෙන යාචකයෙකු ලෙස යදින්නෙක් නොවිය යුතුය
  6. තමා පිළිබඳව තමාම අනුකම්පා කර ගනිමින් ධර්මයේ හැසිරීමම මිස වෙන අයෙකු පැමිණ නිර්වාණය දියකර පොවන්නේ නැත
  7. ආදීනව මෙන්ම සසර බිය නිරතුරුව මෙනෙහි කරන විට ධර්මය තුළ සිත නිරායාසයෙන් පිහිටනු ඇත
  8. විශේෂයෙන් කාලයක් යෙදවීමට නොහැකි නම් ඉවුම් පිහුම් කරන මොහොතක, යම් වෙනත් කටයුත්තක් කරන මොහොතක හෝ ගමන් බිමන් යන අවස්ථාවන් වලදී හෝ ධර්මයකට සවන් දීම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරනු ඇත
  9. සසර තුළ බොහෝ උවදුරු ඇත්තේය. ප්‍රමාණ කළ නොහැකි දුකක් ඇත්තේය. එබැවින් කිසිම සැපක් නොපවතින්නේය ආදී ලෙස මෙනෙහි කරමින් සසරින් මිදීමට වහ වහා කටයුතු කළ යුතුය
No audio available
309. නිහතමානීකම

309. නිහතමානීකම

  1. මල් ගසක් බාහිරින් වතුර, සුළඟ, හිරු එළිය සහ පස ආදිය උපයෝගී කර ගනිමින් මල් පිපෙන ක්‍රියාවලිය ඉතා ක්‍රමවත්ව සිදුකරයි
  2. නමුත් කිසි දිනක තම හැකියාව පිළිබඳ මාන්නයකට පත්වී නැවත මල් නොදී සිටින්නේ නැත
  3. විශාල ගසක් සුළි සුළං, වැස්ස සහ හිරු එළිය ආදිය ඉදිරියේ ශක්තිමත්ව එයට මුහුණ දුන්නත් ඒ පිළිබඳව මාන්නයට පත්වන්නේ නැත
  4. තවද ඉංජිනේරු ඥානයට සහ දියුණු තාක්ෂණයට ගෝචර නොවන, ජලය සහ ඛනිජ ලවන ආදිය ශාක පත්‍ර ඇතුළු අනෙකුත් ශාක කොටස් මග නොහැර, ක්‍රමවත්ව බෙදා හැරීමේ දියුණු ක්‍රමවේදයක් ගසක් සතුවේ. නමුත් ගස ඒ පිළිබඳව මාන්නයට පත්වන්නේ හෝ එම ක්‍රියාවලිය අත්හිටුවන්නේ නැත
  5. ඕනෑම සත්ත්වයකුගේ පිපාසය සංසිඳුවා, සනහාලීමේ හැකියාවක් ජලය සතුවේ. නමුත් ජලයද එයින් කිසි දිනක මාන්නයට පත්වන්නේ නැත
  6. වැස්ස ලබා දෙමින් වියළී ගිය ගහකොළ, සතා සිව්පාවා සැනසීමේ හැකියාවක් වැස්ස සතු වේ. නමුත් වැස්ස එම රාජකාරී සිදු කරන්නේ බොහෝ නිහතමානීවය
  7. සතර මහ සාගරය, විශාල කඳු පර්වත ඇතුළු ගහකොළ මෙන්ම සියලු සත්වයන් දරාගෙන සිටියත්, මහ පොළවද කිසිදු මාන්නයක් නොපෙන්වයි
  8. ඒ හා සසඳන විට අපට ඇති ඉතාමත් කුඩා හැකියාවන් නිසා අධික මාන්නයට පත්වීම විහිළු සහගතය
  9. බොහෝ කාලයක් මේ පොළොව මත ජීවත් වුවද අපට නෙත ගැටී ඇත්තේ සහ වටිනාකම් සකස් වී ඇත්තේ වෙනත් දේවලට ය. සොබාදහම තුල ඇති මෙම නිහතමානී ගුණය අපද ගුණයක් කරගත යුතුය
No audio available
308. ආරෝග්‍යා පරමා ලාභා

308. ආරෝග්‍යා පරමා ලාභා

  1. කායික නිරෝගී භාවය සත්ත්වයෙකුට අත්වන පරම සම්පතකි
  2. නිරෝගීකම මිලදී ගැනීමට හැකියාවක් නැත. මිල මුදලින් ප්‍රමාණ කළ නොහැක
  3. තමා නිරෝගී යැයි මාන්නයෙන් සිටියද නිරෝගීකම රෝගයෙන් කෙළවර වන බව බොහෝ පිරිසක් නොදන්නා කාරණයකි
  4. කය යනු රෝගයට කැදැල්ලක් බඳුය. රෝගී වූ පසු රෝගයට පිළියම් කිරීම ලෙසද, කායික වේදනාව ලෙසද, සිදුවන අලාභය, අසරණභාවය ප්‍රමාණ කළ නොහැක
  5. නමුත් ඇත්තෙන්ම රෝගය වැළඳී ඇත්තේ සිතටය. නොයෙක් දේ තුල ඇලීම, නොයෙක් දේ තුළ ගැටීම ආදී සියල්ල රෝගයන්ය
  6. මෙසේ සිදුවිය යුතුය, මෙසේ සිදු නොවිය යුතුය ලෙස සිතාගෙන සිටීමද රෝගයකි
  7. අවසානයේ මෙහි සත්වයෙක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වේය යන්නද මනසෙහි පවතින දරුණු රෝගයකි
  8. කනස්සල්ල, පසුතැවිල්ල, එපාවීම, සැප සහ දුක යනු මෙම රෝගය නිසා හටගන්නා වේදනාවන් වේ
  9. කායික රෝගයන්, කය පවතින තුරුම පවතින්නේය. නමුත් මානසික රෝගය ජීවත්ව සිටියදීම දුරු කළ හැක්කේය
No audio available
307. සැප විඳීම

307. සැප විඳීම

  1. සැපය, කායික සැප සහ මානසික සැප වශයෙන් දෙයාකාර ලෙස දැක්විය හැක
  2. කායික සැපය යනු නීරෝගීකම හා බැඳුණු ඉතා ඉහළ වටිනාකමකින් සලකන එහෙත් බොහෝ පටු පරාසයක පිහිටි ධර්මයකි
  3. බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලාට ද කායික දුක් පීඩාවන්ගෙන් ගැලවීමට නොහැකි වූ අතර කළ හැකි වූයේ ඒවා භාර නොගෙන සිටීමයි
  4. සැපයක් විඳීමට නම් දුකෙහි සිටින කෙනෙක් විය යුතුය. සැපයෙහි අවශ්‍යතාවය ඇත්තේ දුක් විඳින සහ සැබැවින්ම ඒ විඳින්නේ දුකක් බව හඳුනාගත් කෙනෙකුටය. ( සැප විඳීමට කලින් දුකෙහි සිටි බවක් හෝ සැප විඳීමෙන් පසු දුකෙහි සිටීමට සිදුවන බවක් ඒ තුළ අන්තර්ගත වේ )
  5. ඒකාන්ත සැපයෙන් සිටින කෙනෙකුට සැපය ලෙස අමුතුවෙන් දෙයක් අවශ්‍ය නොවේ
  6. හිසේ සිට දෙපතුල දක්වා මෙනෙහි කරන විට නොයෙකුත් කායික වේදනාවන්, පීඩාවන් ඇති කරන ස්ථාන බොහෝ හඳුනාගත හැකිය
  7. මනුෂ්‍ය ශරීරය යනු දුක් විඳීමටම සකස් වූ, රෝගයන්ට කැදැල්ලක් බඳු වූ ශරීරයකි. එම නිසා එයින් සැපයක් බලාපොරොත්තු විය නොහැක
  8. සැප විඳීම යනු ද එක්තරා විඳීමකි. මනසෙහි සිදුවන එක්තරා ආකාරයක දැනගැනීමකි. දැනගැනීම යනු වෙහෙසකි, දුකකි. තවද මෙම දැනගැනීම මත පුද්ගලයාගෙන් පුද්ගලයාට සැප විඳීම සාපේක්ෂ වේ
  9. පිරිනිවීම හැරුණු කොට, දැනගැනීම් වලින් තොර වූ, වේදනා, සංඥා නොමැති නිරෝධ ඵල සමාපත්තිය මේ ලෝකයේ ඇති අග්‍රම සැපය ලෙස දැක්විය හැකිය
No audio available
306. සූර්යයා

306. සූර්යයා

  1. පෘථිවියෙහි පැවැත්මට ශක්තිය මෙන්ම ආලෝකය සපයන ප්‍රභවය සූර්යයායි
  2. තවද අපගේ සිතිවිලිද එක්තරා ආකාරයකට හිරුගේ ශක්තියේම ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැක
  3. යමක් මනා සිහියකින් යුතුව කල්පනා කිරීමට හෝ මෙනෙහි කිරීමට ප්‍රමාණවත් ආහාරයක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි
  4. එම ආහාරයන් නිෂ්පාදනයට ශාක වලට හැකියාව ලැබෙන්නේ හිරුගේ ශක්තිය ප්‍රමාණවත් ලෙස ලැබීමෙන් පමණි
  5. සියලු ආහාරදාමයන් පවතින්නේ හිරුගේ ශක්තිය මත වන අතර ශාක, හිරුගේ එම ශක්තිය ආහාර බවට පරිවර්තනය කරන උපකරණ වැනිය
  6. එලෙසම සත්වයන් යනු උදාසීන සූර්ය ශක්තිය මගින් ක්ලේශයන් නිෂ්පාදනය කරන උපකරණ ලෙස දැක්විය හැකිය
  7. මෙලෙසින් ගත්කල සත්වයන්ට සිතුවිලි ඇතිවීමෙන් කුසල හෝ අකුසල සියලු කර්මයන් රැස්වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සූර්යයා ලෙස දැක්විය හැකිය
  8. බුද්ධත්වයට මෙන්ම නිර්වාණ මාර්ගයටද සූර්යයා, නිහඬ එහෙත් ප්‍රබල සේවයක් සිදුකරන බව වටහාගත හැකිය
  9. මේ ආකාරයෙන් ඕනෑම දෙයක් පිළිබඳව විවිධ පැතිකඩයන් ඔස්සේ මෙනෙහි කරන අයුරු තව තවත් ප්‍රගුණ කළ යුතුය
No audio available
305. නැති වත්කම

305. නැති වත්කම

  1. ලෝකය තුළ යානවාහන දේපල පුද්ගලයන් ආදී නොයෙකුත් වත්කම් පවතී
  2. මේවා නඩත්තු කළ යුතු වත්කම් ය. නැතහොත් අපිරිසිදු වීම, අන් සතු වීම, වත්කම් අහිමිවීම සිදුවේ
  3. දරුවන් හිතවතුන් ඥාතීන් ආදී පුද්ගල වත්කම් නඩත්තු කිරීම සඳහා විශාල වැය බරක් දැරිය යුතුය. තවද කාලය ශ්‍රමය පවා වැය කිරීමට සිදුවේ
  4. ආදීනව ලෙස ඔවුන් පිළිබඳ සිතිවිලි ඉපදීම, උපාදාන වීම, ඇලීම, ගැටීම ආදී ලෙස මානසික සමාහිත භාවය නැතිවේ
  5. ක්ෂණිකව අමනාප වීමේ හැකියාවක් ද පවතින අතර ඔවුන් ක්ෂණිකව සතුරන් වීමේ හැකියාව පවා ඇත. බොහෝ විට සතුරන් වන්නේ කලක් ඇසුරු කළ මිතුරන්ය
  6. එම වත්කම් තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ ද පවතින අතර මරණය ආදී ලෙස ක්ෂණිකව එම වත්කම් අහිමිවීමේ හැකියාව ද ඇත
  7. නමුත් දරුවන් නැත, දේපළ ඉඩකඩම් නැත, වාහන නැත, හිතවතුන් නැත යන්න ශ්‍රේෂ්ඨ වූ වත්කමකි
  8. ඒ තුළ නඩත්තුවක් නැත, වියදමක් නැත, මනාප අමනාප වීමක් නැත, මානසික දුක් නැත, අනාගතයට පැමිණීමට ද දුක් නැත ආදී බොහෝ ආනිසංස පවතී
  9. මෙම වත්කම් තවදුරටත් දියුණු වන විට ද්වයතාවයෙන් තොර වූ කැමැත්ත නැත, අකමැත්ත නැත, ඇලීම නැත, ගැටීම නැත ආදී ලෙස අටලෝ දහමෙහි පැනවීමක් පවා නැති නිර්වාණ වත්කම විඥාන ධාතුවක උපදින පරම වූ ශ්‍රේෂ්ඨ වූ වත්කමයි
No audio available
304. තනි රූල් කොළය 10

304. තනි රූල් කොළය 10

  1. තනි රූල් කොලය තුළ තනි රූල් කොලයට ආවේණික යම් ගන්ධයක් පවතී
  2. එයින් නිගමනය වන්නේ එහි අංශු නිරතුරුව ගැලවී යන ස්වභාවයක් පවතින බවයි. ඒ මගින් එහි පවතින අනිත්‍ය ස්වභාවය, වැය වන ස්වභාවය හඳුනාගත හැකිය
  3. තනි රූල් කොලය තුළද ජරාවට පත්වීමේ ලක්ෂණය ඇත
  4. තනි රූල් කොලය තුළ වූ අංශු සමූහයට දැන් ලැබී ඇති නම තනි රූල් කොලය ලෙස වේ
  5. නමුත් අතීතයේ එහි අංශූන් නොයෙකුත් තැන්වල තිබී ඇති අතර ඒවාට නොයෙකුත් රූප මෙන්ම නොයෙකුත් නම්ද ලැබී ඇත
  6. විඤ්ඤාණයක ග්‍රහණයට පත්වන තුරු තනි රූල් කොලයට කිසිදු නමක් නැත. කිසිදු හැඩයක් නැත
  7. පවතින්නේ සතර මහා ධාතුව ලෙස පැවසුවද විඤ්ඤාණයක් මැදිහත් වනතුරු එසේ සතර මහා ධාතුව ලෙසද යමක් පැනවෙන්නේ නැත
  8. විඤ්ඤාණයක් විසින් හඳුනා ගත් විට ඇත. හඳුනා නොගත් විට නැත. විඤ්ඤාණයක් ඇති විට ඇත. නැති විට නැත
  9. මේ අයුරින් විදර්ශනා කිරීම තුළින් ද්වයතාවය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැක
No audio available
303. තනි රූල් කොලය 9

303. තනි රූල් කොලය 9

  1. තනි රූල් කොලය යනු අන් ආකාරයෙන් සිතිවිලි වල එකතුවකි
  2. සොබාදහමට, සිතිවිලි නම් හේතුව එකතු වූ විට කඩදාසි කොලයක් ඉපදීම සිදුවේ
  3. සිතිවිලි යනු පුද්ගල අනුබද්ධ ධර්මයක් නොවේ. හේතුඵල ලෙස ක්‍රියාත්මක වන ධර්මතාවයකි
  4. තනි රූල් කොලය තුල අමු සොහොනක සංඥාවක් උපදවාගත හැකිය. තනි රූල් කොලය තුළ ඇති අංශු අතීතයේ නොයෙකුත් ස්ථානවල තිබී ඇති පස්ය
  5. ඉපදුනු මැරුණ සත්වයන් ප්‍රමාණය සමග සසඳන විට ද දීර්ඝ සසර ගමන හා සසඳන විට ද පොළොවේ ඇති පස් අතීතයේ යම් සත්වයෙකුගේ ශරීරයේ තිබූ මස් විය යුතුය
  6. එනම් තනි රූල් කොලය තුළ වූ අංශු අතීතයේ යම් යම් සත්වයන්ගේ ශරීර මාංශයන් ය. එබැවින් තනි රූල් කොලය යනු මෘත ශරීර කොටස් වලින් පිරුණු සොහොනක් ලෙස දැක්විය හැකිය
  7. ඇසට සාපේක්ෂව තනි රූල් කොලයක් වුවත් සංවේදී අන්වීක්ෂයකට සාපේක්ෂව දැලක් වැනිය. ජලය දැමූ විට තෙත්වීම සිදුවන්නේ එහි බොහෝ සිදුරු ඇති බැවිනි
  8. නමුත් අපගේ දුර්වල ඉන්ද්‍රියන්ට එය දැලක් ලෙස නොපෙනෙන නමුත් ඇත්තෙන්ම එහි දැලක ස්වභාවයක් ද ඇත. කිසිවක් වැරදි හෝ නිවැරදි නොවන අතර ඒවා සාපේක්ෂක හේතුඵල ධර්මයන්ය
  9. මෙවැනි මෙනෙහි කිරීම් වලින් ඕනෑම හොඳ දෙයක් නරක ලෙසද ඕනෑම නරක දෙයක් හොඳ ලෙසද සංඥාවන් උපදවා ගත හැකිය. අවසානයේ හොඳ නරක වලින් මිදීමට ද මෙවැනි මෙනෙහි කිරීම් උපකාරී වේ
No audio available
302. තනි රූල් කොලය 8

302. තනි රූල් කොලය 8

  1. තනි රූල් කොලය සුමට ලෙස හැඟුනද විභේදන හැකියාව ඉහල අන්වීක්‍ෂයකින් නිරීක්ෂණය කරන විට උස් පහත් කම සහිත බොහෝ රළු පෘෂ්ඨයක් පවතින බව දැක ගත හැකිය
  2. එම ලක්ෂණය කඳු නිම්න පහත් බිම් ආදී ලෙස මහ පොළොවේ ද පවතින අතර එලෙසම ආයුෂ ලෙස වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලෙස සිතෙහි ද උස් පහත් කම් පවතී
  3. පෑන් ඉරක් අඳින විට තීන්ත තනි රූල් කොළය තුළ තැවරීම ඒකාකාරී නොවේ. යම් තැනක හොඳින් තැවරෙන අතර යම් තැනක තැවරෙන්නේ අල්ප වශයෙනි
  4. නමුත් තීන්ත තැවරීම අත්‍යවශ්‍ය විට එකම ඉර මත නැවත නැවත ඇඳීම සිදුකරන විට නොතැවරෙන තැන් වලද තීන්ත තැවරීම සිදුවේ
  5. ධර්මයක් අසන විට සිතෙහි තැවරෙන්නේ ද එලෙසය. අයෙකුගේ සිතේ හොඳින් ධර්මය තැවරෙන අතර තවත් අයෙකුගේ තැවරීම මඳ වශයෙනි
  6. නමුත් නැවත නැවත එම ධර්මය ශ්‍රවණය කිරීමේදී සිතෙහි එම ධර්මය හොඳින් තැවරීම සිදුවේ. ධාරණය වීම සිදුවේ
  7. කඩදාසි කොලය දැන් කඩදාසි කොලයක් වුවද ගින්නකට අවශ්‍ය හේතු ද ඒ තුළ පවතී
  8. එලෙසම සිත දැන් උදාසීනව පැවතියද මහා ගින්නක්, නිරයක් නිර්මාණය කිරීමට සමත් හේතු ද සිත තුළ පවතී. එම නිසා සිත පරිහරණය ප්‍රවේශමෙන් කළ යුතුය
  9. පාවිච්චි කරන විට තනි රූල් කොළයට තනි රූල් කොලයක වටිනාකම පවතින අතර විදර්ශනා කරන විට පරම වූ ද ප්‍රමාණ කළ නොහැකි වූ ද නිර්වාණ වටිනාකම වුව ද මතු කරගත හැකිය
No audio available
301. තනි රුල් කොලය 7

301. තනි රුල් කොලය 7

  1. තනි රූල් කොලය තුළ මුළු ලෝකයම අන්තර්ගත වී ඇත
  2. එම කඩදාසි කොලය තුළ, එය නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආදිය සපයන්නන් සහ කඩදාසි නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයන්ගේ දුක අන්තර්ගත වේ
  3. එය නිර්මාණය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, මෙවලම් සහ උපකරණ ආදිය නිෂ්පාදනය වී තිබිය යුතුය. එනම් කඩදාසි කොලය තුළ එම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කළ සහ නිර්මාණය කළ පිරිසකගේ ද දුක අන්තර්ගත වේ
  4. ඔවුන්ට එය නිර්මාණය කිරීමට වායු ගෝලය, හිරු එළිය සහ ආහාරපාන ආදිය අවශ්‍ය වේ. එනම් කඩදාසි කොලයට සොබා දහමෙහි පවා දායකත්වය ලැබී ඇත.
  5. එම කඩදාසි ප්‍රවාහනය කළ පිරිස, ඒ සඳහා පාරවල් සකස් කළ පිරිස, යාන වාහන සකස් කළ පිරිස, ඒවා නිර්මාණය කළ පිරිස ආදී ලෙස බලන කල මුළු ලෝකයේම දායකත්වය කඩදාසි කොලයට ලැබී ඇත.
  6. කඩදාසි කොලයෙන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්නේ නම් එයින් ජනනය වන යම් පිනක් කුසලයක් ඇත්නම්, ඉහත සෘජු හෝ වක්‍ර දායකත්වයන් දැක්වූ සියලු පිරිසට අනුමෝදන් විය යුතුය
  7. අයෙකු නිවනට, නිරයට මෙන්ම දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක ආදියටද පැමිණවීමට හේතු සකස් කිරීමට කඩදාසි කොලයකට හැකියාව ඇත
  8. කඩදාසි කොලය විටෙක යතුරක් වැනිය. කඩදාසි කොලය ඇස ගැටුණු විට ඒ සැණින් අතීතයට සම්බන්ධ තොරතුරක් මනසට මෙනෙහි වන අවස්ථා ඇත
  9. එනම් එය මෙනෙහි වීම නම් වූ ද්වාරය විවර කිරීම සඳහා කඩදාසි කොලය යතුරක් ලෙස ක්‍රියා කර ඇත
No audio available
300. තනි රූල් කොලය 6

300. තනි රූල් කොලය 6

  1. අනෙක් ඕනෑම ආයතනයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් සිතට ඇත
  2. උදාහරණයක් ලෙස තනි රූල් කොලය ලෙස සිතින් මෙනෙහි කරන විට එය මස් කනෙහි සම්බන්ධයකින් තොරව ඇසීම සිදුවේ. සිහිනයක් දැකීමේදී සිදුවන අත්විඳීම් තවත් උදාහරණයකි
  3. ගිනි කූරක් දැල්වීම තුළින් ගිනිදැල්ලක් මතුවන්නා සේ තනි රූල් කොළයක් ඇසට පෙනුණු විට ඒ පිළිබඳ තොරතුරු සියල්ල ක්ෂණිකව මතුවේ
  4. ගිනිදැල්ල කොහේ හෝ සිට පැමිණියා හෝ මැවුනා නොවේ. හේතු ඇතිවූ තැන ඉපදුණු ධර්මයකි
  5. ඇසෙහි ගෑවෙන ලෙස තනි රූල් කොලයක් තිබුණොත් එය හඳුනාගත නොහැක. එය කිලෝමීටරයක් පමණ ඈතින් තිබුණත් තනි රූල් කොළයක්දැයි හඳුනාගත නොහැක
  6. හඳුනා ගැනීම ඇති වන්නේ පෙනෙන සීමාව තුළ වස්තුව තිබුණහොත් පමණි. එනම් ක්ලේශයක් ඉපදවීමට වස්තුව පවතින දුරෙහිද සෘජු බලපෑමක් පවතී
  7. ජාති, ජරා, ව්‍යාධි මරණ යනු තනි රූල් කොලයට ද පොදු වූ ධර්මතාවයකි
  8. තනි රූල් කොලය, තනි රූල් කොලයක් වන්නේ අනෙක් ඒවා තනි රූල් කොල නොවූ නිසාය
  9. තනි රූල් කොලය යනු බොහෝ පිරිසකගේ දුකෙහි ප්‍රතිඵලයකි
No audio available
299. තනි රූල් කොලය 5

299. තනි රූල් කොලය 5

  1. ත, නි, රූ, ල් ආදී කිසිදු අකුරක නැති අර්ථයක්, සම්මුතියේදී එම අකුරු කිහිපය එකතු වූ විට ලැබීම සඳහා පදනමක් නැත
  2. කඩදාසි කොලය දරාගෙන සිටින්නේ අවකාශ ධාතුවයි. හඳුනා ගන්නේ විඤ්ඤාණ ධාතුවයි. කඩදාසි කොලය ලෙස යමක් ඇත්නම් එහි අවකාශ ධාතුවක ද විඤ්ඤාණ ධාතුවක ද සම්බන්ධයක් තිබී ඇත
  3. සියල්ල දරාගෙන සිටින අවකාශ ධාතුව වැඩිම ධාරිතාවක් ඇති ධාතුවයි
  4. කඩදාසි කොලය තුළ ඇත්තේ පඨවි ධාතුව පමණක්ම නොවේ. ආපෝ, තේජෝ සහ වායෝ ධාතූන්ද අන්තර්ගත වේ. පඨවි ධාතුව පවතින ප්‍රමාණයේ ප්‍රතිශතය අනෙක් ඒවාට සාපේක්ෂව වැඩි නිසා එහි පඨවි ස්වභාවය වඩාත් ඉස්මතු වේ
  5. රළු මට්ටමින් සියලු භෞතික වස්තුන් යනු පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ධාතූන්වල නොයෙක් අනුපාතයන්ගේ මිශ්‍රවීමක්ය
  6. එය සවිස්තරාත්මකව ප්‍රකාශ කරන විට වර්ණ, ගන්ධ, රස සහ ඕජා ආදියද තවදුරටත් අවකාශ ධාතුව සහ විඤ්ඤාණ ධාතුවද එකතු වේ
  7. මේ සියල්ලම විඤ්ඤාණයක් විසින් හඳුනාගන්නා දේවල් පමණි. එනම් මෙම ධාතූන් විඤ්ඤාණයකට සාපේක්ෂ ධර්මතාවයන් පමණි
  8. පිරිනිවීමේදී විඤ්ඤාණය නිරෝධ වන බැවින් හඳුනා ගැනීමද නිරෝධ වේ. එනම් හඳුනා ගැනීමට සාපේක්ෂව වූ සියලු ධර්මතාද නිරෝධ වේ
  9. එනම් පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ ආදී ධාතූන් නිරෝධ කිරීමෙන් හෝ හැඳින ගැනීමෙන් අවසානයේ සිදුවන්නේ එකම කාරණයකි. එම නිසා හැඳින ගැනීම අනුබද්ධයෙන් ලෝක නිරෝධය කිරීම නිවන් මාර්ගයේදී සිදු කෙරේ
No audio available
298. තනි රූල් කොළය 4

298. තනි රූල් කොළය 4

  1. තනි රූල් කොලය කිසි දිනක දැකිය නොහැකි භෞතික වස්තුවකි. දැකිය හැක්කේ දෘෂ්ටිවිතානය මත සැකසුණු ප්‍රතිබිම්බයක් පමණි
  2. මම දකින තනි රූල් කොලය මගේ ඇසෙහි ඇති පෙනීමේ ස්වභාවයට, දුර්වලතාවයන්ට සහ දෝෂ වලට සාපේක්ෂය. වෙනත් අයෙකුට පෙනෙන ආකාරයද එම පුද්ගලයාගේ ඇසට සාපේක්ෂය
  3. මම දකින තනි රූල් කොලය යනු ඇත්තෙන්ම මගේ දෘෂ්ටිවිතානයේ සැකසී ඇති ප්‍රතිබිම්බයයි. එය වෙනත් කිසිවෙකුට දැකීමට හෝ මෙලෙස යැයි පෙන්වීමට නොහැක
  4. වෙනත් අයෙකුට මගේ දෘෂ්ටිවිතානය තුළ ඇති තනි රූල් කොලයේ වර්ණ සටහන දැකිය හැකි නම් අවම වශයෙන් මම දැකපු තනි රූල් කොලය දැක ඇතැයි කිව හැකිය
  5. තනි රූල් කොලය යනු තින්ත කඩදාසිය හෝ සුදු පාට හෝ එහි හැඩය නොවේ. ඒවා නිසා ඉපදී ඇති භූත ලක්ෂණ ඇති රූපයකි
  6. කඩදාසි කොලය කුඩා කොටස් වලට ඉරූ විට එයින් කඩදාසි කැබලි හට ගනී. කඩදාසි කොලය කඩදාසි කැබලි වල නොමැත. නමුත් හේතු සකස් වූ විට හට ගැනීමේ හැකියාව ඇත
  7. කඩදාසි කොලය යනු අතීතයේ නොතිබුණු, වර්තමානයේ තිබෙන අනාගතයේ නැවත නැතිවෙන ධර්මතාවයකි. එහි මායාකාරී ලක්ෂණ පවතී
  8. එකම කඩදාසි කොලයේ ස්වරූපය වෙනස් කළ විටද නම සහ වටිනාකම වෙනස් වේ. කඩදාසි කොලය ගුලි කළ විට කඩදාසි කොළය අහෝසි වී කඩදාසි ගුලියක් මතුවේ. රෝල් කල විට කඩදාසි බටයක් මතුවේ
  9. මේ තවත් මෙනෙහි කළ හැකි පැතිකඩයන්ය. මෙම කාරණා ඔස්සේ ද තවදුරටත් විදර්ශනා කළ හැකිය
No audio available
297. තනි රූල් කොලය 3

297. තනි රූල් කොලය 3

  1. තනි රූල් කොලය ලෙස එක් හැඳින ගැනීමක් ඇති විට සම්මුතියේ තවත් බොහෝ හැඳින ගැනීම් එම විඤ්ඤාණය සතු බවද එයින් කියැවේ
  2. එය විශේෂයෙන් තනි රූල් කොලය ලෙස ප්‍රකාශ කිරීමට අනිත් ඒවා ද හඳුනාගෙන තිබිය යුතුය. නැතිනම් එය තනි රූල් කොළය ලෙස වෙන්කර හඳුනා ගැනීමට නොහැක.
  3. තනි රූල් කොලය යනු වචනයකි. එම වචනය තනි රූල් කොලය නම් භෞතික වස්තුව හා සම්බන්ධ කර ඇත්තේ මනස විසින්ය
  4. බහ තෝරන අවධියේ මව සහ පියා විසින් තනි රූල් කොලයට කොටු රූල් කොලය ලෙස ඉගැන්වූයේ නම් දැන් එහි හඳුනාගැනීම කොටු රූල් කොලයක් ලෙස වේ
  5. තනි රූල් කොලය ලෙස ඇසුණු විට මනස තුල මැවෙන්නේ වර්ග කිලෝමීටරයක් තරම් විශාල ප්‍රමාණයේ හෝ වර්ග සෙන්ටිමීටරයක් තරම් කුඩා ප්‍රමාණයේ කොලයක්ද නොවේ. එනම් මනස තුළ තනිරූල් කොලය ලෙස පෙරදී දැක හඳුනා ගත් ප්‍රමාණයන් සහ සීමාවන් ඇත
  6. කුඩා කොලයේ සිට විශාල කොලය දක්වා ක්‍රමානුකූලව වැඩි කරගෙන යන විට මනසෙහි තනි රූල් කොලය ලෙස හැඳින ගැනීම තුළ සැඟවුණු යම් ධර්මයක් මතු කර ගත හැක
  7. තනි රූල් කොළය හැඳින ගන්නා ක්‍රමය අනුව වටිනාකම තීරණය වේ. ඒ අනුව කැමැත්තක් හෝ අකැමැත්තක් උපදී. ඒ අනුව උපාදාන වීමෙන් කර්ම සකස්වීම සිදුවේ
  8. කර්ම සකස්වීම ඉතා අඩු ආකාරයෙන් සහ සිතේ නිවීම ඇති කරන වඩාත් නිවැරදි දැකීමේ ක්‍රම හඳුනාගත යුතුය. එලෙසම ප්‍රගුණ කළ යුතුය
  9. ඒවාද සම්මා දිට්ඨීන් වන අතර තවදුරටත් ප්‍රඥාව වැඩීමෙන් දැකීමේ ක්‍රමය සියුම් වන විට නැවත ඉපදීමට හේතු සකස් නොවන දැකීමේ ක්‍රමයක් උපදවා ගත හැකිය
No audio available