Report Menu
All Cards
Total Cards: 202 | Page: 7 of 11 | Showing: 20 cards
082. පින්තාරුව

082. පින්තාරුව

  1. පින්තූරයක වටිනාකම ඇත්තේ බාහිර මිලිමීටර් කිහිපයක පින්තාරුව මතය
  2. අභ්‍යන්තරයේ කුමන දේ තිබුනද බාහිර පින්තාරුවෙන් සියල්ල වසාලිය හැක
  3. මනුෂ්‍ය ශරීරයද බාහිර කෙස් ලොම් නිය දත් සම් (තච පංචකය) නම් වූ බාහිර පින්තාරුව මත වැඩි වටිනාකමක් තීරණය වේ
  4. කොටස් තිස් දෙකක් ඇති තැන පහකින් නිගමනය කිරීම දෝෂ සහගතය
  5. පොළොවේ මතුපිට පින්තාරුව නිසා සොබාදහම ද ලස්සන ලෙස පෙනේ. නමුත් වැඩි කොටස ඇත්තේ අභ්‍යන්තරයේය
  6. එසේම සිතෙහිද මතුපිට පිංතාරුව මගින් අභ්‍යන්තරයේ පවතින කර්ම ශක්තින් හේතුඵල ආදිය වසා මුලාවක් නිර්මාණය කොට ඇත
  7. පෙනෙන මතුපිටට ඔබ්බෙන් ඇති අභ්‍යන්තරය දැකිය යුතුය. විදර්ශනාව පිණිසය...
No audio available
081. හේතුඵල

081. හේතුඵල

  1. ජලයෙහි සැනසීමක් නැත. පිපාසයේද සැනසීමක් නැත. එකතු වූ විට සැනසීමක් හටගනී
  2. ලෙඩක සුවය නැත. බෙහෙතකද සුවය නැත. එක්වූ විට සුවපත් වීමක් හටගනී
  3. ධර්මයෙහි නිවන නැත. අවිද්‍යාවේද නිවීමක් නැත. එකතු වූ විට නිවීම හටගනී
  4. සුළඟෙහි සුවයක් නැත. කයෙහිද සුවය නැත. එක්වීමේදී සුවයක් සැනසීමක් හටගනී
  5. හේතුඵල ධර්මයේ එක්තරා හැසිරීමකි. හේතුවේ ඵලය නැත. ඵලයේ හේතුවද නැත. වෙනස් හේතූන් නිසා වෙනස් ඵල ඇතිවේ. විදර්ශනාව පිණිසය...
No audio available
080. ගසින් තවත් කමටහනක්

080. ගසින් තවත් කමටහනක්

  1. කොළවලට කැමති අයෙක් අතු කපන්නේ නැත. අතුවලට කැමති අයෙක් ගස කපන්නේ ද නැත
  2. සත්වයෙක් දැනුවත්ව සිතට බැඳෙන්නේ නැත. පැහැදිලිව නොපෙනෙන, වක්‍ර මාර්ගවලින් සිතට බැඳී ඇත
  3. උදාහරණයක් ලෙස ඥාති, මිත්‍රයන්, දරුවන්, අඹු, සැමි ආදීන්ට බැඳුණු අයෙක් අන් ආකාරයෙන් බැඳී ඇත්තේ සිතටමය. එනම් සසරටමය. මේ සියල්ල මානසික පිළිබිඹුවක් බැවිනි
  4. එසේම සංචාර නැටුම් වැයුම් ගැයුම් ටෙලි වෘතාන්ත ආදී නොයෙකුත් ආශාවන් ද ඒවාට බැඳීමක් නොව සිතටම බැඳීමය
  5. බොහෝ පිරිසක් නිවනට දරණ උත්සාහය උපමාවක් ලෙස අතු කොළ ඉතුරු කර ගැනීමින් ගස කැපීමක් වැනිය. අසාර්ථක උත්සාහයකි
No audio available
079. නායකත්වය

079. නායකත්වය

  1. මුලාවෙන් සකස් වූ මානසික යුද්ධයක බොහෝ කලක් සිරවී සිට බොහෝ දුක් පීඩාවලට ලක්වූයේ වෙමු. කෙසේ හෝ මෙය නිමා කළ යුතුය. අවසාන කිරීමට හොඳ නායකත්වය ලබා දිය යුතුය. ඒ සඳහා කාලය ලැබ ඇත
  2. ඉවසීම පිළිකුල වීරිය පින ආදී බල සේනා සන්නද්ධ කළ යුතුය. උපක්‍රමශීලී විය යුතුය. හොඳින් සතුරා නිරීක්ෂණය කළ යුතුය. සතුරා පෝෂණය වන මාර්ග දුරුවල කළ යුතුය
  3. සංග්‍රාමය නොපෙනෙන අතර මානසික නිරීක්ෂණයක් පමණක් කළ හැක. එම නිසා සෘජු බාහිර ආධාර ලබාගත නොහැක. එම නිසා තමාම සංග්‍රාමය සඳහා නායකත්වය ලබාදිය යුතුය
  4. අතීතයේ සැමදා මෙම සංග්‍රාමයෙන් පරාජ වී ඇත. එම නිසා වැඩිම අවදානම ඇත්තේ පරාජය වීමටය. බොහෝ සැලකිලිමත් විය යුතුය
  5. වෙනත් විකල්ප මාර්ග නොමැත. කිසිම සමාවක් ද නොමැත. කෙසේ හෝ මේ සංග්‍රාමය අවසාන කළ යුතුය. බිය වීරිය ඉපදවීම පිණිසය
No audio available
078. පුද්ගලභාවය

078. පුද්ගලභාවය

  1. පුද්ගලයයෙක් නැත.නමුත් ක්‍රියාවන්ට කර්මඵල ප්‍රතිවිපාක ඇත
  2. පුද්ගලයෙක් නැත යන්නේ අදහස පුද්ගල ධර්මතාවය යනු දෘෂ්ටියක් පමණක් බවය. පුද්ගලයෙක් ඇත නැත යන්නද දෘෂ්ටියේම කොටසකි
  3. ක්‍රියාවන්ට විපාක ඇත යන්නේ අදහස පුද්ගලයෙක් සත්වයෙක් යන දෘෂ්ඨියෙන් තොරවූ හේතුඵල ක්‍රියාවලියක් බවයි
  4. දේවල් සිදුවීමට පුද්ගලයෙක් සිටිය යුතුයි යන බව මිථ්‍යාවකි. එය නොදැනීමේ හේතුව නිසා ඇතිවූ ඵලය සත්ව පුද්ගල භාවයයි. විදර්ශනාව පිණිස
No audio available
077. මස් ගුලිය සංඥාව

077. මස් ගුලිය සංඥාව

  1. ඇස් යනු මස් ගුලි දෙකකි. මස් ස්කන්ධය අතින් රාත්තල නොඉක්මවන්නේය. ප්‍රමාණයෙන් බෙලිගෙඩි නොඉක්මවන්නේය.
  2. වටිනාකම ඇත්තේ ද ඇස් කුහර දෙක තුළ පවතිනතුරු පමණි. ඇස් දෙක ගැලවෝහොත් වටිනාකම හතුරුදහන් වන අතර බිය පිළිකුල උපදවන්නකි.
  3. මෙවන් ඇස් දෙකක් පිනවීම සිදු කිරීම ප්‍රමාණ නොවන කාරණයකි. වහල්කමකි.
  4. පැය කිහිපයක් පුරා මස්ගොබ දෙකට ටෙලිවෘතාන්ත පෙන්වීම හාස්‍යජනකය
  5. ජීවිතය පුරාවටම අප වෙහෙසෙන්නේ මස් කැබිලි දෙකක් පිනවීමටද ?විදර්ශනාව පිණිසය
No audio available
076. බාඳුරා මල

076. බාඳුරා මල

  1. සොබා දහම තුළ උපක්‍රමශීලී බව ක්‍රියාත්මක වේ. බාදුරා මල උදාහරණයකි
  2. නමුත් කෙනෙක් නොපවතී. එය ලෝකයේ පවතින ධර්මතාවයකි
  3. සත්ව පුද්ගල දෘෂ්ටිය නොයෙකුත් ආකාරයෙන් හටගනී. මෙවැනි උදාහරණ මගින් උපක්‍රමශීලී බව නිසා සත්ව පුද්ගල බවක් පවතී යයි යන දෘෂ්ටිය බිඳිය හැක
  4. විදර්ශනාවේදී අරමුණ බොහෝ වේලා සිතේ රඳවාගෙන සිටිය යුතුය. අනුලෝම ප්‍රතිලෝම දුර ළඟ ආදී ලෙස විදර්ශනා කළ යුතුය. එවිට බොහෝ වැටහීම් ඇතිවේ
No audio available
075. උදලු මිට

075. උදලු මිට

  1. උදුලු මිටක් දිලිසෙන සුමට භාවයක් ගන්නේ එය භාවිතය තුළය. භාවිතයේදී බහුල වශයෙන් භාවිතයේදී උදුළු මිට දිලිසීම නිරායාසයෙන් සිදුවන්නකි
  2. එසේම කුඩා ධර්ම කරුණක් වුවද නැවත නැවත මෙනෙහි කිරීමේ දී, නැවත නැවත භාවිතා කිරීමේදී ලෝකය කෙලෙස් ආදිය කණ්නාඩියක් මෙන් මනාව වැටහෙනු ඇත
  3. උදලු මිට සුමට වන්නේ එය සුමට කිරීමේ ක්‍රියාවක් ලෙස නොව උදලු ගෑම නැමති ක්‍රියාව තුළිනි
  4. එසේම ධර්මයන් අවබෝධ වීමද එසේමය. හේතු සකස් කල යුතුය. ප්‍රතිඵල ලැබෙනු ඇත
  5. අවබෝධයක් ලබා ගැනීමට පොර බැදීම බොහෝ විට දුකකින් කනස්සල්ලයකින් මාන්නයකින් කෙළවර වෙයි
  6. ඉන්නා තැනින් ඉහළට එසවීමේ අරමුණ. ලද දෙයින් සතුටු වීම ආදී ලෙස ප්‍රතිපදාව උපක්‍රමශීලීව වැඩිය යුතුය
No audio available
074. හිමි නැත

074. හිමි නැත

  1. ඉර පෑයීම, හඳ පෑයිම ආදී බොහෝ සිදුවීම් දැනගත් පමණකින් ඒවායේ හිමිකාරීත්වය නොමැත
  2. අවම වශයෙන් හිමිවීමකට තවත් බොහෝ කාරණා සකස් විය යුතුය
  3. සිතද එලෙසමය. සිත තුළ ඇතිවන සිතිවිලි දැනගැනීම පමණක් සිදුවේ. ඇත්තෙන්ම දැනගත් පමණකින් එය හිමි නැත
  4. කනස්සල්ල, පසුතැවිල්ල, පීඩාව ආදී ඕනෑම සිතිවිල්ලක දැනගැනීම පමණක් සිදුවේ. සිතිවිල්ල දැනගත්තේ මමය, එහි අයිතිකාරීත්වය මට හිමිය, යන්න මුලා වූ දෘෂ්ටියක් පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
073. වර්ණ ලෝකය

073. වර්ණ ලෝකය

  1. මානසික පරීක්ෂණයකි. භාවනා ඉරියව්වට ගොස් බුදුගුණ ආදිය සිහිකොට සිත ඒකාග්‍ර වීමට ඉඩ හරින්න. ඇසින් යමක් දකින මොහොතක් සලකන්න
  2. එහි ඇති රතු වර්ණය ඉවත් කරන්න, කොල වර්ණය ඉවත් කරන්න, ආදී ලෙස සියලු වර්ණ ඉවත් කරන්න. ඉතිරි වන්නේ කුමක්ද ? (කළු යනු ද වර්ණයකි)
  3. පරීක්ෂණය අනුලෝම සහ ප්‍රතිලෝමව සිදු කරන්න ( වර්ණ එකතු කරමින් සහ වර්ණ ඉවත් කරමින්) නැවත නැවතත් සිදු කරන්න
  4. විදර්ශනාවේ ප්‍රබලතාවය අනුව නිගමනයන් තීරණය වේ. උදාහරණයක් ලෙස අතීතයේ සිට මේ දක්වා දැක ඇත්තේ අම්මා, තාත්තා, ගහකොළ ආදි වස්තූන් නොව හුදෙක් උදාසීන වර්ණ පමණි. විදර්ශනාව පිණිසය...
No audio available
072. ජීවිත අපේක්ෂාව

072. ජීවිත අපේක්ෂාව

  1. බොහෝ සත්වයන් දැඩි සේ ජීවිත අපේක්ෂාවෙන් පසුවේ ( මරණයට අකමැති බැවිනි)
  2. නමුත් ජීවිතය ලැබීමෙන් කළ හැකි වික්‍රමයක් නැත. ලැබෙන සැපයක්ද නැත.
  3. තවද ජීවිතය යනු ජයග්‍රහණයක් නොමැති පොරබැදීමකි. හම්බ කිරීම නඩත්තුව මෙන්ම ලෙඩ දුක් සමග කරන පොරය, කාම වස්තුන් සමග පොරය, සිත සමඟ සිදුකරන පොරය ආදී නොයෙකුත් පොර බැදීම් ගොන්නක් අවසානයේ පරාජයම හිමිවනු ඇත
  4. ජීවිත අපේක්ෂාව යනු සිදු කළ යුතු ගැඹුරු විදර්ශනාවකි.
  5. ජීවිත ආශාව ලෙස පෙනුනද ගැබ්ව ඇත්තේ බොහෝ විට කාම ආශාවන්ය. ආශාවන් එකින් එක බිඳවැටෙන විට ජීවිත ආශාව ද නැති වනු ඇත
  6. ජීවිත අපේක්ෂාව යනු මුලා වූ සිතෙක අවශ්‍යතාවයක් මිස කයෙහි අවශ්‍යතාවයක් නොවේ. මේ ජීවිතයට ලෙස පසුව ඒ ජීවිතයට ලෙස වෙනස් වේ
  7. ජීවිත අපේක්ෂාව තුළ වූ අපේක්ෂාව කුමක්දැයි හොඳින් හඳුනාගත යුතුය
No audio available
071. හය ආකාර දුක

071. හය ආකාර දුක

  1. යමක් හෝ යමෙක් ඇසුරු කිරීමේදී ඒ හා බැඳුණු ආකාර හයක දුකක් ඇත.
  2. ලබා ගැනීමට කලින් දුක් දෙකකි ( 1-ලබා ගැනීමට දරණ වෑයම, 2-ලබා ගැනීමට පෙර ඇතිවන බය)
  3. ලබා ගත් පසු දුක් තුනකි ( 3-පවත්වාගෙන යෑම, 4-වැඩිදියුණු කිරීම, 5-බය)
  4. අවසානයේ හිමිවන එක් දුකකි ( 6-අහිමි වීමේ/වෙන් වීමේ දුක)
  5. උදාහරණයක් ලෙස වාහනයක් සලකන්න
  6. (1-එය ලබා ගැනීමට මුදල් රැස් කළ යුතුය. දුකකි) (2-එය හොද වාහනයක්ද, ලෙඩ තිබේද, රැවටීමක්ද, ආදී ලෙස ඇතිවන බය දුකකි)
  7. (3-තෙල් ගැසීම, සේදීම, ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම ආදී දුකකි. 4-අවශ්‍යය සහායක කොටස් සවිකිරීම, ස්ටිකර් ආදිය ගැසීම, කැමරා සවිකිරීම ආදී දුකකි. 5-හැප්පීමක්, සීරීමක් අනතුරක්, සොරකමක් වේදෝ ඇතිවන බය දුකකි)
  8. (6-මොන ලෙස ආරක්ෂා කළත් අවසානයේ සිදුවන ඒකාන්ත වෙන්වීම දුකකි)
  9. ඕනෑම දෙයක් සම්බන්ධව මේ හය ආකාර දුක පවතී. ගලපා බලන්න. ශක්ති ප්‍රමාණයත් අනුව ඉතා ගැඹුරින් මෙම කාරණා දැකිය හැකිය. විදර්ශනාව පිණිසය...
No audio available
070. අනපේක්ෂිත මරණය

070. අනපේක්ෂිත මරණය

  1. ඉපදුන සත්වයන්ට මරණය ඒකාන්තයෙන් හිමිය
  2. ඒකාන්තයෙන් හෙට මැරෙන බව දන්නේ නම්, අද සිදු කරන්නේ කුමක්ද? උදාහරණයක් ලෙස ඇතිවන්නේ දුක, කනස්සල, බය, තැති ගැනීම වැනි දේය
  3. නමුත් අප අද දින ගත කරන්නේ බයින් තැති ගැනීමෙන් නොවේ නම්, එහි අදහස වන්නේ හෙට මැරෙන බව නොදන්නා බවයි
  4. නමුත් ඒකාන්ත වශයෙන් ම හෙට මරණය සිදුවන අදක් එළඹෙනු ඇත. එදිනෙද මේ ලෙසම බියෙන් තැති ගැනීමක් නොමැතිව ජීවත් වේ. ගම්‍යය වන්නේ හෙට සිදුවන මරණයක් කිසිසේත් අපේක්ෂා නොකරන බවය
  5. සංසාරේ පෙර සිදුවූවාසේ අනපේක්ෂිත තවත් මරණයක් අත්විඳීමට සිදුවනු ඇත
  6. මරණානුස්සතිය නිරතුරුව වැඩිය යුතුය. ප්‍රතිඵල ලෙස කෙලෙස් යටපත් වන අතර වීරිය තව තවත් වැඩිවීම, මාර්ගයේ දියුණුවීම, ආදී විශාල ආනිසංස හිමි වේ
No audio available
069. මම පරීක්ෂණය 01

069. මම පරීක්ෂණය 01

  1. මෙය මානසිකව සිදුකරන පරීක්ෂණයකි. ධර්මයක් වටහා ගැනීමේ චේතනාවෙන් සිදුකරන්න
  2. තමාම හෝ යම් පුද්ගලයෙක් සිහිපත් කරන්න. ඔහුට නමින් ආමන්ත්‍රණය කළ හැක
  3. එම ශරීරයෙන් එක් අංශුවක් ඉවත්කර වෙනත් ස්ථානයකින් තබන්න. අදාළ නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකිදැයි හොඳින් මෙනෙහි කර බලන්න
  4. එම නමින් නැවත ආමන්ත්‍රණය කළ හැකි නම් ( අංශුවේ අඩුවක් ඇතව ), නිගමනය වන්නේ අදාල ඉවත් කළ අංශුව සහ නම අතර සම්බන්ධයක් තිබිය නොහැකිය යන බවය
  5. එම අංශුව තිබූ ස්ථානයෙන් නැවත තබන්න
  6. නැවත දෙවැනි අංශුවක් සඳහා පරීක්ෂණය සිදු කරන්න. නිගමනය පරීක්ෂා කරන්න.
  7. එලෙස සියලු ම අංශූන් සඳහා මෙම පරීක්ෂණය සිදු කරන්න
  8. මෙය තම ශරීරය ලෙස ද බාහිර ශරීරයක් ලෙස ද සිතට හොඳින් වැටහෙන ආකාරයෙන් ද පරීක්ෂණය වෙනස් කරගන්න
  9. එම නිගමනයන් සමග සිදුවන වැටහීම් තථාගත දේශනාව සමග ගලපා බලන්න. වෙනසක් ඇත්නම් පරීක්ෂණයේ යම් දෝෂයක් පැවතිය හැක
  10. මෙම පරීක්ෂණය නැවත නැවතත් සිදු කරන්න. වැටහීම් සිදුවනු ඇත
No audio available
068. මාරයා

068. මාරයා

  1. නිවනට බාධා වෙන හෝ නවතන කෙනෙක් හෝ දෙයක් මාරයාය. ලොකුම මාරයා තමාට තමාය
  2. මාරයාද පුද්ගල අනුබද්ධ වේ. කෙනෙකුට මාරයා, තවත් කෙනෙකුට, කල්‍යාණ මිත්‍රයා විය හැක
  3. උදාහරණයක් ලෙස කෙනෙකුට කායික රෝගයක් මාරයා වන විට ( ප්‍රතිපදාව අඩාල කරන හෙයින් ) එම ලෙඩම විදර්ශනා කරීමෙන් කල්‍යාණ මිත්‍රයා කර ගැනීමටද හැකියාව ඇත
  4. මාරයා, මාරයා වන්නේ චේතනාව/සිතන ආකාරය අනුවය
  5. සිතන ආකාරය නිවැරදි කරගත් ( රහතන් වහන්සේ ) අයෙකුට මාරයෙක් නැත
  6. මාරම කතාව වන්නේ මාරයා, මාරයා ලෙස හඳුනා ගත් විට මාරයා, කල්‍යාණ මිත්‍රයෙකු වීමයි
No audio available
067. පිළිතුර

067. පිළිතුර

  1. වර්තමානයේ අපට ඇතිවන බාධක ප්‍රශ්න ප්‍රබලතාවය අඩුවන දැකීමේ ක්‍රම ඇත
  2. එළැඹී ඇති ප්‍රශ්නය, අතීතයේ ඇතිකරගත් ප්‍රශ්නයකට (හේතුව) වර්තමානයේ ලැබුණු පිළිතුර (ඵලය) වේ
  3. අප වෙත පැමිණෙන ප්‍රශ්න කම්කටොළු භාදක ආදී සියල්ල පිළිතුරු ලෙස දැකිය හැක.
  4. උක්ත ප්‍රශ්නය අතීතයේ සිදුවූවකි. අන් ආකාරයෙන් අතීත හේතුවකට වර්තමානයේ ඇති වූ ඵලය වේ
  5. තවද වර්තමානයේ එළඹෙන්නේ ඵලයක්/ පිළිතුරක් වන අතර එය නැවත හේතුවක්/ප්‍රශ්නයක් නොවීමට වග බලා ගත යුතුය. විදර්ශනාව පිණිසය
No audio available
066. කුණු ගොඩ

066. කුණු ගොඩ

  1. කුණු ගොඩක් ඉවත් කිරීමට ඇත්තෙකුට,ඒ අරඹයා ඇතිවන සිතිවිල්ල ,ඒ පිළිබඳ කලකිරීම, උපක්‍රම යෙදීම, එම ස්ථානයට පාරක් කැපීමද කුණුගොඩ ඉවත් කිරීමම වෙයි
  2. සිත ඇතුළු කය ආදී කුණුගොඩ ද එලෙසමය. එම කුඩු ගොඩේ ප්‍රමාණය ද නොදන්නා බැවින්. ඉතාම ශක්තිමත් හෙයින් නොයෙකුත් උපක්‍රම යෙදීමට සිදුවී තිබේ. වැරදියට හෝ උත්සාහ කරන්නා තුළ අවම වශයෙන් ශ්‍රද්ධාව හෝ පවතී.
  3. කෙනෙක් තම හැකියාව අනුව ධර්ම මාර්ගය වෙනුවෙන් කරන සුළු කැපවීම පවා අවතක්සේරු නොකළ යුතුය. ඉතා ඉහලින් අගය කළ යුතුය
  4. විශේෂයෙන් කුඩා දරුවන් අවතක්සේරු නොකළ යුතුය. ඔවුන් තුළද සසර ගත විශාල ශක්තියක් පැවතිය හැක
  5. කුඩා පැලයක් විශාල ගසක් වී විශාල ප්‍රදේශයක් පුරා සෙවණ පතුරුවන්නා සේ අනාගතයේ විශාල පිරිසකට ධර්ම මාර්ගයට මග පෙන්වන්නා ද ඔහු විය හැක.
  6. වැරැද්ද හෝ නිවැරැද්ද දකින්නා තුළ ද්වයතාවය ඇත. වැරැද්දක් නිවැරැද්දක් නොදකින යෝගාවචරයා අඩු වැඩියක් නොමැතිව ධර්මතාවය බවට පත්වී ඇත, තුළ අටලෝ දහමින් අකම්පිත ගුණය ඇති හෙතෙම හේතුඵල දහම තුළ හොඳින් පිහිටා ඇත
No audio available
065. සියල්ල ධර්මයන්ය

065. සියල්ල ධර්මයන්ය

  1. සියලුම අධර්මයන් ධර්මයන් ලෙස දැකිය හැක.
  2. අධර්මයක් වුවද අනිත්‍ය දුක්ඛ අනාත්ම, ජාති, ජරා ව්‍යාධි මරණ ආදී ධර්මයන්ට යටත්ය
  3. මතුකර ගැනීමේ හැකියාව ඇත්නම් අධර්මයේද ධර්මයන් ඇත
  4. අධර්මය අධර්මයක් ලෙස වෙන්කර ගැනීම ද ධර්මයකි
  5. මිත්‍යා දෘෂ්ඨිය යනු සසර පැවැත්මේ ධර්මතාවයයි. එයත් ධර්මයකි
  6. සක්කාය දිට්ඨිය තොර වූ විට ධර්මය හෝ අධර්මයෙහි වෙනසක් නැත
  7. අධර්මය හා ගැටෙන කෙනා තුළ ඇති ධර්මයක් නැත
  8. හඳුනාගත් අධර්මය ධර්මයකි
No audio available
064. කොහුලනුව

064. කොහුලනුව

  1. කෙන්ද කෙන්ද එක්වී සකස් වු කොහු ලණුව බොහෝ ශක්තිමත්ය.
  2. කෙඳි එකිනෙක වෙන්ව පැවතුණත් බොහෝ ශක්තියක් එහි ගැබ්ව ඇත්තේ සැකැස්ම නිසාය. සැකැස්ම බිඳ වැටුණහොත් කෙඳි එකිනෙක ගැලවී යන අතර පැවැත්ම බිඳ වැටේ. පැවති ශක්තිය ද අතුරුදහන් වේ
  3. රහතන් වහන්සේගේ ද සිතිවිලි පැවතුණද බැඳීමක්, සසර ගමනට ශක්තියක්, හට නොගන්නේ අවබෝධය නැමැති සැකැස්ම නිසාය
  4. පෘථග්ජන සිතිවිලි අනවබෝධය නැමැති සැකැස්මෙන් සකස් වී ඇත. එම සැකැස්ම බොහෝ ශක්තිමත්ය. ලෙහෙසියෙන් බිඳ නොවැටේ
  5. කාරණය නම් කෙඳි කෙඳිමය. සැකැස්ම පමණක් වෙනස් වේ. සකස් වන ස්වභාවය අනුව කොහුලනුවේ පැවැත්ම තීරණය වේ
  6. එසේම සසර ගත සත්වයාගේ සිතිවිලි (පැවැත්ම) තදින් බැඳී ඇත්තේ පුද්ගල දෘෂ්ඨියෙනි. මෙම දෘෂ්ටිය බිඳ දැමූ විට සියල්ල ක්‍රමානුකූලව විසිරී ගොසින් අවසානයේ පැවැත්ම අහෝසි වේ
  7. බැඳීමක් ඇති තැනක වෙන්කිරීමේ හැකියාවක් ඇත්නම් ඇත්තෙන්ම ඒවා බැඳී නැත
No audio available
063. දුරස්ථ පාලකය

063. දුරස්ථ පාලකය

  1. දුරස්ථ පාලකයක් සලකනවිට එයට සංවේදී වන පරිපථ කොටසක් අදාළ උපකරණයන්හි පැවතිය යුතුය. එම සංවේදී පරිපථ කොටස හරහා ඒවා පාලනය වේ
  2. එසේම, බාහිර කොපමණ රූප පැවතියත්, ඒවාට සංවේදී ක්ලේශයන් ඇත්නම් පමණක්, ඒවායෙහි බලපෑමට සත්වයා නතුවේ
  3. එනම් බාහිරය, දුරස්ථ පාලක ලෙස සැලකූ විට අප ඒවාට සංවේදී වෙමින් මානසික මෙන්ම කායික චලනය වීම හෝ අන් ආකාරයෙන් ඒවායේ ග්‍රහණයේ පවතී
  4. උපමාවක් ලෙස අප දුරස්ථපාලක ජාලයකට යටත්ව පවතින සෙල්ලම් බඩු වැනිය. ගැහැණුන්, මිනිසුන්, යානවාහන, වතුපිටි, ඉඩකඩම්, මුදල් ආදිය අපගේ දුරස්ථ පාලකයෝ ය. මක්නිසාද ඒවාට සංවේදී ක්ලේශයන් අභ්‍යන්තරයේ ගැබ්ව ඇති බැවිනි
  5. ප්‍රතිපදාවක් ලෙස අප සිදු කරන්නේ මෙසේ සංවේදී වූ පරිපථ කොටස් ගලවා කිරීමයි. දුරස්ථ පාලක වලට සංවේදී නොවීමයි. මිදීමයි. නිවීමයි
No audio available